පාර්ලිමේන්තු මන්ත‍්‍රී
බස්නාහිර ජනතා පෙරමුණ
සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්
ආණ්ඩුවේ වර්තමාන ගමන් මඟ ගැන ඔබේ අදහස කුමක් ද?
අද මේ රටේ පෙරමුණු දෙකක් තියෙනවා. දේශපාලන පෙරමුණ හා මානව හිමිකම් පෙරමුණ. ආණ්ඩුව මේ පෙරමුණු දෙකෙන්ම තමන්ගේ ගමන වරද්දගෙන තියෙන බවයි මගේ අදහස.
අද සාමාන්‍ය ජනතාව සෑම ආකාරයකින්ම දැඩි පීඩනයකට හා භීතියකට ලක්ව සිටියදීත් ජනතාව විසින් ආණ්ඩුව දිගින් දිගටම කරගෙන යන මෙම වැඩ පිළිවෙළට සහයෝගය දීම ඔබ දකින්නේ කොහොමද?
ජනතාවගේ සහයෝගය ලැබෙන ආකාරය දැකිය හැකි බුද්ධිමත්ම, සාධාරණම ක‍්‍රමය මැතිවරණය. පසුගිය උතුරු-මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයේදී අණ්ඩුව ජයග‍්‍රහණය කළා. එම මැතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබදව යම් යම් ගැටළු තිබුණත් අපි ඒ ප‍්‍රථිඵල පිළිගන්නවා. අණ්ඩුව මෙම මැතිවරණයේදි යොදාගන්තේ ‘යුද්ධය’ කියන සාධකය. නමුත් එසේ තිබියදීත් ඔවුන්ට 100% කම ජයක් ලබා ගන්නට නොහැකි වුනා. එක්සත් ජාතික පක්ෂය සමඟ අපි ඇති කරගත් සන්ධානයට බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවු පරිදි ඡන්දය දී තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ හැර. විපක්ෂයේ ජන්ද පදනම කිසිසේත්ම අඩු නොවී වැඩි වී තියෙනවා. ඒනිසා මම කියන්නෙ නැහැ ජනතාව 100%ක් සම්පුර්ණයෙන්ම ආණ්ඩුවට සහයෝගය දෙන බව.
පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව යුද්ධය කිරීමට ජන වරමක් ඉල්ලූවා. ඒ අවස්ථාවේ දී අනිත් ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැරුවේත් "යුද්ධය කළ යුතුයි, නමුත් මීට වඩා හොඳ ආකාරයකින් ” කියන අදහස. මෙහිදී පැහැදිලි වන්නේ ආණ්ඩු පක්ෂයේ මතවාදයට විරුද්ධ පක්ෂත් අනුකූලතාවක් දැක්වූවා කියන එක නේද ?
නැහැ. අද අපේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් තියෙනවා. මේකට විසදුම් සොයන ආකාරය ගැන හැමෝම කල්පනා කරනවා. එක් එක් අය විවිධ මතවාදයන් යෝජනාවන් ඉදිරිපත් කරනවා. ජ.වි.පෙ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා ආණ්ඩුවේ ප‍්‍රබලයෝ ප‍්‍රකාශ කරන්නේ යුද්ධය කරමින් දේශපාලන විසඳුමකට පැමිණිය යුතුයි කියා. තවත් සමහර අය ප‍්‍රකාශ කරන්නේ යුද්ධය නතර කර දේශපාලන විසඳුමකට පැමිණිය යුතු බවයි. බස්නාහිර ජනතා පෙරමුණ විදිහට අපි ඉන්නේ එතැන. වසර පණහක් හැටක් පුරා පැවති මේ ගැටළුවට විසඳුමක් ලබා ගන්න තැනටයි අපි යන්නේ. මේ නිසා එක් මැතිවරණයකදී එක් එක් පක්ෂයන් මේ විදිහට මත ඉදිරිපත් කර තිබෙනවා කියා අපට කොටු කරලා බලන්න බැහැ. මොකද මැතිවරණ තාවකාලික අවස්ථා. ඒවායේ අභිලාෂයනුත් තාවකාලිකයි. නමුත් අපි යන්න ඕන ගමන දිග ගමනක්.
බස්නාහිර ජනතා පෙරමුණ කියන පක්ෂය සෑදීමේ අරමුණ කුමක්ද?
මම දේශපාලනයට එන කොට උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට නායකත්වයක් තිබුණා. කඳුකර දෙමළ ජනයාට නායකත්වයක් තිබුණා. නමුත් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙන විශාල දෙමළ ජනකායට නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසයි බස්නාහිර ජනතා පෙරමුණ නමින් පක්ෂයක් පටන් ගත්තේ. නමුත් අද අපි බස්නාහිරින් පිටතට ගිහින් කඳුකරයේත්, උතුරු නැගෙනහිරත් පක්ෂය නිර්මාණය කරල ඉවරයි. පසුගිය සබරගමුව මැතිවරණයේදී පාවිච්චි වු දෙමළ ඡන්ද වලින් 62% ක් අපේ පක්ෂයේ අපේක්ෂකයන්ට ලැබී තිබෙනවා. පාරම්පරික ලංකා කම්කරු කොංග‍්‍රසයටත් 20%යි ලැබී තිබුණේ. කඳුරට ජනතා පෙරමුණට ඡන්ද එක්දහස් හාරසීයයි. අපි අද ඔවුන් ඒ මට්ටමට වට්ටලා ජයග‍්‍රහණය කර තියෙනවා. ඒනිසා දැනටමත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් ඇවිත් තියෙනවා පක්ෂයේ නම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ ලෙස වෙනස් කරන්න කියලා.
ඔබ සිතන අන්දමට දකුණේ ජීවත් වන ජනතාවට මේ වන විට මුහුණ දීමට ඇති ප‍්‍රධානතම අභියෝගය කුමක්ද?
සමස්ත දෙමළ ජනතාවටම උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර කියා වෙනසක් නැතුව අභියෝග තියෙනවා. දෙමළ වීම නිසාම දුක් පීඩාවට පත් වෙනවා. රටේ යුද්ධයක් පවතින නිසා සෑම දෙමළ මිනිහෙක්ම ත‍්‍රස්ත විරෝධියෙක්, ආණ්ඩු විරෝධියෙක් ලෙස දකින වාතාවරණයක් දැන් පවතින්නේ. ජාතික හැඳුනුම්පතක්, පොලිස් ලියාපදිංචියක් තියෙනවා නම් දෙමළ මිනිහෙක් අත් අඩංගුවට ගන්නේ නැතැයි යන තත්වය අද වෙනස් වෙලා ඒ දෙකම තියෙද්දීත් දෙමළ වීම නිසාම සැකයට බඳුන් වී අත් අඩංගුවට ගැනීම විශාල ලෙස අද දකින්න තියෙනවා. දෙමළ වීම නිසාම අද විශාල අභියෝගයක් කොතන වුනත් අපිට තියෙනවා.
අතුරුදහන් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට රටේ පොලීසිය, අධිකරණය, මානව හිමිකම් කොමිසම ආදිය තිබියදීත් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ඔබට වෙනම සංවිධානයක් පිහිටුවා ගැනීමට සිදු වුයේ ඇයි?
ආණ්ඩුවේ සහ ආණ්ඩුව වග කිව යුතු අනිත් ආයතනවල වැඩපිළිවෙල බිම් මට්ටමට ඇද වැටී අක‍්‍රිය වීම නිසයි අපට මෙයට මැදිහත් වී වගකීම බාර ගන්න සිදු වුනේ. ඇත්තෙන්ම මම පාරම්පරික මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් නෙවෙයි. නමුත් 2006 මැද භාගයේදී මේ රටේ විශාල ලෙස අතුරුදහන් වීම්, නීති විරෝධී මරා දැමීම්, කප්පම් ගැනීම්, තර්ජන, හිතුවක්කාරී ලෙස අත් අඩංගුවට ගැනීම් සිදු වන විට විශාල ලෙස පීඩාවට පත් වුනේ දෙමළ ජනතාව. මේ අය වෙනුවෙන් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන වලට යා හැකි වුයේ එක්තරා දුරකට පමණයි. හේතුව ඊට එරෙහිව හඬ නඟන තැනැත්තන් පවා මරා දමන භයානක තත්වයක් ඒ කාලෙ තිබුණ නිසා. එදා පාරම්පරික මානව හිමිකම් සංවිධාන වලට තමන්ගේ වැඩපිළිවෙල කාමරවල පමණක් පවත්වා ගෙන යාමට සිදුවුණා. ඒනිසා ඒ අභියෝගය මම භාරගත්තා. මගේ මිත‍්‍රයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් සහ මම එකතු වෙලා 2006 සැප්තැම්බර් 16 දා කොළඹ පැවති පොඩි රැස්වීමකදී සිවිල් අධීක්ෂණ කමිටුව අපි නිර්මාණය කළා. ඉන් දින පණහකින් රවිරාජ් ඝාතනය කළා. නමුත් මම අභියෝගය අත් හැරියේ නැහැ. කවුරුන් හෝ මේවාට විරුද්ධව නැගිටලා කටයුතු කළ යුතුයි.
සිවිල් අධීක්ෂණ කොමිසම අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් සිදු කරන ක‍්‍රියාවලිය කුමක්ද?
අපි පැමිණිලි භාරගෙන ලැයිස්තු ගත කරනවා. ඒ වාර්තා ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට යවනවා. රටේ ආණ්ඩුව, පොලීසිය හා කොළඹ තියෙන ජාත්‍යන්තර සමාජයේ නියෝජිතයන්ව දැනුවත් කරනවා. එක්සත් ජාතීන්ගේ සම්බන්ධය තියෙන working group එකට වාර්තා කරනවා. ඒ වගේම අතුරුදහන් වුවන්ගේ පවුල්වල අය එකතු කරගෙන විවිධ අවස්ථාවන් නියෝජනය කරනවා. ඉතාම දුෂ්කර වාතාවරණයක් මැද මේ ව්‍යාපාරය අප ඉදිරියට කරගෙන යනවා. මෙහිදී අපි කාර්යයන් දෙකක් කරනවා. එකක් අතුරුදහන් වුවන් පිළිබඳ සොයා බැලීම හා ඉදිරියට මෙවැනි ක‍්‍රියා සිදුවීම අඩු කිරීම. අප සමහර අවස්ථාවල පොලීසියේ හෝ වෙනත් තැන්වල නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි පුද්ගලයන් සොයා ගැනීම වැනි ජයග‍්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ තුළින් හිතුවක්කාරී විදිහට පාරේ යන බල්ලෝ වගේ දෙමළ ජනයාව අල්ලගෙන යන නීතිවිරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් ගෙනයාම නිසා එවැනි දේ මට්ටු කිරීමට හැකි වී තියෙනවා.
ඔබ සිවිල් සමාජයේ හා දේශපාලන සමාජයේ එකවර පෙනී සිටින දෙමළ ජාතිකයෙක්. වර්තමානයේ මේ ක්ෂේත‍්‍ර දෙකේම වැඩ කරන අයෙක් විදිහට ඔබට තියෙන අභියෝග මොනවාද?
ඒ ගැන කථා කරන්න මම එතරම් කැමති නැහැ. මම හිතනවා එය කතා කිරීම සාධාරණ නැහැ කියලා. දැනට පෞද්ගලිකව තර්ජන එල්ල වු විට නීතිය යටතේ ආරක්ෂාව ලබා ගන්නට කටයුතු කරනවා. දේශපාලනික වශයෙන් ත‍්‍රස්තවාදියෙකු, කොටි ආධාරකරුවෙකු වගේ බොරු චෝදනා මට එල්ල වෙනවා. ආණ්ඩු පක්ෂයේ නිල පත්තරෙන් මට කොටි සංවිධානයට උදව් කරන බවටත්, ආයුධ සපයන බවටත්, පාතාලයට සම්බන්ධ කෙනෙක්, මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ලෙසත් චෝදනා කරනවා. මට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සම්මානයක් දුන් නිසා මම ඇමෙරිකානු න්‍යාය පත‍්‍රයට වැඩ කරන දේශපාලකයෙක් කියලා ආරක්ෂක ලේකම් චෝදනා එල්ල කලා. සිවිල් ආරක්ෂක කොමිසම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පවත්වා ගෙන යන නිසා අනෙක් රාජ්‍ය නොවන සංවිධාන වලට කියනවා වගේම මාත් ඩොලර්, යුරෝ ලබා ගන්න උත්සාහ කරන බවට චෝදනා එල්ල කළා. මේවා තමා මට තියෙන දේශපාලන අභියෝග. ඒවට මුණ දෙන්න මම සුදානම්. මම කොටි සංවිධානය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. පාතාල ලෝකෙ මොකක්ද කියල දන්නෙත් නැහැ. තුවක්කු, අවි-ආයුධ ගැන චිත‍්‍රපටි වල විතරයි දැකලා තියෙන්නේ. සිවිල් අධීක්ෂණ කොමිසමට අද වෙනකන් ඩොලර් එකක් හරි විදේශයෙන් අරන් නැහැ. එහෙම මුදල් ලබා ගන්නේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ. මගේ මුදල් වලිනුයි මේ ආයතනය කරගෙන යන්නේ.
මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අවතක්සේරුවට ලක් කරමින් ආණ්ඩුව යන මේ ගමනේ අනාගතය කුමක්ද?
මේ විදිහට ගියාම ආණ්ඩුව වැටෙනවා. මා මුලිනුත් කිවුව වගේ අවුරුදු දෙකක්, තුනක් තුළ ආණ්ඩුව ඉන්නේ කොතනද කියලා සීමා කරලා අපිට කියන්න බැහැ. එය සුළු කාලයක්.
අද වන විට මානව හිමිකම් විෂයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. පුද්ගලයන්ට එරෙහිව නීති විරෝධී ක‍්‍රියාවන් සිදු වෙනවා නම් ලෝක ප‍්‍රජාව එය හෙළා දකිනවා. ඒනිසා මොනම ආණ්ඩුවකටවත් නීතියට පිටතින් වෙන දේවල් සාධාරණීකරණය කරන්න බැහැ. රටේ කොතැනක හෝ කොටි සංවිධානය හෝ වෙනත් ත‍්‍රස්ත කල්ලියක් ඉන්නවා නම් ඒවාට රාජ්‍යයට හෝ ආණ්ඩුවට සමාන වෙන්න බැහැ. ආණ්ඩුව කියන්නේ ජාතික, ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන නීති රීති වලට යටත් වුණ ආයතනයක්. කොටි සංවිධානය මිනිසුන් පැහැර ගන්නවා, මරා දමනවා, කප්පම් ගන්නවා කියලා පෙන්නා දීලා ආණ්ඩුවට බේරෙන්න බැහැ. ආණ්ඩුව තමන්ගේ කි‍්‍රයාවන් හරහා ත‍්‍රස්ත ආණ්ඩුවක් විදියට තමන්වම පත් කර ගන්නවා කියලයි මම කියන්නේ. ජාත්‍යන්තර සමාජය පවා ආණ්ඩුව‘ආණ්ඩුවක් ලෙස හැසිරෙන්නේ නැහැයි කියනවා. බටහිර රටවල් විශේෂයෙන් ඇමෙරිකාව ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ප‍්‍රශ්න කරන විට ආණ්ඩුව ඇමෙරිකාවෙන් අහනවා ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ මානව හිමිකම් උල්ලංඝණය කරන තමුන්නාන්සේලාට අපෙන් ප‍්‍රශ්න කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට හෝ ඉරාකයට කරන දේ මමත් පිළිගන්නේ නැහැ. නමුත් මම අහන්නේ ඇමරිකාව එහෙම කරනවා කියලා ලංකාවට එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා තමුන් කරන වැරදි වහගන්න මේ කොටි සංවිධානයේ වැරදි, මේ ඇමරිකාවේ වැරදි කියලා ඇඟ බේරගන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා. මේ හැම දෙයකටම මූලික හේතුව වෙන්නෙ යුද්ධය. ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් වුවමනා වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ඒක ලබා දෙන්න කිසිසේත්ම අවංකව වැඩ කරන්නේ නැහැ.
ප‍්‍රභාකරන් මහතා අහසින් වැටුණේ නැහැ. 1983 ට පෙර සිට කොළඹ ආණ්ඩු බලය ලබා ගත් සිංහල සමාජයේ බහුතර බලය හිමි පක්ෂ කළ වැඩ නිසා තමයි යුද්ධය ඇති වුණේ. එදා දෙමළ ජනයා පාගලා දැමුවා. මේ නිසා දෙමළ තරුණයන් තුළ මතයක් ඇති වුණා මේ සඳහා පාර්ලිමේන්තුවේ විසඳුමක් නැහැ අතට තුවක්කුවක් අවශ්‍යයි කියා. එමඟින් තමයි කොටි සංවිධානය බිහි වුණේ. නැතුව කොටි සංවිධානය ජනවාර්ගික ප‍්‍රශ්නය නිර්මාණය කළේ නැහැ. එය වැරදි මතයක්.
88-89 කාලයේදි 13 වන සංශෝධනය නීතියක් විදිහට එනකොට ඊට විරුද්ධව කටයුතු කළ නිදහස් පක්ෂය අද එය කි‍්‍රයාත්මක කරන්න හදනවා. නමුත් 13 වන සංශෝධනය අලූත් දෙයක් නෙවෙයි. රටේ ව්‍යවස්ථාපිත නීතිය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, ජනාධිපතිවරු, ඇමතිවරු මේ තනතුරට ඇවිත් ඉන්නේ ඒ ව්‍යවස්ථාව පිළි අරගෙනයි. අද නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ගරු චන්ද්‍රකාන්තන් මහතා පොලිස් බලය හා ඉඩම් බලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනවා. මොවුන් ලබා දෙන්නේ නැහැ. චන්ද්‍රකාන්තන්ට, හිස්බුල්ලට නීතියෙන් තියෙන බලය ලබා දෙන්න බැහැ කියන මේ ආණ්ඩුව, තමන් සමඟ සිටින දේවානන්දලා, ආනන්ද සංගරීලා සතුටු කරන්න බැරි මේ ආණ්ඩුව, මනෝ ගනේෂන්ල, ප‍්‍රභාකරන්ල, සාමාන්‍ය දෙමළ ජනයා තෘප්තිමත් කරන්නෙ කොහොමද? ආණ්ඩුව හරි දේ, හොද දේ කරයි කියල කිසිම සහතිකයක් නැහැ. උතුරු නැගෙනහිර බහුලව ඉන්න, දෙමළ භාෂාව කථා කරන දෙමළ අයට මේ රටේ ප‍්‍රාන්තයක් හදලා දෙන්න ඕන. ඔවුන්ට ස්වයං පාලනයක් දෙන්න ඕන.
අද සිංහල භාෂාව කතා කරමින් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න සහෝදර සිංහල ජනයාට කියන්න ඉතිරි වෙලා ඉන්න එකම මන්ත‍්‍රීවරයා මම. මාවත් නැති කරන්න එපා. මම ආණ්ඩුවේ කොටස්කරුවෙක් නෙවෙයි. ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම උවමනාවක් මට නැහැ. නමුත් ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. මේ මගේ රට. මම මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ දෙවැනියා නෙවෙයි. යටත් වුවෙකුත් නෙවෙයි.
No comments:
Post a Comment