Thursday, April 23, 2009

ඉබ්බෙක් අහසින් ගිය ආකාරය කියමි ඔබට මම රාළේ !

සුදර්ශන ගුණවර්ධන

නිධාන කතාව
එකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව මැදින් කටින් අල්ලාගෙන ශබ්ද වසාගෙන සිටීමටය. එවිට කොකුන් ජෝඩුව කෝටුවෙ දෙකෙළවර කටින් ගෙන පියාඹාගොස් වතුර පිරි විළ වෙතට ඉබ්බා ගුවනින් ප‍්‍රවාහණය කිරිමයි. සෑම දෙනාම මවිතයට පත්කළ පෙර නොඇසූ විරූ කදිම සැලසුම සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබියදී මහත් නපුරක් සිදු වූයේය. ඕනෑම දෙයක් විවේචනයක කරන නාහෙට නාහන පශ්චාත්-නූතනවාදීන් පිරිසක් ඉබ්බාගේ ගුවන් ගමන විවේචනයකළ බැවින් ඔවුන්ට පිළිතුරු දෙන්නට ඉබ්බා කට ඇරියේය. එකවරම ඉබ්බා බිමට කඩා වැටුන අතර ඉතුරු වුවා නම් ඉතුරු වුණේ කටු ටික පමණි.

අප කවුරුත් දන්නා ඉහත කියූ ඉබ්බාගේ කතාවේ දෙවැනි කොටස ලිව්වේ හැත්තෑව දශකයේදී සිළුමිණ පත‍්‍රයට උපහාස කතා ලියූ එල්.සී.ජයසිංහ විසිනි. ඒ අනුව අසාර්ථක වූ කොක්කු දෙදෙනා නැවත පැරණි විළ ලගටම පැමිණෙති. එතනදී ඔවුන්ට තවත් ඉබ්බෙක් හමුවේ. මේ ඉබ්බා කලින් සිදුවූ සිදුවීම දෙස නිහඬව බලා සිට ඇත. එම දෙවැනි ඉබ්බාගේද සිහිනය වතුර පිරි විලක් වෙත යෑම බැවින් තමාවද අහසින් ගෙන යන ලෙස ඔහු කොකුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කොකුන් කිව්වේ එක ඉබ්බෙක් අහසින් ගෙන යාමට ගොස් තමන් හොද පාඩමක් ඉගෙන ගත් බැවින් නැවතත් ඒ ගොන් කම නොකරන බවයි. නමුත් දෙවැනි ඉබ්බා වනාහී කිසිදෙයකින් අධෛර්යට පත් කළ නොහැකි ධෛර්යය සම්පන්නයෙකි. ඔහු කීවේ සැලසුම නිවරදි බවයි. අර මෝඩ ඉබ්බා තම විවේචකයන්ට බනින්නට කට අරින්නේ නැතිව සිටියානම් කිසිදු ප‍්‍රශ්ණයක් නොවන බවයි, විවේචකයන්ගේ කටවල් වසා ඔවුන් පූස් පැටවුන් කරන ආකරය තමන් හොද හැටි දන්නා බව පැවසූ දෙවැනි ඉබ්බා කොක්කුන් දෙදෙනා ගුවන් ගමන සදහා නැවතත්ත පොළඹවා ගැනීමට සමත් විය. මෙවර ගමන අති සාර්ථක වූයේ විවේචකයන්ගේ විවේචන හමුවේ පවා කට පියාගෙන කෝටුවේ එල්ලී ගුවනේ යාමට තරම් ඉබ්බා ප‍්‍රඥවන්ත වූ බැවිනි. විකල්ප පුවත්පත් කර්තෘ වරුන්ද ඇතුළු සෑම දෙනාම මවිතයට පත්කළ මෙම සාර්ථකත්වයේ ප‍්‍රතිඵලය වුයේ පළමු ඉබ්බාගේ විවේචකයකන් විසින්ද දෙවැනි ඉබ්බාගේ සිම්පල් ප්ලෑන් එක වර්ණනා කිරීමයි. සියල්ලාන්ගේම ප‍්‍රීති ගෝෂා මැද වතුර පිරි විලට ඔන්න මෙන්න කියා තිබියදී ‘කොහොමද මගේ වැඩ’ කියා කීමට ඉබ්බා කට ඇරියේය. අවාසානවක මහත ! දෙවැනි ඉබ්බාගේ ඉරණමද පළමු ඉබ්බාට දෙවැනි වූයේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දි පොද ජන එක්සත් පෙරමුණ නැමැති අලූත් දේශපාන පෙරමුණ ගොඩ නගාගෙන ලංකාවේ අගමැතිධූරයට ද පසුව ජනාධිපති ධූරයටද පත්වූවාය. මේ පොදු පෙරමුණ වනාහි මීට වසර දෙකකට පෙර පරිකල්පනය කිරීමට පවා නොහැකිව තිබූ එකකි. ඉන්දු-ලංකා ගිවිසුමට සහ පළාත් සභාවලට පක්ෂ හෝ විපක්ෂ වීම මත දේශපේ‍්‍රමීත්වය සහ දේශ ද්‍රෝහීත්වය නිර්ණය වූ නුදුරු අතීතතයක එකිනෙකාට වේඩි තබාගත් බලවේගද, විවෘත ආර්ථිකයට පක්ෂපාත හා ප‍්‍රතිවිරුද්ධ ස්ථාවර ගැනීමේ හේතුවෙන් එකිනෙකාගේ මුහුණ බැලිම පවා ප‍්‍රතික්ෂේප කළ බලවේග ද මෙම නව පෙරමුණ තුළ කරට අත දා ගත්හ. 1994 දී දිවුරුම් දුන් පොදු පෙරමුණ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය අතීතාවලෝකනයකට උපකාර විම පිනිස නැවත සිහියට නගා ගන්න.
- චන්ද්‍රිකා, මංගල, එස්.බී, අනුරුද්ධ රත්වත්තේ...
- සිරිමාවෝ, මහින්ද, දි.මූ.ජයරත්න, ලක්ෂ්මන් ජයකොඩි...
- නිමල් සිරිපාල,දොඩංගොඩ, රිඩඞ් පතිරණ...
- සී.වී ගුණරත්න, කිංස්ලි ටී වික‍්‍රමරත්න, ෆවුසි...
- අෂ්රෝෆ්, ශ‍්‍රීමනී ඇතුලත්මුදලි, බර්නාඞ් සොයිසා, ඉන්දික ගුණවර්දන, රත්නසිරි වික‍්‍රමනායක...
-ලක්ෂමන් කදිරගාමර්, ජී.එල් පීරීස්...

මේ අයට අමතරව සටන්කාමීන් ලෙස රටේ නමක් දිනූ වාසුදේව, ඩලස්, ඩිලාන් පෙරේරා, ජෙයරාජ්, මෛත‍්‍රීපාල සිරිසේන, නාලන්ද එල්ලාවල, නන්දිමිත‍්‍ර ඒකනාකයක වැනි අයද ආණ්ඩුවට ඇතුලත් විය. එකල තිබූ පොදු පිළිගැනීම වූවේ ව්‍යතිරේඛ දෙක තුනක් හැරුන විට පොදුජන එක්සත් පෙරමුණ සමන්විත වූයේ හොඳ මිනිසුන්ගෙන් බවයි. කෙතරම් හොද මිනිසුන්ද කිවහොත් එතෙක් කළක් ඇමැතිවරුන් පාවිච්චිකල මිළ අධික ‘සුඛෝපබෝගී’ වාහන වෙනුවට ලාභ කුඩා වාහන පාවිච්චි කිරීමට පවා එකඟවූ පොදුජනයාගේ මිනිසුන්ගෙනි. චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ ආණ්ඩුවේ පරමාර්ථ දැන් අපට මෙසේ සටහන් කළ හැක.

01. කාටත් සමාදානයෙන් ජීවත් විය හැකි සුසංවාදී, යහපත්, පසමිතුරුතා වලින් තොර සමාජයක් ගොඩ නැගීම.
02. ධනවාදය මානුෂික මුහුණුවරක් සහිතව ක‍්‍රියාත්මක කිරීම.මේ අනුව මෙම ආණ්ඩුවේ සටන් පාඨ වූයේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.

මෙහිදී අපට පෙනෙන්නේ පොදු පෙරමුණ ආණ්ඩුව විසින් සමාජය පරිකල්පනීය සමස්ථයක් - Imaginary totality ලෙස සලකන ලද බවයි. නමුත් මෙම සමස්ථය ගොඩ නගන ලද්දේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කරමිනි. නැතිනම් සමස්ථයෙන් එළියේ තබමිනි. ඇත්ත වශයෙන්ම සියළු දෙනාටම තම විවිධාකාර වූ පස මිතුරුතා අමතක කොට එකට එකතු විය හැකි පරිකල්පනීය සමස්ථය ගොඩ නගන ලද්දේ මෙසේ එළියෙන් තබන ලද ශේෂය Residue විසිනි. අප මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් වරාය, ගුවන් සේවය, විදුලි සංදේශ හෝ රක්ෂණය වැනි රජය සතුව පැවිති විශාල ව්‍යවසායන් පෞද්ගලික අයිතියට පැවරීමේ කි‍්‍රයාවලිකයදී ප‍්‍රාග්ධනය නියෝජනය කරන බලවේග සහ ශ‍්‍රමය හෙවත් කම්කරු පංතිය නියෝජනය කරන බලවේග අතර මාරාන්තික ගැටුමක් ඇති වීමට නියමිතය. නමුත්, එක් අතකින් පිස්තෝලයද (එල්ටීටීඊය මර්ධනය කිරිම) අනෙක් අතින් සුදු නෙළුම් මලද (බලය බෙදීමේ යෝජාවලිය) සහිත පොදු පෙරමුණ රජය සහ වෘත්තිය සමිති අතර සම්මුතියක් පවතින බැවින් රජය සතු එම ව්‍යවසායන් නිදහසේ පෞද්ගලීකරණය කිරීමට රජයට හකියාව ලැබේ. නමුත් සමාජය නමැති පරිකල්පනීය සමස්ථයෙන් බැහැර කොට තබන ලද දෙමළ ප‍්‍රජාව නැමැති මෙම ශේෂය විසින් පොදු පෙරමුණු ආණ්ඩුවට පෙරළා පහර එල්ල වීමට ගත වන්නේ වසර හතරක කාලයකි. යාපනයෙන් එල්ටීටිය පළවාහැර එහි පළාත් පාලන ඡන්දය පවත්වා A-9ය පාර දිගේ බස් රථයක් මහනුවරට ධාවනය කොට පනස් වන නිදහස් සමරුව උත්සව ශ‍්‍රීයෙන් සැමරීමට ගන්නා උත්සාහය අවුල් වන්නේ මිනිසුන් පිරවූ බස් රථයට පෙර බෝම්බ පිරවූ ලොරි රථයක් මහනුවරට පැමිණීම නිසාය. මෙම ප‍්‍රහාරයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ සමතුළිතතාවය බිද වැටුණි. චන්ද්‍රිකා රජය මෙය තේරුම් ගන්නේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කොට පරිකල්පනීය සමස්තයක් ලෙස සමාජය ගොඩ නැගීමේ තම ක‍්‍රියාවලියේ අනිවාර්ය ප‍්‍රතිපලයක් ලෙස නොව Accident (අහම්භයක් හෝ අනතුරක් ) ලෙසටය. ඉන් පසු එම ඇක්සිඩන්ට් එකකට හේතු වූ ශේෂය විනාශ කිරීම සදහා රජය සම්පුර්ණයෙන්ම යුද්ධය වෙත යොමුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොදු පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම යුක්ති සහගත කළ සටන් පාඨවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළමුවත්, සමෘද්ධිය දෙවනුවත් සාමය අන්තිමටත් අවසන් වී ගිය අතර ආණ්ඩුව සෑදීමට එක්වූ ‘හොද මිනිසුන්’ බොහෝ දෙනෙක් දුෂ්ඨයන් සහ/හෝ කවටයන් බවට පත්විය. මේ කතාවෙ ඊළග කොටස් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

Back to HOME....

Friday, April 3, 2009

විනෝදය ජිප්සීස්ලාගෙන් ඔබ්බට .........

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නෙ ඇයි ? - 02
සුදර්ශන ගුණවර්ධන

අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.

රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.

01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.
02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.

රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත. උන් වහන්සේ එසේ කියන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට සමාජ විද්‍යාත්මකව, මානව විද්‍යාත්මකව මෙන්ම දේශපාලන විද්‍යාත්මකවද විවිධ හේතු දැක්විය හැකිය. එහෙත්, මෙම ලිපියෙහිදී අපගේ තර්කය වනුයේ ඒ සියළු තාර්කික සහ හේතුවාදී පැහැදිලි කිරීම මේ සිදුවීමේදී අසමත් වන බවය. මේ පිළිබඳ හේතුඵලවාදය මඟින් පැහැදිලි කළ නොහැකි බවය.

සාමාන්‍යයෙන් හේතුඵල සම්බන්ධයෙදී (cause and effect) අප කල්පනා කරන්නේ හේතුව තියා ඵලය හට ගන්නා බවයි. එහෙත් මෙහිදී සිදුවන්නේ හේතුව නිසා ඵලය බිහිවීම නොව ඵලය මඟින් හේතුව බිහිවීමයි. මෙය උදාහරණයකට පැහැදිලි කළොත් මෙසේය. හේතුඵල සම්බන්ධය අනුව සිදුවිය යුත්තේ ඉරාකයේ මහා විනාශකාරී අවි නිෂ්පාදනය වී තිබීමේ හේතුවෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම වුවත්, ඇත්තටම සිදුවුයේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම සාධාරණයකරණය කිරීම පිණිස මහා විනාශකාරී ආයුධ සෙවීම ආරම්භ කිරීමයි.

අපි තවදුරටත් ඉහත පිළිතුර පැහැදිලි කර ගනිමු. රතන හිමියන් විසින් උයන්ගොඩ මහතාගේ පත්වීමට විරුද්ධව ඉදිරිපත් කරන හේතු දෙක සඳහා මහාචාර්ය උයන්ගොඩ පවසමින් ඇති පිළිතුර අපට ජෝන් රෝල්ස්ගේ A theory of justice (සාධාරණත්වය පිළිබඳ න්‍යායක්) යන පොතෙහි අඩංගු තර්කයකින් පැහැදිලි කළ හැකිය.

මෙහිදී කියැවෙන අදහස පහත පරිදිය. යම්කිසි පවුලක ළමයින් දෙදෙනෙකු සිටී. එක් ළමයෙක් මවට තුරුළුව පමවගේ තන පුඩුවෙන් කිරි උරා බොයි. මෙහිදී අනෙක් ළමයා කරන්නේ මෙයට විරෝධය පෑමය. ජෝන් රෝල්ස් ප‍්‍රකාශ කරන අයුරු දෙමාපියන් විසින් මෙම දරුවන් දෙදෙනාටම එනම් කිරිබොන දරුවාව හා නොබොන දරුවාට සාධාරණය ඉෂ්ඨ කරනවා යනු කිරිබොන ආකාරය බලා සිට විරෝධය පාන දරුවාට අයිස් ක‍්‍රීම් එකක් ලබාදීමයි. එවිට ළමයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ඉල්ලීම දෙමාපියන් දෙදෙනාගේ ක‍්‍රියාවෙන් සමනය වෙයි.

නමුත්, මෙහිදී අප මතු කරන ප‍්‍රශ්ණය මෙයයි. (උයන්ගොඩ මහතාට පවා මේ ප‍්‍රශ්නය මතු වන්නට ඇත.) අයිස් ක‍්‍රීම් කෙතරම් රසවත් වුවත් කෙතරම් සීතල වුවත් එය අනුභව කරන තැනැත්තා සිතන්නේ අයිස් ක‍්‍ර‍්‍ර‍්‍රීම් කෑමෙන් මම විඳින විනෝදයට වඩා කිසියම් විනෝදයක් ( Surples enjoyement) කිරිබොන ළමයා ලබනු ඇති බවයි.

මෙතැනදී විනෝදය යනු කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ බොහෝදෙනා මේ වචනය ජිප්සීස් සංගීත කණ්ඩායම කැසට් පට වල එන ‘ජොලිය’ හා ’සොමිය’ සමඟ පටලවා ගන්නා නිසාය.

ජිප්සීස්ලාගෙන් ඉවතට ගමන් කර බැලූවිට අපට පෙනෙන්නේ වනෝදය යනු ‘මම නොලබන නමුත්, වෙනත් කෙනෙකු ලබනවා යයි මම සිතන විනෝදය ගැන මට ඇති ඊර්ෂ්‍යාවයි. ඒ විදින විනෝදය විනාශ කළහොත් මට පරිපුර්ණ විය හැකියයි මම විශ්වාස කරමි.’ මෙය අයිස් ක‍්‍රීම් කෑමට ලැබුනු ළමයාගේ පැත්තෙන් බැලූවිට මාරාන්තික ඉරිසියාවකි.

දැන් මේ ළමයින්ගේ උදාහරණ කියවීමෙන් කියවන පාඨක ඔබගේ රතු කට්ට පැනීමට ආසන්න ඇති බැවින් අපි ළමයින්ගෙන් මිදි දේශපාලනය වෙත අපේ අවධානය යොමු කරමු. අප තර්ක කරන ආකාරයට අතුරලියේ රතන හිමියන් මේ කරන්නේ මෙයයි.

සිංහල බෞද්ධ සමාජයේ පරිපුරිතාභාවය සාක්ෂ්‍ය කර ගැනීමට ඉඩ නොදෙන බාහිර සතුරෙකු සිටී.(උදාහරණයක් වශයෙන් ප‍්‍රභාකරන්, රනිල් වික‍්‍රමසිංහ, උයන්ගොඩ, නිමල්කා ප‍්‍රනාන්දු, කුමාර් රූපසිංහ, රෝසි සේනානායක )

2. මෙන්න මේ බාහිර සතුරා බටහිර චින්තනය සහ බටහිර මුදල් හරහා අප සතු , විනෝදය සොරකම් කරගෙන අප නොවිඳින විනෝදයක් ලබමින් තමා පරිපුර්ණභාවයට පත් කරගනී.
3 මේ බාහිර සතුරා විනාශ කළහොත් අපට කිසිඳු අඩුපාඩුවකින් තෙරව අපේ සමාජය තුළ තිබිය යුතු පරිපුර්ණ විනෝදය ලබන්නට හැකිවන අතර , එවිට ඔහු විසින් සොරකම් කළ අපගේ විනෝදය අපට නැවත ලැබේ.

දැන් අපගේ මාතෘකාව ප‍්‍රමාණවත් පරිදි පැහැදිලි වන්නට ඇතැයි සිතමු. විවිධාකාරයේ ප‍්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි.

Back to Home