Friday, September 26, 2008

බැටළු පැටියා, වෘකයා සහ තිස්සනායගම්

ජානක තේනුවර

ඊසොප්ගේ උපමා කතාවකට අනුව එකමත් එක රටක වෘකයෙක් ජීවත් විය. දිනක් ඌ ගඟකට බැස දිය බොමින් සිටින විට එම ගෙඟහිම දිය බොන බැටළු පැටියෙකු දුටුවේය. බැටළු පැටවා මරා කෑමට තීරණය කළ වෘකයා ඒ සඳහා හේතුවක් සෙවීය. ”ඒයි, දුෂ්ඨ බැටළුවා, උඹ බය සැක නැතුව මා බොන වතුර බොර කරනවා නේද? මේ වරදට මම නුඹව මරා දමනවා.” එවිට බැටළු පැටියා කීවේ ”අවසර දේවයන් වහන්ස, ගැත්තා දිය බොන්නේ ඔබ වහන්සේ දිය පානය කරන ස්ථානයට පහළින් ” කියාය. වැඬේ වැරදුණු බව දුටු වෘකයා මෙසේ කීය. ”ඒක හරි. නමුත් මීට අවුරුද්දකට කලින් උඹ මා බොන වතුර බොර කළා. ඒ නිසා උඹට මරණ දඬුවම දිය යුතුයි.” කරුමයට මෙන් බැටළු පැටවාට එයටද විත්තිවාචකයක් තිබිණි. ”බය බෝයි දේවයන් වහන්ස, මා ඉපදිලා තවමත් මාස තුනයි.”එවරත් වැඬේ වැරදුණු බව දුටු වෘකයා, ”එහෙනම් ඒ උඹේ තාත්තා වෙන්නට ඇතැයි ” කියා තවත් කතා කිරීමට බැටළු පැටවා කට ඇරීමට පෙර තම කට ඇර ඒ තුළ අසරණ බැටළු පැටවා සඟවා ගත්තේය.

ආණ්ඩුව මාධ්‍යවේදී තිස්සනායගම්ට විරුද්ධව මහාධිකරණයේ අධිචෝදනා පත‍්‍ර ගොනු කොට ඇත. සත්‍යය ප‍්‍රකාශ කිරීම සහ සාධාරණ විවේචනය සඳහා ජනමාධ්‍යවේදියෙකුට ඇති අයිතිවාසිකම භුක්ති විඳීම හේතුවෙන් ඔහුට දින 150කට වැඩි කාලයක් නඩු නැති රැඳවුම් නියෝග මත ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ පැදුරු කබලක් මත ගත කිරීමට සිදුවිය. දැන් ඔහුට නඩු පවරා ඇති නමුත් එසේ නඩු පවරා ඇත්තේ සාධාරණත්වයට නිඟා දෙන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති වැනි 1979 අංක 49 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2006 හදිසි නීති රෙගුලාසි යටතේය. මෙම නීති යටතේ නඩු පැවරීමට ලක් වු පළමු ජනමාධ්‍යවේදියා තිස්සනායගම්ය. මේ යටතේ අත් අඩංගුවට පත්වුවෙකු නඩු විභාගය අවසන් වනතුරුම බන්ධනාගාරගතව සිටීමේ කටුක ඉරණමට ලක්වේ. ආණ්ඩුව විසින් ගත් මෙම ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුවේ මතයට වෙනස් විසම්මුතික මතයක් මුද්‍රණය කර පළ කිරීමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර වී ඇත.

ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට පුද්ගලයන් ‘සැකපිට’ අත් අඩංගුවට ගැනීමටත්, පොලීසියට එම ‘සැකකරුවන්ව’ දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ තැබීමටත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි විසින් ඉඩ සැලසේ. මෙම නීති යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තැබෙන්නෙකුට ඇප පිට නිදහස් වීමට ඉඩ ප‍්‍රස්ථාවක් නැත. ඔවුන්ට ඇති එකම රැකවරණය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම පමණකි.

පුද්ගලයෙකු ‘සැකපිට’ අත් අඩංගුවට ගන්නා විට, එය සාධාරණ සැකයක් විය යුතු අතර අත් අඩංගුවට ගැනීම සිදුවනුයේ ’තොරතුරක් ’ මත වන විට එම තොරතුර විශ්වසනීය විය යුතුය. අධිකරණය විසින් අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කොට ඇත්තේ පළමුව පුද්ගලයකු අත් අඩංගුවට ගෙන දෙවනුව එම අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා සාක්ෂි සෙවීම පොලීසිය විසින් කිසි විටෙකත් නොකළ යුතු බවයි.

කෙසේ වුවද අප රටේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ නීති මඟින් සැකකරුවෙකු විසින් ලබා දෙන පාපොච්චාරණ සාක්ෂි වශයෙන් පිළිගැනීමට ඉඩ සලසා ඇති අතර එමඟින් සැකකරුවන්ව වධහිංසා පැමිණවීම මඟින් පාපොච්චාරණ ලබා ගැනීමට පොලීසියට මඟ පාදා දී ඇත.

තිස්සනායගම් අත් අඩංගුවට පත් වුයේ E-QUALITY මුද්‍රණාලයේ හිමිකරු හා මඩකලපුවේ පළවු තිනක්කතීර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කලක් සේවය කළ වී. ජසීහරන් හා ඔහුගේ සහකාරිය වඩිවේල් වලර්මදී පිළිබඳව තොරතුරු සෙවීමට කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට ගිය විටය.

සඟරාවක් පළ කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සනායගම් රඳවා තබා ගැනීම සහ බරපතල චෝදනා පැමිණවීම ජීනීවා හි පිහිටි මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වු ජාත්‍යන්තර කමිටුව (CPJ) විසින් හෙළා දැක ඇති අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)ප‍්‍රකාශ කළේ තිස්සනායගම් අත් අඩංගුවට ගැනීම සහ ඔහුට විරුද්ධව අධිචෝදනා පත‍්‍ර ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටික සාධාරණත්වය පිළිබඳ සාර්වත‍්‍රික මුලධර්ම උල්ලංඝනය කරන බවයි. ඔවුන් තවදුරටත් පැවසුවේ එය ප‍්‍රකාශනයේ අන්තර්ගතය පාලනය කිරීමට විධායකයට ඉඩ සැලසීම මඟින් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිවාසිකමට වළ කපන බවයි.

Thursday, September 25, 2008

අවතැන් කඳවුරු හරියට හිර කඳවුරු වගේ

රුකී ප‍්‍රනාන්දු
සම්බන්ධීකාරක
නීතිය හා සමාජ භාරය
සාකච්ඡා කළේ- තාරා ශ‍්‍රී රාම්


අද හැමෝම යුද්ධය ගැන කතා කරන අවස්ථාවක ඔබ යුද්ධයෙන් පීඩනයට පත් වී සිටින සාමාන්‍ය ජනතාව ගැන සොයා බැලීමට උත්සාහ කලේ ඇයි ?
සාමාන්‍යයෙන් අපි කියන්නේ උතුර හා දකුණ වෙන් වෙන්නේ ඕමන්තෙන් කියලා. නමුත් මේ සංචාරවලදී අපි දැකපු විශේෂත්වය තමයි දැන් රට වෙන්වෙලා තියෙන්නෙ මැදවච්චියෙන්. කොළඔ හෝ වෙනත් තැනක ඉදන් වව්නියාවට, මන්නාරමට යන කෙනෙකුට මැදවච්චියෙන් එහාට යන්න වෙන්නෙ මැදවච්චිය චෙක් පොයින්ට් එකෙන් එහා තියෙන වෙනත් වාහනයකින්. වව්නියාවට ඉස්සර ගිය කෝච්චි දැන් යන්නේ මැදවච්චියට විතරයි. උදේ 3.45 ට, 7.30ට, ? 10.30ට මැදවච්චියෙන් පිටත්වෙන එක කෝච්චියකටවත් මන්නාරමේ ජනතාවට නගින්න බැහැ. හේතුව මන්නාරම් පාර අරින්නේ උදේ 6.00 ට. මේ දුම්රිය කාලසටහන් හදලා තියෙන කාල රාමුව අනුව මන්නාරමේ සිවිල් ජනතාවට ඒවායේ ගමන් ගැනීමට නියමිත වේලාවට මැදවච්චියට ඒම අපහසුයි. බඩු ප‍්‍රවාහනයේදීත් මැදවච්චියෙන් එහාට බඩු ගෙනියන්න වෙන්නේ වෙනත් වාහනයකින්. එතනදී ප‍්‍රවාහන ගාස්තු කීප ගුණයකින් වැඩි වෙනවා. ඒ සියලූම අධික වියදම් දරාගන්න වෙන්නේ මන්නාරමේ සාමාන්‍ය ජනතාවට. අනික මන්නාරම කියන්නේ කතෝලික- දෙමළ අය බහුල ප‍්‍රදේශයක්. මඩු මංගල්‍යය අවස්ථාවේ දකුණේ ඉදන් ගිය සිංහල කතෝලික ජනයාට මැදවච්චියේ ඉදන් යන්න සියලූම පහසුකම් සපයලා තිබුණා. ඔවුන්ට හමුදාවෙන් කන්න බොන්න දීලා, බස්වල ගෙනිහින් ඇරලවා, නැවත ගෙන ආවා. නමුත් මන්නාරමේ සිට ආපු ජනතාවට ඔවුන්ගේ ප‍්‍රදේශයේ තියෙන ප‍්‍රධාන සිද්ධස්ථානයට යන්න රජයෙන් එවැනි පහසුකමක් සපයලා තිබුණේ නැහැ.

ඔබගේ නිරීක්‍ෂණයන්ට අනුව මන්නාරමේ ජන ජීවිතයේ අභ්‍යන්තර තත්වය මොකද්ද?
ඔවුන්ට ප‍්‍රධාන වශයෙන් තියෙන්නෙ බිය. රටේ තියෙන තත්ත්වය අනුව ඔවුන්ට උදව් කිරීමට කිසිවෙක් නැහැ කියන සිතුවිල්ල. චෙක් පොයින්ට් වලදී ඔවුන්ට විඳින්නට සිදුවෙන මානසික හා ශාරීරික පීඩා නිසා ඇතිවී තිබෙන බිය. අනෙක් කාරණය මේ වෙනකොට මන්නාරමේ පවතින සන්නිවේදන අවහිරතා. මන්නාරමේ සියලූම ජංගම දුරකථන විසන්ධි කරලා. පසුගිය ජුනි, ජුලි මාසවල ඉදන් ඔවුන්ට සන්නිවේදන පහසුකම් නැහැ. නමුත් බොහෝ දෙනෙක් දුරකථන සමාගම්වලට තවමත් මුදල් ගෙවනවා. ජනතාව විශ්වාස කරන්නේ ඒවා කපා ඇත්තේ හමුදාවෙන් කියලා. සංචාරයේදී එක් පොලිස් නිලධාරියෙක් අපිට කිව්වා හමුදාව දැන් කරගෙන යන කටයුතු වලට ජංගම දුරකථන භාවිතයෙන් අවාසි වෙන නිසා ඒවා විසන්ධි කර ඇති බව. ඒ වගේම ආරක්‍ෂක නිලධාරීන් තමන්ට හිතෙන හිතෙන වෙලාවට ජනතාව මන්නාරමට ඇතුලූවීම වළක්වනවා. පසුගිය අප්‍රෙල් මාසේ මම මන්නාරමට යනකොට අඩෙයප්පන් කියන ස්ථානයේදී අපව නැවැත්තුවා. කලින් කිසිම දැනුම් දීමක් නැතුව මැදවච්චියත් පහුකරගෙන ආවට පස්සේ සියගණනක් මිනිසුන්ව ඒ විදිහට නතර කරගෙන හිටියා. ඒ එක කාන්තාවකගේ සැමියා මන්නාරමේ. ඇයටවත් තම සැමියා ගාවට යන්න දුන්නේ නැහැ. මම ගියේ කතෝලික පියතුමන්ලා පිරිසක් සමඟ. අන්තිමට පැය2,1/2 ට පස්සේ මන්නාරමේ අගරදගුරුතුමන් මැදිහත්වෙලා අපිට යන්න අවසර අරන් දුන්නා. නමුත් අනෙක් සාමාන්‍ය ජනතාව සමහරු රාත‍්‍රිය මහමඟ ගතකළා. සමහරු ආපහු හැරිලා ආවා.

මන්නාරම නගරය තුළ මොනවගේ වාතාවරණයක්ද වර්තමානයේ පවතින්නේ ?
මන්නාරම නගරයේ ඇ`ඳිරි නීතිය නැති වුනත් සාමාන්‍යයෙන් රාත‍්‍රි හත, අට වෙනකොට මිනිස්සු පේන්න නැහැ. ඝාතනය කිරීම් සහ අතුරුදහන්කිරීම් වැනි සිදුවීම් තවමත් සිදුවීමත්, එවැනි අවස්ථාවල තමන්ට දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට පොලීසිවල ඉඩක් නොමැතිවීමත්, නිලධාරීන් පැමිණිලි තමන්ට ඕන ආකාරයට ලියා ගැනීමත්, පැමිණිල්ලේ කොපියක් වෙනුවට සාරාංශ කළ ලියවිල්ලක් පමණක් දීමත් නිසා මන්නාරමේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ආරක්‍ෂාව ගැන කිසිම විශ්වාසයක් හෝ සහතිකයක් නැහැ.

ඔබට අනුව උතුරු නැගෙනහිර යුද්ධයට සම්බන්ධ තවත් ප‍්‍රදේශ තිබියදීත් මන්නාරමට මෙම ගැටළුව මේ තරම් බලපෑමට හේතුව මොකක්ද ?
ප‍්‍රධානම දේ ගමන් අපහසුව. රජයෙන් උත්සාහ ගන්නවා මන්නාරමට වෙනත් ප‍්‍රදේශවලින් සිදුකරන ඇතුළුවීම් වළක්වන්න. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවතැන්වුවන් ගැන සොයා බලන්න උත්සාහ කරන කොට ඔහුට මන්නාරමට යන්න අවසර දුන්නේ නැහැ. රජය ඊට හේතුව විදිහට කිව්වේ ආරක්‍ෂාව සහතික කරන්න බැහැ කියලා. .ඒක අපිට විශ්වාස කරන්න බැහැ. මොකද කොළඔත් ආරක්‍ෂාව ගැන කිසිම සහතිකයක් දෙන්න බැහැ. කොළඔ කියන්නේ රජයේ පාලන ප‍්‍රදේශයක්. මන්නාරමත් සම්පුර්ණයෙන්ම රජයේ පාලන ප‍්‍රදේශයක්.

ඔබ හිතන විදිහට රජය එවැනි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අපේක්‍ෂාව මොකක්ද?
මම කියන්නේ රජය මන්නාරම හුදකළා කිරීමේ රහසක් තියෙනවා. මීට පෙර මුසලි කියන ප‍්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හිටියා. නමුත් වන්නි ප‍්‍රදේශයේ වගේ ඔවුන්ගේ පරිපාලනයක් එහි තිබුනේ නැහැ. හමුදාවටත් එහි යාමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා කාගේවත් පාලනයක් නොතිබුන ස්වරූපයක් තමයි තිබුනේ. නමුත් එල්.ටී.ටී.ඊ. බලපෑම් මැද්දේ හමුදාව 2007 සැප්තැම්බර් මුසලි ප‍්‍රදේශයේ හිටපු සියලූම සිවිල් ජනතාව පළවා හැරියා. ඊට පස්සේ මුසලි තමන් සම්පූර්ණයෙන්ම අල්ලාගත්තා කියලා රට පුරාම නිවේදනය කළා. නමුත් මන්නාරමට හාරදාහක් විතර ජනතාව පළවාහැර ඔවුන් අල්ලා ගත්තේ භූමිය විතරයි. මෙතැනදී අවතැන් වුන ජනතාවට හමුදාව කීවේ දවස් තුන හතරකින් මුසලි අල්ලගත්තම ඔවුන්ට යළි පදිංචි වියහැකි බවයි. නමුත් දැන් අවුරුද්දකට වැඩියි. තවමත් ඒ අයට මුසලි වලට යන්න අවසර දීලා නැහැ.මොවුන්ගෙන් බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල ඉන්නේ. කඳවුරුවල ඉන්න අයට ඉන් පිටතට යන්න එන්න දීලා තියෙන නිදහස ඉතාමත්ම සීමිතයි. මාසයකට දෙන්න තියෙන සළාකය ඔවුන්ට දෙන්නෙ සති දෙකකට විතර. මේ සියල්ල හමුදාව යටතේ පාලනය වෙන්නේ.

ඔබගේ සංචාරයේදී මන්නාරමේ පිහිටි අවතැන් කඳවුරුවලට ගියාද? එහිදී ඔබ දැකපු තත්ත්වය විස්තර කළොත් ?
ඔව්. මේ කඳවුරුවල එක්තරා සිර කඳවුරක ස්වභාවයක් තිබුණා. මෙහි සමහර අයට කඳවුරෙන් එළියට යන්න දෙන්නේ නැහැ. සමහරු එළියට ගියොත් හවස් වෙන්න කළින් එන්න ඕන. මේකෙ ඉන්නෙ වැරැද්දක් කරපු අය නෙවෙයි. ගොවිතැන් කරගෙන, ධීවර කටයුතුවල නිරත වුණ ඒ අය මතු කරන ප‍්‍රධානම කාරණය, තමන් අනුන්ගෙන් යැපෙන්න අවශ්‍ය අය නොවේ කියන එක. 2007 මුසලි ප‍්‍රදේශය මුදවාගෙන දැන් අවුරුද්දක් ගතවෙලත් 4000ක විතර පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. පසුගිය මැයි මාසයේ නානත්තන් කියන ප‍්‍රදේශයේ රජයේ හමුදාව පෝස්ටර් ගහලා තිබුණා එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අය ඉන්නවා නම් කරුණාකරලා හමුදා කඳවුරු වලට වාර්තා කරන්න කියලා. කලින් එල්.ටී.ටී.ඊ.ය ජනතාවට බලෙන් අවි පුහුණුව දීලා තියෙනවා. විවිධ කටයුතු වලට සම්බන්ධ කරගෙන තියෙනවා. මේ හේතුන් උඩ පෝස්ටර් දැක්කම මිනිස්සු බොහොම බියට පත්වුණා. හුඟ දෙනෙක් පසුගිය මැයි මාසයෙන් පස්සේ ඉන්දියාවට සංක‍්‍රමණය වීම වැඩි වුනේ මේ පෝස්ටරය දැක්කට පස්සේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මොවුන්ට තිබුණ තර්ජනය මොකක්ද? තවමත් එවැනි තර්ජන තියෙනවාද?
දැන් එවැනි තර්ජනයක් නැහැ. නමුත් ඉස්සර එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තමන්ගේ තරුණ දරුවන් අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් බලෙන් ඔවුන්ගේ හමුදාවට බඳවා ගන්නා නිසා මිනිස්සු හමුදා පාලන ප‍්‍රදේශවලට පැන ආවා. නමුත් මෙහෙම ළමුන් පිටමං කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය අවසර දෙන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් දක්වන්න ඕන. මේ නිසා ගොඩක් අය බෝට්ටු අරන් මුහුදෙන් ගිහින්, කැලෙන් පුල්මුඬේ පැත්තෙන් හරි, බටහිර ඉවුර දිගේ හරි පැනලා එනවා මන්නාරමට. ඊටත් අමතරව දෙපාර්ශ්වයේ යුධ මෙහෙයුම් නිසා ජීවිත ආරක්‍ෂාව පතන සමහරු මන්නාරමට එන්න පටන් අරන්. මෙහෙම අවතැන් වෙලා එන මිනිස්සුන්ව හමුදාව කලිමුන්ඩායි සහ තිරුක්කුන්ඩාල් කියන කඳවුරුවල රඳවලා තියෙන්නේ. පසුගිය මාර්තු මාසේ මේක පටන් ගත්තේ. දැනට කලිමුන්ඩායි කියන කඳවුරේ මිනිස්සු පන්සිය දෙනෙක් විතර ඉන්නවා. ජුලි විවෘත කරපු තිරුක්කුන්ඩාල් කඳවුරේ සිය දෙනෙක් විතර ඉන්නවා.

මේ කඳවුරුවල ඉන්න පිරිස් හමුදා රැකවරණය පතා මන්නාරමට පැමිණි අයද?
ඔව්. වඩා හොඳට ආරක්‍ෂිතව ජීවත් වෙන්න හිතාගෙන ඔවුන් ආවේ. වයස අවුරුදු 3-4 කුඩා ළමුන්ගේ පටන් වයසක වැඩිහිටි අය දක්වා පවුල් පිටින් මේකේ ඉන්නවා. මේ සියලූ දෙනාගේම නෑදෑ හිත මිතුරන් කොළඔ, මඩකළපුව, වව්නියාවේ සහ මන්නාරම අවට ඉන්නේ. ඒත් ඔවුන් ලගට යන්න මේ අයට ඉඩ දෙන්නේ නැහැ. දැන් ඔවුන් කියන්නේ තමන් හිටියටත් වඩා අන්ත ජීවිතයකට ඇඳ වැටුන බවයි. රැකියාවකට කඳවුරෙන් පිටතට යනවානම් පාස් එකක් ගන්න ඕන. ඇපකාරයෙක් කඳවුරේ රඳවන්න ඕන. ධීවරයෝ හවසට ඇවිත් තමන්ගේ බෝට්ටු එන්ජින් හමුදාවට යළි බාර දෙන්න ඕන. මෙච්චර කාලයක් රඳවාගෙන ඉදලා මෑතකදී ගැබිණි කාන්තාවන් සහ යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක සිසු පිරිසක් නිදහස් කරා. තවත් කීප දෙනෙක් ඉන්නවා. මේ කඳවුරු කම්බි ගහලා වට කරලා අවට ලෝකෙන් වෙන් කරලා තියෙන්නේ.

කඳවුරුවල ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් රජය ඔවුන්ට සපයා තිබෙනවාද?
කලිමුන්ඩායි කඳවුරේ සියලූ අවශ්‍යතා සපුරන්නේ රාජ්‍ය නොවන සංවිධාන. තිරික්කුන්ඩාල් කඳවුර ප‍්‍රධාන වශයෙන් රජය භාරයේ තියෙන්නේ. ලෝක ආහාර වැඩ සටහන මගින් දෙන ආහාර තමයි රජය ඒ කඳවුරේ බෙදා හරින්නේ. මේ කඳවුරේ පාසැල් යන වයසේ ළමයි එකසිය විසි හයක් විතර ඉන්නවා. ඔවුන්ට කඳවුර අසල පාසලට යන්න පුළුවන්. නමුත් උසස් පෙළ හදාරණ ළමුන්ට සමහර විෂයන් ඉගෙන ගන්න මන්නාරමට හෝ වව්නියාවට යාමට අවශ්‍ය වුණත් රජය ඊට අවසර දෙන්නේ නැහැ. රෝග සඳහා ප‍්‍රතිකාර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී වුණත් මන්නාරම රෝහලට යන්න හමුදාව අවසර නොදීපු අවස්ථා තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය පැත්තෙන් ගත්තොත් කඳවුරුවල වාතාවරණය ඒතරම් හොඳ නැහැ. දවසකට නයි පනහකට වැඩිය කඳවුරුවල ඉඳලා මරනවා. වැසිකිලි පහසුකම්ද අවමයි.

ඔබ හිතන විදිහට මේ ආකාරයට කඳවුරු ගොඩනැඟීමේ රජයේ අරමුණ මොකක්ද?
ඔවුන් ටිකෙන් ටික කඳවුරු වැඩිකරනවා. අලූත්ම කඳවුර හැදුවේ පහුගිය ජුලි මාසයේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළ නොකළ වාර්තාවක සඳහන් වෙලා තියෙනවා රජය මෙහෙම දිගටම කඳවුරු හැදීමේ අවදානමක් තියෙන බවට. දැනට ආරංචි ලැබිලා තියෙන විදිහට වව්නියාවෙත් මේ වගේ කඳවුරක් හදන්න ඉඩකඩ තියෙනවා. රජය වන්නියේ ඉන්න ජනතාවට රජයේ පාලන ප‍්‍රදේශවලට එන්න කියලා කියන්නේ ඔවුන්ව මෙහෙම කඳවුරුවල රඳවගන්න. මේක සම්පුර්ණයෙන්ම අන්තර්ජාතික මානව හිමිකම් ප‍්‍රමිතීන්වලට විරුද්ධයි. අවතැන්වුවන්ට තමාට කැමති තැනක ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඔවුන්ගේ පවුල් වලට එකට ඉන්න තියෙන අයිතිය රජය කඩ කරලා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් නැතුව බලෙන් අවතැන් කඳවුරක රඳවාගෙන සිටිනවා. කඳවුරේ සමහර අයගේ මව පියා මන්නාරමේ පදිංචියි. නමුත් කඳවුරේ පිහිට පතාගෙන ආපු පුතාට දෙමව්පියන් ළඟට යන්න දෙන්නේ නැහැ. මේ තත්වය බාහිර ලෝකෙට වාර්තා වෙන්නෙත් නැහැ. හේතුව මාධ්‍යවේදීන්ට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට කඳවුරට ඇතුල්වෙන්න අවසර නොදීම නොදීම. ඇතුල්වෙන්න දෙන්නේ සහන සේවකයින්ට සහ ආගමික නායකයින්ට පමණයි. ඔවුන්ට කඳවුර තුළට කැමරා හෝ ජංගම දුරකථන ගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ. රජය දැඩි උත්සාහයක් දරනවා මේ කඳවුරුවල සෑබෑ තත්ත්වය ලෝකයෙන් වසන් කරන්න. රජයේ මේ ක‍්‍රියා කලාපය ගැන තවමත් ජාත්‍යන්තරයට කිසිඳු හෝඩවාවක් ලැබී නැද්ද? පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී මන්නාරමේ හිටපු පියතුමෙක් මේ තත්ත්වය ගැන හෙළිදරව්වක් කළා. එහිදී රජය ඒ කතාව සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. රජයේ අදහස තම පාලන ප‍්‍රදේශය තුළ කිසිඳු ජාතිකයකුගේ මානව හිමිකම් උල්ලංඝණය නොවන බවයි.

Back to Home page

Thursday, September 18, 2008

තමන්ගේ ස්වාධිපත්‍යය තමන් විසින්ම නැති කර ගැනීම

ආර්. සම්බන්දන්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
දෙමළ ජාතික සන්ධානය

ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’

සම්බන්ධන් මහතාගේ ප‍්‍රකාශය තුළ වන්නියේ සිවිල් වැසියන්ගේ අසීරුතාවන් සහ එක්සත් ජාතීන්ගේ භූමිකාව ගැන තවදුරටත් දැක්වූ අදහස් කිහිපයක් පහත පරිදි වේ.

රජයේ හමුදාවන් විසින් වන්නියේ මේ ප‍්‍රදේශවලට දිනපතා දිවා රාත‍්‍රී එල්ල කරන කාලතුවක්කු ප‍්‍රහාර සහ නිරන්තරයෙන් සිදුකරන ගුවනින් බෝම්බ හෙලීම් නිසා නිරායුධ සිවිල් වැසියන් ලක්ෂ දෙකක් පමණ පිරිසක් සිය නිවාස වලින් බලෙන් පිටමන් කෙරුණ තත්වයකට පත්ව තිබෙනවා.

පෙර නොවූ ආකාරයෙන් සිදුකරන මෙවැනි ප‍්‍රහාරයන් ලෝකයේ කවර තැනක කවර කලෙක සිදුවූවත්, එය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව බැලූවිට ඉතාම නරක ලෙස පෙනෙනවා.

මෙම ගුවන් ප‍්‍රහාර වල නොසැලකිල්ල පෙන්වන හොඳම උදාහරණයක් නම් ඊයේ රාත‍්‍රියේදී සිදුවූ ගුවන් ප‍්‍රහාරයකින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ රජයේ සේවකයෙක් වන සොඛ්‍ය අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳට තම නිළ නිවාසයේ නින්දේ සිටියදී තුවාල සිදුවුණා.

මෙවැනි අවස්ථාවකත් මෙම අසරණ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සහන සේවයේ නිරත වන එක්සත් ජාතීන් සහ ඔවුන්ගේ අනුබද්ධ ආයතන වලටත්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලටත් අප කෘතඥ වෙනවා.

රජයට මෙම පුද්ගලයන් ගැන කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනෙන් ලබා දෙන සුළු ආහාර ප‍්‍රමාණය හැර වෙන කිසිවක් ලබා දීමට රජයට හැකිවෙලා නැහැ.

භයානකම දෙය නම් ඉදිරියේදී ඇතිවීමට නියමිත තත්වය මීටත් වඩා භයානක එකක් වීමයි. සාමාන්‍ය මතය නම් ඉදිරි සතිවලදී තවදුරටත් ප‍්‍රහාරයන් ප‍්‍රබල වීමත් සමග තවදුරටත් අවතැන් වීම්ල මරණ සහ විනාශයන් වැඩිවීමයි. එසේම ඉදිරියේදී එන මෝසම් වර්ෂාවෙන් මේ සිවිල් ජනතාවගේ තත්වය තවදුරටත් ශෝකීජනක තත්වයක් බවට පත්වෙනවා.දෙමළ ජනයාගේ නීත්‍යනුකූල දේශපාලන අපේක්ෂාවන් අසාධාරණ ලෙස බලහත්කාරයෙන් මර්දනය කිරීමට දරණ ශ‍්‍රී ලංකා රජයේ මේ උත්සාහයේදී රජය තමන් බැදී සිටින ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් බරපතල ලෙස උල්ලංඝණය කරනවා.

ප‍්‍රහාරවල වර්ධනයත් සමගම සහන සේවකයින්ට මෙම ප‍්‍රදේශවලට යෑමට නොහැකිවීම නිසා මානුෂීය සහන සැලසීමේ බරපතල අර්බුදයක් වර්තමානයේ ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අවතැන් වූ ජනයාට අවශ්‍ය වාසස්ථානල ආහාරල වෛද්‍ය පහසුකම්ල පානීය ජලය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ රෝහල් පහසුකම් ආදිය අහිමිවීමෙන් කාන්තාවන් සහ ළමයින්ද ඇතුළු දෙමළ සිවිල් වැසියන් වඩා ශෝචනීය තත්වයකට පත්ව සිටිනවා.

පුද්ගලයන් අතුරුදහන් කිරීම් සහ මරණයට පත්කිරීම් රට පුරාම අඛණ්ඩව සිදුවන සංසිද්ධියක්. එය උතුරු නැගෙනහිර වගේම දිවයිනේ ඕනෑම තැනක සුලභව සිදුවෙනවා. ‍

තවමත් ශ‍්‍රී ලංකාවේ රජය මෙය අවසානයක් දක්වා ගෙන යන්නේ නැහැ.රජයේ එකඟතාවක් නොවූ නිසාල එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය ලබන නිරීක්ෂණ යාන්ත‍්‍රණයක් ලංකාවේ පිහිටුවීමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වුණා. ඉහත දැක්වූ උල්ලංඝනයන් අවසන් කිරීමට රජයට වුවමනාවක් ඇත්නම් එය එවැනි යාන්ත‍්‍රණයක් පිහිටුවීමෙන් වර්ධනය වන බව මගේ අදහසයි.

නමුත් ශ‍්‍රී ලංකා රජයට මෙය පිහිටුවීමටත් කිසිඳු උවමනාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණයක් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව නිදහසට කරුණක් ලෙස ශ‍්‍රී ලංකා රජය දක්වා සිටින්නේ ශ‍්‍රී ලංකා රජයට ස්වාධිපත්‍යයක් හිමි බවයි. එහෙත් ස්වාධිපත්‍යයට මූලික අයිතිවාසිකම්ද අන්තර්ගත වෙනවා.මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් නොගැලවිය හැකි සේ එකට බැඳී පවතිනවා. ලංකාවේ රජය මෙය වටහා නොගෙන දරුණු ලෙස මානව හිමිකම් සහ රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරමින් සිටිනවා. ඒ අනුව ලංකාවේ රජයම ලංකාවේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරමින් විනාශ කිරීමට දායකවී සිටිනවා.

Back to HOME page
වැඩි සෙනේ දබරෙටලූ
මව්බිමට අසීමිත ලෙස ආදරය කිරීම
මවිබිමට අහිතකරය

තමන් තම ජර්මන් මව්බිමට අසීමිත ලෙස ආදරය කරන
බව පැවසුවේ වෙනින් කවුරුවත් නොව ජර්මන් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර්ය. පළමු ලෝක යුද්ධ පරාජයේ තුවාලවල වේදනාවෙන් සිටි ජර්මන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් හිට්ලර් මව්බිම වෙනුවෙන් යුදෙව්වන් ලක්ෂ 20 ක් සමූල ඝාතනය කළේය. ජර්මන් ජනතාව මව්බිම වෙනුවෙන් එම මහා අපරාධය ඉවසා සිටියෝය. යුද්ධය අවසාන වුයේ ජර්මනිය බිමට සමතලා කරමිනි. එය දකින්නට හිට්ලර් ජීවත් නොවුයේය. එහෙයින් කෙනෙකු තම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පවසන විට අපට දැනෙන්නේ බියකි.

වන්නි ප‍්‍රදේශයේ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට යටත් ප‍්‍රදේශවලින් සැප්තැම්බර් 30 වන දිනට පෙර ඉවත්වන ලෙස ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) හැර අනෙකුත් සියලූ සංවිධාන වවුනියාව කරා පැමිණෙමින් තිබේ. ආණ්ඩුව ඔවුන්ට පවසා ඇත්තේ වවුනියාවේ සිට තම කටයුතු කරගෙන යන ලෙසයි. පසුගිය කාලය මුළුල්ලේම වන්නියේ අපා දුක් විඳින ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ අනෙකුත් මානුෂික සේවා සැලසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන් සහ සේවිකාවන් විසිනි. ඔවුන් ඉවත්ව යාමත් සමඟම රජයේ හමුදාව සහ එල්.ටී.ටී.ඊ ය අතර වන්නියේදී ඇතිවන සටනට සෘජුවම නිරාවරණය වීමට එහි වෙසෙන ලක්ෂ දෙකකට අධික සිවිල් වැසියන් පිරිසට සිදුවේ.

දැන්, දකුණේ සිටින දේශපේ‍්‍රමීන් සතුටින් පිනායනු ඇත. එක්සත් ජාතීන්ද, අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හෙවත් අයි.එන්.ජී. ඕ ද රට බෙදීමට හවුල්වන කුමන්ත‍්‍රණකාරීන් හැටියටත්, එල්.ටී.ටී.ඊ යට උදව් දෙන්නන් හැටියටත් පසුගිය කාලය තිස්සේ හංවඩු ගසා තිබු බැවින්, දැන් මේ ද්‍රෝහීන් පිරිස පළවා හැරියා යැයි සතුටු වනු ඇත. මේ කුමන්ත‍්‍රණ න්‍යාය ලංකාවේ පතුරුවා හරින ලද්දේ අප මහා ගුණදාස අමරසේකරයන් විසින් ප‍්‍රඥංකූරයෙකු ලෙස අභිෂේක කරන ලද විමල් වීරවංශ ඇතුළු පිරිස විසිනි. මහපාරේදී ඉදිරිපත් කළ මේ මතය ‘දිවයින’, ‘අයි.ටී.එන් ’ හා ‘රූපවාහිනිය’ හරහා ගොස් දැන් මහින්ද රාජපක්ෂ තුමා අතට පත් වී ඇති අතර, විදේශ මාධ්‍යවේදීන් හමුවේ එතුමා කියා ඇත්තේ, තමා එල්.ටී.ටී.ඊ.ය කුඩු පට්ටම් කර දමා ප‍්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් පූස් පැටවුන් දෙන්නෙකු මෙන් අල්ලා ගන්නා බවත්, ඉන් පසුව යු.එන් එකට සහ අයි.එන්.ජී. ඕ වලට නැවතත් වන්නියට යා හැකි බවයි.

මේ සංවිධාන වනාහි ජාත්‍යන්තර සම්බන්ධතාවල පුරුක්ය. විදේශ බලපෑම්වලට ඇති විරුද්ධත්වය නිසා යු.එන් එකට හෝ අයි.එන්.ජී. ඕ වලට විරුද්ධ වෙනවා නම් තවත් විරුද්ධ විය යුතු විදේශීය බලපෑම් ඕනෑ තරම් ලංකාවේ තිබේ. මහජන සේවා සපයන ප‍්‍රධාන ආයතනවල සම්පුර්ණයෙන්ම හෝ කොටසක ප‍්‍රාග්ධන හිමිකාරීත්වය දරන්නේ විදේශ සමාගම් විසිනි. තෙල් සැපයුමෙන් 1/3 ක් ඉන්දියානු අයි. ඕ.සී සමාගම සතුය. ගෑස් ඒකාධිකාරය නෙදර්ලන්ත ෂෙල් සමාගමටය. ( දේශීය සමාගමට තිබෙන්නේ නගුට සෙලවීම පමණි.) ටෙලිකොම් සමාගම අයිති ජපානයට හා මැලේසියාවටය. ජංගම දුරකතන වෙළෙඳපොළේ වැඩි කොටස මැලේසියානු ටෙලිකොම් සමාගමට අයත්ය. පිටි ඒකාධිකාරය ප‍්‍රීමා සමාගම සතුය. කොළඹ නගරයේ වටිනා ඉඩ-කඩම්වල අයිතිය විදේශීය සමාගම් විසින් පාලනය කරයි. මේ ආකාරයට මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගු කළ හැකි අතර, ජන ජීවිතයට බලපාන තීරණ බොහෝමයක් මේ වන විට ගන්නේ ආණ්ඩුව විසින් නොව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට අනුවය. එහෙත් යු.එන් එකට සහ අයි.එන්.ජී. ඕ වලට විරුද්ධව බෙරිහන් දෙන විමල් වීරවංශ, චම්පික රණවක, ඇතුළු මහත්වරුන් ඒ පිළිබඳව කතා නොකරන්නේ, කතා කළදාට බෙල්ලෙන් අල්ලා ඉවත දමන බව දන්නා නිසාය. මෙන්න මේ දෙබිඩි පිළිවෙතට සාමාන්‍ය මිනිස්සු කියන්නේ කුහකකම කියාය. අප කිව යුත්තේ තක්කඩිකම කියාය.

නමුත්, ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයන් කිසිවෙකු තේරුම් නොගන්නේ එල්.ටී.ටී.ඊ යට අවශ්‍ය දෙය ආණ්ඩුව විසින් කරවීමට තමන් ක‍්‍රියාකර ගෙන යන බවයි. එනම් එල්.ටී.ටී.ඊ ය විසින් කල් යල් බලා අටවන ලද උගුලක් වෙතට ආණ්ඩුව ගෙන යන බවයි. සියළු සහන සේවකයන් ඉවත් වු පසු සිදුකරන ගුවන් ප‍්‍රහාර ඇතුළු යුද්ධය මඟින් වන්නිය තුළ කොටු වී සිටින ලක්ෂ දෙකක පමණ ජනතාවට සිදුවන්නේ කුමක්ද? ඔවුන්, ආණ්ඩුවේ පාලන ප‍්‍රදේශ දෙසට නොව මුලතිව් දෙසට එනම්, තව තවත් එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශ දෙසට ඇඳී යන තත්ත්වයක් යටතේ ඇතිවිය හැක්කේ මානුෂික ඛේදවාචකයකි.

සම්පුර්ණයෙන්ම දෙමළ ජනතාවගෙන් සමන්විත එම ප‍්‍රදේශ කරා සම්පුර්ණයෙන්ම පාහේ සිංහල සොල්දාදුවන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා හමුදාව ගමන් කිරීමේදී ඇතිවන ජීවිත සහ දේපල හානි ‘ජන සමූල ඝාතනයක් ’ ලෙස පෙන්වීමට එල්.ටී.ටී.ඊ යට හැකියාව ලැබේ.මෙහිදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ප‍්‍රක්ෂේපන තුනක් ගොඩනැඟිය හැකිය.

1. එක්කෝ ශ‍්‍රී ලංකා හමුදාව විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය කෙටි කාලයක් තුළ සම්පුර්ණයෙන්ම පරාජය කොට භූමිය නිදහස් කර ගත යුතුය.

2. නැත්නම් එල්.ටී.ටී.ඊ ය විසින් ශ‍්‍රී ලංකා හමුදාව තීරණාත්මක ලෙස පසු බස්වා තම බලය තහවුරු කර ගත යුතුය.

3. මේ දෙකම කෙටි කාලයක් තුළ සිදු නොවී යුද්ධය දිග් ගැස්සුනොත් ඇතිවිය හැක්කේ ජාත්‍යන්තර මානුෂික මෙහෙයුමකි. මෙම තත්ත්වය පිළිබඳ ආණ්ඩුව කල්පනා කොට ඇද්ද යන්න ඉතා සැක සහිතය.

ශ‍්‍රී ලංකා රජය ස්වාධිපත්‍යය පිළිබඳ නිතරම මහ ඉහළින් කතා කළත්, ස්වාධිපත්‍යයට පාලන බලතල පමණක් නොව මානව හිමිකම් ද ඇතුළත් වන බවත්, මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුමක් ලංකාවේ පිහිටුවීමට යෝජනා කළවිට රජය එය ප‍්‍රතික්ෂේප කළ බවත්, එසේ නම් රජය විසින් තම රටේ මානව හිමිකම් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ආරක්ෂා වන බවට වගබලා ගතයුතු බවත්, එසේ නොමැතිව රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නොතකමින් යුද්ධය ඉදිරියට ගෙන යන්නේ නම්, තම රටේ ස්වාධිපත්‍යය තමන් විසින්ම නැති කර ගැනීමට ක‍්‍රියා කිරීමක් හා සමාන බවත් පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ඇයිදැයි විමසීම අප කාටත් ප‍්‍රයෝජනවත් වනු ඇත.

back to HOME page