Sunday, January 25, 2009

සමබිම කලාප 50 සපුරයි
සමබිම අතිරේකය කලාප 50ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන් ලංකාවේ ප‍්‍රධාන සිංහල පුවත්පත් කතුවරුන් දැක් වූ අදහස්....


නාරද නිශ්ශංක
දිවයින නියෝජ්‍ය කර්තෘ
කුමන ජාතියක, කුමන දේශපාලන පක්ෂයක, කුමන මතවාදයක් දරණ ජන කොටසකගේ වුවත් පුරවැසි අයිතීන් උල්ලංඝනය වෙනවා නම් එය කණගාටුදායකයි. සදාචාර සම්පන්න මාධ්‍ය වගකීම එම පුරවැසි අයිතීන් උල්ලංඝනය වීම වැළැක්වීම. එක පුරවැසිභාවයක් තියෙන රටක ඉන්න අපේම තවත් සහෝදර ජන කොටසකට වෙන අසාධාරණයකදී අපි එය පිටු දැකිය යුතුයි. මේ රටේ සියලූ පුරවැසියන් සමාන වෙන්නේ මැතිවරණයකදී විතරයි. මැතිවරණයෙන් පසු ජීවත් වීමේදී හා සෙසු කටයුතුවලදී ඒ සමානත්වය අදාළ වෙන්නේ නැහැ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට විරුද්ධව අතීතයේ එක්තරා කාලයක පෙරමුණ අරන් සටන් කරපු අයගේම පාලන කාලයේදීත්, තිබුණාට වඩා දරුණු විදිහට මානව අයිතීන් උල්ලංඝනය වෙනවා. මේක පක්ෂ, පාට, පිල් බෙදිලා තක්සේරු කරන්න බැහැ. පොදුවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කරල තියෙන අයිතීන් හෝ රැකදීමට බැරි රටක කරන කතාවල තේරුම මොකක්ද? අද තමන්ට ආරක්ෂාව අවශ්‍යයි කියලා හිතන අයට ආරක්ෂාව දෙන්නේ නැහැ. තමන්ට අනතුරක් තියෙනවා කියලා කිවුවාම පෙරළා කියනවා ”එයා හිතන තරම් අනතුරක් එයාට නැහැ. අනතුරු හිතින් මවා ගෙන” කියලා. රජයේ අයට තියෙන ආරක්ෂාව අනෙක් අයට දෙනකොට පක්ෂ හරස් වෙලා. ආරක්ෂාව ඉල්ලපු මිනිහාව නිදැල්ලේ අරිනවා මරණය කරා. ඊට පස්සේ චෝදනා කරනවා ත‍්‍රස්තවාදයට. මේ සිදුවන අමානුෂික ඝාතන ත‍්‍රස්තවාදී ක‍්‍රියා නෙවෙයි. මේවා අපිට අනුමත කරන්න බැහැ. දේශපාලන පක්ෂවල වරප‍්‍රසාද ලබන අයට ඒක සරල ඇති. නමුත් අපිට එය සරල නැහැ.අද මාධ්‍යයට නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බැහැ. අපි අතීතයේ සිදු වූ දේ ආදර්ශයට අරන් අනාගතය නිවැරදි කර ගැනීම කළ යුතු වෙලාවක සිදුවන්නේ වර්තමානය සහ අනාගතය තව තවත් අඳුරට යෑමයි. මානව හිමිකම් කියන කොටම සමහර අය මේවා NGO වැඩ කියලා කියනවා. නමුත් ඒක නෙවෙයි ප‍්‍රශ්නය. ඊට අදාළ කාරණය. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය තවත් කෙනෙකුට උදුරා ගැනීමට ඉඩ දිය නොහැකියි. දේශපාලන පක්ෂ, ජාති, වර්ග අනුව වෙන් නොකර ගෞරවාන්විත මිනිසුන් ලෙස ජීවත්වීම ඉඩ ලබාදීම අපි උතුම් ලෙස සලකනවා. මානව හිමිකම් පිළිබඳ ලිවීම, කතා කිරීම ඉතා අවදානම්, අසීරු පසුබිමක මෙවැනි අතිරේකයක් කිරීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. මේ රටේ පුරවැසි අයීතීන් ආරක්ෂා කිරීමට මාධ්‍යයකින් වෙන්න ඕන භාරදුර කාර්යයක් කිරීම ගැන සමබිමට ස්තූතිවන්න වෙන්න ඕන.



මොහාන් ලාල් පියදාස
ඉරුදින ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් රැකදීම වෙනුවෙන් මොනම මාධ්‍යයක් හෝ පෙනී සිටිනවා නම් එය අගය කළ යුතුයි. වසරක වගේ කාලයක් සිය පුවත්පතේ පිටුවක් මානව හිමිකම් හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කිරීම තුළ රාවය පුවත්පතේ තිබූ කැපවීමද අගය කළ යුතුයි. මේ බොහෝ දෙනෙක් කරන්න අකමැති කර්තව්‍යයක්. මානව හිමිකම් සම්බන්ධ තොරතුරු හා ඒ සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් පාඨකයා දැනුවත් කිරීමට දැරූ මේ උත්සාහය වර්තමානයේ කෙසේ වෙතත් අනාගතයේ ඉතාම වැදගත් වෙයි.



ජටිල වැල්ලබඩ
ලක්බිම ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් වෙනුවෙන් පත‍්‍රයක පිටුවක් වෙන් කිරීම ලොකු දෙයක්. කුමන ආකාරයට හෝ මානව හිමිකම් ගැන කතා කරන එකත්, ඒ පිළිබඳ සමාජමය වශයෙන් අවබෝධයක් ලබාදීමත් යහපත් දෙයක්. ඒ ගැන සාකච්ඡා කළොත්, කතිකාවක් ඇති කළොත් පමණයි ඊට ගරු කරන්න සමාජයක් පෙළඹෙන්නේ. ඒ වගේම එතුළින් මානව හිමිකම් සම්බන්ධයෙන් සමාජය ඉන්න ස්ථානය නිශ්චිත කර ගන්න පුළුවන් වෙනවා වගේම එතැන සමාජයේ අවධානයටත් ලක් වෙනවා. ඒ නිසා අපි හැමෝම එකිනෙකාගේ අයිතීන්වලට ගරු කළ යුතුයි.








තිලකරත්න කුරුවිටබණ්ඩාර
සියත ප‍්‍රධාන කර්තෘ
අපේ රටේ විටින් විට විවිධ යුගවල මානව හිමිකම් උල්ලංඝනයවීම් බහුලව සිදුවුණා. හැම රාජ්‍ය පාලන කාලයකම සමහර අවස්ථාවල ඉතාම දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවුණා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන මේ මූලික වරද සිදුවුවහොත් ඉන්පසු මුළු සමාජ සංස්ථාවම නාය යෑමකට ලක් වෙනවා. අවසානයේදී සිදුවන්නේ එය සෝදාපාලූවීම. පුවත්පතක් තමන්ගේ අයිතිවාසිකම්, හිමිකම් මොනවාද කියලා ජනතාවට අවබෝධයක් ලබා දෙනවා නම් එය ඉතා වැදගත්. එය කිරීමේ වගකීම පුවත්පත් වලට තියෙනවා. එවිට මානව හිමිකම් පැහැර හරින්න, උල්ලංඝනය කරන්න බලධාරීන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයකට පත් වුණාම මිනිස් අයිතීන් ආරක්ෂා වෙලා සමාජයේ ස්ථාවරභාවයක් ඇතිවෙයි. පුවත්පතක් මෙම යුතුකම ඉටු කරන අවස්ථා අඩුයි. බොහෝ පුවත්පත් හා මාධ්‍ය සිය යුතුකම පැහැර හරින විට ගත වූ වසර තුළ වගේම පසුගිය දස වසරක කාලය තුළත් රාවය ඒ යුතුකම ඉටු කළා..





සිරි රණසිංහ
ලංකාදීප ප‍්‍රධාන කර්තෘ

මීට දශක එකහමාරකට විතර කලින් මිනිස් මූලික අයිතිවාසිකම් මාධ්‍යයෙන් කතා නොකළ විෂයක්. නමුත් විශේෂයෙන්ම පසුකාලීනව උසාවියේ මූලික අයිතිවාසිකම් සංවාදයට ලක්වීම ඇරඹීමත් එක්ක මේ ගැන කතාබහ කිරීම සිදුවුණා. පුවත්පත් වලින් මානව හිමිකම් ගැන කතා කිරීම බොහොම අඩු තත්ත්වයකදී රාවය ඒ වෙනුවෙන් සම්පූර්ණ පිටුවක් වෙන් කිරීම නිසා මේ රටේ ජනතාවට ලොකු වාසියක් සිදුවුණා. පුරවැසියන් වශයෙන් තමන්ගේ අයිතිවාසිකම් මොනවාද, ඒවා රැක ගන්නේ කොහොමද, තමන් ඒ වෙනුවෙන් මොනවද කළ යුත්තේ කියන කාරණය ගැන දැනුවත්වීමට එමඟින් අවස්ථාවක් සැලසුණා.ඒ වගේම මූලික මිනිස් අයිතීන් කඩවෙන අවස්ථාවලදී ගවේශනාත්මකව සොයා බලා කාලීනව වාර්තා කිරීම තුළින් මම දකින්නේ මෙය සිවිල් සමාජයට සිදුවුණු විශාල මෙහෙවරක් ලෙසයි. මෙවැනි සාකච්ඡාවක් මාධ්‍යයක් පිටුවක් තුළින් විවෘත කිරීම සිවිල් සමාජයේ ජයග‍්‍රහණයක්. අද එහි ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට, ක‍්‍රියා කිරීමට පිරිසක් පෙළඹිලා තියෙනවා. පත‍්‍රයක් විදිහට ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකදීමට රාවය පත‍්‍රයේ මෙම පිටුව කළ මෙහෙවර ඉතා විශිෂ්ටයි.

back to home

Monday, January 19, 2009

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පුරවැසි සංවිධාන ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි

මෙම සාකච්ඡාවේදී අප උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිමය ප‍්‍රතිපාදන එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පුරවැසියන්ට ඇති වගකීම පිළිබඳව සවිස්තර ලෙස සාකච්ඡා කිරීමටය.

පරමාධිපත්‍යය
පළමුව අපි පරමාධිපත්‍යය යන සංකල්පය වටහා ගනිමු. නූතන ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් හි පරමාධිපත්‍යය ජනතාව සතු බව පිළිගැනෙනවා. මේ තත්ත්වය ආරම්භ වුයේ 1789 ප‍්‍රංශ විප්ලවයෙන් පසුවයි. එතෙක් දෙවියන්ගෙන් වරම් ලැබු රජු සතුව පැවති පරමාධිපත්‍යය බලය ඉන් පසු ජනතාව සතු වුණා. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එම පරමාධිපත්‍යය බලය අත්හැරිය නොහැකි බවත් සඳහන් කරනවා. පරමාධිපත්‍යයට ආණ්ඩු පාලන බලතල, සර්වජන ඡන්ද බලය සහ මුලික අයිතිවාසිකම් ඇතුළත්
වෙනවා.

මුලික අයිතිවාසිකම් පිළිබඳ රජයේ වගකීම
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම්, රජයේ සියළු ආයතන විසින් ගරු කළ යුතු බවත්, ආරක්ෂා කළ යුතු බවත්, වැඩිදියුණු කළ යුතු බවත්, ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාවෙන් දැක්වෙනවා.

උල්ලංඝණය වීමකදී ගතහැකි පියවර
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මුලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් ලෙසින් උල්ලංඝණයට ලක් වු හෝ උල්ලංඝණයට අත්‍යාසන්න වු අවස්ථාවකදී ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට සෑම පුද්ගලයෙකුටම හිම්කම් ඇති බව 17 වැනි ව්‍යවස්ථාව දක්වනවා.
126 වන ව්‍යවස්ථාව මගින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරෙනවා. ඒ අනුව විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් මුලික අයිතිවාසිකමක් (හෝ භාෂා අයිතිවාසිකමක් ) උල්ලංඝණය වීම සම්බන්ධ ඕනෑම ප‍්‍රශ්ණයක් පිළිබඳ විභාග කොට තීරණය කිරීමේ සම්පුර්ණ සහ අනන්‍යනය අධිකරණ බලය හිමිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

කිසියම් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ යේ යැයි හෝ උල්ලංඝණය වීමට ආසන්නව ඇතැයි අදහස් කරන පුද්ගලයෙකු එම සිදුවීමෙන් මාසයක කාලයක් ඇතුලත, තමන් විසින් හෝ තම නීතිඥයා මගින් හෝ අදාළ උල්ලංඝණය වෙනුවෙන් සහනයක් හෝ ප‍්‍රතිකර්මයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

මේ අනුව පැහැදිලි වන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් වීමක් සම්බන්ධව ක‍්‍රියා කිරීමට බලය ඇති ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.

අයිතිවාසිකමක් උල්ලංඝණය වීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමෙන් රජයේ බලතල සහ පුද්ගලයාගේ අයිතිවාසිකම් පිළිබඳ සීමාව සලකුණු කොට ඒ පුද්ගලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩ ප‍්‍රස්තාව සැලසෙනවා. මෙයට අමතරව මේ එක් එක් නඩු තීන්දුව මඟින් මුලික අයිතිවාසිකම් අර්ථකතනයට ලක්වීමෙන්, අයිතිවාසිකම් වල විෂය පථය පුළුල් වීමක් ද සිදු වෙනවා.

වරප‍්‍රසාද අඩු අය වෙනුවෙන්
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් ප‍්‍රතිපාදන පිළිබඳව ඇති වු එක් විවේචනයක් නම් එය ”තරු පහේ හෝටලයකට ගොස් ආහාර ගැනීමට ඇති අයිතිවාසිකම” වැන්නක් බවයි. තරු පහේ හෝටලයකින් ආහාර ගැනීමට ‍සෛද්ධාන්තික ව බැලූවහොත් ඕනෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තිබෙනවා. නමුත්, මෙතනදී අමතක කරන සාධක දෙකක් තිබෙනවා.

එකක් ආර්ථීක සාධකය. අනෙක සංස්කෘතික සාධකය. එවැනි හෝටලයකින් ආහාර ගැනීමට නම් ප‍්‍රමාණවත් ආර්ථික මට්ටමක් මෙන්ම අදාළ චාරිත‍්‍රවාරිත‍්‍ර පිළිබඳ පුරුද්දකුත් තිබිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට මේ සාධක අදාළ වෙනවා. මෙම නඩු පැවරීම කළ හැක්කේ කොළඹදී පමණක් වීමත්, මාසයක කාලයක් තුළ එය සිදුකළ යුතු වීමත්, ප‍්‍රවීණතාවයක් සහ පරිචයක් ඇති නීතිඥයකුගේ සහය ලබා ගැනීමට අවශ්‍ය වීමත් යන හේතු සාධක නිසා ප‍්‍රමාණවත් මුදලක් මේ සඳහා යොදවන්න සිදුවෙනවා. අනෙක් අතට, තමා පැමිණිලි කරන්නේ විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදු වු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට එරෙහිව බැවින්, එකී විධායක පරිපාලන නිලධරයන් වෙතින් තමන්ට පසුව හිරිහැරයක් වෙතියි යන සැකය නිසා මේ පිළිබඳව ඉදිරිපත් වීමට කෙනෙකු තුළ පැකිළීමක් ඇති වීමට පුළුවන්.

එම නිසා මෙම සාධක දෙක මගින් සමාජයේ අඩු වරප‍්‍රසාද ලත් අයට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඇතිවන බාධාව ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

කෙළින්ම අගවිනිසුරුතුමාට පැමිණිලි කිරීම
සමාජයේ අඩු වරප‍්‍රසාදලාභීන් වෙනුවෙන් නොමිලේ, එසේත් නැත්නම් නාමික මුදලකට නීති ආධාර ලබාදෙන නීති ආධාර සේවාවන් ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. මෙයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසු කාලයේදී ඇති කරන ලද ප‍්‍රතිපාදනයන් අනුව, අඩු වරප‍්‍රසාදලාභී පුද්ගලයන්ට තම අයිතිවාසිකම් උල්ලංඝනය සිදු වී මාසයක කාලයක් තුළ ලියුමක් මගින් අග‍්‍රවිනිශ්චයකාරතුමාට යොමු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. අග‍්‍රවිනිශ්චයකාරතුමා එවිට එම පැමිණිල්ල විධිමත්ව සකසා ඉදිරිපත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයට යොමු කරනවා.

මානව හිමිකම් කොමිසම
මානව හිමිකම් කොමිසම පිහිටුවීම, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සඳහා ප‍්‍රතිකර්ම ලබා ගැනීමේ අවස්ථාව තව දුරටත් පුළුල්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම් සභා පනත අනුව, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී අවුරුද්දක කාලසීමාවක් තුළ දී ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා.

විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදුවන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධව සමගි කිරීමට, සමථ කිරීමට හෝ විමර්ශනයක් පවත්වා නිර්දේශයක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසමට බලය තියෙනවා.

පුරවැසි වගකීම
මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ක‍්‍රියාත්මක වීමට මෙවැනි ආකාරයේ ප‍්‍රතිපාදන තිබුණත්, සමාජයේ විශාල පිරිසක් තවමත් මුලික අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් නැතිව ජීවත් වෙනවා. මේ පිළිබඳව ඒ පිරිස් දැනුවත් කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යයි. ඒ සඳහා මානව අයිතිවාසිකම් අධ්‍යාපනය වැදගත් වෙනවා.

එමෙන් ම මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක්වුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් සංවිධාන ව්‍යුහයක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. එම සංවිධාන ව්‍යුහයට ප‍්‍රදේශයේ සිටින බලපෑමක් සහිත පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම ඒවායේ සාර්ථකත්වය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරනවා. අඩු වරප‍්‍රසාදලාභී ජන කොටස් වෙනුවෙන් සහ සමාජීය වශයෙන් වැදගත් වන පොදු කරුණුවලට අදාළව මුලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ නීති අධාර සේවාවක්ද ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙනවා.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉහත කී ආකාරයේ කටයුතුවල නියැලෙන පුරවැසි සංවිධාන ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දෙන ලද සමාජයක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වැළැක්වීමට නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ශක්තිමත් යාන්ත‍්‍රණයක් පැවතීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා මහජන මතය ගොඩනැඟීම හෙවත් මානව අයිතිවාසිකම් ගරු කිරීමේ සම්ප‍්‍රදායක් ගොඩ නැඟීමේ ක‍්‍රියාමාර්ගයක් ද අත්‍යවශ්‍යයි. සමාජයෙහි මානව අයිතිවාසිකම් ගරු කිරීමේ සම්ප‍්‍රදායක් නැත්නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය කාර්‍යක්ෂමව ක‍්‍රියාත්මක කිරීම කළ නොහැකියි. යාන්ත‍්‍රණයට දරා ගැනීමට නොහැකි ප‍්‍රමාණයකට සමාජයේ පවතින මානව අයිතිවාසිකම් ගරු නොකිරීමේ සම්ප‍්‍රදාය හේතුවෙන් උල්ලංඝනය කිරීමේ සිදුවීම් උත්පාදනය කරන බැවින් යාන්ත‍්‍රණය කඩා වැටීමේ තත්ත්වයක් උද්ගත විය හැකියි.

අනෙක් අතට මානව අයිතිවාසිකම් ආරක්ෂක යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක නොවේ නම්, එම සමාජය තුළ මානව අයිතිවාසිකම් ගරු කිරීමේ, සම්ප‍්‍රදායක් ගොඩනැඟීම ද කළ නොහැකිය.

එම නිසා මෙම දෙයාකාර වු ප‍්‍රවේශයන් පිළිබඳ දැනුවත්වීමටත් සංවිධානයවීමට සහ ක‍්‍රියාත්මක කිරීමටත් පසු විපරම් කිරීමටත් ඔබට වගකීමක් තියෙනවා.

සුදර්ශන ගුණවර්ධනගේ
Let Us Fight For Rights Now(2005)
පොතෙන් උපුටා ගැනුණි.


back to home

Back to Home

Monday, January 12, 2009

අපිට අපේ ගම්වලට යන්න දෙන්න

මඩකලපුවේ අවතැන් කඳවුරු ජීවිතය

යුද්ධය සහ අවතැන්වීම වසර ගණනාවක සිට උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් වැසියන් අත්විඳින නීරස සත්‍යයකි. අවතැන් වීමත් සමඟම කඳවුරු තුළට ගාල් වන ඔවුන්ට ඇතිවන පීඩාවන් රාශියකි. මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ එවැනි අවතැන් වීම් නිරන්තරයෙන් සිදුවෙයි. එනිසාම එහි දැනට ක‍්‍රියාත්මක වෙන අවතැන් කඳවුරු ගණන දාසයකි.

මඩකලපුවේ ප‍්‍රධාන සරණාගත කඳවුරු දෙකක් දැනට ක‍්‍රියාත්මක වෙයි. ඉන් එකක් සිංහල මහා විද්‍යාලයේ පිහිටා ඇති අතර අනෙක් කදවුර සහිරා විද්‍යාල භූමිය තුළ පිහිටා ඇත. මේ වන විට ඔවුන් වසර ගණනාවක් ඉතා දැඩි අපහසුකම් මැද මෙම කඳවුරු තුළ සීමිත ඉඩකඩකට කොටුවී ජීවත් වෙයි. ඔවුන් ජීවත් වන්නේ ටකරන් වලින් සාදන ලද නිවාස වලය. දිවා කාලයට අධික ලෙස රත්වන එම නිවාස තුළ දිවා කාලය ගත කල නොහැක. වැසිකිලි වල ‍දොරවල් ගැලවී ගොසිනි. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නිවාස තුළ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන්ට හා දරුවන්ට නිදා ගැනීමටවත් ඉඩකඩක් නොමැති වීමයි.

සහනාධාර ලෙස සමුපකාරයෙන් ලැබෙන හාල්වල ප‍්‍රමිතිය ඉතා බාල බැවින් එය කෑමට ගත නොහැකි තත්ත්වයක පවතින අතර ලාම්පු තෙල් ලිපක් හා ලාම්පු තෙල් කුකර් එකක් අධාර ලෙස ලබා දුන්නද මසකට ලබාදෙනු ලබන්නේ ලාම්පුතෙල් ලීටර් හතරකි. එය කෑම පිසීමට සහ ආලෝකය සපයා ගැනීමට කිසිසේත් ප‍්‍රමාණවත් නොමැත.

මෙම කදවුරුවල සිටින පිරිස් හිටිහැටියේම අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. කඳවුරේ බහුතරයකට ජාතික හැදුනුම්පත නොමැත. එය කඳවුර බාර ග‍්‍රාම නිළධාරීවරයා මාර්ගයෙන් ඉල්ලූම් කිරීමට උත්සාහ කලද ආපසු තම ගම් ප‍්‍රදේශවලට ගිය පසු එය එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හරහා ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

මෙම කඳවුරුවල සිටින අවතැන් ජනතාවගේ තවත් ප‍්‍රධාන ගැටළුවකි සපයනු ලබන ආහාර ප‍්‍රමාණවත් නොවීම. ඒත් සමඟම යැපීමට ජීවන වෘත්තියක් නොමැති වීම, නැවත තම ගම් ප‍්‍රදේශවල පදිංචි කරවීම දිගින් දිගටම කල් යාම යන අවිනිශ්චිත භාවය ඔවුන්ට ඇති මූලික ගැටළුය.
දරුවන් සහ ස්වාමි පුරුෂයා අහිමිවීමෙන් තනිව ජීවත් වන කාන්තාවන්, අවිවාහකව මහලූ දෙමාපියන් රැකබලා ගනිමින් ජීවත් වන කාන්තාවන්, තම දියණියන්ගේ ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් මියයාම නිසා දරුවන් රැක බලාගෙන ජීවත් වන වියපත් කාන්තාවන් බොහෝ පිරිසක් කඳවුරු තුළ සිටිති. මොවුන්ගෙන් බහුතරයක් දැන් වසර දෙකකට වැඩි කාල සීමාවක් කඳවුරු වල ජීවත් වෙති. තමන් තම ගම් ප‍්‍රදේශවල නැවත පදිංචි කරන ලෙස දිගින් දිගටම ගෙන් ඉල්ලා සිටියද ඒ පිළිබඳ ව බලධාරීන් සැලකිල්ලක් නොදක්වන බව කඳවුරු වැසියන් පවසති. ඔවුන්ගේ ගම් ප‍්‍රදේශය වන සාම්පූර් ආරක්ෂක හමුදා විසින් මුදාගෙන දැන් වසරකට වඩා ගත වී ඇත.

2006.05.22 වන දින සාම්පූර් හා මුත්තූර් ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් දහස් සංඛ්‍යාවෙන් තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට මෙම අවතැන්වූ කඳවුරුවල ජීවත් වෙයි. මෙයින් පවුල් දෙදාහකට ආසන්න ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට හැකියාවක් නොමැති බවට වාර්ථා වන අතර එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, එම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක අධි ආරක්ෂිත ආර්ථික කලාපය සඳහා මෙම ප‍්‍රදේශයේ ගම්මාන ගණනාවක් රජයට පවරාගෙන තිබීමයි. එම නිසා පාරම්පරිකව ඔවුන්ට එම ප‍්‍රදේශවල තිබූ ගොවි බිම්, එළුවන්, ගවයන් වැනි පශූ කර්මාන්තයන් අහිමිවී ඇත. දාහක පමණ ජනතාවක් නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම මේ වන විට සිදු කරන අතර ඒවා නිශ්චිතවම අදාළ පවුල් පෙර සිටි ස්ථාන වලින් බැහැර ස්ථාන වනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුරු දාසය එකොළහක් දක්වා අඩුකිරීමට නියමිතය. පාලෙයි මඩු කඳවුර මඩකලපුවේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති තවත් අවතැන් කඳවුරකි. 2006 වසරේදී සාම්පූර් ප‍්‍රදේශයෙන් අවතැන් වූ පවුල් පණහක පමණ සාමාජිකයන් එකසිය පණහක් මෙහි වාසය කරයි. කඳචුරේ ජීවත් වන අයෙක් පවසා සිටියේ, 2006.05.22දා එල්.ටී.ටී.ඊය අපේ ගම් වලට ආවට පස්සේ අපි ඒ ප‍්‍රදේශයෙන් ඉවත් වෙලා ආරක්ෂාව පතා සාම්පූර් ඉදන් අපි ඔක්කොම වැලිකන්ද පැත්තට පයින් එන්න ගත්තා. පන්නිචන්කර්නි ගඟ ලගදී අපිට ගඟ හරහා එගොඩ වෙන්න සිද්ධ වුණා. එතනදී අපේ කිහිප දෙනෙක් ගෙඟේ ගසාගෙන ගිහින් මිය ගියා. වැලිකන්දට ආවට පස්සෙ එහෙ අය අපිට කෑම දුන්නා. ඒ වෙන කොට අපි කෑමක් බීමක් නැතිව පයින් දවස් දෙකක් ඇවිල්ලා තිබුණා. එදා පවුල් දෙසිය හැත්තෑහතක් අපිත් එක්ක ආවා. දැන් ඉන්නේ පවුල් පණහක් විතරයි. අනෙක් අය නැවත පදිංචි කරලා. අපිට නැවත යන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත්, විපක්ෂ නායකතුමාගෙනුත්, ඉන්දියාවේ අගමැතිතුමාගෙනුත් ලිඛිතව ඉල්ලීමක් කලා. ඒත් අපි තවම මේ කදවුරුවල ජීවත් වෙනවා. අධිආරක්ෂිත කලාපයට අපේ ඉඩම් ගෙවල් දොරවල් පවරාගෙන නිසා අපිට ආපසු අපේ ගම්වලට යන්න අවස්ථාව නැහැ. මේ කඳවුරේ අපිට විදුලිය නැහැ. ආණ්ඩුව රාන්කුලී වලින් පර්චස් අටක් දෙන්න අපිට කතා කලා. ඒත් අපිට ගමේ වගාකරන්න පුළුවන් කුඹුරු ඉඩම්, හරක්, එළුවෝ ඉන්නවා. ඒ නිසා අපිට ආපසු ගම්වලට යන්න ඕනි. දැනට කඳවුරෙන් එළියට ගියත් අපිට කුලීවැඩක් වත් හොයාගන්න බැහැ. එක දවසක් වැඩක් හම්බ වුණොත් ආයෙත් සතියකටවත් වැඩ හම්බ වෙන්නේ නැහැ. කඳවුරේ හූඟක් අයට ජාතික හැදුනුම්පත් නැහැ. ඒ නිසා තාවකාලික හැඳුනුම්පතක් ග‍්‍රාමසේවක මාර්ගයෙන් ලබා දීලා තියෙනවා. ඒත් හමුදාවේ සෝදිසි කිරීම් වලදී අපේ සමහර අය අත් අඩංගුවට අරගෙන ගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ ඔවුන් නිදහස් කලා. අපි ගමේ ඉන්නකොට ලූණු විතරයි සල්ලිවලට ගත්තේ. හැමදෙයක්ම අපිට අවටින් සොයාගන්න පුළුවන්කම තිබුණා. ඒ හින්දා අපි කියන්නේ අපිට පුළුවන් තරම් ඉක්මනින් ගමට යන්න ඕනි කියලයි.”

Back to Home

Sunday, January 11, 2009















‘ අපේ රටට ආදරය කරමු - යුද්ධය නතර කරමු.’
මේ පුංචි දරු පැටියා කියන්නේ එයයි.
ඔබට නම් මේ කතාව පේනවා ඇත්තේ අපභ‍්‍රංස නොගැලපෙන කතාවක් ලෙස විය යුතුය.
අපි අහලා තියෙන්නේ ‘රටට ආදරය කරමු - යුද්ධ කරමු’ කියලාය.
සමහරවිට මේ දරුවාගේ නොදන්නාකම නිසා වෙච්ච වැරදීමක් විය හැකිය.
රජ්ජුරුවෝ හෙළුවෙන් කියා කෑගසා අපේ ආතල් එක කැඩුවේත් මේ වගේම ළමයෙක් නේද?

ගන්න අපේ දේ.........
ඊයේ හවස සිරිසේන ටිකක් වැදගත් ගමනක් යද්දි බෙලෙක් කඬේ හන්දියේදී පරණ මිත‍්‍රයෙක් වූ මිස්ට තෙපානිස් හමුවෙලා තමන්ගේ පෙට‍්‍රල් කාර් එකට නග්ග ගත්තා.තෙපානිස්- ආණ්ඩුව තාම පෙට‍්‍රල් අඩු කළේ නැහැ නේද?
සිරිසේන- නැහැ ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව මොනව නැතත් යුද්දෙ හරියට කරනවනේ. යුද්දෙ අපේ රට ජාතිය වෙනුවෙන්නේ. අපේ අමාරුකම් නොහිතා ටිකක් ඉවසන්න වෙයි.
තෙපානිස්- ඒ වුනාට රවීලා කිව්වේ ඔය හෙජිං ගිවිසුම අපේ රටේ සල්ලි ටික පිට රටට යන වැඩක් කියලනේ.
සිරිසේන- ඔය රවීලගේ බයිලනේ. ආණ්ඩුව හෙජිං ගිවිසුම.....ආ මේ පෙට‍්‍රල් ටිකක් ගහගන්නත් ඕන.
(සිරිසේන වාහනය ඉන්ධන පිරවුම් හල දෙසට හරවයි)
තෙපානිස්-හප්පා සූ ගෑවිල්ලෙ සෙනඟනේ. හරවමුද අර එහා පැත්තේ තියෙන ෂෙඞ් එකට.
සිරිසේන- පිස්සුද? මේකෙ ඒකට වඩා රුපියල් විසි දෙකක් අඩුයිනේ.
තෙපානිස්- ඒ වුනාට ගන්න අපේ දේ කියල ගහලා තියෙන්නේ අර ෂෙඞ් එකේනෙ...........................................
....................................................................................................................
...........................................................................................................................
.....................................................................................................................................
......................................................................................................................
ත‍්‍රස්ත මර්දන දඩ මං ඔස්සේ මාධ්‍යකරුවන් දඩයම් කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වුණු ආණ්ඩුවක් විසින් ජනමාධ්‍යවේදියෙකුට විරුද්ධව ත‍්‍රස්තවාදී මර්දන නීති හෝ ජාතික ආරක්ෂක නීති යොදාගෙන නඩු පැවරීම ඉතාම දුර්ලභ සිදුවීමක්.

ඒ දුර්ලභ සිදුවීම ලංකාවේ සිදුවුණා. ඒ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ජේය්‍යෂ්ඨ මාධ්‍යවේදී තිස්සනායගම්ට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම. ඒ නිසා නඩු විභාගය අවසන් වනතුරු ඔහු රැඳවුම්භාරයේ ;

මීට පෙර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකාවේ මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගෙන තියෙන්නේ එක් වතාවයි. ඒ 1982 දී සුදන්දිරන් (නිදහස) සඟරාවේ සංස්කාරක කෝවෙයි මහේසන් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීම. නමුත් ඒ නීතිය යටතේ නඩු පැවරීමක් සිද්ධ වුණු පළමු මාධ්‍යවේදියා තිස්සනායගම්.

තිස්සනායගම් සහ ඔහු සමඟ අත් අඩංගුවට ගෙන රඳවා සිටින ජසීහරන් හා වලර්මදීට එරෙහිව නඟා තිබෙන චෝදනා ඉවත දමා ඔවුන් නිදහස් කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට බලකරන ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දැන් ඇරඹී තියෙනවා.

කොහොම වුණත් ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් අතින් මෙවැනි ඉරණමකට මුහුණ දුන් එකම මාධ්‍යවේදියා තිස්සනායගම් නෙවෙයි. තුර්කිය තම රටේ මාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු පැවරීමට ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන තියෙනවා. අසර්වයිජානය එහි ප‍්‍රධාන පුවත්පත් දෙකක සංස්කාරකවරයා සහ ප‍්‍රමුඛ ජනමාධ්‍යවේදියෙකු සිරගෙට යැව්වා. ස්පාඤ්ඤයේ බාස්ක් ජනමාධ්‍යවේදීන්ට විරුද්ධවත් ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන ඇති අතර, පුවත්පත් වසා දැමීමටත් කළමණාකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තැබීමටත් කටයුතු කර තියෙනවා. ඒ වගේම අයර්ලන්තයේ මාධ්‍යවේදීන්වත් ත‍්‍රස්තවාදී ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම නම් වරදට, විකාශන නීතිය යටතේ දඩයම් කර තියෙනවා.



ජනාධිපති උපදේශකගෙන් ජනාධිපතිට උපදේශයක්

ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මානව හිමිකම් දිනය දවසේ ජනාධිපතිට ලිපියක් යවා ඇත. මේ ලිපියෙන් ආරක්ෂක ආමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වී ඇති සඳහනක් පිළිබඳව විරෝධය දැක්වීමට ඔහු මේ ලිපිය ලියා ඇත.

http://www.defence.lk/ වෙබ් අඩවිය විසින් ”මානව හිමිකම් සැබවින්ම උල්ලංඝනය කරන්නේ කවුරුන්ද ? ” යන මාතෘකාව යටතේ පළකර ඇති ලිපියක් මඟින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති නීතිඥයන් දේශද්‍රෝහින් සහ රටට එරෙහිව කටයුතු කරන්නන් වශයෙන් හංවඩු ගසා තිබිණි.

පළමුවෙන්ම මානව හිමිකම් නඩුවලට පෙනී සිටින ජේය්‍යෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. ඒ සම්බන්ධව සාධාරණ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන තත්ත්වයක් නැත. ඉන් පසු නීතිඥයන්ට තර්ජනය කරමින් ‘මහසෝන් බලකාය’ නමින් ලිපියක් ද බෙදා හරින ලදි. ඉන්පසු නීතිඥයන් ද්‍රෝහීන් ලෙස හඳුන්වමින් මෙම වෙබ් අඩවිය මඟින් ප‍්‍රචාරයක් ගෙන යමින් තිබේ. එබැවින් නීතිඥයන් බියගන්වන සුළු, තර්ජනාත්මක සහ මහජනයා ඔවුන්ට එරෙහිව උසිගන්වන සුළු ප‍්‍රකාශ මෙම වෙබ් අඩවියේ පළ නොකරන ලෙසට වෙබ් අඩවිය පවත්වා ගෙන යන අයට උපදෙස් දෙන ලෙස ජනාධිපති උපදේශකතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම කොට සතියක් ගතවුවද තවමත් ඉහත සඳහන් තර්ජනාත්මක ලිපිය අදාළ වෙබ් අඩවියේ නිරුපද්‍රිතව පවතී. ආරක්ෂක අමාත්‍යාංශය භාර ඇමතිවරයා ජනාධිපතිවරයාය. එහි ස්ථිර ලේකම්වරයා ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.



වර්ගඝාතකයන්ගේ ලැයිස්තුවට ලංකාව ඇතුළු වේ
නිව්යෝර්ක්හි පිහිටා ඇති වර්ගඝාතන වැළැක්වීමේ ව්‍යාපෘතිය පසුගිය දෙසැම්බර් 10 ට යෙදුණු මානව හිමිකම් දිනය නිමිත්තෙන් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව වර්ගඝාතනය සිදුවෙමින් පවතින හෝ එවැනි අවදානමක් පවතින ‘රෙඞ් ඇලට්’ රටවල් අට තුළට ලංකාවද ඇතුළත් කර ඇත.

‘රෙඞ් ඇලට්’ කොම්පැනියට ඇතුළත් රටවල් මෙසේය. ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සුඩානයේ ඩාෆුර් ප‍්‍රදේශය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොංගෝ ජනරජය, මියන්මාරය, පකිස්ථානය, සෝමාලියාව සහ ශ‍්‍රී ලංකාව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් සහ ආරක්ෂක මණ්ඩලය වර්ගඝාතනය ඇතිවීම වළකනු පිණීස කටයුතු කළයුතු බව එම ව්‍යාපෘතිය කියා සිටී.වර්ගඝාතනය ඇතිවීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට වසර 60ක් පිරීමද, එක්සත් ජනපදය එම සම්මුතියට ඇතුළත් වී වසර 20ක් ගතවීමද දෙසැම්බර් 10දා සමරන ලදි.

මේ අතර ඇමෙරිකානු ක්ලින්ටන් පාලනයේ බලකණු දෙකක් වන හිටපු රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ‍්‍රයිට් සහ හිටපු ආරක්ෂක ලේකම් බිල් කොහෙන් ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් විසින් නව ජනාධිපති බරක් ඔබමාට නිර්දේශ කර ඇත්තේ ජනවර්ග ඝාතනය වැළැක්වීම ඔහුගේ ප‍්‍රමුඛතාවක් වන බවයි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් ඒ සඳහා වෙන් කරන ලෙස කොන්ග‍්‍රසයෙන් ඉල්ලා සිටිය යුතු බවද ඔවුන් කියා ඇත.