Monday, January 12, 2009

අපිට අපේ ගම්වලට යන්න දෙන්න

මඩකලපුවේ අවතැන් කඳවුරු ජීවිතය

යුද්ධය සහ අවතැන්වීම වසර ගණනාවක සිට උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් වැසියන් අත්විඳින නීරස සත්‍යයකි. අවතැන් වීමත් සමඟම කඳවුරු තුළට ගාල් වන ඔවුන්ට ඇතිවන පීඩාවන් රාශියකි. මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ එවැනි අවතැන් වීම් නිරන්තරයෙන් සිදුවෙයි. එනිසාම එහි දැනට ක‍්‍රියාත්මක වෙන අවතැන් කඳවුරු ගණන දාසයකි.

මඩකලපුවේ ප‍්‍රධාන සරණාගත කඳවුරු දෙකක් දැනට ක‍්‍රියාත්මක වෙයි. ඉන් එකක් සිංහල මහා විද්‍යාලයේ පිහිටා ඇති අතර අනෙක් කදවුර සහිරා විද්‍යාල භූමිය තුළ පිහිටා ඇත. මේ වන විට ඔවුන් වසර ගණනාවක් ඉතා දැඩි අපහසුකම් මැද මෙම කඳවුරු තුළ සීමිත ඉඩකඩකට කොටුවී ජීවත් වෙයි. ඔවුන් ජීවත් වන්නේ ටකරන් වලින් සාදන ලද නිවාස වලය. දිවා කාලයට අධික ලෙස රත්වන එම නිවාස තුළ දිවා කාලය ගත කල නොහැක. වැසිකිලි වල ‍දොරවල් ගැලවී ගොසිනි. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නිවාස තුළ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන්ට හා දරුවන්ට නිදා ගැනීමටවත් ඉඩකඩක් නොමැති වීමයි.

සහනාධාර ලෙස සමුපකාරයෙන් ලැබෙන හාල්වල ප‍්‍රමිතිය ඉතා බාල බැවින් එය කෑමට ගත නොහැකි තත්ත්වයක පවතින අතර ලාම්පු තෙල් ලිපක් හා ලාම්පු තෙල් කුකර් එකක් අධාර ලෙස ලබා දුන්නද මසකට ලබාදෙනු ලබන්නේ ලාම්පුතෙල් ලීටර් හතරකි. එය කෑම පිසීමට සහ ආලෝකය සපයා ගැනීමට කිසිසේත් ප‍්‍රමාණවත් නොමැත.

මෙම කදවුරුවල සිටින පිරිස් හිටිහැටියේම අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. කඳවුරේ බහුතරයකට ජාතික හැදුනුම්පත නොමැත. එය කඳවුර බාර ග‍්‍රාම නිළධාරීවරයා මාර්ගයෙන් ඉල්ලූම් කිරීමට උත්සාහ කලද ආපසු තම ගම් ප‍්‍රදේශවලට ගිය පසු එය එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හරහා ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

මෙම කඳවුරුවල සිටින අවතැන් ජනතාවගේ තවත් ප‍්‍රධාන ගැටළුවකි සපයනු ලබන ආහාර ප‍්‍රමාණවත් නොවීම. ඒත් සමඟම යැපීමට ජීවන වෘත්තියක් නොමැති වීම, නැවත තම ගම් ප‍්‍රදේශවල පදිංචි කරවීම දිගින් දිගටම කල් යාම යන අවිනිශ්චිත භාවය ඔවුන්ට ඇති මූලික ගැටළුය.
දරුවන් සහ ස්වාමි පුරුෂයා අහිමිවීමෙන් තනිව ජීවත් වන කාන්තාවන්, අවිවාහකව මහලූ දෙමාපියන් රැකබලා ගනිමින් ජීවත් වන කාන්තාවන්, තම දියණියන්ගේ ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් මියයාම නිසා දරුවන් රැක බලාගෙන ජීවත් වන වියපත් කාන්තාවන් බොහෝ පිරිසක් කඳවුරු තුළ සිටිති. මොවුන්ගෙන් බහුතරයක් දැන් වසර දෙකකට වැඩි කාල සීමාවක් කඳවුරු වල ජීවත් වෙති. තමන් තම ගම් ප‍්‍රදේශවල නැවත පදිංචි කරන ලෙස දිගින් දිගටම ගෙන් ඉල්ලා සිටියද ඒ පිළිබඳ ව බලධාරීන් සැලකිල්ලක් නොදක්වන බව කඳවුරු වැසියන් පවසති. ඔවුන්ගේ ගම් ප‍්‍රදේශය වන සාම්පූර් ආරක්ෂක හමුදා විසින් මුදාගෙන දැන් වසරකට වඩා ගත වී ඇත.

2006.05.22 වන දින සාම්පූර් හා මුත්තූර් ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් දහස් සංඛ්‍යාවෙන් තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට මෙම අවතැන්වූ කඳවුරුවල ජීවත් වෙයි. මෙයින් පවුල් දෙදාහකට ආසන්න ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට හැකියාවක් නොමැති බවට වාර්ථා වන අතර එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, එම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක අධි ආරක්ෂිත ආර්ථික කලාපය සඳහා මෙම ප‍්‍රදේශයේ ගම්මාන ගණනාවක් රජයට පවරාගෙන තිබීමයි. එම නිසා පාරම්පරිකව ඔවුන්ට එම ප‍්‍රදේශවල තිබූ ගොවි බිම්, එළුවන්, ගවයන් වැනි පශූ කර්මාන්තයන් අහිමිවී ඇත. දාහක පමණ ජනතාවක් නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම මේ වන විට සිදු කරන අතර ඒවා නිශ්චිතවම අදාළ පවුල් පෙර සිටි ස්ථාන වලින් බැහැර ස්ථාන වනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුරු දාසය එකොළහක් දක්වා අඩුකිරීමට නියමිතය. පාලෙයි මඩු කඳවුර මඩකලපුවේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති තවත් අවතැන් කඳවුරකි. 2006 වසරේදී සාම්පූර් ප‍්‍රදේශයෙන් අවතැන් වූ පවුල් පණහක පමණ සාමාජිකයන් එකසිය පණහක් මෙහි වාසය කරයි. කඳචුරේ ජීවත් වන අයෙක් පවසා සිටියේ, 2006.05.22දා එල්.ටී.ටී.ඊය අපේ ගම් වලට ආවට පස්සේ අපි ඒ ප‍්‍රදේශයෙන් ඉවත් වෙලා ආරක්ෂාව පතා සාම්පූර් ඉදන් අපි ඔක්කොම වැලිකන්ද පැත්තට පයින් එන්න ගත්තා. පන්නිචන්කර්නි ගඟ ලගදී අපිට ගඟ හරහා එගොඩ වෙන්න සිද්ධ වුණා. එතනදී අපේ කිහිප දෙනෙක් ගෙඟේ ගසාගෙන ගිහින් මිය ගියා. වැලිකන්දට ආවට පස්සෙ එහෙ අය අපිට කෑම දුන්නා. ඒ වෙන කොට අපි කෑමක් බීමක් නැතිව පයින් දවස් දෙකක් ඇවිල්ලා තිබුණා. එදා පවුල් දෙසිය හැත්තෑහතක් අපිත් එක්ක ආවා. දැන් ඉන්නේ පවුල් පණහක් විතරයි. අනෙක් අය නැවත පදිංචි කරලා. අපිට නැවත යන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත්, විපක්ෂ නායකතුමාගෙනුත්, ඉන්දියාවේ අගමැතිතුමාගෙනුත් ලිඛිතව ඉල්ලීමක් කලා. ඒත් අපි තවම මේ කදවුරුවල ජීවත් වෙනවා. අධිආරක්ෂිත කලාපයට අපේ ඉඩම් ගෙවල් දොරවල් පවරාගෙන නිසා අපිට ආපසු අපේ ගම්වලට යන්න අවස්ථාව නැහැ. මේ කඳවුරේ අපිට විදුලිය නැහැ. ආණ්ඩුව රාන්කුලී වලින් පර්චස් අටක් දෙන්න අපිට කතා කලා. ඒත් අපිට ගමේ වගාකරන්න පුළුවන් කුඹුරු ඉඩම්, හරක්, එළුවෝ ඉන්නවා. ඒ නිසා අපිට ආපසු ගම්වලට යන්න ඕනි. දැනට කඳවුරෙන් එළියට ගියත් අපිට කුලීවැඩක් වත් හොයාගන්න බැහැ. එක දවසක් වැඩක් හම්බ වුණොත් ආයෙත් සතියකටවත් වැඩ හම්බ වෙන්නේ නැහැ. කඳවුරේ හූඟක් අයට ජාතික හැදුනුම්පත් නැහැ. ඒ නිසා තාවකාලික හැඳුනුම්පතක් ග‍්‍රාමසේවක මාර්ගයෙන් ලබා දීලා තියෙනවා. ඒත් හමුදාවේ සෝදිසි කිරීම් වලදී අපේ සමහර අය අත් අඩංගුවට අරගෙන ගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ ඔවුන් නිදහස් කලා. අපි ගමේ ඉන්නකොට ලූණු විතරයි සල්ලිවලට ගත්තේ. හැමදෙයක්ම අපිට අවටින් සොයාගන්න පුළුවන්කම තිබුණා. ඒ හින්දා අපි කියන්නේ අපිට පුළුවන් තරම් ඉක්මනින් ගමට යන්න ඕනි කියලයි.”

Back to Home

No comments: