Thursday, March 26, 2009

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නේ ඇයි ?

සුදර්ශන ගුණවර්ධන

බාලගිරි දෝෂයට අසුවී තිබෙන ව්‍යවස්ථාදායක සභාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ විසින් යෝජනා කර ඇත. මෙය ඇසීමෙන් දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙකු සේ කුපිත වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් එම නාම යෝජනාවට විරුද්ධව පෙත්සමක් ගසා ඇත. පෙත්සමේ දැක්වෙන්නේ උයන්ගොඩ මහතා අවුරුදු දොළහක කාලයකට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බැවින් ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් ස්ථානයකට පත් කිරීමට නුසුදුසු බවයි.

මහාචාර්ය උයන්ගොඩ සිර දඬුවම් ලැබුවේ, හොර පොල් කැඞීම වැනි අපරාධයක් නිසා නොව, 1971 දී මහා රාජිනීන් වහන්සේගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැරළි ගැසීම හේතුවෙනි. ඔහු ඇතුළු සෙසු කැරළිකරුවන්ට විරුද්ධව නඩු අසා සිරදඬුවම් නියම කරන ලද්දේ එවකට පැවති සාමාන්‍ය නීතිය යටතේ නොව කැරැල්ලෙන් පසුව අතීතයට බල පැවැත්වෙන සේ සම්මත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නැමැති අවනීතිය යටතේය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් එකී කොමිසම් සභා පනත කටුගා දැමීමෙන් පසු මහාචාර්ය උයන්ගොඩ නිදහස ලැබීය.
මේ පිළිබඳ උයන්ගොඩ මහතාමත්, වික්ටර් අයිවන් මහතාත් ලියන ලද ලිපි පසුගිය රාවය පුවත්පතේ පළවිය. මෙහිදී මා උත්සාහ කරන්නේ රතන හිමියන් විසින් මහාචාර්ය උයන්ගොඩට විරුද්ධව පෙත්සමක් ගහන්නේ ඇයිදැයි ක‍්‍රමානුකූලව විමසීමටය.

කිසියම් සමාජ පදනමක් සහ එම සමාජ පදනම නියෝජනය කරන්නේ යැයි ප‍්‍රකාශ කරන දේශපාලන නායකත්වය අතර ඇති සම්බන්ධයේ අනුපාතය 1:1 ක් යැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එනම් අදාළ දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවන් එය විසින් නියෝජනය කරනු ලබන සමාජ පදනමේ අවශ්‍යතාවන් හා සමරූපී විය යුතුය. අපේ අදහස මෙය වැරදිය යන්නයි. මෙම විශ්වාසය සමාජය තුළ සාම්ප‍්‍රදායිකව මුල් බැස තිබෙන අන්ධභාවයකි; නැතිනම් මිත්‍යා විශ්වාසයකි.

උදාහරණයක් ලෙස පනස් හයේ සමාජ පෙරළිය සලකමු. එම පෙරළියට දායක වූ සමාජ බලවේගය ලෙස හඳුනා ගන්නේ සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයයි. මෙම සියලූ කොටස් සංකේතාත්මකව එකට එකතු කර බලවේගයක් සේ ගොනු කර නායකත්වය සැපයුවේ එස් .ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායකය. ඉහත තර්ක ක‍්‍රමය අනුව ගත් කළ පංච මහා බලවේගයේ අවශ්‍යතා සහ එහි නායකත්වය දැරූ බණ්ඩාරනායකගේ අවශ්‍යතා සමාන විය යුතුය. නමුත් ජයග‍්‍රහණයෙන් වසර තුනක් ගතවන විට බලවේගයේ නායක බණ්ඩාරනායක ඝාතනයට ලක් වේ. ඔහු ඝාතනය කරනු ලබන්නේ බෞද්ධ භික්ෂුවක් වන තල්දූවේ සෝමාරාම හිමිවන අතර ඝාතනය සැලසුම් කරන්නේ පංච මහා බලවේගයේ බල කණුවක් වූ කැළණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් විසිනි. ඉහත සංයුක්ත උදාහරණයෙන් පැහැදිලි වන්නේ පාලකයාගේ අවශ්‍යතාවය සහ ඔහු විසින් නියෝජනය කරන ලද බලවේගයේ අවශ්‍යතාවය අතර පරතරයක් (Gap) පවතින බවයි. එසේ නැත්නම් එකී බලවේගයට එම නියෝජිතයා/පාලකයා ඝාතනය කිරීමට අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත.

දැන් අතීතයේ අප පසුකරගෙන ආ උදාහරණයෙන් වර්තමාන කාලයේ පවතින ජාතික හෙළ උරුමය වෙත යොමු වෙමු. බොහෝ දෙනා කල්පනා කරන්නේ ජාතික හෙළ උරුමය විසින් නියෝජනය කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගය බවයි. එබැවින් ඉහත සමීකරණයට අනුව ජාතික හෙළ උරුමයේ අවශ්‍යතා සහ එය විසින් නියෝජනය කරනු ලබන සිංහල - බෞද්ධ බලවේගයේ අවශ්‍යතා සමරූපී වෙයි. එහෙත් මෙය දෘශ්‍යමාන යථාර්ථයයි; ඇහැට පෙනෙන ඇත්තයි.

නමුත් මීට ශතවර්ෂ දෙකකට එපිට ජීවත් වූ කාල් මාක්ස් ප‍්‍රශ්න කළේ දෘශ්‍යමානය යථාර්ථයක් නම් අපිට සමාජ න්‍යායක් කුමකටද කියායි. දෘශ්‍යමානය සහ යථාර්ථය යනු එකක් නොව දෙකක් නිසා අපිට සමාජ න්‍යාය අවශ්‍ය වේ.

මාරියෝ ෆූසෝගේ ‘‘ගෝඞ් ෆාදර්’’ නවකතාව තුළ කියැවෙන්නේ ඉතාලියේ සිසිලි දුපතේ සිට මරණින් බේරීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැන ආ පුද්ගලයෙකු පාතාල ලෝකයට ඇතුළු වී සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ආකාරයයි. සාර්ථක ව්‍යාපාරිකයා වන දොන් විටෝ කොරලියෝනි පසුපස ඇත්තේ ලේ වැකුණු අතීතයකි. එම ලේ සලකුණු මකා දමා කළු සල්ලි සඳහා සුජාතභාවයක් ලබා ගැනීම ඔහුගේ ඊළඟ අවශ්‍යතාවයයි. ඒ සඳහා ඔහු දේශපාලකයන් සහ විනිශ්චයකරුවන් තම සාක්කුවට දමා ගන්නා අතර ඔහුගේ ඊළඟ ඉලක්කය වන්නේ තම පුත‍්‍රයෙකු සෙනෙට් සභිකයෙකු හෝ ආණ්ඩුකාරවරයෙකු බවට පත් කිරීමයි.

පසුගිය අවුරුදු තිහ පුරා ඇති වූ ආර්ථික ක‍්‍රියාවලිය තුළ විවිධාකාර පාතාල සහ මාෆියා ක‍්‍රියාකාරීත්වයන් හරහා මුදල් උපයා ගත් සමාජ පංතියක් ලංකාවේ බිහිවිය. එනමුත් මේ සමාජ පංතියට අයත් පුද්ගලයන්ට ලංකාවේ අධිපති සිවිල් සමාජ ස්ථරය තුළ සුජාතභාවයක් නැත. ජාතික හෙළ උරුමය වැනි පක්ෂයක් ඇත්ත වශයෙන්ම නියෝජනය කරන්නේ දෘශ්‍යමානය තුළ පෙනෙන ආකාරයට සිංහල බෞද්ධ බලවේගයක් නොව ඉහත කී පතාල සමාජ ස්ථරයයි. ජාතික හෙළ උරුමය කරමින් සිටින්නේ එකී පාතාල සමාජ ස්ථරයට සමාජය තුළ සුජාතභාවයක් ලබාදීමට කටයුතු කිරීමයි. (මෙම තත්ත්වය වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණටද අදාළය) මෙම කටයුත්ත ඔවුන් විසින් සවිඥනිකව සිදු කරනවා නොවන්නට පුළුවන. නමුත් මෙම සිදුවීම අපට සමාජ අවිඥනය ලෙස නම් කළ හැක.
මේ අය විසින් නියෝජනය කරන සමාජ බලවේගයේ භෞතික බලකණු ඔබට අද කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල තාප්ප සහ බිත්ති දෙස බැලීමෙන් පහසුවෙන් හඳුනාගත හැකිවනු ඇත. රේස් බුකි ව්‍යාපාර ප‍්‍රාග්ධනය තුළින් බිහි වූ තිලංගත්, තවත් එවැනිම වූ හඳුනා නොගත් ප‍්‍රාග්ධනයකින් මෙහෙයවෙන දුමින්දත් එකම පක්ෂයක ඡන්ද ලකුණක් යටතේ එකිනෙකාට අභිමුඛ වී ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවතුණා නම් මේ දෙදෙනා අතර තරඟයේදී මාරුවන්නේ බුලත් කොළය වෙනුවට අලියා පමණක් බව තේරුම් ගැනීමට මීට මාස කිහිපයකට පෙර මේ දෙදෙනාම සිටින්නේ කොයි පැත්තේදැයි කියා මතක තබා ගෙත සිටීම අවශ්‍ය වන්නේ නැත.

දැන් මා ඉහත ප‍්‍රකාශය තවදුරටත් පැහැදිලි කළ යුතුය. එමෙන්ම අපේ ලිපියේ මාතෘකාව වන පීඩිත කුලයකින්, පීඩිත සමාජ පසුබිමකින් පැමිණෙන අතුරලියේ රතන හිමියන් තමන් වැනිම පීඩිත කුලයකින් හා පීඩිත සමාජ පසුබිමකින් පැමිණි මහාචාර්ය උයන්ගොඩට මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයිද යන්නත් විග‍්‍රහ කළ යුතුය. මේ කතාවේ ඉතිරි කොටස අපි ලබන සතියේ සමබිම තුළින් කියවමු.

Back to HOME ..

Thursday, March 19, 2009

සපත්තු පාර මෙහෙම ගහමුද ? සුදර්ශන ගුණවර්ධන

‘‘පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’’ ලිපිය ගැන අදහසක්

’පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’ යන මාතෘකාවෙන් රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් මාර්තු 15 දා ‘රාවය’ පුවත් පතේ පළවිය.

ශ‍්‍රී ලංකාව නැමැති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රයෙන් මැරුම් කන්නේ නැතිව පණ බේරා ගැනීමට හැකිවු තමාගේ පරම්පරාවේ අනෙකුත් කැරළිකරුවන් පමණක් නොව ඊට පෙර පරම්පරාවේ කැරළිකරුවන් ද මතවාදී වශයෙන් අදවන විට පත්ව තිබෙන ජරා ජීර්ණ තත්ත්වය දෙස බලන විට, ප‍්‍රතිපත්තිගරුක, සමා විරහිත දේශපාලන ස්ථාවරයක අඛණ්ඩව පැවතීම පිළිබඳව භාෂණට මම නොපැකිළ ආචාර කරමි.

සපත්තු ප‍්‍රහාරය පිළිබඳ ලිපියට නිමිත්ත වන්නේ ‘වර්ග සංහාරයක්’ පිළිබඳව භාෂණ විසින් ‘රාවය’ පුවත්පතේ ‘සමකය’ ට ලියු ලිපියකි. එම කතාවෙහි ‘ කිසිදු සත්‍යයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව ’ සුමනසිරි ලියනගේ පෙරළා ‘රාවය’ ටම ලියයි. පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කරමින් භාෂණ තම ලිපිය ලියන්නේ එයට පිළිතුරු වශයෙනි.

‘සපත්තුවෙන් ගැසීම’ යන යෙදුම ඉදිරියට එන්නේ ඉරාකය සහ ඉරාක ජනතාව සදාම් හුසේන් නමැති
‘ඒකාධිපතියාගෙන්’ බේරා ගැනීමට මානුෂික මෙහෙයුමක් දියත් කළ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් තම ධුර කාලයේ අවසානයේදී ඉරාකයේ කළ සංචාරයෙන් පසුව පවත් වන ලද මාධ්‍ය හමුවේදිය. මෙම මාධ්‍ය හමුවට සහභාගී වු අනෙකුත් මාධ්‍යවේදීන් ජනාධිපති බුෂ් සහ ඔහුගේ ඔහුගේ ප‍්‍රතිපත්ති විවේචනය කරමින් ඕනෑතරම් ප‍්‍රශ්න ඇසුවාට සැකයක් නැත. එහිදී ජනාධිපති බුෂ් ඒවාට පිළිතුරු දෙමින් මෙසේ කියන්නට ඇත. ‘‘ ඒක ඔබතුමාගේ මතය; මේක මගේ මතය. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. මේ වගේ ප‍්‍රශ්න අහන්න පුළුවන් වුණ එකෙන්ම පේනවා නේද දැන් ඉරාකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා. ’’ එහෙත් ඉරාකයේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවේදියෙකු වු මුත්තදාර් අල් සයිදි බුෂ් සමඟ සංවාදයට නොගොස්, මාධ්‍ය හමුවෙන් පසුව පැවැත්වෙන කොක්ටේල් සාදයේදී බුෂ්ගේ කරට අත දා ගැනීමේ බලාපොරොත්තුවකින් තොරව, තමන්ගේ සපත්තු දෙක ගලවා ජනාධිපති බුෂ් වෙත දමා ගැසුවේය. එහි ප‍්‍රතිඵල වශයෙන් ඔහුට ඉල ඇට දෙකක් කැඩෙන සේ ගුටි බැටද වසර තුනක සිරදඬුවමක්ද හිමිවිය.

භාෂණ තම සපත්තු ප‍්‍රහාර එල්ල කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයටය. එනම් එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ ප‍්‍රතිසංස්කරණ පෙරට ගෙන ඒමට ඇඟිලි ගනිමින් සිටින සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද මණ්ඩපයටය. තනි සිංහල රජයේ හමුදාවකට සහ තනිකර දෙමළ කැරළිකාර හමුදාවක් අතර සිදුකෙරෙන මහා යුද්ධයකට මැදිව සිටින සියයට සියයක්ම දෙමළ ජාතිකයන්ගෙන් සමන්විත සිවිල් වැසියන් මුහුණදෙමින් සිටින තත්ත්වය පිළිබඳව මෙම මණ්ඩපයේ සිටින සුමනසිරි ලියනගේ, වාසුදේව නානායාක්කාර, ඇතුළු පිරිස් වෙත අගනා පැහැදිලි කිරීමක් භාෂණ සිදු කරයි. ඒ සඳහා ආනන්ද සංගරී වැනි රජයට හිතවත් දෙමළ නායකයකුගේ ප‍්‍රකාශවල සිට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල වාර්තා දක්වා උපයෝගී කරගනී. එම විග‍්‍රහය කියවා තමන් දැනට සිටින වැරදි අස්ථානයෙන් ගැලවී නිවැරදි අස්ථානයකට සුමනසිරි, වාසුදේව ඇතුළු සාද ශාලාවේ විනෝදයෙන් කල්ගත කරන මහත්වරුන් හෝ අඩුම වශයෙන් ඔවුන්ගේ අදහස් කියවන පාඨකයන් හෝ පැමිණෙනු ඇතැයි භාෂණ කල්පනා කරන්නට ඇත. නැත්නම් ඔහු ඔවුන්ට පිළිතුරු ලියන්නේ නැත.

මෙම ක‍්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ප‍්‍රකට චින්තකයකු වන නෝම් චොම්ස්කි විසින්ද අනුදැන වදාළ ක‍්‍රමයකි. යුද්ධයට විරුද්ධව ඔහු විසින් ලියන ලද ලේඛන අඩි ගණන් උසට ගොඩ ගැසී ඇත. එම ලේඛන, පොත පත ලෝකය පුරා සංසරණය වෙයි.

මා තර්ක කරන්නේ මෙවැනි චොම්ස්කියානු පිළිතුරු කෙතරම් සාරගර්භ වුවත්, එයින් සුමනසිරි සහ ඔහු වැනි අයගේ සාදයට හානියක් නොවන බවයි. මෙතන ඇත්තේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හෝ මොසිල්ලා ෆයර් ෆොක්ස් සෙවුම් යන්ත‍්‍ර යොදාගෙන භාෂණ ඉදිරිපත් කළ තොරතුරු සියල්ල සොයා ගැනීමට සුමනසිරිට නොහැකිවීමට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම ඔහු දැනටමත් මේ තොරතුරු දනී. නමුත් , තමා විශ්වාස කිරීමට කැමැති තොරතුරු පමණක් යොදාගෙන තම විශ්ලේෂණයට එළඹෙයි. එය තවදුරටත් නොදැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඔහු භාෂණට කියනු ඇත්තේ මෙසේය. ‘‘ඒ එයා ඉන්න මතය, මේ මම ඉන්න මතය. එයාගේ දෘෂ්ටිවාදය නිසා එයාට සත්‍ය පෙනෙන්නේ නැහැ. මම උපයෝගීතාවාදියෙක් විදියට සත්‍යය දකිනවා. ඒ වුණත් භාෂණට තමාගේ මතය දරන්න අයිතිවක් තියෙනවා. එයාට ඒ මතය ඉදිරිපත් කරන්න පුළුවන් වීමෙන්ම පේනවා ලංකාවේ (සහ රාවය පත්තරේ) තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන බව.’’

මේ ආකාරයට අදහස් දෙකක් හෝ ගණනාවක් පවතිනවා යැයි ප‍්‍රකාශ කිරීමෙන් මා අදහස් කරන්නේ ඒ සියල්ල නිවැරදි බව නොවේ. මේ මොහොතේ ලංකාවේ තීරණාත්මක යුද්ධයක් පවතින අතර, කවුරුන් නිවැරදි ද යන්න තීරණය වන්නේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලන්ගේ සාර්ථක අසාර්ථකභාවය මතය. යුද්ධයට සහභාගී නොවන සිවිල් වැසියන් වන අපට එතෙක් කළ හැක්කේ තත්ත්වය සම්බන්ධව අපගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණකි.

මා විශ්වාස කරන අන්දමට ඉහත ප‍්‍රශ්නයේදී භාෂණ ඉදිරිපත් කරන ස්ථාවරය නිවැරදිය. මගේ තර්කය වන්නේ එම ස්ථාවරය සනාථ කිරීම සඳහා ‘දැනුම’ ලබාදීම තවදුරටත් ප‍්‍රමාණවත් නොවන බවයි.

එබැවින් මා යෝජනා කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කළ හැක්කේ සුමනසිරි, වාසුදේව ඇතුළු සමාගම ඉහත කී පශ්චාත් යුද ගැටුම් ස්ථාවරයට පැමිණ එය දේශනා කිරීම පසුබිමේ ඇති භෞතික යථාර්ථය ප‍්‍රශ්න කිරීම මඟිනි.

එවිට, සුමනසිරි පර්යන්තයේ (නුවර) සිට දුරු කතර ගෙවා ගෙන කේන්ද්‍රය (කොළඹ) ට පැමිණ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් රඟපාන භූමිකාවක්, පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වශයෙන් රඟපාන භූමිකාවත් අතර ඔහු විසින් සාර්ථකව නඩත්තු කරන පරතරය ( Gap) නිරාවරණය වනු ඇත. පේරාදෙනියේ තම භූමිකාව නිසා ඔහු ලබන විනෝදය කොළඹ සිටින තාර්කික සිතන්නන්ට නොපෙනෙන නිසාත්, පේරාදෙනියේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොළඹ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙහි භූමිකා රඟපෑම සිදු නොකරන නිසාත් කිසිවිටෙක ෂෝට් සර්කිට් නොවන පද්ධතිය වියවුල් වනු ඇත. එවිට නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සපත්තු පහරකි. ප‍්‍රතිඵල වශයෙන් ඉල ඇට වලට වඩා දේවල් අහිමිවීමද, සිරදඬුවම්වලට වඩා වැඩි දේවල් හිමිවීමද සහතිකය.

ලංකාවේ සමාජය වෙනස් කිරීම පිළිබඳ අර්ථයෙන් ගත්කළ ‘දැනුමෙන්’ පුද්ගලයන් විවේචනය කිරීම තවදුරටත් ප‍්‍රතිඵලදායක නොවේ. ඒ සඳහා අදාල පුද්ගලයන් ‘විනෝදය’ ලබන තැන විවේචනය කිරීම නැමැති ස්ථාවරයට මාරුවිය යුතුය.

ලංකාවේ අර්ථයෙන් ‘ගින්දර’ සොයා ගැනීම යනු එය යැයි මගේ විශ්වාසයයි.

Back to HOME

Thursday, March 12, 2009

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදියා : ක‍්‍රියාපදයෙන් නාම පදයට

අපි දන්නා හඳුනන පුද්ගලයෙක් මීට කලකට පෙර ‘බුෆේ ’ කියන වචනයට අර්ථ නිරූපණයක් , නිර්වචනයක් දුන්නා.; ‘කැමති තරමක් බෙදා‍ගෙන කන්න’. ඇත්ත තමයි ‘බුෆේ ’ කියන ප‍්‍රංශ වචනය ලංකාවට ආවාම දුම්රිය භෝජනාගාරය හෙවත් බුෆේ එක බෆට් එක වුනා. ඊට පස්සේ ආපන ශාලා වලයි, මඟුල් ගෙවල් වලයි ‘බුෆේ ’ එන්න පටන් ගත්තා. නමුත් මේ වචනය සිංහල භාෂාවෙන් හරියටම තේරුම් කරන්න පුළුවන් වුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලාංකිකයෙකු වන අපේ කතානායකයාට පමණයි.

මේ වගේම අපේ භාෂාවට ආපු වචනයක් තමයි ‘ටෙරරිසම්’ කියන වචනය. මේකෙත් සම්භවය ලතින් භාෂාවේන් , ඉන් පසු ඉංග‍්‍රීසියෙන් අප කරා ආවාම අපි කිව්වා ත‍්‍රස්තවාදය කියලා. (Terror - ත‍්‍රස්තය , ism - වාදය Terrorism - ත‍්‍රස්තවාදය) ‘බුෆේ ’ වගේම තමයි ; ත‍්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නත් හරිම අමාරුයි. ත‍්‍රස්තවාදය අර්ථනිරූපණය කරන වාස්තවික ඩෙෆිනීෂන් එකක් හෙවත් නිර්වචනයක් නැහැ. දැන් එතකොට මේ ලිපිය කියවන අය මෙහෙම කියාවි. ‘‘ඇයි මෝඩ අනුකාරක ඇංකරයෝ, පොඩ්ඩක් වටපිට බලනවකෝ, අපේ රටට විතරක් නෙමෙයි, දුකට සැපට අපිට පිහිටවෙන පකිස්ථානයටත් ත‍්‍රස්තවාදය නිසා වෙච්ච විනාශය දිහා . ඉතින් තව මොකටද අර්ථ නිරූපණ ? ත‍්‍රස්තවාදය කියන්නේ ත‍්‍රස්තවාදය’’

නමුත් , කලබල නොවී බැලූවොත් ඔබට පෙනේවි ත‍්‍රස්තවාදය පිළිබඳ විෂයේ ප‍්‍රධාන කාරණය තමයි එයට අර්ථ නිරූපණයක් නැතිකම. ඒ නිසා ත‍්‍රස්තවාදය ගැන හරියට කතා කරන්න ගියොත් අපට වැඩිපුර කියන්න වෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයි, අහිංසක මිනිස්සු ප‍්‍රාණ ඇපයට ගැනීමයි පිළිබඳව නෙවෙයි භාෂාව සහ ලේබල් ඇලවීමේ බලය ගැනයි.

අපි ලේසි පැහැදිලි නිර්වචනයක් ගනිමු. ; උදාහරණයක් විදිහට, දේශපාලන පණිවිඩයක් සන්නිවේදනය කිරීම සඳහා හිතාමතාම හෝ සැලකිල්ලකින් තොරව සිවිල් ජනතාව මරා දැමීම හෝ තුවාල කිරීම නැත්නම් ඔවුන්ගේ දේපලවලට බරපතල හානියක් කිරීම ත‍්‍රස්තවාදී ප‍්‍රචණ්ඩත්වය ලෙස කෙනෙක් දකිනවා. දැන් ඒ විදියට බැලූවම ත‍්‍රස්තවාදය කියන්නේ ප‍්‍රචණ්ඩත්වය යොදන ක‍්‍රමවේදයක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට යොදා ගන්න පුළුවන් ක‍්‍රමයක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දේශපාලන පරමාර්ථය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රචණ්ඩත්වය යොදාගැනීම තෝරා ගන්න ඕනෑම කෙනෙකුට යොදා ගන්න පුළුවන් ක‍්‍රමයක්.. සීමිත මිලිටරි හෝ දේශපාලන විකල්ප කිහිපයක් පමණක් ඇති දුර්වල කණ්ඩායමක් විසින් යොදාගන්නා ක‍්‍රමයක්. උදාහරණයක් වශයෙන් අල් කයිඩා හරි ETA හරි ගන්න පුළුවන්.

නමුත්, මේ ක‍්‍රමයම වෙනත් ශක්තිමත් සංවිධානයක් විසින් වුණත් ප‍්‍රචණ්ඩත්වය යොදන ක‍්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට, අවශ්‍ය නම් වෙනත් මිලිටරි ක‍්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති ගරිල්ලා කණ්ඩායමක් , මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. සිවිල් යුධ තත්ත්වයකදී කැරළිකාර කණ්ඩායමක් වෙනත් විකල්ප ක‍්‍රියාමාර්ග තිබියදී පවා මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අසාර්ථක රාජ්‍යයක සිටින බලයට කෑදර කල්ලි කණ්ඩායම් සියල්ලම වෙනත් මිලේච්ඡ උපක‍්‍රම රාශියක් අතරේ මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට සෝමාලියාව සිහියට ගන්න.

ඒ වගේම මෙවැනි දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් රාජ්‍යයට අයත් හමුදා විසින් ද යොදා ගන්න පුළුවන්. 1985 දී ප‍්‍රංශය විසින් ග‍්‍රීන් පීස් සංවිධානයට අයත් රේන්බෝ වොරියර් නෞකාව ගිල්ලවීම, 1986 දී ඇමෙරිකාව විසින් ලිබියාවේ ටි‍්‍රපොලි නගරයට බෝම්බ දැමීම රාජ්‍යයක් විසින් එකලාව මෙම ක‍්‍රමය පාවිච්චි කළ අවස්ථාවලට උදාහරණයන් වෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය ආසන්න වෙන්න කිට්ටුව මිත‍්‍ර හමුදා විසින් ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන් නගරයට බෝම්බ දැමීම,1945 දී ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීම ආදිය සන්නද්ධ ගැටුමක පසුබිම තුළ වෙනත් ප‍්‍රචණ්ඩත්වයන් ද යොදා ගන්නා අතරතුර සිදුකළ ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමක් ලෙස දක්වන්න පුළුවනි.

ඒ අනූව ‘ත‍්‍රස්තවාදය’ යන්න එක විදියක දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් වශයෙන් අර්ථ දැක්වු විට, එය ඒ නිසාම අත්‍යාවශයෙන්ම ‘වැරදි’ දෙයක් වෙන්නේ නැහැ. කිසියම් ක‍්‍රියාවකට ‘ගුවනින් බෝම්බ හෙළීමක් ’ හෝ ’ආක‍්‍රමණයක්’ හෝ ’වටලෑමක්’ කියා කියු පමණින් එම ක‍්‍රියාව හෙළා දැකීමක් වෙන්නේ නැතිවා වගේ තමයි. මෙහෙම බලනකොට පේන්නේ අර ක‍්‍රියාව හෝ මේ ක‍්‍රියාව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස නම් කිරීම. එම ක‍්‍රියාවේ සුජාතභාවය පිළිබඳ සාකච්ඡාවට පසුබිම සකස් කිරීමක් බවයි.

හරි, හරි මම පිළි ගත්තා; ත‍්‍රස්තවාදය කියන යෙදුම අපි අද පාවිච්චි කරන්නේ ඒ කියපු විදිහට ඒ කියන්නේ තවත් ‘දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් ’ කියලා නෙවෙයි. පළමුවෙන්ම අපි ත‍්‍රස්තවාදය ‘ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නා ක‍්‍රමවේදයක්’ විදිහට නෙවෙයි එක විදියක පුද්ගලයන් කණ්ඩායමක් ලෙසට, එක්තරා විදියක උපක‍්‍රමයක් විදියට නෙවෙයි. එක විදියක සටන්කාමිකයෙක් ලෙසට. යම් පුද්ගලයෙක් කරන ක‍්‍රියාවක් විදිහට නෙවෙයි. යම් විදිහක පුද්ගලයෙක් ලෙසට දකින්න පුරුදු වෙලා තියෙනවා.

ඒ නිසා දැන් තියෙනවා ත‍්‍රස්ත සංවිධාන, ත‍්‍රස්ත කණ්ඩායම් , ත‍්‍රස්ත නායකයෝ. ඕං ඔය විදියට. මේ ලේබල් ඇලවිල්ල සඳහා කිසියම් කෙනෙක් කිසියම් නිශ්චිත ක‍්‍රියාවන් කළ බවට සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ කතිකාවේ සංගතභාවය ආරක්ෂා කර ගන්න. කිසියම් කණ්ඩායමක් ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් නම් කරලා ලැයිස්තුගත කළාට පස්සේ ඔවුන් ඉතින් ඕනෑම කාරණාවකදී ‘ත‍්‍රස්තවාදීන්’ තමයි. ලේබලය ගහන්න ඔවුන් කිසියම් නිශ්චිත ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුකිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවනුව, ඉහතින් මම ත‍්‍රස්තවාදය යන වචනයට දුන් මුලික තේරුමට වඩා ඉතාම පුළුල් නිර්වචනයක් තමයි ත‍්‍රස්තවාදය පිළිබඳ නීතිමය අර්ථ නිරූපණය තුළ තියෙන්නේ. බොහොමයක් නීති ක‍්‍රම තුළ ත‍්‍රස්තවාදය කියන අදහස ‘සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කිරීම‘ යන්නට එහා ගිහින් දේපළවලට විරුද්ධ ප‍්‍රචණ්ඩත්වය සහ රටේ යටිතල පහසුකම්වලට එල්ල වන ප‍්‍රහාර ද ඇතුළත් කළ හැකි පරිදි පුළුල් වෙලා. සමහර නීති ත‍්‍රම යටතේ බරපතළ ආකාරයේ සිවිල් නීති කඩ කිරීමේ ක‍්‍රියාමාර්ග පවා ’ත‍්‍රස්තවාදය’ කියන නාමකරණයට ඇතුළත් කළ හැකියි.

Back to Home