Thursday, March 26, 2009

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නේ ඇයි ?

සුදර්ශන ගුණවර්ධන

බාලගිරි දෝෂයට අසුවී තිබෙන ව්‍යවස්ථාදායක සභාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ විසින් යෝජනා කර ඇත. මෙය ඇසීමෙන් දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙකු සේ කුපිත වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් එම නාම යෝජනාවට විරුද්ධව පෙත්සමක් ගසා ඇත. පෙත්සමේ දැක්වෙන්නේ උයන්ගොඩ මහතා අවුරුදු දොළහක කාලයකට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බැවින් ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් ස්ථානයකට පත් කිරීමට නුසුදුසු බවයි.

මහාචාර්ය උයන්ගොඩ සිර දඬුවම් ලැබුවේ, හොර පොල් කැඞීම වැනි අපරාධයක් නිසා නොව, 1971 දී මහා රාජිනීන් වහන්සේගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැරළි ගැසීම හේතුවෙනි. ඔහු ඇතුළු සෙසු කැරළිකරුවන්ට විරුද්ධව නඩු අසා සිරදඬුවම් නියම කරන ලද්දේ එවකට පැවති සාමාන්‍ය නීතිය යටතේ නොව කැරැල්ලෙන් පසුව අතීතයට බල පැවැත්වෙන සේ සම්මත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නැමැති අවනීතිය යටතේය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් එකී කොමිසම් සභා පනත කටුගා දැමීමෙන් පසු මහාචාර්ය උයන්ගොඩ නිදහස ලැබීය.
මේ පිළිබඳ උයන්ගොඩ මහතාමත්, වික්ටර් අයිවන් මහතාත් ලියන ලද ලිපි පසුගිය රාවය පුවත්පතේ පළවිය. මෙහිදී මා උත්සාහ කරන්නේ රතන හිමියන් විසින් මහාචාර්ය උයන්ගොඩට විරුද්ධව පෙත්සමක් ගහන්නේ ඇයිදැයි ක‍්‍රමානුකූලව විමසීමටය.

කිසියම් සමාජ පදනමක් සහ එම සමාජ පදනම නියෝජනය කරන්නේ යැයි ප‍්‍රකාශ කරන දේශපාලන නායකත්වය අතර ඇති සම්බන්ධයේ අනුපාතය 1:1 ක් යැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එනම් අදාළ දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවන් එය විසින් නියෝජනය කරනු ලබන සමාජ පදනමේ අවශ්‍යතාවන් හා සමරූපී විය යුතුය. අපේ අදහස මෙය වැරදිය යන්නයි. මෙම විශ්වාසය සමාජය තුළ සාම්ප‍්‍රදායිකව මුල් බැස තිබෙන අන්ධභාවයකි; නැතිනම් මිත්‍යා විශ්වාසයකි.

උදාහරණයක් ලෙස පනස් හයේ සමාජ පෙරළිය සලකමු. එම පෙරළියට දායක වූ සමාජ බලවේගය ලෙස හඳුනා ගන්නේ සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයයි. මෙම සියලූ කොටස් සංකේතාත්මකව එකට එකතු කර බලවේගයක් සේ ගොනු කර නායකත්වය සැපයුවේ එස් .ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායකය. ඉහත තර්ක ක‍්‍රමය අනුව ගත් කළ පංච මහා බලවේගයේ අවශ්‍යතා සහ එහි නායකත්වය දැරූ බණ්ඩාරනායකගේ අවශ්‍යතා සමාන විය යුතුය. නමුත් ජයග‍්‍රහණයෙන් වසර තුනක් ගතවන විට බලවේගයේ නායක බණ්ඩාරනායක ඝාතනයට ලක් වේ. ඔහු ඝාතනය කරනු ලබන්නේ බෞද්ධ භික්ෂුවක් වන තල්දූවේ සෝමාරාම හිමිවන අතර ඝාතනය සැලසුම් කරන්නේ පංච මහා බලවේගයේ බල කණුවක් වූ කැළණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් විසිනි. ඉහත සංයුක්ත උදාහරණයෙන් පැහැදිලි වන්නේ පාලකයාගේ අවශ්‍යතාවය සහ ඔහු විසින් නියෝජනය කරන ලද බලවේගයේ අවශ්‍යතාවය අතර පරතරයක් (Gap) පවතින බවයි. එසේ නැත්නම් එකී බලවේගයට එම නියෝජිතයා/පාලකයා ඝාතනය කිරීමට අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත.

දැන් අතීතයේ අප පසුකරගෙන ආ උදාහරණයෙන් වර්තමාන කාලයේ පවතින ජාතික හෙළ උරුමය වෙත යොමු වෙමු. බොහෝ දෙනා කල්පනා කරන්නේ ජාතික හෙළ උරුමය විසින් නියෝජනය කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගය බවයි. එබැවින් ඉහත සමීකරණයට අනුව ජාතික හෙළ උරුමයේ අවශ්‍යතා සහ එය විසින් නියෝජනය කරනු ලබන සිංහල - බෞද්ධ බලවේගයේ අවශ්‍යතා සමරූපී වෙයි. එහෙත් මෙය දෘශ්‍යමාන යථාර්ථයයි; ඇහැට පෙනෙන ඇත්තයි.

නමුත් මීට ශතවර්ෂ දෙකකට එපිට ජීවත් වූ කාල් මාක්ස් ප‍්‍රශ්න කළේ දෘශ්‍යමානය යථාර්ථයක් නම් අපිට සමාජ න්‍යායක් කුමකටද කියායි. දෘශ්‍යමානය සහ යථාර්ථය යනු එකක් නොව දෙකක් නිසා අපිට සමාජ න්‍යාය අවශ්‍ය වේ.

මාරියෝ ෆූසෝගේ ‘‘ගෝඞ් ෆාදර්’’ නවකතාව තුළ කියැවෙන්නේ ඉතාලියේ සිසිලි දුපතේ සිට මරණින් බේරීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැන ආ පුද්ගලයෙකු පාතාල ලෝකයට ඇතුළු වී සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ආකාරයයි. සාර්ථක ව්‍යාපාරිකයා වන දොන් විටෝ කොරලියෝනි පසුපස ඇත්තේ ලේ වැකුණු අතීතයකි. එම ලේ සලකුණු මකා දමා කළු සල්ලි සඳහා සුජාතභාවයක් ලබා ගැනීම ඔහුගේ ඊළඟ අවශ්‍යතාවයයි. ඒ සඳහා ඔහු දේශපාලකයන් සහ විනිශ්චයකරුවන් තම සාක්කුවට දමා ගන්නා අතර ඔහුගේ ඊළඟ ඉලක්කය වන්නේ තම පුත‍්‍රයෙකු සෙනෙට් සභිකයෙකු හෝ ආණ්ඩුකාරවරයෙකු බවට පත් කිරීමයි.

පසුගිය අවුරුදු තිහ පුරා ඇති වූ ආර්ථික ක‍්‍රියාවලිය තුළ විවිධාකාර පාතාල සහ මාෆියා ක‍්‍රියාකාරීත්වයන් හරහා මුදල් උපයා ගත් සමාජ පංතියක් ලංකාවේ බිහිවිය. එනමුත් මේ සමාජ පංතියට අයත් පුද්ගලයන්ට ලංකාවේ අධිපති සිවිල් සමාජ ස්ථරය තුළ සුජාතභාවයක් නැත. ජාතික හෙළ උරුමය වැනි පක්ෂයක් ඇත්ත වශයෙන්ම නියෝජනය කරන්නේ දෘශ්‍යමානය තුළ පෙනෙන ආකාරයට සිංහල බෞද්ධ බලවේගයක් නොව ඉහත කී පතාල සමාජ ස්ථරයයි. ජාතික හෙළ උරුමය කරමින් සිටින්නේ එකී පාතාල සමාජ ස්ථරයට සමාජය තුළ සුජාතභාවයක් ලබාදීමට කටයුතු කිරීමයි. (මෙම තත්ත්වය වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණටද අදාළය) මෙම කටයුත්ත ඔවුන් විසින් සවිඥනිකව සිදු කරනවා නොවන්නට පුළුවන. නමුත් මෙම සිදුවීම අපට සමාජ අවිඥනය ලෙස නම් කළ හැක.
මේ අය විසින් නියෝජනය කරන සමාජ බලවේගයේ භෞතික බලකණු ඔබට අද කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල තාප්ප සහ බිත්ති දෙස බැලීමෙන් පහසුවෙන් හඳුනාගත හැකිවනු ඇත. රේස් බුකි ව්‍යාපාර ප‍්‍රාග්ධනය තුළින් බිහි වූ තිලංගත්, තවත් එවැනිම වූ හඳුනා නොගත් ප‍්‍රාග්ධනයකින් මෙහෙයවෙන දුමින්දත් එකම පක්ෂයක ඡන්ද ලකුණක් යටතේ එකිනෙකාට අභිමුඛ වී ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවතුණා නම් මේ දෙදෙනා අතර තරඟයේදී මාරුවන්නේ බුලත් කොළය වෙනුවට අලියා පමණක් බව තේරුම් ගැනීමට මීට මාස කිහිපයකට පෙර මේ දෙදෙනාම සිටින්නේ කොයි පැත්තේදැයි කියා මතක තබා ගෙත සිටීම අවශ්‍ය වන්නේ නැත.

දැන් මා ඉහත ප‍්‍රකාශය තවදුරටත් පැහැදිලි කළ යුතුය. එමෙන්ම අපේ ලිපියේ මාතෘකාව වන පීඩිත කුලයකින්, පීඩිත සමාජ පසුබිමකින් පැමිණෙන අතුරලියේ රතන හිමියන් තමන් වැනිම පීඩිත කුලයකින් හා පීඩිත සමාජ පසුබිමකින් පැමිණි මහාචාර්ය උයන්ගොඩට මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයිද යන්නත් විග‍්‍රහ කළ යුතුය. මේ කතාවේ ඉතිරි කොටස අපි ලබන සතියේ සමබිම තුළින් කියවමු.

Back to HOME ..

2 comments:

Narada said...

ඉතිං කාට කියන්නද? ධර්ම රාජ්ජයේ වෙන්න ඔනේ දෙවල් වෙන්න ඇති.

Ibnubatuta said...

wiaiting to see the part 2