Thursday, March 19, 2009

සපත්තු පාර මෙහෙම ගහමුද ? සුදර්ශන ගුණවර්ධන

‘‘පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’’ ලිපිය ගැන අදහසක්

’පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’ යන මාතෘකාවෙන් රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් මාර්තු 15 දා ‘රාවය’ පුවත් පතේ පළවිය.

ශ‍්‍රී ලංකාව නැමැති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රයෙන් මැරුම් කන්නේ නැතිව පණ බේරා ගැනීමට හැකිවු තමාගේ පරම්පරාවේ අනෙකුත් කැරළිකරුවන් පමණක් නොව ඊට පෙර පරම්පරාවේ කැරළිකරුවන් ද මතවාදී වශයෙන් අදවන විට පත්ව තිබෙන ජරා ජීර්ණ තත්ත්වය දෙස බලන විට, ප‍්‍රතිපත්තිගරුක, සමා විරහිත දේශපාලන ස්ථාවරයක අඛණ්ඩව පැවතීම පිළිබඳව භාෂණට මම නොපැකිළ ආචාර කරමි.

සපත්තු ප‍්‍රහාරය පිළිබඳ ලිපියට නිමිත්ත වන්නේ ‘වර්ග සංහාරයක්’ පිළිබඳව භාෂණ විසින් ‘රාවය’ පුවත්පතේ ‘සමකය’ ට ලියු ලිපියකි. එම කතාවෙහි ‘ කිසිදු සත්‍යයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව ’ සුමනසිරි ලියනගේ පෙරළා ‘රාවය’ ටම ලියයි. පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කරමින් භාෂණ තම ලිපිය ලියන්නේ එයට පිළිතුරු වශයෙනි.

‘සපත්තුවෙන් ගැසීම’ යන යෙදුම ඉදිරියට එන්නේ ඉරාකය සහ ඉරාක ජනතාව සදාම් හුසේන් නමැති
‘ඒකාධිපතියාගෙන්’ බේරා ගැනීමට මානුෂික මෙහෙයුමක් දියත් කළ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් තම ධුර කාලයේ අවසානයේදී ඉරාකයේ කළ සංචාරයෙන් පසුව පවත් වන ලද මාධ්‍ය හමුවේදිය. මෙම මාධ්‍ය හමුවට සහභාගී වු අනෙකුත් මාධ්‍යවේදීන් ජනාධිපති බුෂ් සහ ඔහුගේ ඔහුගේ ප‍්‍රතිපත්ති විවේචනය කරමින් ඕනෑතරම් ප‍්‍රශ්න ඇසුවාට සැකයක් නැත. එහිදී ජනාධිපති බුෂ් ඒවාට පිළිතුරු දෙමින් මෙසේ කියන්නට ඇත. ‘‘ ඒක ඔබතුමාගේ මතය; මේක මගේ මතය. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. මේ වගේ ප‍්‍රශ්න අහන්න පුළුවන් වුණ එකෙන්ම පේනවා නේද දැන් ඉරාකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා. ’’ එහෙත් ඉරාකයේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවේදියෙකු වු මුත්තදාර් අල් සයිදි බුෂ් සමඟ සංවාදයට නොගොස්, මාධ්‍ය හමුවෙන් පසුව පැවැත්වෙන කොක්ටේල් සාදයේදී බුෂ්ගේ කරට අත දා ගැනීමේ බලාපොරොත්තුවකින් තොරව, තමන්ගේ සපත්තු දෙක ගලවා ජනාධිපති බුෂ් වෙත දමා ගැසුවේය. එහි ප‍්‍රතිඵල වශයෙන් ඔහුට ඉල ඇට දෙකක් කැඩෙන සේ ගුටි බැටද වසර තුනක සිරදඬුවමක්ද හිමිවිය.

භාෂණ තම සපත්තු ප‍්‍රහාර එල්ල කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයටය. එනම් එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ ප‍්‍රතිසංස්කරණ පෙරට ගෙන ඒමට ඇඟිලි ගනිමින් සිටින සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද මණ්ඩපයටය. තනි සිංහල රජයේ හමුදාවකට සහ තනිකර දෙමළ කැරළිකාර හමුදාවක් අතර සිදුකෙරෙන මහා යුද්ධයකට මැදිව සිටින සියයට සියයක්ම දෙමළ ජාතිකයන්ගෙන් සමන්විත සිවිල් වැසියන් මුහුණදෙමින් සිටින තත්ත්වය පිළිබඳව මෙම මණ්ඩපයේ සිටින සුමනසිරි ලියනගේ, වාසුදේව නානායාක්කාර, ඇතුළු පිරිස් වෙත අගනා පැහැදිලි කිරීමක් භාෂණ සිදු කරයි. ඒ සඳහා ආනන්ද සංගරී වැනි රජයට හිතවත් දෙමළ නායකයකුගේ ප‍්‍රකාශවල සිට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල වාර්තා දක්වා උපයෝගී කරගනී. එම විග‍්‍රහය කියවා තමන් දැනට සිටින වැරදි අස්ථානයෙන් ගැලවී නිවැරදි අස්ථානයකට සුමනසිරි, වාසුදේව ඇතුළු සාද ශාලාවේ විනෝදයෙන් කල්ගත කරන මහත්වරුන් හෝ අඩුම වශයෙන් ඔවුන්ගේ අදහස් කියවන පාඨකයන් හෝ පැමිණෙනු ඇතැයි භාෂණ කල්පනා කරන්නට ඇත. නැත්නම් ඔහු ඔවුන්ට පිළිතුරු ලියන්නේ නැත.

මෙම ක‍්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ප‍්‍රකට චින්තකයකු වන නෝම් චොම්ස්කි විසින්ද අනුදැන වදාළ ක‍්‍රමයකි. යුද්ධයට විරුද්ධව ඔහු විසින් ලියන ලද ලේඛන අඩි ගණන් උසට ගොඩ ගැසී ඇත. එම ලේඛන, පොත පත ලෝකය පුරා සංසරණය වෙයි.

මා තර්ක කරන්නේ මෙවැනි චොම්ස්කියානු පිළිතුරු කෙතරම් සාරගර්භ වුවත්, එයින් සුමනසිරි සහ ඔහු වැනි අයගේ සාදයට හානියක් නොවන බවයි. මෙතන ඇත්තේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හෝ මොසිල්ලා ෆයර් ෆොක්ස් සෙවුම් යන්ත‍්‍ර යොදාගෙන භාෂණ ඉදිරිපත් කළ තොරතුරු සියල්ල සොයා ගැනීමට සුමනසිරිට නොහැකිවීමට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම ඔහු දැනටමත් මේ තොරතුරු දනී. නමුත් , තමා විශ්වාස කිරීමට කැමැති තොරතුරු පමණක් යොදාගෙන තම විශ්ලේෂණයට එළඹෙයි. එය තවදුරටත් නොදැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඔහු භාෂණට කියනු ඇත්තේ මෙසේය. ‘‘ඒ එයා ඉන්න මතය, මේ මම ඉන්න මතය. එයාගේ දෘෂ්ටිවාදය නිසා එයාට සත්‍ය පෙනෙන්නේ නැහැ. මම උපයෝගීතාවාදියෙක් විදියට සත්‍යය දකිනවා. ඒ වුණත් භාෂණට තමාගේ මතය දරන්න අයිතිවක් තියෙනවා. එයාට ඒ මතය ඉදිරිපත් කරන්න පුළුවන් වීමෙන්ම පේනවා ලංකාවේ (සහ රාවය පත්තරේ) තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන බව.’’

මේ ආකාරයට අදහස් දෙකක් හෝ ගණනාවක් පවතිනවා යැයි ප‍්‍රකාශ කිරීමෙන් මා අදහස් කරන්නේ ඒ සියල්ල නිවැරදි බව නොවේ. මේ මොහොතේ ලංකාවේ තීරණාත්මක යුද්ධයක් පවතින අතර, කවුරුන් නිවැරදි ද යන්න තීරණය වන්නේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලන්ගේ සාර්ථක අසාර්ථකභාවය මතය. යුද්ධයට සහභාගී නොවන සිවිල් වැසියන් වන අපට එතෙක් කළ හැක්කේ තත්ත්වය සම්බන්ධව අපගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණකි.

මා විශ්වාස කරන අන්දමට ඉහත ප‍්‍රශ්නයේදී භාෂණ ඉදිරිපත් කරන ස්ථාවරය නිවැරදිය. මගේ තර්කය වන්නේ එම ස්ථාවරය සනාථ කිරීම සඳහා ‘දැනුම’ ලබාදීම තවදුරටත් ප‍්‍රමාණවත් නොවන බවයි.

එබැවින් මා යෝජනා කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කළ හැක්කේ සුමනසිරි, වාසුදේව ඇතුළු සමාගම ඉහත කී පශ්චාත් යුද ගැටුම් ස්ථාවරයට පැමිණ එය දේශනා කිරීම පසුබිමේ ඇති භෞතික යථාර්ථය ප‍්‍රශ්න කිරීම මඟිනි.

එවිට, සුමනසිරි පර්යන්තයේ (නුවර) සිට දුරු කතර ගෙවා ගෙන කේන්ද්‍රය (කොළඹ) ට පැමිණ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් රඟපාන භූමිකාවක්, පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වශයෙන් රඟපාන භූමිකාවත් අතර ඔහු විසින් සාර්ථකව නඩත්තු කරන පරතරය ( Gap) නිරාවරණය වනු ඇත. පේරාදෙනියේ තම භූමිකාව නිසා ඔහු ලබන විනෝදය කොළඹ සිටින තාර්කික සිතන්නන්ට නොපෙනෙන නිසාත්, පේරාදෙනියේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොළඹ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙහි භූමිකා රඟපෑම සිදු නොකරන නිසාත් කිසිවිටෙක ෂෝට් සර්කිට් නොවන පද්ධතිය වියවුල් වනු ඇත. එවිට නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සපත්තු පහරකි. ප‍්‍රතිඵල වශයෙන් ඉල ඇට වලට වඩා දේවල් අහිමිවීමද, සිරදඬුවම්වලට වඩා වැඩි දේවල් හිමිවීමද සහතිකය.

ලංකාවේ සමාජය වෙනස් කිරීම පිළිබඳ අර්ථයෙන් ගත්කළ ‘දැනුමෙන්’ පුද්ගලයන් විවේචනය කිරීම තවදුරටත් ප‍්‍රතිඵලදායක නොවේ. ඒ සඳහා අදාල පුද්ගලයන් ‘විනෝදය’ ලබන තැන විවේචනය කිරීම නැමැති ස්ථාවරයට මාරුවිය යුතුය.

ලංකාවේ අර්ථයෙන් ‘ගින්දර’ සොයා ගැනීම යනු එය යැයි මගේ විශ්වාසයයි.

Back to HOME

1 comment:

Ramachandra said...

මෙම ලිපිය නියෝජනය කරන දේශපාලනයෙහි සන්දර්භය ගැන විවේචනයක් තිබුනත් ඉතාම හොද ලිපියක්.දේශපාලනයේ දැනුම තවදුරටත් අතාර්කික වන මොහොතේදී අදාල චරිතයේ භෞතික පැවැත්ම හරහා පෙරලා කතිකාවතට ආලෝකයක්/දැනුමක් ගෙන ඒම කියන්නෙ හොද අදහසක්.
උදාහරනයක් විදිහට වසර කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ගිය වික්ටර් අයිවන් දැන් එකපාරට ගාන්දිවාදියෙක් වෙලා ඉන්නෙ මොකද?ඊනියා අවිහිංසාවාදය වගේම අයිවනුත් confront කරන ප්‍රවේශයක් එතනදී සෑහෙන්න ඵලදායි.
කරුනා,විරවංශ වර්ගයේ දේශපාලනයටත් මෙය අදාලයි
ලිපියට කමෙන්ට්ස් නැත්තෙ ඇයි?"බරක්"සහිත දේවල් මේ තරම්ම අපේ අයට අවිෂය වෙලා තියෙන්නේ ඇයි?