Friday, July 31, 2009

පසුගිය 27 වෙනිදා සීගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතියට හා සදාචාරයට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් ”වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයා පැවසීය. රජයේ මේ අලූත්ම තීරණය ගැන සමබිමේ අපි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරියකගෙන් විමසුවෙමු. එහිදී ඔවුන් පළකළ අදහස් මෙසේය.

මේ 21 වන සියවසේ කාලෝචිතම නීතියයි...?
අශෝක හඳගම

සංස්කෘතික අමාත්‍යංශය මඟින් සම්පාදනය කිරීමට යෝජිත මේ අලූත් නීතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කළොත් මං හිතන්නේ, 21 වන සියවස තුළ ලංකාවේ පැනවෙන වඩාත්ම කාලෝචිත සහ ඥනාන්විතම නීතිය එය වන බවයි.මං එහෙම කියන්නේ, මේ රටේ වැඩිහිටියන් කියන්නේ බාල දරුවෙකුට බලන්නට, අසන්නට, දකින්නට නොහැකි කිසිවක් දොරවල් වහගෙනවත් නොකරන, සිහිනෙන්වත් හොරකමක්, මැරකමක්, කපටිකමක්, වංචාවක්, දූෂණයක්, අයථා සංසර්ගයක්, අසැබිකමක් නොකරන පිරිසක් ද, ළමයින් කියන්නේ උප්පැන්න සහතිකයේ උපන්දිනයේ, ලිපිනයේ මෙන්ම පාසලට ඇතුළත් කරගැනීමට ඉදිරිපත් කරන ලියකියවිලි සැකසීමේ සිට වැඩිහිටියන්ගේ හොරකම්, වංචාවන්, දූෂණයන්, මැරකම් හා පගාගැහිලි වලට හුරු කරවනු ලැබූ පිරිසක් ද වන නිසයි.ඒ නිසා වැඩිහිටියන්ට පමණක් සීමා වු සිනමාවක් හෝ කලාවක් පැවතීම එක අතකින් ළමා අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් වන අතර තව අතකින් වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කොන්කර ඔවුන්ට දරා ගත නොහැකි සංකීර්ණ මානසික තත්ත්වයකට අනාවරණය කිරීමක්. මේ නිසා ජනමාධ්‍යකරුවන් ලෙස ඔබ සැමගේත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසු සිසුවියන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සමස්ත සිවිල් ප‍්‍රජාවගේමත්, හැම පුරවැසියෙකුගේමත් වගකීම වන්නේ පාර්ලිමේන්තුව තුළ එකී යෝජිත නීතිය ඒකච්ඡන්දයෙන් සම්මත කරගැනීමට සියළු දේශපාලන පක්ෂවලට බල කර සිටීමයි.

වඳුරට දැලි පිහිය ලැබුණොත්...
ඉනෝකා සත්‍යාංගනී

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම හරහා කාමාතුරයින්ට මෙතෙක් රට තුළ සැණකෙළි පවත්වන්නට ලැබී තිබූ නිදහසට වැට කඩුලූ බැදීම අපේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය මෑතකදී ගත් අභීත පියවරක්. ඒත් ඒ මගින් අපේ සංස්කෘතික ජන ජීවිතයට හා පොදුවේ සන්නිවේදන අයිතීන්ට වැට කඩුලූ බැදීම නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මෙතනදී අදාළ ඇමතිවරයා පවසාවි මේ නීතිය ඔවුන් විසින් පනවන්නේ රටේ බාල පරපුර නොමඟ යවන කාම චිත‍්‍රපට රැල්ලට එරෙහිව ගන්නා වූ පියවරක් හැටියට. ඒත් ඒමගින් පනවන්නා වූ නීතිය පොදුවේ ක‍්‍රියාත්මක වනවිට එම නීතිය අතට ගත් නිළධාරියා හෝ බලධාරියා විසින් ඔහුගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන්නට පෙළඹීමත්, අපට වළක්වන්නට බැරි ප‍්‍රායෝගික තත්වයක්. රජය හෝ සංස්කෘතික ඇමතිවරයා විසින් අදාළ කතුර භාර කරන්නේ එම නීති පද්ධතිය මත පිහිටා යුක්ති යුක්තව සහ අපක්ෂපාතීව අදාළ අරමුණ ඉටු කරන්න බැඳී සිටින ප‍්‍රතිපත්තිගරුක සෘජු බලධාරියෙකුට නම් මෙහි කිසිදු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ. ඒත් ඒ කතුර අතට ගන්නේ නිලධාරි කබායක් ඇඟලා ගත් වඳූරෙක් නම් වඳූරාගේ අතට දැලිපිහිය ලැබුණු විට සිදුවන දේ පිළිබඳව අපට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ සදහා අප සතු අත්දැකීම් බොහෝමයි.


තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි
සනත් ගුණතිලක

තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි. මගේ චිත‍්‍රපටියත් වැඩිහිටියන්ට කියලයි නම් කරල තියෙන්නේ. ඒ නිසා මම මේ ගැන හොයල බැලූවා. මට දැනගන්න ලැබුණෙ විශේෂයෙන්ම කාමුක දර්ශන, රාගී දර්ශන, මුල්කරගෙන මුදල් උපයන්න කරන චිත‍්‍රපට සඳහා මේ තහනම පනවා තියෙන බවයි. ලංකාවේ හෝ පිටරට වේවා මේ කාමුක දර්ශන, ත‍්‍රාසජනක දර්ශනවල එකම පරමාර්ථය මුදල් ඉපැයීම. මම දන්න තරමින් ඒවට තමයි මේ තහනම තියෙන්නේ. මගේ චිත‍්‍රපටිය එවැනි චිත‍්‍රපටියක් නොවන බවට මම කෙලින්ම පෙනී සිටිනවා. දැනට මගේ චිත‍්‍රපටියට කිසිම වෙනස් කිරීමක් කරන්න කියලා නැහැ. රැඟුම් පාලක මණ්ඩලයෙනුයි ඒක වැඩිහිටියන්ට පමණයි කියලා සහතික කළේ. මම චිත‍්‍රපටිය කරලා තියෙන්නේ ලංකාවේ නීති පද්ධතියට යටත්ව. නමුත් මේ තත්ත්වයට යටත් වෙන පිරිස් මේක මුල්කරගෙන වෙනත් විදිහකට මට හිරිහැර කරන බව පේනවා.දැනට මගේ චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව මගේ පැහැදීමක් තියෙනවා. මට මේ චිත‍්‍රපටිය ළමයින්ට පෙන්නන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවල සිනමා තිර කථාව විසින් එවැනි දර්ශනයක් ඉල්ලා සිටිනවා. එතකොට යම්කිසි බුද්ධිමත් පිරිසක් විදිහට අපට දැනෙනවා ඒ දර්ශන බලෙන් රිංගවලාද, නැත්නම් ඇත්තටම අවශ්‍යද කියන එක. ඉතිං එහෙම චිත‍්‍රපටිය විසින් ඉල්ලා සිටින දර්ශනයක් පවා ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුණොත් අපට ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලක් මෙහි පවත්වන්නත් බැහැ. නිදහසේ නිර්මාණකරණයේ නියැලෙන්න ඉඩ ඇහිරුණොත් මම ඒ වෙලාව අනුව කටයුතු කරයි. ඒත් නිර්මාණකරණයෙන් බැහැර වෙන්නේ නම් නැහැ.


මේක කාම අපරාධ වැඩි කරන කුමන්ත‍්‍රණයක්
සිරිමල් විජේසිංහ

මට හිතෙන්නේ මේක රජයේ කුමන්ත‍්‍රණයක්. ඔවුන් මේ වගේ දෙයක් කරන්න උත්සාහ ගන්නේ අද රට මුහණ දී සිටින ආර්ථික ප‍්‍රශ්න වැඩි නිසාත්, ජනගහනය වැඩි නිසාත්. ජනගහනය වැඩි වෙන කොට උග‍්‍ර වෙන ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය ස්ත‍්‍රී-පුරුෂ සංසර්ගය තහනම් කරන්න යනවා. ඒකට පෙර සුදානමක් විදිහටයි රජය වැඩිහිටියන්ට පමණයි කියන චිත‍්‍රපට තහනම් කරන්න සුදානම් වෙන්නේ. ඒ වගේම රට තුළ කාම අපරාධ වැඩි කරන්න කුමන්ත‍්‍රණයකුත් ඔවුන් ක‍්‍රියාත්මක කරනවා. පහුගිය දවස්වල කාන්තාවන් සහ දරුවන් මහ මඟ දූෂණය කර මරා දැමූ පුද්ගලයින් දිහා බැලූවම අපට පේනවා ඔවුන් පොතකින්වත් නිරුවත් ඡායාරූපයක් දකින්න නොලැබෙන අය කියලා. රජය උත්සාහ කරන්නේ ඒ වගේ මිනිස්සු තුළ තව තවත් ලිංගික පීඩනය ඇතිකර කාම අපරාධ වැඩි කරන්න. ඒ වගේම තමයි අපේ රටේ අන්තර්ජාලය ගත්තොත් ඒක බොහෝ දෙමාපියන්ගේ දැනුවත්භාවය ඇතුව ළමයි සිදුකරන දෙයක්. තමන්ගේ ළමයි වැඩිහිටියන්ට පමණයි කියන දේවල් බලනවා කියල ඔවුන්ගේ දෙමාපියන් දන්නවා. ඒ ගැන දෙමාපියන් සහ දරුවන් අතර සම්මුතියක් පවතිනවා. නැත්නම් ගෙවල්වල අන්තර්ජාලය තියෙන්න විදිහක් නැහැ. දැන් රජය මැදිහත් වෙලා මේක නතර කරන්න තීරණය කරලා තියනවා. ඉතින් සම්මුතියක් ඇතිව බලන ජනතාව තීරණය කරන්න ඕන තමන් මොකක්ද රජයට හා අණ්ඩුවට කරන්න ඕන කියලා. තමන්ගේ අයිතිය නැති කිරීම ගැන ජනතාව තීරණයක් ගන්න ඕන. අපිට ගැටළුවක් නැහැ, අපි කොහොමත් අපිට අවශ්‍ය දේ බලනවා. මම කොහෙත්ම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ජනතාවමයි අවසානයේ අපිට කෙළවන්නේ. ඔවුන් අවසානයේ පකෂපාතී වෙනවා. ඒ නිසා මේ පනත ගෙන ආ පසු මම පෞද්ගලිකව මානව හිමිකම් නඩුවක් පවරනවා. නමුත් මම පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. පුරවැසියෙක්, වැඩිහිටියෙක් විදිහට මේ දර්ශන බලන්න මට තියෙන අයිතියට සහ චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මගේ නිර්මාණ වලට මේ පනත බාධාවක් නිසා. ඒ තත්ත්වය මත ඊට විරුද්ධ වෙන්න පෞද්ගලික අයිතියක් මට තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන්ම මේකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.



රටම හිනා වෙන්න ඕන කාරණයක්
සුදත් මහදිවුල්වැව

මට හිතෙන්නෙ මෑත කාලෙ වුණ හොඳම විහිළුව වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටි තහනම් කිරීම. වැඩිහිටියන්ට පමණයි කියන එකෙන් අදහස් කරන්නේ ‘වල් ’ කියන එක නම්, මම හිතනවා ඒ කියවීමම වැරදියි කියල. ලංකාව සියළුම කාරණාවල සංකේත අරුත් අවුල් කරගෙන තියෙන්නෙ. වැඩිහිටියන්ට පමණයි කියන්නෙ වැඩිහිටියන් විසින් සාකච්ඡාවට ගතයුතුයි සහ වැඩිහිටි සමාජයකට කතිකාවතක් අවශ්‍යයි කියන කාරණය. ඒක ඇතුළෙ ලිංගිකත්වය නෙවෙයි, ඊට වඩා පුළුල් කතාබහක් තියෙන්නේ. විවෘතව මිනිහෙකුට තමන්ට හිතිච්ච තේමාවක් කතා කරන්න තියෙන නිදහස, හිතන්න තියෙන නිදහස වාරණය වෙනවා කියන කාරණයට මම විරුද්ධයි. නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණකරණය ඇතුලේ අත්‍යවශ්‍ය දර්ශන කරා යන්න නිදහස තියෙන්න ඕන. මෙහෙම සුචරිත සමාජයක් හදන්න උත්සාහ කිරීම මම හිතන්නේ රටම හිනාවෙන්න ඕන කාරණාවක්. අනිත් එක වැඩිහිටියන්ට පමණයි කියන කියවීම ඇතුළේ ලිංගික කියන්නේ අනුමාතෘකාවක්. ළමයි එක්ක සාකච්ඡුා කරන්න බැරි දේශපාලන කාරණාවක් වැඩිහිටියන්ට පමණයි වෙන්න පුළුවන්. ඔවුන් කියනවා නම් මේ උත්සාහය නරක විදිහට ලිංගිකත්වය උළුප්පන, ඉතාම තුට්ටු දෙකේ, බලන් ඉන්න බැරි තරම් ජරා චිත‍්‍රපටි වලට වාරණය දැමීමක් කියල, මම ඒකට පෞද්ගලිකවම විරුද්ධයි. ඔවුන්ගේ උත්සාහය ඒකයි කියල පෙන්නුවට සිද්ධවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මම දන්නෙ නැහැ මේ තීරණ ගන්න මිනිස්සු කොහේ ඉඳන් ඕව ගන්නවද කියලා. ඕව ඡුන්දෙකට කළින් විකුණන්න පුළුවන් දේවල්. මම හිතන්නේ තව ටිකක් කල් යනකොට මේ ගොල්ලො සීගිරි අප්සරාවන්ටත් ඇඳූම් අන්දනවා. ලෝකේ ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා නිරුවත නෙවෙයි නරක, මිනිහෙක් නිරුවත් කරල ඒ මනුස්සයට වද දෙන එක කියලා. මට හිතෙන්නේ අර අසිත තාපසයා කිවුවා වගේ හයියෙන් හිනාවෙලා, හයියෙන් අඬන්න තමයි තියෙන්නේ. නමුත් මේ ගැන කතාකරන එකවත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මොකද ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො එච්චරටම මෝඩ හින්ද ඒ තීරණ තීරණම වෙයි. ඕව බොහොම යහපත් විදිහට තේරුම් ගන්න සමාජයකයි අපි අද ජීවත් වෙන්නේ.


Back to Home