Wednesday, December 17, 2008

පුරවැසියන් නීතිය ඉල්ලා සිටිය යුතුයි

Right To Life
විධායක ලේකම්
පිලිප් දිසානායක

සාකච්ඡා කළේ-

තාරා ශ‍්‍රී රාම්

අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?

අද ලෝකයේ තියෙන සියළුම ගණයේ දරුණු මානව හිමිකම් කඩ කිරීම් අපේ රටේ සිදුවෙනවා. අතුරුදහන් වීම්, නීත්‍යනුකූල නොවන ඝාතන, මානසික හා ශාරීරික වද හිංසා, මර්දන නීති හරහා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙර ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය වෙලා තිබුණත් ඒවා වළක්වා ගන්න හැකි වුණේ තමන්ගේ රටේම බිහිකරගත් සාමූහික එකමුතු ව්‍යාපාර තුළින්. අපේ රටේත් දැන් පවතින තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් සාමූහික එකමුතුවකින් පමණයි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ පොදු එකතුවක් හදන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන ගනණාවක් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. නීතියේ පාලනය යළි ඇති කිරීමට රජයට බල කරමින් එහි පළමු පියවර පසුගිය දෙසැම්බර් 10 වැනිදා ට යෙදුණ ජගත් මානව හිමිකම් දිනයේදී සිදුකළා.මෙම පොදු එකමුතුව සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද?
මුලින්ම අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මිනිස්සුන්ට නීතියෙන් අයිතිවාසිකම් තිබුණත් ප‍්‍රායෝගිකව අපිට ඒ වරප‍්‍රසාදය ලබා ගන්න බැරි බව. ඒවා ලබාදීමට වගකීම තියෙන සංස්ථා කඩා වැටිලා. ඒ නිසා මුලින්ම අපට ව්‍යවස්ථානුකූල වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා දැනුවත්, ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒක තනි පුද්ගලයෙකුට හෝ තනි සංවිධානයකට කරන්න බැහැ. ඒකයි මෙවැනි පොදු එකතුවක් හැදුවේ. බොහෝ කාලයකට පසුවයි මිනිස්සු මේ ආකාරයට මානව හිමිකම් වෙනුවෙන් එකතුවුණේ. මම හිතනවා එදා එම පණිවිඩය රජයට, අදාළ ආයතන වලට හා මහජනයා වෙත යන්න ඇති කියලා.

ඔබේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ සිංහල භාෂාවෙන් නිකුත් කරන රයිට් ටු ලයිෆ් ප‍්‍රකාශනය හරහා ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස කවුද? ඔවුන්ගේ ප‍්‍රතිචාර මොනවාද?
අපි ඉලක්ක කරන්නේ,
1. ප‍්‍රාදේශීය සමාජ ක‍්‍රියාකාරකයන්
2. පවතින යුක්ති පද්ධතිය තුළ පීඩාවට පත්වෙන වින්දිතයන් සහ
3. මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා හිතන ප‍්‍රගතිශිලීන්.
සාමාන්‍යයෙන් පොදුවේ අපේ රටේ ජනතාව කියවීමට දක්වන උනන්දුව අඩුයි. ඒ වගේම අපි ආමන්ත‍්‍රණය කරන බහුතරය භාෂාවක් විදිහට භාවිතා කරන්නේ සිංහල. දැනට අපි සිංහල භාෂාවෙන් කටයුතු කළත් ඉදිරියේදී දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ත්‍රෛමාසිකව අපේ ප‍්‍රකාශනය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවම විශාල ප‍්‍රතිචාරයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් උනන්දුවෙන් මිලදී ගන්නා පිරිසක් ඉන්නවා. සමහර කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇතිවෙනවා. සඟරාවකින් පමණක් විශාල සමාජ සංවාදයක් ගොඩනැගෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒත් අපි දිගටම උත්සාහ කරනවා.

වසර දෙකකට ආසන්න කාලයක් නිකුත් කරන ප‍්‍රකාශනය සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් මොනවාද ?
මානව හිමිකම් කියන විෂය අපේ රටේ තවම නාගරිකව ප‍්‍රචලිත වුණත් ග‍්‍රාමීයව ප‍්‍රචලිත වෙලා නැහැ. මේ හරහා අපි හුඟක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ගියා. අපි මුහුණ දුන් සිදුවීම් අනුව ප‍්‍රාදේශීයව ඉන්න සාමාන්‍ය පුරවැසියන්ට මෙම ප‍්‍රකාශනය මඟින් අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වාගේම මම මුලින් සඳහන් කරපු අපි ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස අතරත්, ප‍්‍රාදේශීය සංවිධාන අතරත් සංවාදයක් ගොඩනැඟිලා තියෙනවා. අපි ඉදිරිපත් කරන අදහසට එකඟ අය සමඟ අපට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්.

ඔබේ ප‍්‍රකාශනය හරහා ලංකාවේ මානව හිමිකම් ගැන සමාජගත කිරීමට අපේක්ෂා කරන මතවාදය මොකක්ද ?
මට අනුව මේ ප‍්‍රකාශනයේ මතවාද දෙකක් තියෙනවා. ඒ සැඟවුණු මතය සහ බාහිර මතය. බාහිර මතය නීතියේ ආධිපත්‍යය (Rule of Law) මේ රටේ ඇතිකළ යුතුයි කියන එකයි. නමුත් එය පහසු නැහැ, ඒ සඳහා සමාජ-දේශපාලන වෙනසක් ඇතිකළ යුතුයි යන්නයි සැඟවුණු මතය. නීතියේ ආධිපත්‍යය කියන්නේ ගැඹුරු මාතෘකාවක්. නමුත් ඒ සඳහා අපි සරල සංවාදයක් දැන් ගොඩනඟාගෙන යනවා.

ඒ සඳහා තිබෙන අවස්ථා, බාධක සහ අභියෝග මොනවාද?
මම හිතනවා සමාජය තුළ එවැනි මතයක් ගෙන යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් තියෙනවා කියලා. අද වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සමාජ ප‍්‍රතිසංස්කරණයක් සඳහා අවශ්‍ය ප‍්‍රගතිශිලී ගමනකට ලොකු ඉඩ කඩක් විවර වෙලා තියෙනවා. දැන් ඒ තුළ ක‍්‍රියාත්මක වීමයි අවශ්‍ය වන්නේ. ඊට ඇති බාධක ගැන කියනවානම් පළමුවෙන්ම ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයක් ගැන අපට අත්දැකීම් නැතිකම පෙන්නන්න පුළුවන්. ඒ නිසා අළුත් එකක් නිර්මාණය කරගන්න වෙලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩ මඟින් ඇස් නිලංකාර කරලා තියෙන පුරවැසියන් සමඟ 21 වෙනි සියවසට ගැලපෙන එවැනි සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද, ඊට අවශ්‍ය හැඩතල මොනවාද කියන එක ගැඹුරින් සංවාද කළ යුතුයි.

මෙවැනි එකතූන් පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්හිදී ගොඩනැගුනත් අවශ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙන්න කලින් එකතුව අවසන් වුණා. ඒ අභියෝගය මෙයටත් තියෙනවා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් තුළ තියෙන ලක්ෂණයක් තමයි කවුරුන් හෝ අරගල කරලා තමන් වෙනුවෙන් අයිතිවාසිකම් අරන් දෙනකන් බලා සිටීම. අපේ ඉතිහාසය ගත්තොත් අපට තියෙන්නේ කිසිවක් අරගල කරලා ලබා ගත්ත මානසිකත්වයක් නෙවෙයි. ඒ නිසා අයිතිවාසිකම් ලබා ගැනීමේ අරගලකාරී මඟකට පුරවැසියන් යොමුකරවා ගැනීම අභියෝගයක්. ඒකට මුහුණ දෙන්න විශ්වාසයක් සහිතව ඉදිරි දර්ශනයකින් කටයුතු කරන නායකත්වයක් අවශ්‍යයි.

මේ අවස්ථාවේ ජනවර්ගයක් විදිහට වැඩිම මානව හිමිකම් උල්ලංඝනයන්ට ලක්වෙන්නේ දෙමළ ජනතාව. සිංහල මාධ්‍යයෙන් පමණක් කටයුතු කරන කොට දෙමළ ජනයාගේ මතය මතුපිටට ඒමට ඇති ඉඩකඩ සීමිතයි නේද?
ඔබ කිව්ව කාරණාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තමයි අද බරපතළ විදිහට උල්ලංඝනය වෙන්නේ. නමුත් අපි වැඩ කරන ක්ෂේත‍්‍රය ඉලක්ක වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්, සිංහල ප‍්‍රදේශවලට, සිංහල ජනයාට. දෙමළ ජනයාගේ ගැටළුවට මැදිහත් වන සමාජ බලවේගයක් සෑදිය යුතුයි. ඔවුන් සහ අනෙක් සුළු ජාතීන්ට බලපාන ප‍්‍රශ්න ගැන යම්කිසි මට්ටමක හෝ දායකත්වයක් ලබාදිය හැකි ව්‍යාපාරයක් අවශ්‍යයි. දැනට අපි යම් ප‍්‍රමාණයක වැඩ කරනවා. නමුත් අපේ න්‍යාය පත‍්‍රයේ මුලට තවම එය ඇවිත් නැහැ. ඒක අපේ තිබෙන ප‍්‍රශ්නයක් විදිහට පිළිගන්නවා. අප තුළ එම අවශ්‍යතාව සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය එකඟතාවක් තියෙනවා. නමුත් ප‍්‍රායෝගිකව ළඟා වෙන්න බැරි ප‍්‍රශ්නයකුයි තියෙන්නේ. දැනට සංවිධානයක් හෝ දෙකක් ඒ ගැන කටයුතු කළත් එය ප‍්‍රමාණවත් නැහැ. ජාති, කුල, ආගම් වලින් තොර පුරවැසි එකතුවකිනුයි මෙය කළ හැක්කේ. එය මිනිස්සුන්ට සමීප, ජීවමාන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ එවිටයි.
දැනට මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ඔබ සංවිධානය සිදු කරමින් සිටින කටයුතු මොනවාද ?
යම් යම් මානව හිමිකම් උල්ලංඝනයන්හිදී රජය විසින් ස්ථාපිත කර ඇති ආයතන හා අධිකාරීන් වලටත්, ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධාන වලටත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීම. ඒ වගේම ප‍්‍රායෝගිකව මානව හිමිකම් උල්ලංඝනයවීම් වලදී පවතින නීතියේ වරප‍්‍රසාදය ලබා ගැනීමට නොහැකි පුද්ගලයන් ඊට යොමු කරවීම. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් ජීවත් වන ප‍්‍රජාව හරහාම ඇති කිරීම. ඔවුන් මුහුණ දුන් සිද්ධීන් ඇසුරින්ම නීතිමය සහ සමාජීය වශයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට වගේම ලැබෙන අයිතිවාසිකම් රැක ගැනීමේ වුවමනාවක් නැහැ. පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොවන තෙක් මේ ප‍්‍රශ්නය මේ විදිහටම තියෙයි. ඒ කියන්නේ පුරවැසියන් නීතිය ඉල්ලා සිටින සමාජයක් රටේ ඇතිවිය යුතුයි.

Back to Home

Thursday, December 11, 2008




















17 වන සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා වහා කි‍්‍රයාත්මක කිරීමට හා නීතියේ පාලනය ඇති කිරීමට රජයට බලකරමින් නීතියේ පාලනය සදහා පුරවැසි ව්‍යාපාරය ඇතුළුව මානව හිමිකම් දිනය සැමරීමේ කමිටුව තවත් සිවිල් සංවිධාන රාශියක් එකමුතුවෙන් පසුගිය දෙසම්බර් 10 වන දා වැඩසටහන් රැසක් පැවැත්වූහ. මානව හිමිකම් පිළිබද කිසිදු තැකීමක් නොකොට වත්මන් රජය ගෙන යන ඒකාධිකාරී පාලනය හමුවේ කඩවෙන සියළු ශ‍්‍රී ලාංකික ජනයාගේ මානව අයිතිවාසිකම් උදෙසා මෙම සංවිධාන එදින දවස පුරාම විවිධ ක‍්‍රියාකාරකම් වල නිරත වූහ.

සියළු ජාතීන්ගේ නියෝජනයෙන් එදින පැවැත්වූ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ ජේ.සී වැලිඅමුණ, රයිට්ස් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීන් දේශනයන් පැවැත්වූහ.


Sunday, November 30, 2008

තිස්සනායගම්ගේ පාපොච්චාරණය වොයර් ඩයර් පරීක්ෂණයට

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප‍්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි.

තිස්සනායගම් නඩුව සම්බන්ධයෙන්ද වොයර් ඩයර් විමර්ශනයක් පසුගිය දිනෙක පැවැත්වුණි. එහි අවසාන වාචික දේශනය ඉකුත් සිකුරාදා අවසන් කරන ලද අතර පාපොච්චාරණයේ සාක්ෂිමය ලෙස ඇති අදාළත්වය පිළිබඳ තීන්දුව දෙසැම්බර් 05 වන දින ලබා දීමට නියමිතයි. නඩුව මෙහෙයවන රජයේ අධිනීතිඥවරයාගේ ප‍්‍රවේශයට අනුව තිස්සනායගම් විසින් ත‍්‍රස්තවාදී කටයුතු විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නන්දන මුණසිංහ හට පවසා ඇත්තේ ඔහුට අපරාධ පිළිබඳ පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බවකි. එවිට ඔහු විසින් සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.රණසිංහට ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස උපදෙස් දුන් බවත්ය.සහකාර පොලිස් අධිකාරී රණසිංහගේ සාක්ෂිය අනුව ඔහු තිස්සනායගම් ඒ සඳහා කැඳවන ලද බවත් ඒ අනුව කුමක් සඳහා ඔහුට තමන්ව අවශ්‍ය වී ඇතිද යන්න විමසීමේදී තිස්සනායගම් ප‍්‍රකාශ කර සිටියේ තමාට පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය වී ඇති බවත්ය. මෙහිදී සහකාර පොලිස් අධිකාරිවරයා තිස්සනායගම්ට මේ ආකාරයේ පාපොච්චාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවූ බවත් පාපොච්චාරණයන්ට අදාළ නීතිමය තත්ත්වයන්ද ඔහුට පැහැදිලි කළ බවත් පසුව තවදුරටත් මේ පිළිබඳ සිතා බැලීම සඳහා කාලය ලබා දෙමින් තිස්සනායගම් ආපසු යවමින් මැයි මස 09 වන දින නැවත පැමිණෙන ලෙස නියෝග කළ බවත් කියන ලදි.
ඒ අනුව මැයි 09 වැනිදා තිස්සනායගම්ව නැවත කැඳවන ලදි. එම අවස්ථාවේ තිස්සනායගම් සහකාර පොලිස් අධිකාරීවරයාට කියා සිටින ලද්දේ තමන්ට තව දුරටත් තම පාපොච්චාරණය කිරීමට අවශ්‍යව ඇති බවයි. මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයා නැවත වරක් ඔහුට අවවාද කර අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳවද නැවතත් පැහැදිලි කර ඔහුගේ පාපොච්චාරණය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත. එහිදී ඔහු පාපොච්චාරණය යතුරු ලියනය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලදි. එවිට තිස්සනායගම් තදින්ම කියා සිටියේ ඔහුගේ පාපොච්චාරණය යතුරු ලියනය කිරීමට අවශ්‍ය නොවන බවත් එය තමන්ගේ අත් අකුරින් ලිවීමට අවශ්‍ය බවත්ය.

විත්තියේ ස්ථාවරය වුයේ බැලූ බැල්මට පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව අධිකරණයට පෙනී යන්නට නම් අධිකරණයට එපමණින්ම එය ඉවත දැමිය හැකි බවයි. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකා නීතිය ද පිළිගනු ලබයි. නමුත් පාපොච්චාරණ සාමාන්‍ය නීතිය යටතේ පිළිගනු නොලබයි. ඉන් අවස්ථාව ලැබෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සහ හදිසි නීතියට පමණි. මේ නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ හදිසි නීති පනත යටතේ තමා විසින්ම තමාට එරෙහිව අපරාධ චෝදනා නැගිය නොහැකිය යන ආරක්ෂක මූල ධර්මය ඉවත් වන අතර මෙහිදී පුරවැසියෙකුට ඇති ආරක්ෂාව වන්නේ එලෙස සිදුවීමට ඇති හැකියාව පිළිබඳව කරුණු අධිකරණයට දක්වා සිටීම පමණි.විත්තිය ප‍්‍රකාශ කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුගේ සාක්ෂියේ ප‍්‍රකාශ කරන ලද ආකාරයට මැයි 07 වන දින ඔහු විසින් කියවා විස්තර කරන ලද පසු තිස්සනායගම් ගැසට් පත‍්‍රයට අත්සන් කරන ලද බවත්ය.

නමුත් මෙම ගැසට් පත‍්‍රය අධිකරණය හමුවට ඉදිරිපත් කර නැත. අවවාද කිරීමේ ප‍්‍රකාශය යතුරු ලියනය කර තිබුනද ඒ මත තිස්සනායගම්ගේ අත්සන නොමැත.මේ ලියවිලි ඉදිරිපත් නොකිරීම නිසා සහ අත්සන නොමැති නිසා මෙමඟින් පෙනී යන්නේ තිස්සනායගම් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බවයි. ඔහු කියා සිටිනු ලැබුයේ ඔහු පාපොච්චාරණයක් කිරීමට අපේක්ෂා කරන බවට කිසිදා ප‍්‍රකාශ නොකරන ලද බවත් ඔහු සහකාර පොලිස් අධිකාරීවරයා හමුනොවු බවත් ඔහු විසින් මැයි 07 වනදා සිදුවු බවට ප‍්‍රකාශ කළ සියල්ල සාවද්‍ය බවත්ය. දෙවනුව විත්තිය විසින් කියා සිටිනු ලැබුයේ සහකාර පොලිස් අධිකාරීවරයා මැයි 09 වනදා තිස්සනායගම් හට ප‍්‍රකාශයක් කිරීමට බල කරන ලද අවස්ථාවේ එහි නොසිටි බවට ඔප්පු වනු ලබන්නේ සාක්ෂි දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා පැහැදිලිව ප‍්‍රකාශ කරනු ලබන්නේ 09 වන දින උදෑසන තිස්සනායගම් අධිකරණ වෛද්‍යවරයා වෙතට ගෙන ගිය බවයි. නමුත් අධිකරණයේදී අදාළ ලියවිලි කියවීමෙන් පසු සහකාර පොලිස් අධිකාරවරයා තිස්සනායගම් අධිකරණ වෛද්‍යවරයා වෙත නොව ඇස් රෝහල වෙත ගෙන ගිය ලද බව අවබෝධ කර ගන්නා ලදි.
තිස්සනායගම් 09 වන දින මෙම අවවාදාත්මක ලිපියට අත්සන් කර නැත. ඔහු ප‍්‍රකාශයට අත්සන් තබා ඇත. මෙනිසා මෙමඟින්ද තිස්සනායගම්ගේ සාක්ෂිය තහවුරු කරන අතර ඔහු හට කිසිදු අවවාදාත්මක ප‍්‍රකාශයක් කියවා තේරුම් කර නොදෙන අතර රසීක් නැමැති නිලධාරියා විසින් ඔහුට ඔහුගේ ප‍්‍රකාශය ලියන ලෙස බල කරන ලද අතර එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා එහි නොසිටින ලදි. අවවාදාත්මක ප‍්‍රකාශය පසුව අවස්ථාවක යතුරු ලියනය කර ඇත.

විත්තිය විසින් තවදුරටත් කියා සිටින ලද ආකාරයට තිස්සනායගම් දෙන ලද සාක්ෂිය අනුව ඔහුට බුද්ධි අංශය විසින් පහරදී ප‍්‍රශ්න කර වෙනත් රැඳවියන් සමඟ ඔහු රඳවා තිබු බවයි. ඔහුට ඇසුනු හා පෙනුනු ආකාරයට එලෙස පහර කෑමට ලක්වු රැඳවියන් තමන්ගේ වේදනාව අඩුකර ගැනීමට රාත‍්‍රියට බාම් වර්ග අලේප කර ඇත.ඔහු අත් අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී ඔහු තර්ජනය කිරීම් වලට ලක් කරන ලදි. ඔහු සඳහා පෞද්ගලිකව නීතිඥවරයකුගේ ප‍්‍රවේශය ලබා නොදෙන ලද අතර මෙවැනි වාතාවරණයක් යටතේ තිස්සනායගම්ගේ ප‍්‍රකාශය ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ලබා දීමට සිදු වු බවට විත්තියේ නීතිඥ ප‍්‍රකාශ කරන ලදි.අධිකරණ වෛද්‍ය නිලධාරීයා සාක්ෂි දෙමින් කියා සිටින ලද්දේ ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය තුළදී වධ හිංසා සිදු වී ඇති බවත් තිස්සනායගම්ගේ මිතුරා වන ජසීහරන් හට මොට්ට ආයුධ වලින් පහරදී ඇති බවත්ය. මෙම නිසා තිස්සනායගම්ගේ සාක්ෂිය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂිය මඟින් තහවුරු වෙයි.

පොදුවේ ප‍්‍රජාවකට හිංසනය කිරීම නැවැත්විය යුතුයි.

ඇන්තනී වික්ටර් සෝ සේ පියතුමා
අනුනායක
මන්නාරම් පදවිය
සාකච්ඡා කළේ - තාරා ශ‍්‍රී රාම්

වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.

අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන එක ගැන. වන්නි ප‍්‍රදේශයේ කෙරෙන දේවල් ගැන ඔවුන්ට දැන ගන්න විදිහක් නැහැ. ඒ තුළම ඔවුන්ගේ හිත ඇතුළේ ලොකු බියක් හා චකිතයක් තියෙනවා.

මන්නරමේ ජනතාවගේ මානව හිමිකම් තත්වය ගැන කිවුවොත්....
උදාහරණයක් විදිහට මම මන්නාරම, වවුනියාව වගේ ප‍්‍රදේශ එක්ක සන්සන්දනය කරන්නේ යන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් මන්නාරමේ ඉස්සරට වඩා සුබවාදී වෙනස්කමක් දකින්න ලැබෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ප‍්‍රශ්නයක් නැහැ කියන එක. අතුරුදහන් වීම් වගේ දේවල් තියෙනවා. ඒක බරපතල ප‍්‍රශ්නයක්. මරා දැමීම් වැනි දේවල් ජූනි මාසේ ඉඳන් අපිට වාර්තා වෙලා නැහැ. අත් අඩංගුවට ගැනීම් සිදු වෙන්නෙත් නැහැ වගේ පේන්නේ. ඒකට හේතුව කෙලින්ම සිද්ධ වෙන්නේ අතුරුදහන් කිරීම්.

මන්නාරමේ කලිමුන්ඩායි හා සිරුක්කුන්ඩාල් අවතැන් කඳවුරුවල වර්තමාන තත්ත්වය මොකක්ද?
මානුෂික පදනමින් බලන කොට මේක මහා අපරාධයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ මිනිස්සුන්ට අවස්ථාව තියෙන්න ඕන තමන් කැමති තැනකට ගිහිල්ලා වාසය කරන්න. නමුත් ආරක්ෂක අංශ කියන්නේ මේ කඳවුරුවල ජාතික ආරක්ෂාවට හානිදායක ක‍්‍රියාවල නිරත වෙන අය ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන්ව එහෙම තියාගන්න අවශ්‍යයි කියන එක. ඒකට අපේ ස්ථාවරය තමයි එවැනි අය ඉන්නවනම් ඔවුන්ව නිවැරදිව තෝරගෙන ඒ අය වෙනුවෙන් පුනුරුත්ථාපනය වගේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්න කියන එක. පොදුවේ අරන් හැමදෙනාම මෙහෙම තබා ගන්න එක වැරදියි කියලයි අපි කියන්නේ. විශේෂයෙන්ම ඖෂධ වගේ විශේෂ අවශ්‍යතා ඕන අය ඉන්නවා. ගැබිණි මව්වරු ඉන්නවා. වයසක අය, ළමයි ඉන්නවා. ඒවගේ අයටවත් චාන්ස් එකක් ලබා දෙන්න ඕන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.

මඩු දේවස්ථානයේ වත්මන් තත්ත්වය ගැන කිවුවොත්...
මඩු දේවස්ථානය දැනට දැඩි ආරක්ෂක රැකවරණයකින් යුක්තවයි රජය පවත්වා ගෙන යන්නේ. දේවස්ථානය බාර පියතුමා ඇතුළු එකොළොස් දෙනෙක් විතරයි දැනටඑහි ඉන්නේ. ඊට අමතරව කෙනෙක් යනවා නම් දීර්ඝ කාලයකට කලින් දැනුම් දීලා අවසර අරන් තමයි යන්න වෙලා තියෙන්නේ. එතන පූජ්‍ය ස්ථානයක් වුනාට ජනතාවට ගිහිල්ලා වන්දනාමාන කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒක ප‍්‍රශ්ණයක් විදිහටයි අපි දකින්නේ. ආරක්ෂක තත්ත්වය නිසා අපට කරන්න වෙලා තියෙන කැප කිරීමක් මේක.

දෙමළ ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන මේ හිංසනය ගැන ඔබගේ අදහස මොකක්ද?
අපේ ස්ථාවරය වැරදි කරන අය ඉන්නවානම් ඒගොල්ලන්ට එරෙහිව නීතියට අනුව දඬුවම් කළ යුතුයි කියන එක. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ එහෙම වැරදි කරන අයට දඬුවම් කරන්න උසාවි ක‍්‍රමයක් තියෙනවා. නමුත් පොදුවේ ප‍්‍රජාවකට හිංසනයක් කරන එක අපිට පිළිගන්න අමාරුයි. එතකොට වෙන්නේ ජාතීන් අතර වෛරය තවත් වැඩි වෙන එක. ඒනිසා පොදුවේ කරන මේ හිංසනය නවත්වන්න ඕන. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නම් සිංහල, දෙමළ ඕන කෙනෙකුට මානව ගරුත්වයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.

වත්මන් රජයෙන් ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කරන බවක් පෙනෙන්න නැහැ. එම නිසා එයට ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි කියලා හිතනවාද?
ඔව්. මං හිතන්නේ ඒක අන්තර්ජාතික වශයෙන් අපට කරන උදව්වක්. මැදිහත්වීමක් නෙවෙයි. අපට ජාත්‍යන්තර උදව් අවශ්‍යයි. ලෝකයේ විවිධ කලාපවල මානව හිමිකම් තත්ත්වය එකිනෙකට වෙනස්. අද ලෝකයේ රටවල් ගත්තාම අන්‍යොන්‍ය යැපීමක් තියෙන්නේ. එය ලංකාවටත් අදාළයි. ඒක ලංකාව තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමින් ලෝකයේ මානව හිමිකම් රාමුවක් වර්ධනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අන්තර් ජාතික ප‍්‍රමිති තියෙනවා. ඒවා ගැන වඩා සැලකිල්ලක් දක්වලා අන්තර්ජාතික මට්ටමින් සහයක් ලබා ගන්න එක වැදගත්.

වාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා හිතනවාද?
අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. මට ස්ථීර වශයෙන්ම එය මොන වගේ විසඳුමක් වෙන්න ඕනද කියලා කියන්න අමාරුයි. ඒ වුනාට අපි දන්නවා තමන්ගේ රටේ දේශපාලන අර්බුදවලට විවිධාකාර ක‍්‍රම මඟින් විසඳුම් සොයපු ලෝකයේ විවිධ රටවල් තියෙනවා. අපිට පුළුවන් ඒ විවිධ ක‍්‍රම ගැන අධ්‍යයනය කරලා ලංකාවට ගැලපෙන එකක් සොයාගන්න. මොකද විවිධ පාර්ශ්වයන්ට හුඟක් දේවල් පරිත්‍යාග කරන්න සිද්ධවෙලා තියෙනවා මේ දිගු කාලීන යුද්ධය වෙනුවෙන්. එම නිසා අපිට අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි.

Back to Home

Thursday, November 20, 2008

මම ඉන්නේ ලිබරල්වාදී ඇප්‍රෝච් එකක

මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු 2008 නොවැ-දෙසැ ‘ත‍්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.

ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන තියෙන්නේ මොනවාගේ අදහසක්ද?
හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා මොඞ්. අපි අද මෙවැනි ක‍්‍රියාකාරීත්වයක ඉන්නේ ඒ වකවානුවේ තිබුණු ඒ තත්ත්වය නිසයි. නමුත් අද පරම්පරාවේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් මේ මෝස්තර ආරූඪ කරගන්නේ, තවර ගන්නේ, අනුකරණය කරන්නේ තමන් නොමැති පන්තියක ඉන්නවා කියා පෙන්වන්න. මේ පන්තිකරණය ව්‍යාජයක්. හැට ගණන් වල අපිත් පන්තියෙන් පිට පැනීම සඳහා ගමට ගියා. ග‍්‍රාමීය ගොවියන් සමඟ කටයුතු කළා. මම පවා එදා ඇඳුමෙන්-පැළඳුමෙන් එවැනි වෙනසක් ඇති කරගත්තා. පසුව අපි ව්‍යාපාරගතවීමත් එක්ක අපේ ජිවිතවල සැබෑව මතුකර ගැනීමට ඒ වෙනස ඉවහල් වුණා. නමුත් මේ තියෙන මොඞ් ගතිය තුළ අපේ ස්ත‍්‍රීන් සහ පුරුෂයන්ගේ ඇඳුම හැර ඔවුන් තුළ හරයාත්මක බවක් නැහැ. අපේ මොඞ් නළුවෙකුගෙන්, නිළියකගෙන් ඇහුවොත් මොකක්ද ජීවිතයේ පරමාර්ථය කියලා ඔවුන් කියන්නේ, ‘හොඳ බිරිඳක් හෝ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙලා දරුවන් හදා ගෙන තමන්ගේ නිවහනක ජීවත්වීම කියලා. කලාව කියන්නේ මොකක්ද කියාවත් මේ අය දන්නේ නැහැ. ඇඳුමෙන් සමානයන් වී පන්ති පරතරය බොඳවීම මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙස. ඒ ලිබරල්කරණයට මං කැමතියි. නමුත් ගැටළුව වෙන්නේ ඒ මොඞ්වීම ඇතුළාන්තයට නොයෑම.

ඔබ විශ්වාස කරන ආකාරයට ස්ත‍්‍රිය හා පුරුෂයා පැමිණෙන්නේ, ලෝක දෙකකින්ද නැතිනම් එකම ලෝකයක් තුළ ඉන්න එහෙත් එකිනෙකාගෙන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන අනන්‍යතා දෙකක් විදිහටද?
ඇත්තටම ස්ත‍්‍රිය හා පුරුෂයා එන්නේ ලෝක දෙකකින්. හේතුව තමයි ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන්නා එන්නේ ලෝක දෙකකින්. මම හිතන්නේ ඔවුන් යම් සම්මුතියකට එන්න අනන්‍යතා දෙකක් වෙනුවට එක් අනන්‍යතාවක් හදා ගන්න උත්සාහ කරනවා කියලයි. තරුණ තරුණියෝ කියන්නේ අපි එකා වගේ ඉඳිමු කියලයි. ඒක එක්තරා විදියකට සුන්දර සිහිනයක්. නමුත් තම තමන්ගේ හැසිරීම් රටාවන් සහ අනන්‍යතාවන් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නා අතර සබඳතාවයකදී එකඟවෙමින් යම් සම්මුතිගත වීමක් සිදුවෙනවා එච්චරයි. ජිවිතයේ පනස් විය පසු කරන අවස්ථාවේදී මට කියන්න පුළුවන් ඒ එක වගේ කියන කාරණය මීට වඩා යථාර්ථවාදීව සිතිය යුතුයි කියලා. අපි හදාගත යුත්තේ එක වගේ එකකට වඩා නිර්මාණාත්මක පසුතලයක්.
මොකක්ද ලිංගික වෙනස කියන්නේ. Antagonism හෙවත් පසමිතුරුතාවක්ද එහෙම නැත්නම් contradiction හෙවත් ප‍්‍රතිවිරෝධයක්ද?
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
පේන්න තියෙන විදිහට රටේ සිදුවන බරපතල අවමානුෂිකකරණය ඉදිරිපිට ස්ත‍්‍රීන් නිහඬයි. පාරට බැස්සම පේන්නේ පවතින ක‍්‍රමයට ඔවුන් පක්ෂපාතී වන ආකාරයක්. ස්ත‍්‍රීන්ගේ මේ වෙළෙඳපොල හරහා උපුටාගත් බාහිර අලංකාරණයෙන් පිරිමින්ද මුසුපත් වී ඇති බවක් පෙනෙනවා. මේ පිළිඹිබුව, ස්ත‍්‍රීවාදයේ තාර්කික අවසානයකට අප පැමිණ තිබෙන බවද?
මම හිතන්නේ නැහැ. ස්ත‍්‍රීවාදය කියන කාරණාව මමවත් තවමත් හරිහැටි තේරුම් ගත්ත තැනක නෙමෙයි ඉන්නේ කියලා මම මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්තියි. අවාසනාවකට ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම්, ස්ත‍්‍රී විමුක්තිය හා ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් අප අතර තිබිය යුතු ඒ තාර්කික තේරුම් ගැනීම, අත්දැකීම් හරහා එය අත්වීඳීම කියන කාරණා ගත්තොත් අපි හැමෝම එක් එක් තලවල සිට එහි ස්වභාවයන්, අර්ථනිරූපණය කිරීමට දරපු වෑයමක්. ඒ නිසා කෙනෙක් ලස්සන වීම කියන එක ස්ත‍්‍රීවාදය හා කාරණයක් නෙමෙයි. ස්ත‍්‍රී අලංකාරයට මුසපත් වෙන්නේ පිරිමිනේ. ඇයි පිරිමි මුසපත් වෙන්නෙ. අහක බලාගෙන යන්න පුළුවන්නෙ.

ස්ත‍්‍රීන්, පිරිමින්ගේ වහල්ලූ වූ යුගය අවසන්වී පිරිමීන්, ස්ත‍්‍රීන්ගේ වහල්ලූ බවට පත් වී ඇති යුගයකට අපි අවතීර්ණ වී ඇතැයි අපි පුරුෂාධිපත්‍යයෙන් යුතුව ප‍්‍රකාශ කළහොත් මොකක්ද ඊට ඔබ දක්වන ප‍්‍රතිචාරය?
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත‍්‍රියට වහල් වීමත්, ස්ත‍්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත‍්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත‍්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.

ධනවාදී වෙළෙඳපොළ ලිංගික වෙනස සමජාතීයකරණය කරමින් ඉන්නවා. එය විසින් ගැහැනුන්, පිරිමින් කරන අතර පිරිමින්, ගැහැනුන් කරමින් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ පිරිමි සහ ගැහැනුන් අතර වෙනස සඳහා සටන් කිරීම ද නැතිනම්, ලිංගික වෙනස සමානාත්මතාවක් වන තෙක් සටන් වැදීම ද?
නෑ. ලිංගිකත්වය කියන එක අපට සම කරන්න බැහැ. ලිංගිකත්වය යොදා ගැනීම සම්බන්ධ කාරණාව ගත්තොත්, කාන්තාවන් ලිංගිකත්වය තුළින් ආශ්වාදය ලබා ගැනීම සහ පුරුෂයා ආශ්වාදය ලබා ගන්නා ආකාරය අතර යම් පරතරයක් තිබෙනවා නම්, එය සම්බන්ධයෙන් තියෙන අභියෝගයන් තමයි අපිට ඔතනදී සාකච්ඡා කරන්න වෙන්නේ. ගෝලීයකරණය හෝ මුලධර්මවාදය හෝ මේ කියන ඒකාකාරී සංකිර්ණ මහා ක‍්‍රියාවලිය තුළින්ම තමයි මේ ස්ත‍්‍රිය හා පුරුෂයා තුළ ඔබ මතු කළ විපරීත ස්වභාවය මතුවෙන්නේ. එය තේරුම් ගැනීම සඳහා වන දෙයක් විධියටයි මම මේ ප‍්‍රශ්නේ දිහා බලන්නෙ. ස්ත‍්‍රීන්, පුරුෂයන් බවට පෙන්වීම හෝ පුරුෂයන්, ස්ත‍්‍රීන් ලෙස පෙන්වීම හෝ කියන්නේම මේ ගෝලීය ධනවාදී තරඟකාරී වෙළෙඳපොළ හසුරුවා ගැනීම සඳහා විවිධ විලාසිතාවන් අතර ඇතිවන්නා වූ තරඟයක් හැටියට මිස ලිංගිකත්වයේ වෙනසක් ඇති කරන්න හදන දෙයක් ලෙස නෙමෙයි.

ඔබ වඩාත් කැමති ගැහැනුන් සහ පිරිමි එක වගේ වෙනවටද එහෙමත් නැත්නම් ඔවුන් අතර ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවටද ?
මං කැමතියි ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවා නම්. මොකද ඒ ප‍්‍රතිවිරෝධතා තුළින්ම තමයි නිර්මාණාත්මකභාවයක් ඇතිවන්නේ. එක වගේ වුණාම හරි ඒකාකාරියිනේ. මම, මම වන අතරම මම කැමතියි මා සමඟ සම්බන්ධ වන පුරුෂයා ඔහු, ඔහු වෙනවට. අපි අතර පවතින සම්බන්ධතාවය තුළ ඒ නොගැලපීම හා ගැටුම් නෙගෝසියේට් කර ගන්න ඕනේ. හැබැයි පිරිමින්, පිරිමි වෙන්න ඕන කියන එකෙන් මං අදහස් කරන්නේ, ඔවුන් තුළ පුරුෂාධිපත්‍යය තිබිය යුතුයි යන්න නොවෙයි.ආධිපත්‍යභාවය පිරිමියා තුළ පමණක් නෙමෙයි ගැහැනිය තුළත් තිබිය යුතු නැහැ. ගැහැනිය රැකියාවට ගියාම පිරිමියා කරන්නේ ටෙලිෆෝන් කර කර මොනිටර් කරන එක. ගැහැනිය කරන්නේත් එයමයි. ඉතින් ලංකාවේ අපි මේකට කියනවා පවුල කියලා. දෙන්නම ඉන්නේ කූඩු වෙලා. ඒ නිසා අපි ඉන්නේ ‘ෆැමිලියා’ තුළ.
ස්ත‍්‍රිය පිළිබඳව ග‍්‍රාමීය පිරිමින්ට ඇති රත්නවල්ලි කුතුහලය සහ ලිංගික නිවටකම ගැන ඔබේ අදහස මොකක්ද ?
ඔය ප‍්‍රවාද කියන්නේ ගැහැනියගේ ලිංගිකත්වය තියෙන්නේ තමන් සතුව යැයි කියන මහා ප‍්‍රවාදය තුළනේ. ගැහැනියගේ ලිංගිකත්වය පවතින්නේ පුරුෂයාගේ ආශ්වාදය සඳහාය යන්න තමයි මහා ප‍්‍රවාදයේ අදහස. මේක මට මතවාදයක් හැටියට පිළිගන්න බැහැ. නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයට අයිති නොවන බව නම් මට කියන්න වෙනවා. ස්ත‍්‍රීවාදය තුළින් මතු කරන්නේ අපේ ලිංගිකත්වය අපට අයිතියි, අපේ ඇඟ අපට අයිතියි, එය හසුරුවා ගැනීමේ අයිතිය අපට තිබිය යුතුයි යන්නයි. ඒ නිසා අර රත්නවල්ලි කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපේ සාරය අපි කාටහරි දීලා. ස්ත‍්‍රී සාරය ඒ නිසා අපි ළඟ නැහැ. එය නැවත අපි ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය තමයි අපි මතුකර ගන්න ඕනේ. නිදර්ශනයක් විදිහට මම ඊයේ-පෙරේදා හින්දුන්ට සම්බන්ධ Divine Goddess කියන පොත කියෙව්වා. එහි සාකච්ඡා කරන්නේ රාධා-ක‍්‍රිෂ්ණා කතාන්දරයේ රාධාගේ චරිතය හා විෂ්ණුගේ බිරිඳගේ චරිතය. එය තනිකරම හින්දු මතවාදය මත ගොඩ නැගුවක්. මෙහි රාධා-ක‍්‍රිෂ්ණා සමව තබන අතර විෂ්ණු තමන්ගේ බිරිඳ පාදස්ථානයේ තබා ගන්නා බව හඟවනවා. ඒ කියන්නේ හින්දු-බමුණු වැඩවසම් සමාජය තුළ ගැහැනියකගේ සාරය තිබුණේ පුරුෂයා ළඟ. මං හිතන්නේ රත්නවල්ලි හා මෙය සමානයි.

ඇමෙරිකානු මැතිවරණ කි‍්‍රයාවලියට මෙවර සහභාගී වී ඇති සාරා පාලින් ඉදිරිපත් කරමින් සිටින්නේ ක‍්‍රිස්තියානි මුලධර්මවාදයක්. ලංකාවේ DAILY MIRROR කතුවරිය ඉංග‍්‍රීසි කතා කළත්, පන්තිය නාගරික වුවත්, ඇගේ පක්ෂය හෙළ උරුමයයි. හුඟක් ගැහැණුන් ප‍්‍රසිද්ධියේ නොවුණත් හදවතින් ම ජාතිවාදීයි. යුද්ධයට පක්ෂයි. සමාජ ක‍්‍රියාකාරිනියක් හැටියට ඔබ මේ නස්පැත්තිය තේරුම් ගන්නේ කොහොමද?
ඉහත කතුවරිය වගේ මේ සමාජයේ බොහෝ ගැහැනු මිනිසුන්ගේ contradiction එක එහෙම නැතිනම් ප‍්‍රතිවිරෝධය මම දැකලා තියෙනවා. පොදුවේ මට තියෙනවා ඔය කිව්ව දේට විරුද්ධත්වයක්. ඇත්තටම අපි වැඩ කරන ඈත ගම්වල ඉන්න අහිංසක, අසරණ ගැහැනු තුළ ඔහොම දෙයක් මම දැකලා නෑ. බලය සමඟ ගනුදෙනු කරන නාගරික කාන්තාවන් තුළ තමයි ඔය කියන ප‍්‍රතිවිරෝධය තියෙන්නේ. මම ගම්වල වැඩ කරද්දි හමුවන දයා එහෙම නැහැ. ශීලා එහෙම නැහැ. ගුණවතී එහෙම නැහැ. කොළඹ මධ්‍යම පාන්තික දිවිපෙවෙත් ගත කරන ගැහැනුන් නම් රාජපක්ෂගේ බලයෙන් උණුසුමක් ලබා ගන්න උත්සාහ කරනවා.


මේ ධනවාදී සංස්කෘතිය යුගයේ ස්ත‍්‍රී නිදහස වෙනුවෙන් හඬ නඟනවා කියන්නේ, පිරිමින්ගේ ගොදුරක් කියා කෑගැසීමද? නැතිනම්, මීට වඩා හොඳ සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමද?
කාන්තා විමුක්තිය කියන වචනය අපේ ප‍්‍රවාද තුළින් බැහැරව තිබෙන සමයක මම තවමත් කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ එහි ගැඹුරුතම දේශපාලන අර්ථය තේරුම් ගත් අයෙකු නිසා. මම වාමාංශික ක‍්‍රියාදාමයකින් ආ නිසා විමුක්තිය කියන වචනය මම මුලින් ම ඇහුවේ පන්තිය කියන වචනයත් එක්කයි. මගේ දේශපාලනය හා සමාජ අත්දැකීම් තුළ මම විමුක්තිය කියන්නේ සමස්තයේම නිදහස කියන අර්ථයෙන්. එය පන්තියට සීමා කරන්න බැහැ. නමුත් සංක‍්‍රමණීය තත්ත්වය තුළ මම කැමතියි ලිබරල්වාදී ඇප්‍රෝච් එකක් තුළ ගමන් කරන්න. මට බැහැ මුළු සමාජ පෙරළියක් එනකං ඉන්න. නමුත් මගේත් අවසාන අරමුණ සමාජ පෙරළියක් තමයි

Thursday, November 13, 2008

ඔබ ඔබාමාට කැමති ඇයි?

සුදර්ශන ගුණවර්ධන
I
අවසානයේදී ඇමෙරිකානු ජනතාව කථා කළහ.එහි ප‍්‍රතිඵලය බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරී පත්වීමයි. (ලංකාවේ විද්යුත් මාධ්‍ය ඔහුගේ නම බැරැක් ලෙස වැරදියට උච්ඡාරණය කරයි.)
ඇමෙරිකානු ජනතාව සියලූ අපේක්ෂකයින්ටත්, ඔවුන්ගේ ගෝල බාලයින්ටත් ඇති පදම් කථා කරන්නට ඉඩ දී බලා සිටියෝය. සෑම වසර හතරකටම එක් වරක් කරන පරිදි ඉන්පසු ඔවුහු කථා කළහ. එවිට සියලූ දෙනා නිහඬ විය යුතුය.
2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද ඇමෙරිකානු ජනතාව කතා කළහ. එවර සටන පැවතුණේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අල් ගෝර් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අතරය. නමුත් දින ගණනාවක් යනතුරුම ජයග‍්‍රාහකයා කවුරුන්දැයි තීරණය කළ නොහැකි විය. එවකට සිටි ජනාධිපති බිල් ක්ලින්ටන් එවිට උත්ප‍්‍රාසාත්මක ලෙස මෙසේ ප‍්‍රකාශ කළේය.

”ඇමෙරිකානු ජනතාව කතා කළා. ඒ වුණාට කිව්වේ මොකක්දැයි අපි දන්නේ නැහැ.”

එදා මෙන් නොව මෙදා ඇමෙරිකානු ජනතාව තම කැමැත්ත පැහැදිලිවම ප‍්‍රකාශ වන පරිදි කතා කළහ. අන්ත පරාජයකට පත් වූ රිපබ්ලිකන් පක්ෂයේ ජෝන් මැකේන් පරාජයේ වගකීම තමා විසින්ම භාරගෙන, නාහෙන් අඬන්නේ නැතුව ගෞරවනීය ලෙස වේදිකාවෙන් බැස ගියේය. අමෙරිකන්කාරයා යැයි කියූ විට අපේ හිතට නැගෙන ප‍්‍රතිරූපයට සම්පුර්ණයෙන්ම වෙනස් වූ, රැළි සහිත හිසකේ ඇති,කළු, කෙට්ටු පුද්ගලයෙක් ඇමෙරිකානු මහජනතාවගේ ඡන්දයෙන් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්විය.

අමෙරිකානු ජනතාව කතා කොට පැහැදිලිව ප‍්‍රකාශ කළේ කුමක්ද ? ලෝකයේ අලූත් හෝ පැරණි, ලොකු හෝ කුඩා කිසිම රාජ්‍යයක වෙසෙන පුරවැසියන් හීනෙන්වත් නොහිතන ආකාරයේ බරපතල ‘වෙනසක් ’ කිරීමට තමන්ට හැකියාව තිබෙන බවයි.

ඔබාමා කළු ජාතිකයෙකි; අප‍්‍රිකානු මහද්වීපයෙහි ( අප‍්‍රිකාව මහද්වීපයක් බව රිපබ්ලිකන් උප ජනාධිපති අපේක්ෂිකා සේරා පේලින් දැන සිටියේ නැත.) පිහිටි කෙන්යාවේ සුළුතර ගෝත‍්‍රයක් වශයෙන් අසාධාරණයට ලක්ව ඇති ලූවෝ ගෝත‍්‍රිකයෙකු ලෙස ඉපිද ඇමෙරිකාවට පැමිණි සංක‍්‍රමණිකයෙකුගේ දරුවෙකි; දේශපාලනයට ආධුනිකයෙකි; තරුණයෙකි. එහෙත් විප්ලවයකින් හෝ කැරැල්ලකින් නොව ඇමෙරිකානු මහජන ඡන්දයෙන් ඔහු බලයට පත්විය.

ජනාධිපති බරක් ඔබාමාට මහා විශාල වෙනසක් කළහැකි යැයි සිතීම මිථ්‍යාවකි. ධනවාදී සමාජ ක‍්‍රමයට ගෝලීය වශයෙන් නායකත්වය දෙන ඇමෙරිකාවේ නව පරිපාලකයා ලෙස ඔහු පැහැදිලිවම වාඩි වන්නේ ප‍්‍රාග්ධනයේ එනම්, සූරා කන්නන්ගේ පැත්තේ බව කිසිසේත් අමතක නොකළ යුතුය.

නමුත්, ඔහුට යම්කිසි වෙනසක් කළ හැකිය. ලොව පුරා ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යයන්ගේ පිළිකුළට ලක්වන මට්ටමට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විපරීත ජනාධිපතිවරයා සහ ඔහුගේ පාලන තන්ත‍්‍රය විසින් පිරිහෙළා තිබුණු ඇමෙරිකානු ප‍්‍රතිරූපය නැවත ගොඩනැංවීමට ඔහුට ක‍්‍රියා කල හැකිය. අඩු ගණනේ ඔහුට ග්වන්තනාමෝ බොක්කෙහි පිහිටි අපකීර්තිමත් රැඳවුම් කඳවුර වසා දැමිය හැකිය. (1990 දී ඇඹිලිපිටියේ සෙවණ කඳවුර වසා දැමු ආකාරයට නොවේ.)

රැඳවුම් භාරයේ සිටින්නන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බල කෙරෙන හබයාස් කෝපූස් නීතිය නැවත ක‍්‍රියාත්මක කළ හැකිය. ගාසා තීරයේ ඡන්දයෙන් පත් වූ පලස්තීන හමාස් ආණ්ඩුව සමඟ සහ දකුණු ලෙබනනයේ හිස්බුල්ලාවරුන් සමඟ සාකච්ඡා කළ හැකිය. තවත් බොහෝ දේ කළ හැකිය.

අප කැමති වුවත් නැතත් ලෝකයේ ඉරණම කෙරෙහි ඇමෙරිකාවේ බලපෑම තීරණාත්මකය. ඇමෙරිකාව ජෝර්ජ් බුෂ් යටතේ ත‍්‍රස්ත විරෝධී ලෝක යුද්ධය ආරම්භ කොට මුළු ලෝකය උන් සහ අපි වශයෙන් දෙගොඩකට බෙදා උන්ට එරෙහිව අපි කරන සෑම දෙයක්ම සාධාරණීකරණය කළේය. ගුරා හිටගෙන කරන දේ ගෝලයන් දුව දුව කරනවාක් මෙන් ඇමෙරිකාව පෙන්නා තමන්ගේ රටවල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමට ලොව පුරා මර්දනකාරී ආණ්ඩු මේ තත්ත්වය පාවිච්චි කළේය. සතුරා නසනවා වෙනුවට සතුරුකම ඇති වූ මූල හේතුව හෙවත් රෝග නිධානය නැති කිරීමට තම ප‍්‍රතිපත්තිය මෙහෙයවීම මඟින් අඩු ගණනේ එවැනි මර්දනකාරී පියවරවලට බාධා කිරීමට ඔබාමාට හැකිය.

II

ඡන්දයෙන් පසුව එකපාරටම මැජික් බලයෙන් මෙන් ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ ඔබාමාවාදීන් බිහිව ඇත. තම පක්ෂයේම අයත් කකුලෙන් අදිද්දී, කෙස් ගහක වෙනසකින් මහින්ද රාජපක්ෂතුමා ජනාධිපති ධුරයට පත් වූ පසු එතෙක් ඔහුට සිනා වෙන්නට බලා සිටි බොහෝදෙනා එක රැයින් මහින්ද චින්තකයින් බවට පත් වූ අයුරින් ලංකාවේ හාවන්, පූසන්, සර්පයන් සියලූ දෙනාම ඔබාමාවාදීන් බවට පත්ව ඇත.

‘ඉරුදින’ පුවත්පතට කුසල් පෙරේරා නිවැරදිව ලියා තිබූ ආකාරයට ලාංකිකයා හා ඔබාමා අතර තිබූ සබඳතාවය ‘ආසයි-බයයි ’ එකකි. එක් පැත්තකින් කළු මිනිසෙකු විසින් සුද්දා පරද්දනවාට ලාංකිකයා ආසයි. අනෙක් අතට ඔබාමා ආවොත් ලංකාවේ ආණ්ඩුව ‘ත‍්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධය’ එක රටක් තුළ සිටින ජාතීන් දෙකක් අතර සිදුවන ‘සිවිල් යුද්ධයක් ’ ලෙස ‘වරදවා’ තේරුම් ගනු ඇතැයි ලාංකිකයා බයයි.

දැන් ඉතිං වෙන කුමක් කරන්නද? පාරුව පෙර`ඵණු පිට හොඳයි කියනවා මෙන් දැන් කළ යුත්තේ රනිල් වික‍්‍රමසිංහ ජෝන් මැකේන්ට සමාන කොට මහින්ද රාජපක්ෂතුමා ඔබාමාට සමාන කිරීමයි. දෛවයේ සරදම වන්නේ, රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රාර්ථනා කළේ ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයේ තමා සමඟ එකට වාඩි වන ජෝන් මැකේන්ගේ ජයග‍්‍රහණය වීමයි. වික‍්‍රමසිංහ මහතාට මෙවරත් වැරදුණේය.

ඉස්සර ස්ටාලින්වාදී , පසුව විජයවාදී, ඊළඟට පේ‍්‍රමදාසවාදී, ඊටත් පසුව චන්ද්‍රිකාවාදී සහ දැන් මහින්දවාදීව සිටින සමහරුන්ද එකපාරටම ඔබාමාවාදීන් වී ඇත. (සමහරවිට ඔබාමා පවා මේ වගේ අයට රැවටී තමන්ගේ තානාපති කමකට පත්කර යවන්නට වුවද ඉඩ නැත්තේ නොවේ.)

III

ඔබ ඔබාමාට කැමති වන්නේ ඇයි ?
ඔබාමා වෙනසක් කළ හැකි යැයි කිවේය. වෙනසක් කළේය. ඔබ වෙනසක් කළ හැකි බව කියයි. නමුත් ඒ සඳහා ඉදිරිපත් නොවේ. ඒ ඔබ දැන් ජීවත්වන කාලකණ්ණි විදිහ අභියෝගයට ලක්වී ඔබට වෙනස් වීමට සිදුවනු ඇතැයි ඔබ බය නිසාය. ඔබ හිත යටින් බය නිසාය. ඒ වෙනුවට වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔබේ වගකීම ඔහු මත පටවා ඔබ නිකන් බලා සිටී. වැඩිම වුණොත් චියර් එකක් දෙයි. ඔබ ඔබාමාට කැමති වන්නේ ඔබ වෙනුවෙන් ඔබාමා වෙනස කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔබේ දායකත්වය නැතුව, ඔබ වෙනුවෙන් ඔබ ඉදිරිපත් වන්නේ නැතුව වෙනස සිදු නොවේ. එනම්, වෙනත් සියළුම ගැලවුම්කරුවන් මෙන් ඔබාමාද අසාර්ථකවීමට නියමිතය.

චන්ද්‍රිකාට අවුරුදු එකොළහක් කඬේ ගිය අය දැන් චන්ද්‍රිකාට පස් පඩංගුවේ බැණ බැණ මහින්ද රාජපක්ෂතුමාගේ ගුණ වර්ණනා කරන්නාක් මෙන් එවිට ඔබට ඔබාමාට බැණ බැණ වෙනත් ගැලවුම්කරුවෙකු අගය කරමින් ඔබේ කාලකණ්ණි, කුසීත, ඒකාකාරී ජීවිතය දිගටම ගෙන යා හැකිය.
ජයවේවා !

Friday, November 7, 2008

ජනාධිපති කොමිසම... සිවිල් සමාජය ඔබෙන් සමුගනී

ජනාධිපතිතුමා විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම් සභාවේ කටයුතු සඳහා මැදිහත් වී සිටි සිවිල් සමාජ සංවිධාන හත 2008 නොවැම්බර් 06 දා එම කොමිසම් සභාවේ කටයුතු වලින් ඉල්ලා අස්විය.

මෙහිදී තම ඉල්ලා අස්වීම පිළිබඳව සිවිල් සංවිධාන විසින් හේතු කාරණා දක්වමින් සිටියදී, කොමිසම් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් එම කරුණු දැක්වීමට බාධා කරමින් කියා සිටියේ සිවිල් සංවිධාන වෙත මෙසේ කරුණු දැක්වීමට කාලයක් ලබා දිය නොහැකි බවත්, කොමිසමට ඊට සවන් දීමට අවශ්‍යයතාවක් නොමැති බවත්ය. සිවිල් සංවිධාන නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,

කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ සිවිල් ජනතාව හා කොමිසම් සභාව අතර සංවාදයක් ගොඩ නැගෙන තැනක් බවට පත්වන මෙම අවස්තාවේදී සිවිල් සංවිධාන වල කරුණු දැක්වීම් වලට සවන් දී පසුව එහි නිරවද්‍ය හෝ සාවද්‍ය තැන් පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ හැකිව තිබියදී කොමිසමේ මුළු ක‍්‍රියා පටිපාටිය පිළිබදවම එහි සාමාජිකයින් දෙදෙනෙකු විසින් අත්තනෝමතික ලෙස තීරණය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි බවය.

2006 නොවැම්බර් මාසයේ මෙම පරීක්ෂණ කොමිසම් සභාව පත් කරන ලද්දේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් දාසයක් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමටය. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතාගේ ඝාතනය පිළිබඳව සොයා බැලීමටද එයට බලය පවරන ලදි. 2008 මාර්තු මාසයේ 24 වන දින සිට මෙම කොමිසම් සභාවේ කටයුතුවලට සහාය දීම සඳහා සිය නීතිඥයින් මඟින් පෙනී සිටීමට සිවිල් සමාජය අවසර ලබාගත් අතර නොවැම්බර් 04 දා දක්වා පවත්වන ලද සෑම සැසිවාරයකටම ඔවුහු සහභාගී වුහ.

කොමිසම් සභාවේ කටයුතු වලින් ඉවත් වීමට ගන්නා ලද තීරණය පිළිබඳ වැඩි දුරටත් මාධ්‍යයට කරුණු පැහැදිලි කළ සිවිල් සමාජ සංවිධාන හතේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ කොමිසමේ ආරම්භයේ සිට මේ වන තෙක් ගත වූ වසර දෙක තුළ සාක්ෂි විමසා අවසන් කිරීමට කොමිසමට හැකි වූයේ තම විෂය පථයට වැටෙන සිදුවීම් වලින් එක් සිදුවීමක් සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම කොමිසමේ විනිවිදභාවය හා ස්වාධීනතාව සම්බන්ධයෙන් දිගින් දිගටම පැවති බරපතල ගැටළු එහි විශ්වසනීයභාවය කෙරෙහි දරුණු ලෙස බලපෑ බවද සිවිල් සංවිධාන ප‍්‍රකාශ කළහ.

ඒ අතර,
01. ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළුව නිසා විදේශ ගතව සිටින සාක්ෂිකරුවන්ගෙන් වීඩියෝ සාකච්ඡා මගින් සාක්ෂි ලබා ගැනීම වැලැක්වීමට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීරණය කොමිසමේ ස්වාධීනතාව බිඳ දැමීමක් වූ අතර ලබාගත හැකිව තිබෙන සියළුම සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු හා පහසුකම් සම්පාදනය නොකිරීම තුළින් කොමිසමේ ඉදිරි සැසිවාර පලරහිත බවට පත් වීම.

02. සාක්ෂි දීමේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වීම වැලැක්වීමට සැලකිය යුතු පියවර ගැනීමට කොමිසම අපොහොසත් වූ අතර ඒ සම්බන්ධයෙන් සිවිල් සමාජය විසින් කළ යෝජනා පිළිබඳව කොමිසම නිසි අවධානයක් නොදැක්වීම යන මූලික කාරණා ඇතුළු තවත් කරුණු කීපයක් මුල් කරගනිමින් සිවිල් සංවිධාන කොමිසමේ කටයුතු වලින් ඉවත් වුහ.

මේ ලිපියට මාතෘකාවක් නැත....

පසුගිය දිනෙක වවුනියාවේ සහ මන්නාරමේ සංචාරයක යෙදුනු අප එම ප‍්‍රදේශවල සාමාන්‍ය වැසියන්, සහන සේවකයන්, පූජකවරුන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. එහිදී ඔවුන් හා අප කළ සාකච්ඡාවන් ඇසුරෙන් මෙම ලිපිය සකස්වේ.

දැනට ගොඩබිම හරහා වවුනියාව හෝ මන්නාරම් යන ඕනෑම අයෙක් මැදවච්චිය මුරපොළ පසුකර යායුතුය. එහිදී විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්ට බල පැවැත්වෙන නීති රීති මුරපොළේ රාජකාරී කරන නිලධාරීන්ගේ අභිමතය පරිදි කලින් කලට වෙනස් වීම අප දුටු සාමාන්‍ය තත්වයකි. බොහෝ කලකට පසු වවුනියාවේ පදිංචි තම දරුවන් දැකීමට කොළඹ සිට වවුනියාව බලා යාමට පැමිණි දෙමළ ජාතිකයෙකු මැදවච්චිය හමුදා මුරපොළේදී යළි හරවා යවන අයුරුත් ආපසු යා නොහැකි එම පියා දැඩි අසරණ භාවයට පත්ව සිටින අයුරුත් පසුගියදා යෙදුණු සංචාරයේදී අප දුටු වඩාත් සංවේදී සිදුවීමකි. මුරපොළ භාර ඉහළ නිලධාරීන්ගේ හිත සැනසෙන, සාධාරණ කාරණයක් වවුනියාව බලා යාමට හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම දෙමළ ජාතිකයාට තම දරුවන් දැකීම හීනයක් බවට පත් විය.

වවුනියාවේ හෝ මන්නාරමේ සිට කොළඹ ඒමේදීද මඟීන් වෙත ඒ සම්බන්ධ ඔප්පු කළ හැකි ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුය. එනම් කොළඹින් එවන ලද ආරාධනාවක් හෝ ඒ හා සමාන කැඳවීමක් සහිත ලියවිල්ලකි. එවැන්නක් ඇති විට වවුනියාවේ හෝ මන්නාරමේ තමා සිටින ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවක සහ පොලීසිය මඟින් ලියාපදිංචි වූ පසු ලබාදෙන අවසර පත‍්‍රය රැගෙන කොළඹ යා යුතුය. එම අවසර පත‍්‍රය දින කිහිපයකට වලංගුය. වැඩි දුරටත් අප කළ විමසීම් වලදී හෙළිදරව් වූයේ එවැනි අවසර පත‍්‍රයක් නොමැතිවීම නිසා වීසා බලපත‍්‍ර කාලය අවසන් වී කැනඩාව බලා යාමට මැදවච්චිය මුරපොළට පැමිණි කැනඩාවේ පදිංචි දෙමළ ජාතික කාන්තාවක්ද ඉකුත් දිනෙක නිලධාරීන්ගේ අභිමතය පරිදි යළි හරවා යැවූ බවය. අපට එවැනි අබග්ගයකට මුහුණ දීමට සිදු නොවුණෙන් වවුනියා හා මන්නාරම් ගමන අතරමඟ නතර කර දමා හැරී ඒමට සිදු නොවීය.

වවුනියාවේ දහවල් කාලයේ සියලූම ජංගම දුරකථන සංඥ ක‍්‍රියාවිරහිත කරන අතර පැය කිහිපයකට පමණක් සවස 6.30 ට නැවත සම්බන්ධතාව ලබා දේ. නමුත් අදාළ පෞද්ගලික දුරකථන සමාගම්වලට පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු මාසික ගාස්තුවල කිසිදු අඩුවක් නැති අතර බිල්පත් පෙර පරිදිම පාරිභෝගිකයන් වෙත ලැබේ. මෙම සන්නිවේදන අපහසුව නිසා බොහෝ ව්‍යාපාරික කටයුතු හා දෛනික කටයුතු ඇණහිට ඇත. මේ වන විට රජය වවුනියාවට හා මන්නාරමට යා හැකි ප‍්‍රවාහන පහසුකම් ඍජු හා අනියම් ආකාරයෙන් සීමා කර ඇති අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කිරීමත්, කිසිදු මඟී හෝ භාණ්ඩ රැගත් වාහනයකට මැදවච්චිය මුර පොළෙන් එහාට යාමට ඉඩ නොදීමත් ඊට හොඳම සාධකයකි. යුද්ධය දරුණු ලෙස පැවති කාලයට වඩා අද වවුනියාවේ සිවිල් ජනයා ජීවත් වන්නේ දැඩි බියකිනි. සවස හය-හත වන විට ඇඳිරි නීතිය නොවුවද වැසියන් ඇඳිරි වැටෙන විටම ගෙවල් තුළට වැදී දොරවල් වසා ගැනීමට පුරුදුව සිටිති. යළි පසුදා පහන් වනතුරු අසල්වැසි ගෙදරකින් ඇසෙන මර ලතෝනියකටවත් ඔවුන් නිවෙස් වලින් පිටතට නොපැමිණෙති. ආරක්ෂක හේතූන් මත සවස 6.00 ට පසු වවුනියාවේ මාර්ගයන්හි ගමන් ගන්නා සෑම වාහනයක්ම ඇතුළත ආලෝක පද්ධති ක‍්‍රියාත්මක කරගෙන යා යුතුය. නමුත් ආරක්ෂාව පිළිබඳ එතරම් වද වෙන වවුනියාවේ පසුගිය වසර 1 1/2 තුළ ආයුධ සන්නද්ධ පැරා මිලිටරි කණ්ඩායම් පැටව් ගසා ඇත. මීටර් 50 න් 50 ට ආරක්ෂක මුර කපොලූ තිබුනද කප්පම් ගැනීම් සහ තැන තැන සිදුවන අභිරහස් ඝාතන අඩු වී නැත. අප ගොඩවැදුණු වවුනියාවේ සුපිරි වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් කිහිප තැනකින් සිදුරු කරගෙන ගොස් තිබුනේ නිදැල්ලේ සැරිසරන එවැනි තුවක්කුකරුවන්ගේ වෙඩි පහර වලිනි. මෙනිසා ඇඳිරි වැටෙන විටම සියලූ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙන්ඳන් පුරුදු වී සිටිති. වවුනියාවේ ගතකල කාලය තුළ අප එහි සෑම සිවිල් වැසියෙකු තුළම දුටුවේ බිය හා අවිනිශ්චිතභාවයයි. එය කිසිසේත් යුද්ධය නිසා ඇති වූ බියක් නොවීය. මෙම මිනිසුන් භීතියටත්, අසරණභාවයටත් පත් කර ඇත්තේ වවුනියාවේ ක‍්‍රියාත්මක වන පැරා මිලිටරි කණ්ඩායම්වලින් එල්ල වී ඇති ජීවිත තර්ජනයන් හා හමුදාව, පොලීසිය විසින් සිදු කරන ක‍්‍රියා කලාපයන්ය.

රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කල වවුනියාවේ අද ඇත්ත පාලනය සිදුවන්නේ පැරා මිලිටරි කණ්ඩායම් කීපයක් විසිනි. ඊ.පී.ඞී.පී, ප්ලොට්, ටෙලෝ, ඊරෝස් යන කණ්ඩායම් වලට අමතරව කරුණාගේ හා පිල්ලේයාන්ගේ කණ්ඩායම්ද, එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඇතුළු කණ්ඩායම් දහසයක් පමණ ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ සැරිසරමින් වවුනියාව ආක‍්‍රමණය කර සිටිති. ආයුධ සන්නද්ධව සිවිල් ජනයාගෙන් ලක්ෂ ගණන් කප්පම් ගෙන කාර්යාල පවත්වා ගෙන යන මොවුන් විසින් අද වවුනියාවේ ජනතාව තුළ ඇති කර ඇති භීතිය කිසිසේත් සුළු පටු නොවේ. විශේෂයෙන්ම අතුරුදහන්වීම්, ඝාතනය කිරීම්, පැහැරගෙන යාම්, කප්පම්ගැනීම් අතින් වවුනියාව අද සිටින්නේ ඉහළම තැනකය.

වෙළෙඳසැලේ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, මඟතොට, නිවසේ සහ ඕනෑම තැනකදී පුද්ගලයෙකුට පිස්තෝලයක් පෙන්වා ලක්ෂ 5-6 ක කප්පමක් ඉල්ලීමත්, මරණ තර්ජන කිරීමත්, මරා දැමීමත් වවුනියාවේ සාමාන්‍ය තත්ත්වයකි. වවුනියාවේ ව්‍යාපාරිකයන් අප හා පැවසුවේ පසුගිය සටන් විරාමය කාලයේ තමන් ඉතා සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු කළ බවත්, එදා තිබු ව්‍යාපාරික ස්ථානවලින් අද ඇත්තේ භාගයකටත් අඩු ප‍්‍රමාණයක් බවත්ය. ඊට ප‍්‍රධානතම හේතුව එක් දුරකථන ඇමතුමකින් ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට සිදුවීම නිසා ව්‍යාපාරිකයෝ වෙළෙඳාම අතහැර දැමීමය. කප්පම් නොගෙවන්නේ නම් තෝරාගත හැකි අනෙක් විකල්පය නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් හිමිවන මරණයයි. සටන් විරාම සමයේ වවුනියාවේ තිබු රථවාහන වලින් අද ඇත්තේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක් බවත් සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම නිසා බොහෝ හිමිකරුවන් තම වාහන විකුණා දැමු බව එක් රියදුරෙක් අප සමඟ කී වේය.

අවම වශයෙන් වවුනියාවේ මසකට ඝාතන දෙකක්වත් සිදුවන අතර සුදු වෑන් මඟින් සිදුකෙරෙන පැහැර ගැනීම් හතරක් හෝ පහක් වාර්තා වේ. මේ ඇතැම් ඝාතන සිදුකරන පිරිස් කවුරුන්ද යන්න රහසක් නොවන අතර අත් අඩංගුවට නොගෙන ඔවුන්ට රිසිසේ සිය කටයුතු කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වලින්ද බාධාවක් ඇති බව නොපෙනේ. නමුත් නිරන්තරයෙන් සිවිල් වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කරමින් ඔවුන් එක් ස්ථානයකට ගාල් කොට (round up)සෝදිසි කර අත් අඩංගුවට ගැනීම නම් අකුරට සිදුවේ. වවුනියාවෙ සිටින බහුතරය දෙමළ හා මුස්ලිම් ජාතිකයන් වන අතර පොලීසියේ සිටින බහුතරය සිංහලය. දෙමළ හා මුස්ලිම් ජනයා හමුදාව විසින් සිදුකරන එවැනි අත් අඩංගුවට ගැනීම් පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමේදී පොලීසිය විසින් පැමිණිල්ලේ එය සඳහන් කරන්නේ අතුරුදහන් වීමක් ලෙසිනි. පොලීසිය භාෂා ප‍්‍රශ්නය තම වාසියට හරවා ගත් එවැනි අවස්ථා රැසක් ගැන පිළිබඳ රජයේ ඉහළ නිළධාරියෙක් අප සමඟ පැවසුවේය.
නමුත් මන්නාරමේ සිදුවන්නේ මීට වෙනස් ක‍්‍රියාදාමයකි. එහි පැරා මිලිටරි කණ්ඩායම් වලට ක‍්‍රියාත්මක වීමට වැඩි අවකාශයක් නැති අතර සිවිල් ජන ජීවිතය පාලනය කෙරෙනුයේ රජයේ හමුදාවන් විසිනි. මන්නාරමට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන මන්නාරම් නගරය, නාන්නත්තන් හා මුසලි වල ඇතැම් ප‍්‍රදේශයන්හි ජනයාට රජයේ හමුදාව විසින් හැඳුනුම්පතක් නිකුත් කර ඇත. ආරක්ෂාව පිණිස එවැනි පියවර අනුගමනය කරන බව කිවුවද අතුරුදහන්වීම් හා අත් අඩංගුවට ගැනීම්වල අඩුවීමක් නොවන්නේය. මෙසේ අතුරුදහන්වන සියළුම දෙනා පාහේ දෙමළ ජාතිකයෝය. හදිසියේ සිදු කරන අත් අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් මන්නාරමේ ප‍්‍රබල ලෙස සිදුවන අතර කුමන හේතුවකට අත් අඩංගුවට ගත්තද පොලීසිය විසින් නිකුත් කරන රිසිට්පතේ බොහෝ විට සඳහන් කරන්නේ ‘මීනී මැරීම හා ත‍්‍රස්තවාදයට සම්බන්ධයි’ යන්නය. අපට හමුවු දෙමළ මවුවරුන් පිරිසක් කියා සිටියේ පසුගිය 2007 ඔක්තෝම්බර් 21 වැනිදා පේසාලේ නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින තම දරුවන්ට ද පොලීසිය නඟා ඇත්තේ එම චෝදනාව බවයි. සමහර පුද්ගලයන් අත් අඩංගුවට ගත් බව හමුදාව පිළි නොගත් අවස්ථා ද ඇත.

මන්නාරමේ කාලයක සිට සියළුම ස්ථාවර හා ජංගම දුරකථන මාර්ග ක‍්‍රියාවිරහිත කර අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් රැහැන් රහිත (CDMA) දුරකථන දාහතරක් රජය විසින් ලබාදී ඇත.

මන්නාරම නගරයේ ප‍්‍රධානතම ජීවන මාර්ගය පේසාලේ සිදුවන ධීවර කටයුතුයි. නමුත් දැනට වසර දෙකක පමණ කාලයක සිට පේසාලේ ධීවරයන් හට මසුන් මැරීමට නාවික හමුදාව විසින් තහංචි පනවා ඇත. ධීවරයන්ට මුහුදුයාමට අවසර දී ඇත්තේ උදේ හයේ සිට සවස පහ වන තෙක් පමණි. ඔවුන්ගේ බෝට්ටු එන්ජින් සවස පහෙන් පසු නාවික හමුදාව බාරයට පත්කළ යුතු අතර නැවත පසුදා උදේ හමුදා භාරයෙන් තම එන්ජින් ලබාගෙන මුහුදු යා යුතුය. සාමාන්‍යයෙන් මසුන් ඇල්ලීම වඩා සාර්ථක රාත‍්‍රී කාලයේ වුවද පේසාලේ ධීවරයින් හට රාත‍්‍රී මුහුදු යාම තහනම්ය. එහෙත් පේසාලේ වෙරළ තීරය තෙක් ට්‍රෝලර් බෝට්ටුවලින් පැමිණ මසුන් අල්ලන ඉන්දියානු ධීවරයින් අප දුටුවෙමු. රාත‍්‍රී නවය පමණ වන විට එක පෙළට ට්‍රෝලර් දහයක් එකොළහක් පමණ පැමිණ සතියකට තෙවතාවක් පමණ ඔවුන් මෙසේ මසුන් ඇල්ලීමේ නිරත වෙති. නමුත් ඊට නාවික හමුදාවෙන් හෝ එල්.ටී.ටී.ඊ යෙන් කිසිදු බලපෑමක් නැති අතර ඔවුන් එසේ පැමිණෙන්නේ කාගේ අවසරය පිටදැයි පේසාලේ ධීවරයෝ ප‍්‍රශ්න කරති. ඉන්දියානු ට්‍රෝලර් පැමිණ ගියදාට පසුදා පේසාලේ මුහුදු තීරයේ ඇල්ලීමට තරම් මසුන් රොක් නොවන අතර මීට පෙර ඉතා කාර්ය බහුල වෙරළ තීරයක් වු පේසාලේ පාලූවට ගොස් ඇති ආකාරය අප පසුදා දුටුවෙමු. ධීවරයින්ගේ ගැටලූ වලට රජයෙන් නොයෙක්වර ඉල්ලීම් කළද තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැත. තවද මන්නාරමේ ධීවරයන් හට බෝට්ටුවල අමතර කොටස් ගැනීමට හා අලූත් වැඩියා කටයුතු සිදුකර ගැනීමටද කිසිදු පහසුකමක් නැත. තමන් විවිධ දුෂ්කරතා මැද අල්ලන හොඳම මාලූ ටිකද මුදල් නොදී හමුදා නිලධාරීන් රැගෙන යන බව ධීවරයෝ අප සමග කිවුවෝය.

වවුනියාවේ මෙන්ම මන්නාරමේද ඇතැම් විශාල ගොඩනැගිලි හමුදාව තමන් යටතට ගෙන ඇත. වවුනියාවේ රජයේ රෝහල, මන්නාරමේ මුරුක්කන්හි පිහිටි තැපැල් කාර්යාලය, තලේ මන්නාරමේ තරුණයන් සඳහා වු පුහුණු මධ්‍යස්ථානය මෙසේ හමුදාව භාරයට ගෙන ඇති අතර ඒවායේ තම විවිධ කටයුතු ආරම්භ කොට ඇත.
දකුණේ ජනයාට පොල් ගස මෙන් මන්නාරමේ ජනයාට ඇත්තේ තල් ගසය. බොහෝ ඈත කාලයේ සිට මන්නාරමේ ජනයා තම දියණිවරුන් විවාහකර දීමේදී දෑවැද්ද ලෙස දුන්නේ තල් ගස් සියයක්, දෙසීයක් ඇති ඉඩමකි. නමුත් ඉකුත් වසර දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් විවිධ කටයුතු සඳහා වැසියන්ගේ ඉඩම්වල ඇති තල් ගස් පන්දහසක් පමණ කපා ගෙන යාම නිසා පොරොන්දු දෑවැදි දිය නොහැකිව අපේක්ෂිත විවාහ කඩාකප්පල් වූ තරුණියන්ද සිටිති. මීට අමතරව හදිසියේ නිවාස සෝදිසියට පැමිණෙන අවස්ථාවල නැවත ලබා දෙන පොරොන්දුව පිට නාවික හමුදාව විසින් ඇතැම් නිවෙස්වල ඇති තල් ලී රැගෙන ගොසිනි.

එසේම මන්නාරමේ ධාවනය කරන වාහනවලට ඉන්ධන ලබාගත යුත්තේ රේෂන් කාඞ් එකකටය. එහි වාහන අංකයේ සිට ඉන්ධන කී වාරයක් ලබාගෙන ඇත්ද? ඒ කවදාද? ඇතුළු සියළු තොරතුරු ඇතුළත් වන අතර වාහන සඳහා ලබා දෙනුයේ සීමා සහිත ඉන්ධන ප‍්‍රමාණයකි. ඉන්ධන පිරවුම්හල්වල ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය බැලීම සඳහා හමුදා නිලධාරීන් යොදවා සිටිනු අප දුටුවෙමු.
මේ මන්නාරමේ එළිමහන් ජීවිත ගෙවන ජනයාගේ තත්වයයි. නමුත් මන්නාරමේ පිහිටි සිරුක්කුන්ඩාල් හා කලිමුන්ඩායි අවතැන් කඳවුරුවල තත්වය මීටත් වඩා ඛේදාන්තයකි. උතුරේ සිට ආරක්ෂාව පතා රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි දෙමළ ජනයාගෙන් පිරී ගොස් ඇති මෙම කඳවුරු වල කිසිවෙක් පිටතට යාමට හෝ ඇතුල් වීමට නොහැකි පරිදි රඳවා ඇත. දැඩි පාලනයක් යටතේ පවත්වා යන මෙම කඳවුරුවල ඔරොත්තු නොදෙන තරම් මිනිසුන් පිරිසක් සිටිති.

මේ ආකාරයට මන්නාරමේ ජන ජීවිතයේ සියලූ කටයුතු මුළුමනින්ම පාහේ රජයේ හමුදාව විසින් සිදුකරන අතර බාහිර ලෝකයට එම තත්වයන් වසන් කිරීමට එම ප‍්‍රදේශවලට දකුණෙන් යන එන මඟීන් පිළිබඳවද දැඩි සෝදිසියකින් පසුවෙති. මෙතරම් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා රැකවල්ලා ගෙන සිටින මන්නාරමේ පමණක් එක් සතියකට පුද්ගල අතුරුදහන් වීම් 10-15 අතර ගණනක් සිදුවේ. අපගේ ගණනය කිරීම් අනුව මන්නාරමේ සිට මැදවච්චිය තෙක් 14 මාර්ගයේ 26KM කණුවේ සිට 29KM කණුව තෙක් පාර දෙපස ඇති හමුදා මුරපොළවල් ගණන විසි තුනකි. නමුත් ඒවාට හසුනොවී පුද්ගලයන් දිගින් දිගටම පැහැරගෙන යන්නේ කෙසේදැයි ගැටළුවකි.

මන්නාරම සහ වවුනියාව යනු දැන් රජයේ මුදාගත් ප‍්‍රදේශයන්ය. එබැවින් තවදුරටත් රජයේ හමුදාවන් එම ප‍්‍රදේශවල රැදී සිටීම ගැටළුවක් නොවන නමුත් ඔවුන් අරක්ෂාව උදෙසා වැඩ පිළිවෙලවල් ක‍්‍රියාත්මක කළ යුත්තේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරිනි. එසේ නැත්නම් මේ අන්දමින් සාමාන්‍ය ජනයාගේ ආර්ථික, සමාජීය හා පෞද්ගලික ජීවිතයට සීමා පැනවී ඇති කාලය අවසන්වන දිනයක් පිළිබද යම් සහතිකයක් තිබිය යුතුය.

Thursday, October 30, 2008

වන්නි දෙමළ ජනතාව සුරක්ෂිත කර ගැනීමට රජයට සැබෑ උවමනාවක් තිබේද?

වන්නියේ සිදුකෙරෙන යුද මෙහෙයුම් හේතුවෙන් අවතැන් වී සිටින ලක්ෂ ගණන් වන්නි ජනයාගේ සැබෑ තත්වය අනාවරණය කරගනු පිණිස පසුගියදා අප එම ප‍්‍රදේශවල සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින සහන සේවකයින්, පුජකවරුන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. අප කළ සංචාරයේදී හා විමසීම්වලදී හෙළි වූ පරිදි අද දවසේ වන්නියේ ජන ජීවිතය ගෙවෙන්නේ මෙසේය.
යුද මෙහෙයුම් හේතුවෙන් මේ වන විට වන්නි මුළු ජනගහණය වන හාරලක්ෂ දහනමදාහ අතරින් අවතැන් වී සිටින මුළු ජනගහනය තුන් ලක්ෂ පහළොස් දහසකි. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මුලතිව් දෙසට ගොස් දැනට රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස නම්කර ඇති විශ්වමඩු හා ඔඞ්ඩුසුඩාන් යන ස්ථානවල ලැගුම් ගෙන සිටියි. රජය මෙසේ යුද මුක්ත කලාපයක් ලෙස නම් කර ඇත්තේ වර්ග කිලෝමීටර් දහයක භූමි ප‍්‍රදේශයකි. අවතැන්ව සිටින පිරිස තුන් ලක්ෂ පහළොස් දහසකි. මෙවැනි විශාල පිරිසකට ජීවත්වීමට වර්ග කිලෝමීටර් දහයක් ප‍්‍රමාණවත් දැයි මූලිකම ගැටළුවකි. අපේ හැඟීම නම් එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි.

ඊටත් වඩා ප‍්‍රබල ප‍්‍රශ්නය ඇතැම් ජනයා මෙම යුද මුක්ත යැයි නම් කර ඇති කලාපයට ඇතුළු නොවීමත්, ඔවුන් යුද මෙහෙයුම් ඇති ප‍්‍රදේශවලම තවමත් ලැගුම් ගෙන සිටීමත්ය. ඊට හේතුව මෙය යුද මුක්ත කලාපයක් ලෙස නම් කළද මීට පෙර පේසාලේ සහ මඩු දේවස්ථානය යුද මුක්ත කලාපයක් ලෙස ද නම් කළ අවස්ථාවලදී මෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් (UNHCR) මඟින් අධීක්ෂණය(monitor) කිරීමක් මෙම යුද මුක්ත කලාපයේ සිදු නොවීමයි. එවැනි අධීක්ෂණයක් කිසිඳු පාර්ශ්වයකින් සිදු නොවීම හේතු කොටගෙන අවතැන් ජනයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ඔවුන් පසුවන්නේ දැඩි බියකිනි.

අනෙක් ප‍්‍රබල ගැටලූව වන්නේ වන්නි අවතැන් ජනයාට ඇති ආහාර ප‍්‍රශ්නයයි. මේ වන විට වන්නියට ගොස් ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර රැගත් රිය පෙළ (food convoy) දෙකක් සහ රජයේ නියෝජිතයින් හරහා රිය පෙළ දෙකක් පමණි. එක්සත් ජාතීන්ගේ තෙවන ආහාර රිය පෙළ වන්නියට යැවීම සඳහා සුදානම් කෙරෙමින් පවතී. දැනට බෙදා හැර ඇති ආහාර හා අනෙක් ද්‍රව්‍යවලට අමතරව වන්නියේ කුඩා දරුවන්ට අවශ්‍ය ළදරු කිරිපිටි, කිරිපිටි, සීනි, තේ කොළ, ගිනිපෙට්ටි, ඉටි පන්දම්, මඳුරු කොයිල් හා පානීය ජලය ආදී ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතී. තවද පෙට‍්‍රල් ලීටරයක වත්මන් මිළ රුපියල් එක්දහස් දෙසීයක් වන අතර ලාම්පු තෙල් ලීටරයක් රුපියල් තුන්සිය පණහක් ඉක්මවයි. මේ නිසා ජනතාවට ලබාදෙන වියළි ආහාර පිස ගැනීමද ගැටලූවකි. ඇතැම් හිඟ අමු ද්‍රව්‍යවල මිළ පවා අවතැන් ජනයාට දරාගත නොහැකි අන්දමට ඉහළ නැඟ ඇත.

දැන් වන්නි ප‍්‍රදේශයට වර්ෂාව ආරම්භ වී ඇත. මේ වනතෙක් ඔවුන් ලැඟුම් ගෙන සිටියේ ගස් යට, කැළෑවල, ලඳු කැළෑවල හා කුඹුරුවලය. නමුත් ඇද හැලෙන දැඩි වර්ෂාව හමුවේ මෙම පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටී. කුඹුරු ජලයෙන් පිරීමත් සමඟ බොහෝ පිරිසක් ධර්මපුරම් මාර්ගය අද්දරට පැමිණ ඇත. මාර්ගය හරහා ගමන් කරන වාහන අධික වේගයෙන් ජනයා ලැගුම් ගෙන සිටින මාර්ගයේ ගමන් කිරීම නිසා දිනපතාම පාහේ දරුණු රිය අනතුරු සිදුවේ. පසුගිය දා කුඩා ළදරුවෙක් මිය ගියේ එවැනි අධිවේගී රථ ධාවනය හේතුවෙනි. කුඩා ප‍්‍රදේශයක විශාල පිරිසක් සමූහ ලෙස ලැඟුම් ගෙන සිටීම නොතකා රියදුරන් රථවාහන වේගයෙන් ධාවනය කිරීම තවදුරටත් දිගින් දිගටම සිදුවේ. මොවුන්ට ලැඟුම් ගැනීමට කූඩාරම් රෙදි හෝ සෙවිලි කර ගැනීමට කිසිඳු අමුද්‍රව්‍යයක් තවම ලබා දී නැත. වන්නියේ සිමෙන්ති කොට්ටයක වත්මන් මිළ රුපියල් විසිහත් දහස ඉක්මවයි. සිමෙන්ති ප‍්‍රවාහනයට පණවා ඇති නීති රීති හේතුවෙන් එක්සත් ජාතීන්ගේ හෝ වෙනත් සහන සේවකයිනට මෙම අසරණ ජනතාව වෙනුවෙන් කිසිඳු ඉදිකිරීමක් කර දීමට හැකියාවක් නැත.

ප‍්‍රදේශයේ සියලූම පාසල් මේ වන විට වසාදමා ඇති අතර එක් පාසලක පමණක් ඉගැන්වීමේ කටයුතු සිදුකරයි. ඒ උදේ කාලයේ ප‍්‍රදේශයේ ස්ථීරව පදිංචි වී සිටි ළමුන්ට හා සවස් කාලයේ අවතැන් වී පැමිණ සිටින ළමුන්ට ආදී වශයෙනි. නමුත් පසුගිය කාලයේ සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් සවස පන්ති පැවැත්වීම දැනට නතර කොට ඇත. උදේ කාලයේ පාසල් පැවැත්වුණද එම ළමුන්ට අභ්‍යාස පොත් නැත.

වර්ෂාව ආරම්භ වීමත් සමඟම අවතැන් පිරිස් අතර අතීසාරය හා මැලේරියාව වැනි රෝග පැතිරී යමින් පවතී. අධික ලෙස වර්ෂා ජලයට හසුවීමත් වැසිකිළි වලවල් වෙනුවට ලාම්පුතෙල් බැරල් කපා වැසිකිළි ලෙස භාවිතා කිරීමත්, ගලා යන වැසි ජලයට එම අපද්‍රව්‍ය මිශ‍්‍ර වීමත් මෙම රෝගී තත්වයන් පැතිරී යාමට හේතු වී ඇත. මේ අතර කිලිනොච්චි රෝහලේ ප‍්‍රතිකාර කටයුතු තවමත් සුපුරුදු ලෙස සිදුවන නමුත් මේ වන විට එහි රෝගීන් ප‍්‍රමාණය අතිරික්තයක් බවට පත් වී ඇත. විශේෂයෙන් වර්ෂාව නිසා අවතැන් ජනයාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නොලැබෙන අතර වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය සේවකයින් කිසිවෙකුට අවතැන් ජනයා සිටින ප‍්‍රදේශ කරා ළ`ගා වීමට නොහැකි වී ඇත. අවතැන් ජනයා මුහුණ පා ඇති තවත් ප‍්‍රබලම ගැටලූවක් වන්නේ සර්පයන් දෂ්ඨ කිරීමයි. පසුගිය දින දහය තුළ වැඩිහිටි පුද්ගලයන් හා දරුවන් දෙසීයකට වැඩි ප‍්‍රමාණයකට නාගයන් දෂ්ඨකර ඇති අතර කිහිපදෙනෙක් ප‍්‍රතිකාර නොමැතිව මියගොස් ඇත.

එසේම දැනට වන්නි ප‍්‍රදේශයේ කිසිඳු සන්නිවේදන පහසුකමක් නොමැති අතර එක්සත් ජාතීන් විසින් තම සන්නිවේදන කටයුතු කිරීම සඳහා පිහිට වූ සන්නිවේදන මධ්‍යස්ථානයක් පමණක් ඉතිරිව පවතී. මේ වනවිට අවතැන් ජනයාට සහන සැලසීම සඳහා වන්නි ප‍්‍රදේශයට ඇතුළු වීමට කිසඳූ පුද්ගලයෙකුට අවසර නොමැති වීමත්, ජනතාව මෙතරම් අසරණ තත්වයකට මුහුණ පා සිටියදීත් රජය එක්සත් ජාතීන් හා අනෙකුත් සහන සේවකයන් වන්නියෙන් ඉවත් කිරීම තුළින් ඔවුන් වඩාත් අසරණ හා හුදෙකලා බවට පත්ව ඇත. දැනට ඔඞ්ඩුසුඩාන් වල ඥතීන්ගේ නිවෙස්වල ඇතැම් පිරිස් ලැඟුම් ගෙන සිටී. කාමර දෙකක එවැනි කුඩා නිවසක් තුළ පුද්ගලයන් තිහක් හතලිහක් ජීවත් වෙති. එම කුඩා නිවාස දැන් පවතින වැස්සටද ඔරොත්තු නොදෙයි.

දැන් වන්නි ජනයා ආහාර හිඟයෙන්, සනීපාරක්ෂක ගැටලූවලින්, නවාතැන් ප‍්‍රශ්නයෙන්, පාරිසරික හේතුවලින් හා මරණ බියෙන් කම්පනයට පත්ව සිටිති. කුඩා දරුවන් මන්දපෝෂණ තත්වයට පත්ව සිටිති. අද වන විට ඔවුන්ට ජීවත් වීමට ආරක්ෂිත භූමියක් ලංකාවේ නැත.

රජය පසුගිය කාලයේ පැවසුවේ අවතැන් වන්නි ජනයාට රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන ලෙසය. අප කළ විමසුම් අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පැවසුවේ අවතැන් ජනයා පැමිණියහොත් ඔවුන් නැවැත්වීමට වව්නියාවේ ස්ථාන තුනක් රජය විසින් නම්කර තිබූ බවය. ඉන් ‘මැණික් ෆාම්’ යන ස්ථානය එලිපෙහෙළි කර ඒ සඳහා සූදානම් කර තිබූ නමුත් අනෙක් ස්ථාන දෙක එවැනි සූදානමක් කර නොතිබුණි. මැණික් ෆාම් නැමැති ස්ථානයේ නවාතැන් ගත හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයන් හාර දහසකට පමණක් වන නමුත් රජය නිවේදනය කළේ එහි හැට දහසකට ලැගුම් ගත හැකි බවය. යම් හෙයකින් වන්නියේ අවතැන් තුන් ලක්ෂ පහළොස් දහස වව්නියාවට ආවේ නම් වව්නියාවේ පදිංචි එක් ලක්ෂ අසු දෙදහසක ජනගහනය හා සමස්ත වව්නියාවම ප‍්‍රබල ගැටලූවකට ඇඳ වැටීමට නියමිතව තිබුණි. අනෙක දැනට ඔවුන් සිටින ප‍්‍රදේශයේ සිට වව්නියාවට හා මන්නාරමට ඒමට විශාල දුරක් පැමිණිය යුතු අතර කැළෑ මැදින් ඒ එන ගමන ඉතාමත් අවදානම්ය. සැබෑව නම් වන්නි ජනයා රජයේ පාලන ප‍්‍රදේශවලට නොඑන බව රජය කල් ඇතිවම දැන ගෙන සිටීමය. එය ඔවුන්ගේ දුර්වල පෙර සූදානමෙන්ම ඉතා පැහැදිලිය. එනිසා අද වන්නියේ සැබෑ තත්වය අනුව රජයට වන්නි දෙමළ ජනයා සුරක්ෂිත කර ගැනීමට සැබෑ උවමනාවක් ඇත්දැයි අපට ගැටලූවක් පවතී.

වන්නිය යනු අද රජයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇතිවාක් මෙන්ම ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය වෙනස් නොවුනහොත් වන්නි ජනතාවගේ ජීවිතය යන්නද තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත.

Back to HOME

කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය හා ඇම්නෙස්ටියේ ඇම්ම

2008.10.12 වන දින සමබිමෙහි පළවූ ජානක තේනුවරගේ ‘කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි ?’ ලිපියට පිළිතුරක්...

සරත් එන්. කුමාර

යුද්ධය ආරම්භ වී හමාර ය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. එයට ද විවිධ හේතු සාධක බලපෑවේය. දිනෙන් දින වර්ධනය වූ අර්බුදයන් යුද්ධයක් දක්වා වර්ධනය විය. එහි ඉතිහාසය ඉතා අමිහිරිය. සියලූ හේතු සොයා බැලූවහොත් කාගෙ කාගේත් කිල්ලෝටයන් හි හුණු ටික ටික හෝ ඇත. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රභාගේ යුද්ධය සාධරණීකරණය කිරීම නොවේ.

යුද්ධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ලැඟුම් ගන්නට පටන් ගත්තේත්, ඔවුන්ට මුදල් ගලා ඒමට පටන් ගත්තේත්, අපේ රටේ කවර ජාතියකට හෝ අයත් මිනිසුන්ගේ සිරුරින් ගලන රුධිරය, කඳුලූ හා දුක හරහාය. හැම ජාත්‍යන්තර සංවිධානයක්ම ඉදිරිපත් වන්නේ උදව්වටය. අපේ රට ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. එය අගේ කළ යුතුය. ඒ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප එකහෙළා පිළිගන්නා නිසාය. නමුත් ජාත්‍යන්තර සංවිධාන හරහා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය නෙලාගත් ප‍්‍රතිඵල මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතී.

යුද්ධය පවතින විට ජාත්‍යන්තර සංවිධාන නිතරම ප‍්‍රකාශකරන්නේ යුද්ධයට වඩා දේශපාලන විසඳුමකට යොමුවන ලෙසය. ඒ අදහස සාධාරණය. එයට තර්ක නැත. ලොව සියලූ රටවල්, දේශපාලන පක්ෂ හා ජනතාවගේ ද ඒකායන පැතුම ද එයයි. වර්තමාන හා අතීත ශ‍්‍රී ලංකා රජයන් ද දේශපාලන විසඳුමක් සොයන්නට කිහිප අවස්ථාවකම සාකච්ඡා කරමින් විවිධ උත්සාහයන් ගත් බව අප කාටත් මතකයෙන් තවමත් ගිලිහී නොමැත. ඒ සෑම සාකච්ඡා හා සාම ගිවිසුම් අවස්ථාවකින්ම නියම ප‍්‍රයෝජනය ගෙන යුද්ධයට අවශ්‍ය ශක්තිය ගොඩ නඟාගෙන සාකච්ඡා වලින් ඉවත් වී නැවත යුද හමුදාවට හා ජනතාවට පහර දීම කොටි සංවිධානයේ ක‍්‍රියා පිළිවෙත විය. කාටත් එවැනි අතීතයක් තිබුණු බව මතකය. අපේ රට ගැන මහත් හැඟීමකින් කථාකරන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන දේශපාලන පක්ෂ හා පුද්ගලයින්ට එවැනි දේ සිදුවුනා ද කියාවත් මතක නැත.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩනයේ පිහිටි මූලස්ථානය අපේ රටේ මානව හිමිකම් සංවිධාන වලින් අසා දැනගත් පරිදි හා ජානක තේනුවර මහතා එම අදහස සාධාරණීකරනය කිරීම තුළින් අදහස් වන්නේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට ඒම වරදකි. ඔවුන්ගේ අදහස පරිදි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පාලනයක් තිබේ නම් යුධ අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුය. එය ද ඇත්තකි.

ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නොවේ, එම අදහස තුළ ඇති දෙබිඩි තේරුම තුළය. යුද්ධය පවතින විට යටිගිරියෙන් කෑ ගසා මෙයට දේශපාලන විසඳුමක් තිබිය යුතුයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන, දේශපාන පක්ෂ හා පුද්ගලයින් අදහස් කරන්නේ කුමක් ද? යුද්ධය නවතා දේශපාලන ප‍්‍රවාහයට එකතු විය යුතුයැයි නොවේ ද? ප‍්‍රභාකරන් වුවද යුද්ධය නවතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වුවහොත් එය අගය කළ යුතුය. නමුත් ආයුධ බිම තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එකතුවීමට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හෝ මරණීය දණ්ඩනය නියම කර මරා දමනවා නම්, ඔහු තියා බලහත්කාරයෙන් යුද්ධයට සම්බන්ධ කරවූ අහිංසක දෙමළ ජාතිකයෙක්වත් දේශපාලනය තියා යුද හමුදාවට භාර වීමටවත් එන්නේ නැත. ඊට වඩා මරාගෙන මැරෙන එක යහපත් යැයි නිරන්තරයෙන්ම කල්පනා කරනු ඇත. එසේ මරාගෙන මැරුණොත් එහි අසාධාරණයක් ද නැත. කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති පාර්ලිමේන්තුවට ඒමට පෙර කොටි සංවිධානයෙන් වෙන් වූයේය. දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. ඒ පිළිබඳ ඉතා සතුටින් කතා කළ පිරිස් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනයට විරුද්ධ වෙති. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් එකල කර්නල් කරුණා ද බොහෝ වැරදි කර ඇත. එයද සත්‍යයකි. කරුණා මිනිසුන් හා දේපළ නසන්නට, හමුදාව හා සටන් වැදීමට කොටින්ට නායකත්වයක් දුන් බැවින් කොටි සංවිධානයෙන් ඉවත් වූ පසු නීතිය අනුව ඔහුව අත්අඩංගුවට ගත්තේ නම් හෝ ඔහුව මරාදමනු ලැබුවේ නම්, ඔහු හා ඔහු සමඟ වෙන් වූ පිරිස ද වෙන් නොවීම හෝ නැවත ප‍්‍රභාකරන් හා එක් වී සුපුරුදු පරිදි සටන් වදිනවා විනා වෙනත් විකල්පයක් සොයන්නේ නැත. එයින් අදහස් කරන්නේ වැරදි කරනවුන්ට සමාව දිය යුතය යන්න නොවේ. නමුත් ප‍්‍රශ්නයේ ස්වභාවය අනුව එයට වඩාත් සුදුසුම විසඳුමක් කරා යා යුතු බව ය.

ප‍්‍රභාකරන් වුවද ආයුධ බිම තබා අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වෙනවා යැයි කීවොත්, ජානක තේනුවර මහතා හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහසට අනුව එය ද ප‍්‍රතික්ෂේප කළ යුතුය. ඒ ප‍්‍රභාකරන් ප‍්‍රධාන අපරාධකරුවා වන නිසාය. දැනට භාරවන කොටි සාමාජිකයින් ද අපරාධ සිදු කළ සාමාජිකයින්ය. එසේ කියමින් භාර වූවාට පසු සිරගත කිරීම හා වරදට අනුව මරණීය දණ්ඩනය හිමි කළහොත් ඒ කිසිවෙක් භාර වීමට අයුධ බිම තබා නොයෙති. මරාගෙන මැරෙති. මෙවන් පසුබිමක් තුළ හැමදාම දේශපාලන විසඳුම් හොඳයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන හා පුද්ගලයින් කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වන විට එයට ද විරුද්ධ වෙයි. එයට උඩගෙඩි දෙන අපේ ඇත්තන් ද තව වරක් ඒ පිළිබඳ සිතිය යුතුය.

ජාත්‍යන්තර සංවිධාන හා බලගතු රටවල් සැමදා කියා සිටියේ දෙමළ ජනතාවට හිරිහැර නොකර සිටින ලෙස ය. මෙය ත‍්‍රස්තවාදී අර්බුදයක් බව කොපමණ කියා සිටියත් එය පිළිගත්තේ ද නැත. අවබෝධ නුවූවා සේ සිටියේ ය. කොටි සංවිධානයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට එනවිට අපරාධ කරුවන් යැයි කියා විරුද්ධවන ජාත්‍යන්තර සංවිධානයන්, එම පුද්ගලයින් ම යුද්ධයේ යෙදී සිටින විට අපරාධකරුවන් යැයි හෝ මෙම යුද්ධය ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධයක් ලෙස එක වචනයකුදු කියන්නට ඉදිරිපත් වූයේ නැත. ජානක තේනුවර මහතා කියන පරිදි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ලංකාවේ මානව හිමිකම් සංවිධානයන්ගෙන් අසා දැනගත් දේ අනුව විනයාගමූර්ති මුරලිදරන් වරදකරුවෙකි. ඒ දැන් ඔවුන්ට පෙනෙන අයුරුය. නමුත් කොටි සංවිධානය ජීවිත දහස් ගණනක් හා දේපළ විනාශකරන විට ඒ අපරාධ වෙනුවෙන් ලොවම දැනුවත් කළේ නැත. එක වචනයකුදු සෘජුව ප‍්‍රකාශ කළේ නැත. කොටි සංවිධානය පරාජය කළ යුතුය කීවේ ද නැත. ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු යැයි ද කීවේ නැත. ඒ සඳහා ජාත්‍යන්තර පෙළඹවීමක් හෝ නොකළේය. දැන් කියන්නේ කොටි සංවිධානය විසින් යුද්ධය අත්හැරීම නොකළ යුතු යැයි කියන්නාක් වැනි කථාවකි. ඒ ඔවුන්ගේ හැටිය. එය අවබෝධ කරගැනීම අපගේ හැකියාව අනුව සිදු වන්නකි. අවබෝධ නොවේ නම් එයට උඩගෙඩි දීම කෙරෙහි අනුකම්පා කළ යුතුය.

විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුට ඒමත්, චන්ද්‍රකාන්තන් මහ ඇමැති වීමත් වැරදි සහගත යැයි පිළිගත්තේ නම් අදටත් ඔවුන් ප‍්‍රභාකරන්ගේ සුවච කීකරු ගෝලයන් ය. මුලූ ලොවම විනාශයට ඇද දමන යුද්ධයක් කොතනින් හෝ කෙළවරක් දැකිය යුතුය. සිදු වූ විනාශය ඇතිය. යුද්ධය නොව දේශපාලන විසඳුම් යෝජනා කරමින් විවිධාකරයෙන් යුද්ධය ඉදිරියට පවත්වාගෙන යාමට සෘජුව හා වක‍්‍රාකාරව උදව් උපකාර කළ ජාත්‍යන්තරයේ රටවල් හා සංවිධාන, කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය හා පිල්ලෙයාන්ගේ මහ ඇමති ධූරයත් සමඟ නිහඩ වී ඇත. දැන් යෝජනා කරන්නේ කොටි සංවිධානය යුද්ධයෙන් පැරදිය යුතුය යන්නය. අංගුලිමාල වැරදි කිරීමට පෙළඹුනාට, සත්‍ය අවබෝධ වූවාට පසු රහත් විය. වැරදි නිසා රහත් බව නොලැබුනා නොවේ, පසුව හෝ සත්‍ය අවබෝධ කරගෙන නිවැරදි මාවතට ඒම සදාකල් වැරදි කරනවාට වඩා හොඳය.

නීතිය නිවැරදිව ක‍්‍රියාත්මක කිරීම යහපත් පාලනයකට ඉතා අත්‍යාවශ්‍ය ය. වර්තමාන යුද්ධය හා බැඳුනු ඇතැම් දේ සඳහා එම නීති අනුගමනය කළහොත් කෙදිනකවත් යුද්ධය අවසන් වන්නේ නැත. දැන් කොටි සංවිධානය වරද කර හමාරය. ඔවුන් සියල්ලම දැන හෝ නොදැන වරදකරුවන් ද වී හමාර ය. ඔවුන් නීතිය හමුවට යවා වරද අනුව සිරගෙට යැවීමට හෝ මරා දැමීමට අයුධ බිම තබා එන ලෙස කිවහොත් කවදාවත් එය සිදු නොවේ. ප‍්‍රභාකරන් ද සියල්ල මෙතනින් නවතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්භාවිතාවය අඩු වුවත්, ප‍්‍රජාත්නත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වුවහොත් එය පිළිගත යුතුය. දේශපාලන විසඳුමක් වශයෙන් යටිගිරිය කඩාගෙන කෑ ගසා කියුවේ ද එයයි. විසඳුම සොයන විට එයට අදාළව පිලියම් කළ යුතුය. එය අප අවබෝධකර ගත යුතුය. වචන තිබුණාට කියනවාට, ලියනවාට වඩා අවබෝධයෙන් යමක් තේරුම් ගැනීම වැදගත්ය.
ජානක තේනුවර මහතා කියන දේ වැරදි නොවේ. ඔහුගේ අදහසට ද හේතු වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහස ගැන ඒ මහතා ද තේරුම් ගත යුතුය.

Back to HOME

Thursday, October 23, 2008

GSP+ ගැන GLP+ කියන කතාව ඇත්තද?

එකමත් එක රටක දේශහිතෛෂියෙක් වාසය කළේය. ඔහු කෙතරම් දේශහිතෛෂියෙක්ද යත් බටහිර ඇඳුම වෙනුවට ඇන්දේ ජාතික ඇඳුමය. යට ඇඳුම ලෙස පාවිච්චි කළේ අමුඩයකි.

වරක් ඔහුට බඬේ අජීර්ණයක් සෑදිනි. මේ සඳහා බටහිර දොස්තර බෙහෙත් බීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ තම දේශහිතෛෂීත්වය නිසාමය. අසල්වැසියන්ට ඔහු කීවේ තමාට බඬේ අමාරුවක් නැති බවය. ”මේක මගේ බඩ. කාටවත් අයිතියක් නැහැ මගේ බඩට ඇඟිලි ගහන්න.” යැයි ඔහු කීවේ තමාගෙන් විටින් විට නිකුත් වන දුගඳ වාතය නිසා අපහසු තාවයට පත් අසල්වැසියන් ඒ බව ඔහුට දැනුම් දුන් විටය.

ඒත් අවාසනාවකට මෙන් බඬේ අජීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ බඩ විරේක වී ස්වයංක‍්‍රීයවම මළපහ විය. එකී මළ අමුඩයෙහි තැවරී එතැනින් නතර නොවී රෙද්ද පල්ලෙන් බේරෙන්නට වීම නිසා හතර වටේම දුගඳ හමන්නට විය. එවිට අසල්වැසියෝ නහය හකුළුවාගෙන ගඳයි කියා කෑගසන්නට වුහ. දුගඳ හමන්නේ තමා වෙතින් බව පිළිගන්නට අපේ කතානායකයා කැමති නොවීය. ඒත් ඔහුගේ අමුඩයෙහි මළපහ වී ඇතිබව සාක්ෂි ඇතිබව පෙන්වා දුන් අසල්වැසියෝ පශ්චාත් භාගය යොදාගෙන බඬේ අමාරුවට බෙහෙත් බොන ලෙස ඔහුට බලකර කියා සිටියහ. එවිට දේශහිතෛෂියා මෙසේ කීය. ” අම්මට සිරි ඇත්ත නේන්නම් ! කවුද යකෝ මගේ අමුඬේ ජරා කළේ ? ”

ලංකාවේ ඇමැති මණ්ඩලය සියයකට වැඩිය. එයින් එක් ඇමැති ධූරයක් වන විදේශ වෙළෙඳාම පිළිබඳ ඇමැති ධූරය දරන්නේ ජී.එල්.පී හෙවත් මහාචාර්ය ජී.එල්.පීරිස්ය. ජී.එල්.පී. ට පැවරුණ හෝ තමා විසින්ම පවරා ගත් එකම කටයුත්ත ලෙස පෙනෙනුයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) පහසුකම තවත් වසර තුනකට ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කිරීමයි.

2009 සිට අවුරුදු තුනක කාලයක් සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දෙන්නේ කුමන රටවලටද යන්න යුරෝපා සංගමය විසින් තීරණය කර ප‍්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 15 වෙනිදාටය. ජී.එස්.පී. ප්ලස් වෙළඳාමට අදාළ පහසුකමක් වුවද එය රටක මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්ත්වය සමඟ එකට ගැට ගැසී තිබේ.

පසුගිය අවුරුදු තුනේදී එම පහසුකම් භුක්ති විඳීමට ලංකාවට හැකිවිය. එය තවත් අවුරුදු තුනකට දිර්ඝ කරන්නේද යන්න යුරෝපා සංගමය විසින් මේ දිනවල සමාලෝචනය කරගෙන යයි. මෙම පහසුකම හේතුවෙන් ඇඟලූම් ඇතුළු අයිතමයන් ගණනාවක් තීරු බඳු රහිතව යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමට ලංකාවට අවස්ථාව ලැබී තිබේ.

කෙසේ වුවද GSP+ සහනය නැවත ලබාදීම පිළිබඳව සමාලෝචනය කිරීමේ දී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තීන් සහ කම්කරු අයිතිවාසිකම් ප‍්‍රඥප්තීන් ක‍්‍රියාත්මක වන ආකාරය යුරෝපා සංගමයේ අවධානයට ලක්ව තිබේ.

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පිළිගැනීම කෙසේ වුවත් අපේ දේශ හිතෛෂීන් කීවේ යුරෝපය ගසන පදයට අප නටන්නේ නැති බවයි. යුරෝපයට, ඇමෙරිකාවට බම්බු ගහගන්න කියමු. අපේ සහයට චීනය, ඉන්දියාව ඉන්නවා. ඔවුහු කීහ. ඇත්ත තමයි, නමුත් ඔවුන්ට එකක් අමතක විය. යුරෝපය සහ ඇමෙරිකාව අපෙන් භාණ්ඩ ආනයනය කරන තරමට අපි ඔවුන්ගෙන් ආනයනය කරන්නේ සොච්චමකි. අනෙක් අතට අපි චීනයෙන් සහ ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කළත්, එම රටවලට අපනයනය කරන අපේ නිෂ්පාදන ප‍්‍රමාණය සීමිතය.

ජී.එස්.පී. ප්ලස් ගැන වගකීම පවරාගත් ජී.එල්.පී.ප්ලස් හෙවත් ජී.එල්.පීරිස් සහ වෙනත් අය කීවේ කලබල වෙන්නට දෙයක් නැති බවය. අපට සහතික වශයෙන්ම ජී.එස්.පී. ප්ලස් සහනය ලැබෙන බවය. ලංකාවට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවට එල්.ටී.ටී.ඊ.යට, එ.ජා.පයට හා එන්.ජී.ඕ වලට දොස් පැවරූ ඔවුන් ජී.එස්.පී මිදි වල්ල කඩා ගැනීම සඳහා යුරෝපයේ විවිධ නගරවලට ගොස් උඩ පැන්නාහ.

කෙසේ වුවත්,අන්තිමේදී යුරෝපා සංගමය කියා සිටියේ ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී.ප්ලස් සහනය තවදුරටත් ලබා දීමට නම් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණයක් කළ යුතු බවය. ඒ සදහා තොරතුරු සෙවීමට නියෝජිත පිරිසක් ලංකාවට එවීමට ඔවුහු කල්පනා කළහ. එයින් තරු පෙනුනු ජී.එල්.පී.ලා දැන් මිදි තිත්තයි කියන්නට පටන්ගෙන ඇත. ඒ අනුව කිසිම අධීක්ෂණයක් කිරීමට විදේශ රටකට ඉඩ නොදෙන බව පවසන ඔවුන් ජී.එස්.පී.ප්ලස් හි වටිනාකම ඩොලර් මිලියන 150ක් බවත්, ඒ මුදලට රටේ ස්වාධිපත්‍යය පාවා නොදෙන බවත් කියා ඇත. දැන් ඔවුන් කියන්නේ ජී.එස්.පී. පහසුකම නොලැබුන හොත් එම මුදල භාණ්ඩාගාරයෙත් ඇඟලූම් නිෂ්පාදකයන්ට ලබා දීමට ආණ්ඩුව සූදානම් බවයි. වෙනත් වචනයකින් කිව්වොත් බැරලයක් ඩොලර් 60 ට මිළට ගන්නා බොරතෙල් පිරිපහදු කර පෙට්රල් ලීටරයක් රු.150 කට විකිණීම මගින් ජනතාව ගෙන් සූරාකන මුදල් වලින් රුපියල් කෝටි 1650 ක් ඇඟලූම් කර්මාන්ත කරුවන්ට දොර දන් දෙන බවයි.

ජී.එස්.පී. ගැන ජී.එල්.පී.ලාගේ කතා පසෙකින් තබා මේ සහනය ලංකාවට වැදගත් වන්නේ ඇයි දැයි අපි විමසා බලමු.

ආදි කාලයේදී ලංකාවේ ප‍්‍රධාන විදේශ විනිමය ඉපැයීම් ලැබුණේ තේ, රබර්, පොල් වලින් වුවද, මේ වනවිට ප‍්‍රධානතම විදේශ විනිමය ඉපැයීම් ලැබෙන්නේ ඇඟලූම් අපනයනයන් වෙතිනි. මෙම ඇඟලූම් ලබා ගන්නා ප‍්‍රධාන ගැනුම්කරුවන් දෙදෙනෙකි. ඒ යුරෝපා සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී.ප්ලස් යටතේ ලංකාවේ අපනයනයන් තීරු බද්දෙන් නිදහස් කිරීම ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තීරණාත්මකය.

ඕනෑම නිෂ්පාදනයකට විවෘත වෙළෙඳ පොළේ තරඟ කිරීමට සිදුවේ. එහිදී ඔවුන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ, තරඟකාරී මිළකට අලෙවි කිරීමට සිදුවේ. ඇඟලූම් නිෂ්පාදන මුලික වශයෙන් සිදු කෙරෙන්නේ ප‍්‍රසිද්ධ සන්නම් (Brands Names) සහිත ප‍්‍රධාන පෙළේ සමාගම් වන Gap, M&S, Victorias Secret, Next, Lands End, Anne Taylor සහ Tommy Hilfiger වැනි ආයතන විසින් ලෝකයේ විවිධ රටවල සිටින නිෂ්පාදකයන්ට ලබාදෙන ඇණවුම් මතය. එහිදි නිෂ්පාදන වියදම අඩු රටවල සිටින දේශීය හෝ විදේශීය නිෂ්පාදකයන්හට එම ඇණවුම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේ. උදාහරණයක් වශයෙන් චීනය සැලකිය හැකිය.

ලෝකයේ විවිධ සමාගම් චීන මහජන සමුහාණ්ඩුවේ ආයෝජනය කිරීමට කැමති වන එක් හේතුවක් නම් එහි නිෂ්පාදන වියදම අඩුවීමයි. චීනයේ පවතින කොමියුනිස්ට් පක්ෂයේ තනි පක්ෂ පාලනය හේතුවෙන් එහි දේශපාලන ස්ථාවරභාවයක් පවතින අතර, යටිතල පහසුකම් සංවර්ධනයට චීන රජය විශාල වශයෙන් ප‍්‍රමුඛතාවයක් ලබාදී ඇත. සංවිධානයවීමේ අයිතිවාසිකම ඇතුළු කම්කරු අයිතිවාසිකම් මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ද සීමාකොට ඇති බැවින් කම්කරු වර්ජන හෝ උද්ඝෝෂණ වලින්ද නිදහස් හෙයින් නිෂ්පාදන වියදම අවම මට්ටමකින් පවත්වාගෙන යා හැකිය. එබැවින් ලෝකයේ ඉහත කී සන්නම්කරුවන්ගේ ඉල්ලීම්වලට තරඟකාරී සැපයුමක් කිරීමට චීනය වැනි රටවල නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් තිබේ.

තම රටේ කම්කරු අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අවම මට්ටමක තබාගෙන කටයුතු කිරීම හේතුවෙන් චීනය අයුතු වාසියක් ලබා ගැනීම බටහිර රටවල්වලට රිසි නොවේ. එයට ඉඩ හැරියහොත් තරගකාරීත්වයට මුහුණ දෙනු පිණිස අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්ද එම මාර්ගය අනුගමනය කරනු ඇති අතර, එවිට අවසාන වශයෙන් පරාජයට පත්වන්නේ බටහිර රටවල් විසින් ප‍්‍රවර්ධනයට කිරීමට උත්සාහ දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම්ය. ප‍්‍රාග්ධනයට ජාතික හැගීම්, දේශසීමා හෝ සදාචාර පදනම් අදාල නොවන අතර එහි ස්වභාවය ලාභ රේට්ටුව උපරිම කරගත හැකි ස්ථානයට ගලා යාමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගෝලීය වශයෙන් ප‍්‍රවර්ධනය කිරීම ප‍්‍රාග්ධනයේ පැතිරීමට අත්‍යාවශ්‍යව තිබු අතර, දැන් සිදුවී ඇත්තේ ප‍්‍රාග්ධනයේ භූගෝලීයකරණය හේතුවෙන් ප‍්‍රාග්ධනය විසින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම්වලට අභියෝග කිරීමයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප‍්‍රාග්ධනයට සීමා පැනවීමට බටහිර රටවලටම සිදුවිය.

මේ අනුව ගත් එක් පියවරක් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇඟලූම් නිෂ්පාදනය කරන රටවලට ලබාදුන් කෝටා ක‍්‍රමය වන අතර තවත් පියවරක් වූයේ යුරෝපා සංගමය විසින් ක‍්‍රියාත්මක කළ ඨැබැර්කස‘Generalize system of preferences හෙවත් ජී.එස්.පී.ප්ලස්ය.

බහු තන්තු ගිවිසුම හෙවත් Multi Fibre Agreement(MFA)යටතේ ලංකාවටද පංගුවක් හෙවත් කෝටාවක් ලැබුණු අතර, ඒ අනුව ඇමෙරිකානු වෙළෙඳපොළට ලංකාවෙන් නිශ්චිත ඇඟලූම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට අවස්ථාව තිබිණි. එහිදි එම කෝටාව උපයෝගී කර ගැනීම සඳහා සන්නම් හිමිකරුවන් ලංකාවට ඇණවුම් ලබාදීමට කටයුතු කළ අතර, එම ඇණවුම් ලබා ගැනීම සඳහා දේශීය හා විදේශීය ආයෝජනයන් ඇඟලූම් කර්මාන්තයෙහි ආයෝජනය කරන ලදි.

2004 දී MFA ගිවිසුම අවසන් වීමත් සමඟම කෝටා ක‍්‍රමය අවසන් වු අතර, ඉන් පසු ලංකාවට ඇමෙරිකානු වෙළෙඳපොළේ තරඟ කීරීමට සිදුවිය. මේ හේතුවෙන් 2006න් පසු ඇඟලූම් කර්මාන්තයෙහි බිඳවැටීමක් සිදුවී විශාල රැකියා ප‍්‍රමාණයක්ද විදේශ විනිමය ප‍්‍රමාණයක්ද අහිමි වනු ඇතැයි අනාවැකි පළවිය. එයට හේතුව කෝටා ක‍්‍රමය අවසන් වු පසුව ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලූම් නිෂ්පාදන ලබා ගැනීමේ විශේෂ වාසියක් සන්නම් හිමිකරුවන්ට නොමැතිවීමය.

කෙසේ වුවද මෙම අපේක්ෂිත බිඳ වැටීම වැළකී ගියේ 2004 අග ඇතිවු සුනාමි ඛේදවාචකය හේතුවෙනි. සුනාමියෙන් පහර වැදුණු රටක් වශයෙන් ලංකාවට සහන සහ ආධාර විශාල ප‍්‍රමාණයක් ලැබුණු අතර, යුරෝපා සංගමය විසින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදෙන ලද්දේ මේ අනුවය. ආරම්භයේදී 2006 සිට වසර තුනක කාලයක් සඳහා මෙම පහසුකම ලැබුණු අතර, මෙමඟින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන යුරෝපා සංගමයේ රටවල් තුළ අලෙවි කිරීමේදී තීරු බදු අය නොකොට සහනයක් ලබාදෙන ලදි. මේ හේතුව නිසා නැවතත් ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලුම් ඇණවුම් ලබා ගැනීමට හේතුවක් ඉල්ලූම්කරුවන්ට ලැබුණේ ඔවුන් විසින් අලෙවි කරන, ”ලංකාවේ නිෂ්පාදනය කරන ලදි” යනුවෙන් සඳහන් භාණ්ඩවලට තීරු බදු රහිතව යුරෝපීය වෙළෙඳපොළෙහි අලෙවි කිරීමට හැකිවු බැවිනි.

කෙසේ වුවද ජී.එස්.පී.ප්ලස් පහසුකම සැපයීමේ දී යුරෝපා සංගමය අදාළ රටේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වාර්තාව පරීක්ෂාවට ලක් කරන ලදි. ලංකාව ලෝක කම්කරු සංවිධානයේ ප‍්‍රඥප්ති සියල්ලටම අත්සන් තබා ඇති අතර, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, එහි වෛකල්පිත ප්‍රොටෝකෝලය ඇතුළු වැදගත් සම්මුති ගණනාවකට ද අත්සන් තබා තිබුනි.

කෙසේ වුවද වසර තුනකට පසු මෙම පහසුකම නැවත අළුත් කිරීමට නියමිතව තිබු අතර, එහිදි යුරෝපා සංගමය විසින් සොයා බලන්නේ ඉහත සඳහන් ලංකාව විසින් අත්සන් කොට රට තුළ ක‍්‍රියාත්මක කිරීමට වගකීමෙන් බැඳුණු ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කර තිබේද යන්නයි.

ඉහත දැක්වෙන MFA සහ ජී.එස්.පී.ප්ලස් යන සහනයන් දෙකම යොදාගන්නා ලද්දේ එක් පැත්තකින් ඌණ සංවර්ධිත රටවල් සදහා සහනයක් ලබා දීමට සහ තව පැත්තකින් එක් එක් රටෙහි මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්වය වර්ධනය කර ගැනීමටය.

පසුගිය අවුරුදු දෙක තුළ සන්නද්ධ ගැටුම තීව්ර වීමත් සමඟ ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ බිඳ වැටීමක් ඇති බව ජාත්‍යන්තරව ප‍්‍රචලිත විය. මෙහිදී මේ පිළිබඳ සොයා බලා ප‍්‍රසිද්ධ කිරීමට බලය ඇති ජාත්‍යන්තර මානව හිමිකම් නීරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන ලෙස යුරෝපා සංගමය ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එය ප‍්‍රතික්ෂේප කළ ලංකාව කියා සිටියේ එවැනි නිරීක්ෂණ ක‍්‍රියාවලියක් ලංකාවට අවශ්‍ය නැතිබවත්, ඒ සඳහා මෙහි පවත්නා ජාතික ආයතන පද්ධතිය එනම් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රමාණවත් බවත්ය.

නමුත් ලංකාවේ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීමත් කොමිසම විසින් ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව වාර්තා ප‍්‍රසිද්ධ නොකිරීමත් හේතුවෙන් එහි විශ්වසනීය භාවය අභියෝගයට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම් පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව විසින් එය බී ශ්‍රේණියට පහත දමන ලද්දේ මීට වසරකට පමණ පෙරය.

ජී.එස්.පී.ප්ලස් පහසුකම නැවත ලංකාවට ලබා දීමට පෙර රටේ මානව හිමිකම් තත්වය පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා නියෝජිත පිරිසක් එවීමට යුරෝපා සංගමය අවසර ඉල්ලන්නේ මේ පසුබිම මතය. මේ කාලය මුළුල්ලේ ලංකාව ඒ සදහා දක්වා ඇති ප‍්‍රතිචාරය අමුඩයෙහි කැත කරගත් අපගේ දේශහිතෛශියාගේ චර්යාවට සමාන යැයි පැවසීම අතිශයෝක්තියක්ද ?

Back to HOME