Right To Life
විධායක ලේකම්
පිලිප් දිසානායක
සාකච්ඡා කළේ-
තාරා ශ‍්‍රී රාම්
අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?
අද ලෝකයේ තියෙන සියළුම ගණයේ දරුණු මානව හිමිකම් කඩ කිරීම් අපේ රටේ සිදුවෙනවා. අතුරුදහන් වීම්, නීත්‍යනුකූල නොවන ඝාතන, මානසික හා ශාරීරික වද හිංසා, මර්දන නීති හරහා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙර ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය වෙලා තිබුණත් ඒවා වළක්වා ගන්න හැකි වුණේ තමන්ගේ රටේම බිහිකරගත් සාමූහික එකමුතු ව්‍යාපාර තුළින්. අපේ රටේත් දැන් පවතින තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් සාමූහික එකමුතුවකින් පමණයි.
මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ පොදු එකතුවක් හදන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන ගනණාවක් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. නීතියේ පාලනය යළි ඇති කිරීමට රජයට බල කරමින් එහි පළමු පියවර පසුගිය දෙසැම්බර් 10 වැනිදා ට යෙදුණ ජගත් මානව හිමිකම් දිනයේදී සිදුකළා.මෙම පොදු එකමුතුව සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද?
මුලින්ම අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මිනිස්සුන්ට නීතියෙන් අයිතිවාසිකම් තිබුණත් ප‍්‍රායෝගිකව අපිට ඒ වරප‍්‍රසාදය ලබා ගන්න බැරි බව. ඒවා ලබාදීමට වගකීම තියෙන සංස්ථා කඩා වැටිලා. ඒ නිසා මුලින්ම අපට ව්‍යවස්ථානුකූල වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා දැනුවත්, ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒක තනි පුද්ගලයෙකුට හෝ තනි සංවිධානයකට කරන්න බැහැ. ඒකයි මෙවැනි පොදු එකතුවක් හැදුවේ. බොහෝ කාලයකට පසුවයි මිනිස්සු මේ ආකාරයට මානව හිමිකම් වෙනුවෙන් එකතුවුණේ. මම හිතනවා එදා එම පණිවිඩය රජයට, අදාළ ආයතන වලට හා මහජනයා වෙත යන්න ඇති කියලා.
ඔබේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ සිංහල භාෂාවෙන් නිකුත් කරන රයිට් ටු ලයිෆ් ප‍්‍රකාශනය හරහා ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස කවුද? ඔවුන්ගේ ප‍්‍රතිචාර මොනවාද?
අපි ඉලක්ක කරන්නේ,
1. ප‍්‍රාදේශීය සමාජ ක‍්‍රියාකාරකයන්
2. පවතින යුක්ති පද්ධතිය තුළ පීඩාවට පත්වෙන වින්දිතයන් සහ
3. මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා හිතන ප‍්‍රගතිශිලීන්.
සාමාන්‍යයෙන් පොදුවේ අපේ රටේ ජනතාව කියවීමට දක්වන උනන්දුව අඩුයි. ඒ වගේම අපි ආමන්ත‍්‍රණය කරන බහුතරය භාෂාවක් විදිහට භාවිතා කරන්නේ සිංහල. දැනට අපි සිංහල භාෂාවෙන් කටයුතු කළත් ඉදිරියේදී දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ත්‍රෛමාසිකව අපේ ප‍්‍රකාශනය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවම විශාල ප‍්‍රතිචාරයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් උනන්දුවෙන් මිලදී ගන්නා පිරිසක් ඉන්නවා. සමහර කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇතිවෙනවා. සඟරාවකින් පමණක් විශාල සමාජ සංවාදයක් ගොඩනැගෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒත් අපි දිගටම උත්සාහ කරනවා.
වසර දෙකකට ආසන්න කාලයක් නිකුත් කරන ප‍්‍රකාශනය සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් මොනවාද ?
මානව හිමිකම් කියන විෂය අපේ රටේ තවම නාගරිකව ප‍්‍රචලිත වුණත් ග‍්‍රාමීයව ප‍්‍රචලිත වෙලා නැහැ. මේ හරහා අපි හුඟක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ගියා. අපි මුහුණ දුන් සිදුවීම් අනුව ප‍්‍රාදේශීයව ඉන්න සාමාන්‍ය පුරවැසියන්ට මෙම ප‍්‍රකාශනය මඟින් අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වාගේම මම මුලින් සඳහන් කරපු අපි ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස අතරත්, ප‍්‍රාදේශීය සංවිධාන අතරත් සංවාදයක් ගොඩනැඟිලා තියෙනවා. අපි ඉදිරිපත් කරන අදහසට එකඟ අය සමඟ අපට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්.
ඔබේ ප‍්‍රකාශනය හරහා ලංකාවේ මානව හිමිකම් ගැන සමාජගත කිරීමට අපේක්ෂා කරන මතවාදය මොකක්ද ?
මට අනුව මේ ප‍්‍රකාශනයේ මතවාද දෙකක් තියෙනවා. ඒ සැඟවුණු මතය සහ බාහිර මතය. බාහිර මතය නීතියේ ආධිපත්‍යය (Rule of Law) මේ රටේ ඇතිකළ යුතුයි කියන එකයි. නමුත් එය පහසු නැහැ, ඒ සඳහා සමාජ-දේශපාලන වෙනසක් ඇතිකළ යුතුයි යන්නයි සැඟවුණු මතය. නීතියේ ආධිපත්‍යය කියන්නේ ගැඹුරු මාතෘකාවක්. නමුත් ඒ සඳහා අපි සරල සංවාදයක් දැන් ගොඩනඟාගෙන යනවා.
ඒ සඳහා තිබෙන අවස්ථා, බාධක සහ අභියෝග මොනවාද?
මම හිතනවා සමාජය තුළ එවැනි මතයක් ගෙන යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් තියෙනවා කියලා. අද වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සමාජ ප‍්‍රතිසංස්කරණයක් සඳහා අවශ්‍ය ප‍්‍රගතිශිලී ගමනකට ලොකු ඉඩ කඩක් විවර වෙලා තියෙනවා. දැන් ඒ තුළ ක‍්‍රියාත්මක වීමයි අවශ්‍ය වන්නේ. ඊට ඇති බාධක ගැන කියනවානම් පළමුවෙන්ම ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයක් ගැන අපට අත්දැකීම් නැතිකම පෙන්නන්න පුළුවන්. ඒ නිසා අළුත් එකක් නිර්මාණය කරගන්න වෙලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩ මඟින් ඇස් නිලංකාර කරලා තියෙන පුරවැසියන් සමඟ 21 වෙනි සියවසට ගැලපෙන එවැනි සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද, ඊට අවශ්‍ය හැඩතල මොනවාද කියන එක ගැඹුරින් සංවාද කළ යුතුයි.
මෙවැනි එකතූන් පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්හිදී ගොඩනැගුනත් අවශ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙන්න කලින් එකතුව අවසන් වුණා. ඒ අභියෝගය මෙයටත් තියෙනවා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් තුළ තියෙන ලක්ෂණයක් තමයි කවුරුන් හෝ අරගල කරලා තමන් වෙනුවෙන් අයිතිවාසිකම් අරන් දෙනකන් බලා සිටීම. අපේ ඉතිහාසය ගත්තොත් අපට තියෙන්නේ කිසිවක් අරගල කරලා ලබා ගත්ත මානසිකත්වයක් නෙවෙයි. ඒ නිසා අයිතිවාසිකම් ලබා ගැනීමේ අරගලකාරී මඟකට පුරවැසියන් යොමුකරවා ගැනීම අභියෝගයක්. ඒකට මුහුණ දෙන්න විශ්වාසයක් සහිතව ඉදිරි දර්ශනයකින් කටයුතු කරන නායකත්වයක් අවශ්‍යයි.
මේ අවස්ථාවේ ජනවර්ගයක් විදිහට වැඩිම මානව හිමිකම් උල්ලංඝනයන්ට ලක්වෙන්නේ දෙමළ ජනතාව. සිංහල මාධ්‍යයෙන් පමණක් කටයුතු කරන කොට දෙමළ ජනයාගේ මතය මතුපිටට ඒමට ඇති ඉඩකඩ සීමිතයි නේද?
ඔබ කිව්ව කාරණාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තමයි අද බරපතළ විදිහට උල්ලංඝනය වෙන්නේ. නමුත් අපි වැඩ කරන ක්ෂේත‍්‍රය ඉලක්ක වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්, සිංහල ප‍්‍රදේශවලට, සිංහල ජනයාට. දෙමළ ජනයාගේ ගැටළුවට මැදිහත් වන සමාජ බලවේගයක් සෑදිය යුතුයි. ඔවුන් සහ අනෙක් සුළු ජාතීන්ට බලපාන ප‍්‍රශ්න ගැන යම්කිසි මට්ටමක හෝ දායකත්වයක් ලබාදිය හැකි ව්‍යාපාරයක් අවශ්‍යයි. දැනට අපි යම් ප‍්‍රමාණයක වැඩ කරනවා. නමුත් අපේ න්‍යාය පත‍්‍රයේ මුලට තවම එය ඇවිත් නැහැ. ඒක අපේ තිබෙන ප‍්‍රශ්නයක් විදිහට පිළිගන්නවා. අප තුළ එම අවශ්‍යතාව සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය එකඟතාවක් තියෙනවා. නමුත් ප‍්‍රායෝගිකව ළඟා වෙන්න බැරි ප‍්‍රශ්නයකුයි තියෙන්නේ. දැනට සංවිධානයක් හෝ දෙකක් ඒ ගැන කටයුතු කළත් එය ප‍්‍රමාණවත් නැහැ. ජාති, කුල, ආගම් වලින් තොර පුරවැසි එකතුවකිනුයි මෙය කළ හැක්කේ. එය මිනිස්සුන්ට සමීප, ජීවමාන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ එවිටයි.
දැනට මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ඔබ සංවිධානය සිදු කරමින් සිටින කටයුතු මොනවාද ?
යම් යම් මානව හිමිකම් උල්ලංඝනයන්හිදී රජය විසින් ස්ථාපිත කර ඇති ආයතන හා අධිකාරීන් වලටත්, ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධාන වලටත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීම. ඒ වගේම ප‍්‍රායෝගිකව මානව හිමිකම් උල්ලංඝනයවීම් වලදී පවතින නීතියේ වරප‍්‍රසාදය ලබා ගැනීමට නොහැකි පුද්ගලයන් ඊට යොමු කරවීම. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් ජීවත් වන ප‍්‍රජාව හරහාම ඇති කිරීම. ඔවුන් මුහුණ දුන් සිද්ධීන් ඇසුරින්ම නීතිමය සහ සමාජීය වශයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට වගේම ලැබෙන අයිතිවාසිකම් රැක ගැනීමේ වුවමනාවක් නැහැ. පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොවන තෙක් මේ ප‍්‍රශ්නය මේ විදිහටම තියෙයි. ඒ කියන්නේ පුරවැසියන් නීතිය ඉල්ලා සිටින සමාජයක් රටේ ඇතිවිය යුතුයි.
Back to Home
Wednesday, December 17, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment