Sunday, January 11, 2009

ත‍්‍රස්ත මර්දන දඩ මං ඔස්සේ මාධ්‍යකරුවන් දඩයම් කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වුණු ආණ්ඩුවක් විසින් ජනමාධ්‍යවේදියෙකුට විරුද්ධව ත‍්‍රස්තවාදී මර්දන නීති හෝ ජාතික ආරක්ෂක නීති යොදාගෙන නඩු පැවරීම ඉතාම දුර්ලභ සිදුවීමක්.

ඒ දුර්ලභ සිදුවීම ලංකාවේ සිදුවුණා. ඒ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ජේය්‍යෂ්ඨ මාධ්‍යවේදී තිස්සනායගම්ට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම. ඒ නිසා නඩු විභාගය අවසන් වනතුරු ඔහු රැඳවුම්භාරයේ ;

මීට පෙර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකාවේ මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගෙන තියෙන්නේ එක් වතාවයි. ඒ 1982 දී සුදන්දිරන් (නිදහස) සඟරාවේ සංස්කාරක කෝවෙයි මහේසන් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීම. නමුත් ඒ නීතිය යටතේ නඩු පැවරීමක් සිද්ධ වුණු පළමු මාධ්‍යවේදියා තිස්සනායගම්.

තිස්සනායගම් සහ ඔහු සමඟ අත් අඩංගුවට ගෙන රඳවා සිටින ජසීහරන් හා වලර්මදීට එරෙහිව නඟා තිබෙන චෝදනා ඉවත දමා ඔවුන් නිදහස් කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට බලකරන ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දැන් ඇරඹී තියෙනවා.

කොහොම වුණත් ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් අතින් මෙවැනි ඉරණමකට මුහුණ දුන් එකම මාධ්‍යවේදියා තිස්සනායගම් නෙවෙයි. තුර්කිය තම රටේ මාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු පැවරීමට ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන තියෙනවා. අසර්වයිජානය එහි ප‍්‍රධාන පුවත්පත් දෙකක සංස්කාරකවරයා සහ ප‍්‍රමුඛ ජනමාධ්‍යවේදියෙකු සිරගෙට යැව්වා. ස්පාඤ්ඤයේ බාස්ක් ජනමාධ්‍යවේදීන්ට විරුද්ධවත් ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන ඇති අතර, පුවත්පත් වසා දැමීමටත් කළමණාකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තැබීමටත් කටයුතු කර තියෙනවා. ඒ වගේම අයර්ලන්තයේ මාධ්‍යවේදීන්වත් ත‍්‍රස්තවාදී ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම නම් වරදට, විකාශන නීතිය යටතේ දඩයම් කර තියෙනවා.



ජනාධිපති උපදේශකගෙන් ජනාධිපතිට උපදේශයක්

ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මානව හිමිකම් දිනය දවසේ ජනාධිපතිට ලිපියක් යවා ඇත. මේ ලිපියෙන් ආරක්ෂක ආමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වී ඇති සඳහනක් පිළිබඳව විරෝධය දැක්වීමට ඔහු මේ ලිපිය ලියා ඇත.

http://www.defence.lk/ වෙබ් අඩවිය විසින් ”මානව හිමිකම් සැබවින්ම උල්ලංඝනය කරන්නේ කවුරුන්ද ? ” යන මාතෘකාව යටතේ පළකර ඇති ලිපියක් මඟින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති නීතිඥයන් දේශද්‍රෝහින් සහ රටට එරෙහිව කටයුතු කරන්නන් වශයෙන් හංවඩු ගසා තිබිණි.

පළමුවෙන්ම මානව හිමිකම් නඩුවලට පෙනී සිටින ජේය්‍යෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. ඒ සම්බන්ධව සාධාරණ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන තත්ත්වයක් නැත. ඉන් පසු නීතිඥයන්ට තර්ජනය කරමින් ‘මහසෝන් බලකාය’ නමින් ලිපියක් ද බෙදා හරින ලදි. ඉන්පසු නීතිඥයන් ද්‍රෝහීන් ලෙස හඳුන්වමින් මෙම වෙබ් අඩවිය මඟින් ප‍්‍රචාරයක් ගෙන යමින් තිබේ. එබැවින් නීතිඥයන් බියගන්වන සුළු, තර්ජනාත්මක සහ මහජනයා ඔවුන්ට එරෙහිව උසිගන්වන සුළු ප‍්‍රකාශ මෙම වෙබ් අඩවියේ පළ නොකරන ලෙසට වෙබ් අඩවිය පවත්වා ගෙන යන අයට උපදෙස් දෙන ලෙස ජනාධිපති උපදේශකතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම කොට සතියක් ගතවුවද තවමත් ඉහත සඳහන් තර්ජනාත්මක ලිපිය අදාළ වෙබ් අඩවියේ නිරුපද්‍රිතව පවතී. ආරක්ෂක අමාත්‍යාංශය භාර ඇමතිවරයා ජනාධිපතිවරයාය. එහි ස්ථිර ලේකම්වරයා ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.



වර්ගඝාතකයන්ගේ ලැයිස්තුවට ලංකාව ඇතුළු වේ
නිව්යෝර්ක්හි පිහිටා ඇති වර්ගඝාතන වැළැක්වීමේ ව්‍යාපෘතිය පසුගිය දෙසැම්බර් 10 ට යෙදුණු මානව හිමිකම් දිනය නිමිත්තෙන් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව වර්ගඝාතනය සිදුවෙමින් පවතින හෝ එවැනි අවදානමක් පවතින ‘රෙඞ් ඇලට්’ රටවල් අට තුළට ලංකාවද ඇතුළත් කර ඇත.

‘රෙඞ් ඇලට්’ කොම්පැනියට ඇතුළත් රටවල් මෙසේය. ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සුඩානයේ ඩාෆුර් ප‍්‍රදේශය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොංගෝ ජනරජය, මියන්මාරය, පකිස්ථානය, සෝමාලියාව සහ ශ‍්‍රී ලංකාව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් සහ ආරක්ෂක මණ්ඩලය වර්ගඝාතනය ඇතිවීම වළකනු පිණීස කටයුතු කළයුතු බව එම ව්‍යාපෘතිය කියා සිටී.වර්ගඝාතනය ඇතිවීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට වසර 60ක් පිරීමද, එක්සත් ජනපදය එම සම්මුතියට ඇතුළත් වී වසර 20ක් ගතවීමද දෙසැම්බර් 10දා සමරන ලදි.

මේ අතර ඇමෙරිකානු ක්ලින්ටන් පාලනයේ බලකණු දෙකක් වන හිටපු රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ‍්‍රයිට් සහ හිටපු ආරක්ෂක ලේකම් බිල් කොහෙන් ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් විසින් නව ජනාධිපති බරක් ඔබමාට නිර්දේශ කර ඇත්තේ ජනවර්ග ඝාතනය වැළැක්වීම ඔහුගේ ප‍්‍රමුඛතාවක් වන බවයි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් ඒ සඳහා වෙන් කරන ලෙස කොන්ග‍්‍රසයෙන් ඉල්ලා සිටිය යුතු බවද ඔවුන් කියා ඇත.


No comments: