Sunday, January 25, 2009

සමබිම කලාප 50 සපුරයි
සමබිම අතිරේකය කලාප 50ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන් ලංකාවේ ප‍්‍රධාන සිංහල පුවත්පත් කතුවරුන් දැක් වූ අදහස්....


නාරද නිශ්ශංක
දිවයින නියෝජ්‍ය කර්තෘ
කුමන ජාතියක, කුමන දේශපාලන පක්ෂයක, කුමන මතවාදයක් දරණ ජන කොටසකගේ වුවත් පුරවැසි අයිතීන් උල්ලංඝනය වෙනවා නම් එය කණගාටුදායකයි. සදාචාර සම්පන්න මාධ්‍ය වගකීම එම පුරවැසි අයිතීන් උල්ලංඝනය වීම වැළැක්වීම. එක පුරවැසිභාවයක් තියෙන රටක ඉන්න අපේම තවත් සහෝදර ජන කොටසකට වෙන අසාධාරණයකදී අපි එය පිටු දැකිය යුතුයි. මේ රටේ සියලූ පුරවැසියන් සමාන වෙන්නේ මැතිවරණයකදී විතරයි. මැතිවරණයෙන් පසු ජීවත් වීමේදී හා සෙසු කටයුතුවලදී ඒ සමානත්වය අදාළ වෙන්නේ නැහැ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට විරුද්ධව අතීතයේ එක්තරා කාලයක පෙරමුණ අරන් සටන් කරපු අයගේම පාලන කාලයේදීත්, තිබුණාට වඩා දරුණු විදිහට මානව අයිතීන් උල්ලංඝනය වෙනවා. මේක පක්ෂ, පාට, පිල් බෙදිලා තක්සේරු කරන්න බැහැ. පොදුවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කරල තියෙන අයිතීන් හෝ රැකදීමට බැරි රටක කරන කතාවල තේරුම මොකක්ද? අද තමන්ට ආරක්ෂාව අවශ්‍යයි කියලා හිතන අයට ආරක්ෂාව දෙන්නේ නැහැ. තමන්ට අනතුරක් තියෙනවා කියලා කිවුවාම පෙරළා කියනවා ”එයා හිතන තරම් අනතුරක් එයාට නැහැ. අනතුරු හිතින් මවා ගෙන” කියලා. රජයේ අයට තියෙන ආරක්ෂාව අනෙක් අයට දෙනකොට පක්ෂ හරස් වෙලා. ආරක්ෂාව ඉල්ලපු මිනිහාව නිදැල්ලේ අරිනවා මරණය කරා. ඊට පස්සේ චෝදනා කරනවා ත‍්‍රස්තවාදයට. මේ සිදුවන අමානුෂික ඝාතන ත‍්‍රස්තවාදී ක‍්‍රියා නෙවෙයි. මේවා අපිට අනුමත කරන්න බැහැ. දේශපාලන පක්ෂවල වරප‍්‍රසාද ලබන අයට ඒක සරල ඇති. නමුත් අපිට එය සරල නැහැ.අද මාධ්‍යයට නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බැහැ. අපි අතීතයේ සිදු වූ දේ ආදර්ශයට අරන් අනාගතය නිවැරදි කර ගැනීම කළ යුතු වෙලාවක සිදුවන්නේ වර්තමානය සහ අනාගතය තව තවත් අඳුරට යෑමයි. මානව හිමිකම් කියන කොටම සමහර අය මේවා NGO වැඩ කියලා කියනවා. නමුත් ඒක නෙවෙයි ප‍්‍රශ්නය. ඊට අදාළ කාරණය. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය තවත් කෙනෙකුට උදුරා ගැනීමට ඉඩ දිය නොහැකියි. දේශපාලන පක්ෂ, ජාති, වර්ග අනුව වෙන් නොකර ගෞරවාන්විත මිනිසුන් ලෙස ජීවත්වීම ඉඩ ලබාදීම අපි උතුම් ලෙස සලකනවා. මානව හිමිකම් පිළිබඳ ලිවීම, කතා කිරීම ඉතා අවදානම්, අසීරු පසුබිමක මෙවැනි අතිරේකයක් කිරීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. මේ රටේ පුරවැසි අයීතීන් ආරක්ෂා කිරීමට මාධ්‍යයකින් වෙන්න ඕන භාරදුර කාර්යයක් කිරීම ගැන සමබිමට ස්තූතිවන්න වෙන්න ඕන.



මොහාන් ලාල් පියදාස
ඉරුදින ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් රැකදීම වෙනුවෙන් මොනම මාධ්‍යයක් හෝ පෙනී සිටිනවා නම් එය අගය කළ යුතුයි. වසරක වගේ කාලයක් සිය පුවත්පතේ පිටුවක් මානව හිමිකම් හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කිරීම තුළ රාවය පුවත්පතේ තිබූ කැපවීමද අගය කළ යුතුයි. මේ බොහෝ දෙනෙක් කරන්න අකමැති කර්තව්‍යයක්. මානව හිමිකම් සම්බන්ධ තොරතුරු හා ඒ සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් පාඨකයා දැනුවත් කිරීමට දැරූ මේ උත්සාහය වර්තමානයේ කෙසේ වෙතත් අනාගතයේ ඉතාම වැදගත් වෙයි.



ජටිල වැල්ලබඩ
ලක්බිම ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් වෙනුවෙන් පත‍්‍රයක පිටුවක් වෙන් කිරීම ලොකු දෙයක්. කුමන ආකාරයට හෝ මානව හිමිකම් ගැන කතා කරන එකත්, ඒ පිළිබඳ සමාජමය වශයෙන් අවබෝධයක් ලබාදීමත් යහපත් දෙයක්. ඒ ගැන සාකච්ඡා කළොත්, කතිකාවක් ඇති කළොත් පමණයි ඊට ගරු කරන්න සමාජයක් පෙළඹෙන්නේ. ඒ වගේම එතුළින් මානව හිමිකම් සම්බන්ධයෙන් සමාජය ඉන්න ස්ථානය නිශ්චිත කර ගන්න පුළුවන් වෙනවා වගේම එතැන සමාජයේ අවධානයටත් ලක් වෙනවා. ඒ නිසා අපි හැමෝම එකිනෙකාගේ අයිතීන්වලට ගරු කළ යුතුයි.








තිලකරත්න කුරුවිටබණ්ඩාර
සියත ප‍්‍රධාන කර්තෘ
අපේ රටේ විටින් විට විවිධ යුගවල මානව හිමිකම් උල්ලංඝනයවීම් බහුලව සිදුවුණා. හැම රාජ්‍ය පාලන කාලයකම සමහර අවස්ථාවල ඉතාම දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවුණා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන මේ මූලික වරද සිදුවුවහොත් ඉන්පසු මුළු සමාජ සංස්ථාවම නාය යෑමකට ලක් වෙනවා. අවසානයේදී සිදුවන්නේ එය සෝදාපාලූවීම. පුවත්පතක් තමන්ගේ අයිතිවාසිකම්, හිමිකම් මොනවාද කියලා ජනතාවට අවබෝධයක් ලබා දෙනවා නම් එය ඉතා වැදගත්. එය කිරීමේ වගකීම පුවත්පත් වලට තියෙනවා. එවිට මානව හිමිකම් පැහැර හරින්න, උල්ලංඝනය කරන්න බලධාරීන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයකට පත් වුණාම මිනිස් අයිතීන් ආරක්ෂා වෙලා සමාජයේ ස්ථාවරභාවයක් ඇතිවෙයි. පුවත්පතක් මෙම යුතුකම ඉටු කරන අවස්ථා අඩුයි. බොහෝ පුවත්පත් හා මාධ්‍ය සිය යුතුකම පැහැර හරින විට ගත වූ වසර තුළ වගේම පසුගිය දස වසරක කාලය තුළත් රාවය ඒ යුතුකම ඉටු කළා..





සිරි රණසිංහ
ලංකාදීප ප‍්‍රධාන කර්තෘ

මීට දශක එකහමාරකට විතර කලින් මිනිස් මූලික අයිතිවාසිකම් මාධ්‍යයෙන් කතා නොකළ විෂයක්. නමුත් විශේෂයෙන්ම පසුකාලීනව උසාවියේ මූලික අයිතිවාසිකම් සංවාදයට ලක්වීම ඇරඹීමත් එක්ක මේ ගැන කතාබහ කිරීම සිදුවුණා. පුවත්පත් වලින් මානව හිමිකම් ගැන කතා කිරීම බොහොම අඩු තත්ත්වයකදී රාවය ඒ වෙනුවෙන් සම්පූර්ණ පිටුවක් වෙන් කිරීම නිසා මේ රටේ ජනතාවට ලොකු වාසියක් සිදුවුණා. පුරවැසියන් වශයෙන් තමන්ගේ අයිතිවාසිකම් මොනවාද, ඒවා රැක ගන්නේ කොහොමද, තමන් ඒ වෙනුවෙන් මොනවද කළ යුත්තේ කියන කාරණය ගැන දැනුවත්වීමට එමඟින් අවස්ථාවක් සැලසුණා.ඒ වගේම මූලික මිනිස් අයිතීන් කඩවෙන අවස්ථාවලදී ගවේශනාත්මකව සොයා බලා කාලීනව වාර්තා කිරීම තුළින් මම දකින්නේ මෙය සිවිල් සමාජයට සිදුවුණු විශාල මෙහෙවරක් ලෙසයි. මෙවැනි සාකච්ඡාවක් මාධ්‍යයක් පිටුවක් තුළින් විවෘත කිරීම සිවිල් සමාජයේ ජයග‍්‍රහණයක්. අද එහි ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට, ක‍්‍රියා කිරීමට පිරිසක් පෙළඹිලා තියෙනවා. පත‍්‍රයක් විදිහට ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකදීමට රාවය පත‍්‍රයේ මෙම පිටුව කළ මෙහෙවර ඉතා විශිෂ්ටයි.

back to home

No comments: