Thursday, October 30, 2008

වන්නි දෙමළ ජනතාව සුරක්ෂිත කර ගැනීමට රජයට සැබෑ උවමනාවක් තිබේද?

වන්නියේ සිදුකෙරෙන යුද මෙහෙයුම් හේතුවෙන් අවතැන් වී සිටින ලක්ෂ ගණන් වන්නි ජනයාගේ සැබෑ තත්වය අනාවරණය කරගනු පිණිස පසුගියදා අප එම ප‍්‍රදේශවල සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින සහන සේවකයින්, පුජකවරුන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. අප කළ සංචාරයේදී හා විමසීම්වලදී හෙළි වූ පරිදි අද දවසේ වන්නියේ ජන ජීවිතය ගෙවෙන්නේ මෙසේය.
යුද මෙහෙයුම් හේතුවෙන් මේ වන විට වන්නි මුළු ජනගහණය වන හාරලක්ෂ දහනමදාහ අතරින් අවතැන් වී සිටින මුළු ජනගහනය තුන් ලක්ෂ පහළොස් දහසකි. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මුලතිව් දෙසට ගොස් දැනට රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස නම්කර ඇති විශ්වමඩු හා ඔඞ්ඩුසුඩාන් යන ස්ථානවල ලැගුම් ගෙන සිටියි. රජය මෙසේ යුද මුක්ත කලාපයක් ලෙස නම් කර ඇත්තේ වර්ග කිලෝමීටර් දහයක භූමි ප‍්‍රදේශයකි. අවතැන්ව සිටින පිරිස තුන් ලක්ෂ පහළොස් දහසකි. මෙවැනි විශාල පිරිසකට ජීවත්වීමට වර්ග කිලෝමීටර් දහයක් ප‍්‍රමාණවත් දැයි මූලිකම ගැටළුවකි. අපේ හැඟීම නම් එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි.

ඊටත් වඩා ප‍්‍රබල ප‍්‍රශ්නය ඇතැම් ජනයා මෙම යුද මුක්ත යැයි නම් කර ඇති කලාපයට ඇතුළු නොවීමත්, ඔවුන් යුද මෙහෙයුම් ඇති ප‍්‍රදේශවලම තවමත් ලැගුම් ගෙන සිටීමත්ය. ඊට හේතුව මෙය යුද මුක්ත කලාපයක් ලෙස නම් කළද මීට පෙර පේසාලේ සහ මඩු දේවස්ථානය යුද මුක්ත කලාපයක් ලෙස ද නම් කළ අවස්ථාවලදී මෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් (UNHCR) මඟින් අධීක්ෂණය(monitor) කිරීමක් මෙම යුද මුක්ත කලාපයේ සිදු නොවීමයි. එවැනි අධීක්ෂණයක් කිසිඳු පාර්ශ්වයකින් සිදු නොවීම හේතු කොටගෙන අවතැන් ජනයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ඔවුන් පසුවන්නේ දැඩි බියකිනි.

අනෙක් ප‍්‍රබල ගැටලූව වන්නේ වන්නි අවතැන් ජනයාට ඇති ආහාර ප‍්‍රශ්නයයි. මේ වන විට වන්නියට ගොස් ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර රැගත් රිය පෙළ (food convoy) දෙකක් සහ රජයේ නියෝජිතයින් හරහා රිය පෙළ දෙකක් පමණි. එක්සත් ජාතීන්ගේ තෙවන ආහාර රිය පෙළ වන්නියට යැවීම සඳහා සුදානම් කෙරෙමින් පවතී. දැනට බෙදා හැර ඇති ආහාර හා අනෙක් ද්‍රව්‍යවලට අමතරව වන්නියේ කුඩා දරුවන්ට අවශ්‍ය ළදරු කිරිපිටි, කිරිපිටි, සීනි, තේ කොළ, ගිනිපෙට්ටි, ඉටි පන්දම්, මඳුරු කොයිල් හා පානීය ජලය ආදී ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතී. තවද පෙට‍්‍රල් ලීටරයක වත්මන් මිළ රුපියල් එක්දහස් දෙසීයක් වන අතර ලාම්පු තෙල් ලීටරයක් රුපියල් තුන්සිය පණහක් ඉක්මවයි. මේ නිසා ජනතාවට ලබාදෙන වියළි ආහාර පිස ගැනීමද ගැටලූවකි. ඇතැම් හිඟ අමු ද්‍රව්‍යවල මිළ පවා අවතැන් ජනයාට දරාගත නොහැකි අන්දමට ඉහළ නැඟ ඇත.

දැන් වන්නි ප‍්‍රදේශයට වර්ෂාව ආරම්භ වී ඇත. මේ වනතෙක් ඔවුන් ලැඟුම් ගෙන සිටියේ ගස් යට, කැළෑවල, ලඳු කැළෑවල හා කුඹුරුවලය. නමුත් ඇද හැලෙන දැඩි වර්ෂාව හමුවේ මෙම පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටී. කුඹුරු ජලයෙන් පිරීමත් සමඟ බොහෝ පිරිසක් ධර්මපුරම් මාර්ගය අද්දරට පැමිණ ඇත. මාර්ගය හරහා ගමන් කරන වාහන අධික වේගයෙන් ජනයා ලැගුම් ගෙන සිටින මාර්ගයේ ගමන් කිරීම නිසා දිනපතාම පාහේ දරුණු රිය අනතුරු සිදුවේ. පසුගිය දා කුඩා ළදරුවෙක් මිය ගියේ එවැනි අධිවේගී රථ ධාවනය හේතුවෙනි. කුඩා ප‍්‍රදේශයක විශාල පිරිසක් සමූහ ලෙස ලැඟුම් ගෙන සිටීම නොතකා රියදුරන් රථවාහන වේගයෙන් ධාවනය කිරීම තවදුරටත් දිගින් දිගටම සිදුවේ. මොවුන්ට ලැඟුම් ගැනීමට කූඩාරම් රෙදි හෝ සෙවිලි කර ගැනීමට කිසිඳු අමුද්‍රව්‍යයක් තවම ලබා දී නැත. වන්නියේ සිමෙන්ති කොට්ටයක වත්මන් මිළ රුපියල් විසිහත් දහස ඉක්මවයි. සිමෙන්ති ප‍්‍රවාහනයට පණවා ඇති නීති රීති හේතුවෙන් එක්සත් ජාතීන්ගේ හෝ වෙනත් සහන සේවකයිනට මෙම අසරණ ජනතාව වෙනුවෙන් කිසිඳු ඉදිකිරීමක් කර දීමට හැකියාවක් නැත.

ප‍්‍රදේශයේ සියලූම පාසල් මේ වන විට වසාදමා ඇති අතර එක් පාසලක පමණක් ඉගැන්වීමේ කටයුතු සිදුකරයි. ඒ උදේ කාලයේ ප‍්‍රදේශයේ ස්ථීරව පදිංචි වී සිටි ළමුන්ට හා සවස් කාලයේ අවතැන් වී පැමිණ සිටින ළමුන්ට ආදී වශයෙනි. නමුත් පසුගිය කාලයේ සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් සවස පන්ති පැවැත්වීම දැනට නතර කොට ඇත. උදේ කාලයේ පාසල් පැවැත්වුණද එම ළමුන්ට අභ්‍යාස පොත් නැත.

වර්ෂාව ආරම්භ වීමත් සමඟම අවතැන් පිරිස් අතර අතීසාරය හා මැලේරියාව වැනි රෝග පැතිරී යමින් පවතී. අධික ලෙස වර්ෂා ජලයට හසුවීමත් වැසිකිළි වලවල් වෙනුවට ලාම්පුතෙල් බැරල් කපා වැසිකිළි ලෙස භාවිතා කිරීමත්, ගලා යන වැසි ජලයට එම අපද්‍රව්‍ය මිශ‍්‍ර වීමත් මෙම රෝගී තත්වයන් පැතිරී යාමට හේතු වී ඇත. මේ අතර කිලිනොච්චි රෝහලේ ප‍්‍රතිකාර කටයුතු තවමත් සුපුරුදු ලෙස සිදුවන නමුත් මේ වන විට එහි රෝගීන් ප‍්‍රමාණය අතිරික්තයක් බවට පත් වී ඇත. විශේෂයෙන් වර්ෂාව නිසා අවතැන් ජනයාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නොලැබෙන අතර වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය සේවකයින් කිසිවෙකුට අවතැන් ජනයා සිටින ප‍්‍රදේශ කරා ළ`ගා වීමට නොහැකි වී ඇත. අවතැන් ජනයා මුහුණ පා ඇති තවත් ප‍්‍රබලම ගැටලූවක් වන්නේ සර්පයන් දෂ්ඨ කිරීමයි. පසුගිය දින දහය තුළ වැඩිහිටි පුද්ගලයන් හා දරුවන් දෙසීයකට වැඩි ප‍්‍රමාණයකට නාගයන් දෂ්ඨකර ඇති අතර කිහිපදෙනෙක් ප‍්‍රතිකාර නොමැතිව මියගොස් ඇත.

එසේම දැනට වන්නි ප‍්‍රදේශයේ කිසිඳු සන්නිවේදන පහසුකමක් නොමැති අතර එක්සත් ජාතීන් විසින් තම සන්නිවේදන කටයුතු කිරීම සඳහා පිහිට වූ සන්නිවේදන මධ්‍යස්ථානයක් පමණක් ඉතිරිව පවතී. මේ වනවිට අවතැන් ජනයාට සහන සැලසීම සඳහා වන්නි ප‍්‍රදේශයට ඇතුළු වීමට කිසඳූ පුද්ගලයෙකුට අවසර නොමැති වීමත්, ජනතාව මෙතරම් අසරණ තත්වයකට මුහුණ පා සිටියදීත් රජය එක්සත් ජාතීන් හා අනෙකුත් සහන සේවකයන් වන්නියෙන් ඉවත් කිරීම තුළින් ඔවුන් වඩාත් අසරණ හා හුදෙකලා බවට පත්ව ඇත. දැනට ඔඞ්ඩුසුඩාන් වල ඥතීන්ගේ නිවෙස්වල ඇතැම් පිරිස් ලැඟුම් ගෙන සිටී. කාමර දෙකක එවැනි කුඩා නිවසක් තුළ පුද්ගලයන් තිහක් හතලිහක් ජීවත් වෙති. එම කුඩා නිවාස දැන් පවතින වැස්සටද ඔරොත්තු නොදෙයි.

දැන් වන්නි ජනයා ආහාර හිඟයෙන්, සනීපාරක්ෂක ගැටලූවලින්, නවාතැන් ප‍්‍රශ්නයෙන්, පාරිසරික හේතුවලින් හා මරණ බියෙන් කම්පනයට පත්ව සිටිති. කුඩා දරුවන් මන්දපෝෂණ තත්වයට පත්ව සිටිති. අද වන විට ඔවුන්ට ජීවත් වීමට ආරක්ෂිත භූමියක් ලංකාවේ නැත.

රජය පසුගිය කාලයේ පැවසුවේ අවතැන් වන්නි ජනයාට රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන ලෙසය. අප කළ විමසුම් අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පැවසුවේ අවතැන් ජනයා පැමිණියහොත් ඔවුන් නැවැත්වීමට වව්නියාවේ ස්ථාන තුනක් රජය විසින් නම්කර තිබූ බවය. ඉන් ‘මැණික් ෆාම්’ යන ස්ථානය එලිපෙහෙළි කර ඒ සඳහා සූදානම් කර තිබූ නමුත් අනෙක් ස්ථාන දෙක එවැනි සූදානමක් කර නොතිබුණි. මැණික් ෆාම් නැමැති ස්ථානයේ නවාතැන් ගත හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයන් හාර දහසකට පමණක් වන නමුත් රජය නිවේදනය කළේ එහි හැට දහසකට ලැගුම් ගත හැකි බවය. යම් හෙයකින් වන්නියේ අවතැන් තුන් ලක්ෂ පහළොස් දහස වව්නියාවට ආවේ නම් වව්නියාවේ පදිංචි එක් ලක්ෂ අසු දෙදහසක ජනගහනය හා සමස්ත වව්නියාවම ප‍්‍රබල ගැටලූවකට ඇඳ වැටීමට නියමිතව තිබුණි. අනෙක දැනට ඔවුන් සිටින ප‍්‍රදේශයේ සිට වව්නියාවට හා මන්නාරමට ඒමට විශාල දුරක් පැමිණිය යුතු අතර කැළෑ මැදින් ඒ එන ගමන ඉතාමත් අවදානම්ය. සැබෑව නම් වන්නි ජනයා රජයේ පාලන ප‍්‍රදේශවලට නොඑන බව රජය කල් ඇතිවම දැන ගෙන සිටීමය. එය ඔවුන්ගේ දුර්වල පෙර සූදානමෙන්ම ඉතා පැහැදිලිය. එනිසා අද වන්නියේ සැබෑ තත්වය අනුව රජයට වන්නි දෙමළ ජනයා සුරක්ෂිත කර ගැනීමට සැබෑ උවමනාවක් ඇත්දැයි අපට ගැටලූවක් පවතී.

වන්නිය යනු අද රජයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇතිවාක් මෙන්ම ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය වෙනස් නොවුනහොත් වන්නි ජනතාවගේ ජීවිතය යන්නද තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත.

Back to HOME

කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය හා ඇම්නෙස්ටියේ ඇම්ම

2008.10.12 වන දින සමබිමෙහි පළවූ ජානක තේනුවරගේ ‘කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි ?’ ලිපියට පිළිතුරක්...

සරත් එන්. කුමාර

යුද්ධය ආරම්භ වී හමාර ය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. එයට ද විවිධ හේතු සාධක බලපෑවේය. දිනෙන් දින වර්ධනය වූ අර්බුදයන් යුද්ධයක් දක්වා වර්ධනය විය. එහි ඉතිහාසය ඉතා අමිහිරිය. සියලූ හේතු සොයා බැලූවහොත් කාගෙ කාගේත් කිල්ලෝටයන් හි හුණු ටික ටික හෝ ඇත. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රභාගේ යුද්ධය සාධරණීකරණය කිරීම නොවේ.

යුද්ධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ලැඟුම් ගන්නට පටන් ගත්තේත්, ඔවුන්ට මුදල් ගලා ඒමට පටන් ගත්තේත්, අපේ රටේ කවර ජාතියකට හෝ අයත් මිනිසුන්ගේ සිරුරින් ගලන රුධිරය, කඳුලූ හා දුක හරහාය. හැම ජාත්‍යන්තර සංවිධානයක්ම ඉදිරිපත් වන්නේ උදව්වටය. අපේ රට ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. එය අගේ කළ යුතුය. ඒ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප එකහෙළා පිළිගන්නා නිසාය. නමුත් ජාත්‍යන්තර සංවිධාන හරහා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය නෙලාගත් ප‍්‍රතිඵල මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතී.

යුද්ධය පවතින විට ජාත්‍යන්තර සංවිධාන නිතරම ප‍්‍රකාශකරන්නේ යුද්ධයට වඩා දේශපාලන විසඳුමකට යොමුවන ලෙසය. ඒ අදහස සාධාරණය. එයට තර්ක නැත. ලොව සියලූ රටවල්, දේශපාලන පක්ෂ හා ජනතාවගේ ද ඒකායන පැතුම ද එයයි. වර්තමාන හා අතීත ශ‍්‍රී ලංකා රජයන් ද දේශපාලන විසඳුමක් සොයන්නට කිහිප අවස්ථාවකම සාකච්ඡා කරමින් විවිධ උත්සාහයන් ගත් බව අප කාටත් මතකයෙන් තවමත් ගිලිහී නොමැත. ඒ සෑම සාකච්ඡා හා සාම ගිවිසුම් අවස්ථාවකින්ම නියම ප‍්‍රයෝජනය ගෙන යුද්ධයට අවශ්‍ය ශක්තිය ගොඩ නඟාගෙන සාකච්ඡා වලින් ඉවත් වී නැවත යුද හමුදාවට හා ජනතාවට පහර දීම කොටි සංවිධානයේ ක‍්‍රියා පිළිවෙත විය. කාටත් එවැනි අතීතයක් තිබුණු බව මතකය. අපේ රට ගැන මහත් හැඟීමකින් කථාකරන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන දේශපාලන පක්ෂ හා පුද්ගලයින්ට එවැනි දේ සිදුවුනා ද කියාවත් මතක නැත.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩනයේ පිහිටි මූලස්ථානය අපේ රටේ මානව හිමිකම් සංවිධාන වලින් අසා දැනගත් පරිදි හා ජානක තේනුවර මහතා එම අදහස සාධාරණීකරනය කිරීම තුළින් අදහස් වන්නේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට ඒම වරදකි. ඔවුන්ගේ අදහස පරිදි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පාලනයක් තිබේ නම් යුධ අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුය. එය ද ඇත්තකි.

ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නොවේ, එම අදහස තුළ ඇති දෙබිඩි තේරුම තුළය. යුද්ධය පවතින විට යටිගිරියෙන් කෑ ගසා මෙයට දේශපාලන විසඳුමක් තිබිය යුතුයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන, දේශපාන පක්ෂ හා පුද්ගලයින් අදහස් කරන්නේ කුමක් ද? යුද්ධය නවතා දේශපාලන ප‍්‍රවාහයට එකතු විය යුතුයැයි නොවේ ද? ප‍්‍රභාකරන් වුවද යුද්ධය නවතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වුවහොත් එය අගය කළ යුතුය. නමුත් ආයුධ බිම තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එකතුවීමට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හෝ මරණීය දණ්ඩනය නියම කර මරා දමනවා නම්, ඔහු තියා බලහත්කාරයෙන් යුද්ධයට සම්බන්ධ කරවූ අහිංසක දෙමළ ජාතිකයෙක්වත් දේශපාලනය තියා යුද හමුදාවට භාර වීමටවත් එන්නේ නැත. ඊට වඩා මරාගෙන මැරෙන එක යහපත් යැයි නිරන්තරයෙන්ම කල්පනා කරනු ඇත. එසේ මරාගෙන මැරුණොත් එහි අසාධාරණයක් ද නැත. කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති පාර්ලිමේන්තුවට ඒමට පෙර කොටි සංවිධානයෙන් වෙන් වූයේය. දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. ඒ පිළිබඳ ඉතා සතුටින් කතා කළ පිරිස් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනයට විරුද්ධ වෙති. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් එකල කර්නල් කරුණා ද බොහෝ වැරදි කර ඇත. එයද සත්‍යයකි. කරුණා මිනිසුන් හා දේපළ නසන්නට, හමුදාව හා සටන් වැදීමට කොටින්ට නායකත්වයක් දුන් බැවින් කොටි සංවිධානයෙන් ඉවත් වූ පසු නීතිය අනුව ඔහුව අත්අඩංගුවට ගත්තේ නම් හෝ ඔහුව මරාදමනු ලැබුවේ නම්, ඔහු හා ඔහු සමඟ වෙන් වූ පිරිස ද වෙන් නොවීම හෝ නැවත ප‍්‍රභාකරන් හා එක් වී සුපුරුදු පරිදි සටන් වදිනවා විනා වෙනත් විකල්පයක් සොයන්නේ නැත. එයින් අදහස් කරන්නේ වැරදි කරනවුන්ට සමාව දිය යුතය යන්න නොවේ. නමුත් ප‍්‍රශ්නයේ ස්වභාවය අනුව එයට වඩාත් සුදුසුම විසඳුමක් කරා යා යුතු බව ය.

ප‍්‍රභාකරන් වුවද ආයුධ බිම තබා අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වෙනවා යැයි කීවොත්, ජානක තේනුවර මහතා හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහසට අනුව එය ද ප‍්‍රතික්ෂේප කළ යුතුය. ඒ ප‍්‍රභාකරන් ප‍්‍රධාන අපරාධකරුවා වන නිසාය. දැනට භාරවන කොටි සාමාජිකයින් ද අපරාධ සිදු කළ සාමාජිකයින්ය. එසේ කියමින් භාර වූවාට පසු සිරගත කිරීම හා වරදට අනුව මරණීය දණ්ඩනය හිමි කළහොත් ඒ කිසිවෙක් භාර වීමට අයුධ බිම තබා නොයෙති. මරාගෙන මැරෙති. මෙවන් පසුබිමක් තුළ හැමදාම දේශපාලන විසඳුම් හොඳයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන හා පුද්ගලයින් කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වන විට එයට ද විරුද්ධ වෙයි. එයට උඩගෙඩි දෙන අපේ ඇත්තන් ද තව වරක් ඒ පිළිබඳ සිතිය යුතුය.

ජාත්‍යන්තර සංවිධාන හා බලගතු රටවල් සැමදා කියා සිටියේ දෙමළ ජනතාවට හිරිහැර නොකර සිටින ලෙස ය. මෙය ත‍්‍රස්තවාදී අර්බුදයක් බව කොපමණ කියා සිටියත් එය පිළිගත්තේ ද නැත. අවබෝධ නුවූවා සේ සිටියේ ය. කොටි සංවිධානයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට එනවිට අපරාධ කරුවන් යැයි කියා විරුද්ධවන ජාත්‍යන්තර සංවිධානයන්, එම පුද්ගලයින් ම යුද්ධයේ යෙදී සිටින විට අපරාධකරුවන් යැයි හෝ මෙම යුද්ධය ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධයක් ලෙස එක වචනයකුදු කියන්නට ඉදිරිපත් වූයේ නැත. ජානක තේනුවර මහතා කියන පරිදි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ලංකාවේ මානව හිමිකම් සංවිධානයන්ගෙන් අසා දැනගත් දේ අනුව විනයාගමූර්ති මුරලිදරන් වරදකරුවෙකි. ඒ දැන් ඔවුන්ට පෙනෙන අයුරුය. නමුත් කොටි සංවිධානය ජීවිත දහස් ගණනක් හා දේපළ විනාශකරන විට ඒ අපරාධ වෙනුවෙන් ලොවම දැනුවත් කළේ නැත. එක වචනයකුදු සෘජුව ප‍්‍රකාශ කළේ නැත. කොටි සංවිධානය පරාජය කළ යුතුය කීවේ ද නැත. ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු යැයි ද කීවේ නැත. ඒ සඳහා ජාත්‍යන්තර පෙළඹවීමක් හෝ නොකළේය. දැන් කියන්නේ කොටි සංවිධානය විසින් යුද්ධය අත්හැරීම නොකළ යුතු යැයි කියන්නාක් වැනි කථාවකි. ඒ ඔවුන්ගේ හැටිය. එය අවබෝධ කරගැනීම අපගේ හැකියාව අනුව සිදු වන්නකි. අවබෝධ නොවේ නම් එයට උඩගෙඩි දීම කෙරෙහි අනුකම්පා කළ යුතුය.

විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුට ඒමත්, චන්ද්‍රකාන්තන් මහ ඇමැති වීමත් වැරදි සහගත යැයි පිළිගත්තේ නම් අදටත් ඔවුන් ප‍්‍රභාකරන්ගේ සුවච කීකරු ගෝලයන් ය. මුලූ ලොවම විනාශයට ඇද දමන යුද්ධයක් කොතනින් හෝ කෙළවරක් දැකිය යුතුය. සිදු වූ විනාශය ඇතිය. යුද්ධය නොව දේශපාලන විසඳුම් යෝජනා කරමින් විවිධාකරයෙන් යුද්ධය ඉදිරියට පවත්වාගෙන යාමට සෘජුව හා වක‍්‍රාකාරව උදව් උපකාර කළ ජාත්‍යන්තරයේ රටවල් හා සංවිධාන, කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය හා පිල්ලෙයාන්ගේ මහ ඇමති ධූරයත් සමඟ නිහඩ වී ඇත. දැන් යෝජනා කරන්නේ කොටි සංවිධානය යුද්ධයෙන් පැරදිය යුතුය යන්නය. අංගුලිමාල වැරදි කිරීමට පෙළඹුනාට, සත්‍ය අවබෝධ වූවාට පසු රහත් විය. වැරදි නිසා රහත් බව නොලැබුනා නොවේ, පසුව හෝ සත්‍ය අවබෝධ කරගෙන නිවැරදි මාවතට ඒම සදාකල් වැරදි කරනවාට වඩා හොඳය.

නීතිය නිවැරදිව ක‍්‍රියාත්මක කිරීම යහපත් පාලනයකට ඉතා අත්‍යාවශ්‍ය ය. වර්තමාන යුද්ධය හා බැඳුනු ඇතැම් දේ සඳහා එම නීති අනුගමනය කළහොත් කෙදිනකවත් යුද්ධය අවසන් වන්නේ නැත. දැන් කොටි සංවිධානය වරද කර හමාරය. ඔවුන් සියල්ලම දැන හෝ නොදැන වරදකරුවන් ද වී හමාර ය. ඔවුන් නීතිය හමුවට යවා වරද අනුව සිරගෙට යැවීමට හෝ මරා දැමීමට අයුධ බිම තබා එන ලෙස කිවහොත් කවදාවත් එය සිදු නොවේ. ප‍්‍රභාකරන් ද සියල්ල මෙතනින් නවතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්භාවිතාවය අඩු වුවත්, ප‍්‍රජාත්නත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වුවහොත් එය පිළිගත යුතුය. දේශපාලන විසඳුමක් වශයෙන් යටිගිරිය කඩාගෙන කෑ ගසා කියුවේ ද එයයි. විසඳුම සොයන විට එයට අදාළව පිලියම් කළ යුතුය. එය අප අවබෝධකර ගත යුතුය. වචන තිබුණාට කියනවාට, ලියනවාට වඩා අවබෝධයෙන් යමක් තේරුම් ගැනීම වැදගත්ය.
ජානක තේනුවර මහතා කියන දේ වැරදි නොවේ. ඔහුගේ අදහසට ද හේතු වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහස ගැන ඒ මහතා ද තේරුම් ගත යුතුය.

Back to HOME

Thursday, October 23, 2008

GSP+ ගැන GLP+ කියන කතාව ඇත්තද?

එකමත් එක රටක දේශහිතෛෂියෙක් වාසය කළේය. ඔහු කෙතරම් දේශහිතෛෂියෙක්ද යත් බටහිර ඇඳුම වෙනුවට ඇන්දේ ජාතික ඇඳුමය. යට ඇඳුම ලෙස පාවිච්චි කළේ අමුඩයකි.

වරක් ඔහුට බඬේ අජීර්ණයක් සෑදිනි. මේ සඳහා බටහිර දොස්තර බෙහෙත් බීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ තම දේශහිතෛෂීත්වය නිසාමය. අසල්වැසියන්ට ඔහු කීවේ තමාට බඬේ අමාරුවක් නැති බවය. ”මේක මගේ බඩ. කාටවත් අයිතියක් නැහැ මගේ බඩට ඇඟිලි ගහන්න.” යැයි ඔහු කීවේ තමාගෙන් විටින් විට නිකුත් වන දුගඳ වාතය නිසා අපහසු තාවයට පත් අසල්වැසියන් ඒ බව ඔහුට දැනුම් දුන් විටය.

ඒත් අවාසනාවකට මෙන් බඬේ අජීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ බඩ විරේක වී ස්වයංක‍්‍රීයවම මළපහ විය. එකී මළ අමුඩයෙහි තැවරී එතැනින් නතර නොවී රෙද්ද පල්ලෙන් බේරෙන්නට වීම නිසා හතර වටේම දුගඳ හමන්නට විය. එවිට අසල්වැසියෝ නහය හකුළුවාගෙන ගඳයි කියා කෑගසන්නට වුහ. දුගඳ හමන්නේ තමා වෙතින් බව පිළිගන්නට අපේ කතානායකයා කැමති නොවීය. ඒත් ඔහුගේ අමුඩයෙහි මළපහ වී ඇතිබව සාක්ෂි ඇතිබව පෙන්වා දුන් අසල්වැසියෝ පශ්චාත් භාගය යොදාගෙන බඬේ අමාරුවට බෙහෙත් බොන ලෙස ඔහුට බලකර කියා සිටියහ. එවිට දේශහිතෛෂියා මෙසේ කීය. ” අම්මට සිරි ඇත්ත නේන්නම් ! කවුද යකෝ මගේ අමුඬේ ජරා කළේ ? ”

ලංකාවේ ඇමැති මණ්ඩලය සියයකට වැඩිය. එයින් එක් ඇමැති ධූරයක් වන විදේශ වෙළෙඳාම පිළිබඳ ඇමැති ධූරය දරන්නේ ජී.එල්.පී හෙවත් මහාචාර්ය ජී.එල්.පීරිස්ය. ජී.එල්.පී. ට පැවරුණ හෝ තමා විසින්ම පවරා ගත් එකම කටයුත්ත ලෙස පෙනෙනුයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) පහසුකම තවත් වසර තුනකට ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කිරීමයි.

2009 සිට අවුරුදු තුනක කාලයක් සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දෙන්නේ කුමන රටවලටද යන්න යුරෝපා සංගමය විසින් තීරණය කර ප‍්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 15 වෙනිදාටය. ජී.එස්.පී. ප්ලස් වෙළඳාමට අදාළ පහසුකමක් වුවද එය රටක මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්ත්වය සමඟ එකට ගැට ගැසී තිබේ.

පසුගිය අවුරුදු තුනේදී එම පහසුකම් භුක්ති විඳීමට ලංකාවට හැකිවිය. එය තවත් අවුරුදු තුනකට දිර්ඝ කරන්නේද යන්න යුරෝපා සංගමය විසින් මේ දිනවල සමාලෝචනය කරගෙන යයි. මෙම පහසුකම හේතුවෙන් ඇඟලූම් ඇතුළු අයිතමයන් ගණනාවක් තීරු බඳු රහිතව යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමට ලංකාවට අවස්ථාව ලැබී තිබේ.

කෙසේ වුවද GSP+ සහනය නැවත ලබාදීම පිළිබඳව සමාලෝචනය කිරීමේ දී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තීන් සහ කම්කරු අයිතිවාසිකම් ප‍්‍රඥප්තීන් ක‍්‍රියාත්මක වන ආකාරය යුරෝපා සංගමයේ අවධානයට ලක්ව තිබේ.

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පිළිගැනීම කෙසේ වුවත් අපේ දේශ හිතෛෂීන් කීවේ යුරෝපය ගසන පදයට අප නටන්නේ නැති බවයි. යුරෝපයට, ඇමෙරිකාවට බම්බු ගහගන්න කියමු. අපේ සහයට චීනය, ඉන්දියාව ඉන්නවා. ඔවුහු කීහ. ඇත්ත තමයි, නමුත් ඔවුන්ට එකක් අමතක විය. යුරෝපය සහ ඇමෙරිකාව අපෙන් භාණ්ඩ ආනයනය කරන තරමට අපි ඔවුන්ගෙන් ආනයනය කරන්නේ සොච්චමකි. අනෙක් අතට අපි චීනයෙන් සහ ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කළත්, එම රටවලට අපනයනය කරන අපේ නිෂ්පාදන ප‍්‍රමාණය සීමිතය.

ජී.එස්.පී. ප්ලස් ගැන වගකීම පවරාගත් ජී.එල්.පී.ප්ලස් හෙවත් ජී.එල්.පීරිස් සහ වෙනත් අය කීවේ කලබල වෙන්නට දෙයක් නැති බවය. අපට සහතික වශයෙන්ම ජී.එස්.පී. ප්ලස් සහනය ලැබෙන බවය. ලංකාවට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවට එල්.ටී.ටී.ඊ.යට, එ.ජා.පයට හා එන්.ජී.ඕ වලට දොස් පැවරූ ඔවුන් ජී.එස්.පී මිදි වල්ල කඩා ගැනීම සඳහා යුරෝපයේ විවිධ නගරවලට ගොස් උඩ පැන්නාහ.

කෙසේ වුවත්,අන්තිමේදී යුරෝපා සංගමය කියා සිටියේ ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී.ප්ලස් සහනය තවදුරටත් ලබා දීමට නම් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණයක් කළ යුතු බවය. ඒ සදහා තොරතුරු සෙවීමට නියෝජිත පිරිසක් ලංකාවට එවීමට ඔවුහු කල්පනා කළහ. එයින් තරු පෙනුනු ජී.එල්.පී.ලා දැන් මිදි තිත්තයි කියන්නට පටන්ගෙන ඇත. ඒ අනුව කිසිම අධීක්ෂණයක් කිරීමට විදේශ රටකට ඉඩ නොදෙන බව පවසන ඔවුන් ජී.එස්.පී.ප්ලස් හි වටිනාකම ඩොලර් මිලියන 150ක් බවත්, ඒ මුදලට රටේ ස්වාධිපත්‍යය පාවා නොදෙන බවත් කියා ඇත. දැන් ඔවුන් කියන්නේ ජී.එස්.පී. පහසුකම නොලැබුන හොත් එම මුදල භාණ්ඩාගාරයෙත් ඇඟලූම් නිෂ්පාදකයන්ට ලබා දීමට ආණ්ඩුව සූදානම් බවයි. වෙනත් වචනයකින් කිව්වොත් බැරලයක් ඩොලර් 60 ට මිළට ගන්නා බොරතෙල් පිරිපහදු කර පෙට්රල් ලීටරයක් රු.150 කට විකිණීම මගින් ජනතාව ගෙන් සූරාකන මුදල් වලින් රුපියල් කෝටි 1650 ක් ඇඟලූම් කර්මාන්ත කරුවන්ට දොර දන් දෙන බවයි.

ජී.එස්.පී. ගැන ජී.එල්.පී.ලාගේ කතා පසෙකින් තබා මේ සහනය ලංකාවට වැදගත් වන්නේ ඇයි දැයි අපි විමසා බලමු.

ආදි කාලයේදී ලංකාවේ ප‍්‍රධාන විදේශ විනිමය ඉපැයීම් ලැබුණේ තේ, රබර්, පොල් වලින් වුවද, මේ වනවිට ප‍්‍රධානතම විදේශ විනිමය ඉපැයීම් ලැබෙන්නේ ඇඟලූම් අපනයනයන් වෙතිනි. මෙම ඇඟලූම් ලබා ගන්නා ප‍්‍රධාන ගැනුම්කරුවන් දෙදෙනෙකි. ඒ යුරෝපා සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී.ප්ලස් යටතේ ලංකාවේ අපනයනයන් තීරු බද්දෙන් නිදහස් කිරීම ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තීරණාත්මකය.

ඕනෑම නිෂ්පාදනයකට විවෘත වෙළෙඳ පොළේ තරඟ කිරීමට සිදුවේ. එහිදී ඔවුන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ, තරඟකාරී මිළකට අලෙවි කිරීමට සිදුවේ. ඇඟලූම් නිෂ්පාදන මුලික වශයෙන් සිදු කෙරෙන්නේ ප‍්‍රසිද්ධ සන්නම් (Brands Names) සහිත ප‍්‍රධාන පෙළේ සමාගම් වන Gap, M&S, Victorias Secret, Next, Lands End, Anne Taylor සහ Tommy Hilfiger වැනි ආයතන විසින් ලෝකයේ විවිධ රටවල සිටින නිෂ්පාදකයන්ට ලබාදෙන ඇණවුම් මතය. එහිදි නිෂ්පාදන වියදම අඩු රටවල සිටින දේශීය හෝ විදේශීය නිෂ්පාදකයන්හට එම ඇණවුම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේ. උදාහරණයක් වශයෙන් චීනය සැලකිය හැකිය.

ලෝකයේ විවිධ සමාගම් චීන මහජන සමුහාණ්ඩුවේ ආයෝජනය කිරීමට කැමති වන එක් හේතුවක් නම් එහි නිෂ්පාදන වියදම අඩුවීමයි. චීනයේ පවතින කොමියුනිස්ට් පක්ෂයේ තනි පක්ෂ පාලනය හේතුවෙන් එහි දේශපාලන ස්ථාවරභාවයක් පවතින අතර, යටිතල පහසුකම් සංවර්ධනයට චීන රජය විශාල වශයෙන් ප‍්‍රමුඛතාවයක් ලබාදී ඇත. සංවිධානයවීමේ අයිතිවාසිකම ඇතුළු කම්කරු අයිතිවාසිකම් මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ද සීමාකොට ඇති බැවින් කම්කරු වර්ජන හෝ උද්ඝෝෂණ වලින්ද නිදහස් හෙයින් නිෂ්පාදන වියදම අවම මට්ටමකින් පවත්වාගෙන යා හැකිය. එබැවින් ලෝකයේ ඉහත කී සන්නම්කරුවන්ගේ ඉල්ලීම්වලට තරඟකාරී සැපයුමක් කිරීමට චීනය වැනි රටවල නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් තිබේ.

තම රටේ කම්කරු අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අවම මට්ටමක තබාගෙන කටයුතු කිරීම හේතුවෙන් චීනය අයුතු වාසියක් ලබා ගැනීම බටහිර රටවල්වලට රිසි නොවේ. එයට ඉඩ හැරියහොත් තරගකාරීත්වයට මුහුණ දෙනු පිණිස අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්ද එම මාර්ගය අනුගමනය කරනු ඇති අතර, එවිට අවසාන වශයෙන් පරාජයට පත්වන්නේ බටහිර රටවල් විසින් ප‍්‍රවර්ධනයට කිරීමට උත්සාහ දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම්ය. ප‍්‍රාග්ධනයට ජාතික හැගීම්, දේශසීමා හෝ සදාචාර පදනම් අදාල නොවන අතර එහි ස්වභාවය ලාභ රේට්ටුව උපරිම කරගත හැකි ස්ථානයට ගලා යාමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගෝලීය වශයෙන් ප‍්‍රවර්ධනය කිරීම ප‍්‍රාග්ධනයේ පැතිරීමට අත්‍යාවශ්‍යව තිබු අතර, දැන් සිදුවී ඇත්තේ ප‍්‍රාග්ධනයේ භූගෝලීයකරණය හේතුවෙන් ප‍්‍රාග්ධනය විසින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම්වලට අභියෝග කිරීමයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප‍්‍රාග්ධනයට සීමා පැනවීමට බටහිර රටවලටම සිදුවිය.

මේ අනුව ගත් එක් පියවරක් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇඟලූම් නිෂ්පාදනය කරන රටවලට ලබාදුන් කෝටා ක‍්‍රමය වන අතර තවත් පියවරක් වූයේ යුරෝපා සංගමය විසින් ක‍්‍රියාත්මක කළ ඨැබැර්කස‘Generalize system of preferences හෙවත් ජී.එස්.පී.ප්ලස්ය.

බහු තන්තු ගිවිසුම හෙවත් Multi Fibre Agreement(MFA)යටතේ ලංකාවටද පංගුවක් හෙවත් කෝටාවක් ලැබුණු අතර, ඒ අනුව ඇමෙරිකානු වෙළෙඳපොළට ලංකාවෙන් නිශ්චිත ඇඟලූම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට අවස්ථාව තිබිණි. එහිදි එම කෝටාව උපයෝගී කර ගැනීම සඳහා සන්නම් හිමිකරුවන් ලංකාවට ඇණවුම් ලබාදීමට කටයුතු කළ අතර, එම ඇණවුම් ලබා ගැනීම සඳහා දේශීය හා විදේශීය ආයෝජනයන් ඇඟලූම් කර්මාන්තයෙහි ආයෝජනය කරන ලදි.

2004 දී MFA ගිවිසුම අවසන් වීමත් සමඟම කෝටා ක‍්‍රමය අවසන් වු අතර, ඉන් පසු ලංකාවට ඇමෙරිකානු වෙළෙඳපොළේ තරඟ කීරීමට සිදුවිය. මේ හේතුවෙන් 2006න් පසු ඇඟලූම් කර්මාන්තයෙහි බිඳවැටීමක් සිදුවී විශාල රැකියා ප‍්‍රමාණයක්ද විදේශ විනිමය ප‍්‍රමාණයක්ද අහිමි වනු ඇතැයි අනාවැකි පළවිය. එයට හේතුව කෝටා ක‍්‍රමය අවසන් වු පසුව ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලූම් නිෂ්පාදන ලබා ගැනීමේ විශේෂ වාසියක් සන්නම් හිමිකරුවන්ට නොමැතිවීමය.

කෙසේ වුවද මෙම අපේක්ෂිත බිඳ වැටීම වැළකී ගියේ 2004 අග ඇතිවු සුනාමි ඛේදවාචකය හේතුවෙනි. සුනාමියෙන් පහර වැදුණු රටක් වශයෙන් ලංකාවට සහන සහ ආධාර විශාල ප‍්‍රමාණයක් ලැබුණු අතර, යුරෝපා සංගමය විසින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදෙන ලද්දේ මේ අනුවය. ආරම්භයේදී 2006 සිට වසර තුනක කාලයක් සඳහා මෙම පහසුකම ලැබුණු අතර, මෙමඟින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන යුරෝපා සංගමයේ රටවල් තුළ අලෙවි කිරීමේදී තීරු බදු අය නොකොට සහනයක් ලබාදෙන ලදි. මේ හේතුව නිසා නැවතත් ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලුම් ඇණවුම් ලබා ගැනීමට හේතුවක් ඉල්ලූම්කරුවන්ට ලැබුණේ ඔවුන් විසින් අලෙවි කරන, ”ලංකාවේ නිෂ්පාදනය කරන ලදි” යනුවෙන් සඳහන් භාණ්ඩවලට තීරු බදු රහිතව යුරෝපීය වෙළෙඳපොළෙහි අලෙවි කිරීමට හැකිවු බැවිනි.

කෙසේ වුවද ජී.එස්.පී.ප්ලස් පහසුකම සැපයීමේ දී යුරෝපා සංගමය අදාළ රටේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වාර්තාව පරීක්ෂාවට ලක් කරන ලදි. ලංකාව ලෝක කම්කරු සංවිධානයේ ප‍්‍රඥප්ති සියල්ලටම අත්සන් තබා ඇති අතර, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, එහි වෛකල්පිත ප්‍රොටෝකෝලය ඇතුළු වැදගත් සම්මුති ගණනාවකට ද අත්සන් තබා තිබුනි.

කෙසේ වුවද වසර තුනකට පසු මෙම පහසුකම නැවත අළුත් කිරීමට නියමිතව තිබු අතර, එහිදි යුරෝපා සංගමය විසින් සොයා බලන්නේ ඉහත සඳහන් ලංකාව විසින් අත්සන් කොට රට තුළ ක‍්‍රියාත්මක කිරීමට වගකීමෙන් බැඳුණු ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කර තිබේද යන්නයි.

ඉහත දැක්වෙන MFA සහ ජී.එස්.පී.ප්ලස් යන සහනයන් දෙකම යොදාගන්නා ලද්දේ එක් පැත්තකින් ඌණ සංවර්ධිත රටවල් සදහා සහනයක් ලබා දීමට සහ තව පැත්තකින් එක් එක් රටෙහි මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්වය වර්ධනය කර ගැනීමටය.

පසුගිය අවුරුදු දෙක තුළ සන්නද්ධ ගැටුම තීව්ර වීමත් සමඟ ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ බිඳ වැටීමක් ඇති බව ජාත්‍යන්තරව ප‍්‍රචලිත විය. මෙහිදී මේ පිළිබඳ සොයා බලා ප‍්‍රසිද්ධ කිරීමට බලය ඇති ජාත්‍යන්තර මානව හිමිකම් නීරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන ලෙස යුරෝපා සංගමය ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එය ප‍්‍රතික්ෂේප කළ ලංකාව කියා සිටියේ එවැනි නිරීක්ෂණ ක‍්‍රියාවලියක් ලංකාවට අවශ්‍ය නැතිබවත්, ඒ සඳහා මෙහි පවත්නා ජාතික ආයතන පද්ධතිය එනම් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රමාණවත් බවත්ය.

නමුත් ලංකාවේ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීමත් කොමිසම විසින් ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව වාර්තා ප‍්‍රසිද්ධ නොකිරීමත් හේතුවෙන් එහි විශ්වසනීය භාවය අභියෝගයට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම් පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව විසින් එය බී ශ්‍රේණියට පහත දමන ලද්දේ මීට වසරකට පමණ පෙරය.

ජී.එස්.පී.ප්ලස් පහසුකම නැවත ලංකාවට ලබා දීමට පෙර රටේ මානව හිමිකම් තත්වය පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා නියෝජිත පිරිසක් එවීමට යුරෝපා සංගමය අවසර ඉල්ලන්නේ මේ පසුබිම මතය. මේ කාලය මුළුල්ලේ ලංකාව ඒ සදහා දක්වා ඇති ප‍්‍රතිචාරය අමුඩයෙහි කැත කරගත් අපගේ දේශහිතෛශියාගේ චර්යාවට සමාන යැයි පැවසීම අතිශයෝක්තියක්ද ?

Back to HOME

Thursday, October 16, 2008

මානසික රෝගීන්ට නීත්‍යානුකූලවම අසාධාරණයක් සිදුවෙනවා...

වෛද්‍ය එම්.ගනේෂන්
මනෝවෛද්‍ය උපදේශක
සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්

වර්තමානයේ රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නිතර වාර්තා වෙනවා. මේ අතරින් මානසික රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඉතා වැඩි අතර ඒවා හෙළිදරව් නොවෙන ස්වභාවයක් පේනවා
ඔව්. මානසික රෝගීන් කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පිරිසක්. ඔවුන්ටත් අනෙක් අයට වගේම අයිතිවාසිකම් තියෙනවා.
නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලූවොත් දැනට ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම් ඉතා වැඩියි.

ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
ප‍්‍රධානම හේතුව මෙරට ක‍්‍රියාත්මක වෙන මානසික සෞඛ්‍ය ආඥපනත. මෙය අවුරුදු 150කට වඩා පරණයි. ඒක නවීකරණය නොවීම ලොකු ප‍්‍රශ්ණයක්. අනෙක බොහෝ මානසික රෝගීන්ට තමන්ගේ ප‍්‍රදේශයේම ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිකම. මානසික රෝගීන්ට වගේම මන්ද බුද්ධික අයටත්, ආබාධිත අයටත් මේ ගැටළුව බලපානවා. ඔවුන් ගැන සෞඛ්‍ය, අධ්‍යාපන, හා සමාජමය වගකීමක් තියෙනවා. නමුත් කවුරුවත් ඒ වගකීම ගන්නේ නැහැ. ලංකාවේ මෙවැනි අය වෙනුවෙන් පවතින සේවා හා ආයතන ඉතා අකාර්යක්ෂමයි. වර්තමානයේ රෝගීන්ගේ පවුල්වල අයට ඒ අය වෙනුවෙන් කළ හැකි කැපවීම ඉතා අවමයි. ලංකාවේ එවැනි අයගේ වගකීම සියයට සීයක්ම ගන්න වෙලා තියෙන්නේ රෝහල් වලට. නැත්නම් ගෙදර අයට. එතනදී ගෙවල් වල අය ගිහින් අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ අයව තමන්ට රැක බලා ගන්න බැහැ කියලා. එතකොට දැනට තියෙන ක‍්‍රමවේදය අනුව මේ රෝගීන් අවසානයේ එන්නේ අංගොඩ රෝහලට.

ප‍්‍රතිකාර සඳහා හෝ නිවෙස්වල රඳවාගැනීමේ අපහසුව නිසා හෝ අංගොඩ රෝහලට බාර දී සුවපත් වූ පසු නිවෙස් වලට රැගෙන නොයන රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය කුමක්ද?
එහෙම අය ගොඩක් ඉන්නවා. දැනට අපි පුලූවන් තරම් ඒ අයව ගෙවල් වලට යවන්න උත්සාහ කරනවා. නමුත් ගැටලූව එය නෙවෙයි. සේවාවන් නැති කම. රෝගීන්ගේ නෑයොත් කැමති නැහැ මේ විදිහට තමන්ගේ නෑදෑයන්ව මානසික රෝහලක නවත්තලා ගෙදර යන්න. එයාලටත් ඒක ලොකු හිතේ බරක්. මැරෙනකම් ඔවුන් ඒ ගැන හිතින් විඳවනවා. නමුත් ඔවුන්ටත් කරන්න දෙයක් නැහැ. ඒ පළාත්වල සේවාවන් නැහැ. හුඟක් ඥතීන්ට තමන්ගෙ රෝගියා රෝහලට ගෙන එන්න පහසුකම් නැහැ. අංගොඩ රෝහලට ඒ පහසුකම් තිබුණත් ඉන්ධන වලට අවශ්‍ය මුදල් නැහැ. රුපියල් 500 ක් වැය වෙන වැඬේට අනුමැතිය ගන්න දවස් ගාණක් ගත වෙනවා. ක‍්‍රමවේදයේ නම්‍යශීලී බවක් නැති එකත් ප‍්‍රශ්ණයක්. අනෙක ලංකාවේ මේ වන විට මානසික වෛද්‍යවරුන් ඉන්නේ ඉතාම සීමිත ප‍්‍රමාණයක්.

දැනට සුවපත් වෙලා ගෙවල් වලට ගෙනියන්නේ නැති අය රෝහලේ කොච්චර ඉන්නවාද?
අංගොඩ රෝහලේ දැන් එවැනි රෝගීන් අඩුයි. මුල්ලේරියාව රෝහලේ ඉන්නවා ගැහැණු අය 700ක් විතර. ඒගොල්ලෝ අවුරුදු 25ක්ම අහන්නේ අපිව කවදද ගෙදර යවන්නේ කියලා. දැන් අංගොඩ රෝහලේ රෝගීන් හතර දෙනෙක් ඉන්නවා. මේ අය අවුරුදු ගානක් තියා ගත්තත් කවුරුවත් ඇවිල්ලා අහන්නේ නැහැ ඇයි මේගොල්ලෝ තියාගෙන ඉන්නේ කියලා. දැනට අපි පුළුවන් තරම් හොයලා බලලා ඔවුන්ව ගෙවල් වලට යවනවා. ඒත් ගෙවල් වලට ගියාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා හොයලා බලන්න ක‍්‍රමවේදයක් නැහැ. ඒක තමයි ප‍්‍රශ්ණේ. එහෙම සොයා බලන්න ප‍්‍රජා සේවා වර්ධනය වීම අවශ්‍යයි.

යුද්ධය පවතින ප‍්‍රදේශවල මානසික රෝගීන්ගේ තත්වය ගැන කතා කලොත්.....
හදිසි තත්වයන් යටතේ ඔවුන්ට කරදර සිදුවෙලා තියෙනවා. සමහරු මාර්ග බාධක වලදී නවතින්න සංඥ කලාම ඒවා නොතකා ගිහින් වෙඩි කාපු අවස්ථා තියෙනවා. වරක් සංඥා කරන කොට නැවතුනේ නැහැ කියලා බයිසිකලේ යනකොට එවැනි රෝගියෙක්ට වෙඩි තියලා තිබුනා 2007 වසරේදී මඩකලපුවේ එරාවුර්වල. ඔහු මිය ගියා. ඒ නිසා අපි යුද්ධය පවතින ප‍්‍රදේශවල එවැනි රෝගීන්ගේ ෆොටෝ එකක් ගහලා, ලෙඬේ සඳහන් කරලා, වැඩි විස්තර අවශ්‍ය නම් දුරකථන අංකයකුත් සඳහන් කරලා මෙයා මානසික රෝගියෙක් කියලා හැඳුනුම්පතක් හදලා දුන්නා. ඒකෙන් විශාල ප‍්‍රයෝජනයක් වුනා. එතකොට මොනවා හරි ප‍්‍රශ්ණයක් වුනොත් අපිට එවන්න කියලා අපි පොලීසියට දන්වලා තිබුනා. හැබැයි සමහර ලෙඞ්ඩු නැතිවෙලත් තියෙනවා. ඒ වගේ සිද්ධි කීපවතාවක් වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධය නිසා අවතැන් වෙලා යනකොට තියෙන ප‍්‍රශ්නය තමයි රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් අරන් යන්න වෙන්නේ නැහැ. සායන අංක නැතිවෙලා. කවදද සායන තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේ දිනවල මුලතිව්, කිලිනොච්චි ඉඳලා අවතැන් වෙලා එන කට්ටිය මන්නාරමේ කෑම්ප් වල 30,000ක් විතර ඉන්නවා. ඔවුන් අතර මානසික රෝගීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒත් එතැනට ගිහින් බලන්න හෝ බෙහෙත් කරන්න විදිහක් නැහැ. කාටවත් ඇතුළට යන්නවත්, එළියට එන්නවත් දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි එනවා නම් හෝ යනවා නම් හමුදාවෙන් පරීක්ෂා කරනවා. ඉතින් අපි කොහොමද ප‍්‍රතිකාර සඳහා රෝගීන්ව එළියට ගන්නේ. ඔවුන් දෙමළ පිරිසක්. ඒ නිසාම වෙනත් ගැටලූ මතු වෙනවා.

යුධ ගැටුම් වලට මැදි වී ඇති ප‍්‍රදේශ වල සිවිල් ජනතාව අතරින් දෙමළ ජනයා මෙම තත්වයට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් දකින්න ලැබෙනවා
එයට හේතුව ඒ ප‍්‍රදේශවලදී සහ ආරක්ෂක මුරපොළවල් වලදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන හිරහැර. අද මඩකලපුවට යනව නම් චෙක් පොයින්ට් දහයක් විතර පහු කරන්න ඕන. ඒ බොහෝ තැන් වලදී දෙමළ අය පරීක්ෂාවට ලක්වීමත්, ඔවුන්ගෙන් ප‍්‍රශ්ණ කිරීමත් සාපේක්ෂව වැඩිපුර සිද්ධ වෙනවා. යන්නෙ කොහෙද, කවදද එන්නෙ වගේ විශාල ප‍්‍රශ්න කිරීමකට ලක් වෙනවා. එවැනි අවස්ථාවලදී මිනිස්සු නිහඬව එය දරා ගත්තත් අවසානයේ ඔවුන් ඒ පීඩනය පිටකරන්නේ ගෙදර බිරිඳගෙන්, සැමියාගෙන් හෝ පවුලේ සමාජිකයෙකුගෙන්. නැත්නම් දරුවන්ගෙන්. යුද්ධය නිසා අවතැන් වන පිරිස් අතර මේ තත්ත්වය ඉතා වැඩියි. ඊට හේතුව ඔවුන් කරගෙන සිටින රැකියා, ගෙවල් දොරවල් අහිමි වී තාවකාලික ලැගුම්පොළවල් වෙත පැමිණීමෙන් සිදු වෙන පීඩාවන්. උතුරු-නැගෙනහිර සහ මායිම් ගම්මාන වල කාලයක් තිස්සේ සිද්ධ වෙන මේ ක‍්‍රියාවලිය නිසා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ළමා අපචාර, මත්පැන් බීමෙන් රණ්ඩු සරුවල් ඇතිවීම්, සිය දිවි නසා ගැනීම් ඉතා වැඩියි. ළඟදී රජය සමීක්ෂණයක් කලා. යුද්ධය හෝ යම් විශාල ආපදාවක් නිසා ඇති වෙන මානසික රෝගී තත්වයන් ගැන. නමුත් එය කරපු කණ්ඩායම යුධ බිය නිසා උතුරු-නැගෙනහිර මේ සමීක්ෂණය කලේ නැහැ. සමීක්ෂණය කරපු පළාත් වලින් වැඩිම රෝගී පිරිසක් වාර්ථා වුණේ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම කියන මායිම් ගම්මාන තියන ප‍්‍රදේශවලින්. එතකොට අනිවාර්‍යයෙන්ම උතුරු- නැගෙනහිර තත්වය ඊට වඩා අවාසනාවන්ත විය යුතුයි.අනෙක් කාරණය මේ ප‍්‍රදේශවල ළමයින්ට පේන්නෙ තමන්ගෙ මව, පියා කාගෙන් හරි බැණුම් අහන හැටි, ගුටි කන හැටි. ඉස්සර අපේ ගෙවල්වලට ආරක්ෂාව දෙන්නෙ තාත්තා. ඒත් මේ ප‍්‍රදේශවල මනුස්සයෙකුට තමන්ගෙ බිරිඳට, දරුවන්ට ඒ ආරක්ෂාව දෙන්න බැහැ. එතනදි බිරිඳ ඔහු දිහා බලන ආකාරය වෙනස් වෙනවා. දරුවන් පාලනය කරන්න බැහැ. එ්ක ඔහුට ගෞරවය පිළිබඳ ප‍්‍රශ්නයක් වෙනවා. ඒක පවුලේ සාමාජිකයන්ට මානසිකව බලපානවා. මෑතකදී මඩකලපුවේ ගෙදරක දෙමළ කාන්තාවක් ඳුෂනයට ලක් වුණා කිහිප දෙනෙකු අතින්. ඇගේ සැමියයි, කුඩා දියණියයි ඉදිරියේ. ඒ සිද්ධියෙන් පස්සේ ඳුෂනයට ලක් වුණ කාන්තාව මානසික රෝගී තත්වයට ගොදුරු වෙලා. සිද්ධිය දැකපු සැමියා සහ දරුවා කම්පනය නිසා කෝමා තත්වයට පත් වෙලා. අනික් පැත්තෙන් හමුදා නිලධාරින් අතරත් මේ තත්වය දකින්න පුලුවන්. වෙඩි තියා ගැනීම්, මිය යාම්, ආබාධිත තත්වයට පත්වීම්, අධික වෙහෙස, මාස ගණන් පවුල් සබඳතා වලින් දුරස්ථව සිටීම වගේ බොහෝ හේතු නිසා හමුදාවත් මේ තත්වයට මුහුණ දෙනවා. ඔවුන්ගෙන් සමහරු තමන්ගේ පීඩනය පිට කරන්නේ ගෙදරින්. මත්පැන් වලින්. නැත්නම් වෙනත් නීති විරෝධී මාර්ගයකින්. මම දන්න තරමින් ඔවුන්ටත් ඒ වෙනුවෙන් කිසි පිළියමක් යොදල නැහැ.

මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීති සහාය ලැබීමේ දුර්වලතාවක් පවතිනවා. මේ හේතුව නිසා සමාජීය වශයෙන් මෙන්ම නීතිමය වශයෙන්ද රෝගීන්ට අසාධාරණයක් සිදුවෙනවා නේද?
ඔව්. ඒකට එක හේතුවක් නීතිඥවරුන්ට මුදල් ගෙවීමට තරම් ආර්ථීක ශක්තියක් මෙම රෝගීන්ට නැති වීම. අනික ආඥ පනතේ තියෙන නීතිමය දුර්වලතා. ඒකට අනුව මානව හිමිකම් පැත්තෙන් මානසික රෝගීන්ට සිදුවන දේ ආසාධාරණයි. නමුත් ලංකාවේ පවතින නීතිය අනුව මේ සිදුවෙන ක‍්‍රියාදාමය නීත්‍යානුකූලයි.

ඥතීන් විසින් හෝ ස්වේච්ඡාවෙන් එසේත් නැත්නම් සුවපත් වූ පසු නිවෙස් වලින් අතහැර දමා සිටින රෝගීන් සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම සම්පුර්ණයෙන්ම පැවරී ඇත්තේ රෝහලටද?
නැහැ. නමුත් ලංකාවේ එය රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් කරන්න සිදු වෙලා. රෝගීන්ගේ තත්ත්වය අධීක්ෂණය කිරීමට ක‍්‍රියාදාමයක් නැහැ. සමහර රෝගීන් කිසිම හේතුවක් නොමැතිව වසර ගණන් රෝහලේ නේවාසිකව ඉන්නවා. එතනදී ඔවුන්ගේ ඥතීන්ට පමණක් ෙදාස් කියන්න බැහැ. මානසික රෝගීන්, ආබාධිත හෝ මන්ද බුද්ධික අය රැඳවීම, පහසුකම් සැලසීම, ප‍්‍රතිකාර කිරීම, රැකබලා ගැනීම සඳහා සමාජ සේවා ආයතන වෙනත් රටවල වගේ ලංකාවේ නොමැති වීමත්, ඒ වෙනුවෙන් නව නීති සකස් නොවීමත් ප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රධාන ගැටලූවක්. මේ නිසා මොවුන්ගේ මානව හිමිකම් කඩවීම අනෙක් රෝගීන්ට වඩා වැඩියි. 2005 වසරේ පාර්ලිමේන්තුවේ මානසික සෞඛ්‍යය ප‍්‍රතිපත්තියක් සකස් කලා ඉතා වැදගත් කාරණා ඇතුළත් කරලා. නමුත් එය නඟා සිටුවීමට කිසිවෙක් නැහැ.
Back to Home....




























































































































































































මානසික සෞඛ්‍ය ආඥ පනතින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි

ලෝක මානසික සෞඛ්‍ය දිනය පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදාට යෙදී තිබුණි. සමාජයේ අවධානය ඉතා අඩුවෙන් යොමු වන මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු සමඟ කල සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.

මානසික රෝගීන් යනු අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන්ම අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමි පුද්ගල කාණ්ඩයකි. ඔවුන් වෙනුවෙන්ද නීතිගත වූ නෛතික පටිපාටීන් ඇති අතර ලංකාවේ මානසික රෝගීන් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක වන මූලික නෛතික ලියවිල්ල 1870 ගණන් වල සම්පාදනය කල මානසික සෞඛ්‍ය ආඥ පනතයි. ඉන්පසු 1974 වසරේ සුළු සංශෝධනයකට ලක් වූ මෙම ආඥ පනතේ යල් පැන ගිය ස්වභාවය නිසාම ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම විශාල ලෙස සිදුවේ.වසර එකසිය තිස් අටකට පසුවත් කි‍්‍රයාත්මක වන ආඥ පනතේ ඇති ප‍්‍රධානතම දුර්වලතාව එය නූතන ප‍්‍රතිකාර ක‍්‍රම හා නොගැලපීමයි. සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍ය ආඥ පනතකින් ඉටුවිය යුතු මූලික අරමුණු කිහිපයකි.

01. රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට ආඥ පනතින් ඉඩ සැලසිය යුතුයි.
02. රෝගීන්ගෙන් මහජනතාවට යම් කරදරයක්, හිරිහැරයක්, ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නම් එය වළක්වා ගැනීමට විධිවිධාන යෙදිය යුතුයි.
03. මේ සියළු විධි විධාන රෝගියාගේ මුලික අයිතිවාසිකම් රැකෙන පරිදි සැලසිය යුතුයි.

ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන ආඥ පනතින් ප‍්‍රධාන ලෙසම රෝගියාගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිඳු සඳහනක් නැත.

එසේම දැනට මෙරට සිටින මානසික රෝගීන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන්නේ එම යල් පැන ගිය පැරණි ආඥ පනතට අනුව වන අතර එමඟින් එහි පවතින ඇතැම් නීති හේතුවෙන්ද තවදුරටත් මානසික රෝගීන්ගේ අයිතීන් කඩවෙයි. දැනට ආඥ පනතේ යම් කෙනෙක් ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුල් වුවද ඔහුට හෝ ඇයට ස්වේච්ඡාවෙන් ඉන් බැහැරවිය නොහැක. රෝගියාගේ පිටවීම මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් විසින් තීරණය කළ යුතු අතර රෝගියාට එම අයිතිය ලබා දී නැත. එසේම තමාගේ අකමැත්තෙන් හෝ තමා නොදැන ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුල් කල අවස්ථාවක ඒ පිළිබඳ අභියාචනයක් කිරීමට හෝ ඉල්ලීමක් කිරීමට ද රෝගියාට කිසිඳු අයිතියක් ලබා දී නැත. වෙනත් රටවල පවතින නව ආඥ පනත් අනුව එම ඇතුල් කීරීම් යුක්ති සහගතද යන්න පරීක්ෂා කිරීමට ස්වාධීන මණ්ඩලයක් තිබෙන නමුත් ලංකාවේ එවැනි හැකියාවක් නොමැත.

මීට අමතරව යම් අපරාධ වරදක් කල පසු ඔහුට හෝ ඇයට මානසික රෝගයක් ඇති බවට පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් මත රෝහල්ගත කරන අයගේ මානව හිමිකම් කඩවීම ඉතා ඉහල මට්ටමක පවතී. සාමාන්‍යයෙන් වරදක් කොට උසාවියට ඉදිරිපත් කරන රෝගීහු මෙරට නීතිය අනුව සලකන්නේ වෙනත් අපරාධකරුවන් හා සමානවමය. ඔවුන්ද රෝහල වෙත පැමිණිය යුත්තේ බන්ධනාගාරය හරහා වන අතර නැවත නිදහස් කිරීමේදීද යා යුත්තේ බන්ධනාගාර හරහාමය. අධිකරණ නියෝග මත රෝහලට පැමිණෙන රෝගීන් ද රෝහලට පැමිණීමට පෙර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටිය යුත්තේ වෙනත් වරදවල් සඳහා රිමාන්ඞ් බන්ධනාගාර ගත වූ සැකකරුවන් සමඟය.

එසේම පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් යම් වරදක් කළ අයෙකුට මානසික රෝගයක් පවතීද යන්න නිශ්චිය කරගත යුතු අවස්ථාවක එම බලය ලැබී ඇත්තේ අංගොඩ රෝහලට පමණි. බදුල්ල වැනි දුර පළාත්වලින් අධිකරණ නියෝග මත එවන රෝගීන් ද අංගොඩ රෝහලට ඇතුළත්ව එම වාර්ථාව ලබා ගත යුතුය. ඒ සඳහා අවම ලෙස සති දෙකක කාලයක් ගත වේ. ඊට හේතුව සම්පූර්ණයෙන්ම මෙරට මානසික රෝග සම්බන්ධව ආඥ පනත කි‍්‍රයාත්මක වන්නේ අංගොඩ මානසික රෝහලේ පමණක් වීමයි. එම ආඥ පනතට අනුව මානසික රෝග සඳහා ප‍්‍රතිකාර කරන ස්ථානයක් ලෙස නීතිගත වී ඇත්තේ අංගොඩ රෝහල පමණි.

මේ නිසා බදුල්ලේ දී වරදක් කළ පුද්ගලයෙක් බදුල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන එය අපරාධ වරදක් නම් රෝගියා මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරන අතර උමතු රෝගයක් වැළඳුන කෙනෙක් නම් දිස්ති‍්‍රක් උසාවියට ඉදිරිපත් කරයි. එහිදී රෝගියා අධිකරණ නියෝග මත අංගොඩ රෝහලට යොමුකරන අතර ඊට පෙර රෝගියා බදුල්ල බන්ධනාගාරයේ රඳවා තබයි. ඉන් පසු කෙලින්ම අංගොඩ රෝහලට එවනවා වෙනුවට වැලිකඩ බන්ධනාගාරයට යවයි. රෝගියා අංගොඩට එන්නේ ඉන් අනතුරුවය. නැවත ඔහු නිදහස් වී යා යුත්තේද ඒ පටිපාටියටමය.

අංගොඩ රෝහලේ කොළඹ දිසා අධිකරණයේ ජංගම දිසා අධිකරණයක් පිහිටුවා ඇති අතර එය රැස්වන්නේ සති දෙකකට වතාවකි. එනිසා රෝහලට පැමිණෙන රෝගීන්ද එම සති දෙකක කාලය රෝහලේ රැදී සිටිය යුතුය. මේ වන විටද කිසිඳු රෝගී තත්ත්වයක් නොමැතිව රෝහල් ගතවී සිටින පුද්ගලයන් අංගොඩ සිටී. මෙම පටිපාටියට කටයුතු සිදුවීමේ ප‍්‍රමාදය වළක්වා ගැනීමට නම් රෝගීන් විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ යුතුය.

ඕනෑම මානසික රෝගී ප‍්‍රතිපත්තියක හෝ ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාත්මකවන වැඩසටහනක මානසික රෝගීන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන මානව අයිතිවාසිකම් පවතී.

01. සෑම අයෙක්ම සමානාත්මතාවයෙන් යුතුව සැලකීම.
02. වෙනත් රෝගීන්ට මෙන්ම වෙනස් කොට නොසැලකීම.
03. රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයට ප‍්‍රතිකාර කිරීම.
04. රෝගියාගේ ස්වාධීත්වය. එනම්, තමා කැමති වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය හා තමාගේ රෝගය පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අයිතිය .
05. ආගම ඇඳහීමේ හා ගමන් බිමන් යාමේ අයිතිය.

මානසික රෝගයේ ස්වභාවය අනුව රෝගියාගේ කැමැත්ත නොමැතිව අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා උදාවන අතර එවිට ප‍්‍රතිකාර ගැන රෝගියාගේ කැමැත්ත ලබා ගැනීම යන අයිතිය කඩවන මුත් එහිදී රෝගියාගේ මූලික අයිතීන් හෝ රැක දීමට අදාල පාර්ශ්වයන්ට වගකීමක් ඇත.

1991 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත වූ මානසික රෝගීන්ගේ ආරක්ෂාව හා මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා වූ යෝජනාවලට අනුව මානසික රෝගීන් උදෙසා රැුකිය යුතු මූලික මිනිස් අයිතිවාසිකම් සඳහන් කර ඇති අතර ඉන් මූලික ප‍්‍රතිපත්ති 25ක් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පටිපාටිය යටතට ද, ප‍්‍රතිකාර සඳහා පහසුකම් ඇතිකිරීම හා ලැබෙන ප‍්‍රතිකාරවල ගුණාත්මක භාවය තහවුරු කිරීම යටතට ද ඇතුලත් වේ.

ඒ අනුව :
01. රෝගියාගේ මූලික නිදහස තහවුරු කිරීම හා මූලික අවශ්‍යතා තහවුරු කිරීම.
02. මානසික රෝගය නිශ්චය කර ගැනීමේ නිවැරදි ක‍්‍රමවේදයක් භාවිතා කිරීම.
03. රහස්‍යභාවය ආරක්ෂා කිරීම හා අනන්‍යතාව හෙළි නොකිරීම.
04. ප‍්‍රතිකාර කිරීමේ සම්මත තත්ත්වයන් තිබීම.
05. කැමැත්තකින් තොරව ඇතුල් කිරීමේදී රෝගියාගේ අයිතීන් හැකි තරම් සුරැකීම.
06. රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම.
07. රෝගියාගේ තත්ත්වය ගැන ස්වාධීනව සොයා බැලීමේ අවකාශය තිබීම.
08. මානසික රෝගයක් නිසා අපරාධයක් කළ අයගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වීම.
යන කරුණුද ඊට අදාල වේ.

රටක රජය හා අනෙක් සෞඛ්‍ය සේවා නිලධාරීන් ප‍්‍රතිපත්තිමය වශයෙන් හා ක‍්‍රියාකාරීත්වයෙන් ද මෙම සේවාවන් මානසික රෝගීන් වෙත ලබා දීමට බැඳී සිටී. නමුත් ලංකාවේ මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කථාකිරීමේ දී එකී අදාළ විධිවිධාන සැකසී ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කිසිඳු අවධානයක් යොමු නොකරය. ප‍්‍රතිකාරමය වශයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ විවිධ පාර්ශ්වයන් දක්වන උනන්දුව නීතිමය වශයෙන්ද තහවුරු කර ඔවුන්ද මනුෂ්‍යයින් ලෙස සලකා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දීම හැකි ඉක්මනින් සිදුවිය යුත්තකි.
- තාරා ශී‍්‍ර රාම්

Back to HOME ....

Wednesday, October 8, 2008

කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි...?

ජානක තේනුවර

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩන් මූලස්ථානය පසුගිය අඟහරුවාදා ලංකාවේ පිහිටි මානව හිමිකම් සංවිධානවලින් විමසා සිටියේ කිසියම් පුද්ගලයෙකු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහුට යුධ අපරාධ හෝ සාමාන්‍ය අපරාධ චෝදනාවලින් නිර්මුක්තියක් හිමිවන්නේද යන්නයි. ලංකාවේ මන්ත‍්‍රීවරයෙකුට එවැනි නිර්මුක්තියක් හිමි නොවන බවත්, ඔවුන්ද නඩු පැවරීමට යටත් බවද දැනගන්නට ලැබීමෙන් ඇම්නෙස්ටිය ද වික්ෂිප්තභාවයට පත්විය.

කරුණා අම්මාන් නොහොත් කර්නල් කරුණා නොහොත් ගරු විනයාගමූර්ති මුරලිදරන් මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබ පාර්ලිමේන්තුවට පිටත් කර හැරීම ඇම්නෙස්ටිය මේ ප‍්‍රශ්නය විමසීමට නිමිත්තයි.

ඇම්නෙස්ටිය කල්පනා කරන්නට ඇත්තේ කරුණාට විරුද්ධව නඩු පැවරීම සඳහා (ඔවුන්ට අනුව ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතිය යුතු) නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියා කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් මෙම පියවර ගන්නට ඇති බවයි. එය තර්කානුකූල විග‍්‍රහයකි. එහෙත්, ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නඩු පැවරීමෙන් නිර්මුක්තියක් නැති බව පැවසීමෙන් ඔවුන්ගේ ඔළුව විකාර වන්නට ඇත.

පාලක පක්ෂය විසින් කරුණා තම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කිරීම සිදු කරන ලද්දේ මන්දැයි තේරුම් ගැනීමට ඇම්නෙස්ටිය පමණක් නොව තවත් බොහෝ දෙනෙකු උත්සාහ කරති. එහෙත් එය වචන වලින් තේරුම් කිරීමට හෙවත් සංකේතකරණය කිරීමට නොහැකි ක්ෂතිමය අත්දැකීමකි.

ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුගත වූ කරුණා හෙවත් මුරලිදරන් මැතිතුමා එදිනම පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය ද පාවිච්චි කළේය. (මෙම ජාතික ලැයිස්තුව ඇති කරන ලද්දේ, සමාජයට සේවයක් කල හැකි, එහෙත් ජනප‍්‍රිය මැතිවරණ දේශපාලනයට සම්බන්ධ නොවන විද්වතුන් සහ වෘත්තිකයන් ව්‍යවස්ථාදායකයට පත්කරනු පිණිසය.)එපමණක් නොව ‘‘අපි අතීතයේ සිදු වූ සියළු දේවල් අමතක කරමු’’ යැයි කීවේය.

අතීතය යැයි ඔහු කියන්නේ කුමන අතීතය ගැනද? බොහෝ සිංහල ජනමාධ්‍ය සහ සමහර ඉංග‍්‍රීසි ජනමාධ්‍ය කරුණා හඳුන්වාදීමට කැමති ප‍්‍රභාකරන්ගේ ‘දකුණු අත’ වැනි ඔහුගේ හොඳම ගෝලයා ලෙසය; ප‍්‍රභාකරන් ගැන සියල්ල දන්නා පුද්ගලයා ලෙසය; කැලේ නසන්නට කැලේ ගසක්ම ඕනෑ වන්නා සේ එල්.ටී.ටී.ඊ ය විනාශ කරන්නට පාවිච්චි කළ හැකි පොර(ව)ක් ලෙසය. සමහර විට ඔහු අතීතය යැයි කියනු ඇත්තේ සිංහල ජනමාධ්‍ය විසින් ම කලකට ඉහත වාර්තා කර, අපි ‘සත්‍යය’ වශයෙන් පිළිගෙන සිටි සිදුවීම් පිළිබඳ විය යුතුය.

උදාහරණ ලෙස...
1. අරන්තලාවේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේ ඝාතනය කිරීම
2. යුද්ධයට මායිම් වූ ගම්මානවල සිවිල් වැසියන් ඝාතනය කිරීම
3. තමන් වෙත භාරවූ පොලිස් නිලධාරීන් අටසියයක් දෙනා ඝාතනය කිරීම

එහෙමත් නැතිනම්, එල්.ටී.ටී.ඊ සංවිධානය පාවාදී රජයේ හමුදාව සමඟ එක්ව කළා යැයි වාර්තා වන සිදුවීම් පිළිබඳ විය යුතුය.

උදාහරණ ලෙස.....
1. නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ පැරා මිලිටරි කණ්ඩායමක් පවත්වා ගෙන යාම
2. බාලවයස්කාර ළමයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම
3. පැහැරගෙන යාම්, අතුරුදහන් කරවීම්, වධහිංසා පැමිණවීම් සහ මනුෂ්‍ය ඝාතන

ඉහත සඳහන් චෝදනා සියල්ල තවමත් චෝදනා පමණක් බවත්, ඒවා ඔප්පු වී නැති බවත් එබැවින් නිර්දෝෂීභාවයේ පුර්ව නිගමනය මත ඔහු නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතු බවත් කියන ක්ෂමාලාපකයින් දැන් ඉදිරියට එනු ඇත. එහෙත්, අප ජීවත්වන්නේ රජය අපකීර්තියට පත් කරන සුළු ලේඛනයක් ප‍්‍රකාශ කළාය යන සැකය මත පවා පුද්ගලයෙකු දින නියමයකින් තොරව රඳවා තබා ගත හැකි තරම් බරපතළ ත‍්‍රස්ත මර්දන නීති ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයකය. එබැවින් ඉහත චෝදනා සම්බන්ධව පරීක්ෂණයක්වත් නොපැවැත්වීම විධායකය විසින් ගනු ලබන තීරණයකි. (අපට ඕන නම් නඩු දානවා, නැත්නම් දාන්නේ නෑ.) ඇම්නෙස්ටිය නොදන්නවා විය හැකි වුවත් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන වන්නේ ඔවුන්ට ස්වාධීන වන ලෙස ආණ්ඩුව විසින් කියා සිටින අවස්ථාවලදී පමණකි.

දෛවයේ සරදමකට මෙන් මෙම නව මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවට සම්ප‍්‍රාප්ත වන්නේ, ඔහුට විරුද්ධව ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය වෙනුවෙන් සටන් මෙහෙයවු සෙන්පතියෙකු වන මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ලක් වී අවසන් ගමන් ගිය දිනයේය.

ජානක පෙරේරා යනු ලංකාවේ සම්මානිත යුධ වීරයෙකි. වැලිඔය සටනේදී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් පන්සියයකට අධික පිරිසක් ඝාතනය කරමින් එක සටනකදී වැඩිම ගරිල්ලන් පිරිසක් මරා දැමීමේ වාර්තාවට හිමිකම් කියන්නෙකි. ජනතා විමුක්ති පෙරමුණ විසින්ද අසීරුවෙන් අමතක කර ඇති නමුත්, ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර මහතාගෙන් ‘‘ඔයාද විජේවීර?’’ යනුවෙන් අසා අත් අඩංගුවට ගත් පුද්ගලයාය. චන්ද්‍රිකා ආණ්ඩුව විසින් පැරණි මිනී වළවල් හෑරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු, මනුෂ්‍ය ඝාතන චෝදනා මත අධිකරණයට කැඳවූ පසු, අධිකරණය විසින් ” ජාතික වස්තුවක් ” ලෙස ගෞරවාදරයට ලක් කළ පුද්ගලයෙකි.

අවසානයේදී කිසිඳු හමුදා කඳවුරකට ඇතුළුවීම පවා ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ සිටි ඔහු ඝාතනයට ලක් වූයේ උතුරු මැද පළාතේ විපක්ෂ නායකයා ලෙසත්, ආණ්ඩුවට විපක්ෂ දේශපාලකයෙකුත් ලෙසිනි.

දැන් නැවතත් අපේ මූලික ප‍්‍රශ්නයට පිවිසෙමු. අපේ අදහස මේ මොහොතේ කරුණා පාර්ලිමේන්තුවට පත්කළේ මන්ද යන්න විෂය මූලිකත්වය තුළ සෙවීමෙන් පළක් නොවන බවයි. සමහරවිට මෙවැනි සිදුවීම් සිදුවන ලෝකයේ එකම රට ලංකාව වීමට පුළුවන. එයට හේතුව වසර 2500 ක් පැරණි අපගේ නිකැළැල් ශිෂ්ටාචාරය වීමට පුළුවන. අප පැවත එන්නේ ‘අබා’ ගේ පරපුරෙනි. අපට කළ නොහැක්කක් නොමැත. අපගේ වැනි රටවල් අතීතය පුරා දැක ඇත්තේ ‘සතුරන් ’ පමණක් බවත්, අපට ශිෂ්ට ‘අනෙකෙකු’ සිට නොමැති බවත්, හෙගල් නම් දාර්ශනිකයා පවසා ඇති අතර අවශ්‍ය නම් අපට හෙගල් යනු යුදෙව් චින්තකයෙකු යැයි කියා ගර්හා කළ හැකිය.

එසේ නම්, යුධ අපරාධකරුවකු වශයෙන් චෝදනා ලැබිය හැකි මට්ටමේ සිටින කරුණා පාර්ලිමේන්තු යැව්වේ ඇයි? අප යෝජනා කරන්නේ මෙම තීරණය ගන්නා ලද්දේ වෙන හේතුවක් නිසා නොව ජනතා විමුක්ති පෙරමුණෙන් පළි ගැනීමට බවයි. පසුගියදා පාර්ලිමේන්තුවේ ‘කෝප් ’ කමිටුවේදී ජ.වි.පෙ. පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතාට අභියෝග කළෝය. පසුගිය අවුරුදු තුන තිස්සේ වෙනත් අයට අභියෝග කිරීමට මිස අභියෝගයට ලක්වීමට පුරුද්දක් නැති බැසිල් මහතාට මෙයින් විශාල කෝපයක් ඇතිවිය. ඒ අනුව දශක හතරක් තිස්සේ රටට කිසිවක් නොකළත්, ‘තම පිරිසිදු’ බව ගැන වඩාත් සවිඥානික සහ එය ආරක්ෂා කර ගැනීමට විශාල වශයෙන් වෙහෙසෙන ජ.වි.පෙ ට ගිවිසුම අනුව හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය කරුණාට ලබාදීම මඟින් ජ.වි.පෙ ලැජ්ජාවට පත් කළේය. මෙම පුද්ගලික පළි ගැනීම තුළින් මිස වෙනත් ආකාරයකින් කරුණා පත් කිරීම තේරුම් කිරීමට නොහැකිය.

මෙම පත්කිරීම ගැටලූවක් වන්නේ ‘සමහරුන්ට’ පමණක් යැයි අප ලිව්වේ ඇයි දැයි පැහැදිලි කරමින් මේ ලිපිය අවසන් කරමු. එයට හේතුව විශාල පිරිසක් මේ වන විට ” ඔහොම යං, ඔහොම යං ” කීමට හෙවත් මේ සිදුවන ක‍්‍රියාවලිය යුක්ති සහගත යැයි කීමට තීරණය කර තිබීමයි. ඔවුන්ට අනුව තමන් අතීතයේ කළ කී දේ සියල්ල සමඟ තමාද විනාශ වුවත් ඔහොම ම ඉදිරියට යා යුතුය. ඒ අයට මෙය කිසිඳූ ප‍්‍රශ්ණයක් ඇති නොකරයි. ඔබට නිදසුන් අවශ්‍ය නම්, සතියේ දිනවල උදේට ලක්හඬ අහන්න, සති අන්ත පුවත්පත්වල දේශපාලන විග‍්‍රහය කියවන්න.

back to HOME....

ඉදිරිය තව භයානකයි......

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්

ඔබ හිතන්නේ මම ඔබ එක්ක කලාව ගැන කතා කරන එකද වඩා සුදුසු? නැත්නම් දේශපාලනය ගැන කතා කරන එකද?
මට හිතෙන්නේ දේශපාලනය විසින් සියල්ලම අවසන් කරල තියෙන මොහොතක කලාව ගැන කතා කළත්, දේශපාලනය ගැන කතා කළත් දෙන්න තියෙන්නේ එක හා සමාන උත්තරයක්.කලාවේ විනාශය ගැන කතාකරනවාද ? කලාවේ දේශපාලනය විසින් සමස්ථයට කරන ලද විනාශය ගැන කතා කරනවාද කියන එක අද ප‍්‍රශ්ණයක්. ඇත්තටම අපිත් ඉන්නේ ඔබ අහන ප‍්‍රශ්නයෙන් කෝකට උත්තර දෙනවද කියන එක නිශ්චය කරගන්න බැරුව.

අද දවසේ දේශපාලනය ගැන කතා කරන එක වඩා වැදගත් කියලා මම ඔබට යෝජනා කළොත්......
දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? අද දේශපාලනය කියලා කිසිදෙයක් නැහැ. අද තියෙන්නේ මිනිස්සු තුන්වේල කන්නේ කොහොමද කියලා හිතන තත්වයක්. මිනිස්සු සත්තු වගේ මොනව හරි කරල ජීවත් වෙන්න උත්සාහ කරනවා.

ඔබ කලාව තුළින් රටේ යම්කිසි වෙනසක් කිරීමට උත්සාහ දරපු කෙනෙක්. අද වනවිට කලාවට හිමිවෙලා තියෙන තැන මොකක්ද ?
අද කලාවටත් රටේ වෙනස් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි දොට්ට බැහැපු 70 දශකයේ තමයි කලාකාරයෝ බිහිවුණේ. අපිට ඉතිහාසයක් තියෙනවා. මේ ඕපපාතික බිහිවීමක් නෙවෙයි. 60-70 දශකවල අපි කරපු කලාත්මක නිර්මාණවලට සමගාමීව දේශපාලනයක් තිබුණා. 89 ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කෝලාහල මැද්දෙ මම කරපු ධවල භීෂණ, ඉන් පස්සේ දැවැන්ත පැසිස්ට් වාදයට මේ රට තල්ලූ කරගෙන යන වෙලාවෙ කරපු යක්ෂාගමනය, ඒකාධිපති වගේ නාට්‍ය නැරඹූ අය දන්නවා අපිට තිබුණ වේදනාව මොකක්ද කියලා. ඒත් අද කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් තත්වයක් රටේ නැහැ. වුවමනාවකුත් නැහැ. ඉවසීම අංක එක බවට පත් වෙලා. සිංහල සමාජයේත්, දෙමළ සමාජයේත්, සමස්ථ ශ‍්‍රී ලංකාවේත් බහුතර පිරිසක් තීරණය කරල තියෙන්නේ රටේ දැන් තියෙන තත්වය අභිබවා යන්න නෙවෙයි. ඒකත් එක්කම ජීවත් වෙන්න.

ඔබේ දැක්මට අනුව අද රට ගමන් කරන දිශාව මොකක්ද ?
මට හිතෙන්නෙ කොයිම දිශාවක්වත් නැහැ. ගොඩනැඟිලි හැදෙනවා. පාරවල්, ගුවන් පාලම් ඉදිවෙනවා. මිනිස්සු ඕව උඩ නැඟලා අහසට යන්න කල්පනා කරනවා හැර වෙන මාවතක් ගැන හිතන බවක් පේන්න නැහැ. තමන්ගෙ පරම්පරාවෙන් පස්සෙ ඊළඟ පරම්පරාවට විදින්න වෙන විනාශය ගැන කිසි මිනිහෙක් හිතන්නෙ නැහැ. මේ මනුෂ්‍ය සමාජයේ මම තෝරගත්ත විෂය කලාව. වෙන විෂයක් තෝරගත්ත නම් අපේ ඊළඟ පරම්පරාවට, රටට වෙන විනාශය ගැන වේදනාව මීට වඩා අවම විදිහට දැනෙන්න තිබුණා.

රාජ්‍ය මතවාදය ජාතිවාදී වීම ඔබ දකින්නෙ කොහොමද ?
රාජ්‍ය මතවාදය ජාතිවාදී වීම ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. රාජ්‍ය මතවාදය අපි නිදහස ලබා ගත්ත තැන ඉඳලම ජාතිවාදියි කියල දේශපාලන ඉතිහාසය හදාරන කොට තේරෙනවා. එදා ඒක වළක්වා ගන්න බැරිවීමේ විපාක ඵලය තමයි අපි අද මේ විඳින්නෙ. 56 යේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ සිංහල පමණක් රාජ්‍ය මතවාදය කිරීම කියන ජනප‍්‍රිය මතවාදයේ ඉඳන් මේ වන තෙක් රටේ දේශපාලන ඉතිහාසය ගත්තොත් අද සිද්ධවෙන සියල්ල 50 දශකයේත් සිදුවුණා. අද කිසි මිනිහෙක් ඒගැන කතා කරන්නෙ නැහැ. අද ඉන්න භික්ෂූන් වහන්සේලා මේ අද ඊයේ උපන්නා වගේ කතා කරන්නෙ. මේ ගැටලූ ඔක්කොම වර්ධනය කරලා තියෙන්නෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා. අපේ ඉතිහාසය පුරාම තියෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ලබා ගත්ත බලයක්
නෙවෙයි. බලහත්කාරයෙන් තර්ජන, ගර්ජන වලින් බලෙන් උදුරා ගත් බලයක්. නැත්නම් ඝාතනය කරල බලය ලැබීමක්. අද දැවැන්ත දේශප්‍රේමීන් විදිහට කතාකරන මිනිස්සු නැවත ඉතිහාසය තුළින් උත්තර දෙන්න ඕනෙ.ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවො කියන්නෙ දෙමළෙක්. බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව පෙනී හිටපු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව අල්ලා දෙන්නෙ කවුද? සිංහල නිලමේවරු, අධිකාරම්ලා. මේ ප‍්‍රතිවිරෝධාත්මක මානසික තත්වය මුළු ඉතිහාසය පුරාම එනවා. දැන් මහාවංශ කතෘවරුන්ගේ නිගමන අනුවනේ අපේ මිනිස්සු ඉතිහාසය කියවන්නෙ. ඒ නිසා ඉතිහාසයේ සම්භවය තුළ අපි පැවත එන්නෙ විජයගෙන් කියනවානම් අපිට කියන්න පුළුවන් ඒ කතාව හරි කියලා. හේතුව විජය කියන්නෙ සිංහයෙකුට දාව උපන් පුතෙක්. ඒ සිංහබාහු සහවාසයේ යෙදෙන්නෙ සිංහසීවලී එක්ක. ඒ කියන්නෙ අයිය-නගෝ සහවාසය. ඒකෙ ප‍්‍රතිඵලය විකෘතියක්නෙ. ඒ විකෘති ප‍්‍රතිඵලය විජය නම්, අපි ඔහුගෙන් පැවත එනවා නම්, මේ වර්ථමානය ඉතාම නිවැරදියි.

රටේ දැනට තියෙන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් වපුරන ජාතිවාදී මතවාදය නිසා සිංහල-දෙමළ මිනිස්සු තවදුරටත් දුරස්ථවීම කලාකරුවෙක් විදිහට ඔබ දකින්නෙ කොහොමද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කලින් 94 චන්ද්‍රිකා ආණ්ඩුවත් ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් කියලා විශ්වාස කරපු මිනිස්සු අතර අපිත් හිටියා. පස්සෙ ඒ විශ්වාසෙට මොකද වුණේ.දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේසා විශාල ජාතිවාදී පදනමකට යනවා කියලා අපි විශ්වාස කරනවානම් ඒ අර චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසාන භාගයේ ලියන ලද න්‍යාය පත‍්‍රයේ කොටසක් මිස අලූත් දෙයක් නෙවෙයි. චන්ද්‍රිකා යන්න ගිය දිශාන්තය වෙනස් කරලා සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට හැරෙව්වෙ ඒක ඇතුළට ගිය ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදයයි. ඒ දිශාන්තය වෙනස් කිරීමේ ඵල විපාක තමා මේ. චන්ද්‍රිකා විතරක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම අවස්ථාවාදය තුළ තමා බලය රැකගෙන තියෙන්නෙ. වර්තමානය කියන්නෙ ඉතිහාසය විසින් ඇතිකරන ලද තත්වයේ එක අවස්ථාවක් පමණයි. මේකෙ භයානකම අදියර උදාවෙන්නෙ තව ඉදිරියට. අපි හිතනවා මේක තමයි භයානකම අවස්ථාව කියලා. නමුත් දශකයෙන් දශකය අපි පසුකරන්නෙ දැවැන්ත විනාශයක් කරා.

යුද්ධය අවසන් වෙනවානම් ජීවන වියදම කොතරම් ඉහළ ගියත් කමක් නැහැ කියමින් බහුතර ජනතාව පසුගිය මැතිවරණ වලදී රාජ්‍ය මතවාදයට පක්ෂව ඡන්දය දුන්නා. මෙය ඔබ වැනි මානව හිතවාදීන්ගේ මතය පසුබෑමකට ලක්වීමක් නේද?
ඇත්තටම අපි දැන් ජීවත් වෙන්නෙ සුළු ජාතියක් විදිහට. අද අපිට දෙමළ මිනිසෙකුගේ ප‍්‍රශ්නයක් ගැන එකඟ වූ දේශපාලනයක නොපිහිටා කථාකරන්න අවසර නැහැ. බහුතරයක් තමන්ගේ බලය වඩා ගැනීම සඳහා ඇතිකරගත්ත ස්ථාවරයක් තියෙන්නෙ. මේක ස්ථාවරයක් නෙවෙයි බඩගෝස්තරවාදය. අපි කලාකාරයෝ. අපිට වටින්නෙ යාන-වාහන, නිල බලය නෙවෙයි. ප්‍රේක්ෂකාගාර වටකරගත්ත රසිකයෝ. ඒ නිසා ඉතා අමාරුවෙන් මේ කාලකණ්ණි වර්ථමානය ඇතුළේ මනුස්සකම රැකගෙන ඉන්නවා.

මේ අභියෝගයට අපි මුහුණ දෙන්නෙ කොහොමද ?
දැන් මිනිස්සු එකඟවෙලා තියෙන්නෙ බඩගින්නේ හිටියත් කමක් නැහැ යුද්දෙ කරමු, ගහලා විනාශකරමු, රට අපේ කරගමු කියන මතයට. දැන් සමාජය ඉදිරියට යන්නෙ අපි මෙහෙම තනියෙන් හුදකලාව කථාබහ කරන එක නෙවෙයි. පාර්ලිමේන්තුවේ, නැත්නම් දේශපේ‍්‍රමී සංවිධානයක් හදාගෙන ගිරිය යටින් පුප්පගෙන කරන කෑකෝ ගැහිල්ල. මිනිස්සු දන්නවා තමන් එකතුවෙලා ඉන්නෙ බොරුව වටා කියලා. ඒත් එහෙම ඉන්න සිද්ධවෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ අසරණකමට. දැන් බඩගින්නෙ තුන්වේලක් හිටපන් කීවොත් තුන්වේල බඩගින්නෙ ඉන්න තරමට මිනිස්සු යටහත් පහත් වෙලා ඉන්නෙ. අද අපි ඉදිරියේ තියෙන ප‍්‍රධානම අභියෝගය තමයි නිහඩව ඉඳීමෙන් තමයි මේ තත්වයට මුහුණදෙන්න පුළුවන් කියලා හැම මිනිහෙක්ම විශ්වාස කිරීම. මීට පෙර දශකවල මිනිස්සු බල ඒකාධිකාරයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා දැක්වුවා. මේ system එකේදී එක මිනිහෙක් යෂ්ටිය අරන් තව මිනිහෙකුට දෙනවා. අපි අපි ගැන නෙවෙයි, දැන් ඊළඟ පරම්පරාව ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ කලා නිර්මාණ කි‍්‍රයාවලිය සඳහා තියෙන නිදහස ප‍්‍රශ්න කිරීමකට ලක් වෙලා තියෙද්දී කලාකරුවෝ කියාගන්නා කොටස් ඒ මතවාදය ශක්තිමත් කරනවා වර්තමානයේ. අපි ඉන්න 21 වන සියවසේ ලෝකය පුරාම කලාකරුවෝ එවැනි දේ ප‍්‍රතික්ෂේප කරද්දී ලාංකීය භූමියේ කලාකරුවෝ බහුතරයක් ඒක අනුමත කරනවා.

වර්තමානයේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම දේශීය හා ජාත්‍යයන්තර රාජ්‍ය නොවන සංවිධානවල කාර්යයක් බවට පත් වෙලා. නමුත් එවැනි මැදිහත් වීම් වලින් තොරව මානව හිමිකම් රැකගන්න අවශ්‍යතාවක් සමාජයේ ගොඩනැඟෙන්නෙ නැත්තේ ඇයි ?
මං හිතන්නෙ ඔයා මතු කලේ වැදගත් කාරණයක්. එහෙම අවශ්‍යතාවක් මතු නොවෙන්න හේතුවන කාරණා කිහිපයක් තියෙනවා. අපේ සිවිල් සමාජය තුළ තියෙන ප‍්‍රශ්නයක් තමයි රට මේ වගේ අර්බුදයකට යනකොට මිනිස්සු හුදකලා වීම. මිනිස්සු තනි තනි පුද්ගලයෝ විදිහට සමාජයේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ තමන් විඳපු අත්දැකීම්වල ප‍්‍රමාණය අනුව. දැන් පාරේ ඇවිදින මිනිස්සු දැකපුවාම මට හිතෙන්නෙ මිනිස්සු රෝගී තත්වයකින් පෙළෙනවා කියලා. කොයි මොහොතෙද තමන් මැරෙන්නෙ කියල මිනිස්සු භීතියෙන් ඉන්නෙ. මේක පොඩි ප‍්‍රශ්නයක් නෙවෙයි. ඊළඟ කාරණය 1983 අපේ ඇස් පනාපිට දෙමළ මිනිස්සු මුහුණ දුන්න අවාසනාවන්ත තත්ත්වය. ඒ තැති ගැන්ම අද වෙනකම් ඔවුන්ගේ ඔලූවලින් ගිලිහිලා නැහැ. එදා මේ රටෙන් පිට වෙච්ච ජනතාව අද අපි අතවැනුවත් ‘මෙහෙ ඇවිල්ලා හිටපන් ’ කියලා නැවත මේ රටට එනවා තියා ඔවුන් එවැන්නක් හිතන්නෙවත් නැහැ. ඊට පස්සෙ 89 කලබල. එදා මේ රණවිරුවෝ concept එක වැඩ කලේ නැත්තෙ ඇයි? එදත් ජාතිය බේරා ගැනීම, රට බේරා ගැනීම, පැවති ආණ්ඩුව බේරා ගැනීම ආදී සියල්ලම කළේ රජයට අනුයුක්ත හමුදා ඒකක විසින්. ඇයි අපි එදා ඔල්වරසන් නැඟුවෙ නැත්තෙ. එදා තිබුණෙ සිංහලයා සිංහලයාට එරෙහිව කරපු සටනක්. ඒක සිංහල ආධිපත්‍ය යටතේ සිංහලයා දෙමළට එරෙහි වෙනවාට වැඩිය බරපතල තත්වක්. ඇයි ඒක එදා දෙබසක් විදියට නොගත්තේ. එදා එය හැමෝම දරාගත්තා. බිරිඳ මලා, සැමියා මළා, දරුවො මළා. ලංකාවේ කොයි අධිකරණයේද නඩුවක් ඇහුවෙ ඒක ගැන.

ත‍්‍රිකෝණි කියන්නෙ මොකක්ද? ත‍්‍රිකෝණි හරහා සිදුවෙන කාර්ය මොකක්ද?
ත‍්‍රිකෝණි කියන්නෙ කොන් තුනයි. වාර්ගිකත්වය, කලාව හා මනුෂ්‍යත්වය මත පදනම් වූ කියන අර්ථයෙන් ත‍්‍රිකෝණි දැක්විය හැකියි. නිර්මාණාත්මකව කටයුතු කිරීමට නිදහස නැතිවෙලා තියෙන මේ මොහොතේ මම ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ වාර්ථා චිත‍්‍රපටියක් නිර්මාණය කරනවා. ඒක අධ්‍යාපනික වාර්ථාකරණයක් ”පාරාදීසයක කඳුළු” කියලා. මේ මාසයේ අන්තිම වෙනකොට ඒක එළියට එනවා. ජනතාවට ඔබ පසුකර දිවෙන්නෙ කුමන අතීතයක්ද කියන තොරතුරු පැහැදිලි කරදීමේ ක‍්‍රියාවලිය විතරයි අප විසින් කරන්නේ.

Thursday, October 2, 2008

ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා

මනෝ ගනේෂන්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
බස්නාහිර ජනතා පෙරමුණ
සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්

ආණ්ඩුවේ වර්තමාන ගමන් මඟ ගැන ඔබේ අදහස කුමක් ද?
අද මේ රටේ පෙරමුණු දෙකක් තියෙනවා. දේශපාලන පෙරමුණ හා මානව හිමිකම් පෙරමුණ. ආණ්ඩුව මේ පෙරමුණු දෙකෙන්ම තමන්ගේ ගමන වරද්දගෙන තියෙන බවයි මගේ අදහස.

අද සාමාන්‍ය ජනතාව සෑම ආකාරයකින්ම දැඩි පීඩනයකට හා භීතියකට ලක්ව සිටියදීත් ජනතාව විසින් ආණ්ඩුව දිගින් දිගටම කරගෙන යන මෙම වැඩ පිළිවෙළට සහයෝගය දීම ඔබ දකින්නේ කොහොමද?
ජනතාවගේ සහයෝගය ලැබෙන ආකාරය දැකිය හැකි බුද්ධිමත්ම, සාධාරණම ක‍්‍රමය මැතිවරණය. පසුගිය උතුරු-මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයේදී අණ්ඩුව ජයග‍්‍රහණය කළා. එම මැතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබදව යම් යම් ගැටළු තිබුණත් අපි ඒ ප‍්‍රථිඵල පිළිගන්නවා. අණ්ඩුව මෙම මැතිවරණයේදි යොදාගන්තේ ‘යුද්ධය’ කියන සාධකය. නමුත් එසේ තිබියදීත් ඔවුන්ට 100% කම ජයක් ලබා ගන්නට නොහැකි වුනා. එක්සත් ජාතික පක්ෂය සමඟ අපි ඇති කරගත් සන්ධානයට බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවු පරිදි ඡන්දය දී තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ හැර. විපක්ෂයේ ජන්ද පදනම කිසිසේත්ම අඩු නොවී වැඩි වී තියෙනවා. ඒනිසා මම කියන්නෙ නැහැ ජනතාව 100%ක් සම්පුර්ණයෙන්ම ආණ්ඩුවට සහයෝගය දෙන බව.

පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව යුද්ධය කිරීමට ජන වරමක් ඉල්ලූවා. ඒ අවස්ථාවේ දී අනිත් ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැරුවේත් "යුද්ධය කළ යුතුයි, නමුත් මීට වඩා හොඳ ආකාරයකින් ” කියන අදහස. මෙහිදී පැහැදිලි වන්නේ ආණ්ඩු පක්ෂයේ මතවාදයට විරුද්ධ පක්ෂත් අනුකූලතාවක් දැක්වූවා කියන එක නේද ?
නැහැ. අද අපේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් තියෙනවා. මේකට විසදුම් සොයන ආකාරය ගැන හැමෝම කල්පනා කරනවා. එක් එක් අය විවිධ මතවාදයන් යෝජනාවන් ඉදිරිපත් කරනවා. ජ.වි.පෙ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා ආණ්ඩුවේ ප‍්‍රබලයෝ ප‍්‍රකාශ කරන්නේ යුද්ධය කරමින් දේශපාලන විසඳුමකට පැමිණිය යුතුයි කියා. තවත් සමහර අය ප‍්‍රකාශ කරන්නේ යුද්ධය නතර කර දේශපාලන විසඳුමකට පැමිණිය යුතු බවයි. බස්නාහිර ජනතා පෙරමුණ විදිහට අපි ඉන්නේ එතැන. වසර පණහක් හැටක් පුරා පැවති මේ ගැටළුවට විසඳුමක් ලබා ගන්න තැනටයි අපි යන්නේ. මේ නිසා එක් මැතිවරණයකදී එක් එක් පක්ෂයන් මේ විදිහට මත ඉදිරිපත් කර තිබෙනවා කියා අපට කොටු කරලා බලන්න බැහැ. මොකද මැතිවරණ තාවකාලික අවස්ථා. ඒවායේ අභිලාෂයනුත් තාවකාලිකයි. නමුත් අපි යන්න ඕන ගමන දිග ගමනක්.

බස්නාහිර ජනතා පෙරමුණ කියන පක්ෂය සෑදීමේ අරමුණ කුමක්ද?
මම දේශපාලනයට එන කොට උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට නායකත්වයක් තිබුණා. කඳුකර දෙමළ ජනයාට නායකත්වයක් තිබුණා. නමුත් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙන විශාල දෙමළ ජනකායට නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසයි බස්නාහිර ජනතා පෙරමුණ නමින් පක්ෂයක් පටන් ගත්තේ. නමුත් අද අපි බස්නාහිරින් පිටතට ගිහින් කඳුකරයේත්, උතුරු නැගෙනහිරත් පක්ෂය නිර්මාණය කරල ඉවරයි. පසුගිය සබරගමුව මැතිවරණයේදී පාවිච්චි වු දෙමළ ඡන්ද වලින් 62% ක් අපේ පක්ෂයේ අපේක්ෂකයන්ට ලැබී තිබෙනවා. පාරම්පරික ලංකා කම්කරු කොංග‍්‍රසයටත් 20%යි ලැබී තිබුණේ. කඳුරට ජනතා පෙරමුණට ඡන්ද එක්දහස් හාරසීයයි. අපි අද ඔවුන් ඒ මට්ටමට වට්ටලා ජයග‍්‍රහණය කර තියෙනවා. ඒනිසා දැනටමත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් ඇවිත් තියෙනවා පක්ෂයේ නම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ ලෙස වෙනස් කරන්න කියලා.

ඔබ සිතන අන්දමට දකුණේ ජීවත් වන ජනතාවට මේ වන විට මුහුණ දීමට ඇති ප‍්‍රධානතම අභියෝගය කුමක්ද?
සමස්ත දෙමළ ජනතාවටම උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර කියා වෙනසක් නැතුව අභියෝග තියෙනවා. දෙමළ වීම නිසාම දුක් පීඩාවට පත් වෙනවා. රටේ යුද්ධයක් පවතින නිසා සෑම දෙමළ මිනිහෙක්ම ත‍්‍රස්ත විරෝධියෙක්, ආණ්ඩු විරෝධියෙක් ලෙස දකින වාතාවරණයක් දැන් පවතින්නේ. ජාතික හැඳුනුම්පතක්, පොලිස් ලියාපදිංචියක් තියෙනවා නම් දෙමළ මිනිහෙක් අත් අඩංගුවට ගන්නේ නැතැයි යන තත්වය අද වෙනස් වෙලා ඒ දෙකම තියෙද්දීත් දෙමළ වීම නිසාම සැකයට බඳුන් වී අත් අඩංගුවට ගැනීම විශාල ලෙස අද දකින්න තියෙනවා. දෙමළ වීම නිසාම අද විශාල අභියෝගයක් කොතන වුනත් අපිට තියෙනවා.

අතුරුදහන් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට රටේ පොලීසිය, අධිකරණය, මානව හිමිකම් කොමිසම ආදිය තිබියදීත් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ඔබට වෙනම සංවිධානයක් පිහිටුවා ගැනීමට සිදු වුයේ ඇයි?
ආණ්ඩුවේ සහ ආණ්ඩුව වග කිව යුතු අනිත් ආයතනවල වැඩපිළිවෙල බිම් මට්ටමට ඇද වැටී අක‍්‍රිය වීම නිසයි අපට මෙයට මැදිහත් වී වගකීම බාර ගන්න සිදු වුනේ. ඇත්තෙන්ම මම පාරම්පරික මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් නෙවෙයි. නමුත් 2006 මැද භාගයේදී මේ රටේ විශාල ලෙස අතුරුදහන් වීම්, නීති විරෝධී මරා දැමීම්, කප්පම් ගැනීම්, තර්ජන, හිතුවක්කාරී ලෙස අත් අඩංගුවට ගැනීම් සිදු වන විට විශාල ලෙස පීඩාවට පත් වුනේ දෙමළ ජනතාව. මේ අය වෙනුවෙන් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන වලට යා හැකි වුයේ එක්තරා දුරකට පමණයි. හේතුව ඊට එරෙහිව හඬ නඟන තැනැත්තන් පවා මරා දමන භයානක තත්වයක් ඒ කාලෙ තිබුණ නිසා. එදා පාරම්පරික මානව හිමිකම් සංවිධාන වලට තමන්ගේ වැඩපිළිවෙල කාමරවල පමණක් පවත්වා ගෙන යාමට සිදුවුණා. ඒනිසා ඒ අභියෝගය මම භාරගත්තා. මගේ මිත‍්‍රයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් සහ මම එකතු වෙලා 2006 සැප්තැම්බර් 16 දා කොළඹ පැවති පොඩි රැස්වීමකදී සිවිල් අධීක්ෂණ කමිටුව අපි නිර්මාණය කළා. ඉන් දින පණහකින් රවිරාජ් ඝාතනය කළා. නමුත් මම අභියෝගය අත් හැරියේ නැහැ. කවුරුන් හෝ මේවාට විරුද්ධව නැගිටලා කටයුතු කළ යුතුයි.

සිවිල් අධීක්ෂණ කොමිසම අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් සිදු කරන ක‍්‍රියාවලිය කුමක්ද?
අපි පැමිණිලි භාරගෙන ලැයිස්තු ගත කරනවා. ඒ වාර්තා ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට යවනවා. රටේ ආණ්ඩුව, පොලීසිය හා කොළඹ තියෙන ජාත්‍යන්තර සමාජයේ නියෝජිතයන්ව දැනුවත් කරනවා. එක්සත් ජාතීන්ගේ සම්බන්ධය තියෙන working group එකට වාර්තා කරනවා. ඒ වගේම අතුරුදහන් වුවන්ගේ පවුල්වල අය එකතු කරගෙන විවිධ අවස්ථාවන් නියෝජනය කරනවා. ඉතාම දුෂ්කර වාතාවරණයක් මැද මේ ව්‍යාපාරය අප ඉදිරියට කරගෙන යනවා. මෙහිදී අපි කාර්යයන් දෙකක් කරනවා. එකක් අතුරුදහන් වුවන් පිළිබඳ සොයා බැලීම හා ඉදිරියට මෙවැනි ක‍්‍රියා සිදුවීම අඩු කිරීම. අප සමහර අවස්ථාවල පොලීසියේ හෝ වෙනත් තැන්වල නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටි පුද්ගලයන් සොයා ගැනීම වැනි ජයග‍්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ තුළින් හිතුවක්කාරී විදිහට පාරේ යන බල්ලෝ වගේ දෙමළ ජනයාව අල්ලගෙන යන නීතිවිරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් ගෙනයාම නිසා එවැනි දේ මට්ටු කිරීමට හැකි වී තියෙනවා.


ඔබ සිවිල් සමාජයේ හා දේශපාලන සමාජයේ එකවර පෙනී සිටින දෙමළ ජාතිකයෙක්. වර්තමානයේ මේ ක්ෂේත‍්‍ර දෙකේම වැඩ කරන අයෙක් විදිහට ඔබට තියෙන අභියෝග මොනවාද?
ඒ ගැන කථා කරන්න මම එතරම් කැමති නැහැ. මම හිතනවා එය කතා කිරීම සාධාරණ නැහැ කියලා. දැනට පෞද්ගලිකව තර්ජන එල්ල වු විට නීතිය යටතේ ආරක්ෂාව ලබා ගන්නට කටයුතු කරනවා. දේශපාලනික වශයෙන් ත‍්‍රස්තවාදියෙකු, කොටි ආධාරකරුවෙකු වගේ බොරු චෝදනා මට එල්ල වෙනවා. ආණ්ඩු පක්ෂයේ නිල පත්තරෙන් මට කොටි සංවිධානයට උදව් කරන බවටත්, ආයුධ සපයන බවටත්, පාතාලයට සම්බන්ධ කෙනෙක්, මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ලෙසත් චෝදනා කරනවා. මට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සම්මානයක් දුන් නිසා මම ඇමෙරිකානු න්‍යාය පත‍්‍රයට වැඩ කරන දේශපාලකයෙක් කියලා ආරක්ෂක ලේකම් චෝදනා එල්ල කලා. සිවිල් ආරක්ෂක කොමිසම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පවත්වා ගෙන යන නිසා අනෙක් රාජ්‍ය නොවන සංවිධාන වලට කියනවා වගේම මාත් ඩොලර්, යුරෝ ලබා ගන්න උත්සාහ කරන බවට චෝදනා එල්ල කළා. මේවා තමා මට තියෙන දේශපාලන අභියෝග. ඒවට මුණ දෙන්න මම සුදානම්. මම කොටි සංවිධානය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. පාතාල ලෝකෙ මොකක්ද කියල දන්නෙත් නැහැ. තුවක්කු, අවි-ආයුධ ගැන චිත‍්‍රපටි වල විතරයි දැකලා තියෙන්නේ. සිවිල් අධීක්ෂණ කොමිසමට අද වෙනකන් ඩොලර් එකක් හරි විදේශයෙන් අරන් නැහැ. එහෙම මුදල් ලබා ගන්නේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ. මගේ මුදල් වලිනුයි මේ ආයතනය කරගෙන යන්නේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අවතක්සේරුවට ලක් කරමින් ආණ්ඩුව යන මේ ගමනේ අනාගතය කුමක්ද?
මේ විදිහට ගියාම ආණ්ඩුව වැටෙනවා. මා මුලිනුත් කිවුව වගේ අවුරුදු දෙකක්, තුනක් තුළ ආණ්ඩුව ඉන්නේ කොතනද කියලා සීමා කරලා අපිට කියන්න බැහැ. එය සුළු කාලයක්.
අද වන විට මානව හිමිකම් විෂයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. පුද්ගලයන්ට එරෙහිව නීති විරෝධී ක‍්‍රියාවන් සිදු වෙනවා නම් ලෝක ප‍්‍රජාව එය හෙළා දකිනවා. ඒනිසා මොනම ආණ්ඩුවකටවත් නීතියට පිටතින් වෙන දේවල් සාධාරණීකරණය කරන්න බැහැ. රටේ කොතැනක හෝ කොටි සංවිධානය හෝ වෙනත් ත‍්‍රස්ත කල්ලියක් ඉන්නවා නම් ඒවාට රාජ්‍යයට හෝ ආණ්ඩුවට සමාන වෙන්න බැහැ. ආණ්ඩුව කියන්නේ ජාතික, ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන නීති රීති වලට යටත් වුණ ආයතනයක්. කොටි සංවිධානය මිනිසුන් පැහැර ගන්නවා, මරා දමනවා, කප්පම් ගන්නවා කියලා පෙන්නා දීලා ආණ්ඩුවට බේරෙන්න බැහැ. ආණ්ඩුව තමන්ගේ කි‍්‍රයාවන් හරහා ත‍්‍රස්ත ආණ්ඩුවක් විදියට තමන්වම පත් කර ගන්නවා කියලයි මම කියන්නේ. ජාත්‍යන්තර සමාජය පවා ආණ්ඩුව‘ආණ්ඩුවක් ලෙස හැසිරෙන්නේ නැහැයි කියනවා. බටහිර රටවල් විශේෂයෙන් ඇමෙරිකාව ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ප‍්‍රශ්න කරන විට ආණ්ඩුව ඇමෙරිකාවෙන් අහනවා ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ මානව හිමිකම් උල්ලංඝණය කරන තමුන්නාන්සේලාට අපෙන් ප‍්‍රශ්න කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට හෝ ඉරාකයට කරන දේ මමත් පිළිගන්නේ නැහැ. නමුත් මම අහන්නේ ඇමරිකාව එහෙම කරනවා කියලා ලංකාවට එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා තමුන් කරන වැරදි වහගන්න මේ කොටි සංවිධානයේ වැරදි, මේ ඇමරිකාවේ වැරදි කියලා ඇඟ බේරගන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා. මේ හැම දෙයකටම මූලික හේතුව වෙන්නෙ යුද්ධය. ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් වුවමනා වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ඒක ලබා දෙන්න කිසිසේත්ම අවංකව වැඩ කරන්නේ නැහැ.
ප‍්‍රභාකරන් මහතා අහසින් වැටුණේ නැහැ. 1983 ට පෙර සිට කොළඹ ආණ්ඩු බලය ලබා ගත් සිංහල සමාජයේ බහුතර බලය හිමි පක්ෂ කළ වැඩ නිසා තමයි යුද්ධය ඇති වුණේ. එදා දෙමළ ජනයා පාගලා දැමුවා. මේ නිසා දෙමළ තරුණයන් තුළ මතයක් ඇති වුණා මේ සඳහා පාර්ලිමේන්තුවේ විසඳුමක් නැහැ අතට තුවක්කුවක් අවශ්‍යයි කියා. එමඟින් තමයි කොටි සංවිධානය බිහි වුණේ. නැතුව කොටි සංවිධානය ජනවාර්ගික ප‍්‍රශ්නය නිර්මාණය කළේ නැහැ. එය වැරදි මතයක්.
88-89 කාලයේදි 13 වන සංශෝධනය නීතියක් විදිහට එනකොට ඊට විරුද්ධව කටයුතු කළ නිදහස් පක්ෂය අද එය කි‍්‍රයාත්මක කරන්න හදනවා. නමුත් 13 වන සංශෝධනය අලූත් දෙයක් නෙවෙයි. රටේ ව්‍යවස්ථාපිත නීතිය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, ජනාධිපතිවරු, ඇමතිවරු මේ තනතුරට ඇවිත් ඉන්නේ ඒ ව්‍යවස්ථාව පිළි අරගෙනයි. අද නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ගරු චන්ද්‍රකාන්තන් මහතා පොලිස් බලය හා ඉඩම් බලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනවා. මොවුන් ලබා දෙන්නේ නැහැ. චන්ද්‍රකාන්තන්ට, හිස්බුල්ලට නීතියෙන් තියෙන බලය ලබා දෙන්න බැහැ කියන මේ ආණ්ඩුව, තමන් සමඟ සිටින දේවානන්දලා, ආනන්ද සංගරීලා සතුටු කරන්න බැරි මේ ආණ්ඩුව, මනෝ ගනේෂන්ල, ප‍්‍රභාකරන්ල, සාමාන්‍ය දෙමළ ජනයා තෘප්තිමත් කරන්නෙ කොහොමද? ආණ්ඩුව හරි දේ, හොද දේ කරයි කියල කිසිම සහතිකයක් නැහැ. උතුරු නැගෙනහිර බහුලව ඉන්න, දෙමළ භාෂාව කථා කරන දෙමළ අයට මේ රටේ ප‍්‍රාන්තයක් හදලා දෙන්න ඕන. ඔවුන්ට ස්වයං පාලනයක් දෙන්න ඕන.
අද සිංහල භාෂාව කතා කරමින් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න සහෝදර සිංහල ජනයාට කියන්න ඉතිරි වෙලා ඉන්න එකම මන්ත‍්‍රීවරයා මම. මාවත් නැති කරන්න එපා. මම ආණ්ඩුවේ කොටස්කරුවෙක් නෙවෙයි. ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම උවමනාවක් මට නැහැ. නමුත් ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. මේ මගේ රට. මම මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ දෙවැනියා නෙවෙයි. යටත් වුවෙකුත් නෙවෙයි.