Thursday, November 13, 2008

ඔබ ඔබාමාට කැමති ඇයි?

සුදර්ශන ගුණවර්ධන
I
අවසානයේදී ඇමෙරිකානු ජනතාව කථා කළහ.එහි ප‍්‍රතිඵලය බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරී පත්වීමයි. (ලංකාවේ විද්යුත් මාධ්‍ය ඔහුගේ නම බැරැක් ලෙස වැරදියට උච්ඡාරණය කරයි.)
ඇමෙරිකානු ජනතාව සියලූ අපේක්ෂකයින්ටත්, ඔවුන්ගේ ගෝල බාලයින්ටත් ඇති පදම් කථා කරන්නට ඉඩ දී බලා සිටියෝය. සෑම වසර හතරකටම එක් වරක් කරන පරිදි ඉන්පසු ඔවුහු කථා කළහ. එවිට සියලූ දෙනා නිහඬ විය යුතුය.
2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද ඇමෙරිකානු ජනතාව කතා කළහ. එවර සටන පැවතුණේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අල් ගෝර් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් අතරය. නමුත් දින ගණනාවක් යනතුරුම ජයග‍්‍රාහකයා කවුරුන්දැයි තීරණය කළ නොහැකි විය. එවකට සිටි ජනාධිපති බිල් ක්ලින්ටන් එවිට උත්ප‍්‍රාසාත්මක ලෙස මෙසේ ප‍්‍රකාශ කළේය.

”ඇමෙරිකානු ජනතාව කතා කළා. ඒ වුණාට කිව්වේ මොකක්දැයි අපි දන්නේ නැහැ.”

එදා මෙන් නොව මෙදා ඇමෙරිකානු ජනතාව තම කැමැත්ත පැහැදිලිවම ප‍්‍රකාශ වන පරිදි කතා කළහ. අන්ත පරාජයකට පත් වූ රිපබ්ලිකන් පක්ෂයේ ජෝන් මැකේන් පරාජයේ වගකීම තමා විසින්ම භාරගෙන, නාහෙන් අඬන්නේ නැතුව ගෞරවනීය ලෙස වේදිකාවෙන් බැස ගියේය. අමෙරිකන්කාරයා යැයි කියූ විට අපේ හිතට නැගෙන ප‍්‍රතිරූපයට සම්පුර්ණයෙන්ම වෙනස් වූ, රැළි සහිත හිසකේ ඇති,කළු, කෙට්ටු පුද්ගලයෙක් ඇමෙරිකානු මහජනතාවගේ ඡන්දයෙන් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්විය.

අමෙරිකානු ජනතාව කතා කොට පැහැදිලිව ප‍්‍රකාශ කළේ කුමක්ද ? ලෝකයේ අලූත් හෝ පැරණි, ලොකු හෝ කුඩා කිසිම රාජ්‍යයක වෙසෙන පුරවැසියන් හීනෙන්වත් නොහිතන ආකාරයේ බරපතල ‘වෙනසක් ’ කිරීමට තමන්ට හැකියාව තිබෙන බවයි.

ඔබාමා කළු ජාතිකයෙකි; අප‍්‍රිකානු මහද්වීපයෙහි ( අප‍්‍රිකාව මහද්වීපයක් බව රිපබ්ලිකන් උප ජනාධිපති අපේක්ෂිකා සේරා පේලින් දැන සිටියේ නැත.) පිහිටි කෙන්යාවේ සුළුතර ගෝත‍්‍රයක් වශයෙන් අසාධාරණයට ලක්ව ඇති ලූවෝ ගෝත‍්‍රිකයෙකු ලෙස ඉපිද ඇමෙරිකාවට පැමිණි සංක‍්‍රමණිකයෙකුගේ දරුවෙකි; දේශපාලනයට ආධුනිකයෙකි; තරුණයෙකි. එහෙත් විප්ලවයකින් හෝ කැරැල්ලකින් නොව ඇමෙරිකානු මහජන ඡන්දයෙන් ඔහු බලයට පත්විය.

ජනාධිපති බරක් ඔබාමාට මහා විශාල වෙනසක් කළහැකි යැයි සිතීම මිථ්‍යාවකි. ධනවාදී සමාජ ක‍්‍රමයට ගෝලීය වශයෙන් නායකත්වය දෙන ඇමෙරිකාවේ නව පරිපාලකයා ලෙස ඔහු පැහැදිලිවම වාඩි වන්නේ ප‍්‍රාග්ධනයේ එනම්, සූරා කන්නන්ගේ පැත්තේ බව කිසිසේත් අමතක නොකළ යුතුය.

නමුත්, ඔහුට යම්කිසි වෙනසක් කළ හැකිය. ලොව පුරා ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යයන්ගේ පිළිකුළට ලක්වන මට්ටමට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විපරීත ජනාධිපතිවරයා සහ ඔහුගේ පාලන තන්ත‍්‍රය විසින් පිරිහෙළා තිබුණු ඇමෙරිකානු ප‍්‍රතිරූපය නැවත ගොඩනැංවීමට ඔහුට ක‍්‍රියා කල හැකිය. අඩු ගණනේ ඔහුට ග්වන්තනාමෝ බොක්කෙහි පිහිටි අපකීර්තිමත් රැඳවුම් කඳවුර වසා දැමිය හැකිය. (1990 දී ඇඹිලිපිටියේ සෙවණ කඳවුර වසා දැමු ආකාරයට නොවේ.)

රැඳවුම් භාරයේ සිටින්නන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බල කෙරෙන හබයාස් කෝපූස් නීතිය නැවත ක‍්‍රියාත්මක කළ හැකිය. ගාසා තීරයේ ඡන්දයෙන් පත් වූ පලස්තීන හමාස් ආණ්ඩුව සමඟ සහ දකුණු ලෙබනනයේ හිස්බුල්ලාවරුන් සමඟ සාකච්ඡා කළ හැකිය. තවත් බොහෝ දේ කළ හැකිය.

අප කැමති වුවත් නැතත් ලෝකයේ ඉරණම කෙරෙහි ඇමෙරිකාවේ බලපෑම තීරණාත්මකය. ඇමෙරිකාව ජෝර්ජ් බුෂ් යටතේ ත‍්‍රස්ත විරෝධී ලෝක යුද්ධය ආරම්භ කොට මුළු ලෝකය උන් සහ අපි වශයෙන් දෙගොඩකට බෙදා උන්ට එරෙහිව අපි කරන සෑම දෙයක්ම සාධාරණීකරණය කළේය. ගුරා හිටගෙන කරන දේ ගෝලයන් දුව දුව කරනවාක් මෙන් ඇමෙරිකාව පෙන්නා තමන්ගේ රටවල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමට ලොව පුරා මර්දනකාරී ආණ්ඩු මේ තත්ත්වය පාවිච්චි කළේය. සතුරා නසනවා වෙනුවට සතුරුකම ඇති වූ මූල හේතුව හෙවත් රෝග නිධානය නැති කිරීමට තම ප‍්‍රතිපත්තිය මෙහෙයවීම මඟින් අඩු ගණනේ එවැනි මර්දනකාරී පියවරවලට බාධා කිරීමට ඔබාමාට හැකිය.

II

ඡන්දයෙන් පසුව එකපාරටම මැජික් බලයෙන් මෙන් ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ ඔබාමාවාදීන් බිහිව ඇත. තම පක්ෂයේම අයත් කකුලෙන් අදිද්දී, කෙස් ගහක වෙනසකින් මහින්ද රාජපක්ෂතුමා ජනාධිපති ධුරයට පත් වූ පසු එතෙක් ඔහුට සිනා වෙන්නට බලා සිටි බොහෝදෙනා එක රැයින් මහින්ද චින්තකයින් බවට පත් වූ අයුරින් ලංකාවේ හාවන්, පූසන්, සර්පයන් සියලූ දෙනාම ඔබාමාවාදීන් බවට පත්ව ඇත.

‘ඉරුදින’ පුවත්පතට කුසල් පෙරේරා නිවැරදිව ලියා තිබූ ආකාරයට ලාංකිකයා හා ඔබාමා අතර තිබූ සබඳතාවය ‘ආසයි-බයයි ’ එකකි. එක් පැත්තකින් කළු මිනිසෙකු විසින් සුද්දා පරද්දනවාට ලාංකිකයා ආසයි. අනෙක් අතට ඔබාමා ආවොත් ලංකාවේ ආණ්ඩුව ‘ත‍්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධය’ එක රටක් තුළ සිටින ජාතීන් දෙකක් අතර සිදුවන ‘සිවිල් යුද්ධයක් ’ ලෙස ‘වරදවා’ තේරුම් ගනු ඇතැයි ලාංකිකයා බයයි.

දැන් ඉතිං වෙන කුමක් කරන්නද? පාරුව පෙර`ඵණු පිට හොඳයි කියනවා මෙන් දැන් කළ යුත්තේ රනිල් වික‍්‍රමසිංහ ජෝන් මැකේන්ට සමාන කොට මහින්ද රාජපක්ෂතුමා ඔබාමාට සමාන කිරීමයි. දෛවයේ සරදම වන්නේ, රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රාර්ථනා කළේ ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයේ තමා සමඟ එකට වාඩි වන ජෝන් මැකේන්ගේ ජයග‍්‍රහණය වීමයි. වික‍්‍රමසිංහ මහතාට මෙවරත් වැරදුණේය.

ඉස්සර ස්ටාලින්වාදී , පසුව විජයවාදී, ඊළඟට පේ‍්‍රමදාසවාදී, ඊටත් පසුව චන්ද්‍රිකාවාදී සහ දැන් මහින්දවාදීව සිටින සමහරුන්ද එකපාරටම ඔබාමාවාදීන් වී ඇත. (සමහරවිට ඔබාමා පවා මේ වගේ අයට රැවටී තමන්ගේ තානාපති කමකට පත්කර යවන්නට වුවද ඉඩ නැත්තේ නොවේ.)

III

ඔබ ඔබාමාට කැමති වන්නේ ඇයි ?
ඔබාමා වෙනසක් කළ හැකි යැයි කිවේය. වෙනසක් කළේය. ඔබ වෙනසක් කළ හැකි බව කියයි. නමුත් ඒ සඳහා ඉදිරිපත් නොවේ. ඒ ඔබ දැන් ජීවත්වන කාලකණ්ණි විදිහ අභියෝගයට ලක්වී ඔබට වෙනස් වීමට සිදුවනු ඇතැයි ඔබ බය නිසාය. ඔබ හිත යටින් බය නිසාය. ඒ වෙනුවට වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔබේ වගකීම ඔහු මත පටවා ඔබ නිකන් බලා සිටී. වැඩිම වුණොත් චියර් එකක් දෙයි. ඔබ ඔබාමාට කැමති වන්නේ ඔබ වෙනුවෙන් ඔබාමා වෙනස කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔබේ දායකත්වය නැතුව, ඔබ වෙනුවෙන් ඔබ ඉදිරිපත් වන්නේ නැතුව වෙනස සිදු නොවේ. එනම්, වෙනත් සියළුම ගැලවුම්කරුවන් මෙන් ඔබාමාද අසාර්ථකවීමට නියමිතය.

චන්ද්‍රිකාට අවුරුදු එකොළහක් කඬේ ගිය අය දැන් චන්ද්‍රිකාට පස් පඩංගුවේ බැණ බැණ මහින්ද රාජපක්ෂතුමාගේ ගුණ වර්ණනා කරන්නාක් මෙන් එවිට ඔබට ඔබාමාට බැණ බැණ වෙනත් ගැලවුම්කරුවෙකු අගය කරමින් ඔබේ කාලකණ්ණි, කුසීත, ඒකාකාරී ජීවිතය දිගටම ගෙන යා හැකිය.
ජයවේවා !

No comments: