Thursday, September 18, 2008

තමන්ගේ ස්වාධිපත්‍යය තමන් විසින්ම නැති කර ගැනීම

ආර්. සම්බන්දන්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
දෙමළ ජාතික සන්ධානය

ආණ්ඩුව වන්නියේ අවතැන් වූවන් පිලිබඳ කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන සුළු ආහාර ප‍්‍රමාණය හැරෙන්න අන් කිසිවක් ඔවුන්ට ලබා දීමට නොහැකි වී ඇතිබව ද්‍රවිඩ ජාතික සංධානයේ කණ්ඩායම් නායක ආර්.සම්බන්දන් මහතා පසුගිය දා පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පවසා සිටියා. තවද,ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිලිබඳ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවද කරුණු දක්වමින් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ 'ලංකාවේ රජය තමන්ගේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරගැනීමේ සහ විනාශ කරගැනීමේ ක‍්‍රියාවලියකට තමන්ම දායකත්වය දෙමින් සිටින බවයි.’

සම්බන්ධන් මහතාගේ ප‍්‍රකාශය තුළ වන්නියේ සිවිල් වැසියන්ගේ අසීරුතාවන් සහ එක්සත් ජාතීන්ගේ භූමිකාව ගැන තවදුරටත් දැක්වූ අදහස් කිහිපයක් පහත පරිදි වේ.

රජයේ හමුදාවන් විසින් වන්නියේ මේ ප‍්‍රදේශවලට දිනපතා දිවා රාත‍්‍රී එල්ල කරන කාලතුවක්කු ප‍්‍රහාර සහ නිරන්තරයෙන් සිදුකරන ගුවනින් බෝම්බ හෙලීම් නිසා නිරායුධ සිවිල් වැසියන් ලක්ෂ දෙකක් පමණ පිරිසක් සිය නිවාස වලින් බලෙන් පිටමන් කෙරුණ තත්වයකට පත්ව තිබෙනවා.

පෙර නොවූ ආකාරයෙන් සිදුකරන මෙවැනි ප‍්‍රහාරයන් ලෝකයේ කවර තැනක කවර කලෙක සිදුවූවත්, එය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව බැලූවිට ඉතාම නරක ලෙස පෙනෙනවා.

මෙම ගුවන් ප‍්‍රහාර වල නොසැලකිල්ල පෙන්වන හොඳම උදාහරණයක් නම් ඊයේ රාත‍්‍රියේදී සිදුවූ ගුවන් ප‍්‍රහාරයකින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ රජයේ සේවකයෙක් වන සොඛ්‍ය අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳට තම නිළ නිවාසයේ නින්දේ සිටියදී තුවාල සිදුවුණා.

මෙවැනි අවස්ථාවකත් මෙම අසරණ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සහන සේවයේ නිරත වන එක්සත් ජාතීන් සහ ඔවුන්ගේ අනුබද්ධ ආයතන වලටත්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලටත් අප කෘතඥ වෙනවා.

රජයට මෙම පුද්ගලයන් ගැන කොතරම් කතා කලත් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනෙන් ලබා දෙන සුළු ආහාර ප‍්‍රමාණය හැර වෙන කිසිවක් ලබා දීමට රජයට හැකිවෙලා නැහැ.

භයානකම දෙය නම් ඉදිරියේදී ඇතිවීමට නියමිත තත්වය මීටත් වඩා භයානක එකක් වීමයි. සාමාන්‍ය මතය නම් ඉදිරි සතිවලදී තවදුරටත් ප‍්‍රහාරයන් ප‍්‍රබල වීමත් සමග තවදුරටත් අවතැන් වීම්ල මරණ සහ විනාශයන් වැඩිවීමයි. එසේම ඉදිරියේදී එන මෝසම් වර්ෂාවෙන් මේ සිවිල් ජනතාවගේ තත්වය තවදුරටත් ශෝකීජනක තත්වයක් බවට පත්වෙනවා.දෙමළ ජනයාගේ නීත්‍යනුකූල දේශපාලන අපේක්ෂාවන් අසාධාරණ ලෙස බලහත්කාරයෙන් මර්දනය කිරීමට දරණ ශ‍්‍රී ලංකා රජයේ මේ උත්සාහයේදී රජය තමන් බැදී සිටින ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් බරපතල ලෙස උල්ලංඝණය කරනවා.

ප‍්‍රහාරවල වර්ධනයත් සමගම සහන සේවකයින්ට මෙම ප‍්‍රදේශවලට යෑමට නොහැකිවීම නිසා මානුෂීය සහන සැලසීමේ බරපතල අර්බුදයක් වර්තමානයේ ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අවතැන් වූ ජනයාට අවශ්‍ය වාසස්ථානල ආහාරල වෛද්‍ය පහසුකම්ල පානීය ජලය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ රෝහල් පහසුකම් ආදිය අහිමිවීමෙන් කාන්තාවන් සහ ළමයින්ද ඇතුළු දෙමළ සිවිල් වැසියන් වඩා ශෝචනීය තත්වයකට පත්ව සිටිනවා.

පුද්ගලයන් අතුරුදහන් කිරීම් සහ මරණයට පත්කිරීම් රට පුරාම අඛණ්ඩව සිදුවන සංසිද්ධියක්. එය උතුරු නැගෙනහිර වගේම දිවයිනේ ඕනෑම තැනක සුලභව සිදුවෙනවා. ‍

තවමත් ශ‍්‍රී ලංකාවේ රජය මෙය අවසානයක් දක්වා ගෙන යන්නේ නැහැ.රජයේ එකඟතාවක් නොවූ නිසාල එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය ලබන නිරීක්ෂණ යාන්ත‍්‍රණයක් ලංකාවේ පිහිටුවීමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වුණා. ඉහත දැක්වූ උල්ලංඝනයන් අවසන් කිරීමට රජයට වුවමනාවක් ඇත්නම් එය එවැනි යාන්ත‍්‍රණයක් පිහිටුවීමෙන් වර්ධනය වන බව මගේ අදහසයි.

නමුත් ශ‍්‍රී ලංකා රජයට මෙය පිහිටුවීමටත් කිසිඳු උවමනාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණයක් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව නිදහසට කරුණක් ලෙස ශ‍්‍රී ලංකා රජය දක්වා සිටින්නේ ශ‍්‍රී ලංකා රජයට ස්වාධිපත්‍යයක් හිමි බවයි. එහෙත් ස්වාධිපත්‍යයට මූලික අයිතිවාසිකම්ද අන්තර්ගත වෙනවා.මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් නොගැලවිය හැකි සේ එකට බැඳී පවතිනවා. ලංකාවේ රජය මෙය වටහා නොගෙන දරුණු ලෙස මානව හිමිකම් සහ රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කරමින් සිටිනවා. ඒ අනුව ලංකාවේ රජයම ලංකාවේ ස්වාධිපත්‍යය සෝදාපාළුවට ලක්කරමින් විනාශ කිරීමට දායකවී සිටිනවා.

Back to HOME page

No comments: