Friday, September 26, 2008

බැටළු පැටියා, වෘකයා සහ තිස්සනායගම්

ජානක තේනුවර

ඊසොප්ගේ උපමා කතාවකට අනුව එකමත් එක රටක වෘකයෙක් ජීවත් විය. දිනක් ඌ ගඟකට බැස දිය බොමින් සිටින විට එම ගෙඟහිම දිය බොන බැටළු පැටියෙකු දුටුවේය. බැටළු පැටවා මරා කෑමට තීරණය කළ වෘකයා ඒ සඳහා හේතුවක් සෙවීය. ”ඒයි, දුෂ්ඨ බැටළුවා, උඹ බය සැක නැතුව මා බොන වතුර බොර කරනවා නේද? මේ වරදට මම නුඹව මරා දමනවා.” එවිට බැටළු පැටියා කීවේ ”අවසර දේවයන් වහන්ස, ගැත්තා දිය බොන්නේ ඔබ වහන්සේ දිය පානය කරන ස්ථානයට පහළින් ” කියාය. වැඬේ වැරදුණු බව දුටු වෘකයා මෙසේ කීය. ”ඒක හරි. නමුත් මීට අවුරුද්දකට කලින් උඹ මා බොන වතුර බොර කළා. ඒ නිසා උඹට මරණ දඬුවම දිය යුතුයි.” කරුමයට මෙන් බැටළු පැටවාට එයටද විත්තිවාචකයක් තිබිණි. ”බය බෝයි දේවයන් වහන්ස, මා ඉපදිලා තවමත් මාස තුනයි.”එවරත් වැඬේ වැරදුණු බව දුටු වෘකයා, ”එහෙනම් ඒ උඹේ තාත්තා වෙන්නට ඇතැයි ” කියා තවත් කතා කිරීමට බැටළු පැටවා කට ඇරීමට පෙර තම කට ඇර ඒ තුළ අසරණ බැටළු පැටවා සඟවා ගත්තේය.

ආණ්ඩුව මාධ්‍යවේදී තිස්සනායගම්ට විරුද්ධව මහාධිකරණයේ අධිචෝදනා පත‍්‍ර ගොනු කොට ඇත. සත්‍යය ප‍්‍රකාශ කිරීම සහ සාධාරණ විවේචනය සඳහා ජනමාධ්‍යවේදියෙකුට ඇති අයිතිවාසිකම භුක්ති විඳීම හේතුවෙන් ඔහුට දින 150කට වැඩි කාලයක් නඩු නැති රැඳවුම් නියෝග මත ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ පැදුරු කබලක් මත ගත කිරීමට සිදුවිය. දැන් ඔහුට නඩු පවරා ඇති නමුත් එසේ නඩු පවරා ඇත්තේ සාධාරණත්වයට නිඟා දෙන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති වැනි 1979 අංක 49 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2006 හදිසි නීති රෙගුලාසි යටතේය. මෙම නීති යටතේ නඩු පැවරීමට ලක් වු පළමු ජනමාධ්‍යවේදියා තිස්සනායගම්ය. මේ යටතේ අත් අඩංගුවට පත්වුවෙකු නඩු විභාගය අවසන් වනතුරුම බන්ධනාගාරගතව සිටීමේ කටුක ඉරණමට ලක්වේ. ආණ්ඩුව විසින් ගත් මෙම ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුවේ මතයට වෙනස් විසම්මුතික මතයක් මුද්‍රණය කර පළ කිරීමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර වී ඇත.

ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට පුද්ගලයන් ‘සැකපිට’ අත් අඩංගුවට ගැනීමටත්, පොලීසියට එම ‘සැකකරුවන්ව’ දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් භාරයේ තැබීමටත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි විසින් ඉඩ සැලසේ. මෙම නීති යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තැබෙන්නෙකුට ඇප පිට නිදහස් වීමට ඉඩ ප‍්‍රස්ථාවක් නැත. ඔවුන්ට ඇති එකම රැකවරණය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම පමණකි.

පුද්ගලයෙකු ‘සැකපිට’ අත් අඩංගුවට ගන්නා විට, එය සාධාරණ සැකයක් විය යුතු අතර අත් අඩංගුවට ගැනීම සිදුවනුයේ ’තොරතුරක් ’ මත වන විට එම තොරතුර විශ්වසනීය විය යුතුය. අධිකරණය විසින් අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කොට ඇත්තේ පළමුව පුද්ගලයකු අත් අඩංගුවට ගෙන දෙවනුව එම අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා සාක්ෂි සෙවීම පොලීසිය විසින් කිසි විටෙකත් නොකළ යුතු බවයි.

කෙසේ වුවද අප රටේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ නීති මඟින් සැකකරුවෙකු විසින් ලබා දෙන පාපොච්චාරණ සාක්ෂි වශයෙන් පිළිගැනීමට ඉඩ සලසා ඇති අතර එමඟින් සැකකරුවන්ව වධහිංසා පැමිණවීම මඟින් පාපොච්චාරණ ලබා ගැනීමට පොලීසියට මඟ පාදා දී ඇත.

තිස්සනායගම් අත් අඩංගුවට පත් වුයේ E-QUALITY මුද්‍රණාලයේ හිමිකරු හා මඩකලපුවේ පළවු තිනක්කතීර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කලක් සේවය කළ වී. ජසීහරන් හා ඔහුගේ සහකාරිය වඩිවේල් වලර්මදී පිළිබඳව තොරතුරු සෙවීමට කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට ගිය විටය.

සඟරාවක් පළ කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සනායගම් රඳවා තබා ගැනීම සහ බරපතල චෝදනා පැමිණවීම ජීනීවා හි පිහිටි මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වු ජාත්‍යන්තර කමිටුව (CPJ) විසින් හෙළා දැක ඇති අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)ප‍්‍රකාශ කළේ තිස්සනායගම් අත් අඩංගුවට ගැනීම සහ ඔහුට විරුද්ධව අධිචෝදනා පත‍්‍ර ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටික සාධාරණත්වය පිළිබඳ සාර්වත‍්‍රික මුලධර්ම උල්ලංඝනය කරන බවයි. ඔවුන් තවදුරටත් පැවසුවේ එය ප‍්‍රකාශනයේ අන්තර්ගතය පාලනය කිරීමට විධායකයට ඉඩ සැලසීම මඟින් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිවාසිකමට වළ කපන බවයි.

No comments: