රුකී ප‍්‍රනාන්දු
සම්බන්ධීකාරක
නීතිය හා සමාජ භාරය
සාකච්ඡා කළේ- තාරා ශ‍්‍රී රාම්
අද හැමෝම යුද්ධය ගැන කතා කරන අවස්ථාවක ඔබ යුද්ධයෙන් පීඩනයට පත් වී සිටින සාමාන්‍ය ජනතාව ගැන සොයා බැලීමට උත්සාහ කලේ ඇයි ?
සාමාන්‍යයෙන් අපි කියන්නේ උතුර හා දකුණ වෙන් වෙන්නේ ඕමන්තෙන් කියලා. නමුත් මේ සංචාරවලදී අපි දැකපු විශේෂත්වය තමයි දැන් රට වෙන්වෙලා තියෙන්නෙ මැදවච්චියෙන්. කොළඔ හෝ වෙනත් තැනක ඉදන් වව්නියාවට, මන්නාරමට යන කෙනෙකුට මැදවච්චියෙන් එහාට යන්න වෙන්නෙ මැදවච්චිය චෙක් පොයින්ට් එකෙන් එහා තියෙන වෙනත් වාහනයකින්. වව්නියාවට ඉස්සර ගිය කෝච්චි දැන් යන්නේ මැදවච්චියට විතරයි. උදේ 3.45 ට, 7.30ට, ? 10.30ට මැදවච්චියෙන් පිටත්වෙන එක කෝච්චියකටවත් මන්නාරමේ ජනතාවට නගින්න බැහැ. හේතුව මන්නාරම් පාර අරින්නේ උදේ 6.00 ට. මේ දුම්රිය කාලසටහන් හදලා තියෙන කාල රාමුව අනුව මන්නාරමේ සිවිල් ජනතාවට ඒවායේ ගමන් ගැනීමට නියමිත වේලාවට මැදවච්චියට ඒම අපහසුයි. බඩු ප‍්‍රවාහනයේදීත් මැදවච්චියෙන් එහාට බඩු ගෙනියන්න වෙන්නේ වෙනත් වාහනයකින්. එතනදී ප‍්‍රවාහන ගාස්තු කීප ගුණයකින් වැඩි වෙනවා. ඒ සියලූම අධික වියදම් දරාගන්න වෙන්නේ මන්නාරමේ සාමාන්‍ය ජනතාවට. අනික මන්නාරම කියන්නේ කතෝලික- දෙමළ අය බහුල ප‍්‍රදේශයක්. මඩු මංගල්‍යය අවස්ථාවේ දකුණේ ඉදන් ගිය සිංහල කතෝලික ජනයාට මැදවච්චියේ ඉදන් යන්න සියලූම පහසුකම් සපයලා තිබුණා. ඔවුන්ට හමුදාවෙන් කන්න බොන්න දීලා, බස්වල ගෙනිහින් ඇරලවා, නැවත ගෙන ආවා. නමුත් මන්නාරමේ සිට ආපු ජනතාවට ඔවුන්ගේ ප‍්‍රදේශයේ තියෙන ප‍්‍රධාන සිද්ධස්ථානයට යන්න රජයෙන් එවැනි පහසුකමක් සපයලා තිබුණේ නැහැ.
ඔබගේ නිරීක්‍ෂණයන්ට අනුව මන්නාරමේ ජන ජීවිතයේ අභ්‍යන්තර තත්වය මොකද්ද?
ඔවුන්ට ප‍්‍රධාන වශයෙන් තියෙන්නෙ බිය. රටේ තියෙන තත්ත්වය අනුව ඔවුන්ට උදව් කිරීමට කිසිවෙක් නැහැ කියන සිතුවිල්ල. චෙක් පොයින්ට් වලදී ඔවුන්ට විඳින්නට සිදුවෙන මානසික හා ශාරීරික පීඩා නිසා ඇතිවී තිබෙන බිය. අනෙක් කාරණය මේ වෙනකොට මන්නාරමේ පවතින සන්නිවේදන අවහිරතා. මන්නාරමේ සියලූම ජංගම දුරකථන විසන්ධි කරලා. පසුගිය ජුනි, ජුලි මාසවල ඉදන් ඔවුන්ට සන්නිවේදන පහසුකම් නැහැ. නමුත් බොහෝ දෙනෙක් දුරකථන සමාගම්වලට තවමත් මුදල් ගෙවනවා. ජනතාව විශ්වාස කරන්නේ ඒවා කපා ඇත්තේ හමුදාවෙන් කියලා. සංචාරයේදී එක් පොලිස් නිලධාරියෙක් අපිට කිව්වා හමුදාව දැන් කරගෙන යන කටයුතු වලට ජංගම දුරකථන භාවිතයෙන් අවාසි වෙන නිසා ඒවා විසන්ධි කර ඇති බව. ඒ වගේම ආරක්‍ෂක නිලධාරීන් තමන්ට හිතෙන හිතෙන වෙලාවට ජනතාව මන්නාරමට ඇතුලූවීම වළක්වනවා. පසුගිය අප්‍රෙල් මාසේ මම මන්නාරමට යනකොට අඩෙයප්පන් කියන ස්ථානයේදී අපව නැවැත්තුවා. කලින් කිසිම දැනුම් දීමක් නැතුව මැදවච්චියත් පහුකරගෙන ආවට පස්සේ සියගණනක් මිනිසුන්ව ඒ විදිහට නතර කරගෙන හිටියා. ඒ එක කාන්තාවකගේ සැමියා මන්නාරමේ. ඇයටවත් තම සැමියා ගාවට යන්න දුන්නේ නැහැ. මම ගියේ කතෝලික පියතුමන්ලා පිරිසක් සමඟ. අන්තිමට පැය2,1/2 ට පස්සේ මන්නාරමේ අගරදගුරුතුමන් මැදිහත්වෙලා අපිට යන්න අවසර අරන් දුන්නා. නමුත් අනෙක් සාමාන්‍ය ජනතාව සමහරු රාත‍්‍රිය මහමඟ ගතකළා. සමහරු ආපහු හැරිලා ආවා.
මන්නාරම නගරය තුළ මොනවගේ වාතාවරණයක්ද වර්තමානයේ පවතින්නේ ?
මන්නාරම නගරයේ ඇ`ඳිරි නීතිය නැති වුනත් සාමාන්‍යයෙන් රාත‍්‍රි හත, අට වෙනකොට මිනිස්සු පේන්න නැහැ. ඝාතනය කිරීම් සහ අතුරුදහන්කිරීම් වැනි සිදුවීම් තවමත් සිදුවීමත්, එවැනි අවස්ථාවල තමන්ට දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට පොලීසිවල ඉඩක් නොමැතිවීමත්, නිලධාරීන් පැමිණිලි තමන්ට ඕන ආකාරයට ලියා ගැනීමත්, පැමිණිල්ලේ කොපියක් වෙනුවට සාරාංශ කළ ලියවිල්ලක් පමණක් දීමත් නිසා මන්නාරමේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ආරක්‍ෂාව ගැන කිසිම විශ්වාසයක් හෝ සහතිකයක් නැහැ.
ඔබට අනුව උතුරු නැගෙනහිර යුද්ධයට සම්බන්ධ තවත් ප‍්‍රදේශ තිබියදීත් මන්නාරමට මෙම ගැටළුව මේ තරම් බලපෑමට හේතුව මොකක්ද ?
ප‍්‍රධානම දේ ගමන් අපහසුව. රජයෙන් උත්සාහ ගන්නවා මන්නාරමට වෙනත් ප‍්‍රදේශවලින් සිදුකරන ඇතුළුවීම් වළක්වන්න. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවතැන්වුවන් ගැන සොයා බලන්න උත්සාහ කරන කොට ඔහුට මන්නාරමට යන්න අවසර දුන්නේ නැහැ. රජය ඊට හේතුව විදිහට කිව්වේ ආරක්‍ෂාව සහතික කරන්න බැහැ කියලා. .ඒක අපිට විශ්වාස කරන්න බැහැ. මොකද කොළඔත් ආරක්‍ෂාව ගැන කිසිම සහතිකයක් දෙන්න බැහැ. කොළඔ කියන්නේ රජයේ පාලන ප‍්‍රදේශයක්. මන්නාරමත් සම්පුර්ණයෙන්ම රජයේ පාලන ප‍්‍රදේශයක්.
ඔබ හිතන විදිහට රජය එවැනි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අපේක්‍ෂාව මොකක්ද?
මම කියන්නේ රජය මන්නාරම හුදකළා කිරීමේ රහසක් තියෙනවා. මීට පෙර මුසලි කියන ප‍්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හිටියා. නමුත් වන්නි ප‍්‍රදේශයේ වගේ ඔවුන්ගේ පරිපාලනයක් එහි තිබුනේ නැහැ. හමුදාවටත් එහි යාමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා කාගේවත් පාලනයක් නොතිබුන ස්වරූපයක් තමයි තිබුනේ. නමුත් එල්.ටී.ටී.ඊ. බලපෑම් මැද්දේ හමුදාව 2007 සැප්තැම්බර් මුසලි ප‍්‍රදේශයේ හිටපු සියලූම සිවිල් ජනතාව පළවා හැරියා. ඊට පස්සේ මුසලි තමන් සම්පූර්ණයෙන්ම අල්ලාගත්තා කියලා රට පුරාම නිවේදනය කළා. නමුත් මන්නාරමට හාරදාහක් විතර ජනතාව පළවාහැර ඔවුන් අල්ලා ගත්තේ භූමිය විතරයි. මෙතැනදී අවතැන් වුන ජනතාවට හමුදාව කීවේ දවස් තුන හතරකින් මුසලි අල්ලගත්තම ඔවුන්ට යළි පදිංචි වියහැකි බවයි. නමුත් දැන් අවුරුද්දකට වැඩියි. තවමත් ඒ අයට මුසලි වලට යන්න අවසර දීලා නැහැ.මොවුන්ගෙන් බොහෝ පිරිසක් අවතැන් කඳවුරුවල ඉන්නේ. කඳවුරුවල ඉන්න අයට ඉන් පිටතට යන්න එන්න දීලා තියෙන නිදහස ඉතාමත්ම සීමිතයි. මාසයකට දෙන්න තියෙන සළාකය ඔවුන්ට දෙන්නෙ සති දෙකකට විතර. මේ සියල්ල හමුදාව යටතේ පාලනය වෙන්නේ.
ඔබගේ සංචාරයේදී මන්නාරමේ පිහිටි අවතැන් කඳවුරුවලට ගියාද? එහිදී ඔබ දැකපු තත්ත්වය විස්තර කළොත් ?
ඔව්. මේ කඳවුරුවල එක්තරා සිර කඳවුරක ස්වභාවයක් තිබුණා. මෙහි සමහර අයට කඳවුරෙන් එළියට යන්න දෙන්නේ නැහැ. සමහරු එළියට ගියොත් හවස් වෙන්න කළින් එන්න ඕන. මේකෙ ඉන්නෙ වැරැද්දක් කරපු අය නෙවෙයි. ගොවිතැන් කරගෙන, ධීවර කටයුතුවල නිරත වුණ ඒ අය මතු කරන ප‍්‍රධානම කාරණය, තමන් අනුන්ගෙන් යැපෙන්න අවශ්‍ය අය නොවේ කියන එක. 2007 මුසලි ප‍්‍රදේශය මුදවාගෙන දැන් අවුරුද්දක් ගතවෙලත් 4000ක විතර පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. පසුගිය මැයි මාසයේ නානත්තන් කියන ප‍්‍රදේශයේ රජයේ හමුදාව පෝස්ටර් ගහලා තිබුණා එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අය ඉන්නවා නම් කරුණාකරලා හමුදා කඳවුරු වලට වාර්තා කරන්න කියලා. කලින් එල්.ටී.ටී.ඊ.ය ජනතාවට බලෙන් අවි පුහුණුව දීලා තියෙනවා. විවිධ කටයුතු වලට සම්බන්ධ කරගෙන තියෙනවා. මේ හේතුන් උඩ පෝස්ටර් දැක්කම මිනිස්සු බොහොම බියට පත්වුණා. හුඟ දෙනෙක් පසුගිය මැයි මාසයෙන් පස්සේ ඉන්දියාවට සංක‍්‍රමණය වීම වැඩි වුනේ මේ පෝස්ටරය දැක්කට පස්සේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මොවුන්ට තිබුණ තර්ජනය මොකක්ද? තවමත් එවැනි තර්ජන තියෙනවාද?
දැන් එවැනි තර්ජනයක් නැහැ. නමුත් ඉස්සර එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තමන්ගේ තරුණ දරුවන් අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් බලෙන් ඔවුන්ගේ හමුදාවට බඳවා ගන්නා නිසා මිනිස්සු හමුදා පාලන ප‍්‍රදේශවලට පැන ආවා. නමුත් මෙහෙම ළමුන් පිටමං කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය අවසර දෙන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් දක්වන්න ඕන. මේ නිසා ගොඩක් අය බෝට්ටු අරන් මුහුදෙන් ගිහින්, කැලෙන් පුල්මුඬේ පැත්තෙන් හරි, බටහිර ඉවුර දිගේ හරි පැනලා එනවා මන්නාරමට. ඊටත් අමතරව දෙපාර්ශ්වයේ යුධ මෙහෙයුම් නිසා ජීවිත ආරක්‍ෂාව පතන සමහරු මන්නාරමට එන්න පටන් අරන්. මෙහෙම අවතැන් වෙලා එන මිනිස්සුන්ව හමුදාව කලිමුන්ඩායි සහ තිරුක්කුන්ඩාල් කියන කඳවුරුවල රඳවලා තියෙන්නේ. පසුගිය මාර්තු මාසේ මේක පටන් ගත්තේ. දැනට කලිමුන්ඩායි කියන කඳවුරේ මිනිස්සු පන්සිය දෙනෙක් විතර ඉන්නවා. ජුලි විවෘත කරපු තිරුක්කුන්ඩාල් කඳවුරේ සිය දෙනෙක් විතර ඉන්නවා.
මේ කඳවුරුවල ඉන්න පිරිස් හමුදා රැකවරණය පතා මන්නාරමට පැමිණි අයද?
ඔව්. වඩා හොඳට ආරක්‍ෂිතව ජීවත් වෙන්න හිතාගෙන ඔවුන් ආවේ. වයස අවුරුදු 3-4 කුඩා ළමුන්ගේ පටන් වයසක වැඩිහිටි අය දක්වා පවුල් පිටින් මේකේ ඉන්නවා. මේ සියලූ දෙනාගේම නෑදෑ හිත මිතුරන් කොළඔ, මඩකළපුව, වව්නියාවේ සහ මන්නාරම අවට ඉන්නේ. ඒත් ඔවුන් ලගට යන්න මේ අයට ඉඩ දෙන්නේ නැහැ. දැන් ඔවුන් කියන්නේ තමන් හිටියටත් වඩා අන්ත ජීවිතයකට ඇඳ වැටුන බවයි. රැකියාවකට කඳවුරෙන් පිටතට යනවානම් පාස් එකක් ගන්න ඕන. ඇපකාරයෙක් කඳවුරේ රඳවන්න ඕන. ධීවරයෝ හවසට ඇවිත් තමන්ගේ බෝට්ටු එන්ජින් හමුදාවට යළි බාර දෙන්න ඕන. මෙච්චර කාලයක් රඳවාගෙන ඉදලා මෑතකදී ගැබිණි කාන්තාවන් සහ යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂක සිසු පිරිසක් නිදහස් කරා. තවත් කීප දෙනෙක් ඉන්නවා. මේ කඳවුරු කම්බි ගහලා වට කරලා අවට ලෝකෙන් වෙන් කරලා තියෙන්නේ.
කඳවුරුවල ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් රජය ඔවුන්ට සපයා තිබෙනවාද?
කලිමුන්ඩායි කඳවුරේ සියලූ අවශ්‍යතා සපුරන්නේ රාජ්‍ය නොවන සංවිධාන. තිරික්කුන්ඩාල් කඳවුර ප‍්‍රධාන වශයෙන් රජය භාරයේ තියෙන්නේ. ලෝක ආහාර වැඩ සටහන මගින් දෙන ආහාර තමයි රජය ඒ කඳවුරේ බෙදා හරින්නේ. මේ කඳවුරේ පාසැල් යන වයසේ ළමයි එකසිය විසි හයක් විතර ඉන්නවා. ඔවුන්ට කඳවුර අසල පාසලට යන්න පුළුවන්. නමුත් උසස් පෙළ හදාරණ ළමුන්ට සමහර විෂයන් ඉගෙන ගන්න මන්නාරමට හෝ වව්නියාවට යාමට අවශ්‍ය වුණත් රජය ඊට අවසර දෙන්නේ නැහැ. රෝග සඳහා ප‍්‍රතිකාර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී වුණත් මන්නාරම රෝහලට යන්න හමුදාව අවසර නොදීපු අවස්ථා තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය පැත්තෙන් ගත්තොත් කඳවුරුවල වාතාවරණය ඒතරම් හොඳ නැහැ. දවසකට නයි පනහකට වැඩිය කඳවුරුවල ඉඳලා මරනවා. වැසිකිලි පහසුකම්ද අවමයි.
ඔබ හිතන විදිහට මේ ආකාරයට කඳවුරු ගොඩනැඟීමේ රජයේ අරමුණ මොකක්ද?
ඔවුන් ටිකෙන් ටික කඳවුරු වැඩිකරනවා. අලූත්ම කඳවුර හැදුවේ පහුගිය ජුලි මාසයේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළ නොකළ වාර්තාවක සඳහන් වෙලා තියෙනවා රජය මෙහෙම දිගටම කඳවුරු හැදීමේ අවදානමක් තියෙන බවට. දැනට ආරංචි ලැබිලා තියෙන විදිහට වව්නියාවෙත් මේ වගේ කඳවුරක් හදන්න ඉඩකඩ තියෙනවා. රජය වන්නියේ ඉන්න ජනතාවට රජයේ පාලන ප‍්‍රදේශවලට එන්න කියලා කියන්නේ ඔවුන්ව මෙහෙම කඳවුරුවල රඳවගන්න. මේක සම්පුර්ණයෙන්ම අන්තර්ජාතික මානව හිමිකම් ප‍්‍රමිතීන්වලට විරුද්ධයි. අවතැන්වුවන්ට තමාට කැමති තැනක ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඔවුන්ගේ පවුල් වලට එකට ඉන්න තියෙන අයිතිය රජය කඩ කරලා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් නැතුව බලෙන් අවතැන් කඳවුරක රඳවාගෙන සිටිනවා. කඳවුරේ සමහර අයගේ මව පියා මන්නාරමේ පදිංචියි. නමුත් කඳවුරේ පිහිට පතාගෙන ආපු පුතාට දෙමව්පියන් ළඟට යන්න දෙන්නේ නැහැ. මේ තත්වය බාහිර ලෝකෙට වාර්තා වෙන්නෙත් නැහැ. හේතුව මාධ්‍යවේදීන්ට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට කඳවුරට ඇතුල්වෙන්න අවසර නොදීම නොදීම. ඇතුල්වෙන්න දෙන්නේ සහන සේවකයින්ට සහ ආගමික නායකයින්ට පමණයි. ඔවුන්ට කඳවුර තුළට කැමරා හෝ ජංගම දුරකථන ගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ. රජය දැඩි උත්සාහයක් දරනවා මේ කඳවුරුවල සෑබෑ තත්ත්වය ලෝකයෙන් වසන් කරන්න. රජයේ මේ ක‍්‍රියා කලාපය ගැන තවමත් ජාත්‍යන්තරයට කිසිඳු හෝඩවාවක් ලැබී නැද්ද? පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී මන්නාරමේ හිටපු පියතුමෙක් මේ තත්ත්වය ගැන හෙළිදරව්වක් කළා. එහිදී රජය ඒ කතාව සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. රජයේ අදහස තම පාලන ප‍්‍රදේශය තුළ කිසිඳු ජාතිකයකුගේ මානව හිමිකම් උල්ලංඝණය නොවන බවයි.
Back to Home page
Thursday, September 25, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment