Tuesday, October 27, 2009

අහිමි වුණොත් කවුද ඒකට වගකියන්නේ

GSP+ සහනයට කණ කොකා හඬන බව දැන් දැන් සක් සුදක් සේ පැහැදිලිය. දැන් ඊළඟ ජවනිකාව වනු ඇත්තේ ගෙදර ඇති මුව හමට තඩිබෑමයි. මේ මුව හම නම් විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධානයි. කිසිවකුත් නොඅසන ප‍්‍රශ්නය වනුයේ සහනය එපා කිව්වේ කවුරුන්ද යන්නයි. ආණඩුවත්, විපක්ෂයත්, සිවිල් සමාජ සංවිධානත් වෘත්තීය සමිතිත් ප‍්‍රකාශ කළේ ලංකාවට තවදුරටත් මෙම සහනය අත්‍යවශ්‍ය බවයි. GSP+ සහනය යුරෝපා සංගමය විසින් ලබාදෙන්නේ කිසියම් රටක් මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මුති තුනක ඇති විධි විධාන දේශීය වශයෙන් ක‍්‍රියාත්මක කරන බවට ලබාදෙන ප‍්‍රතිඥවකට කරන සැළකිල්ලක් අනුවය. එම ප‍්‍රතිඥව අදාළ සහනය ලබන රට විසින් කඩ කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා සංගමයට පුළුවන. සහනය දිගටම ලබා ගැනීමට නම් කළ යුත්තේ සරල දෙයකි. ඒ අදාළ අයිතිවාසිකම් ඵලදායී ලෙස ක‍්‍රියාවට නැගීමයි. කේළම් කියා මෙම සහනය අහිමි කිරීමට කිසිවෙකුටත් නොහැකිවා මෙන්ම චණ්ඩි පාට් මගින් සහනය ලබා ගැනීමද කළ නොහැකිය.GSP+ සහනය ඉදිරියටත් ලංකාවට ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි යන සංවාදයක් ආරම්භ කිරීමට ‘සමබිම’ අපේක්ෂා කරයි. ඒ පිළිබඳ ඔබේ අදහස් අප වෙත කෙටියෙන් ලියා එවන්න.නැත්නම් එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් 077-1937670 වෙත එවන්න.


GSP+ ගැන GLP කියන්නේ ඇත්තද යන මාතෘකාව යටතේ මීට මාස කීපයකට පෙර අප ලිපියක් පළ කළා සමබිම පාඨකයන්ට මතක ඇත. GSP+ සහනය තව දුරටත් ලංකාවට ලැබෙන බවට ජී.එල්.පීරිස් ඇමතිවරයා කළ ප‍්‍රකාශය අපි එම ලිපියෙන් විවේචනය කළෙමු. අවසානයේදී දැන් යුරෝපීය කොමිසම විසින් තම අවසාන වාර්තාව නිකුත් කර ඇති අතර ඒ පිළිබඳව 2009 ඔක්තෝබර් 19 වන දින ලංකාව වෙත දැනුම් දීමක් එවා ඇත. එම නිවේදනයෙන් කියවෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අන්තර්ගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවය. මෙම තීරණවලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීම කළ යුතු ද යන්නය.
GSP+ යනු ධරණීය සංවර්ධනය සහ යහ පාලනය සඳහා වූ විශේෂ දීමනා සැකසුම් පොදු ප‍්‍රමුඛතා පද්ධතියට භාවිතා කරන කෙටි නාමයයි. ශ‍්‍රී ලංකාව දෙදාස් පහේ සිට GSP+ නිසා ප‍්‍රයෝජන ලබා ඇත. එමගින් මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසර සංරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ මූලික ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් එනම්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය පිළිගෙන ඒවා සාර්ථකව ක‍්‍රියාත්මක කරන දියුණු වෙමින් පවතින රටවලට දැනටමත් ලබා දෙන සහනයන්ට අමතරව ආනයනය කිරීමේ බදුවල අඩු කිරීමක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් හරහා අතිරේක බදු සහනයක් ලැබේ.
GSP+ සහනයන් ලබාදීම හා පවත්වාගෙන යාම සිදුවන්නේ අර්ථලාභී රටවල් එයට ඇති සුදුසුකම් පිළිබඳ කොන්දේසි සැපිරීම මත වන අතර මෙම සුදුසුකම් යුරෝපීය කොමිසමේ කවුන්සිල රෙගුලාසි අංක 732/2008හි හෙවත් GSP+ රෙගුලාසිවල දක්වා ඇත. යම් රටක ජාතික අණපනත් තවදුරටත් අදාළ මූලික ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුගත නොවන විටදී GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීමට මෙම රෙගුලාසි වලින් ප‍්‍රතිපාදන සලස්වා ඇත. එවැනි තාවකාලික නතර කිරීමක් සාධාරණීකරණය කළ හැකි තොරතුරු කොමිසමට ලැබෙන අවස්ථාවක දී යථා තත්ත්වය වටහා ගැනීමට හා සුදුසු පියවර නිර්දේශ කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කිරීමටද ඉහත කී රෙගුලාසි වලින් ඉඩ සලසා ඇත.
2008 ඔක්තෝබර් 14 වන දින කොමිසම තීරණය කරන ලද්දේ ඒ වන විට ලැබී ඇති තොරතුරු මත ශ‍්‍රී ලංකාව විසින් සමහර මානව හිමිකම් සම්මුතීන් ක‍්‍රියාත්මක කර ඇති ආකාරය ගැන පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෑහෙන හේතු පවතින බවය. මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් GSP+ ප‍්‍රමුඛතා සහනයන් ශ‍්‍රී ලංකාවට දිගටම ලැබෙමින් තිබුණු අතර ඒ හේතුවෙන් පරීක්ෂණයේ ප‍්‍රතිඵල වලට යටත්ව ශ‍්‍රී ලංකාව වර්ෂ 2009 සිට 2011 කාලය සඳහා අර්ථලාභී රටවල් ලැයිස්තුවට අඩංගු කර ඇත. කොමිසම විසින් 2009 ඔක්තෝබර් 19 වන දින පරීක්ෂණය අවසන් කර එහි ප‍්‍රතිඵල සම්බන්ධ වාර්තාවක් නිකුත් කරන ලදි.
ප‍්‍රසිද්ධ නිවේදනයකට ප‍්‍රතිචාර ලෙස අදාළ පාර්ශ්ව වලින් ලැබුණු ප‍්‍රතිචාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු ප‍්‍රකාශන හා ලබාගත හැකි වාර්තා මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ආදී වෙනත් මූලාශ‍්‍ර වලින් ලබාගත හැකි වාර්තා හා තොරතුරු ද කොමිසම විසින් ප‍්‍රවේශමෙන් විමර්ශනය කරන ලදී. එසේම ප‍්‍රශ්නගත වී ඇති ජාත්‍යන්තර සම්මුතීන් තුනක් ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය පිළිබඳව ස්වාධීන විද්වත් තක්සේරුවක්ද ලබාගන්නා ලදී. අවසන් වශයෙන් සමාන්තර දේශපාලන කතිකාව තුළ ශ‍්‍රී ලංකාව විසින් සපයා ඇති තොරතුරු ද කොමිසම විසින් සළකා බලන ලදී.
කොමිසමෙහි තීරණය වන්නේ විශේෂයෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අඩංගු වන ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවයි.
මෙම තීරණ වලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතරකිරීම කළ යුතු ද යන්න සහ කවුන්සිලයේ සිටින යුරෝපීය කොමිසමේ සාමාජික රටවලට මේ සම්බන්ධව සුදුසු ක‍්‍රියාමාර්ගයක් යෝජනා කළ යුතු ද යන්නයි. එවැනි යෝජනාවක් ඉදිරිපත් කර අනතුරුව එය කවුන්සිලය විසින් සම්මත කරගනු ලැබුවහොත් එම සම්මත කිරීමේ දිනයෙන් මාස හයක් ගත වීමෙන් පසු එම යෝජනාව ක‍්‍රියාත්මක වනු ඇත.

No comments: