Friday, March 12, 2010

ඇයි මේ අන්දොස් වෙලා ...?

මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි.ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් හා චිංචිමානවිකාවන් වැනි සියළු බර අවි හා සැහැල්ලූ අවි වලින් පහර දී ඉබ්බා පරාජය කළත්, ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට මුලින් ප්ලෑන් කර තිබු පොදු ඉබ්බා මඩ සෝදාගෙන නිරුපද්‍රිතව තරගයට එන බව ආණ්ඩුව නිරීක්ෂණය කළෝය. කොහොල්ලෑ බබාට පහර දුන් ආකාරයට සියළුම අවයව වලින් පොදු අපේක්ෂකයාට පහරදී එම කොහොල්ලෑ ගොඬේ තමාද යම් තරමකට ඇලවී සිටින ආණ්ඩුවට සාපේක්ෂව විපක්ෂයට ද ඇත්තේ උන්නු හැටියට මළා මදැයි කිව්වාක් වැනි සාපේක්ෂ වාසිදායක තත්ත්වයකි.
එවැනි වාතාවරණයකදී පවතින සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නවලට කිසිදු සංයුක්ත පිළිතුරක් ඉදිරිපත් නොකරන ආණඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමන් කැමති ආකාරයට වෙනස් කිරීම සඳහා ‘බ්ලෑන්ක් චෙක්’ එකක් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිද්දි විපක්ෂයේ ප‍්‍රධාන බලවේග දෙක වන එක්සත් ජාතික පෙරමුණත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත් ඉදිරි පාදයේ ක‍්‍රීඩා කරමින් පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවද, අපට දක්නට ලැබෙන්නේ පාදයක් පසුපසට ගෙන සුපරික්ෂාකාරීව පන්දුවට පහර දෙන හෙවත් ජන වහරට අනුව කිව්වොත් ‘බෝල කන’ විපක්ෂයකි.
මෙයට පෙරද ‘සමබිම ’ සාකච්ඡා කර ඇති පරිදි ලංකාවේ ජීවත්වන අපට වර්තමාන ආණ්ඩුව විසින් ඉතිහාසයෙන් විරාමයක් ලබා දී තිබේ. අපායේ ඉන්ටවල් එක වැනි මේ නිවාඩුව මේ මැතිවරණයෙන් පසු අවසන් වන අතර ඉන්පසු සැබෑ අභියෝගයන්ට මුහුණදීමට අපට සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය (දැනට ප‍්‍රමාද කොට ඇති) ලබා ගැනීමට නම් දැන් සියයට දහයක් වන අය-වැය පරතරය සියයට හතක් දක්වා අඩු කළ යුතුය. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය යුරෝපා සංගමයෙන් නැවත ලබා ගැනීමට නම් දහහත් වන සංශෝධනය ක‍්‍රියාත්මක කොට, සිවිල් අයිතිවාසිකම්වලට පටහැනි මර්දන නීති සංශෝධනය කළ යුතුය. ඉන්දියාවෙන්, බි‍්‍රතාන්‍යයෙන් සහ ඇමෙරිකාවෙන් ලැබෙන සිග්නල් බලවත් වීමට පෙර දෙමළ ජනතාව සමඟ බලය බෙදා හදා ගැනීමේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය. ඒ සියල්ල හේතුවෙන් නිවාඩුවෙන්, ඉන්ටවල් එකෙන්, නින්දෙන් ඇහැරෙන ලාංකිකයාගේ දේශපාලන ප‍්‍රතික‍්‍රියාවලටද මුහුණ දිය යුතුය. විපක්ෂයේ බලවේග දෙකම මෙය හොඳින් දන්නා අතර ආණ්ඩුව මෙය නොදන්නවා යැයි සිතිය හැක්කේ තොත්ත බබෙකුට පමණි.
එසේ නම්, විපක්ෂයට මේ සියළු තුරුම්පු පාවිච්චි කරමින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ආණ්ඩුවේ නියෝජිතයන් අන්ද මන්ද වන ආකාරයට ප‍්‍රහාරක ශෛලියකට අනුගත වීමට නොහැකිව ඇත්තේ ඇයි?
මේ තත්ත්වය තේරුම් ගැනීමට අප වට වංගු සහිත මාර්ගයක් තෝරා ගනිමු. සමාජයේ ඉහළ පන්ති වලට අයත් ජන කොටස් සුවිශේෂ සංස්කෘතියකට උරුමකම් කියයි. එම සංස්කෘතික පුරුදුවලට අනුව ඔවුන් ඉතා පහසුවෙන් හැසුරුණත් අහම්බෙන් හෝ එවැනි ස්ථානයකට ඇතුළු වන පහළ පන්තියේ සාමාජිකයෙකු එම සංස්කෘතිය අනුව හැසිරෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය හමුවේ විශාල අසීරුතාවයකට පත්වෙයි. උදාහරණයක් ලෙස ටයිටැනික් චිත‍්‍රපටයේ රෝස්ගේ පවුලේ අය සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ආරාධනා ලබන පහළ පාන්තික තරුණයෙකු වන ජැක් සිහියට නගා ගත හැකිය. මෙහිදී පහළ පන්තියේ සාමාජිකයා කරන්නේ ඉහළ පන්තියේ සංස්කෘතිකාංග කොපි කිරීමයි. එමඟින් එම සංස්කෘතිය උපුටා ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් කොපි කරන පුද්ගලයා මහත් අකරතැබ්බයකට පත්වන්නේ ඉහළ පන්තියේ සාමාජිකයන් එකී සම්මත චාරිත‍්‍ර විධි අනුගමනය කරන අවස්ථාවේ නොව කිසියම් හදිසි අවස්ථාවකදී ඔවුන් එම චාරිත‍්‍ර විධි බිඳ දමන අවස්ථාවේදීය. එසේ බිඳ දමන අවස්ථාවකදී ක‍්‍රියාකරන ආකාරය දැක ගැනීමට එවැනි අවස්ථාවකටම මුහුණ දිය යුතු හෙයින්, එය කල් තබා කොපි කිරීමට නොහැකිවීමෙන් පහළ පන්තිකයා අමාරුවේ වැටෙයි. ඔහු එසේ අමාරුවේ වැටෙන්නේ එනම් කොතරම් කොපි කළද තමන් එකී ඉහළ පන්තියේ සාමාජිකයකු නොවන බව නිරාවරණය වන්නේ ඉහළ පන්තියේ සංස්කෘතියෙහි ඇති මතුපිටින් ප‍්‍රකාශමාන වන නීති රීති හේතුවෙන් නොව එයට යටින් ඇති මතු පිටින් ප‍්‍රකාශ නොවන අලිඛිත නීති රීති හෙවත් යටි බඩ හේතුවෙනි.
අපි දැන් ඉහත උදාහරණය ලාංකික සංස්කෘතියට ආදේශ කරමු. ලාංකිකයාගේ - විශේෂයෙන්ම සිංහල මිනිසාගේ - ඡන්දය ලබාගෙන බලයට පත්වීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂ එම ලාංකිකයාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට උත්සාහ කරයි. තමන් පරාජය වන්නේ එම සංස්කෘතියට අනුගත නොවූ නිසා යැයි කල්පනා කොට නොයෙක් ආකාරයෙන් එම සංස්කෘතිය කොපි කිරීමට ක‍්‍රියා කරයි. ජාතික ඇඳුම ඇඳීම, සාටකය පැළඳීම, උඩු රැවුළ වැවීම, ළමයින් වඩා ගැනීම, මහා නායක හිමිවරුන් බැහැ දැකීමට යාම ආදිය සිදු කරයි. ලාංකිකයා අවංක යැයි සිතා අවංකව කරුණු කියයි. ලාංකිකයා නිහතමානී යැයි සිතා නිහතමානී වෙයි. තර්කානූකුලව කතා කරයි. කරුණු සහිතව දූෂණය වංචාව ඔප්පු කර පෙන්වයි. එහෙත්, මේ ආකාරයෙන් මතු පිටින් පෙනෙන ප‍්‍රකාශිත නීති රීති අනුසාරයෙන් ලාංකිකයාගේ සංස්කෘතිය හඳුනාගෙන, එය කොපි කරගෙන එයට අනුගතවීමට තැත් කරන විපක්ෂයේ බලවේග දෙකටම නොපෙනෙන පැත්තක් ඇත. ඒ ලාංකිකයාගේ සංස්කෘතිය පාලනය වන ප‍්‍රකාශිතයට යටින් පවතින අප‍්‍රකාශිත, අලිඛිත නීති සමුදායයි.යටි බඩයි.
සියළු අවාසිදායක තත්ත්වයන් යටතේ ආණ්ඩුව තවමත් පෙර පාදයේ ක‍්‍රිඩා කරන්නෙත් විපක්ෂය සුපරික්ෂාකාරී ලෙස පසු පාදයේ ක‍්‍රීඩා කරන්නේත් ලාංකිකයාගේ සංස්කෘතියේ ඇති මේ අප‍්‍රකාශිත, යටින් දුවන නීති රීති පිළිබඳ අවබෝධයක් ආණ්ඩු පක්ෂයට හා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ඇති අතර, විපක්ෂය ඒ විෂයේදී ඉතා දුර්වල බැවිනි. වෙනත් වචනයකින් කිව්වොත් මේ වන විට යටි බඩ සම්බන්ධ විශේෂඥයන් සියළුදෙනාම සිටින්නේ ආණ්ඩුව පැත්තේය. අයි.පී.එල්. තරගාවලියේදී විවිධ සින්ඩිකේට් විසින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මිළදී ගන්නා පරිද්දෙන් විපක්ෂයේ යටි බඩ පිළිබඳ යම් ආකාරයක දැනුමක් ඇතිව සිටි එස්.බී, ජොනී, රාජිත, සහ විමල් වැනි ක‍්‍රිඩකයන්ද අද ආණ්ඩුව විසින් තමන්ගේ පැත්තට ගනු ලැබ ඇති අතර විපක්ෂයේ ඒ අංශයේ විශේෂඥයන් ඇත්තේම නැති ගාණය.

bACK TO HOME
VIEW PDF

No comments: