Thursday, October 22, 2009

‍නේපාලේ මෙහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ?

ෆ්‍රෙඞී ගමගේ
නිදහසේ වේදිකාව ගැන අද වැඩි දෙනෙකුට තියෙන ප‍්‍රශ්නය තමයි ‘අපොයි යූ.ඇන්.පී නේද’ කියන එක.
මේ ප‍්‍රශ්නය අහන දෙවර්ගයක් මේ සමාජයේ ඉන්නවා.
එක් කට්ටියක් මෙලෝ වැඩකට එන්නෙ නැති ඇඟ හොරු.එයාලට මේ වැඩවලට ඇවිත් තියෙන ආතල් කඩාගන්න බැරි හින්ද මේ තර්කෙ දාල තමන් ප‍්‍රගතිශීලී පොරවල් කියල අනික් අයට හිතවන්ඩ හදනව.මේ වගේ අයගෙන් වැඩක් නැහැ.මෙහෙම අය බහුතරයකින් තමයි මේ සිවිල් සමාජය හැදිල තියෙන්නෙ.
මේ අයගෙන් අති බහුතරයක් මේ තියෙන ආර්ථික අර්බුදය ඇතුළෙ ව්‍යාපෘති නැතිවෙලා ගිහින් ළඟදිම නන්නත්තාර වෙන්න නියමිතයි.
ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා.අපි හිතනවා ඒ අය ගැන නම් මේ සමාජයේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්ත ව්‍යාපාරයක් හදන්න මහන්සි ගන්න අය අවධානය යොමුකළ යුතුයි.
ඒ අයත් අහන ප‍්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි ඇයි අපි මේ දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන්නෙ කියල.ඇයි අපට බැරි අපිම එකතුවෙලා කරගන්න.
මේ ප‍්‍රශ්නෙ දැනටමත් එවැනි බහුතරයක් අතර ප‍්‍රමාණවත්ව සාකච්ඡා කෙරිල තියෙනවා.
මේ උත්සාහය ඒ ප‍්‍රශ්නය තවත් තේරුම් ගැනීම සඳහා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරවල අත්දැකීමක් බෙදාගැනීමටයි.
මේකෙදි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු රටක් තමයි නේපාලය.
නේපාල දේශපාලන සමාජය තුළ සියළු බලවේග එක්තැන් කරන්න පදනම වැටුණෙ සියළු දෙනාට දේශපාලනය කළ හැකි පරිසරයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය මතයි.
2005 පෙබරවාරි මාසෙ නේපාලයේ නාමික නායකයා වූ ගයනේන්ද්‍ර රජු විසින් පාර්ලිමේන්තුව අහෝසි කර යුද නීතිය පනවන්න යෙදුණා.
මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය කි‍්‍රයාත්මක කිරීම ගැන රජු විසින් ගෙන ආ තර්කය තමයි මාවෝවාදී කැරැල්ල පාලනය කිරීමට සිවිල් දේශපාලනඥයින් අසමත් බව.ඒ හින්දා සියළු බලතල තමන් තුළ සංකේන්ද්‍රණය කරන්නට ඔහු කි‍්‍රයාත්මක වෙනවා.
දුරකථන විසන්ධි කිරීමේ සිට ප‍්‍රධාන දේශපාලන නායකයන් සිරගත කිරීම හරහා පුද්ගලයන් අතුරුදහන් කිරීම දක්වා විවිධ මර්දන ක‍්‍රියා රජු යටතේ සිදුකෙරුණා.ඇතැමුන් ඉන්දියාවටත් තවත් රටවලටත් පැන යාම මේ කාලයේ සුලබ තත්වයක් වුණා.
මේ පසුබිම විසින් තමයි දේශපාලන සමාජයටත් සිවිල් සමාජයටත් එකට එකතු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හදාගැනීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ මූලික පියවරක් ලෙසින් 2005 පෙබරවාරි පළවෙනිදා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පක්ෂ හතක සන්ධානයක් ගොඩනැගුවා. සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය සංවිධානද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඒකාබද්ධ වුණා.
දෙසැම්බර් 12 වනදා මූලික කරුණු ෙදාළහක් ඇතුළත් පදනම් ලියවිල්ලකට මාවෝවාදී කැරලිකරුවන් සහ පක්ෂ හතේ සන්ධානය විසින් අත්සන් තැබුණා.
මේ ව්‍යාපාරයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් තමයි පක්ෂ සන්ධානය ඇතුළු නේපාල සිවිල් සමාජය එක්ව වැඩවර්ජන රැල්ලක් සංවිධානය කිරීමට ගනු ලබන තීරණය.
අපේ‍්‍රල් 5-9 වර්ජන රැල්ලෙහි සාර්ථකත්වය මත එය නොනවතින බහුජන අරගල රැල්ලක් ලෙසින් ඉදිරියට ගෙන යාම සඳහා දින නියමයකින් තොරව වර්ජන සහ ජනතා උද්ඝෝෂණය දිගටම ගෙන යාමට අපේ‍්‍රල් 09 වෙනිදා තීරණය කෙරුණා.
මෙම අරගලය තවදුරටත් විරුද්ධ පක්ෂවල උදඝෝෂණයක් නොව ජනතාවගේ අරගලයක් සහ ජනතා ව්‍යාපාරයක් බව අපේ‍්‍රල් 9 වෙනිදා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂ නායක ප‍්‍රචණ්ඩ සහෝදරයා ප‍්‍රකාශයක් කළා.
අපේ‍්‍රල් 21 වෙනිදා වන විට ලක්ෂ පහක ජනතාවක් පාරට බැස හමාරයි. ඉතාම අඩුවෙන් ගණන් බැලූ සංඛ්‍යා ලේඛන අනුවත් (උදාහරණයක් වශයෙන් ජනරළ උද්ඝෝෂණයට කොළඹට පැමිණි පිරිස පිළිබඳව රොයිටර් කරුණාතිලකගේ එස්.එම්.එස් පණිවුඩය වැනි) ලක්ෂ තුනක් පාරට බැස තිබෙනවා.
මෙදින සවස නැවත පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කොට ජනතාවට පරමාධිපත්‍ය බලය ලබා දෙන බව ප‍්‍රකාශ කිරීමට ගයනේන්ද්‍ර මහ රජාණන් ට සිදු වුණා.
මාවෝවාදීන් මෙහිදී කියා සිටින්නේ පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය නොවිසෙදන බවයි.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන ලෙසත් රාජාණ්ඩුව අහෝසි කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
මේ අනුව රාජාණ්ඩුව අහෝසි කර නේපාලය ජනරජයක් බවට පත් කරනු ලැබුවා.දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධානවල ඒකාබද්ධතාවයෙන් ගොඩනැඟුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා අරගලය ජයග‍්‍රහණය කළා.

Back to Home

No comments: