Thursday, May 28, 2009

ලංකාවේ පමණ ඉක්මවා පැනවූ නීති තිබෙනවා

රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප‍්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මෙවැනි තහනම් පැනවීම් ඔබ දකින්නේ කෙසේද?
පමණ ඉක්මවා නීති රීති පැනවීමට සහ ජනතාවගේ ජීවිත සීමාව ඉක්මවා පාලනය කිරීමට ලංකාවේ නැමියාවක් තියෙනවා. ඔබ කියන ශබ්ද දුෂණය යන කාරණය ගැන සැලකීමේදී එය දුම්කොළ සහ මත් ද්‍රව්‍ය ප‍්‍රචාරණය වාරණය කිරීම, මාධ්‍ය වාරණය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු වාරණයෙන් වෙනස් කොට සැලකිය යුතුයි. ශබ්ද දූෂණය අධිකරණය විසින් පනවන ලද නියෝගයක්. රාත‍්‍රි කාලයේදී සීමාව ඉක්මවා ශබ්ද පිට කිරීමෙන් වළකින ලෙස මහජනතාවට පැවසීම සාධාරණයි. මෙහිදී මතුවන ගැටලූව කුමන මට්ටමේ ශබ්දයක් නිසා මහජනතාවට හිරිහැරයක් වන්නේද, එවැනි ශබ්ද මට්ටම් පාලනය කළ යුත්තේ කුමන වේලාවකට පසුවද සහ ආගමික උත්සව හා වෙනත් විශේෂ දිනවලදී මහජනයාට මෙම ශබ්ද මට්ටම ඉක්මවා යෑමට අවසර දිය යුතුද යන්න පිළිබඳවයි. ජාතික ආරක්ෂාව කියන කාරණයේදී මහජනතාවට තොරතුරු ලබා ගැනීමට සහ දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට සිතීමේ නිදහස යන්නෙන් අදහස් වෙන්නේ ස්වාධීන සහ විශ්වාසදායී තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාවයි. ජනමාධ්‍යවලට ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ ඒවා ආවරණය කිරීමට අයිතියක් සේම යුතුකමක් ද පවතිනවා. යුද්ධය පිළිබඳව මාධ්‍ය ආවරණයේදී ආණ්ඩුව අධිකව පවත්වා ගෙන ගිය ඒකාධිකාරය නිසා එම අයිතිය උල්ලංඝනය වෙනවා. ඕනෑම කාරණයකදී සමබරතාවය ඉතා වැදගත්. මෑත කාලීන යුධ තොරතුරු වාර්තාකරණයේදී රජය සහ එල්.ටී.ටී.ඊ ය ගෙන ගිය ප‍්‍රචාරණ ව්‍යාපෘති මත විශ්වාසය තැබීමට මහජනයාට සිදුවුණා. ස්වාධීන තොරතුරු මුලාශ‍්‍රයකට ප‍්‍රවේශ වීමට හැකියාවක් තිබුණේ නැහැ.
කලා කටයුතු අධිකව වාරණය කිරීම ගැන කතා කරනවා නම් එ්වා වාරණය කිරීම සම්බන්ධයෙන් මගේ කැමැත්තක් නැහැ. විශේෂයෙන්ම චිත‍්‍රපටි. සමහර චිත‍්‍රපට නැරඹිය යුත්තේ වැඩිහිටියන් පමණක් යැයි හෝ ළමුන් ඒවා දෙමාපියන් සමඟ නැරඹිය යුතුයැයි කියා රජය වෙත නිර්දේශ කිරීමට වාරණ මණ්ඩලයට ඉඩදිය දිය හැකියි. නමුත් එය සීමාව ඉක්මවා වාරණය කිරීමට රජයට අයිතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. දෙමාපියන් ලෙස මගේ දරුවා නැරඹිය යුත්තේ කුමක් දැයි තීරණය කිරීම රජයට බාර දෙනවාට වඩා මා විසින්ම තීරණය කිරීමට මම කැමතියි. රූපවාහිනිය සම්බන්ධයෙන් නම් ඊට වඩා වැඩි පාලනයක් පැවතිය හැකියි. නමුත් සිප ගැනීමේ දර්ශන සහ සමහර වචන භාවිතා කිරීම රූපවාහිනිය තුළ තහනම් කිරීම බාල සහ බොළඳ ක‍්‍රියාවක්.


කිසියම් රටක පවතින අධික නීති (excessive law) ඇතැම් වේලාවල දී, ඇතැම් පුද්ගලයන් සඳහා පමණක් ක‍්‍රියාත්මක වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපාන්නේ කෙසේද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මූලික ලක්ෂණයක් වන්නේ ‘මනුෂ්‍ය ස්වාධීනත්වයයි.’ මිනිසුන් වැඩිහිටි බවට පත් වූ පසු ඔවුන් නැරඹිය යුත්තේ කුමක්ද, කියවිය යුත්තේ කුමක්ද, ඔවුන් දුම් පානය කළ යුතුද, මත්පැන් පාවිච්චි කළ යුතුද, ඔවුන් තමන්ගේ දරුවන් හදා වඩා ගත යුත්තේ කෙසේද, ඔවුන් ජීවිතය ගත කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට නිදහස තිබිය යුතුයි. ඔවුන්ගේ ජීවන රටාව අනෙක් අයට හිරිහැරයක් වෙනවා නම් හෝ අන් අයට හානියක් සිදුවෙනවා නම් එවිට රාජ්‍යයට ඔවුන්ගේ හැසිරීම් රටාව ක‍්‍රමවත් කළ හැකියි. නමුත් එසේ නැතිව රාජ්‍යයට වෙනත් බලපෑම් කළ නොහැකියි. ශ‍්‍රී ලංකාවේ පවතින එක් අභියෝගයක් වන්නේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා සෑම පුද්ගලයෙකුම නීතියට යටත් බව තහවුරු කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. කෙසේ නමුත් අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ එකිනෙකාට විවිධ ආකාරයෙන්. ස්වාධීන හා මහජන විශ්වාසය දිනාගත් ආයතන තිබෙන්නේ කිහිපයක් පමණයි. අපට ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර බව පිළිගන්නා තත්වයක් උදාකර ගැනීම සඳහා ව්‍යවස්ථාව සමඟ ගැටෙන අනෙකුත් සියලූ නීති රීති සහ භාවිතයන් අවලංගු වන තත්ත්වයක් ලඟා කර ගැනීම වැදගත්.

මෙවැනි නීති වලට දේශීය වශයෙන් අභියෝග කල හැකිද?
ඒ කෙසේද?අපට අණ පණත් ප‍්‍රතිවිමර්ශනය කිරීමේ ක‍්‍රමයක් තිබිය යුතුයි. යම් නීතියක් ව්‍යවස්ථාවට පටහැනි නම් එවැනි නීති අවලංගු කිරීමට අධිකරණයට ඉඩකඩ තිබිය යුතුයි.


No comments: