Thursday, May 14, 2009

පොලිසියේ සිම්පල් ප්ලෑන් එක

අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

මේ පසුගිය වසර කිහිපයක් පුරා ශ‍්‍රී ලංකාවේ නීතියට පරිබාහිර ව අපරාධ යුක්තිය පසිඳලීමේ අවනීතිය ක‍්‍රියාත්මක වන රටාවයි. අපරාධයක් යනු හැමවිටෙකම වරදකට එහා ගිය, සමාජය තුළ කැළඹීමක්, කම්පනයක්, භීතියක් ඇති කරන සිදුවීමකි. එවැන්නකදී ප‍්‍රජාව ආවේගශීලී වීම නොවැලැක්විය හැකි හේතුවකි. එනිසාම පිළිගත් නීති රාමුවක් තුළ අපරාධයට සුදුසු දඬුවමක් ලැබිය යුතුය.නමුත් අවාසනාවකට සමාජයේ බොහෝ පිරිසක් පොලිසියේ මෙම අශිෂ්ඨ, අශ්ශීල, ගෝත‍්‍රික හැසිරීමට පක්ෂය. නමුත් මෙම සිදුවීමේදී සමාජය වටහා නොගත් කාරණා කිහිපයක් ඇත. පොලිසිය යනු ආයුධ හා නිල බලය සහිත සන්නද්ධ රාජ්‍ය නිළධාරින් පිරිසකි. ඔවුන් මේ මරා දමන්නේ අධිකරණය හමුවේ අපරාධකරුවෙකු යැයි ඔප්පු නොවු, ඊට අවස්ථාවක්ද නොසැලසුනු හුදු සැකකරුවෙක් පමණි. බාගවිට මේ මිය යන්නේ සැබෑ අපරාධකරුවාද නොවිය හැකිය. සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අපරාධයට අදාළ සියලූ චංචල, නිශ්චල උපකරණ සහ සිදුවීම් හෙළිදරවු කරගෙන අධිකරණයක් හමුවේ එය සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පොලීසියේ බහුතරයක් නිලධාරීන්ට ඇති බැරිකම වසා ගන්නට ඔවුන් යොදන මේ සිම්පල් ප්ලෑන් එකේ ඇති අනාගත උවදුර වටහා ගන්නට සමාජයට නොහැකිවීම කණගාටුවකි. එසේත් නැත්නම් අපට කණගාටුවෙන් වුවත් පිළිගන්නට සිදුවන්නේ ලංකාව වැනි ඌණ සංවර්ධිත රටක ජීවත් වන මිනිසුන් බොහෝ පිරිසකට නීරෝගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තමන් වෙනුවෙන් බිහිකර ගැනීමට අවශ්‍යතාවක් නැති බවය.

අපරාධකරුවන් ඉබේ පහළ වන්නේ නැත. ඊට බලපාන සමාජ, ආර්ථික, මානසික හෝ ශාරීරික හේතූන් පවතී. යම් සිදුවීමකට එකී සාධකවල ඇති සාධනීය බලපෑම විමර්ශනය කිරීම මානව හා භෞතික විද්‍යා විෂය ක්ෂේත‍්‍රවලට මෙන්ම රටක සංවර්ධන ක‍්‍රියාදාමයට කෙතරම් අත්‍යවශ්‍යයද යන්න වටහා ගැනීමට තරම් බුද්ධියක් බොහෝ පොලිස් නිලධාරීන් තුළ පවතිනවා නම් සැකකරුවෙකු නොව අපරාධකරුවෙකුවත් මරා දමන්නේ නැත. මෙරට මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවන අවස්ථාවක පොලීසිය මේ සිදුකරන්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. සැකකරුවන් ඝාතනය කරදමා වධකයාගේද කාර්ය භාරයයි. මේ මරා දමන්නේ සමාජයේ ජීවත් වන තවත් පුරවැසියෙකි. මේ ඝාතනයට ලක් වන එක් මිනිස් පුරුකක් මඟින් සමාජය තුළ ඇති කරනු ලබන රික්තය නිසා ඇතිවන සමාජ අසමතුලිතභාවය තවත් මිනිස් පුරුකක් ඝාතනය කර තුලිත කිරීමට නොහැකි බව ස්වභාව යුක්තියේ මූලධර්ම අගයන ශිෂ්ට සම්පන්න මිනිසෙකුට වටහා ගැනීම අපහසු නැත.
ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් අත්මාරක්ෂාව හා අවම බලය යෙදවීමට අනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමිවේ. නමුත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳව ගැටලූවකි. පොලිසියට පමණක් මෙහි පුර්ණ වගකීම පැටවීම සාධාරණ නැත. මේ දිග හැරෙන්නේ පොලීසිය, අධිකරණය ඇතුළු සමස්ත යුක්ති පද්ධතියේම ඇති නොහැකියාවයි. අධිකරණයට මෙහි විශාල වගකීමක් ඇත. එ් ඝාතන සම්බන්ධයෙන් ඉදිරිපත් වන පොලිස් සාක්ෂි ගැඹුරින් ප‍්‍රශ්න කිරීමට ය.

මීට වසර එකහමාරකට පමණ පෙර අඟුරුවාතොට ප‍්‍රදේශයේ සිදු වූ එක්තරා ප‍්‍රසිද්ධ ඝාතන සිදුවීමකදී ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙන් මට අසන්නට ලැබුණේ මෙවැනි කතන්දරයකිි. ”ඊයේ හවස අපි මෑන්ට වැඬේ දෙන්න හිටියේ. වෙලාවට ඊට කලින් ඌ වැඬේ කරපු අයයි, බඩුයි පෙන්නුවා.”පොලිසිය අතින් සිදු වෙන මෙම ඝාතන හුදු අහම්බයක් නොවන බවට මේ එක් සාක්ෂියක් පමණි.අපරාධයකට දඬුවමක් හෝ විශෝධනයක් ලබාදීම අපි ඉහළින් ම අනුමත කරන්නෙමු. එය සමාජ ශෝධන ක‍්‍රියාවලියට අත්‍යවශ්‍යය. නමුත් පවතින නීති අභිබවා යමින් ඊට පටහැනිව සිදුකරන මෙම මනුෂ්‍ය ඝාතන කිසිවිටෙක අනුමත කළ නොහැක. සෑම පුරවැසියෙකුටම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතුය. කිසිවෙකුගේ ඳූජීවත් වීමේ අයිතිය පොලිස් නිල ඇමකට දෙවැනි විය යුතු නැත. මේ ඔබ අවදි විය යුතු කාලයයි. කුමන හෝ ආකාරයකට ඔබේ දූ පුතුන්, සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, ඥතීන්, ඝාතනය වීමට ඉඩක් හා ඊට නීතිමය රැකවරණයක්ද සහිත පරිසරයක් බිහිවෙමින් පවතී.
තාරා ශ‍්‍රී රාම්


No comments: