Thursday, May 28, 2009

ලංකාවේ පමණ ඉක්මවා පැනවූ නීති තිබෙනවා

රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප‍්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මෙවැනි තහනම් පැනවීම් ඔබ දකින්නේ කෙසේද?
පමණ ඉක්මවා නීති රීති පැනවීමට සහ ජනතාවගේ ජීවිත සීමාව ඉක්මවා පාලනය කිරීමට ලංකාවේ නැමියාවක් තියෙනවා. ඔබ කියන ශබ්ද දුෂණය යන කාරණය ගැන සැලකීමේදී එය දුම්කොළ සහ මත් ද්‍රව්‍ය ප‍්‍රචාරණය වාරණය කිරීම, මාධ්‍ය වාරණය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු වාරණයෙන් වෙනස් කොට සැලකිය යුතුයි. ශබ්ද දූෂණය අධිකරණය විසින් පනවන ලද නියෝගයක්. රාත‍්‍රි කාලයේදී සීමාව ඉක්මවා ශබ්ද පිට කිරීමෙන් වළකින ලෙස මහජනතාවට පැවසීම සාධාරණයි. මෙහිදී මතුවන ගැටලූව කුමන මට්ටමේ ශබ්දයක් නිසා මහජනතාවට හිරිහැරයක් වන්නේද, එවැනි ශබ්ද මට්ටම් පාලනය කළ යුත්තේ කුමන වේලාවකට පසුවද සහ ආගමික උත්සව හා වෙනත් විශේෂ දිනවලදී මහජනයාට මෙම ශබ්ද මට්ටම ඉක්මවා යෑමට අවසර දිය යුතුද යන්න පිළිබඳවයි. ජාතික ආරක්ෂාව කියන කාරණයේදී මහජනතාවට තොරතුරු ලබා ගැනීමට සහ දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට සිතීමේ නිදහස යන්නෙන් අදහස් වෙන්නේ ස්වාධීන සහ විශ්වාසදායී තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාවයි. ජනමාධ්‍යවලට ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ ඒවා ආවරණය කිරීමට අයිතියක් සේම යුතුකමක් ද පවතිනවා. යුද්ධය පිළිබඳව මාධ්‍ය ආවරණයේදී ආණ්ඩුව අධිකව පවත්වා ගෙන ගිය ඒකාධිකාරය නිසා එම අයිතිය උල්ලංඝනය වෙනවා. ඕනෑම කාරණයකදී සමබරතාවය ඉතා වැදගත්. මෑත කාලීන යුධ තොරතුරු වාර්තාකරණයේදී රජය සහ එල්.ටී.ටී.ඊ ය ගෙන ගිය ප‍්‍රචාරණ ව්‍යාපෘති මත විශ්වාසය තැබීමට මහජනයාට සිදුවුණා. ස්වාධීන තොරතුරු මුලාශ‍්‍රයකට ප‍්‍රවේශ වීමට හැකියාවක් තිබුණේ නැහැ.
කලා කටයුතු අධිකව වාරණය කිරීම ගැන කතා කරනවා නම් එ්වා වාරණය කිරීම සම්බන්ධයෙන් මගේ කැමැත්තක් නැහැ. විශේෂයෙන්ම චිත‍්‍රපටි. සමහර චිත‍්‍රපට නැරඹිය යුත්තේ වැඩිහිටියන් පමණක් යැයි හෝ ළමුන් ඒවා දෙමාපියන් සමඟ නැරඹිය යුතුයැයි කියා රජය වෙත නිර්දේශ කිරීමට වාරණ මණ්ඩලයට ඉඩදිය දිය හැකියි. නමුත් එය සීමාව ඉක්මවා වාරණය කිරීමට රජයට අයිතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. දෙමාපියන් ලෙස මගේ දරුවා නැරඹිය යුත්තේ කුමක් දැයි තීරණය කිරීම රජයට බාර දෙනවාට වඩා මා විසින්ම තීරණය කිරීමට මම කැමතියි. රූපවාහිනිය සම්බන්ධයෙන් නම් ඊට වඩා වැඩි පාලනයක් පැවතිය හැකියි. නමුත් සිප ගැනීමේ දර්ශන සහ සමහර වචන භාවිතා කිරීම රූපවාහිනිය තුළ තහනම් කිරීම බාල සහ බොළඳ ක‍්‍රියාවක්.


කිසියම් රටක පවතින අධික නීති (excessive law) ඇතැම් වේලාවල දී, ඇතැම් පුද්ගලයන් සඳහා පමණක් ක‍්‍රියාත්මක වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපාන්නේ කෙසේද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මූලික ලක්ෂණයක් වන්නේ ‘මනුෂ්‍ය ස්වාධීනත්වයයි.’ මිනිසුන් වැඩිහිටි බවට පත් වූ පසු ඔවුන් නැරඹිය යුත්තේ කුමක්ද, කියවිය යුත්තේ කුමක්ද, ඔවුන් දුම් පානය කළ යුතුද, මත්පැන් පාවිච්චි කළ යුතුද, ඔවුන් තමන්ගේ දරුවන් හදා වඩා ගත යුත්තේ කෙසේද, ඔවුන් ජීවිතය ගත කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට නිදහස තිබිය යුතුයි. ඔවුන්ගේ ජීවන රටාව අනෙක් අයට හිරිහැරයක් වෙනවා නම් හෝ අන් අයට හානියක් සිදුවෙනවා නම් එවිට රාජ්‍යයට ඔවුන්ගේ හැසිරීම් රටාව ක‍්‍රමවත් කළ හැකියි. නමුත් එසේ නැතිව රාජ්‍යයට වෙනත් බලපෑම් කළ නොහැකියි. ශ‍්‍රී ලංකාවේ පවතින එක් අභියෝගයක් වන්නේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා සෑම පුද්ගලයෙකුම නීතියට යටත් බව තහවුරු කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. කෙසේ නමුත් අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ එකිනෙකාට විවිධ ආකාරයෙන්. ස්වාධීන හා මහජන විශ්වාසය දිනාගත් ආයතන තිබෙන්නේ කිහිපයක් පමණයි. අපට ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර බව පිළිගන්නා තත්වයක් උදාකර ගැනීම සඳහා ව්‍යවස්ථාව සමඟ ගැටෙන අනෙකුත් සියලූ නීති රීති සහ භාවිතයන් අවලංගු වන තත්ත්වයක් ලඟා කර ගැනීම වැදගත්.

මෙවැනි නීති වලට දේශීය වශයෙන් අභියෝග කල හැකිද?
ඒ කෙසේද?අපට අණ පණත් ප‍්‍රතිවිමර්ශනය කිරීමේ ක‍්‍රමයක් තිබිය යුතුයි. යම් නීතියක් ව්‍යවස්ථාවට පටහැනි නම් එවැනි නීති අවලංගු කිරීමට අධිකරණයට ඉඩකඩ තිබිය යුතුයි.


Thursday, May 14, 2009

ගතවූ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ අපරාධයන්ට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මිය යාම වර්තමානයේ නොනිමෙන අරගලයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ව සමබිම සමඟ විද්වතුන් දැක්වූ අදහස් කිහිපයකි මේ.

ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

සියලූ සැකකරුවන් ආයුධ හංඟලා තියෙන්නේ බොල්ගොඩ ගෙඟ්ද ?

ඕක දැන් තියෙන ටෙ‍්‍රන්ඞ් එකක්. 1978 දෙවන ජනරජ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ පැහැදිලි ව දක්වලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත යුතු ආකාරය පිළිබඳ ව. මිනී මැරුමක් කළ අයෙකුට වුවත් අත් අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයකින් පසුව දඬුවම් දීමයි සිදුවිය යුත්තේ. නමුත් වර්තමාන ප‍්‍රවණතාව ඒ සියල්ලටම පෙර පොලීසිය අතින් සැකකරුවන් ඝාතනය වීම. මේ ගැන සමාජයේ බොහෝ පිරිසක් සතුටු වෙන්න පුලූවන්. සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන කටයුතු හරියට කර ගන්න බැරි තැන සැකකරුවන්ට පහරදීම්, බිය වැද්දීම්වල සිට අවසානයේ ඝාතනය කිරීම් දක්වා පොලිසිය තමන්ගේ බලය පාවිච්චි කරනවා. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය පසුගිය කාලය පුරාම අත් අඩංගුවට ගත් මෙම සැකකරුවෝ ආයුධ හංඟලා තිබුණේ බොල්ගොඩ ගගේද? නැත්නම් කෙසෙල් පඳුරක් අස්සේ ද? ගස්ලබු පඳුරක් අස්සේ ද කියන එක. පසුගිය කාලයේ බියගම පොලීසියෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තමන්ගේ ආරක්ෂාව තහවුරු වී තියෙද්දීත් උදේ වෙනකොට මරා දාලා. පොලීසිය මේ ගොතන කතාවේ තියෙන සාවද්‍යභාවය පැහැදිලියි.පොලිස් රැකවරණයේ ඉන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමේ සම්පුර්ණ වගකීම තියෙන්නේ පොලිසියට. පොලිස් ස්ථානයක් භාරයේ ඉන්න කෙනෙක් මැරුණොත් ස්ථානාධිපති එයට සම්පුර්ණයෙන් වගකිව යුතුයි. එයයි ප‍්‍රති පුරුෂ වගකීම. නමුත් මේ සිදුවෙන දේ ශීලාචාර, සදාචාර සම්පන්න රටකට කිසිසේත්ම උචිත නැහැ. මෙහෙම ගියොත් අපරාධවලට සම්බන්ධ නැති කෙනෙකුට අත් වෙන්න ඉඩ තියෙන්නෙත් මේ ඉරණම. විය යුත්තේ හැකි ඉක්මනින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමයි.


උදය කුමාර අමරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ හා මානව විද්‍යා අධ්‍යානාංශය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මේ කඩවෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්

මේ ප‍්‍රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දේ පොලිසියට මෙහිදී තිබෙන අවම බලය පාවිච්චි කිරීමේ හැකියාව කියන නීතිමය රැකවරණය. මේ ඝාතනවල ස්වභාවය තමයි තරමක් ප‍්‍රසිද්ධ, සමාජය කම්පනය කළ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් මරා දැමීම. එවැනි සිද්ධියකදී සමාජය පැත්තෙනුත් විශාල ප‍්‍රතිවිරෝධයක් එල්ල වෙනවා සැකකරුවන්ට එරෙහිව. නමුත් මේ කඩ වෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්. මෙය ශිෂ්ඨ යැයි පිළිගත් නීති ක‍්‍රමයක් තියෙන රටකට සුදුසු නැහැ. පහුගිය කාලයේ ඝාතනයට ලක්වුණු සැකකරුවන්ගෙන් බහුතරය එක් දවසක්වත් අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. විධිමත් යුක්තිය පසිඳලීමේ ක‍්‍රමයක් තුළ මේ සැකකරුවන්ට කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ තමන්ගේ නිර්දෝෂීභාවය හෝ අපරාධය කිරීමට හේතුව ඔප්පු කිරීමට. මේ තත්ත්වය දිගින් දිගිටම සිදුවෙන කොට සමාජය කම්පනය කරන අපරාධකරුවන් මැරීම ප‍්‍රජාව අගය කිරීම හරහා ප‍්‍රජාවගේ මිනිස් ආකල්ප නීතියෙන් පරිභාහිර මනුෂ්‍ය ඝාතන අනුමත කිරීම දක්වා වර්ධනය වෙනවා. මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් නැතිනම් විමර්ශන නිලධාරියෙක් හැරුණු කොට 90% ක්ම ප‍්‍රජාවගේ කැමැත්තක් තියෙන්නේ මෙවැනි සැකකරුවන් පොලීසිය විසින් ඝාතනය කිරීම දැකීමට.ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරතවන අයට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට නුසුදුසු යි. අද වෙනකොට වසර කිහිපයක ඉඳන් සිදුවෙන මේ ක‍්‍රියාවලියෙන් තුවාල වුණ එක සැකකරුවෙක්වත් නැහැ. සියලූදෙනාම මැරිලා. එකම රටාවකට, එකම ආකාරයකට කොහොමද ඔක්කෝම මැරෙන්නේ කියලා අපිට සැකයක් මතු වෙනවා. පොලිසිය හිතාමතා මේ ඝාතන කරන බව පැහැදිලියි. කාලාතුරකින් ඔය කියන දේ ඇත්තටම සිදු වෙන්න පුලූවන්. ඒත් මේ තරම් වාර ගණනක් එකම දේ සිදුවීම විහිලූවක්. ප‍්‍රධානම සාධකය දණ්ඩ නීති සංග‍්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ඇති අවම බලය හා ආත්මාරක්ෂාව යන වගන්ති පොලිස් නිලධාරින්ගේ රැකවරණයට තිබීම අධිකරණයේදී නිළධාරින්ගේ වාසියට හේතු වීම.



අමාත්‍ය මහින්ද සමරසිංහ
ආපදා කළමණාකරණ හා නව හිමිකම් අමාත්‍යාංශය

පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්
මෙවැනි සිද්ධීන් ඇතිවෙන කොට අපි පොලිසියට කතා කරලා පොලීසිය පැත්තෙන් ඔවුන්ගේ ස්ථාවරය විමසනවා. පොලිසිය කියන්නේ මේක සංවිධානාත්මක ව සිදුවෙන දෙයක් නොවෙයි කියලා. නමුත් සිරභාරයට ගත් පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්. පහුගිය කාලයේ මෙවැනි වෙඩි තියලා මරලා දාපු සිද්ධි ගණනාවක් තියෙනවා. එවැනි සිද්ධීන්වලදී මගේ යටතේ තියෙන මානව හිමිකම් උපදේශක සභාවත්, සිවිල් සමාජයේ අයත් විටින් විට ඒ ගැන කරුණු ඉදිරිපත් කර තියෙනවා. එවැනි අවස්ථාවලදී අපි අදාළ පොලිසිවලින් මේ ගැන කරුණු වීමසීම දිගටම සිදු කරනවා.


කේ.සී.ලෝගේස්වරන්
අතිරේක ලේකම්
ජාතික පොලිස් කොමිසම

කොමිසමට දැන් පවර්ස් නැහැ

දැන් කොමිසම් සභා සියල්ල අක‍්‍රීය වෙලා තියෙන්නේ. ඒ සියල්ල කැබිනට් එක යටතේ තියෙන්නේ. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිස් කොමිසමට වඩා වගකිව යුත්තේ මහේස්ත‍්‍රාත් උසාවියයි. මහේස්ත‍්‍රාත්වරයා කිව්වොත් මෙම ඝාතන සිදු කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න කියලා එවිට අපට පුලූවන් ඒ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයන් සිදු කරන්න. නමුත් අද වෙනකන් එවැනි නියෝගයක් අපිට ලැබිලා නැහැ. ඒ හේතුව නිසාත්, මේ වෙනකොට කොමිසමට පවර්ස් නැති නිසාත් අපිට කොමිසම විදිහට ඒ ගැන කිසිම දෙයක් කරන්න බැහැ. පෞද්ගලිකවත් මේ ගැන මීට වඩා දෙයක් මට ප‍්‍රකාශ කරන්න බැහැ.

නිශාන් මුතුක‍්‍රිෂ්ණ
අමාත්‍යාංශ උපදේශක
ආපදා කළමණාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය

පොලිසියේ ස්ථාවරය මෙය සැලසුම් සහගත ව නොවන බවයි

මෙම ඝාතන සම්බන්ධයෙන් අපි පොලිසියෙන් විමසීම් කරලා මේ ගැන සම්පුර්ණයෙන් විමර්ශනය කර පැහැදිලි කිරීම් ඉල්ලා තිබෙනවා. ඇමතිතුමාගේ උපදේශක කමිටුවෙත් මේ ගැන සාකච්ඡා වුණා. මේ සම්බන්ධයෙන් පහුගිය කාලයේ ගොඩක් හයිලයිට් කරපු මාධ්‍ය ආයතනයක් තියෙනවා. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා ඔවුන් ලඟ තිබෙන තොරතුරු අපිට දෙන්න කියලා. මෙවැනි සිද්ධීන් අවස්ථා ගණනාවකදී වාර්තා වෙනකොට සමස්ත විමර්ශනයක් කරලා කරුණු ඉදිරිපත් කරන්න කියනවා. දැනට අපිට පොලිසියෙන් කියලා තියෙන්නේ මේක සැලසුම් සහගතව සිදුවන ක‍්‍රියාවක් නොවෙයි කියලා.


නීතිඥ නිමල් පුංචිහේවා
අතිරේක ලේකම්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව

පොලිසිය භාරයට පත්වෙනවා කියන්නේ රජයේ ආරක්ෂාව යටතට පත්වීම

පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් බොහෝ ගණනකදී පොලිසිය අත් අඩංගුවට ගෙන තමන් භාරයේ ඉන්න සැකකරුවන් ආයුධ පෙන්නන්න කියලා අරගෙන ගිහිං ඝාතනය කරලා, අන්තිමට වාර්තා කරනවා නිළධාරීන්ට වෙඩි තියන්න හැදුවා, අත් බෝම්බ ගහන්න හැදුවා කියලා. යම් පුද්ගලයෙක් පොලිසිය තමන් භාරයට ගත්තා කියන්නේ රජයේ ආරක්ෂාව යටතට පත්වුණා කියන එක. එහිදී අපරාධයක් ගැන ප‍්‍රශ්න කිරීමට, විමර්ශනය කිරීමට හා අපරාධයට සම්බන්ධ සිදුවීම්, උපකරණ අනාවරණය කර ගැනීමට බලතල පොලිසියට තියෙනවා. නමුත් ඒ විමර්ශන බලතල වලට සීමාවන් ද තියෙනවා. සාමාන්‍යයෙන් පොලිසිය ඉදිරියේ පුද්ගලයෙක් කරන පාපොච්චාරණයක් නීතිය හමුවේ පිළිගන්නේ නැහැ. එහිදී පොලිසියට ඒ කරන ප‍්‍රකාශ හෝ පාපොච්චාරණයන්ට අදාළ යම් සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සාක්ෂි ආඥ පනතේ 24,25,28 වගන්ති හරහා අවස්ථාව ලැබෙනවා. මෙහිදී අත් අඩංගුවට ගත් අයෙකු මාංචු සහිතව ආයුධ හෝ බෝම්බ පෙන්වීමට රැගෙන යන විට එක් වරම ඒ ආයුධ වලින් පොලිසියට මරණීය තුවාල ඇති කිරීමට උත්සාහ කරනවා කියන එක ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. ඒත් දැන් මේ සිදුවීම් රාශියම එක්තරා මෝස්තරයකට වෙන බව පේනවා. මේක නාටකයක් වෙලා. පොලිසිය කරන්නේ රඟපෑමක්. පොලිසියේ විමර්ශන කටයුතුවල දුර්වලතා හා නීතියේ විධි දෝෂ නිසා පසුගිය කාලයේ 90%ට වැඩිය සැකකරුවන් නිදහස් වෙලා තියෙනවා. මේ නිසා මිනිස්සුන්ට නීතිය ගැන විශ්වාසය බිඳවැටිලා. නීතියට පරිභාහිරව හෝ ක‍්‍රියාත්මක වීමට මිනිස්සු කැමැතියි.පොලිසියටත් මෙතනදී රැකවරණයක් තියෙනවා දණ්ඩ නීති සංග‍්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ එන ආත්මාරක්ෂාවේ හා අවම බලය යන අයිතීන් යටතේ. මෙහි ඇති බරපතලකම නීතියටත් වඩා අපේ ශිෂ්ඨත්වය ගැන ප‍්‍රශ්නයක් ඇතිවීම. මේක ගෝත‍්‍රික ලක්ෂණයක්. පොලිසිය මෙහෙම ක‍්‍රියා කරන නිසාම එය ක‍්‍රියාකාරීත්වයේ හුරුවක් වෙනවා. එය නවත්වා ගන්න බැරි තත්ත්වයක් දක්වා ගොස් දේශපාලන බලය හා මුදල් බලයටත් මෙවැනි ඝාතන සිදු කරන්න පුලූවන්. මේක ගුණාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ඉතාම නරක තත්ත්වයක්. මෙහි විශාල වගකීමක් තියෙනවා අධිකරණයට. පොලිසිය මෙවැනි ඝාතනයකදී ඉදිරිපත් කරන හේතු සාධාරණීකරණය කිරීමට පෙර අධිකරණය පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ඒ කරුණු ගැඹුරින් ප‍්‍රශ්න කිරීම මහේස්ත‍්‍රාත්වරයෙකුගේ වගකීමක්. එහෙම නොවන විට ඇතැම් වැදගත් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීමට පොලිසියට නිරායාසයෙන්ම හැකියාවක් ලැබෙනවා.


Back to main Article
Back to Home

පොලිසියේ සිම්පල් ප්ලෑන් එක

අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

මේ පසුගිය වසර කිහිපයක් පුරා ශ‍්‍රී ලංකාවේ නීතියට පරිබාහිර ව අපරාධ යුක්තිය පසිඳලීමේ අවනීතිය ක‍්‍රියාත්මක වන රටාවයි. අපරාධයක් යනු හැමවිටෙකම වරදකට එහා ගිය, සමාජය තුළ කැළඹීමක්, කම්පනයක්, භීතියක් ඇති කරන සිදුවීමකි. එවැන්නකදී ප‍්‍රජාව ආවේගශීලී වීම නොවැලැක්විය හැකි හේතුවකි. එනිසාම පිළිගත් නීති රාමුවක් තුළ අපරාධයට සුදුසු දඬුවමක් ලැබිය යුතුය.නමුත් අවාසනාවකට සමාජයේ බොහෝ පිරිසක් පොලිසියේ මෙම අශිෂ්ඨ, අශ්ශීල, ගෝත‍්‍රික හැසිරීමට පක්ෂය. නමුත් මෙම සිදුවීමේදී සමාජය වටහා නොගත් කාරණා කිහිපයක් ඇත. පොලිසිය යනු ආයුධ හා නිල බලය සහිත සන්නද්ධ රාජ්‍ය නිළධාරින් පිරිසකි. ඔවුන් මේ මරා දමන්නේ අධිකරණය හමුවේ අපරාධකරුවෙකු යැයි ඔප්පු නොවු, ඊට අවස්ථාවක්ද නොසැලසුනු හුදු සැකකරුවෙක් පමණි. බාගවිට මේ මිය යන්නේ සැබෑ අපරාධකරුවාද නොවිය හැකිය. සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අපරාධයට අදාළ සියලූ චංචල, නිශ්චල උපකරණ සහ සිදුවීම් හෙළිදරවු කරගෙන අධිකරණයක් හමුවේ එය සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පොලීසියේ බහුතරයක් නිලධාරීන්ට ඇති බැරිකම වසා ගන්නට ඔවුන් යොදන මේ සිම්පල් ප්ලෑන් එකේ ඇති අනාගත උවදුර වටහා ගන්නට සමාජයට නොහැකිවීම කණගාටුවකි. එසේත් නැත්නම් අපට කණගාටුවෙන් වුවත් පිළිගන්නට සිදුවන්නේ ලංකාව වැනි ඌණ සංවර්ධිත රටක ජීවත් වන මිනිසුන් බොහෝ පිරිසකට නීරෝගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තමන් වෙනුවෙන් බිහිකර ගැනීමට අවශ්‍යතාවක් නැති බවය.

අපරාධකරුවන් ඉබේ පහළ වන්නේ නැත. ඊට බලපාන සමාජ, ආර්ථික, මානසික හෝ ශාරීරික හේතූන් පවතී. යම් සිදුවීමකට එකී සාධකවල ඇති සාධනීය බලපෑම විමර්ශනය කිරීම මානව හා භෞතික විද්‍යා විෂය ක්ෂේත‍්‍රවලට මෙන්ම රටක සංවර්ධන ක‍්‍රියාදාමයට කෙතරම් අත්‍යවශ්‍යයද යන්න වටහා ගැනීමට තරම් බුද්ධියක් බොහෝ පොලිස් නිලධාරීන් තුළ පවතිනවා නම් සැකකරුවෙකු නොව අපරාධකරුවෙකුවත් මරා දමන්නේ නැත. මෙරට මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවන අවස්ථාවක පොලීසිය මේ සිදුකරන්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. සැකකරුවන් ඝාතනය කරදමා වධකයාගේද කාර්ය භාරයයි. මේ මරා දමන්නේ සමාජයේ ජීවත් වන තවත් පුරවැසියෙකි. මේ ඝාතනයට ලක් වන එක් මිනිස් පුරුකක් මඟින් සමාජය තුළ ඇති කරනු ලබන රික්තය නිසා ඇතිවන සමාජ අසමතුලිතභාවය තවත් මිනිස් පුරුකක් ඝාතනය කර තුලිත කිරීමට නොහැකි බව ස්වභාව යුක්තියේ මූලධර්ම අගයන ශිෂ්ට සම්පන්න මිනිසෙකුට වටහා ගැනීම අපහසු නැත.
ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් අත්මාරක්ෂාව හා අවම බලය යෙදවීමට අනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමිවේ. නමුත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳව ගැටලූවකි. පොලිසියට පමණක් මෙහි පුර්ණ වගකීම පැටවීම සාධාරණ නැත. මේ දිග හැරෙන්නේ පොලීසිය, අධිකරණය ඇතුළු සමස්ත යුක්ති පද්ධතියේම ඇති නොහැකියාවයි. අධිකරණයට මෙහි විශාල වගකීමක් ඇත. එ් ඝාතන සම්බන්ධයෙන් ඉදිරිපත් වන පොලිස් සාක්ෂි ගැඹුරින් ප‍්‍රශ්න කිරීමට ය.

මීට වසර එකහමාරකට පමණ පෙර අඟුරුවාතොට ප‍්‍රදේශයේ සිදු වූ එක්තරා ප‍්‍රසිද්ධ ඝාතන සිදුවීමකදී ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙන් මට අසන්නට ලැබුණේ මෙවැනි කතන්දරයකිි. ”ඊයේ හවස අපි මෑන්ට වැඬේ දෙන්න හිටියේ. වෙලාවට ඊට කලින් ඌ වැඬේ කරපු අයයි, බඩුයි පෙන්නුවා.”පොලිසිය අතින් සිදු වෙන මෙම ඝාතන හුදු අහම්බයක් නොවන බවට මේ එක් සාක්ෂියක් පමණි.අපරාධයකට දඬුවමක් හෝ විශෝධනයක් ලබාදීම අපි ඉහළින් ම අනුමත කරන්නෙමු. එය සමාජ ශෝධන ක‍්‍රියාවලියට අත්‍යවශ්‍යය. නමුත් පවතින නීති අභිබවා යමින් ඊට පටහැනිව සිදුකරන මෙම මනුෂ්‍ය ඝාතන කිසිවිටෙක අනුමත කළ නොහැක. සෑම පුරවැසියෙකුටම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතුය. කිසිවෙකුගේ ඳූජීවත් වීමේ අයිතිය පොලිස් නිල ඇමකට දෙවැනි විය යුතු නැත. මේ ඔබ අවදි විය යුතු කාලයයි. කුමන හෝ ආකාරයකට ඔබේ දූ පුතුන්, සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, ඥතීන්, ඝාතනය වීමට ඉඩක් හා ඊට නීතිමය රැකවරණයක්ද සහිත පරිසරයක් බිහිවෙමින් පවතී.
තාරා ශ‍්‍රී රාම්