Friday, April 2, 2010

අපි සර්කස් කණ්ඩායමක්


ජනාධිපතිවරණයෙන් පසු ඇති වෙච්ච සංක‍්‍රාන්ති කාලෙදී මම සර්කස් එකක් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායම ගමෙන් ගම ගිහින් සැමට සර්කස් පෙන්වන අතරේ අප ජීවත්වන ප‍්‍රදේශයටත් ඇවිත් කූඩාරමක් අටවා ගෙන තිබුණා.
සර්කස් බලන්න ආපු බාල, මහලු, තරුණ, ස්ත‍්‍රී, පුරුෂ, වැදගත්,නොවැදගත් සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා හිටියේ සර්කස් එක පටන් ගන්න තුරුයි.
පළමුවෙන්ම තිබුණෙ තරුණ කාන්තාවක් කම්බියක් මත කුඩයක් ඉහළ ගෙන එහා මෙහා ගමන් කරන දර්ශනයක්. ඊට පස්සේ තරුණයෙක් ඒ කම්බිය උඩ බයිසිකලයක් පදිනවා. උස යකඩ බම්බු මත නැගුණ කරණම්කරුවන් ඇඟ කිලිපොළා යන අන්දමේ කරණම් ගහනවා බලාගෙන ඉන්න අපි අත් පොළසන් දෙනවා. එත් හැම තිස්සෙම හිතනවා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. හරියටම රිදී රත්තරන් අශ්වයා පිට නැඟලා කුමාරිගේ ඇඟිල්ලේ දිලිහෙන පේරැස් මුද්ද ගන්නට තට්ටු හතක් උඩට අශ්වයා පන්නපු ඉවානුෂ්කා දිහා බලා හිටපු මිනිස්සු වගේ අපි පුදුමයෙනුත්, බයෙනුත් බලාගෙන ඉන්නවා.
වෙනත් රටවල සර්කස්කරුවන් නම් මෙවැනි භයානක සංදර්ශන පෙන්වන කොට ආරක්ෂක දැලක් පාවිච්චි කරන බවත් ඒත් මේ කණ්ඩායමේ ශිල්පීන් මේ දස්කම් දක්වන්නේ දැලක් නැතිව බවත් නිවේදකයා කිව්වා. ඇත්ත තමයි දැලක් තිබුණා නම් වැරදිලාවත් බෙල්ල නොකැඩි බේරෙනවා. මේ තත්ත්වය යටතේ එහෙම වුණෙත් සොරිම තමයි. මේක එතරම් දයා විරහිත සංදර්ශනයක්. හැබයි නරඹන්නන්ගේ ත‍්‍රිල් එක වැඩිවෙන්නෙත් ඕනෑම වෙලාවක සැබෑ අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතෙන නිසා තමයි.
මෙතැනදි තියෙන එකම ආරක්ෂාව තමයි කණ්ඩායමේ එකිනෙක ශිල්පීන් සහ සහායකයන් අතර තිබෙන අන්න්‍යෝන්‍ය විශ්වාසය. කම්බිය තද කරන සහායකයා නියම ආතතියට එය තද කරලා නොතිබුණොත්, කඹය අල්ලාගෙන ඉන්න කෙනා හරියට තද කරලා අල්ලාගෙන නොහිටියොත්, එක වළල්ලක් අත හැර අනෙක් වළල්ලට පනින කොට ඒ වළල්ල තල්ලූ කරන්න තප්පරයෙන් දශමයක් වත් ප‍්‍රමාද වුණොත් උඩ ඉන්න කෙනාට ඉතිං උඩ ඉන්න දෙයියන්ගේම පිහිටයි.
මේ ත‍්‍රාසජනක සර්කස් සංදර්ශනය නරඹන කොට මට මතක් වුණේ අපිවමයි. එක් අතකට පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් අපිත් වැඩ කළේ සර්කස් කණ්ඩායමක් විදියට තමයි. කවුරුත් නිහඩව සිටින මොහොතක, ප‍්‍රධාන පෙළේ ක‍්‍රියාකාරී නායකයන් රට හැර ගිය මොහොතක, මිතුරන් අහක බලන මොහොතක, ඥති හිතවතුන් අප හඳුනනවා යැයි කියන්නට පවා ලැජ්ජා වන මොහොතක ‘භාෂණයට හඬක්, ජීවිතයට ඉඩක්’ යන තේමාව යටතේ ‘නිදහසේ වේදිකාව’ ගොඩනඟන්නට වැඩ කරන කොට අපිත් වැඩ කළේ සර්කස් කණ්ඩායමක් වගේ තමයි.
අපේ‍්‍රල් මාසයේ කොළඹ නගරයේ මුල්ම රැස්වීම සංවිධානය කළේ කම්බියේ යනවා වගේ තමයි. පෝද්දල ජයන්තට පහර දීපු වෙලාවේ කොළඹ උද්ඝෝෂණය තියන්න කවුරුත් අදිමදි කරන කොට ඒකට ඉදිරිපත් වුණේ වළලූ අතුරින් රිංගනවා වගේ තමයි. කුරුණෑගල රැස්වීමට පහර දෙන බවට කලින්ම අනතුරු අඟවා තියෙද්දිත් කිසිම අපේක්ෂාවක් නැතිව රැස්වීම පවත්වලා මැරයන්ට මුහුණ දුන්නේ වළල්ලෙන් වළල්ලට පනිනවා වගේ තමයි. ඒ අතර හැම සතියකම ‘සමබිම‘ අතිරේකය තුළින් ඔබ අමතන්නත් අපට හැකි වුණා.
මේ සියල්ල කළේ අපේ සර්කස් කණ්ඩායමේ එකිනෙකා ගැන තිබුණු ආදරය, ව්ශ්වාසය හා වගකීම මත කියලා කීම අතිශයෝක්තියක් නොවේ. අපට ආරක්ෂක දැලක් තිබුණේ නෑ. අපි මේ වැඬේ කළේ විදේශ රටක ගමන් බලපත‍්‍ර තිබිලා නෙවෙයි. එහෙමත් නැත්නම් විදේශ රටකට යන්න අවශ්‍ය වීසා බලපත‍්‍ර අපේ ගමන් බලපත‍්‍රයේ අලවාගෙන නෙවෙයි. අපි පෑඞ් නැතිව, හෙඞ් ගියර් නැතිව එළිපිට සෙල්ලම් කළා. එහෙම කළේ නරඹන ඔබට වැඩි ත‍්‍රිල් එකක් දීලා ඔබගේ අත්පොළසන් වැඩියෙන් ලබා ගන්න නෙවෙයි. අපි ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු නිසයි. අපටත් වෙන විකල්පයක් නැති නිසයි. අපි ඔබට වඩා නිර්භීත සුපිරි මිනිසුන් නිසා නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු නිසයි. එක අතකට නරඹන ඔබ නැත්නම් සර්කස් කණ්ඩායමකින් පලක් නැහැ. අනෙක් අතට සර්කස් කණ්ඩායම නැත්නම් ඔබට නරඹන්න දෙයකුත් නෑ. ඉතිං ඉදිරි කාලයේත් අපේ සර්කස් කණ්ඩායම ඔබ වෙනුවෙන් රැඟුම් දක්වන්න සූදානමින් ඉන්නවා. නමුත් මේ අවදානම හැමදාම ගනිමින් ආරක්ෂක දැලක් නැතිව ක‍්‍රීඩා කිරීමේ පලක් නෑ. ඒ නිසා අපට ආරක්ෂක දැලක් දමා ගන්න උදව් කරන්න ඔබට පුළුවන්. ඒ ඔබ අප රැකගන්නට අපේ ආරක්ෂක දැල බවට පත් වීමෙනුයි.

Back to Home
View Pdf

No comments: