Friday, April 2, 2010

ශිෂ්ඨ සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති

ශීලාචාර සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති. ශිෂ්ඨ සම්පන්න සමාජයක ඇති ආයතන එහි ජීවත්වන මිනිසුන් අවමානයට පත් නොකරයි.’ යැයි ඊශ‍්‍රායල් ජාතික දාර්ශනිකයකු වූ අවිශායි මාර්ගලිත් සිය ‘ශීලාචාර සමාජය’ නම් කෘතියෙහි දක්වා ඇත. එවන් සමාජයක් අප රටේ ගොඩනඟා ගැනීම සඳහා අප තවදුරටත් සටන් කළ යුතුව ඇත. ‘කවර තත්ත්වයක් යටතේ වුවද අප එම සටන අත් නොහැරිය යුතුය. අප සංඛ්‍යාවෙන් ඉතා ටික දෙනෙකු වුවත් අපි එම සටන අත්නොහරින්නෙමු’ යැයි විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ප‍්‍රකාශ කළේය.
සරවනමුත්තු මහතා එසේ ප‍්‍රකාශ කළේ ‘සමබිම’ මාසික පුවත්පත සහ වෙබ් අඩවිය එළි දැක්වීම නිමිත්තෙන් මාර්තු 26දා කොළඹ නිදහස් මාවතේ ඔලිම්පික් හවුස්හි පැවති උත්සවයේදී ‘ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සඳහා වූ පුළුල් ව්‍යාපාරයක් තුළ මානව හිමිකම්: අභියෝග සහ අවස්ථාවන් යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වමිනි.



ලංකාවේ මානව හිමිකම්වල වැදගත්කම ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින අය තම රට තුළම සුළුතරයක් බවට පත්වී ඇත. වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන දෘෂ්ටිවාදය, බලාධිකාරය සහ ලෝක සම්මතය අනුව මානව හිමිකම් යනු යටත් පිරිසෙයින් ගත් කළ හිරිහැරයකි; උපරිම වශයෙන් ගත් කළ අපේ රටේ පුරවැසියන් අතුරින් බහුතරයක් විසින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තෝරා පත් කරගත් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගෙන එන තර්ජනයකි.
අපේ රට පාලනයෙහිලා මානව හිමිකම්වල ඇති මූලික වැදගත්කම අප විසින් අවධාරණය කරනු ලබන මේ මොහොතෙහි අපගේ සහෝදර පුරවැසියන් අතරින් බහුතරයකට මානව හිමිකම් පිළිබඳව අමතක කිරීමට අවශ්‍යව ඇත්ද යන ප‍්‍රශ්නය මෙහිදී අප විසින් අපගෙන්ම විමසිය යුතුය. දැනට රටේ පවතින ජනප‍්‍රිය පිළිගැනීම හෙවත් ලෝක සම්මතයට අනුව කියැවෙන්නේ අප රටේ පුරවැසියන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්තවාදය, බෝම්බ පිපිරීම්, තුවාල ලත් පුද්ගලයන්, අතුරුදහන්වීම්, ජාතික ආරක්ෂක නීති යොදාගෙන කරනු ලබන රඳවා තබා ගැනීම් ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ අඳුරු අතීතය අමතක කොට ඉදිරි අනාගතය වෙත පිය නැගීම බවයි. ඉතිං අපි අපේ රට තුළම සුළුතරයක් බවට පත්ව ඇත.
‘සමබිම’ මාසික පුවත්පතක් ලෙස යළි උපදින මේ මොහොතේ අපට ඇති සැබෑ අභියෝගය වන්නේ ජාතික න්‍යාය පත‍්‍රයෙහි මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය රඳවා තබා ගන්නේ කෙසේද යන්නද? බරපතල ලෙස පිරිහී ඇති අප රටේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් අප අතරින් සමහරුන්ට තම එදිනෙදා ජීවිතය තුළ අත්විඳීමට සිදුව ඇති පීඩනය, ආතතිය සහ තැවුල් සිත බොහෝදෙනෙකුට තේරුම් ගැනීමට නොහැකිය. ඔවුන් එය දකින්නේ අපගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙසය. පුද්ගලික පූර්ව අගතියක්, පුද්ගලික වේදනාවක් ලෙසය. අද අප මුහුණදෙන මේ වේදනාකාරී තත්ත්වය මතු කවදා හෝ තම තමන්ගේ ජීවිත කෙරෙහිද බලපෑමක් ඇති කරනු ඇතැයි අප රටේ පුරවැසියන් අතරින් බහුතරයක් කල්පනා නොකරති.
මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය මතකයෙන් මකා දැමීමට කැමති වන්නා වූ සහ ඉතා පහසුවෙන් එය අමතක කර ඇත්තාවූ මේ රටේ පුරවැසියන්ට මානව හිමිකම්හි වැදගත්කම පිළිබඳ නැවත අධ්‍යාපනයක් ලබාදීම සහ පුනර්ජීවනයක් ඇති කිරීම මේ රටේ මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන සහ ප‍්‍රජාවෙහි සමාජිකයන් වශයෙන් අප හමුවේ ඇති ප‍්‍රධානතම අභියෝගය වෙයි. අප අතරින් සමහරුන්ට මෙම ව්‍යායාමයෙහි යෙදීම ඉතාම දුෂ්කර භයානක අත්දැකීමක් වනු ඇත. නමුත් මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය ජාතික න්‍යාය පත‍්‍රයෙහි රඳවා ගැනීමත් සිවිල් සමාජය සඳහා වන අවකාශය විවෘතව තබා ගැනීමත් අත්‍යවශ්‍යය.
මානව හිමිකම් යනු අනවශ්‍ය සහ බාධාකාරී දෙයක්ය යන භීතියක් පැතිරෙමින් පවතී. මෙය අළුත් තත්ත්වයක් නොවේ. මින් පෙර අතීතයේදීද මෙවැනි ප‍්‍රවණතා පැවතී ඇත. මෙය පිටුපස ඇති ලෝක දෘෂ්ටිය නම් ලාංකිකයාගේ අනාගත සෞභාග්‍යය දෙසට වන මාවත වැටී ඇත්තේ අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් දෙස නැවත හැරී බැලීමෙන් නොව මානව හිමිකම් පිළිබඳ කිසිදු සලකා බැලීමකින් තොරව සිදු කරනු ලබන ආර්ථික සංවර්ධනය තුළින් බවයි. දේශපාලන සහ මානව හිමිකම් සළකනු ලබන්නේ සෞභාග්‍ය කරා යන ඒ යෝධ පා ගමන අවහිර කරන වැට කඩුළු මාර්ග බාධක ලෙසය. මෙවැනි තත්ත්වයක් 70 දශකයේ අභභාගයේ සහ 80 දශකයේදී ලංකාවේ පැවතුණි. ආර්ථික සංවර්ධනය හරහා සමෘද්ධිය වෙත යන ගමන අවහිර කරන වැට කඩුළු වශයෙන් සලකා ඒ සමයේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පාගා පොඩි කර දමන ලදී.
අපට ලබාදෙනු ලබන පණිවිඩය වන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙන් එක හිත් හිතාගෙන ත‍්‍රස්තවාදය මර්දනය කරන ලද ආකාරයටම කිසිදු බාධාවකට යට නොවී බාධාවලට බාධා ගෙනදී ආර්ථික සංවර්ධන මාවතේ ලංකාව පෙරටම ගෙනයාමට ඔවුන් කටයුතු කරන බවයි.
ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථය විරුද්ධාභාසයක් හෙවත් පැරඩොක්සයකි. එම දේශපාලනයේ අරමුණ අප සියළුදෙනාම අදේශපාලනික කොට අප ඔවුන්ගේ කැරොල් කරත්තයට නංවාගෙන සංවර්ධන කේක් ගෙඩියෙන් කෑල්ල බැගින් කපාගෙන, බල්ලන් මරා හෝ සල්ලි හොයාගෙන, ඉන්න ටිකේ ජොලියේ ඉඳිමින් අනාගතය ගොඩනඟා ගැනීමට අපට පුරුදු කිරීමයි. එම ගමනේදී අනික් මිනිහාට මොනවා වුණත්, ඔහු (කළු ගඟට තල්ලූ කළත්) මොන වේදනා වින්දත් කමක් නැත. පොදු ජනයාගේ සංස්කෘතියට මොනවා වුණත් කමක් නැත. කෙටියෙන් කිව්වොත් බලයේ සිටින අයගේ චේතනාව හෝ අරමුණ වන්නේ අග්නි දිග ආසියාව හෝ නැගෙනහිර ආසියාව ගමන් ගත් දේශපාලන සංස්කෘතිය ඔස්සේ ශ‍්‍රී ලංකාව ගමන් කරවීමය. මෙහිදී දේශපාලනය හා මානව හිමිකම් යනු අදාළ නොවන්නා වූද අවාසිදායක වන්නා වූ දේ වශයෙන් හඳුනා ගැනේ. මන්ද යත් අවශ්‍ය වන්නේ සල්ලි සෙවීමත්, මිනිසුන්ගේ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා පිරිමසාලීමත් පමණක් බැවිනි. අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳ සාකච්ඡාව හා විවාදය ස්ථාවර සහ ස්ථිරසාර ආර්ථික සමෘද්ධියක් කරා යන නිසැක ගමනට බැඳෙන වැට කඩුළු වන බැවිනි.
අප හැමදෙනාම දන්නා පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිසිදු නැත. එය දඩබ්බරය; ඝෝෂාකාරීය; පොළඹවන සුළුය; අනතුරු සහිතය; එය අප සියළුදෙනා විසින් එකම දෙයක් කළ යුතුය කියන දහමක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාව එකිනෙකා අතර විවාද කර ගැනීම පිළිබඳය. එය අන් අයට හිරිහැර නොකරන තාක් දුරට තමන් කැමති මාර්ගයක ගමන් කිරීමට මිනිසුන්ට ඇති අයිතිය පිළිබඳවය. විනාශ වෙන්නට නියමිත ව ඇත්තේ අන්න ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.
මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව විශ්වාස කරන අන්දමට බලය ලබා ගැනීමෙන් පසුව නව න්‍යාය පත‍්‍රයක් යටතේ සිදු වන්නට නියමිතව ඇත්තේ මෙයයි. මෙය අළුත් දෙයක් නොවේ. මීට පෙර අවස්ථාවලදීද මෙසේ සිදුවූ අතර මෙහි ප‍්‍රතිවිපාක අපි හොඳින් හඳුනමු. අවාසනාවකට මෙන් අපේ රට ඉදිරියට යන්නේ රිවර්ස් එකටය. අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට අප සමත්ව ඇති බවත් පෙනෙන්නට නැත.
ඒ නිසා නැවතත් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපේ සහෝදර පුරවැසියන්ට මානව හිමිකම්හි මූලික වැදගත්කම පෙන්වා දීමයි. එය මේ රටේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයකි. අභියෝගය වන්නේ අපගේ සමාජයේ සිදුවෙමින් පවතින සහ සිදුවීමට නියමිත සියළු සිදුවීම් කෙරෙහි මානව හිමිකම් අදාළ වන බවට වන තර්කය ප‍්‍රති ඇසුරුම් ගතකොට ඉදිරිපත් කිරීමයි. ඕනෑම සාර්ථක සහ තිරසාර සංවර්ධන ව්‍යායාමක් සඳහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අත්‍යවශ්‍ය වන බව තහවුරු කළ යුතුය.

අපි සර්කස් කණ්ඩායමක්


ජනාධිපතිවරණයෙන් පසු ඇති වෙච්ච සංක‍්‍රාන්ති කාලෙදී මම සර්කස් එකක් බලන්න ගියා. මේ සර්කස් කණ්ඩායම ගමෙන් ගම ගිහින් සැමට සර්කස් පෙන්වන අතරේ අප ජීවත්වන ප‍්‍රදේශයටත් ඇවිත් කූඩාරමක් අටවා ගෙන තිබුණා.
සර්කස් බලන්න ආපු බාල, මහලු, තරුණ, ස්ත‍්‍රී, පුරුෂ, වැදගත්,නොවැදගත් සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා හිටියේ සර්කස් එක පටන් ගන්න තුරුයි.
පළමුවෙන්ම තිබුණෙ තරුණ කාන්තාවක් කම්බියක් මත කුඩයක් ඉහළ ගෙන එහා මෙහා ගමන් කරන දර්ශනයක්. ඊට පස්සේ තරුණයෙක් ඒ කම්බිය උඩ බයිසිකලයක් පදිනවා. උස යකඩ බම්බු මත නැගුණ කරණම්කරුවන් ඇඟ කිලිපොළා යන අන්දමේ කරණම් ගහනවා බලාගෙන ඉන්න අපි අත් පොළසන් දෙනවා. එත් හැම තිස්සෙම හිතනවා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. හරියටම රිදී රත්තරන් අශ්වයා පිට නැඟලා කුමාරිගේ ඇඟිල්ලේ දිලිහෙන පේරැස් මුද්ද ගන්නට තට්ටු හතක් උඩට අශ්වයා පන්නපු ඉවානුෂ්කා දිහා බලා හිටපු මිනිස්සු වගේ අපි පුදුමයෙනුත්, බයෙනුත් බලාගෙන ඉන්නවා.
වෙනත් රටවල සර්කස්කරුවන් නම් මෙවැනි භයානක සංදර්ශන පෙන්වන කොට ආරක්ෂක දැලක් පාවිච්චි කරන බවත් ඒත් මේ කණ්ඩායමේ ශිල්පීන් මේ දස්කම් දක්වන්නේ දැලක් නැතිව බවත් නිවේදකයා කිව්වා. ඇත්ත තමයි දැලක් තිබුණා නම් වැරදිලාවත් බෙල්ල නොකැඩි බේරෙනවා. මේ තත්ත්වය යටතේ එහෙම වුණෙත් සොරිම තමයි. මේක එතරම් දයා විරහිත සංදර්ශනයක්. හැබයි නරඹන්නන්ගේ ත‍්‍රිල් එක වැඩිවෙන්නෙත් ඕනෑම වෙලාවක සැබෑ අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතෙන නිසා තමයි.
මෙතැනදි තියෙන එකම ආරක්ෂාව තමයි කණ්ඩායමේ එකිනෙක ශිල්පීන් සහ සහායකයන් අතර තිබෙන අන්න්‍යෝන්‍ය විශ්වාසය. කම්බිය තද කරන සහායකයා නියම ආතතියට එය තද කරලා නොතිබුණොත්, කඹය අල්ලාගෙන ඉන්න කෙනා හරියට තද කරලා අල්ලාගෙන නොහිටියොත්, එක වළල්ලක් අත හැර අනෙක් වළල්ලට පනින කොට ඒ වළල්ල තල්ලූ කරන්න තප්පරයෙන් දශමයක් වත් ප‍්‍රමාද වුණොත් උඩ ඉන්න කෙනාට ඉතිං උඩ ඉන්න දෙයියන්ගේම පිහිටයි.
මේ ත‍්‍රාසජනක සර්කස් සංදර්ශනය නරඹන කොට මට මතක් වුණේ අපිවමයි. එක් අතකට පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් අපිත් වැඩ කළේ සර්කස් කණ්ඩායමක් විදියට තමයි. කවුරුත් නිහඩව සිටින මොහොතක, ප‍්‍රධාන පෙළේ ක‍්‍රියාකාරී නායකයන් රට හැර ගිය මොහොතක, මිතුරන් අහක බලන මොහොතක, ඥති හිතවතුන් අප හඳුනනවා යැයි කියන්නට පවා ලැජ්ජා වන මොහොතක ‘භාෂණයට හඬක්, ජීවිතයට ඉඩක්’ යන තේමාව යටතේ ‘නිදහසේ වේදිකාව’ ගොඩනඟන්නට වැඩ කරන කොට අපිත් වැඩ කළේ සර්කස් කණ්ඩායමක් වගේ තමයි.
අපේ‍්‍රල් මාසයේ කොළඹ නගරයේ මුල්ම රැස්වීම සංවිධානය කළේ කම්බියේ යනවා වගේ තමයි. පෝද්දල ජයන්තට පහර දීපු වෙලාවේ කොළඹ උද්ඝෝෂණය තියන්න කවුරුත් අදිමදි කරන කොට ඒකට ඉදිරිපත් වුණේ වළලූ අතුරින් රිංගනවා වගේ තමයි. කුරුණෑගල රැස්වීමට පහර දෙන බවට කලින්ම අනතුරු අඟවා තියෙද්දිත් කිසිම අපේක්ෂාවක් නැතිව රැස්වීම පවත්වලා මැරයන්ට මුහුණ දුන්නේ වළල්ලෙන් වළල්ලට පනිනවා වගේ තමයි. ඒ අතර හැම සතියකම ‘සමබිම‘ අතිරේකය තුළින් ඔබ අමතන්නත් අපට හැකි වුණා.
මේ සියල්ල කළේ අපේ සර්කස් කණ්ඩායමේ එකිනෙකා ගැන තිබුණු ආදරය, ව්ශ්වාසය හා වගකීම මත කියලා කීම අතිශයෝක්තියක් නොවේ. අපට ආරක්ෂක දැලක් තිබුණේ නෑ. අපි මේ වැඬේ කළේ විදේශ රටක ගමන් බලපත‍්‍ර තිබිලා නෙවෙයි. එහෙමත් නැත්නම් විදේශ රටකට යන්න අවශ්‍ය වීසා බලපත‍්‍ර අපේ ගමන් බලපත‍්‍රයේ අලවාගෙන නෙවෙයි. අපි පෑඞ් නැතිව, හෙඞ් ගියර් නැතිව එළිපිට සෙල්ලම් කළා. එහෙම කළේ නරඹන ඔබට වැඩි ත‍්‍රිල් එකක් දීලා ඔබගේ අත්පොළසන් වැඩියෙන් ලබා ගන්න නෙවෙයි. අපි ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු නිසයි. අපටත් වෙන විකල්පයක් නැති නිසයි. අපි ඔබට වඩා නිර්භීත සුපිරි මිනිසුන් නිසා නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු නිසයි. එක අතකට නරඹන ඔබ නැත්නම් සර්කස් කණ්ඩායමකින් පලක් නැහැ. අනෙක් අතට සර්කස් කණ්ඩායම නැත්නම් ඔබට නරඹන්න දෙයකුත් නෑ. ඉතිං ඉදිරි කාලයේත් අපේ සර්කස් කණ්ඩායම ඔබ වෙනුවෙන් රැඟුම් දක්වන්න සූදානමින් ඉන්නවා. නමුත් මේ අවදානම හැමදාම ගනිමින් ආරක්ෂක දැලක් නැතිව ක‍්‍රීඩා කිරීමේ පලක් නෑ. ඒ නිසා අපට ආරක්ෂක දැලක් දමා ගන්න උදව් කරන්න ඔබට පුළුවන්. ඒ ඔබ අප රැකගන්නට අපේ ආරක්ෂක දැල බවට පත් වීමෙනුයි.

Back to Home
View Pdf

මානව හිමිකම් කොමිසමේ අයිතිය පුරවැසියන්ටයි


බී.ස්කන්දකුමාර්
නීතිය හා සමාජ භාරයෙහි
වැඩ බලන විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අනාගත වැඩපිළිවෙල සඳහා සිවිල් සමාජ සංවිධානවල දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් මාර්තු 26 වන දින කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මානව හිමිකම් කොමිෂන් සභාවේ වර්තමාන තත්ත්වය සහ සිවිල් සමාජ සංවිධාන ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ගය පිළිබඳ ප‍්‍රකට සිවිල් සමාජ සංවිධානයක් වන නීතිය හා සමාජ භාරයෙහි වැඩ බලන විධායක අධ්‍යක්ෂ බී.ස්කන්දකුමාර් සමඟ ‘සමබිම’ කළ සාකච්ඡාවක් පහත පළ වේ. ස්කන්ධකුමාර් මානව හිමිකම් කොමිෂමේ කටයුතු විමර්ශනය කරමින් ”ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවඃ පිට ඔපයක් පමණද?” නමින් ග‍්‍රන්ථයක්ද පළකර ඇත.

කිසියම් රටකට මානව හිමිකම් කොමිසමක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම රටක්ම මානව අයිතිවාසිකම් පිළිබඳ සිය කැමැත්තෙන්ම පනවා ගන්නා වගකීමකට බැඳෙනවා. එය සාමාන්‍යයෙන් සිදු වන්නේ කිසියම් ජාත්‍යන්තර ගිවිසුමකට හෝ සම්මුතියකට බැඳීමෙනුයි. සම්මුතියකට අත්සන් තැබීමෙන්, ඉන්පසු එය සපථ කිරීමෙන්, එය රටේ ජාතික පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ගැනීමෙන් මෙම බැඳීම සනාථ කළත් වඩා වැදගත් වන්නේ මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීමය. ජාතික මානව හිමිකම් ආයතන වශයෙන් සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන මානව හිමිකම් කොමිසම වැනි ආයතන ජාතික වශයෙන් පිහිටුවීමට රටවල් දිරි ගැන්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියා කළේ මෙසේ අයිතිවාසිකම් බලාත්මකවීම සහතික කිරීමේ ක‍්‍රියාමාර්ගයක් හැටියටයි. වෙනත් වචනයකින් කීවොත් මානව හිමිකම් කොමිසම යනු රාජයේ කටයුතු අධීක්ෂණය කිරීමට බලය පවරමින් රාජ්‍ය විසින්ම ස්ථාපනය කරනු ලබන ආයතනයක්. රාජ්‍යය විසින් පිහිටුවන ලද සහ රාජ්‍යය විසින් මුදල් ප‍්‍රතිපාදන සපයන නිසා රාජ්‍ය ආයතනයක් වන්නාවූද රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කරන බැවින් ස්වාධීන ආයතනයක් වන්නාවූද දෙමුහුම් ආයතනයක්. මෙය හරියට රජය විසින් පිහිටුවා මුදල් ප‍්‍රතිපාදන ලබාදී ක‍්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වැනිය.
මානව හිමිකම් කොමිසම රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කිරීම යන්නෙන් එය රාජ්‍ය සමඟ හැමවිටම පස මිතුරු සම්බන්ධයක් පැවැත්විය යුතු යැයි අදහස් වන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීම, පවතින නීති පිළිබඳ තම අදහස ඉදිරිපත් කිරීම, මානව හිමිකම් අධ්‍යාපනය ලබාදීම වැනි කටයුතුවල නිරත වීමද එය විසින් සිදුකරනු ලබනවා. ඒ සියල්ලටම වඩා එය රජයේ නිළධාරියෙකුගේ ක‍්‍රියාවක් හෝ නොකරහැරීමක් මඟින් තම අයිතිවාසිකම් කඩවූවා යැයි කල්පනා කරන පුද්ගලයෙකුට ඒ සම්බන්ධව පැමිණිලලක් ඉදිරිපත් කොට සහනයක් ලබාගත හැකි ආයතනයක් ලෙසද ක‍්‍රියාත්මක විය යුතුයි.

මේ වන විට කොමිෂන් සභාවට කොමසාරිස්වරු පත්කර නෑ. මෙයින් කොමිසමේ යුක්තිසහගතභාවයට බරපතල අභියෝගයක් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇත්තේ ඇයි?
මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරුන් පත් කිරීම පිළිබඳ ක‍්‍රියාවලිය දෙස බලන බාහිර නිරීක්ෂකයෙකුට එළැඹිය හැකි නිගමනය නම් විධායකයේ අභිප‍්‍රාය දුර්වල ව්‍යවස්ථාපිත කොමිසන් සභාවක් පවත්වගෙන යාම බවයි. මානව හිමිකම් කොමිසමට 2006 සිට අත්ව ඇති කණගාටුදායක ඉරණම පමණක් නොව අනෙක් කොමිෂන් සභාවලට පත්වී ඇති ඉරණම දෙස බැලූ විටද එය පැහැදිලිව වෙනවා. උදාහරණයක් වශයෙන් අල්ලස් කොමිසමේ නිල කාලය මාර්තු 31 වෙනිදායින් අවසන් වෙනවා. ඉන්පසු ඒ පිළිබඳව රජය කරන්න යන්නේ කුමක්ද යන්න අප තවමත් දන්නේ නැහැ. ආණ්ඩුව මේ පිළිබඳව නිහඬව සිටින අතර එම ආයතනවලට නායකත්වය දිය හැකි පුද්ගලයන් පත් නොකරනු ලැබීම නිසා ඒවා අඩපණ වීගෙන යනවා. මේ අනුව අපට පැමිණි හැකි නිගමනය වන්නේ රාජ්‍යය තම බලතල, අධිකාරිය සහ තීරණ ගැනීමේ බලය කිසිදු අභියෝගයකට ලක්වනු දැකීමට අකමැති බවයි.

මේ තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් සෑහෙන තරම් අවධානයක් යොමු වී තිබුණත් ජාතික ජනමාධ්‍ය තුළ හෝ පොදු මහජනයා අතර මේ පිළිබඳව උනන්දුවක් ඇති බව පෙනෙන්නේ නැහැ. මෙය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
මෙයට හේතු ගණනාවක් බලපානවා. එක් පැත්තකින් ජාත්‍යන්තර තලයේ ඇති වී තිබෙන මේ වර්ධනයන් දේශීය වශයෙන් බරපතල ලෙස සැලකිල්ලට ගත යුත්තේ ඇයි ද යන තර්කය හරිහැටි මහජනයා හමුවේ ඉදිරිපත් කිරීමට අප අසමත් වී තිබෙනවා සිවිල් සමාජ සංවිධාන වශයෙන් අප ඒ ගැන ස්වයං විවේචනයක යෙදිය යුතුයි. ඊළඟට ජාත්‍යන්තර වශයෙන් විවිධ මානව හිමිකම් ආයතන විසින් ලංකාව සම්බන්ධයෙන් කරන ඕනෑම මැදිහත්වීමක් ශ‍්‍රී ලංකා විරෝධී කුමන්ත‍්‍රණයක් ලෙස හිතාමතා සැලසුම් කොට ක‍්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක් යැයි පැවසීම ඉතා සාර්ථක වී තිබෙනවා.
මීළඟ කරුණ මානව හිමිකම් කොමිසමට ලැබෙන පැමිණිලි වලින් වැඩි හරියක් පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම්, රාජ්‍ය සේවයේ පත් කිරීම්, මාරු කිරීම් හා උසස්වීම් වැනි කරණු පිළිබඳ ගැටලූයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ රාජ්‍ය සේවකයින් පිරිසක් තමන්ට ඇතිවී අති ප‍්‍රශ්න විසඳා ගැනීමට තවත් රාජ්‍ය සේවකයෙන් පිරිසක් වෙත ගොස් පැමිණිලි කිරීමයි.
කොමිසමේ තත්ත්වය පහළට වැටුණත්, කොමසාරිස්වරුන් පත් නොකළත් මේ දක්වාම මානව හිමිකම් කොමිසමට භෞතික පැවැත්මක් තියනවා. මානව හිමිකම් කොමිසමට කාර්යාලයක් තියනවා. එහි නිලධාරීන් ඉන්නවා. ඔවුන් පැමිණිලි බාර ගන්නවා. විමර්ශන පවත්වනවා. ඒ නිසා මේ ආයතනය ක‍්‍රියාත්මක වන බව තමයි පෙනෙන්නේ. ඒ නිසා එය මුහුණ දී තිබෙන වර්තමාන ගැටලූව මහජනයාට අවබෝධ වෙන් නෑ. සමහරවිට එම ආයතනය සම්පූර්ණයෙන් නැතුව ගිය දාට තමන්ට පැමිණිලි කිරීමට කිසිම තැනක් නැති බව මහජනයාට වැටහුණු විට ඔවුන්ගේ උනන්දුව ඇතිවේවි.

මෙවැනි තත්ත්වය තුළ මානව හිමිකම් කොමිසම පිළිබඳ සිවිල් සමාජයේ උපායමාර්ගික ප‍්‍රවේශය විය යුත්තේ කොමසාරිස්වරුන් නැති කොමිසම සම්පූර්ණයෙන් වර්ජනය කිරීමද? නැතිනම් ඒ සමඟ විවේචනාත්මක සම්බන්ධතාවයක් පැවැත්වීමද?
මෙම ප‍්‍රශ්නයට ”ඔව්” හෝ ”නැහැ” යනුවෙන් සරල පිළිතුරක් දීය නොහැකියි. මගේ අදහස විවිධ මට්ටම් වලදී විවිධ ආකාරයට ක‍්‍රියාත්මක වන උපාය මාර්ග යොදා ගත යුතු බවයි.
උදාහරණයක් ලෙස මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීමට පදනම් වූ නීතියේ අඩුපාඩු, දුර්වලතා හා ඌණතා මඟ හරවා ගැනීම, 17 වන සංශෝධනය ක‍්‍රියා විරහිත වීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පත් නොකිරීම නිසා ඇති වී තිබෙන ගැටලූ මඟ හරවා ගැනීම පිණිස අපි කෙළින්ම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ සිටින අපගේ දේශපාලන නියෝජිතයන් සමඟ කෙළින් කථා කර විසඳා ගත යුතුය.
අපේ ආරම්භක පියවර විය යුත්තේ, 2006 දී කළ කොමසාරිස්වරුන්ගේ පත් කිරීමේ ක‍්‍රියාවලිය යුක්ති සහගත නොවන බවත් එම පත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කොමිසමට බාහිර වශයෙන් පමණක් නොව අභ්‍යන්තර වශයෙන් ද අහිතකර බලපෑමක් ඇති වූ බවත් කොමිසමේ නිලධාරීන් සහ කොමසාරිස්වරුන් අතර සම්බන්ධතාවය, කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්ය සහ විශේෂයෙන්ම සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම අතර සම්බන්ධතාවය බිඳ වැටීමට එය හේතු වූ බවත් ඒත්තු ගැන්වීමයි.
කෙසේවුවද කොමිසමේ මූලස්ථානයෙහි මෙන්ම ප‍්‍රාදේශීය ක්ෂේත‍්‍ර කාර්යාල වල සේවය කරන තමා කරන කාර්යයේ වැදගත්කම හඳුනන තම අරමුණු කෙරෙහි කැපවී ක‍්‍රියාකරන, තම ආයතනයේ හැකියාව යොදාගෙන මහජනයාට සහ විශේෂයෙන්ම වින්දිතයන්ට කිසියම් සහනයක් ලබාදෙන ඉතා හොඳ නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයක් ද සිටින බව අප මෙහිදී අමතක නොකළ යුතුය.

”ජාතික මානව හිමිකම් කොමිසම ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අයිති ආයතනයක්. එය යම්කිසිවකු විසින් අපයෝජනයට ලක් කිරීම, සූරා කෑම හෝ එම හේතු මත අපවාදයට පාත‍්‍රවීම නිසා අපි එයට පිටුපාන්නේ නැහැ. අප කොමිසම දෙස බලන්නේ මානව හිමිකම් ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වශයෙන්. සත්තකින්ම එහි භූමිකාව සිවිල් සමාජ සංවිධානවල භූමිකාවට වඩා වෙනස්. නමුත් මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ආයතනයක් සතුව ඇත්තේ එකම පරමාර්ථයක් වන අතර අප සියළුදෙනාම එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට යන ගමන් මගේ සහකරුවන්ය. රාජ්‍යයට එකක් හා රාජ්‍ය නොවන සංවිධානවලට තවත් එකක් වශයෙන් මානව හිමිකම් නිර්ණායක දෙකක් නොපවතින අතර ඇත්තේ එකම සාර්වත‍්‍රික නිර්ණායකයක්.
සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම එකිනෙකාට සලකා ගත යුත්තේ මිතුරු ආකල්පයෙන්. මිතුරන් හැමවිටම එකිනෙකා හා එකඟ නොවන නමුත් මිතුරන් එකිනෙකාගෙන් පෝෂණය වේ. සිවිල් සමාජ සංවිධාන දුර්වල වුවහොත් එය පෙරලා මානව හිමිකම් කොමිසම දුර්වල වීමටද බලපාන අතර කොමිසම දුර්වල වීම සිවිල් සමාජ සංවිධානවලටද අහිතකර ලෙස බලපායි.”

Back to Home
View Pdf