Thursday, October 22, 2009

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
තාරා ශ‍්‍රී රාම්



කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ


නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේකැඳවුම්කාරිය

ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය.

Read more....








අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්

හසිනි හපුතන්ත‍්‍රි
යොවුන් ලේඛිකා

ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්,


Read more....







දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැසීම හෙළා දැකිය යුතයි


කුමුදුනී සැමුවෙල්
අධ්‍යක්ෂිකා
කාන්තාව හා මාධ්‍ය සාමුහිකය

ලංකා දේශපාලනය තුළ සංඛ්‍යාත්මකව කාන්තා නියෝජනය අඩුයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් ඒකට හේතුව පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තාවො ජයග‍්‍රහණය කරන්නෙ නැහැ කියන ප‍්‍රකාශය සහමුලින්ම වැරදි තර්කයක්. අපි මෙතෙක් කරල තියෙන පර්යේෂණ සහ විශ්ලේෂණ වලට අනුව ප‍්‍රධාන ධාරාවේ පක්ෂ ගත්තම හැමදාම ඔවුන් කාන්තාවන්ට ලබා දී තිබෙන්නෙ සීයට පහකට අඩු අපේක්ෂකත්වයක්.

Read More....

View All PDF

Friday, July 31, 2009

පසුගිය 27 වෙනිදා සීගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතියට හා සදාචාරයට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් ”වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයා පැවසීය. රජයේ මේ අලූත්ම තීරණය ගැන සමබිමේ අපි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරියකගෙන් විමසුවෙමු. එහිදී ඔවුන් පළකළ අදහස් මෙසේය.

මේ 21 වන සියවසේ කාලෝචිතම නීතියයි...?
අශෝක හඳගම

සංස්කෘතික අමාත්‍යංශය මඟින් සම්පාදනය කිරීමට යෝජිත මේ අලූත් නීතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කළොත් මං හිතන්නේ, 21 වන සියවස තුළ ලංකාවේ පැනවෙන වඩාත්ම කාලෝචිත සහ ඥනාන්විතම නීතිය එය වන බවයි.මං එහෙම කියන්නේ, මේ රටේ වැඩිහිටියන් කියන්නේ බාල දරුවෙකුට බලන්නට, අසන්නට, දකින්නට නොහැකි කිසිවක් දොරවල් වහගෙනවත් නොකරන, සිහිනෙන්වත් හොරකමක්, මැරකමක්, කපටිකමක්, වංචාවක්, දූෂණයක්, අයථා සංසර්ගයක්, අසැබිකමක් නොකරන පිරිසක් ද, ළමයින් කියන්නේ උප්පැන්න සහතිකයේ උපන්දිනයේ, ලිපිනයේ මෙන්ම පාසලට ඇතුළත් කරගැනීමට ඉදිරිපත් කරන ලියකියවිලි සැකසීමේ සිට වැඩිහිටියන්ගේ හොරකම්, වංචාවන්, දූෂණයන්, මැරකම් හා පගාගැහිලි වලට හුරු කරවනු ලැබූ පිරිසක් ද වන නිසයි.ඒ නිසා වැඩිහිටියන්ට පමණක් සීමා වු සිනමාවක් හෝ කලාවක් පැවතීම එක අතකින් ළමා අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් වන අතර තව අතකින් වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කොන්කර ඔවුන්ට දරා ගත නොහැකි සංකීර්ණ මානසික තත්ත්වයකට අනාවරණය කිරීමක්. මේ නිසා ජනමාධ්‍යකරුවන් ලෙස ඔබ සැමගේත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසු සිසුවියන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සමස්ත සිවිල් ප‍්‍රජාවගේමත්, හැම පුරවැසියෙකුගේමත් වගකීම වන්නේ පාර්ලිමේන්තුව තුළ එකී යෝජිත නීතිය ඒකච්ඡන්දයෙන් සම්මත කරගැනීමට සියළු දේශපාලන පක්ෂවලට බල කර සිටීමයි.

වඳුරට දැලි පිහිය ලැබුණොත්...
ඉනෝකා සත්‍යාංගනී

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම හරහා කාමාතුරයින්ට මෙතෙක් රට තුළ සැණකෙළි පවත්වන්නට ලැබී තිබූ නිදහසට වැට කඩුලූ බැදීම අපේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය මෑතකදී ගත් අභීත පියවරක්. ඒත් ඒ මගින් අපේ සංස්කෘතික ජන ජීවිතයට හා පොදුවේ සන්නිවේදන අයිතීන්ට වැට කඩුලූ බැදීම නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මෙතනදී අදාළ ඇමතිවරයා පවසාවි මේ නීතිය ඔවුන් විසින් පනවන්නේ රටේ බාල පරපුර නොමඟ යවන කාම චිත‍්‍රපට රැල්ලට එරෙහිව ගන්නා වූ පියවරක් හැටියට. ඒත් ඒමගින් පනවන්නා වූ නීතිය පොදුවේ ක‍්‍රියාත්මක වනවිට එම නීතිය අතට ගත් නිළධාරියා හෝ බලධාරියා විසින් ඔහුගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන්නට පෙළඹීමත්, අපට වළක්වන්නට බැරි ප‍්‍රායෝගික තත්වයක්. රජය හෝ සංස්කෘතික ඇමතිවරයා විසින් අදාළ කතුර භාර කරන්නේ එම නීති පද්ධතිය මත පිහිටා යුක්ති යුක්තව සහ අපක්ෂපාතීව අදාළ අරමුණ ඉටු කරන්න බැඳී සිටින ප‍්‍රතිපත්තිගරුක සෘජු බලධාරියෙකුට නම් මෙහි කිසිදු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ. ඒත් ඒ කතුර අතට ගන්නේ නිලධාරි කබායක් ඇඟලා ගත් වඳූරෙක් නම් වඳූරාගේ අතට දැලිපිහිය ලැබුණු විට සිදුවන දේ පිළිබඳව අපට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ සදහා අප සතු අත්දැකීම් බොහෝමයි.


තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි
සනත් ගුණතිලක

තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි. මගේ චිත‍්‍රපටියත් වැඩිහිටියන්ට කියලයි නම් කරල තියෙන්නේ. ඒ නිසා මම මේ ගැන හොයල බැලූවා. මට දැනගන්න ලැබුණෙ විශේෂයෙන්ම කාමුක දර්ශන, රාගී දර්ශන, මුල්කරගෙන මුදල් උපයන්න කරන චිත‍්‍රපට සඳහා මේ තහනම පනවා තියෙන බවයි. ලංකාවේ හෝ පිටරට වේවා මේ කාමුක දර්ශන, ත‍්‍රාසජනක දර්ශනවල එකම පරමාර්ථය මුදල් ඉපැයීම. මම දන්න තරමින් ඒවට තමයි මේ තහනම තියෙන්නේ. මගේ චිත‍්‍රපටිය එවැනි චිත‍්‍රපටියක් නොවන බවට මම කෙලින්ම පෙනී සිටිනවා. දැනට මගේ චිත‍්‍රපටියට කිසිම වෙනස් කිරීමක් කරන්න කියලා නැහැ. රැඟුම් පාලක මණ්ඩලයෙනුයි ඒක වැඩිහිටියන්ට පමණයි කියලා සහතික කළේ. මම චිත‍්‍රපටිය කරලා තියෙන්නේ ලංකාවේ නීති පද්ධතියට යටත්ව. නමුත් මේ තත්ත්වයට යටත් වෙන පිරිස් මේක මුල්කරගෙන වෙනත් විදිහකට මට හිරිහැර කරන බව පේනවා.දැනට මගේ චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව මගේ පැහැදීමක් තියෙනවා. මට මේ චිත‍්‍රපටිය ළමයින්ට පෙන්නන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවල සිනමා තිර කථාව විසින් එවැනි දර්ශනයක් ඉල්ලා සිටිනවා. එතකොට යම්කිසි බුද්ධිමත් පිරිසක් විදිහට අපට දැනෙනවා ඒ දර්ශන බලෙන් රිංගවලාද, නැත්නම් ඇත්තටම අවශ්‍යද කියන එක. ඉතිං එහෙම චිත‍්‍රපටිය විසින් ඉල්ලා සිටින දර්ශනයක් පවා ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුණොත් අපට ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලක් මෙහි පවත්වන්නත් බැහැ. නිදහසේ නිර්මාණකරණයේ නියැලෙන්න ඉඩ ඇහිරුණොත් මම ඒ වෙලාව අනුව කටයුතු කරයි. ඒත් නිර්මාණකරණයෙන් බැහැර වෙන්නේ නම් නැහැ.


මේක කාම අපරාධ වැඩි කරන කුමන්ත‍්‍රණයක්
සිරිමල් විජේසිංහ

මට හිතෙන්නේ මේක රජයේ කුමන්ත‍්‍රණයක්. ඔවුන් මේ වගේ දෙයක් කරන්න උත්සාහ ගන්නේ අද රට මුහණ දී සිටින ආර්ථික ප‍්‍රශ්න වැඩි නිසාත්, ජනගහනය වැඩි නිසාත්. ජනගහනය වැඩි වෙන කොට උග‍්‍ර වෙන ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය ස්ත‍්‍රී-පුරුෂ සංසර්ගය තහනම් කරන්න යනවා. ඒකට පෙර සුදානමක් විදිහටයි රජය වැඩිහිටියන්ට පමණයි කියන චිත‍්‍රපට තහනම් කරන්න සුදානම් වෙන්නේ. ඒ වගේම රට තුළ කාම අපරාධ වැඩි කරන්න කුමන්ත‍්‍රණයකුත් ඔවුන් ක‍්‍රියාත්මක කරනවා. පහුගිය දවස්වල කාන්තාවන් සහ දරුවන් මහ මඟ දූෂණය කර මරා දැමූ පුද්ගලයින් දිහා බැලූවම අපට පේනවා ඔවුන් පොතකින්වත් නිරුවත් ඡායාරූපයක් දකින්න නොලැබෙන අය කියලා. රජය උත්සාහ කරන්නේ ඒ වගේ මිනිස්සු තුළ තව තවත් ලිංගික පීඩනය ඇතිකර කාම අපරාධ වැඩි කරන්න. ඒ වගේම තමයි අපේ රටේ අන්තර්ජාලය ගත්තොත් ඒක බොහෝ දෙමාපියන්ගේ දැනුවත්භාවය ඇතුව ළමයි සිදුකරන දෙයක්. තමන්ගේ ළමයි වැඩිහිටියන්ට පමණයි කියන දේවල් බලනවා කියල ඔවුන්ගේ දෙමාපියන් දන්නවා. ඒ ගැන දෙමාපියන් සහ දරුවන් අතර සම්මුතියක් පවතිනවා. නැත්නම් ගෙවල්වල අන්තර්ජාලය තියෙන්න විදිහක් නැහැ. දැන් රජය මැදිහත් වෙලා මේක නතර කරන්න තීරණය කරලා තියනවා. ඉතින් සම්මුතියක් ඇතිව බලන ජනතාව තීරණය කරන්න ඕන තමන් මොකක්ද රජයට හා අණ්ඩුවට කරන්න ඕන කියලා. තමන්ගේ අයිතිය නැති කිරීම ගැන ජනතාව තීරණයක් ගන්න ඕන. අපිට ගැටළුවක් නැහැ, අපි කොහොමත් අපිට අවශ්‍ය දේ බලනවා. මම කොහෙත්ම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ජනතාවමයි අවසානයේ අපිට කෙළවන්නේ. ඔවුන් අවසානයේ පකෂපාතී වෙනවා. ඒ නිසා මේ පනත ගෙන ආ පසු මම පෞද්ගලිකව මානව හිමිකම් නඩුවක් පවරනවා. නමුත් මම පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. පුරවැසියෙක්, වැඩිහිටියෙක් විදිහට මේ දර්ශන බලන්න මට තියෙන අයිතියට සහ චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මගේ නිර්මාණ වලට මේ පනත බාධාවක් නිසා. ඒ තත්ත්වය මත ඊට විරුද්ධ වෙන්න පෞද්ගලික අයිතියක් මට තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන්ම මේකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.



රටම හිනා වෙන්න ඕන කාරණයක්
සුදත් මහදිවුල්වැව

මට හිතෙන්නෙ මෑත කාලෙ වුණ හොඳම විහිළුව වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටි තහනම් කිරීම. වැඩිහිටියන්ට පමණයි කියන එකෙන් අදහස් කරන්නේ ‘වල් ’ කියන එක නම්, මම හිතනවා ඒ කියවීමම වැරදියි කියල. ලංකාව සියළුම කාරණාවල සංකේත අරුත් අවුල් කරගෙන තියෙන්නෙ. වැඩිහිටියන්ට පමණයි කියන්නෙ වැඩිහිටියන් විසින් සාකච්ඡාවට ගතයුතුයි සහ වැඩිහිටි සමාජයකට කතිකාවතක් අවශ්‍යයි කියන කාරණය. ඒක ඇතුළෙ ලිංගිකත්වය නෙවෙයි, ඊට වඩා පුළුල් කතාබහක් තියෙන්නේ. විවෘතව මිනිහෙකුට තමන්ට හිතිච්ච තේමාවක් කතා කරන්න තියෙන නිදහස, හිතන්න තියෙන නිදහස වාරණය වෙනවා කියන කාරණයට මම විරුද්ධයි. නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණකරණය ඇතුලේ අත්‍යවශ්‍ය දර්ශන කරා යන්න නිදහස තියෙන්න ඕන. මෙහෙම සුචරිත සමාජයක් හදන්න උත්සාහ කිරීම මම හිතන්නේ රටම හිනාවෙන්න ඕන කාරණාවක්. අනිත් එක වැඩිහිටියන්ට පමණයි කියන කියවීම ඇතුළේ ලිංගික කියන්නේ අනුමාතෘකාවක්. ළමයි එක්ක සාකච්ඡුා කරන්න බැරි දේශපාලන කාරණාවක් වැඩිහිටියන්ට පමණයි වෙන්න පුළුවන්. ඔවුන් කියනවා නම් මේ උත්සාහය නරක විදිහට ලිංගිකත්වය උළුප්පන, ඉතාම තුට්ටු දෙකේ, බලන් ඉන්න බැරි තරම් ජරා චිත‍්‍රපටි වලට වාරණය දැමීමක් කියල, මම ඒකට පෞද්ගලිකවම විරුද්ධයි. ඔවුන්ගේ උත්සාහය ඒකයි කියල පෙන්නුවට සිද්ධවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මම දන්නෙ නැහැ මේ තීරණ ගන්න මිනිස්සු කොහේ ඉඳන් ඕව ගන්නවද කියලා. ඕව ඡුන්දෙකට කළින් විකුණන්න පුළුවන් දේවල්. මම හිතන්නේ තව ටිකක් කල් යනකොට මේ ගොල්ලො සීගිරි අප්සරාවන්ටත් ඇඳූම් අන්දනවා. ලෝකේ ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා නිරුවත නෙවෙයි නරක, මිනිහෙක් නිරුවත් කරල ඒ මනුස්සයට වද දෙන එක කියලා. මට හිතෙන්නේ අර අසිත තාපසයා කිවුවා වගේ හයියෙන් හිනාවෙලා, හයියෙන් අඬන්න තමයි තියෙන්නේ. නමුත් මේ ගැන කතාකරන එකවත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මොකද ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො එච්චරටම මෝඩ හින්ද ඒ තීරණ තීරණම වෙයි. ඕව බොහොම යහපත් විදිහට තේරුම් ගන්න සමාජයකයි අපි අද ජීවත් වෙන්නේ.


Back to Home

Thursday, May 28, 2009

ලංකාවේ පමණ ඉක්මවා පැනවූ නීති තිබෙනවා

රටේ මූලික නීති සැකැස්ම අභිභවමින් වර්තමානයේ අධික නීති (excessive law)ජන ජීවිතයට පැනවීම දකින්නට ලැබේ. මේ හේතුවෙන් ජනතාව මත අමතර පීඩනයක් ද පතිත වේ. නිදසුනක් ලෙස දුම්බීම, රාතී‍්‍ර 10න් පසු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, රූපවාහිනියේ විකාශය වන සියලූම මත්පැන් හා මත්ද්‍රව්‍ය සහිත රූපරාමු ආවරණය කිරීම, සියලූම ප‍්‍රසිද්ධ දර්ශන පෙන්වීම සඳහා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු වීම හා රටේ ආරක්ෂක තොරතුරු ලබාදීම ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් සිදුකිරීම එවැනි අවස්ථා කිහිපයකි. මේ පිළිබඳ සමබිමට එක්වෙමින් ආචාර්ය මාරියෝ ගෝමස් දැක්වු අදහසයි මේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මෙවැනි තහනම් පැනවීම් ඔබ දකින්නේ කෙසේද?
පමණ ඉක්මවා නීති රීති පැනවීමට සහ ජනතාවගේ ජීවිත සීමාව ඉක්මවා පාලනය කිරීමට ලංකාවේ නැමියාවක් තියෙනවා. ඔබ කියන ශබ්ද දුෂණය යන කාරණය ගැන සැලකීමේදී එය දුම්කොළ සහ මත් ද්‍රව්‍ය ප‍්‍රචාරණය වාරණය කිරීම, මාධ්‍ය වාරණය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු වාරණයෙන් වෙනස් කොට සැලකිය යුතුයි. ශබ්ද දූෂණය අධිකරණය විසින් පනවන ලද නියෝගයක්. රාත‍්‍රි කාලයේදී සීමාව ඉක්මවා ශබ්ද පිට කිරීමෙන් වළකින ලෙස මහජනතාවට පැවසීම සාධාරණයි. මෙහිදී මතුවන ගැටලූව කුමන මට්ටමේ ශබ්දයක් නිසා මහජනතාවට හිරිහැරයක් වන්නේද, එවැනි ශබ්ද මට්ටම් පාලනය කළ යුත්තේ කුමන වේලාවකට පසුවද සහ ආගමික උත්සව හා වෙනත් විශේෂ දිනවලදී මහජනයාට මෙම ශබ්ද මට්ටම ඉක්මවා යෑමට අවසර දිය යුතුද යන්න පිළිබඳවයි. ජාතික ආරක්ෂාව කියන කාරණයේදී මහජනතාවට තොරතුරු ලබා ගැනීමට සහ දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට සිතීමේ නිදහස යන්නෙන් අදහස් වෙන්නේ ස්වාධීන සහ විශ්වාසදායී තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාවයි. ජනමාධ්‍යවලට ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ ඒවා ආවරණය කිරීමට අයිතියක් සේම යුතුකමක් ද පවතිනවා. යුද්ධය පිළිබඳව මාධ්‍ය ආවරණයේදී ආණ්ඩුව අධිකව පවත්වා ගෙන ගිය ඒකාධිකාරය නිසා එම අයිතිය උල්ලංඝනය වෙනවා. ඕනෑම කාරණයකදී සමබරතාවය ඉතා වැදගත්. මෑත කාලීන යුධ තොරතුරු වාර්තාකරණයේදී රජය සහ එල්.ටී.ටී.ඊ ය ගෙන ගිය ප‍්‍රචාරණ ව්‍යාපෘති මත විශ්වාසය තැබීමට මහජනයාට සිදුවුණා. ස්වාධීන තොරතුරු මුලාශ‍්‍රයකට ප‍්‍රවේශ වීමට හැකියාවක් තිබුණේ නැහැ.
කලා කටයුතු අධිකව වාරණය කිරීම ගැන කතා කරනවා නම් එ්වා වාරණය කිරීම සම්බන්ධයෙන් මගේ කැමැත්තක් නැහැ. විශේෂයෙන්ම චිත‍්‍රපටි. සමහර චිත‍්‍රපට නැරඹිය යුත්තේ වැඩිහිටියන් පමණක් යැයි හෝ ළමුන් ඒවා දෙමාපියන් සමඟ නැරඹිය යුතුයැයි කියා රජය වෙත නිර්දේශ කිරීමට වාරණ මණ්ඩලයට ඉඩදිය දිය හැකියි. නමුත් එය සීමාව ඉක්මවා වාරණය කිරීමට රජයට අයිතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. දෙමාපියන් ලෙස මගේ දරුවා නැරඹිය යුත්තේ කුමක් දැයි තීරණය කිරීම රජයට බාර දෙනවාට වඩා මා විසින්ම තීරණය කිරීමට මම කැමතියි. රූපවාහිනිය සම්බන්ධයෙන් නම් ඊට වඩා වැඩි පාලනයක් පැවතිය හැකියි. නමුත් සිප ගැනීමේ දර්ශන සහ සමහර වචන භාවිතා කිරීම රූපවාහිනිය තුළ තහනම් කිරීම බාල සහ බොළඳ ක‍්‍රියාවක්.


කිසියම් රටක පවතින අධික නීති (excessive law) ඇතැම් වේලාවල දී, ඇතැම් පුද්ගලයන් සඳහා පමණක් ක‍්‍රියාත්මක වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපාන්නේ කෙසේද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි මූලික ලක්ෂණයක් වන්නේ ‘මනුෂ්‍ය ස්වාධීනත්වයයි.’ මිනිසුන් වැඩිහිටි බවට පත් වූ පසු ඔවුන් නැරඹිය යුත්තේ කුමක්ද, කියවිය යුත්තේ කුමක්ද, ඔවුන් දුම් පානය කළ යුතුද, මත්පැන් පාවිච්චි කළ යුතුද, ඔවුන් තමන්ගේ දරුවන් හදා වඩා ගත යුත්තේ කෙසේද, ඔවුන් ජීවිතය ගත කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට නිදහස තිබිය යුතුයි. ඔවුන්ගේ ජීවන රටාව අනෙක් අයට හිරිහැරයක් වෙනවා නම් හෝ අන් අයට හානියක් සිදුවෙනවා නම් එවිට රාජ්‍යයට ඔවුන්ගේ හැසිරීම් රටාව ක‍්‍රමවත් කළ හැකියි. නමුත් එසේ නැතිව රාජ්‍යයට වෙනත් බලපෑම් කළ නොහැකියි. ශ‍්‍රී ලංකාවේ පවතින එක් අභියෝගයක් වන්නේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා සෑම පුද්ගලයෙකුම නීතියට යටත් බව තහවුරු කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. කෙසේ නමුත් අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ එකිනෙකාට විවිධ ආකාරයෙන්. ස්වාධීන හා මහජන විශ්වාසය දිනාගත් ආයතන තිබෙන්නේ කිහිපයක් පමණයි. අපට ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර බව පිළිගන්නා තත්වයක් උදාකර ගැනීම සඳහා ව්‍යවස්ථාව සමඟ ගැටෙන අනෙකුත් සියලූ නීති රීති සහ භාවිතයන් අවලංගු වන තත්ත්වයක් ලඟා කර ගැනීම වැදගත්.

මෙවැනි නීති වලට දේශීය වශයෙන් අභියෝග කල හැකිද?
ඒ කෙසේද?අපට අණ පණත් ප‍්‍රතිවිමර්ශනය කිරීමේ ක‍්‍රමයක් තිබිය යුතුයි. යම් නීතියක් ව්‍යවස්ථාවට පටහැනි නම් එවැනි නීති අවලංගු කිරීමට අධිකරණයට ඉඩකඩ තිබිය යුතුයි.


Thursday, May 14, 2009

ගතවූ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ අපරාධයන්ට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව මිය යාම වර්තමානයේ නොනිමෙන අරගලයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ව සමබිම සමඟ විද්වතුන් දැක්වූ අදහස් කිහිපයකි මේ.

ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

සියලූ සැකකරුවන් ආයුධ හංඟලා තියෙන්නේ බොල්ගොඩ ගෙඟ්ද ?

ඕක දැන් තියෙන ටෙ‍්‍රන්ඞ් එකක්. 1978 දෙවන ජනරජ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ පැහැදිලි ව දක්වලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත යුතු ආකාරය පිළිබඳ ව. මිනී මැරුමක් කළ අයෙකුට වුවත් අත් අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයකින් පසුව දඬුවම් දීමයි සිදුවිය යුත්තේ. නමුත් වර්තමාන ප‍්‍රවණතාව ඒ සියල්ලටම පෙර පොලීසිය අතින් සැකකරුවන් ඝාතනය වීම. මේ ගැන සමාජයේ බොහෝ පිරිසක් සතුටු වෙන්න පුලූවන්. සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන කටයුතු හරියට කර ගන්න බැරි තැන සැකකරුවන්ට පහරදීම්, බිය වැද්දීම්වල සිට අවසානයේ ඝාතනය කිරීම් දක්වා පොලිසිය තමන්ගේ බලය පාවිච්චි කරනවා. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය පසුගිය කාලය පුරාම අත් අඩංගුවට ගත් මෙම සැකකරුවෝ ආයුධ හංඟලා තිබුණේ බොල්ගොඩ ගගේද? නැත්නම් කෙසෙල් පඳුරක් අස්සේ ද? ගස්ලබු පඳුරක් අස්සේ ද කියන එක. පසුගිය කාලයේ බියගම පොලීසියෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තමන්ගේ ආරක්ෂාව තහවුරු වී තියෙද්දීත් උදේ වෙනකොට මරා දාලා. පොලීසිය මේ ගොතන කතාවේ තියෙන සාවද්‍යභාවය පැහැදිලියි.පොලිස් රැකවරණයේ ඉන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමේ සම්පුර්ණ වගකීම තියෙන්නේ පොලිසියට. පොලිස් ස්ථානයක් භාරයේ ඉන්න කෙනෙක් මැරුණොත් ස්ථානාධිපති එයට සම්පුර්ණයෙන් වගකිව යුතුයි. එයයි ප‍්‍රති පුරුෂ වගකීම. නමුත් මේ සිදුවෙන දේ ශීලාචාර, සදාචාර සම්පන්න රටකට කිසිසේත්ම උචිත නැහැ. මෙහෙම ගියොත් අපරාධවලට සම්බන්ධ නැති කෙනෙකුට අත් වෙන්න ඉඩ තියෙන්නෙත් මේ ඉරණම. විය යුත්තේ හැකි ඉක්මනින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමයි.


උදය කුමාර අමරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ හා මානව විද්‍යා අධ්‍යානාංශය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මේ කඩවෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්

මේ ප‍්‍රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දේ පොලිසියට මෙහිදී තිබෙන අවම බලය පාවිච්චි කිරීමේ හැකියාව කියන නීතිමය රැකවරණය. මේ ඝාතනවල ස්වභාවය තමයි තරමක් ප‍්‍රසිද්ධ, සමාජය කම්පනය කළ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් මරා දැමීම. එවැනි සිද්ධියකදී සමාජය පැත්තෙනුත් විශාල ප‍්‍රතිවිරෝධයක් එල්ල වෙනවා සැකකරුවන්ට එරෙහිව. නමුත් මේ කඩ වෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්. මෙය ශිෂ්ඨ යැයි පිළිගත් නීති ක‍්‍රමයක් තියෙන රටකට සුදුසු නැහැ. පහුගිය කාලයේ ඝාතනයට ලක්වුණු සැකකරුවන්ගෙන් බහුතරය එක් දවසක්වත් අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. විධිමත් යුක්තිය පසිඳලීමේ ක‍්‍රමයක් තුළ මේ සැකකරුවන්ට කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ තමන්ගේ නිර්දෝෂීභාවය හෝ අපරාධය කිරීමට හේතුව ඔප්පු කිරීමට. මේ තත්ත්වය දිගින් දිගිටම සිදුවෙන කොට සමාජය කම්පනය කරන අපරාධකරුවන් මැරීම ප‍්‍රජාව අගය කිරීම හරහා ප‍්‍රජාවගේ මිනිස් ආකල්ප නීතියෙන් පරිභාහිර මනුෂ්‍ය ඝාතන අනුමත කිරීම දක්වා වර්ධනය වෙනවා. මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් නැතිනම් විමර්ශන නිලධාරියෙක් හැරුණු කොට 90% ක්ම ප‍්‍රජාවගේ කැමැත්තක් තියෙන්නේ මෙවැනි සැකකරුවන් පොලීසිය විසින් ඝාතනය කිරීම දැකීමට.ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරතවන අයට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට නුසුදුසු යි. අද වෙනකොට වසර කිහිපයක ඉඳන් සිදුවෙන මේ ක‍්‍රියාවලියෙන් තුවාල වුණ එක සැකකරුවෙක්වත් නැහැ. සියලූදෙනාම මැරිලා. එකම රටාවකට, එකම ආකාරයකට කොහොමද ඔක්කෝම මැරෙන්නේ කියලා අපිට සැකයක් මතු වෙනවා. පොලිසිය හිතාමතා මේ ඝාතන කරන බව පැහැදිලියි. කාලාතුරකින් ඔය කියන දේ ඇත්තටම සිදු වෙන්න පුලූවන්. ඒත් මේ තරම් වාර ගණනක් එකම දේ සිදුවීම විහිලූවක්. ප‍්‍රධානම සාධකය දණ්ඩ නීති සංග‍්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ඇති අවම බලය හා ආත්මාරක්ෂාව යන වගන්ති පොලිස් නිලධාරින්ගේ රැකවරණයට තිබීම අධිකරණයේදී නිළධාරින්ගේ වාසියට හේතු වීම.



අමාත්‍ය මහින්ද සමරසිංහ
ආපදා කළමණාකරණ හා නව හිමිකම් අමාත්‍යාංශය

පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්
මෙවැනි සිද්ධීන් ඇතිවෙන කොට අපි පොලිසියට කතා කරලා පොලීසිය පැත්තෙන් ඔවුන්ගේ ස්ථාවරය විමසනවා. පොලිසිය කියන්නේ මේක සංවිධානාත්මක ව සිදුවෙන දෙයක් නොවෙයි කියලා. නමුත් සිරභාරයට ගත් පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්. පහුගිය කාලයේ මෙවැනි වෙඩි තියලා මරලා දාපු සිද්ධි ගණනාවක් තියෙනවා. එවැනි සිද්ධීන්වලදී මගේ යටතේ තියෙන මානව හිමිකම් උපදේශක සභාවත්, සිවිල් සමාජයේ අයත් විටින් විට ඒ ගැන කරුණු ඉදිරිපත් කර තියෙනවා. එවැනි අවස්ථාවලදී අපි අදාළ පොලිසිවලින් මේ ගැන කරුණු වීමසීම දිගටම සිදු කරනවා.


කේ.සී.ලෝගේස්වරන්
අතිරේක ලේකම්
ජාතික පොලිස් කොමිසම

කොමිසමට දැන් පවර්ස් නැහැ

දැන් කොමිසම් සභා සියල්ල අක‍්‍රීය වෙලා තියෙන්නේ. ඒ සියල්ල කැබිනට් එක යටතේ තියෙන්නේ. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිස් කොමිසමට වඩා වගකිව යුත්තේ මහේස්ත‍්‍රාත් උසාවියයි. මහේස්ත‍්‍රාත්වරයා කිව්වොත් මෙම ඝාතන සිදු කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න කියලා එවිට අපට පුලූවන් ඒ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයන් සිදු කරන්න. නමුත් අද වෙනකන් එවැනි නියෝගයක් අපිට ලැබිලා නැහැ. ඒ හේතුව නිසාත්, මේ වෙනකොට කොමිසමට පවර්ස් නැති නිසාත් අපිට කොමිසම විදිහට ඒ ගැන කිසිම දෙයක් කරන්න බැහැ. පෞද්ගලිකවත් මේ ගැන මීට වඩා දෙයක් මට ප‍්‍රකාශ කරන්න බැහැ.

නිශාන් මුතුක‍්‍රිෂ්ණ
අමාත්‍යාංශ උපදේශක
ආපදා කළමණාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය

පොලිසියේ ස්ථාවරය මෙය සැලසුම් සහගත ව නොවන බවයි

මෙම ඝාතන සම්බන්ධයෙන් අපි පොලිසියෙන් විමසීම් කරලා මේ ගැන සම්පුර්ණයෙන් විමර්ශනය කර පැහැදිලි කිරීම් ඉල්ලා තිබෙනවා. ඇමතිතුමාගේ උපදේශක කමිටුවෙත් මේ ගැන සාකච්ඡා වුණා. මේ සම්බන්ධයෙන් පහුගිය කාලයේ ගොඩක් හයිලයිට් කරපු මාධ්‍ය ආයතනයක් තියෙනවා. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා ඔවුන් ලඟ තිබෙන තොරතුරු අපිට දෙන්න කියලා. මෙවැනි සිද්ධීන් අවස්ථා ගණනාවකදී වාර්තා වෙනකොට සමස්ත විමර්ශනයක් කරලා කරුණු ඉදිරිපත් කරන්න කියනවා. දැනට අපිට පොලිසියෙන් කියලා තියෙන්නේ මේක සැලසුම් සහගතව සිදුවන ක‍්‍රියාවක් නොවෙයි කියලා.


නීතිඥ නිමල් පුංචිහේවා
අතිරේක ලේකම්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව

පොලිසිය භාරයට පත්වෙනවා කියන්නේ රජයේ ආරක්ෂාව යටතට පත්වීම

පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් බොහෝ ගණනකදී පොලිසිය අත් අඩංගුවට ගෙන තමන් භාරයේ ඉන්න සැකකරුවන් ආයුධ පෙන්නන්න කියලා අරගෙන ගිහිං ඝාතනය කරලා, අන්තිමට වාර්තා කරනවා නිළධාරීන්ට වෙඩි තියන්න හැදුවා, අත් බෝම්බ ගහන්න හැදුවා කියලා. යම් පුද්ගලයෙක් පොලිසිය තමන් භාරයට ගත්තා කියන්නේ රජයේ ආරක්ෂාව යටතට පත්වුණා කියන එක. එහිදී අපරාධයක් ගැන ප‍්‍රශ්න කිරීමට, විමර්ශනය කිරීමට හා අපරාධයට සම්බන්ධ සිදුවීම්, උපකරණ අනාවරණය කර ගැනීමට බලතල පොලිසියට තියෙනවා. නමුත් ඒ විමර්ශන බලතල වලට සීමාවන් ද තියෙනවා. සාමාන්‍යයෙන් පොලිසිය ඉදිරියේ පුද්ගලයෙක් කරන පාපොච්චාරණයක් නීතිය හමුවේ පිළිගන්නේ නැහැ. එහිදී පොලිසියට ඒ කරන ප‍්‍රකාශ හෝ පාපොච්චාරණයන්ට අදාළ යම් සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සාක්ෂි ආඥ පනතේ 24,25,28 වගන්ති හරහා අවස්ථාව ලැබෙනවා. මෙහිදී අත් අඩංගුවට ගත් අයෙකු මාංචු සහිතව ආයුධ හෝ බෝම්බ පෙන්වීමට රැගෙන යන විට එක් වරම ඒ ආයුධ වලින් පොලිසියට මරණීය තුවාල ඇති කිරීමට උත්සාහ කරනවා කියන එක ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. ඒත් දැන් මේ සිදුවීම් රාශියම එක්තරා මෝස්තරයකට වෙන බව පේනවා. මේක නාටකයක් වෙලා. පොලිසිය කරන්නේ රඟපෑමක්. පොලිසියේ විමර්ශන කටයුතුවල දුර්වලතා හා නීතියේ විධි දෝෂ නිසා පසුගිය කාලයේ 90%ට වැඩිය සැකකරුවන් නිදහස් වෙලා තියෙනවා. මේ නිසා මිනිස්සුන්ට නීතිය ගැන විශ්වාසය බිඳවැටිලා. නීතියට පරිභාහිරව හෝ ක‍්‍රියාත්මක වීමට මිනිස්සු කැමැතියි.පොලිසියටත් මෙතනදී රැකවරණයක් තියෙනවා දණ්ඩ නීති සංග‍්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ එන ආත්මාරක්ෂාවේ හා අවම බලය යන අයිතීන් යටතේ. මෙහි ඇති බරපතලකම නීතියටත් වඩා අපේ ශිෂ්ඨත්වය ගැන ප‍්‍රශ්නයක් ඇතිවීම. මේක ගෝත‍්‍රික ලක්ෂණයක්. පොලිසිය මෙහෙම ක‍්‍රියා කරන නිසාම එය ක‍්‍රියාකාරීත්වයේ හුරුවක් වෙනවා. එය නවත්වා ගන්න බැරි තත්ත්වයක් දක්වා ගොස් දේශපාලන බලය හා මුදල් බලයටත් මෙවැනි ඝාතන සිදු කරන්න පුලූවන්. මේක ගුණාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ඉතාම නරක තත්ත්වයක්. මෙහි විශාල වගකීමක් තියෙනවා අධිකරණයට. පොලිසිය මෙවැනි ඝාතනයකදී ඉදිරිපත් කරන හේතු සාධාරණීකරණය කිරීමට පෙර අධිකරණය පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ඒ කරුණු ගැඹුරින් ප‍්‍රශ්න කිරීම මහේස්ත‍්‍රාත්වරයෙකුගේ වගකීමක්. එහෙම නොවන විට ඇතැම් වැදගත් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීමට පොලිසියට නිරායාසයෙන්ම හැකියාවක් ලැබෙනවා.


Back to main Article
Back to Home

පොලිසියේ සිම්පල් ප්ලෑන් එක

අවසන් වරට පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය වුයේ ඉකුත් මැයි හතර වැනිදාය. සුපුරුදු ලෙසම එවරද ඝාතනයට ලක් වු මඩකලපුවේ දැරියගේ පොත් බෑගය සොයා ගැනීමට පොලිස් රැකවරණ යටතේ යමින් සිටියදී සඟවා තිබු ටී-56 යේ ගිනි අවියක් ගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ ගත් සැකකරුවන්ට පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඝාතනය වන්නට සිදු විය.

මේ පසුගිය වසර කිහිපයක් පුරා ශ‍්‍රී ලංකාවේ නීතියට පරිබාහිර ව අපරාධ යුක්තිය පසිඳලීමේ අවනීතිය ක‍්‍රියාත්මක වන රටාවයි. අපරාධයක් යනු හැමවිටෙකම වරදකට එහා ගිය, සමාජය තුළ කැළඹීමක්, කම්පනයක්, භීතියක් ඇති කරන සිදුවීමකි. එවැන්නකදී ප‍්‍රජාව ආවේගශීලී වීම නොවැලැක්විය හැකි හේතුවකි. එනිසාම පිළිගත් නීති රාමුවක් තුළ අපරාධයට සුදුසු දඬුවමක් ලැබිය යුතුය.නමුත් අවාසනාවකට සමාජයේ බොහෝ පිරිසක් පොලිසියේ මෙම අශිෂ්ඨ, අශ්ශීල, ගෝත‍්‍රික හැසිරීමට පක්ෂය. නමුත් මෙම සිදුවීමේදී සමාජය වටහා නොගත් කාරණා කිහිපයක් ඇත. පොලිසිය යනු ආයුධ හා නිල බලය සහිත සන්නද්ධ රාජ්‍ය නිළධාරින් පිරිසකි. ඔවුන් මේ මරා දමන්නේ අධිකරණය හමුවේ අපරාධකරුවෙකු යැයි ඔප්පු නොවු, ඊට අවස්ථාවක්ද නොසැලසුනු හුදු සැකකරුවෙක් පමණි. බාගවිට මේ මිය යන්නේ සැබෑ අපරාධකරුවාද නොවිය හැකිය. සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අපරාධයට අදාළ සියලූ චංචල, නිශ්චල උපකරණ සහ සිදුවීම් හෙළිදරවු කරගෙන අධිකරණයක් හමුවේ එය සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පොලීසියේ බහුතරයක් නිලධාරීන්ට ඇති බැරිකම වසා ගන්නට ඔවුන් යොදන මේ සිම්පල් ප්ලෑන් එකේ ඇති අනාගත උවදුර වටහා ගන්නට සමාජයට නොහැකිවීම කණගාටුවකි. එසේත් නැත්නම් අපට කණගාටුවෙන් වුවත් පිළිගන්නට සිදුවන්නේ ලංකාව වැනි ඌණ සංවර්ධිත රටක ජීවත් වන මිනිසුන් බොහෝ පිරිසකට නීරෝගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තමන් වෙනුවෙන් බිහිකර ගැනීමට අවශ්‍යතාවක් නැති බවය.

අපරාධකරුවන් ඉබේ පහළ වන්නේ නැත. ඊට බලපාන සමාජ, ආර්ථික, මානසික හෝ ශාරීරික හේතූන් පවතී. යම් සිදුවීමකට එකී සාධකවල ඇති සාධනීය බලපෑම විමර්ශනය කිරීම මානව හා භෞතික විද්‍යා විෂය ක්ෂේත‍්‍රවලට මෙන්ම රටක සංවර්ධන ක‍්‍රියාදාමයට කෙතරම් අත්‍යවශ්‍යයද යන්න වටහා ගැනීමට තරම් බුද්ධියක් බොහෝ පොලිස් නිලධාරීන් තුළ පවතිනවා නම් සැකකරුවෙකු නොව අපරාධකරුවෙකුවත් මරා දමන්නේ නැත. මෙරට මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවන අවස්ථාවක පොලීසිය මේ සිදුකරන්නේ තම කැලෑ උසාවියේ නඩු අසා තමන්ම තීන්දු දීමයි. සැකකරුවන් ඝාතනය කරදමා වධකයාගේද කාර්ය භාරයයි. මේ මරා දමන්නේ සමාජයේ ජීවත් වන තවත් පුරවැසියෙකි. මේ ඝාතනයට ලක් වන එක් මිනිස් පුරුකක් මඟින් සමාජය තුළ ඇති කරනු ලබන රික්තය නිසා ඇතිවන සමාජ අසමතුලිතභාවය තවත් මිනිස් පුරුකක් ඝාතනය කර තුලිත කිරීමට නොහැකි බව ස්වභාව යුක්තියේ මූලධර්ම අගයන ශිෂ්ට සම්පන්න මිනිසෙකුට වටහා ගැනීම අපහසු නැත.
ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් අත්මාරක්ෂාව හා අවම බලය යෙදවීමට අනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට ද හිමිවේ. නමුත් අවම බලය යනු ඝාතනය නම් එය අවම බලයේ සීමාව පිළිබඳව ගැටලූවකි. පොලිසියට පමණක් මෙහි පුර්ණ වගකීම පැටවීම සාධාරණ නැත. මේ දිග හැරෙන්නේ පොලීසිය, අධිකරණය ඇතුළු සමස්ත යුක්ති පද්ධතියේම ඇති නොහැකියාවයි. අධිකරණයට මෙහි විශාල වගකීමක් ඇත. එ් ඝාතන සම්බන්ධයෙන් ඉදිරිපත් වන පොලිස් සාක්ෂි ගැඹුරින් ප‍්‍රශ්න කිරීමට ය.

මීට වසර එකහමාරකට පමණ පෙර අඟුරුවාතොට ප‍්‍රදේශයේ සිදු වූ එක්තරා ප‍්‍රසිද්ධ ඝාතන සිදුවීමකදී ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙන් මට අසන්නට ලැබුණේ මෙවැනි කතන්දරයකිි. ”ඊයේ හවස අපි මෑන්ට වැඬේ දෙන්න හිටියේ. වෙලාවට ඊට කලින් ඌ වැඬේ කරපු අයයි, බඩුයි පෙන්නුවා.”පොලිසිය අතින් සිදු වෙන මෙම ඝාතන හුදු අහම්බයක් නොවන බවට මේ එක් සාක්ෂියක් පමණි.අපරාධයකට දඬුවමක් හෝ විශෝධනයක් ලබාදීම අපි ඉහළින් ම අනුමත කරන්නෙමු. එය සමාජ ශෝධන ක‍්‍රියාවලියට අත්‍යවශ්‍යය. නමුත් පවතින නීති අභිබවා යමින් ඊට පටහැනිව සිදුකරන මෙම මනුෂ්‍ය ඝාතන කිසිවිටෙක අනුමත කළ නොහැක. සෑම පුරවැසියෙකුටම සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාධාරණ ඉඩක් තිබිය යුතුය. කිසිවෙකුගේ ඳූජීවත් වීමේ අයිතිය පොලිස් නිල ඇමකට දෙවැනි විය යුතු නැත. මේ ඔබ අවදි විය යුතු කාලයයි. කුමන හෝ ආකාරයකට ඔබේ දූ පුතුන්, සහෝදර සහෝදරියන්, අසල්වැසියන්, ඥතීන්, ඝාතනය වීමට ඉඩක් හා ඊට නීතිමය රැකවරණයක්ද සහිත පරිසරයක් බිහිවෙමින් පවතී.
තාරා ශ‍්‍රී රාම්


Thursday, April 23, 2009

ඉබ්බෙක් අහසින් ගිය ආකාරය කියමි ඔබට මම රාළේ !

සුදර්ශන ගුණවර්ධන

නිධාන කතාව
එකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව මැදින් කටින් අල්ලාගෙන ශබ්ද වසාගෙන සිටීමටය. එවිට කොකුන් ජෝඩුව කෝටුවෙ දෙකෙළවර කටින් ගෙන පියාඹාගොස් වතුර පිරි විළ වෙතට ඉබ්බා ගුවනින් ප‍්‍රවාහණය කිරිමයි. සෑම දෙනාම මවිතයට පත්කළ පෙර නොඇසූ විරූ කදිම සැලසුම සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබියදී මහත් නපුරක් සිදු වූයේය. ඕනෑම දෙයක් විවේචනයක කරන නාහෙට නාහන පශ්චාත්-නූතනවාදීන් පිරිසක් ඉබ්බාගේ ගුවන් ගමන විවේචනයකළ බැවින් ඔවුන්ට පිළිතුරු දෙන්නට ඉබ්බා කට ඇරියේය. එකවරම ඉබ්බා බිමට කඩා වැටුන අතර ඉතුරු වුවා නම් ඉතුරු වුණේ කටු ටික පමණි.

අප කවුරුත් දන්නා ඉහත කියූ ඉබ්බාගේ කතාවේ දෙවැනි කොටස ලිව්වේ හැත්තෑව දශකයේදී සිළුමිණ පත‍්‍රයට උපහාස කතා ලියූ එල්.සී.ජයසිංහ විසිනි. ඒ අනුව අසාර්ථක වූ කොක්කු දෙදෙනා නැවත පැරණි විළ ලගටම පැමිණෙති. එතනදී ඔවුන්ට තවත් ඉබ්බෙක් හමුවේ. මේ ඉබ්බා කලින් සිදුවූ සිදුවීම දෙස නිහඬව බලා සිට ඇත. එම දෙවැනි ඉබ්බාගේද සිහිනය වතුර පිරි විලක් වෙත යෑම බැවින් තමාවද අහසින් ගෙන යන ලෙස ඔහු කොකුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කොකුන් කිව්වේ එක ඉබ්බෙක් අහසින් ගෙන යාමට ගොස් තමන් හොද පාඩමක් ඉගෙන ගත් බැවින් නැවතත් ඒ ගොන් කම නොකරන බවයි. නමුත් දෙවැනි ඉබ්බා වනාහී කිසිදෙයකින් අධෛර්යට පත් කළ නොහැකි ධෛර්යය සම්පන්නයෙකි. ඔහු කීවේ සැලසුම නිවරදි බවයි. අර මෝඩ ඉබ්බා තම විවේචකයන්ට බනින්නට කට අරින්නේ නැතිව සිටියානම් කිසිදු ප‍්‍රශ්ණයක් නොවන බවයි, විවේචකයන්ගේ කටවල් වසා ඔවුන් පූස් පැටවුන් කරන ආකරය තමන් හොද හැටි දන්නා බව පැවසූ දෙවැනි ඉබ්බා කොක්කුන් දෙදෙනා ගුවන් ගමන සදහා නැවතත්ත පොළඹවා ගැනීමට සමත් විය. මෙවර ගමන අති සාර්ථක වූයේ විවේචකයන්ගේ විවේචන හමුවේ පවා කට පියාගෙන කෝටුවේ එල්ලී ගුවනේ යාමට තරම් ඉබ්බා ප‍්‍රඥවන්ත වූ බැවිනි. විකල්ප පුවත්පත් කර්තෘ වරුන්ද ඇතුළු සෑම දෙනාම මවිතයට පත්කළ මෙම සාර්ථකත්වයේ ප‍්‍රතිඵලය වුයේ පළමු ඉබ්බාගේ විවේචකයකන් විසින්ද දෙවැනි ඉබ්බාගේ සිම්පල් ප්ලෑන් එක වර්ණනා කිරීමයි. සියල්ලාන්ගේම ප‍්‍රීති ගෝෂා මැද වතුර පිරි විලට ඔන්න මෙන්න කියා තිබියදී ‘කොහොමද මගේ වැඩ’ කියා කීමට ඉබ්බා කට ඇරියේය. අවාසානවක මහත ! දෙවැනි ඉබ්බාගේ ඉරණමද පළමු ඉබ්බාට දෙවැනි වූයේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දි පොද ජන එක්සත් පෙරමුණ නැමැති අලූත් දේශපාන පෙරමුණ ගොඩ නගාගෙන ලංකාවේ අගමැතිධූරයට ද පසුව ජනාධිපති ධූරයටද පත්වූවාය. මේ පොදු පෙරමුණ වනාහි මීට වසර දෙකකට පෙර පරිකල්පනය කිරීමට පවා නොහැකිව තිබූ එකකි. ඉන්දු-ලංකා ගිවිසුමට සහ පළාත් සභාවලට පක්ෂ හෝ විපක්ෂ වීම මත දේශපේ‍්‍රමීත්වය සහ දේශ ද්‍රෝහීත්වය නිර්ණය වූ නුදුරු අතීතතයක එකිනෙකාට වේඩි තබාගත් බලවේගද, විවෘත ආර්ථිකයට පක්ෂපාත හා ප‍්‍රතිවිරුද්ධ ස්ථාවර ගැනීමේ හේතුවෙන් එකිනෙකාගේ මුහුණ බැලිම පවා ප‍්‍රතික්ෂේප කළ බලවේග ද මෙම නව පෙරමුණ තුළ කරට අත දා ගත්හ. 1994 දී දිවුරුම් දුන් පොදු පෙරමුණ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය අතීතාවලෝකනයකට උපකාර විම පිනිස නැවත සිහියට නගා ගන්න.
- චන්ද්‍රිකා, මංගල, එස්.බී, අනුරුද්ධ රත්වත්තේ...
- සිරිමාවෝ, මහින්ද, දි.මූ.ජයරත්න, ලක්ෂ්මන් ජයකොඩි...
- නිමල් සිරිපාල,දොඩංගොඩ, රිඩඞ් පතිරණ...
- සී.වී ගුණරත්න, කිංස්ලි ටී වික‍්‍රමරත්න, ෆවුසි...
- අෂ්රෝෆ්, ශ‍්‍රීමනී ඇතුලත්මුදලි, බර්නාඞ් සොයිසා, ඉන්දික ගුණවර්දන, රත්නසිරි වික‍්‍රමනායක...
-ලක්ෂමන් කදිරගාමර්, ජී.එල් පීරීස්...

මේ අයට අමතරව සටන්කාමීන් ලෙස රටේ නමක් දිනූ වාසුදේව, ඩලස්, ඩිලාන් පෙරේරා, ජෙයරාජ්, මෛත‍්‍රීපාල සිරිසේන, නාලන්ද එල්ලාවල, නන්දිමිත‍්‍ර ඒකනාකයක වැනි අයද ආණ්ඩුවට ඇතුලත් විය. එකල තිබූ පොදු පිළිගැනීම වූවේ ව්‍යතිරේඛ දෙක තුනක් හැරුන විට පොදුජන එක්සත් පෙරමුණ සමන්විත වූයේ හොඳ මිනිසුන්ගෙන් බවයි. කෙතරම් හොද මිනිසුන්ද කිවහොත් එතෙක් කළක් ඇමැතිවරුන් පාවිච්චිකල මිළ අධික ‘සුඛෝපබෝගී’ වාහන වෙනුවට ලාභ කුඩා වාහන පාවිච්චි කිරීමට පවා එකඟවූ පොදුජනයාගේ මිනිසුන්ගෙනි. චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ ආණ්ඩුවේ පරමාර්ථ දැන් අපට මෙසේ සටහන් කළ හැක.

01. කාටත් සමාදානයෙන් ජීවත් විය හැකි සුසංවාදී, යහපත්, පසමිතුරුතා වලින් තොර සමාජයක් ගොඩ නැගීම.
02. ධනවාදය මානුෂික මුහුණුවරක් සහිතව ක‍්‍රියාත්මක කිරීම.මේ අනුව මෙම ආණ්ඩුවේ සටන් පාඨ වූයේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.

මෙහිදී අපට පෙනෙන්නේ පොදු පෙරමුණ ආණ්ඩුව විසින් සමාජය පරිකල්පනීය සමස්ථයක් - Imaginary totality ලෙස සලකන ලද බවයි. නමුත් මෙම සමස්ථය ගොඩ නගන ලද්දේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කරමිනි. නැතිනම් සමස්ථයෙන් එළියේ තබමිනි. ඇත්ත වශයෙන්ම සියළු දෙනාටම තම විවිධාකාර වූ පස මිතුරුතා අමතක කොට එකට එකතු විය හැකි පරිකල්පනීය සමස්ථය ගොඩ නගන ලද්දේ මෙසේ එළියෙන් තබන ලද ශේෂය Residue විසිනි. අප මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් වරාය, ගුවන් සේවය, විදුලි සංදේශ හෝ රක්ෂණය වැනි රජය සතුව පැවිති විශාල ව්‍යවසායන් පෞද්ගලික අයිතියට පැවරීමේ කි‍්‍රයාවලිකයදී ප‍්‍රාග්ධනය නියෝජනය කරන බලවේග සහ ශ‍්‍රමය හෙවත් කම්කරු පංතිය නියෝජනය කරන බලවේග අතර මාරාන්තික ගැටුමක් ඇති වීමට නියමිතය. නමුත්, එක් අතකින් පිස්තෝලයද (එල්ටීටීඊය මර්ධනය කිරිම) අනෙක් අතින් සුදු නෙළුම් මලද (බලය බෙදීමේ යෝජාවලිය) සහිත පොදු පෙරමුණ රජය සහ වෘත්තිය සමිති අතර සම්මුතියක් පවතින බැවින් රජය සතු එම ව්‍යවසායන් නිදහසේ පෞද්ගලීකරණය කිරීමට රජයට හකියාව ලැබේ. නමුත් සමාජය නමැති පරිකල්පනීය සමස්ථයෙන් බැහැර කොට තබන ලද දෙමළ ප‍්‍රජාව නැමැති මෙම ශේෂය විසින් පොදු පෙරමුණු ආණ්ඩුවට පෙරළා පහර එල්ල වීමට ගත වන්නේ වසර හතරක කාලයකි. යාපනයෙන් එල්ටීටිය පළවාහැර එහි පළාත් පාලන ඡන්දය පවත්වා A-9ය පාර දිගේ බස් රථයක් මහනුවරට ධාවනය කොට පනස් වන නිදහස් සමරුව උත්සව ශ‍්‍රීයෙන් සැමරීමට ගන්නා උත්සාහය අවුල් වන්නේ මිනිසුන් පිරවූ බස් රථයට පෙර බෝම්බ පිරවූ ලොරි රථයක් මහනුවරට පැමිණීම නිසාය. මෙම ප‍්‍රහාරයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ සමතුළිතතාවය බිද වැටුණි. චන්ද්‍රිකා රජය මෙය තේරුම් ගන්නේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කොට පරිකල්පනීය සමස්තයක් ලෙස සමාජය ගොඩ නැගීමේ තම ක‍්‍රියාවලියේ අනිවාර්ය ප‍්‍රතිපලයක් ලෙස නොව Accident (අහම්භයක් හෝ අනතුරක් ) ලෙසටය. ඉන් පසු එම ඇක්සිඩන්ට් එකකට හේතු වූ ශේෂය විනාශ කිරීම සදහා රජය සම්පුර්ණයෙන්ම යුද්ධය වෙත යොමුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොදු පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම යුක්ති සහගත කළ සටන් පාඨවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළමුවත්, සමෘද්ධිය දෙවනුවත් සාමය අන්තිමටත් අවසන් වී ගිය අතර ආණ්ඩුව සෑදීමට එක්වූ ‘හොද මිනිසුන්’ බොහෝ දෙනෙක් දුෂ්ඨයන් සහ/හෝ කවටයන් බවට පත්විය. මේ කතාවෙ ඊළග කොටස් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

Back to HOME....

Friday, April 3, 2009

විනෝදය ජිප්සීස්ලාගෙන් ඔබ්බට .........

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නෙ ඇයි ? - 02
සුදර්ශන ගුණවර්ධන

අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.

රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.

01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.
02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.

රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත. උන් වහන්සේ එසේ කියන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට සමාජ විද්‍යාත්මකව, මානව විද්‍යාත්මකව මෙන්ම දේශපාලන විද්‍යාත්මකවද විවිධ හේතු දැක්විය හැකිය. එහෙත්, මෙම ලිපියෙහිදී අපගේ තර්කය වනුයේ ඒ සියළු තාර්කික සහ හේතුවාදී පැහැදිලි කිරීම මේ සිදුවීමේදී අසමත් වන බවය. මේ පිළිබඳ හේතුඵලවාදය මඟින් පැහැදිලි කළ නොහැකි බවය.

සාමාන්‍යයෙන් හේතුඵල සම්බන්ධයෙදී (cause and effect) අප කල්පනා කරන්නේ හේතුව තියා ඵලය හට ගන්නා බවයි. එහෙත් මෙහිදී සිදුවන්නේ හේතුව නිසා ඵලය බිහිවීම නොව ඵලය මඟින් හේතුව බිහිවීමයි. මෙය උදාහරණයකට පැහැදිලි කළොත් මෙසේය. හේතුඵල සම්බන්ධය අනුව සිදුවිය යුත්තේ ඉරාකයේ මහා විනාශකාරී අවි නිෂ්පාදනය වී තිබීමේ හේතුවෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම වුවත්, ඇත්තටම සිදුවුයේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම සාධාරණයකරණය කිරීම පිණිස මහා විනාශකාරී ආයුධ සෙවීම ආරම්භ කිරීමයි.

අපි තවදුරටත් ඉහත පිළිතුර පැහැදිලි කර ගනිමු. රතන හිමියන් විසින් උයන්ගොඩ මහතාගේ පත්වීමට විරුද්ධව ඉදිරිපත් කරන හේතු දෙක සඳහා මහාචාර්ය උයන්ගොඩ පවසමින් ඇති පිළිතුර අපට ජෝන් රෝල්ස්ගේ A theory of justice (සාධාරණත්වය පිළිබඳ න්‍යායක්) යන පොතෙහි අඩංගු තර්කයකින් පැහැදිලි කළ හැකිය.

මෙහිදී කියැවෙන අදහස පහත පරිදිය. යම්කිසි පවුලක ළමයින් දෙදෙනෙකු සිටී. එක් ළමයෙක් මවට තුරුළුව පමවගේ තන පුඩුවෙන් කිරි උරා බොයි. මෙහිදී අනෙක් ළමයා කරන්නේ මෙයට විරෝධය පෑමය. ජෝන් රෝල්ස් ප‍්‍රකාශ කරන අයුරු දෙමාපියන් විසින් මෙම දරුවන් දෙදෙනාටම එනම් කිරිබොන දරුවාව හා නොබොන දරුවාට සාධාරණය ඉෂ්ඨ කරනවා යනු කිරිබොන ආකාරය බලා සිට විරෝධය පාන දරුවාට අයිස් ක‍්‍රීම් එකක් ලබාදීමයි. එවිට ළමයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ඉල්ලීම දෙමාපියන් දෙදෙනාගේ ක‍්‍රියාවෙන් සමනය වෙයි.

නමුත්, මෙහිදී අප මතු කරන ප‍්‍රශ්ණය මෙයයි. (උයන්ගොඩ මහතාට පවා මේ ප‍්‍රශ්නය මතු වන්නට ඇත.) අයිස් ක‍්‍රීම් කෙතරම් රසවත් වුවත් කෙතරම් සීතල වුවත් එය අනුභව කරන තැනැත්තා සිතන්නේ අයිස් ක‍්‍ර‍්‍ර‍්‍රීම් කෑමෙන් මම විඳින විනෝදයට වඩා කිසියම් විනෝදයක් ( Surples enjoyement) කිරිබොන ළමයා ලබනු ඇති බවයි.

මෙතැනදී විනෝදය යනු කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ බොහෝදෙනා මේ වචනය ජිප්සීස් සංගීත කණ්ඩායම කැසට් පට වල එන ‘ජොලිය’ හා ’සොමිය’ සමඟ පටලවා ගන්නා නිසාය.

ජිප්සීස්ලාගෙන් ඉවතට ගමන් කර බැලූවිට අපට පෙනෙන්නේ වනෝදය යනු ‘මම නොලබන නමුත්, වෙනත් කෙනෙකු ලබනවා යයි මම සිතන විනෝදය ගැන මට ඇති ඊර්ෂ්‍යාවයි. ඒ විදින විනෝදය විනාශ කළහොත් මට පරිපුර්ණ විය හැකියයි මම විශ්වාස කරමි.’ මෙය අයිස් ක‍්‍රීම් කෑමට ලැබුනු ළමයාගේ පැත්තෙන් බැලූවිට මාරාන්තික ඉරිසියාවකි.

දැන් මේ ළමයින්ගේ උදාහරණ කියවීමෙන් කියවන පාඨක ඔබගේ රතු කට්ට පැනීමට ආසන්න ඇති බැවින් අපි ළමයින්ගෙන් මිදි දේශපාලනය වෙත අපේ අවධානය යොමු කරමු. අප තර්ක කරන ආකාරයට අතුරලියේ රතන හිමියන් මේ කරන්නේ මෙයයි.

සිංහල බෞද්ධ සමාජයේ පරිපුරිතාභාවය සාක්ෂ්‍ය කර ගැනීමට ඉඩ නොදෙන බාහිර සතුරෙකු සිටී.(උදාහරණයක් වශයෙන් ප‍්‍රභාකරන්, රනිල් වික‍්‍රමසිංහ, උයන්ගොඩ, නිමල්කා ප‍්‍රනාන්දු, කුමාර් රූපසිංහ, රෝසි සේනානායක )

2. මෙන්න මේ බාහිර සතුරා බටහිර චින්තනය සහ බටහිර මුදල් හරහා අප සතු , විනෝදය සොරකම් කරගෙන අප නොවිඳින විනෝදයක් ලබමින් තමා පරිපුර්ණභාවයට පත් කරගනී.
3 මේ බාහිර සතුරා විනාශ කළහොත් අපට කිසිඳු අඩුපාඩුවකින් තෙරව අපේ සමාජය තුළ තිබිය යුතු පරිපුර්ණ විනෝදය ලබන්නට හැකිවන අතර , එවිට ඔහු විසින් සොරකම් කළ අපගේ විනෝදය අපට නැවත ලැබේ.

දැන් අපගේ මාතෘකාව ප‍්‍රමාණවත් පරිදි පැහැදිලි වන්නට ඇතැයි සිතමු. විවිධාකාරයේ ප‍්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි.

Back to Home