Thursday, April 23, 2009

ඉබ්බෙක් අහසින් ගිය ආකාරය කියමි ඔබට මම රාළේ !

සුදර්ශන ගුණවර්ධන

නිධාන කතාව
එකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව මැදින් කටින් අල්ලාගෙන ශබ්ද වසාගෙන සිටීමටය. එවිට කොකුන් ජෝඩුව කෝටුවෙ දෙකෙළවර කටින් ගෙන පියාඹාගොස් වතුර පිරි විළ වෙතට ඉබ්බා ගුවනින් ප‍්‍රවාහණය කිරිමයි. සෑම දෙනාම මවිතයට පත්කළ පෙර නොඇසූ විරූ කදිම සැලසුම සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබියදී මහත් නපුරක් සිදු වූයේය. ඕනෑම දෙයක් විවේචනයක කරන නාහෙට නාහන පශ්චාත්-නූතනවාදීන් පිරිසක් ඉබ්බාගේ ගුවන් ගමන විවේචනයකළ බැවින් ඔවුන්ට පිළිතුරු දෙන්නට ඉබ්බා කට ඇරියේය. එකවරම ඉබ්බා බිමට කඩා වැටුන අතර ඉතුරු වුවා නම් ඉතුරු වුණේ කටු ටික පමණි.

අප කවුරුත් දන්නා ඉහත කියූ ඉබ්බාගේ කතාවේ දෙවැනි කොටස ලිව්වේ හැත්තෑව දශකයේදී සිළුමිණ පත‍්‍රයට උපහාස කතා ලියූ එල්.සී.ජයසිංහ විසිනි. ඒ අනුව අසාර්ථක වූ කොක්කු දෙදෙනා නැවත පැරණි විළ ලගටම පැමිණෙති. එතනදී ඔවුන්ට තවත් ඉබ්බෙක් හමුවේ. මේ ඉබ්බා කලින් සිදුවූ සිදුවීම දෙස නිහඬව බලා සිට ඇත. එම දෙවැනි ඉබ්බාගේද සිහිනය වතුර පිරි විලක් වෙත යෑම බැවින් තමාවද අහසින් ගෙන යන ලෙස ඔහු කොකුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කොකුන් කිව්වේ එක ඉබ්බෙක් අහසින් ගෙන යාමට ගොස් තමන් හොද පාඩමක් ඉගෙන ගත් බැවින් නැවතත් ඒ ගොන් කම නොකරන බවයි. නමුත් දෙවැනි ඉබ්බා වනාහී කිසිදෙයකින් අධෛර්යට පත් කළ නොහැකි ධෛර්යය සම්පන්නයෙකි. ඔහු කීවේ සැලසුම නිවරදි බවයි. අර මෝඩ ඉබ්බා තම විවේචකයන්ට බනින්නට කට අරින්නේ නැතිව සිටියානම් කිසිදු ප‍්‍රශ්ණයක් නොවන බවයි, විවේචකයන්ගේ කටවල් වසා ඔවුන් පූස් පැටවුන් කරන ආකරය තමන් හොද හැටි දන්නා බව පැවසූ දෙවැනි ඉබ්බා කොක්කුන් දෙදෙනා ගුවන් ගමන සදහා නැවතත්ත පොළඹවා ගැනීමට සමත් විය. මෙවර ගමන අති සාර්ථක වූයේ විවේචකයන්ගේ විවේචන හමුවේ පවා කට පියාගෙන කෝටුවේ එල්ලී ගුවනේ යාමට තරම් ඉබ්බා ප‍්‍රඥවන්ත වූ බැවිනි. විකල්ප පුවත්පත් කර්තෘ වරුන්ද ඇතුළු සෑම දෙනාම මවිතයට පත්කළ මෙම සාර්ථකත්වයේ ප‍්‍රතිඵලය වුයේ පළමු ඉබ්බාගේ විවේචකයකන් විසින්ද දෙවැනි ඉබ්බාගේ සිම්පල් ප්ලෑන් එක වර්ණනා කිරීමයි. සියල්ලාන්ගේම ප‍්‍රීති ගෝෂා මැද වතුර පිරි විලට ඔන්න මෙන්න කියා තිබියදී ‘කොහොමද මගේ වැඩ’ කියා කීමට ඉබ්බා කට ඇරියේය. අවාසානවක මහත ! දෙවැනි ඉබ්බාගේ ඉරණමද පළමු ඉබ්බාට දෙවැනි වූයේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දි පොද ජන එක්සත් පෙරමුණ නැමැති අලූත් දේශපාන පෙරමුණ ගොඩ නගාගෙන ලංකාවේ අගමැතිධූරයට ද පසුව ජනාධිපති ධූරයටද පත්වූවාය. මේ පොදු පෙරමුණ වනාහි මීට වසර දෙකකට පෙර පරිකල්පනය කිරීමට පවා නොහැකිව තිබූ එකකි. ඉන්දු-ලංකා ගිවිසුමට සහ පළාත් සභාවලට පක්ෂ හෝ විපක්ෂ වීම මත දේශපේ‍්‍රමීත්වය සහ දේශ ද්‍රෝහීත්වය නිර්ණය වූ නුදුරු අතීතතයක එකිනෙකාට වේඩි තබාගත් බලවේගද, විවෘත ආර්ථිකයට පක්ෂපාත හා ප‍්‍රතිවිරුද්ධ ස්ථාවර ගැනීමේ හේතුවෙන් එකිනෙකාගේ මුහුණ බැලිම පවා ප‍්‍රතික්ෂේප කළ බලවේග ද මෙම නව පෙරමුණ තුළ කරට අත දා ගත්හ. 1994 දී දිවුරුම් දුන් පොදු පෙරමුණ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය අතීතාවලෝකනයකට උපකාර විම පිනිස නැවත සිහියට නගා ගන්න.
- චන්ද්‍රිකා, මංගල, එස්.බී, අනුරුද්ධ රත්වත්තේ...
- සිරිමාවෝ, මහින්ද, දි.මූ.ජයරත්න, ලක්ෂ්මන් ජයකොඩි...
- නිමල් සිරිපාල,දොඩංගොඩ, රිඩඞ් පතිරණ...
- සී.වී ගුණරත්න, කිංස්ලි ටී වික‍්‍රමරත්න, ෆවුසි...
- අෂ්රෝෆ්, ශ‍්‍රීමනී ඇතුලත්මුදලි, බර්නාඞ් සොයිසා, ඉන්දික ගුණවර්දන, රත්නසිරි වික‍්‍රමනායක...
-ලක්ෂමන් කදිරගාමර්, ජී.එල් පීරීස්...

මේ අයට අමතරව සටන්කාමීන් ලෙස රටේ නමක් දිනූ වාසුදේව, ඩලස්, ඩිලාන් පෙරේරා, ජෙයරාජ්, මෛත‍්‍රීපාල සිරිසේන, නාලන්ද එල්ලාවල, නන්දිමිත‍්‍ර ඒකනාකයක වැනි අයද ආණ්ඩුවට ඇතුලත් විය. එකල තිබූ පොදු පිළිගැනීම වූවේ ව්‍යතිරේඛ දෙක තුනක් හැරුන විට පොදුජන එක්සත් පෙරමුණ සමන්විත වූයේ හොඳ මිනිසුන්ගෙන් බවයි. කෙතරම් හොද මිනිසුන්ද කිවහොත් එතෙක් කළක් ඇමැතිවරුන් පාවිච්චිකල මිළ අධික ‘සුඛෝපබෝගී’ වාහන වෙනුවට ලාභ කුඩා වාහන පාවිච්චි කිරීමට පවා එකඟවූ පොදුජනයාගේ මිනිසුන්ගෙනි. චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ ආණ්ඩුවේ පරමාර්ථ දැන් අපට මෙසේ සටහන් කළ හැක.

01. කාටත් සමාදානයෙන් ජීවත් විය හැකි සුසංවාදී, යහපත්, පසමිතුරුතා වලින් තොර සමාජයක් ගොඩ නැගීම.
02. ධනවාදය මානුෂික මුහුණුවරක් සහිතව ක‍්‍රියාත්මක කිරීම.මේ අනුව මෙම ආණ්ඩුවේ සටන් පාඨ වූයේ සාමය, සමෘද්ධිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.

මෙහිදී අපට පෙනෙන්නේ පොදු පෙරමුණ ආණ්ඩුව විසින් සමාජය පරිකල්පනීය සමස්ථයක් - Imaginary totality ලෙස සලකන ලද බවයි. නමුත් මෙම සමස්ථය ගොඩ නගන ලද්දේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කරමිනි. නැතිනම් සමස්ථයෙන් එළියේ තබමිනි. ඇත්ත වශයෙන්ම සියළු දෙනාටම තම විවිධාකාර වූ පස මිතුරුතා අමතක කොට එකට එකතු විය හැකි පරිකල්පනීය සමස්ථය ගොඩ නගන ලද්දේ මෙසේ එළියෙන් තබන ලද ශේෂය Residue විසිනි. අප මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් වරාය, ගුවන් සේවය, විදුලි සංදේශ හෝ රක්ෂණය වැනි රජය සතුව පැවිති විශාල ව්‍යවසායන් පෞද්ගලික අයිතියට පැවරීමේ කි‍්‍රයාවලිකයදී ප‍්‍රාග්ධනය නියෝජනය කරන බලවේග සහ ශ‍්‍රමය හෙවත් කම්කරු පංතිය නියෝජනය කරන බලවේග අතර මාරාන්තික ගැටුමක් ඇති වීමට නියමිතය. නමුත්, එක් අතකින් පිස්තෝලයද (එල්ටීටීඊය මර්ධනය කිරිම) අනෙක් අතින් සුදු නෙළුම් මලද (බලය බෙදීමේ යෝජාවලිය) සහිත පොදු පෙරමුණ රජය සහ වෘත්තිය සමිති අතර සම්මුතියක් පවතින බැවින් රජය සතු එම ව්‍යවසායන් නිදහසේ පෞද්ගලීකරණය කිරීමට රජයට හකියාව ලැබේ. නමුත් සමාජය නමැති පරිකල්පනීය සමස්ථයෙන් බැහැර කොට තබන ලද දෙමළ ප‍්‍රජාව නැමැති මෙම ශේෂය විසින් පොදු පෙරමුණු ආණ්ඩුවට පෙරළා පහර එල්ල වීමට ගත වන්නේ වසර හතරක කාලයකි. යාපනයෙන් එල්ටීටිය පළවාහැර එහි පළාත් පාලන ඡන්දය පවත්වා A-9ය පාර දිගේ බස් රථයක් මහනුවරට ධාවනය කොට පනස් වන නිදහස් සමරුව උත්සව ශ‍්‍රීයෙන් සැමරීමට ගන්නා උත්සාහය අවුල් වන්නේ මිනිසුන් පිරවූ බස් රථයට පෙර බෝම්බ පිරවූ ලොරි රථයක් මහනුවරට පැමිණීම නිසාය. මෙම ප‍්‍රහාරයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ සමතුළිතතාවය බිද වැටුණි. චන්ද්‍රිකා රජය මෙය තේරුම් ගන්නේ දෙමළ ප‍්‍රජාව බහිෂ්කරණය කොට පරිකල්පනීය සමස්තයක් ලෙස සමාජය ගොඩ නැගීමේ තම ක‍්‍රියාවලියේ අනිවාර්ය ප‍්‍රතිපලයක් ලෙස නොව Accident (අහම්භයක් හෝ අනතුරක් ) ලෙසටය. ඉන් පසු එම ඇක්සිඩන්ට් එකකට හේතු වූ ශේෂය විනාශ කිරීම සදහා රජය සම්පුර්ණයෙන්ම යුද්ධය වෙත යොමුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොදු පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම යුක්ති සහගත කළ සටන් පාඨවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළමුවත්, සමෘද්ධිය දෙවනුවත් සාමය අන්තිමටත් අවසන් වී ගිය අතර ආණ්ඩුව සෑදීමට එක්වූ ‘හොද මිනිසුන්’ බොහෝ දෙනෙක් දුෂ්ඨයන් සහ/හෝ කවටයන් බවට පත්විය. මේ කතාවෙ ඊළග කොටස් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

Back to HOME....

Friday, April 3, 2009

විනෝදය ජිප්සීස්ලාගෙන් ඔබ්බට .........

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නෙ ඇයි ? - 02
සුදර්ශන ගුණවර්ධන

අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.

රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.

01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.
02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.

රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත. උන් වහන්සේ එසේ කියන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට සමාජ විද්‍යාත්මකව, මානව විද්‍යාත්මකව මෙන්ම දේශපාලන විද්‍යාත්මකවද විවිධ හේතු දැක්විය හැකිය. එහෙත්, මෙම ලිපියෙහිදී අපගේ තර්කය වනුයේ ඒ සියළු තාර්කික සහ හේතුවාදී පැහැදිලි කිරීම මේ සිදුවීමේදී අසමත් වන බවය. මේ පිළිබඳ හේතුඵලවාදය මඟින් පැහැදිලි කළ නොහැකි බවය.

සාමාන්‍යයෙන් හේතුඵල සම්බන්ධයෙදී (cause and effect) අප කල්පනා කරන්නේ හේතුව තියා ඵලය හට ගන්නා බවයි. එහෙත් මෙහිදී සිදුවන්නේ හේතුව නිසා ඵලය බිහිවීම නොව ඵලය මඟින් හේතුව බිහිවීමයි. මෙය උදාහරණයකට පැහැදිලි කළොත් මෙසේය. හේතුඵල සම්බන්ධය අනුව සිදුවිය යුත්තේ ඉරාකයේ මහා විනාශකාරී අවි නිෂ්පාදනය වී තිබීමේ හේතුවෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම වුවත්, ඇත්තටම සිදුවුයේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම සාධාරණයකරණය කිරීම පිණිස මහා විනාශකාරී ආයුධ සෙවීම ආරම්භ කිරීමයි.

අපි තවදුරටත් ඉහත පිළිතුර පැහැදිලි කර ගනිමු. රතන හිමියන් විසින් උයන්ගොඩ මහතාගේ පත්වීමට විරුද්ධව ඉදිරිපත් කරන හේතු දෙක සඳහා මහාචාර්ය උයන්ගොඩ පවසමින් ඇති පිළිතුර අපට ජෝන් රෝල්ස්ගේ A theory of justice (සාධාරණත්වය පිළිබඳ න්‍යායක්) යන පොතෙහි අඩංගු තර්කයකින් පැහැදිලි කළ හැකිය.

මෙහිදී කියැවෙන අදහස පහත පරිදිය. යම්කිසි පවුලක ළමයින් දෙදෙනෙකු සිටී. එක් ළමයෙක් මවට තුරුළුව පමවගේ තන පුඩුවෙන් කිරි උරා බොයි. මෙහිදී අනෙක් ළමයා කරන්නේ මෙයට විරෝධය පෑමය. ජෝන් රෝල්ස් ප‍්‍රකාශ කරන අයුරු දෙමාපියන් විසින් මෙම දරුවන් දෙදෙනාටම එනම් කිරිබොන දරුවාව හා නොබොන දරුවාට සාධාරණය ඉෂ්ඨ කරනවා යනු කිරිබොන ආකාරය බලා සිට විරෝධය පාන දරුවාට අයිස් ක‍්‍රීම් එකක් ලබාදීමයි. එවිට ළමයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ඉල්ලීම දෙමාපියන් දෙදෙනාගේ ක‍්‍රියාවෙන් සමනය වෙයි.

නමුත්, මෙහිදී අප මතු කරන ප‍්‍රශ්ණය මෙයයි. (උයන්ගොඩ මහතාට පවා මේ ප‍්‍රශ්නය මතු වන්නට ඇත.) අයිස් ක‍්‍රීම් කෙතරම් රසවත් වුවත් කෙතරම් සීතල වුවත් එය අනුභව කරන තැනැත්තා සිතන්නේ අයිස් ක‍්‍ර‍්‍ර‍්‍රීම් කෑමෙන් මම විඳින විනෝදයට වඩා කිසියම් විනෝදයක් ( Surples enjoyement) කිරිබොන ළමයා ලබනු ඇති බවයි.

මෙතැනදී විනෝදය යනු කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ බොහෝදෙනා මේ වචනය ජිප්සීස් සංගීත කණ්ඩායම කැසට් පට වල එන ‘ජොලිය’ හා ’සොමිය’ සමඟ පටලවා ගන්නා නිසාය.

ජිප්සීස්ලාගෙන් ඉවතට ගමන් කර බැලූවිට අපට පෙනෙන්නේ වනෝදය යනු ‘මම නොලබන නමුත්, වෙනත් කෙනෙකු ලබනවා යයි මම සිතන විනෝදය ගැන මට ඇති ඊර්ෂ්‍යාවයි. ඒ විදින විනෝදය විනාශ කළහොත් මට පරිපුර්ණ විය හැකියයි මම විශ්වාස කරමි.’ මෙය අයිස් ක‍්‍රීම් කෑමට ලැබුනු ළමයාගේ පැත්තෙන් බැලූවිට මාරාන්තික ඉරිසියාවකි.

දැන් මේ ළමයින්ගේ උදාහරණ කියවීමෙන් කියවන පාඨක ඔබගේ රතු කට්ට පැනීමට ආසන්න ඇති බැවින් අපි ළමයින්ගෙන් මිදි දේශපාලනය වෙත අපේ අවධානය යොමු කරමු. අප තර්ක කරන ආකාරයට අතුරලියේ රතන හිමියන් මේ කරන්නේ මෙයයි.

සිංහල බෞද්ධ සමාජයේ පරිපුරිතාභාවය සාක්ෂ්‍ය කර ගැනීමට ඉඩ නොදෙන බාහිර සතුරෙකු සිටී.(උදාහරණයක් වශයෙන් ප‍්‍රභාකරන්, රනිල් වික‍්‍රමසිංහ, උයන්ගොඩ, නිමල්කා ප‍්‍රනාන්දු, කුමාර් රූපසිංහ, රෝසි සේනානායක )

2. මෙන්න මේ බාහිර සතුරා බටහිර චින්තනය සහ බටහිර මුදල් හරහා අප සතු , විනෝදය සොරකම් කරගෙන අප නොවිඳින විනෝදයක් ලබමින් තමා පරිපුර්ණභාවයට පත් කරගනී.
3 මේ බාහිර සතුරා විනාශ කළහොත් අපට කිසිඳු අඩුපාඩුවකින් තෙරව අපේ සමාජය තුළ තිබිය යුතු පරිපුර්ණ විනෝදය ලබන්නට හැකිවන අතර , එවිට ඔහු විසින් සොරකම් කළ අපගේ විනෝදය අපට නැවත ලැබේ.

දැන් අපගේ මාතෘකාව ප‍්‍රමාණවත් පරිදි පැහැදිලි වන්නට ඇතැයි සිතමු. විවිධාකාරයේ ප‍්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි.

Back to Home

Thursday, March 26, 2009

මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නේ ඇයි ?

සුදර්ශන ගුණවර්ධන

බාලගිරි දෝෂයට අසුවී තිබෙන ව්‍යවස්ථාදායක සභාවට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නම පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ විසින් යෝජනා කර ඇත. මෙය ඇසීමෙන් දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙකු සේ කුපිත වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් එම නාම යෝජනාවට විරුද්ධව පෙත්සමක් ගසා ඇත. පෙත්සමේ දැක්වෙන්නේ උයන්ගොඩ මහතා අවුරුදු දොළහක කාලයකට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බැවින් ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් ස්ථානයකට පත් කිරීමට නුසුදුසු බවයි.

මහාචාර්ය උයන්ගොඩ සිර දඬුවම් ලැබුවේ, හොර පොල් කැඞීම වැනි අපරාධයක් නිසා නොව, 1971 දී මහා රාජිනීන් වහන්සේගේ ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කැරළි ගැසීම හේතුවෙනි. ඔහු ඇතුළු සෙසු කැරළිකරුවන්ට විරුද්ධව නඩු අසා සිරදඬුවම් නියම කරන ලද්දේ එවකට පැවති සාමාන්‍ය නීතිය යටතේ නොව කැරැල්ලෙන් පසුව අතීතයට බල පැවැත්වෙන සේ සම්මත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නැමැති අවනීතිය යටතේය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් එකී කොමිසම් සභා පනත කටුගා දැමීමෙන් පසු මහාචාර්ය උයන්ගොඩ නිදහස ලැබීය.
මේ පිළිබඳ උයන්ගොඩ මහතාමත්, වික්ටර් අයිවන් මහතාත් ලියන ලද ලිපි පසුගිය රාවය පුවත්පතේ පළවිය. මෙහිදී මා උත්සාහ කරන්නේ රතන හිමියන් විසින් මහාචාර්ය උයන්ගොඩට විරුද්ධව පෙත්සමක් ගහන්නේ ඇයිදැයි ක‍්‍රමානුකූලව විමසීමටය.

කිසියම් සමාජ පදනමක් සහ එම සමාජ පදනම නියෝජනය කරන්නේ යැයි ප‍්‍රකාශ කරන දේශපාලන නායකත්වය අතර ඇති සම්බන්ධයේ අනුපාතය 1:1 ක් යැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එනම් අදාළ දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවන් එය විසින් නියෝජනය කරනු ලබන සමාජ පදනමේ අවශ්‍යතාවන් හා සමරූපී විය යුතුය. අපේ අදහස මෙය වැරදිය යන්නයි. මෙම විශ්වාසය සමාජය තුළ සාම්ප‍්‍රදායිකව මුල් බැස තිබෙන අන්ධභාවයකි; නැතිනම් මිත්‍යා විශ්වාසයකි.

උදාහරණයක් ලෙස පනස් හයේ සමාජ පෙරළිය සලකමු. එම පෙරළියට දායක වූ සමාජ බලවේගය ලෙස හඳුනා ගන්නේ සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයයි. මෙම සියලූ කොටස් සංකේතාත්මකව එකට එකතු කර බලවේගයක් සේ ගොනු කර නායකත්වය සැපයුවේ එස් .ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායකය. ඉහත තර්ක ක‍්‍රමය අනුව ගත් කළ පංච මහා බලවේගයේ අවශ්‍යතා සහ එහි නායකත්වය දැරූ බණ්ඩාරනායකගේ අවශ්‍යතා සමාන විය යුතුය. නමුත් ජයග‍්‍රහණයෙන් වසර තුනක් ගතවන විට බලවේගයේ නායක බණ්ඩාරනායක ඝාතනයට ලක් වේ. ඔහු ඝාතනය කරනු ලබන්නේ බෞද්ධ භික්ෂුවක් වන තල්දූවේ සෝමාරාම හිමිවන අතර ඝාතනය සැලසුම් කරන්නේ පංච මහා බලවේගයේ බල කණුවක් වූ කැළණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් විසිනි. ඉහත සංයුක්ත උදාහරණයෙන් පැහැදිලි වන්නේ පාලකයාගේ අවශ්‍යතාවය සහ ඔහු විසින් නියෝජනය කරන ලද බලවේගයේ අවශ්‍යතාවය අතර පරතරයක් (Gap) පවතින බවයි. එසේ නැත්නම් එකී බලවේගයට එම නියෝජිතයා/පාලකයා ඝාතනය කිරීමට අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත.

දැන් අතීතයේ අප පසුකරගෙන ආ උදාහරණයෙන් වර්තමාන කාලයේ පවතින ජාතික හෙළ උරුමය වෙත යොමු වෙමු. බොහෝ දෙනා කල්පනා කරන්නේ ජාතික හෙළ උරුමය විසින් නියෝජනය කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගය බවයි. එබැවින් ඉහත සමීකරණයට අනුව ජාතික හෙළ උරුමයේ අවශ්‍යතා සහ එය විසින් නියෝජනය කරනු ලබන සිංහල - බෞද්ධ බලවේගයේ අවශ්‍යතා සමරූපී වෙයි. එහෙත් මෙය දෘශ්‍යමාන යථාර්ථයයි; ඇහැට පෙනෙන ඇත්තයි.

නමුත් මීට ශතවර්ෂ දෙකකට එපිට ජීවත් වූ කාල් මාක්ස් ප‍්‍රශ්න කළේ දෘශ්‍යමානය යථාර්ථයක් නම් අපිට සමාජ න්‍යායක් කුමකටද කියායි. දෘශ්‍යමානය සහ යථාර්ථය යනු එකක් නොව දෙකක් නිසා අපිට සමාජ න්‍යාය අවශ්‍ය වේ.

මාරියෝ ෆූසෝගේ ‘‘ගෝඞ් ෆාදර්’’ නවකතාව තුළ කියැවෙන්නේ ඉතාලියේ සිසිලි දුපතේ සිට මරණින් බේරීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැන ආ පුද්ගලයෙකු පාතාල ලෝකයට ඇතුළු වී සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ආකාරයයි. සාර්ථක ව්‍යාපාරිකයා වන දොන් විටෝ කොරලියෝනි පසුපස ඇත්තේ ලේ වැකුණු අතීතයකි. එම ලේ සලකුණු මකා දමා කළු සල්ලි සඳහා සුජාතභාවයක් ලබා ගැනීම ඔහුගේ ඊළඟ අවශ්‍යතාවයයි. ඒ සඳහා ඔහු දේශපාලකයන් සහ විනිශ්චයකරුවන් තම සාක්කුවට දමා ගන්නා අතර ඔහුගේ ඊළඟ ඉලක්කය වන්නේ තම පුත‍්‍රයෙකු සෙනෙට් සභිකයෙකු හෝ ආණ්ඩුකාරවරයෙකු බවට පත් කිරීමයි.

පසුගිය අවුරුදු තිහ පුරා ඇති වූ ආර්ථික ක‍්‍රියාවලිය තුළ විවිධාකාර පාතාල සහ මාෆියා ක‍්‍රියාකාරීත්වයන් හරහා මුදල් උපයා ගත් සමාජ පංතියක් ලංකාවේ බිහිවිය. එනමුත් මේ සමාජ පංතියට අයත් පුද්ගලයන්ට ලංකාවේ අධිපති සිවිල් සමාජ ස්ථරය තුළ සුජාතභාවයක් නැත. ජාතික හෙළ උරුමය වැනි පක්ෂයක් ඇත්ත වශයෙන්ම නියෝජනය කරන්නේ දෘශ්‍යමානය තුළ පෙනෙන ආකාරයට සිංහල බෞද්ධ බලවේගයක් නොව ඉහත කී පතාල සමාජ ස්ථරයයි. ජාතික හෙළ උරුමය කරමින් සිටින්නේ එකී පාතාල සමාජ ස්ථරයට සමාජය තුළ සුජාතභාවයක් ලබාදීමට කටයුතු කිරීමයි. (මෙම තත්ත්වය වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණටද අදාළය) මෙම කටයුත්ත ඔවුන් විසින් සවිඥනිකව සිදු කරනවා නොවන්නට පුළුවන. නමුත් මෙම සිදුවීම අපට සමාජ අවිඥනය ලෙස නම් කළ හැක.
මේ අය විසින් නියෝජනය කරන සමාජ බලවේගයේ භෞතික බලකණු ඔබට අද කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල තාප්ප සහ බිත්ති දෙස බැලීමෙන් පහසුවෙන් හඳුනාගත හැකිවනු ඇත. රේස් බුකි ව්‍යාපාර ප‍්‍රාග්ධනය තුළින් බිහි වූ තිලංගත්, තවත් එවැනිම වූ හඳුනා නොගත් ප‍්‍රාග්ධනයකින් මෙහෙයවෙන දුමින්දත් එකම පක්ෂයක ඡන්ද ලකුණක් යටතේ එකිනෙකාට අභිමුඛ වී ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවතුණා නම් මේ දෙදෙනා අතර තරඟයේදී මාරුවන්නේ බුලත් කොළය වෙනුවට අලියා පමණක් බව තේරුම් ගැනීමට මීට මාස කිහිපයකට පෙර මේ දෙදෙනාම සිටින්නේ කොයි පැත්තේදැයි කියා මතක තබා ගෙත සිටීම අවශ්‍ය වන්නේ නැත.

දැන් මා ඉහත ප‍්‍රකාශය තවදුරටත් පැහැදිලි කළ යුතුය. එමෙන්ම අපේ ලිපියේ මාතෘකාව වන පීඩිත කුලයකින්, පීඩිත සමාජ පසුබිමකින් පැමිණෙන අතුරලියේ රතන හිමියන් තමන් වැනිම පීඩිත කුලයකින් හා පීඩිත සමාජ පසුබිමකින් පැමිණි මහාචාර්ය උයන්ගොඩට මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයිද යන්නත් විග‍්‍රහ කළ යුතුය. මේ කතාවේ ඉතිරි කොටස අපි ලබන සතියේ සමබිම තුළින් කියවමු.

Back to HOME ..

Thursday, March 19, 2009

සපත්තු පාර මෙහෙම ගහමුද ? සුදර්ශන ගුණවර්ධන

‘‘පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’’ ලිපිය ගැන අදහසක්

’පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තුවකින් ගැසීම’ යන මාතෘකාවෙන් රෝහිත භාෂණ අබේවර්ධන ලියු ලිපියක් මාර්තු 15 දා ‘රාවය’ පුවත් පතේ පළවිය.

ශ‍්‍රී ලංකාව නැමැති ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ මර්දන යාන්ත‍්‍රයෙන් මැරුම් කන්නේ නැතිව පණ බේරා ගැනීමට හැකිවු තමාගේ පරම්පරාවේ අනෙකුත් කැරළිකරුවන් පමණක් නොව ඊට පෙර පරම්පරාවේ කැරළිකරුවන් ද මතවාදී වශයෙන් අදවන විට පත්ව තිබෙන ජරා ජීර්ණ තත්ත්වය දෙස බලන විට, ප‍්‍රතිපත්තිගරුක, සමා විරහිත දේශපාලන ස්ථාවරයක අඛණ්ඩව පැවතීම පිළිබඳව භාෂණට මම නොපැකිළ ආචාර කරමි.

සපත්තු ප‍්‍රහාරය පිළිබඳ ලිපියට නිමිත්ත වන්නේ ‘වර්ග සංහාරයක්’ පිළිබඳව භාෂණ විසින් ‘රාවය’ පුවත්පතේ ‘සමකය’ ට ලියු ලිපියකි. එම කතාවෙහි ‘ කිසිදු සත්‍යයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව ’ සුමනසිරි ලියනගේ පෙරළා ‘රාවය’ ටම ලියයි. පශ්චාත් යුධ ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කරමින් භාෂණ තම ලිපිය ලියන්නේ එයට පිළිතුරු වශයෙනි.

‘සපත්තුවෙන් ගැසීම’ යන යෙදුම ඉදිරියට එන්නේ ඉරාකය සහ ඉරාක ජනතාව සදාම් හුසේන් නමැති
‘ඒකාධිපතියාගෙන්’ බේරා ගැනීමට මානුෂික මෙහෙයුමක් දියත් කළ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් තම ධුර කාලයේ අවසානයේදී ඉරාකයේ කළ සංචාරයෙන් පසුව පවත් වන ලද මාධ්‍ය හමුවේදිය. මෙම මාධ්‍ය හමුවට සහභාගී වු අනෙකුත් මාධ්‍යවේදීන් ජනාධිපති බුෂ් සහ ඔහුගේ ඔහුගේ ප‍්‍රතිපත්ති විවේචනය කරමින් ඕනෑතරම් ප‍්‍රශ්න ඇසුවාට සැකයක් නැත. එහිදී ජනාධිපති බුෂ් ඒවාට පිළිතුරු දෙමින් මෙසේ කියන්නට ඇත. ‘‘ ඒක ඔබතුමාගේ මතය; මේක මගේ මතය. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. මේ වගේ ප‍්‍රශ්න අහන්න පුළුවන් වුණ එකෙන්ම පේනවා නේද දැන් ඉරාකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා. ’’ එහෙත් ඉරාකයේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවේදියෙකු වු මුත්තදාර් අල් සයිදි බුෂ් සමඟ සංවාදයට නොගොස්, මාධ්‍ය හමුවෙන් පසුව පැවැත්වෙන කොක්ටේල් සාදයේදී බුෂ්ගේ කරට අත දා ගැනීමේ බලාපොරොත්තුවකින් තොරව, තමන්ගේ සපත්තු දෙක ගලවා ජනාධිපති බුෂ් වෙත දමා ගැසුවේය. එහි ප‍්‍රතිඵල වශයෙන් ඔහුට ඉල ඇට දෙකක් කැඩෙන සේ ගුටි බැටද වසර තුනක සිරදඬුවමක්ද හිමිවිය.

භාෂණ තම සපත්තු ප‍්‍රහාර එල්ල කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයටය. එනම් එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ ප‍්‍රතිසංස්කරණ පෙරට ගෙන ඒමට ඇඟිලි ගනිමින් සිටින සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද මණ්ඩපයටය. තනි සිංහල රජයේ හමුදාවකට සහ තනිකර දෙමළ කැරළිකාර හමුදාවක් අතර සිදුකෙරෙන මහා යුද්ධයකට මැදිව සිටින සියයට සියයක්ම දෙමළ ජාතිකයන්ගෙන් සමන්විත සිවිල් වැසියන් මුහුණදෙමින් සිටින තත්ත්වය පිළිබඳව මෙම මණ්ඩපයේ සිටින සුමනසිරි ලියනගේ, වාසුදේව නානායාක්කාර, ඇතුළු පිරිස් වෙත අගනා පැහැදිලි කිරීමක් භාෂණ සිදු කරයි. ඒ සඳහා ආනන්ද සංගරී වැනි රජයට හිතවත් දෙමළ නායකයකුගේ ප‍්‍රකාශවල සිට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල වාර්තා දක්වා උපයෝගී කරගනී. එම විග‍්‍රහය කියවා තමන් දැනට සිටින වැරදි අස්ථානයෙන් ගැලවී නිවැරදි අස්ථානයකට සුමනසිරි, වාසුදේව ඇතුළු සාද ශාලාවේ විනෝදයෙන් කල්ගත කරන මහත්වරුන් හෝ අඩුම වශයෙන් ඔවුන්ගේ අදහස් කියවන පාඨකයන් හෝ පැමිණෙනු ඇතැයි භාෂණ කල්පනා කරන්නට ඇත. නැත්නම් ඔහු ඔවුන්ට පිළිතුරු ලියන්නේ නැත.

මෙම ක‍්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ප‍්‍රකට චින්තකයකු වන නෝම් චොම්ස්කි විසින්ද අනුදැන වදාළ ක‍්‍රමයකි. යුද්ධයට විරුද්ධව ඔහු විසින් ලියන ලද ලේඛන අඩි ගණන් උසට ගොඩ ගැසී ඇත. එම ලේඛන, පොත පත ලෝකය පුරා සංසරණය වෙයි.

මා තර්ක කරන්නේ මෙවැනි චොම්ස්කියානු පිළිතුරු කෙතරම් සාරගර්භ වුවත්, එයින් සුමනසිරි සහ ඔහු වැනි අයගේ සාදයට හානියක් නොවන බවයි. මෙතන ඇත්තේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හෝ මොසිල්ලා ෆයර් ෆොක්ස් සෙවුම් යන්ත‍්‍ර යොදාගෙන භාෂණ ඉදිරිපත් කළ තොරතුරු සියල්ල සොයා ගැනීමට සුමනසිරිට නොහැකිවීමට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම ඔහු දැනටමත් මේ තොරතුරු දනී. නමුත් , තමා විශ්වාස කිරීමට කැමැති තොරතුරු පමණක් යොදාගෙන තම විශ්ලේෂණයට එළඹෙයි. එය තවදුරටත් නොදැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඔහු භාෂණට කියනු ඇත්තේ මෙසේය. ‘‘ඒ එයා ඉන්න මතය, මේ මම ඉන්න මතය. එයාගේ දෘෂ්ටිවාදය නිසා එයාට සත්‍ය පෙනෙන්නේ නැහැ. මම උපයෝගීතාවාදියෙක් විදියට සත්‍යය දකිනවා. ඒ වුණත් භාෂණට තමාගේ මතය දරන්න අයිතිවක් තියෙනවා. එයාට ඒ මතය ඉදිරිපත් කරන්න පුළුවන් වීමෙන්ම පේනවා ලංකාවේ (සහ රාවය පත්තරේ) තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන බව.’’

මේ ආකාරයට අදහස් දෙකක් හෝ ගණනාවක් පවතිනවා යැයි ප‍්‍රකාශ කිරීමෙන් මා අදහස් කරන්නේ ඒ සියල්ල නිවැරදි බව නොවේ. මේ මොහොතේ ලංකාවේ තීරණාත්මක යුද්ධයක් පවතින අතර, කවුරුන් නිවැරදි ද යන්න තීරණය වන්නේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලන්ගේ සාර්ථක අසාර්ථකභාවය මතය. යුද්ධයට සහභාගී නොවන සිවිල් වැසියන් වන අපට එතෙක් කළ හැක්කේ තත්ත්වය සම්බන්ධව අපගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණකි.

මා විශ්වාස කරන අන්දමට ඉහත ප‍්‍රශ්නයේදී භාෂණ ඉදිරිපත් කරන ස්ථාවරය නිවැරදිය. මගේ තර්කය වන්නේ එම ස්ථාවරය සනාථ කිරීම සඳහා ‘දැනුම’ ලබාදීම තවදුරටත් ප‍්‍රමාණවත් නොවන බවයි.

එබැවින් මා යෝජනා කරන්නේ පශ්චාත් යුද ගැටුම් සාදයට සපත්තු ප‍්‍රහාරයක් එල්ල කළ හැක්කේ සුමනසිරි, වාසුදේව ඇතුළු සමාගම ඉහත කී පශ්චාත් යුද ගැටුම් ස්ථාවරයට පැමිණ එය දේශනා කිරීම පසුබිමේ ඇති භෞතික යථාර්ථය ප‍්‍රශ්න කිරීම මඟිනි.

එවිට, සුමනසිරි පර්යන්තයේ (නුවර) සිට දුරු කතර ගෙවා ගෙන කේන්ද්‍රය (කොළඹ) ට පැමිණ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් රඟපාන භූමිකාවක්, පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වශයෙන් රඟපාන භූමිකාවත් අතර ඔහු විසින් සාර්ථකව නඩත්තු කරන පරතරය ( Gap) නිරාවරණය වනු ඇත. පේරාදෙනියේ තම භූමිකාව නිසා ඔහු ලබන විනෝදය කොළඹ සිටින තාර්කික සිතන්නන්ට නොපෙනෙන නිසාත්, පේරාදෙනියේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොළඹ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙහි භූමිකා රඟපෑම සිදු නොකරන නිසාත් කිසිවිටෙක ෂෝට් සර්කිට් නොවන පද්ධතිය වියවුල් වනු ඇත. එවිට නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සපත්තු පහරකි. ප‍්‍රතිඵල වශයෙන් ඉල ඇට වලට වඩා දේවල් අහිමිවීමද, සිරදඬුවම්වලට වඩා වැඩි දේවල් හිමිවීමද සහතිකය.

ලංකාවේ සමාජය වෙනස් කිරීම පිළිබඳ අර්ථයෙන් ගත්කළ ‘දැනුමෙන්’ පුද්ගලයන් විවේචනය කිරීම තවදුරටත් ප‍්‍රතිඵලදායක නොවේ. ඒ සඳහා අදාල පුද්ගලයන් ‘විනෝදය’ ලබන තැන විවේචනය කිරීම නැමැති ස්ථාවරයට මාරුවිය යුතුය.

ලංකාවේ අර්ථයෙන් ‘ගින්දර’ සොයා ගැනීම යනු එය යැයි මගේ විශ්වාසයයි.

Back to HOME

Thursday, March 12, 2009

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදියා : ක‍්‍රියාපදයෙන් නාම පදයට

අපි දන්නා හඳුනන පුද්ගලයෙක් මීට කලකට පෙර ‘බුෆේ ’ කියන වචනයට අර්ථ නිරූපණයක් , නිර්වචනයක් දුන්නා.; ‘කැමති තරමක් බෙදා‍ගෙන කන්න’. ඇත්ත තමයි ‘බුෆේ ’ කියන ප‍්‍රංශ වචනය ලංකාවට ආවාම දුම්රිය භෝජනාගාරය හෙවත් බුෆේ එක බෆට් එක වුනා. ඊට පස්සේ ආපන ශාලා වලයි, මඟුල් ගෙවල් වලයි ‘බුෆේ ’ එන්න පටන් ගත්තා. නමුත් මේ වචනය සිංහල භාෂාවෙන් හරියටම තේරුම් කරන්න පුළුවන් වුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලාංකිකයෙකු වන අපේ කතානායකයාට පමණයි.

මේ වගේම අපේ භාෂාවට ආපු වචනයක් තමයි ‘ටෙරරිසම්’ කියන වචනය. මේකෙත් සම්භවය ලතින් භාෂාවේන් , ඉන් පසු ඉංග‍්‍රීසියෙන් අප කරා ආවාම අපි කිව්වා ත‍්‍රස්තවාදය කියලා. (Terror - ත‍්‍රස්තය , ism - වාදය Terrorism - ත‍්‍රස්තවාදය) ‘බුෆේ ’ වගේම තමයි ; ත‍්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නත් හරිම අමාරුයි. ත‍්‍රස්තවාදය අර්ථනිරූපණය කරන වාස්තවික ඩෙෆිනීෂන් එකක් හෙවත් නිර්වචනයක් නැහැ. දැන් එතකොට මේ ලිපිය කියවන අය මෙහෙම කියාවි. ‘‘ඇයි මෝඩ අනුකාරක ඇංකරයෝ, පොඩ්ඩක් වටපිට බලනවකෝ, අපේ රටට විතරක් නෙමෙයි, දුකට සැපට අපිට පිහිටවෙන පකිස්ථානයටත් ත‍්‍රස්තවාදය නිසා වෙච්ච විනාශය දිහා . ඉතින් තව මොකටද අර්ථ නිරූපණ ? ත‍්‍රස්තවාදය කියන්නේ ත‍්‍රස්තවාදය’’

නමුත් , කලබල නොවී බැලූවොත් ඔබට පෙනේවි ත‍්‍රස්තවාදය පිළිබඳ විෂයේ ප‍්‍රධාන කාරණය තමයි එයට අර්ථ නිරූපණයක් නැතිකම. ඒ නිසා ත‍්‍රස්තවාදය ගැන හරියට කතා කරන්න ගියොත් අපට වැඩිපුර කියන්න වෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයි, අහිංසක මිනිස්සු ප‍්‍රාණ ඇපයට ගැනීමයි පිළිබඳව නෙවෙයි භාෂාව සහ ලේබල් ඇලවීමේ බලය ගැනයි.

අපි ලේසි පැහැදිලි නිර්වචනයක් ගනිමු. ; උදාහරණයක් විදිහට, දේශපාලන පණිවිඩයක් සන්නිවේදනය කිරීම සඳහා හිතාමතාම හෝ සැලකිල්ලකින් තොරව සිවිල් ජනතාව මරා දැමීම හෝ තුවාල කිරීම නැත්නම් ඔවුන්ගේ දේපලවලට බරපතල හානියක් කිරීම ත‍්‍රස්තවාදී ප‍්‍රචණ්ඩත්වය ලෙස කෙනෙක් දකිනවා. දැන් ඒ විදියට බැලූවම ත‍්‍රස්තවාදය කියන්නේ ප‍්‍රචණ්ඩත්වය යොදන ක‍්‍රමවේදයක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට යොදා ගන්න පුළුවන් ක‍්‍රමයක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දේශපාලන පරමාර්ථය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රචණ්ඩත්වය යොදාගැනීම තෝරා ගන්න ඕනෑම කෙනෙකුට යොදා ගන්න පුළුවන් ක‍්‍රමයක්.. සීමිත මිලිටරි හෝ දේශපාලන විකල්ප කිහිපයක් පමණක් ඇති දුර්වල කණ්ඩායමක් විසින් යොදාගන්නා ක‍්‍රමයක්. උදාහරණයක් වශයෙන් අල් කයිඩා හරි ETA හරි ගන්න පුළුවන්.

නමුත්, මේ ක‍්‍රමයම වෙනත් ශක්තිමත් සංවිධානයක් විසින් වුණත් ප‍්‍රචණ්ඩත්වය යොදන ක‍්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට, අවශ්‍ය නම් වෙනත් මිලිටරි ක‍්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති ගරිල්ලා කණ්ඩායමක් , මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. සිවිල් යුධ තත්ත්වයකදී කැරළිකාර කණ්ඩායමක් වෙනත් විකල්ප ක‍්‍රියාමාර්ග තිබියදී පවා මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අසාර්ථක රාජ්‍යයක සිටින බලයට කෑදර කල්ලි කණ්ඩායම් සියල්ලම වෙනත් මිලේච්ඡ උපක‍්‍රම රාශියක් අතරේ මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට සෝමාලියාව සිහියට ගන්න.

ඒ වගේම මෙවැනි දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් රාජ්‍යයට අයත් හමුදා විසින් ද යොදා ගන්න පුළුවන්. 1985 දී ප‍්‍රංශය විසින් ග‍්‍රීන් පීස් සංවිධානයට අයත් රේන්බෝ වොරියර් නෞකාව ගිල්ලවීම, 1986 දී ඇමෙරිකාව විසින් ලිබියාවේ ටි‍්‍රපොලි නගරයට බෝම්බ දැමීම රාජ්‍යයක් විසින් එකලාව මෙම ක‍්‍රමය පාවිච්චි කළ අවස්ථාවලට උදාහරණයන් වෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය ආසන්න වෙන්න කිට්ටුව මිත‍්‍ර හමුදා විසින් ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන් නගරයට බෝම්බ දැමීම,1945 දී ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීම ආදිය සන්නද්ධ ගැටුමක පසුබිම තුළ වෙනත් ප‍්‍රචණ්ඩත්වයන් ද යොදා ගන්නා අතරතුර සිදුකළ ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමක් ලෙස දක්වන්න පුළුවනි.

ඒ අනූව ‘ත‍්‍රස්තවාදය’ යන්න එක විදියක දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් වශයෙන් අර්ථ දැක්වු විට, එය ඒ නිසාම අත්‍යාවශයෙන්ම ‘වැරදි’ දෙයක් වෙන්නේ නැහැ. කිසියම් ක‍්‍රියාවකට ‘ගුවනින් බෝම්බ හෙළීමක් ’ හෝ ’ආක‍්‍රමණයක්’ හෝ ’වටලෑමක්’ කියා කියු පමණින් එම ක‍්‍රියාව හෙළා දැකීමක් වෙන්නේ නැතිවා වගේ තමයි. මෙහෙම බලනකොට පේන්නේ අර ක‍්‍රියාව හෝ මේ ක‍්‍රියාව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස නම් කිරීම. එම ක‍්‍රියාවේ සුජාතභාවය පිළිබඳ සාකච්ඡාවට පසුබිම සකස් කිරීමක් බවයි.

හරි, හරි මම පිළි ගත්තා; ත‍්‍රස්තවාදය කියන යෙදුම අපි අද පාවිච්චි කරන්නේ ඒ කියපු විදිහට ඒ කියන්නේ තවත් ‘දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් ’ කියලා නෙවෙයි. පළමුවෙන්ම අපි ත‍්‍රස්තවාදය ‘ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නා ක‍්‍රමවේදයක්’ විදිහට නෙවෙයි එක විදියක පුද්ගලයන් කණ්ඩායමක් ලෙසට, එක්තරා විදියක උපක‍්‍රමයක් විදියට නෙවෙයි. එක විදියක සටන්කාමිකයෙක් ලෙසට. යම් පුද්ගලයෙක් කරන ක‍්‍රියාවක් විදිහට නෙවෙයි. යම් විදිහක පුද්ගලයෙක් ලෙසට දකින්න පුරුදු වෙලා තියෙනවා.

ඒ නිසා දැන් තියෙනවා ත‍්‍රස්ත සංවිධාන, ත‍්‍රස්ත කණ්ඩායම් , ත‍්‍රස්ත නායකයෝ. ඕං ඔය විදියට. මේ ලේබල් ඇලවිල්ල සඳහා කිසියම් කෙනෙක් කිසියම් නිශ්චිත ක‍්‍රියාවන් කළ බවට සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ කතිකාවේ සංගතභාවය ආරක්ෂා කර ගන්න. කිසියම් කණ්ඩායමක් ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් නම් කරලා ලැයිස්තුගත කළාට පස්සේ ඔවුන් ඉතින් ඕනෑම කාරණාවකදී ‘ත‍්‍රස්තවාදීන්’ තමයි. ලේබලය ගහන්න ඔවුන් කිසියම් නිශ්චිත ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුකිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවනුව, ඉහතින් මම ත‍්‍රස්තවාදය යන වචනයට දුන් මුලික තේරුමට වඩා ඉතාම පුළුල් නිර්වචනයක් තමයි ත‍්‍රස්තවාදය පිළිබඳ නීතිමය අර්ථ නිරූපණය තුළ තියෙන්නේ. බොහොමයක් නීති ක‍්‍රම තුළ ත‍්‍රස්තවාදය කියන අදහස ‘සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කිරීම‘ යන්නට එහා ගිහින් දේපළවලට විරුද්ධ ප‍්‍රචණ්ඩත්වය සහ රටේ යටිතල පහසුකම්වලට එල්ල වන ප‍්‍රහාර ද ඇතුළත් කළ හැකි පරිදි පුළුල් වෙලා. සමහර නීති ත‍්‍රම යටතේ බරපතළ ආකාරයේ සිවිල් නීති කඩ කිරීමේ ක‍්‍රියාමාර්ග පවා ’ත‍්‍රස්තවාදය’ කියන නාමකරණයට ඇතුළත් කළ හැකියි.

Back to Home

Sunday, January 25, 2009

සමබිම කලාප 50 සපුරයි
සමබිම අතිරේකය කලාප 50ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන් ලංකාවේ ප‍්‍රධාන සිංහල පුවත්පත් කතුවරුන් දැක් වූ අදහස්....


නාරද නිශ්ශංක
දිවයින නියෝජ්‍ය කර්තෘ
කුමන ජාතියක, කුමන දේශපාලන පක්ෂයක, කුමන මතවාදයක් දරණ ජන කොටසකගේ වුවත් පුරවැසි අයිතීන් උල්ලංඝනය වෙනවා නම් එය කණගාටුදායකයි. සදාචාර සම්පන්න මාධ්‍ය වගකීම එම පුරවැසි අයිතීන් උල්ලංඝනය වීම වැළැක්වීම. එක පුරවැසිභාවයක් තියෙන රටක ඉන්න අපේම තවත් සහෝදර ජන කොටසකට වෙන අසාධාරණයකදී අපි එය පිටු දැකිය යුතුයි. මේ රටේ සියලූ පුරවැසියන් සමාන වෙන්නේ මැතිවරණයකදී විතරයි. මැතිවරණයෙන් පසු ජීවත් වීමේදී හා සෙසු කටයුතුවලදී ඒ සමානත්වය අදාළ වෙන්නේ නැහැ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට විරුද්ධව අතීතයේ එක්තරා කාලයක පෙරමුණ අරන් සටන් කරපු අයගේම පාලන කාලයේදීත්, තිබුණාට වඩා දරුණු විදිහට මානව අයිතීන් උල්ලංඝනය වෙනවා. මේක පක්ෂ, පාට, පිල් බෙදිලා තක්සේරු කරන්න බැහැ. පොදුවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කරල තියෙන අයිතීන් හෝ රැකදීමට බැරි රටක කරන කතාවල තේරුම මොකක්ද? අද තමන්ට ආරක්ෂාව අවශ්‍යයි කියලා හිතන අයට ආරක්ෂාව දෙන්නේ නැහැ. තමන්ට අනතුරක් තියෙනවා කියලා කිවුවාම පෙරළා කියනවා ”එයා හිතන තරම් අනතුරක් එයාට නැහැ. අනතුරු හිතින් මවා ගෙන” කියලා. රජයේ අයට තියෙන ආරක්ෂාව අනෙක් අයට දෙනකොට පක්ෂ හරස් වෙලා. ආරක්ෂාව ඉල්ලපු මිනිහාව නිදැල්ලේ අරිනවා මරණය කරා. ඊට පස්සේ චෝදනා කරනවා ත‍්‍රස්තවාදයට. මේ සිදුවන අමානුෂික ඝාතන ත‍්‍රස්තවාදී ක‍්‍රියා නෙවෙයි. මේවා අපිට අනුමත කරන්න බැහැ. දේශපාලන පක්ෂවල වරප‍්‍රසාද ලබන අයට ඒක සරල ඇති. නමුත් අපිට එය සරල නැහැ.අද මාධ්‍යයට නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බැහැ. අපි අතීතයේ සිදු වූ දේ ආදර්ශයට අරන් අනාගතය නිවැරදි කර ගැනීම කළ යුතු වෙලාවක සිදුවන්නේ වර්තමානය සහ අනාගතය තව තවත් අඳුරට යෑමයි. මානව හිමිකම් කියන කොටම සමහර අය මේවා NGO වැඩ කියලා කියනවා. නමුත් ඒක නෙවෙයි ප‍්‍රශ්නය. ඊට අදාළ කාරණය. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය තවත් කෙනෙකුට උදුරා ගැනීමට ඉඩ දිය නොහැකියි. දේශපාලන පක්ෂ, ජාති, වර්ග අනුව වෙන් නොකර ගෞරවාන්විත මිනිසුන් ලෙස ජීවත්වීම ඉඩ ලබාදීම අපි උතුම් ලෙස සලකනවා. මානව හිමිකම් පිළිබඳ ලිවීම, කතා කිරීම ඉතා අවදානම්, අසීරු පසුබිමක මෙවැනි අතිරේකයක් කිරීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. මේ රටේ පුරවැසි අයීතීන් ආරක්ෂා කිරීමට මාධ්‍යයකින් වෙන්න ඕන භාරදුර කාර්යයක් කිරීම ගැන සමබිමට ස්තූතිවන්න වෙන්න ඕන.



මොහාන් ලාල් පියදාස
ඉරුදින ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් රැකදීම වෙනුවෙන් මොනම මාධ්‍යයක් හෝ පෙනී සිටිනවා නම් එය අගය කළ යුතුයි. වසරක වගේ කාලයක් සිය පුවත්පතේ පිටුවක් මානව හිමිකම් හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කිරීම තුළ රාවය පුවත්පතේ තිබූ කැපවීමද අගය කළ යුතුයි. මේ බොහෝ දෙනෙක් කරන්න අකමැති කර්තව්‍යයක්. මානව හිමිකම් සම්බන්ධ තොරතුරු හා ඒ සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් පාඨකයා දැනුවත් කිරීමට දැරූ මේ උත්සාහය වර්තමානයේ කෙසේ වෙතත් අනාගතයේ ඉතාම වැදගත් වෙයි.



ජටිල වැල්ලබඩ
ලක්බිම ප‍්‍රධාන කර්තෘ
මානව හිමිකම් වෙනුවෙන් පත‍්‍රයක පිටුවක් වෙන් කිරීම ලොකු දෙයක්. කුමන ආකාරයට හෝ මානව හිමිකම් ගැන කතා කරන එකත්, ඒ පිළිබඳ සමාජමය වශයෙන් අවබෝධයක් ලබාදීමත් යහපත් දෙයක්. ඒ ගැන සාකච්ඡා කළොත්, කතිකාවක් ඇති කළොත් පමණයි ඊට ගරු කරන්න සමාජයක් පෙළඹෙන්නේ. ඒ වගේම එතුළින් මානව හිමිකම් සම්බන්ධයෙන් සමාජය ඉන්න ස්ථානය නිශ්චිත කර ගන්න පුළුවන් වෙනවා වගේම එතැන සමාජයේ අවධානයටත් ලක් වෙනවා. ඒ නිසා අපි හැමෝම එකිනෙකාගේ අයිතීන්වලට ගරු කළ යුතුයි.








තිලකරත්න කුරුවිටබණ්ඩාර
සියත ප‍්‍රධාන කර්තෘ
අපේ රටේ විටින් විට විවිධ යුගවල මානව හිමිකම් උල්ලංඝනයවීම් බහුලව සිදුවුණා. හැම රාජ්‍ය පාලන කාලයකම සමහර අවස්ථාවල ඉතාම දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවුණා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන මේ මූලික වරද සිදුවුවහොත් ඉන්පසු මුළු සමාජ සංස්ථාවම නාය යෑමකට ලක් වෙනවා. අවසානයේදී සිදුවන්නේ එය සෝදාපාලූවීම. පුවත්පතක් තමන්ගේ අයිතිවාසිකම්, හිමිකම් මොනවාද කියලා ජනතාවට අවබෝධයක් ලබා දෙනවා නම් එය ඉතා වැදගත්. එය කිරීමේ වගකීම පුවත්පත් වලට තියෙනවා. එවිට මානව හිමිකම් පැහැර හරින්න, උල්ලංඝනය කරන්න බලධාරීන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයකට පත් වුණාම මිනිස් අයිතීන් ආරක්ෂා වෙලා සමාජයේ ස්ථාවරභාවයක් ඇතිවෙයි. පුවත්පතක් මෙම යුතුකම ඉටු කරන අවස්ථා අඩුයි. බොහෝ පුවත්පත් හා මාධ්‍ය සිය යුතුකම පැහැර හරින විට ගත වූ වසර තුළ වගේම පසුගිය දස වසරක කාලය තුළත් රාවය ඒ යුතුකම ඉටු කළා..





සිරි රණසිංහ
ලංකාදීප ප‍්‍රධාන කර්තෘ

මීට දශක එකහමාරකට විතර කලින් මිනිස් මූලික අයිතිවාසිකම් මාධ්‍යයෙන් කතා නොකළ විෂයක්. නමුත් විශේෂයෙන්ම පසුකාලීනව උසාවියේ මූලික අයිතිවාසිකම් සංවාදයට ලක්වීම ඇරඹීමත් එක්ක මේ ගැන කතාබහ කිරීම සිදුවුණා. පුවත්පත් වලින් මානව හිමිකම් ගැන කතා කිරීම බොහොම අඩු තත්ත්වයකදී රාවය ඒ වෙනුවෙන් සම්පූර්ණ පිටුවක් වෙන් කිරීම නිසා මේ රටේ ජනතාවට ලොකු වාසියක් සිදුවුණා. පුරවැසියන් වශයෙන් තමන්ගේ අයිතිවාසිකම් මොනවාද, ඒවා රැක ගන්නේ කොහොමද, තමන් ඒ වෙනුවෙන් මොනවද කළ යුත්තේ කියන කාරණය ගැන දැනුවත්වීමට එමඟින් අවස්ථාවක් සැලසුණා.ඒ වගේම මූලික මිනිස් අයිතීන් කඩවෙන අවස්ථාවලදී ගවේශනාත්මකව සොයා බලා කාලීනව වාර්තා කිරීම තුළින් මම දකින්නේ මෙය සිවිල් සමාජයට සිදුවුණු විශාල මෙහෙවරක් ලෙසයි. මෙවැනි සාකච්ඡාවක් මාධ්‍යයක් පිටුවක් තුළින් විවෘත කිරීම සිවිල් සමාජයේ ජයග‍්‍රහණයක්. අද එහි ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට, ක‍්‍රියා කිරීමට පිරිසක් පෙළඹිලා තියෙනවා. පත‍්‍රයක් විදිහට ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකදීමට රාවය පත‍්‍රයේ මෙම පිටුව කළ මෙහෙවර ඉතා විශිෂ්ටයි.

back to home

Monday, January 19, 2009

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පුරවැසි සංවිධාන ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි

මෙම සාකච්ඡාවේදී අප උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිමය ප‍්‍රතිපාදන එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පුරවැසියන්ට ඇති වගකීම පිළිබඳව සවිස්තර ලෙස සාකච්ඡා කිරීමටය.

පරමාධිපත්‍යය
පළමුව අපි පරමාධිපත්‍යය යන සංකල්පය වටහා ගනිමු. නූතන ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් හි පරමාධිපත්‍යය ජනතාව සතු බව පිළිගැනෙනවා. මේ තත්ත්වය ආරම්භ වුයේ 1789 ප‍්‍රංශ විප්ලවයෙන් පසුවයි. එතෙක් දෙවියන්ගෙන් වරම් ලැබු රජු සතුව පැවති පරමාධිපත්‍යය බලය ඉන් පසු ජනතාව සතු වුණා. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එම පරමාධිපත්‍යය බලය අත්හැරිය නොහැකි බවත් සඳහන් කරනවා. පරමාධිපත්‍යයට ආණ්ඩු පාලන බලතල, සර්වජන ඡන්ද බලය සහ මුලික අයිතිවාසිකම් ඇතුළත්
වෙනවා.

මුලික අයිතිවාසිකම් පිළිබඳ රජයේ වගකීම
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම්, රජයේ සියළු ආයතන විසින් ගරු කළ යුතු බවත්, ආරක්ෂා කළ යුතු බවත්, වැඩිදියුණු කළ යුතු බවත්, ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාවෙන් දැක්වෙනවා.

උල්ලංඝණය වීමකදී ගතහැකි පියවර
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මුලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් ලෙසින් උල්ලංඝණයට ලක් වු හෝ උල්ලංඝණයට අත්‍යාසන්න වු අවස්ථාවකදී ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට සෑම පුද්ගලයෙකුටම හිම්කම් ඇති බව 17 වැනි ව්‍යවස්ථාව දක්වනවා.
126 වන ව්‍යවස්ථාව මගින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරෙනවා. ඒ අනුව විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් මුලික අයිතිවාසිකමක් (හෝ භාෂා අයිතිවාසිකමක් ) උල්ලංඝණය වීම සම්බන්ධ ඕනෑම ප‍්‍රශ්ණයක් පිළිබඳ විභාග කොට තීරණය කිරීමේ සම්පුර්ණ සහ අනන්‍යනය අධිකරණ බලය හිමිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

කිසියම් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ යේ යැයි හෝ උල්ලංඝණය වීමට ආසන්නව ඇතැයි අදහස් කරන පුද්ගලයෙකු එම සිදුවීමෙන් මාසයක කාලයක් ඇතුලත, තමන් විසින් හෝ තම නීතිඥයා මගින් හෝ අදාළ උල්ලංඝණය වෙනුවෙන් සහනයක් හෝ ප‍්‍රතිකර්මයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

මේ අනුව පැහැදිලි වන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් වීමක් සම්බන්ධව ක‍්‍රියා කිරීමට බලය ඇති ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.

අයිතිවාසිකමක් උල්ලංඝණය වීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමෙන් රජයේ බලතල සහ පුද්ගලයාගේ අයිතිවාසිකම් පිළිබඳ සීමාව සලකුණු කොට ඒ පුද්ගලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩ ප‍්‍රස්තාව සැලසෙනවා. මෙයට අමතරව මේ එක් එක් නඩු තීන්දුව මඟින් මුලික අයිතිවාසිකම් අර්ථකතනයට ලක්වීමෙන්, අයිතිවාසිකම් වල විෂය පථය පුළුල් වීමක් ද සිදු වෙනවා.

වරප‍්‍රසාද අඩු අය වෙනුවෙන්
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් ප‍්‍රතිපාදන පිළිබඳව ඇති වු එක් විවේචනයක් නම් එය ”තරු පහේ හෝටලයකට ගොස් ආහාර ගැනීමට ඇති අයිතිවාසිකම” වැන්නක් බවයි. තරු පහේ හෝටලයකින් ආහාර ගැනීමට ‍සෛද්ධාන්තික ව බැලූවහොත් ඕනෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තිබෙනවා. නමුත්, මෙතනදී අමතක කරන සාධක දෙකක් තිබෙනවා.

එකක් ආර්ථීක සාධකය. අනෙක සංස්කෘතික සාධකය. එවැනි හෝටලයකින් ආහාර ගැනීමට නම් ප‍්‍රමාණවත් ආර්ථික මට්ටමක් මෙන්ම අදාළ චාරිත‍්‍රවාරිත‍්‍ර පිළිබඳ පුරුද්දකුත් තිබිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට මේ සාධක අදාළ වෙනවා. මෙම නඩු පැවරීම කළ හැක්කේ කොළඹදී පමණක් වීමත්, මාසයක කාලයක් තුළ එය සිදුකළ යුතු වීමත්, ප‍්‍රවීණතාවයක් සහ පරිචයක් ඇති නීතිඥයකුගේ සහය ලබා ගැනීමට අවශ්‍ය වීමත් යන හේතු සාධක නිසා ප‍්‍රමාණවත් මුදලක් මේ සඳහා යොදවන්න සිදුවෙනවා. අනෙක් අතට, තමා පැමිණිලි කරන්නේ විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදු වු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට එරෙහිව බැවින්, එකී විධායක පරිපාලන නිලධරයන් වෙතින් තමන්ට පසුව හිරිහැරයක් වෙතියි යන සැකය නිසා මේ පිළිබඳව ඉදිරිපත් වීමට කෙනෙකු තුළ පැකිළීමක් ඇති වීමට පුළුවන්.

එම නිසා මෙම සාධක දෙක මගින් සමාජයේ අඩු වරප‍්‍රසාද ලත් අයට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඇතිවන බාධාව ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

කෙළින්ම අගවිනිසුරුතුමාට පැමිණිලි කිරීම
සමාජයේ අඩු වරප‍්‍රසාදලාභීන් වෙනුවෙන් නොමිලේ, එසේත් නැත්නම් නාමික මුදලකට නීති ආධාර ලබාදෙන නීති ආධාර සේවාවන් ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. මෙයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසු කාලයේදී ඇති කරන ලද ප‍්‍රතිපාදනයන් අනුව, අඩු වරප‍්‍රසාදලාභී පුද්ගලයන්ට තම අයිතිවාසිකම් උල්ලංඝනය සිදු වී මාසයක කාලයක් තුළ ලියුමක් මගින් අග‍්‍රවිනිශ්චයකාරතුමාට යොමු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. අග‍්‍රවිනිශ්චයකාරතුමා එවිට එම පැමිණිල්ල විධිමත්ව සකසා ඉදිරිපත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයට යොමු කරනවා.

මානව හිමිකම් කොමිසම
මානව හිමිකම් කොමිසම පිහිටුවීම, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සඳහා ප‍්‍රතිකර්ම ලබා ගැනීමේ අවස්ථාව තව දුරටත් පුළුල්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම් සභා පනත අනුව, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී අවුරුද්දක කාලසීමාවක් තුළ දී ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා.

විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදුවන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධව සමගි කිරීමට, සමථ කිරීමට හෝ විමර්ශනයක් පවත්වා නිර්දේශයක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසමට බලය තියෙනවා.

පුරවැසි වගකීම
මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ක‍්‍රියාත්මක වීමට මෙවැනි ආකාරයේ ප‍්‍රතිපාදන තිබුණත්, සමාජයේ විශාල පිරිසක් තවමත් මුලික අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් නැතිව ජීවත් වෙනවා. මේ පිළිබඳව ඒ පිරිස් දැනුවත් කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යයි. ඒ සඳහා මානව අයිතිවාසිකම් අධ්‍යාපනය වැදගත් වෙනවා.

එමෙන් ම මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක්වුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් සංවිධාන ව්‍යුහයක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. එම සංවිධාන ව්‍යුහයට ප‍්‍රදේශයේ සිටින බලපෑමක් සහිත පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම ඒවායේ සාර්ථකත්වය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරනවා. අඩු වරප‍්‍රසාදලාභී ජන කොටස් වෙනුවෙන් සහ සමාජීය වශයෙන් වැදගත් වන පොදු කරුණුවලට අදාළව මුලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ නීති අධාර සේවාවක්ද ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙනවා.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉහත කී ආකාරයේ කටයුතුවල නියැලෙන පුරවැසි සංවිධාන ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දෙන ලද සමාජයක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වැළැක්වීමට නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ශක්තිමත් යාන්ත‍්‍රණයක් පැවතීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා මහජන මතය ගොඩනැඟීම හෙවත් මානව අයිතිවාසිකම් ගරු කිරීමේ සම්ප‍්‍රදායක් ගොඩ නැඟීමේ ක‍්‍රියාමාර්ගයක් ද අත්‍යවශ්‍යයි. සමාජයෙහි මානව අයිතිවාසිකම් ගරු කිරීමේ සම්ප‍්‍රදායක් නැත්නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය කාර්‍යක්ෂමව ක‍්‍රියාත්මක කිරීම කළ නොහැකියි. යාන්ත‍්‍රණයට දරා ගැනීමට නොහැකි ප‍්‍රමාණයකට සමාජයේ පවතින මානව අයිතිවාසිකම් ගරු නොකිරීමේ සම්ප‍්‍රදාය හේතුවෙන් උල්ලංඝනය කිරීමේ සිදුවීම් උත්පාදනය කරන බැවින් යාන්ත‍්‍රණය කඩා වැටීමේ තත්ත්වයක් උද්ගත විය හැකියි.

අනෙක් අතට මානව අයිතිවාසිකම් ආරක්ෂක යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක නොවේ නම්, එම සමාජය තුළ මානව අයිතිවාසිකම් ගරු කිරීමේ, සම්ප‍්‍රදායක් ගොඩනැඟීම ද කළ නොහැකිය.

එම නිසා මෙම දෙයාකාර වු ප‍්‍රවේශයන් පිළිබඳ දැනුවත්වීමටත් සංවිධානයවීමට සහ ක‍්‍රියාත්මක කිරීමටත් පසු විපරම් කිරීමටත් ඔබට වගකීමක් තියෙනවා.

සුදර්ශන ගුණවර්ධනගේ
Let Us Fight For Rights Now(2005)
පොතෙන් උපුටා ගැනුණි.


back to home

Back to Home