Monday, January 12, 2009

අපිට අපේ ගම්වලට යන්න දෙන්න

මඩකලපුවේ අවතැන් කඳවුරු ජීවිතය

යුද්ධය සහ අවතැන්වීම වසර ගණනාවක සිට උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් වැසියන් අත්විඳින නීරස සත්‍යයකි. අවතැන් වීමත් සමඟම කඳවුරු තුළට ගාල් වන ඔවුන්ට ඇතිවන පීඩාවන් රාශියකි. මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ එවැනි අවතැන් වීම් නිරන්තරයෙන් සිදුවෙයි. එනිසාම එහි දැනට ක‍්‍රියාත්මක වෙන අවතැන් කඳවුරු ගණන දාසයකි.

මඩකලපුවේ ප‍්‍රධාන සරණාගත කඳවුරු දෙකක් දැනට ක‍්‍රියාත්මක වෙයි. ඉන් එකක් සිංහල මහා විද්‍යාලයේ පිහිටා ඇති අතර අනෙක් කදවුර සහිරා විද්‍යාල භූමිය තුළ පිහිටා ඇත. මේ වන විට ඔවුන් වසර ගණනාවක් ඉතා දැඩි අපහසුකම් මැද මෙම කඳවුරු තුළ සීමිත ඉඩකඩකට කොටුවී ජීවත් වෙයි. ඔවුන් ජීවත් වන්නේ ටකරන් වලින් සාදන ලද නිවාස වලය. දිවා කාලයට අධික ලෙස රත්වන එම නිවාස තුළ දිවා කාලය ගත කල නොහැක. වැසිකිලි වල ‍දොරවල් ගැලවී ගොසිනි. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය නිවාස තුළ ඉඩකඩ මදිවීම නිසා දෙමාපියන්ට හා දරුවන්ට නිදා ගැනීමටවත් ඉඩකඩක් නොමැති වීමයි.

සහනාධාර ලෙස සමුපකාරයෙන් ලැබෙන හාල්වල ප‍්‍රමිතිය ඉතා බාල බැවින් එය කෑමට ගත නොහැකි තත්ත්වයක පවතින අතර ලාම්පු තෙල් ලිපක් හා ලාම්පු තෙල් කුකර් එකක් අධාර ලෙස ලබා දුන්නද මසකට ලබාදෙනු ලබන්නේ ලාම්පුතෙල් ලීටර් හතරකි. එය කෑම පිසීමට සහ ආලෝකය සපයා ගැනීමට කිසිසේත් ප‍්‍රමාණවත් නොමැත.

මෙම කදවුරුවල සිටින පිරිස් හිටිහැටියේම අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. කඳවුරේ බහුතරයකට ජාතික හැදුනුම්පත නොමැත. එය කඳවුර බාර ග‍්‍රාම නිළධාරීවරයා මාර්ගයෙන් ඉල්ලූම් කිරීමට උත්සාහ කලද ආපසු තම ගම් ප‍්‍රදේශවලට ගිය පසු එය එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හරහා ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

මෙම කඳවුරුවල සිටින අවතැන් ජනතාවගේ තවත් ප‍්‍රධාන ගැටළුවකි සපයනු ලබන ආහාර ප‍්‍රමාණවත් නොවීම. ඒත් සමඟම යැපීමට ජීවන වෘත්තියක් නොමැති වීම, නැවත තම ගම් ප‍්‍රදේශවල පදිංචි කරවීම දිගින් දිගටම කල් යාම යන අවිනිශ්චිත භාවය ඔවුන්ට ඇති මූලික ගැටළුය.
දරුවන් සහ ස්වාමි පුරුෂයා අහිමිවීමෙන් තනිව ජීවත් වන කාන්තාවන්, අවිවාහකව මහලූ දෙමාපියන් රැකබලා ගනිමින් ජීවත් වන කාන්තාවන්, තම දියණියන්ගේ ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් මියයාම නිසා දරුවන් රැක බලාගෙන ජීවත් වන වියපත් කාන්තාවන් බොහෝ පිරිසක් කඳවුරු තුළ සිටිති. මොවුන්ගෙන් බහුතරයක් දැන් වසර දෙකකට වැඩි කාල සීමාවක් කඳවුරු වල ජීවත් වෙති. තමන් තම ගම් ප‍්‍රදේශවල නැවත පදිංචි කරන ලෙස දිගින් දිගටම ගෙන් ඉල්ලා සිටියද ඒ පිළිබඳ ව බලධාරීන් සැලකිල්ලක් නොදක්වන බව කඳවුරු වැසියන් පවසති. ඔවුන්ගේ ගම් ප‍්‍රදේශය වන සාම්පූර් ආරක්ෂක හමුදා විසින් මුදාගෙන දැන් වසරකට වඩා ගත වී ඇත.

2006.05.22 වන දින සාම්පූර් හා මුත්තූර් ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් දහස් සංඛ්‍යාවෙන් තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට මෙම අවතැන්වූ කඳවුරුවල ජීවත් වෙයි. මෙයින් පවුල් දෙදාහකට ආසන්න ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට හැකියාවක් නොමැති බවට වාර්ථා වන අතර එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, එම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක අධි ආරක්ෂිත ආර්ථික කලාපය සඳහා මෙම ප‍්‍රදේශයේ ගම්මාන ගණනාවක් රජයට පවරාගෙන තිබීමයි. එම නිසා පාරම්පරිකව ඔවුන්ට එම ප‍්‍රදේශවල තිබූ ගොවි බිම්, එළුවන්, ගවයන් වැනි පශූ කර්මාන්තයන් අහිමිවී ඇත. දාහක පමණ ජනතාවක් නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම මේ වන විට සිදු කරන අතර ඒවා නිශ්චිතවම අදාළ පවුල් පෙර සිටි ස්ථාන වලින් බැහැර ස්ථාන වනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුරු දාසය එකොළහක් දක්වා අඩුකිරීමට නියමිතය. පාලෙයි මඩු කඳවුර මඩකලපුවේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති තවත් අවතැන් කඳවුරකි. 2006 වසරේදී සාම්පූර් ප‍්‍රදේශයෙන් අවතැන් වූ පවුල් පණහක පමණ සාමාජිකයන් එකසිය පණහක් මෙහි වාසය කරයි. කඳචුරේ ජීවත් වන අයෙක් පවසා සිටියේ, 2006.05.22දා එල්.ටී.ටී.ඊය අපේ ගම් වලට ආවට පස්සේ අපි ඒ ප‍්‍රදේශයෙන් ඉවත් වෙලා ආරක්ෂාව පතා සාම්පූර් ඉදන් අපි ඔක්කොම වැලිකන්ද පැත්තට පයින් එන්න ගත්තා. පන්නිචන්කර්නි ගඟ ලගදී අපිට ගඟ හරහා එගොඩ වෙන්න සිද්ධ වුණා. එතනදී අපේ කිහිප දෙනෙක් ගෙඟේ ගසාගෙන ගිහින් මිය ගියා. වැලිකන්දට ආවට පස්සෙ එහෙ අය අපිට කෑම දුන්නා. ඒ වෙන කොට අපි කෑමක් බීමක් නැතිව පයින් දවස් දෙකක් ඇවිල්ලා තිබුණා. එදා පවුල් දෙසිය හැත්තෑහතක් අපිත් එක්ක ආවා. දැන් ඉන්නේ පවුල් පණහක් විතරයි. අනෙක් අය නැවත පදිංචි කරලා. අපිට නැවත යන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත්, විපක්ෂ නායකතුමාගෙනුත්, ඉන්දියාවේ අගමැතිතුමාගෙනුත් ලිඛිතව ඉල්ලීමක් කලා. ඒත් අපි තවම මේ කදවුරුවල ජීවත් වෙනවා. අධිආරක්ෂිත කලාපයට අපේ ඉඩම් ගෙවල් දොරවල් පවරාගෙන නිසා අපිට ආපසු අපේ ගම්වලට යන්න අවස්ථාව නැහැ. මේ කඳවුරේ අපිට විදුලිය නැහැ. ආණ්ඩුව රාන්කුලී වලින් පර්චස් අටක් දෙන්න අපිට කතා කලා. ඒත් අපිට ගමේ වගාකරන්න පුළුවන් කුඹුරු ඉඩම්, හරක්, එළුවෝ ඉන්නවා. ඒ නිසා අපිට ආපසු ගම්වලට යන්න ඕනි. දැනට කඳවුරෙන් එළියට ගියත් අපිට කුලීවැඩක් වත් හොයාගන්න බැහැ. එක දවසක් වැඩක් හම්බ වුණොත් ආයෙත් සතියකටවත් වැඩ හම්බ වෙන්නේ නැහැ. කඳවුරේ හූඟක් අයට ජාතික හැදුනුම්පත් නැහැ. ඒ නිසා තාවකාලික හැඳුනුම්පතක් ග‍්‍රාමසේවක මාර්ගයෙන් ලබා දීලා තියෙනවා. ඒත් හමුදාවේ සෝදිසි කිරීම් වලදී අපේ සමහර අය අත් අඩංගුවට අරගෙන ගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ ඔවුන් නිදහස් කලා. අපි ගමේ ඉන්නකොට ලූණු විතරයි සල්ලිවලට ගත්තේ. හැමදෙයක්ම අපිට අවටින් සොයාගන්න පුළුවන්කම තිබුණා. ඒ හින්දා අපි කියන්නේ අපිට පුළුවන් තරම් ඉක්මනින් ගමට යන්න ඕනි කියලයි.”

Back to Home

Sunday, January 11, 2009















‘ අපේ රටට ආදරය කරමු - යුද්ධය නතර කරමු.’
මේ පුංචි දරු පැටියා කියන්නේ එයයි.
ඔබට නම් මේ කතාව පේනවා ඇත්තේ අපභ‍්‍රංස නොගැලපෙන කතාවක් ලෙස විය යුතුය.
අපි අහලා තියෙන්නේ ‘රටට ආදරය කරමු - යුද්ධ කරමු’ කියලාය.
සමහරවිට මේ දරුවාගේ නොදන්නාකම නිසා වෙච්ච වැරදීමක් විය හැකිය.
රජ්ජුරුවෝ හෙළුවෙන් කියා කෑගසා අපේ ආතල් එක කැඩුවේත් මේ වගේම ළමයෙක් නේද?

ගන්න අපේ දේ.........
ඊයේ හවස සිරිසේන ටිකක් වැදගත් ගමනක් යද්දි බෙලෙක් කඬේ හන්දියේදී පරණ මිත‍්‍රයෙක් වූ මිස්ට තෙපානිස් හමුවෙලා තමන්ගේ පෙට‍්‍රල් කාර් එකට නග්ග ගත්තා.තෙපානිස්- ආණ්ඩුව තාම පෙට‍්‍රල් අඩු කළේ නැහැ නේද?
සිරිසේන- නැහැ ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව මොනව නැතත් යුද්දෙ හරියට කරනවනේ. යුද්දෙ අපේ රට ජාතිය වෙනුවෙන්නේ. අපේ අමාරුකම් නොහිතා ටිකක් ඉවසන්න වෙයි.
තෙපානිස්- ඒ වුනාට රවීලා කිව්වේ ඔය හෙජිං ගිවිසුම අපේ රටේ සල්ලි ටික පිට රටට යන වැඩක් කියලනේ.
සිරිසේන- ඔය රවීලගේ බයිලනේ. ආණ්ඩුව හෙජිං ගිවිසුම.....ආ මේ පෙට‍්‍රල් ටිකක් ගහගන්නත් ඕන.
(සිරිසේන වාහනය ඉන්ධන පිරවුම් හල දෙසට හරවයි)
තෙපානිස්-හප්පා සූ ගෑවිල්ලෙ සෙනඟනේ. හරවමුද අර එහා පැත්තේ තියෙන ෂෙඞ් එකට.
සිරිසේන- පිස්සුද? මේකෙ ඒකට වඩා රුපියල් විසි දෙකක් අඩුයිනේ.
තෙපානිස්- ඒ වුනාට ගන්න අපේ දේ කියල ගහලා තියෙන්නේ අර ෂෙඞ් එකේනෙ...........................................
....................................................................................................................
...........................................................................................................................
.....................................................................................................................................
......................................................................................................................
ත‍්‍රස්ත මර්දන දඩ මං ඔස්සේ මාධ්‍යකරුවන් දඩයම් කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වුණු ආණ්ඩුවක් විසින් ජනමාධ්‍යවේදියෙකුට විරුද්ධව ත‍්‍රස්තවාදී මර්දන නීති හෝ ජාතික ආරක්ෂක නීති යොදාගෙන නඩු පැවරීම ඉතාම දුර්ලභ සිදුවීමක්.

ඒ දුර්ලභ සිදුවීම ලංකාවේ සිදුවුණා. ඒ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ජේය්‍යෂ්ඨ මාධ්‍යවේදී තිස්සනායගම්ට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම. ඒ නිසා නඩු විභාගය අවසන් වනතුරු ඔහු රැඳවුම්භාරයේ ;

මීට පෙර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකාවේ මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගෙන තියෙන්නේ එක් වතාවයි. ඒ 1982 දී සුදන්දිරන් (නිදහස) සඟරාවේ සංස්කාරක කෝවෙයි මහේසන් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීම. නමුත් ඒ නීතිය යටතේ නඩු පැවරීමක් සිද්ධ වුණු පළමු මාධ්‍යවේදියා තිස්සනායගම්.

තිස්සනායගම් සහ ඔහු සමඟ අත් අඩංගුවට ගෙන රඳවා සිටින ජසීහරන් හා වලර්මදීට එරෙහිව නඟා තිබෙන චෝදනා ඉවත දමා ඔවුන් නිදහස් කරන ලෙස ලංකාවේ ආණ්ඩුවට බලකරන ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දැන් ඇරඹී තියෙනවා.

කොහොම වුණත් ලොව පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් අතින් මෙවැනි ඉරණමකට මුහුණ දුන් එකම මාධ්‍යවේදියා තිස්සනායගම් නෙවෙයි. තුර්කිය තම රටේ මාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු පැවරීමට ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන තියෙනවා. අසර්වයිජානය එහි ප‍්‍රධාන පුවත්පත් දෙකක සංස්කාරකවරයා සහ ප‍්‍රමුඛ ජනමාධ්‍යවේදියෙකු සිරගෙට යැව්වා. ස්පාඤ්ඤයේ බාස්ක් ජනමාධ්‍යවේදීන්ට විරුද්ධවත් ත‍්‍රස්ත මර්දන නීති යොදාගෙන ඇති අතර, පුවත්පත් වසා දැමීමටත් කළමණාකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තැබීමටත් කටයුතු කර තියෙනවා. ඒ වගේම අයර්ලන්තයේ මාධ්‍යවේදීන්වත් ත‍්‍රස්තවාදී ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම නම් වරදට, විකාශන නීතිය යටතේ දඩයම් කර තියෙනවා.



ජනාධිපති උපදේශකගෙන් ජනාධිපතිට උපදේශයක්

ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මානව හිමිකම් දිනය දවසේ ජනාධිපතිට ලිපියක් යවා ඇත. මේ ලිපියෙන් ආරක්ෂක ආමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වී ඇති සඳහනක් පිළිබඳව විරෝධය දැක්වීමට ඔහු මේ ලිපිය ලියා ඇත.

http://www.defence.lk/ වෙබ් අඩවිය විසින් ”මානව හිමිකම් සැබවින්ම උල්ලංඝනය කරන්නේ කවුරුන්ද ? ” යන මාතෘකාව යටතේ පළකර ඇති ලිපියක් මඟින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති නීතිඥයන් දේශද්‍රෝහින් සහ රටට එරෙහිව කටයුතු කරන්නන් වශයෙන් හංවඩු ගසා තිබිණි.

පළමුවෙන්ම මානව හිමිකම් නඩුවලට පෙනී සිටින ජේය්‍යෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. ඒ සම්බන්ධව සාධාරණ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන තත්ත්වයක් නැත. ඉන් පසු නීතිඥයන්ට තර්ජනය කරමින් ‘මහසෝන් බලකාය’ නමින් ලිපියක් ද බෙදා හරින ලදි. ඉන්පසු නීතිඥයන් ද්‍රෝහීන් ලෙස හඳුන්වමින් මෙම වෙබ් අඩවිය මඟින් ප‍්‍රචාරයක් ගෙන යමින් තිබේ. එබැවින් නීතිඥයන් බියගන්වන සුළු, තර්ජනාත්මක සහ මහජනයා ඔවුන්ට එරෙහිව උසිගන්වන සුළු ප‍්‍රකාශ මෙම වෙබ් අඩවියේ පළ නොකරන ලෙසට වෙබ් අඩවිය පවත්වා ගෙන යන අයට උපදෙස් දෙන ලෙස ජනාධිපති උපදේශකතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම කොට සතියක් ගතවුවද තවමත් ඉහත සඳහන් තර්ජනාත්මක ලිපිය අදාළ වෙබ් අඩවියේ නිරුපද්‍රිතව පවතී. ආරක්ෂක අමාත්‍යාංශය භාර ඇමතිවරයා ජනාධිපතිවරයාය. එහි ස්ථිර ලේකම්වරයා ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.



වර්ගඝාතකයන්ගේ ලැයිස්තුවට ලංකාව ඇතුළු වේ
නිව්යෝර්ක්හි පිහිටා ඇති වර්ගඝාතන වැළැක්වීමේ ව්‍යාපෘතිය පසුගිය දෙසැම්බර් 10 ට යෙදුණු මානව හිමිකම් දිනය නිමිත්තෙන් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව වර්ගඝාතනය සිදුවෙමින් පවතින හෝ එවැනි අවදානමක් පවතින ‘රෙඞ් ඇලට්’ රටවල් අට තුළට ලංකාවද ඇතුළත් කර ඇත.

‘රෙඞ් ඇලට්’ කොම්පැනියට ඇතුළත් රටවල් මෙසේය. ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සුඩානයේ ඩාෆුර් ප‍්‍රදේශය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොංගෝ ජනරජය, මියන්මාරය, පකිස්ථානය, සෝමාලියාව සහ ශ‍්‍රී ලංකාව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් සහ ආරක්ෂක මණ්ඩලය වර්ගඝාතනය ඇතිවීම වළකනු පිණීස කටයුතු කළයුතු බව එම ව්‍යාපෘතිය කියා සිටී.වර්ගඝාතනය ඇතිවීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට වසර 60ක් පිරීමද, එක්සත් ජනපදය එම සම්මුතියට ඇතුළත් වී වසර 20ක් ගතවීමද දෙසැම්බර් 10දා සමරන ලදි.

මේ අතර ඇමෙරිකානු ක්ලින්ටන් පාලනයේ බලකණු දෙකක් වන හිටපු රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ‍්‍රයිට් සහ හිටපු ආරක්ෂක ලේකම් බිල් කොහෙන් ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් විසින් නව ජනාධිපති බරක් ඔබමාට නිර්දේශ කර ඇත්තේ ජනවර්ග ඝාතනය වැළැක්වීම ඔහුගේ ප‍්‍රමුඛතාවක් වන බවයි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් ඒ සඳහා වෙන් කරන ලෙස කොන්ග‍්‍රසයෙන් ඉල්ලා සිටිය යුතු බවද ඔවුන් කියා ඇත.


Wednesday, December 17, 2008

පුරවැසියන් නීතිය ඉල්ලා සිටිය යුතුයි

Right To Life
විධායක ලේකම්
පිලිප් දිසානායක

සාකච්ඡා කළේ-

තාරා ශ‍්‍රී රාම්

අද ලංකාවේ ඔබ දකින බරපතලම මානව හිමිකම් ගැටළුව මොකක්ද?

අද ලෝකයේ තියෙන සියළුම ගණයේ දරුණු මානව හිමිකම් කඩ කිරීම් අපේ රටේ සිදුවෙනවා. අතුරුදහන් වීම්, නීත්‍යනුකූල නොවන ඝාතන, මානසික හා ශාරීරික වද හිංසා, මර්දන නීති හරහා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් සිදුවෙනවා. මෙවැනි තත්ත්වයන් මීට පෙර ලෝකයේ බොහෝ රටවල්වල නිර්මාණය වෙලා තිබුණත් ඒවා වළක්වා ගන්න හැකි වුණේ තමන්ගේ රටේම බිහිකරගත් සාමූහික එකමුතු ව්‍යාපාර තුළින්. අපේ රටේත් දැන් පවතින තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් සාමූහික එකමුතුවකින් පමණයි.

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ පොදු එකතුවක් හදන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන ගනණාවක් මේ අවස්ථාවේ කටයුතු කරමින් සිටිනවා. නීතියේ පාලනය යළි ඇති කිරීමට රජයට බල කරමින් එහි පළමු පියවර පසුගිය දෙසැම්බර් 10 වැනිදා ට යෙදුණ ජගත් මානව හිමිකම් දිනයේදී සිදුකළා.මෙම පොදු එකමුතුව සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද?
මුලින්ම අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මිනිස්සුන්ට නීතියෙන් අයිතිවාසිකම් තිබුණත් ප‍්‍රායෝගිකව අපිට ඒ වරප‍්‍රසාදය ලබා ගන්න බැරි බව. ඒවා ලබාදීමට වගකීම තියෙන සංස්ථා කඩා වැටිලා. ඒ නිසා මුලින්ම අපට ව්‍යවස්ථානුකූල වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා දැනුවත්, ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒක තනි පුද්ගලයෙකුට හෝ තනි සංවිධානයකට කරන්න බැහැ. ඒකයි මෙවැනි පොදු එකතුවක් හැදුවේ. බොහෝ කාලයකට පසුවයි මිනිස්සු මේ ආකාරයට මානව හිමිකම් වෙනුවෙන් එකතුවුණේ. මම හිතනවා එදා එම පණිවිඩය රජයට, අදාළ ආයතන වලට හා මහජනයා වෙත යන්න ඇති කියලා.

ඔබේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ සිංහල භාෂාවෙන් නිකුත් කරන රයිට් ටු ලයිෆ් ප‍්‍රකාශනය හරහා ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස කවුද? ඔවුන්ගේ ප‍්‍රතිචාර මොනවාද?
අපි ඉලක්ක කරන්නේ,
1. ප‍්‍රාදේශීය සමාජ ක‍්‍රියාකාරකයන්
2. පවතින යුක්ති පද්ධතිය තුළ පීඩාවට පත්වෙන වින්දිතයන් සහ
3. මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා හිතන ප‍්‍රගතිශිලීන්.
සාමාන්‍යයෙන් පොදුවේ අපේ රටේ ජනතාව කියවීමට දක්වන උනන්දුව අඩුයි. ඒ වගේම අපි ආමන්ත‍්‍රණය කරන බහුතරය භාෂාවක් විදිහට භාවිතා කරන්නේ සිංහල. දැනට අපි සිංහල භාෂාවෙන් කටයුතු කළත් ඉදිරියේදී දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ත්‍රෛමාසිකව අපේ ප‍්‍රකාශනය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවම විශාල ප‍්‍රතිචාරයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් උනන්දුවෙන් මිලදී ගන්නා පිරිසක් ඉන්නවා. සමහර කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇතිවෙනවා. සඟරාවකින් පමණක් විශාල සමාජ සංවාදයක් ගොඩනැගෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒත් අපි දිගටම උත්සාහ කරනවා.

වසර දෙකකට ආසන්න කාලයක් නිකුත් කරන ප‍්‍රකාශනය සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් මොනවාද ?
මානව හිමිකම් කියන විෂය අපේ රටේ තවම නාගරිකව ප‍්‍රචලිත වුණත් ග‍්‍රාමීයව ප‍්‍රචලිත වෙලා නැහැ. මේ හරහා අපි හුඟක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ගියා. අපි මුහුණ දුන් සිදුවීම් අනුව ප‍්‍රාදේශීයව ඉන්න සාමාන්‍ය පුරවැසියන්ට මෙම ප‍්‍රකාශනය මඟින් අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වාගේම මම මුලින් සඳහන් කරපු අපි ඉලක්ක කරන ග‍්‍රාහක පිරිස අතරත්, ප‍්‍රාදේශීය සංවිධාන අතරත් සංවාදයක් ගොඩනැඟිලා තියෙනවා. අපි ඉදිරිපත් කරන අදහසට එකඟ අය සමඟ අපට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්.

ඔබේ ප‍්‍රකාශනය හරහා ලංකාවේ මානව හිමිකම් ගැන සමාජගත කිරීමට අපේක්ෂා කරන මතවාදය මොකක්ද ?
මට අනුව මේ ප‍්‍රකාශනයේ මතවාද දෙකක් තියෙනවා. ඒ සැඟවුණු මතය සහ බාහිර මතය. බාහිර මතය නීතියේ ආධිපත්‍යය (Rule of Law) මේ රටේ ඇතිකළ යුතුයි කියන එකයි. නමුත් එය පහසු නැහැ, ඒ සඳහා සමාජ-දේශපාලන වෙනසක් ඇතිකළ යුතුයි යන්නයි සැඟවුණු මතය. නීතියේ ආධිපත්‍යය කියන්නේ ගැඹුරු මාතෘකාවක්. නමුත් ඒ සඳහා අපි සරල සංවාදයක් දැන් ගොඩනඟාගෙන යනවා.

ඒ සඳහා තිබෙන අවස්ථා, බාධක සහ අභියෝග මොනවාද?
මම හිතනවා සමාජය තුළ එවැනි මතයක් ගෙන යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් තියෙනවා කියලා. අද වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සමාජ ප‍්‍රතිසංස්කරණයක් සඳහා අවශ්‍ය ප‍්‍රගතිශිලී ගමනකට ලොකු ඉඩ කඩක් විවර වෙලා තියෙනවා. දැන් ඒ තුළ ක‍්‍රියාත්මක වීමයි අවශ්‍ය වන්නේ. ඊට ඇති බාධක ගැන කියනවානම් පළමුවෙන්ම ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයක් ගැන අපට අත්දැකීම් නැතිකම පෙන්නන්න පුළුවන්. ඒ නිසා අළුත් එකක් නිර්මාණය කරගන්න වෙලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩ මඟින් ඇස් නිලංකාර කරලා තියෙන පුරවැසියන් සමඟ 21 වෙනි සියවසට ගැලපෙන එවැනි සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද, ඊට අවශ්‍ය හැඩතල මොනවාද කියන එක ගැඹුරින් සංවාද කළ යුතුයි.

මෙවැනි එකතූන් පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්හිදී ගොඩනැගුනත් අවශ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙන්න කලින් එකතුව අවසන් වුණා. ඒ අභියෝගය මෙයටත් තියෙනවා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් තුළ තියෙන ලක්ෂණයක් තමයි කවුරුන් හෝ අරගල කරලා තමන් වෙනුවෙන් අයිතිවාසිකම් අරන් දෙනකන් බලා සිටීම. අපේ ඉතිහාසය ගත්තොත් අපට තියෙන්නේ කිසිවක් අරගල කරලා ලබා ගත්ත මානසිකත්වයක් නෙවෙයි. ඒ නිසා අයිතිවාසිකම් ලබා ගැනීමේ අරගලකාරී මඟකට පුරවැසියන් යොමුකරවා ගැනීම අභියෝගයක්. ඒකට මුහුණ දෙන්න විශ්වාසයක් සහිතව ඉදිරි දර්ශනයකින් කටයුතු කරන නායකත්වයක් අවශ්‍යයි.

මේ අවස්ථාවේ ජනවර්ගයක් විදිහට වැඩිම මානව හිමිකම් උල්ලංඝනයන්ට ලක්වෙන්නේ දෙමළ ජනතාව. සිංහල මාධ්‍යයෙන් පමණක් කටයුතු කරන කොට දෙමළ ජනයාගේ මතය මතුපිටට ඒමට ඇති ඉඩකඩ සීමිතයි නේද?
ඔබ කිව්ව කාරණාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තමයි අද බරපතළ විදිහට උල්ලංඝනය වෙන්නේ. නමුත් අපි වැඩ කරන ක්ෂේත‍්‍රය ඉලක්ක වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්, සිංහල ප‍්‍රදේශවලට, සිංහල ජනයාට. දෙමළ ජනයාගේ ගැටළුවට මැදිහත් වන සමාජ බලවේගයක් සෑදිය යුතුයි. ඔවුන් සහ අනෙක් සුළු ජාතීන්ට බලපාන ප‍්‍රශ්න ගැන යම්කිසි මට්ටමක හෝ දායකත්වයක් ලබාදිය හැකි ව්‍යාපාරයක් අවශ්‍යයි. දැනට අපි යම් ප‍්‍රමාණයක වැඩ කරනවා. නමුත් අපේ න්‍යාය පත‍්‍රයේ මුලට තවම එය ඇවිත් නැහැ. ඒක අපේ තිබෙන ප‍්‍රශ්නයක් විදිහට පිළිගන්නවා. අප තුළ එම අවශ්‍යතාව සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය එකඟතාවක් තියෙනවා. නමුත් ප‍්‍රායෝගිකව ළඟා වෙන්න බැරි ප‍්‍රශ්නයකුයි තියෙන්නේ. දැනට සංවිධානයක් හෝ දෙකක් ඒ ගැන කටයුතු කළත් එය ප‍්‍රමාණවත් නැහැ. ජාති, කුල, ආගම් වලින් තොර පුරවැසි එකතුවකිනුයි මෙය කළ හැක්කේ. එය මිනිස්සුන්ට සමීප, ජීවමාන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ එවිටයි.
දැනට මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ඔබ සංවිධානය සිදු කරමින් සිටින කටයුතු මොනවාද ?
යම් යම් මානව හිමිකම් උල්ලංඝනයන්හිදී රජය විසින් ස්ථාපිත කර ඇති ආයතන හා අධිකාරීන් වලටත්, ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධාන වලටත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීම. ඒ වගේම ප‍්‍රායෝගිකව මානව හිමිකම් උල්ලංඝනයවීම් වලදී පවතින නීතියේ වරප‍්‍රසාදය ලබා ගැනීමට නොහැකි පුද්ගලයන් ඊට යොමු කරවීම. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් ජීවත් වන ප‍්‍රජාව හරහාම ඇති කිරීම. ඔවුන් මුහුණ දුන් සිද්ධීන් ඇසුරින්ම නීතිමය සහ සමාජීය වශයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට වගේම ලැබෙන අයිතිවාසිකම් රැක ගැනීමේ වුවමනාවක් නැහැ. පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොවන තෙක් මේ ප‍්‍රශ්නය මේ විදිහටම තියෙයි. ඒ කියන්නේ පුරවැසියන් නීතිය ඉල්ලා සිටින සමාජයක් රටේ ඇතිවිය යුතුයි.

Back to Home

Thursday, December 11, 2008




















17 වන සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා වහා කි‍්‍රයාත්මක කිරීමට හා නීතියේ පාලනය ඇති කිරීමට රජයට බලකරමින් නීතියේ පාලනය සදහා පුරවැසි ව්‍යාපාරය ඇතුළුව මානව හිමිකම් දිනය සැමරීමේ කමිටුව තවත් සිවිල් සංවිධාන රාශියක් එකමුතුවෙන් පසුගිය දෙසම්බර් 10 වන දා වැඩසටහන් රැසක් පැවැත්වූහ. මානව හිමිකම් පිළිබද කිසිදු තැකීමක් නොකොට වත්මන් රජය ගෙන යන ඒකාධිකාරී පාලනය හමුවේ කඩවෙන සියළු ශ‍්‍රී ලාංකික ජනයාගේ මානව අයිතිවාසිකම් උදෙසා මෙම සංවිධාන එදින දවස පුරාම විවිධ ක‍්‍රියාකාරකම් වල නිරත වූහ.

සියළු ජාතීන්ගේ නියෝජනයෙන් එදින පැවැත්වූ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ ජේ.සී වැලිඅමුණ, රයිට්ස් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීන් දේශනයන් පැවැත්වූහ.


Sunday, November 30, 2008

තිස්සනායගම්ගේ පාපොච්චාරණය වොයර් ඩයර් පරීක්ෂණයට

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව සැකකරුවෙකු කරන ලද අපරාධයක් පිළිබඳව පොලීසියට කරන පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව නඩු විභාගයකදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැකිය. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරවරයෙකුට නොඅඩු නිලයක් දරණ නිලධාරියෙකුට ස්වේඡාවෙන් කරනු ලැබු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව සාක්ෂියක් ලෙස යොදා ගත හැකිය.එලෙස කරන ලද පාපොච්චාරණයක ස්වේච්ඡාභාවය පිළිබඳ පසු අවස්ථාවකදී අධිකරණය හමුවේ ප‍්‍රශ්න කළහොත් එහි නිවැරදි භාවය සොයා බැලීමට අධිකරණය පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරන අතර එය වොයර් ඩයර් පරීක්ෂණය ලෙස හඳුන්වයි.

තිස්සනායගම් නඩුව සම්බන්ධයෙන්ද වොයර් ඩයර් විමර්ශනයක් පසුගිය දිනෙක පැවැත්වුණි. එහි අවසාන වාචික දේශනය ඉකුත් සිකුරාදා අවසන් කරන ලද අතර පාපොච්චාරණයේ සාක්ෂිමය ලෙස ඇති අදාළත්වය පිළිබඳ තීන්දුව දෙසැම්බර් 05 වන දින ලබා දීමට නියමිතයි. නඩුව මෙහෙයවන රජයේ අධිනීතිඥවරයාගේ ප‍්‍රවේශයට අනුව තිස්සනායගම් විසින් ත‍්‍රස්තවාදී කටයුතු විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නන්දන මුණසිංහ හට පවසා ඇත්තේ ඔහුට අපරාධ පිළිබඳ පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බවකි. එවිට ඔහු විසින් සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.රණසිංහට ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස උපදෙස් දුන් බවත්ය.සහකාර පොලිස් අධිකාරී රණසිංහගේ සාක්ෂිය අනුව ඔහු තිස්සනායගම් ඒ සඳහා කැඳවන ලද බවත් ඒ අනුව කුමක් සඳහා ඔහුට තමන්ව අවශ්‍ය වී ඇතිද යන්න විමසීමේදී තිස්සනායගම් ප‍්‍රකාශ කර සිටියේ තමාට පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය වී ඇති බවත්ය. මෙහිදී සහකාර පොලිස් අධිකාරිවරයා තිස්සනායගම්ට මේ ආකාරයේ පාපොච්චාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවූ බවත් පාපොච්චාරණයන්ට අදාළ නීතිමය තත්ත්වයන්ද ඔහුට පැහැදිලි කළ බවත් පසුව තවදුරටත් මේ පිළිබඳ සිතා බැලීම සඳහා කාලය ලබා දෙමින් තිස්සනායගම් ආපසු යවමින් මැයි මස 09 වන දින නැවත පැමිණෙන ලෙස නියෝග කළ බවත් කියන ලදි.
ඒ අනුව මැයි 09 වැනිදා තිස්සනායගම්ව නැවත කැඳවන ලදි. එම අවස්ථාවේ තිස්සනායගම් සහකාර පොලිස් අධිකාරීවරයාට කියා සිටින ලද්දේ තමන්ට තව දුරටත් තම පාපොච්චාරණය කිරීමට අවශ්‍යව ඇති බවයි. මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයා නැවත වරක් ඔහුට අවවාද කර අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳවද නැවතත් පැහැදිලි කර ඔහුගේ පාපොච්චාරණය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත. එහිදී ඔහු පාපොච්චාරණය යතුරු ලියනය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලදි. එවිට තිස්සනායගම් තදින්ම කියා සිටියේ ඔහුගේ පාපොච්චාරණය යතුරු ලියනය කිරීමට අවශ්‍ය නොවන බවත් එය තමන්ගේ අත් අකුරින් ලිවීමට අවශ්‍ය බවත්ය.

විත්තියේ ස්ථාවරය වුයේ බැලූ බැල්මට පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව අධිකරණයට පෙනී යන්නට නම් අධිකරණයට එපමණින්ම එය ඉවත දැමිය හැකි බවයි. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකා නීතිය ද පිළිගනු ලබයි. නමුත් පාපොච්චාරණ සාමාන්‍ය නීතිය යටතේ පිළිගනු නොලබයි. ඉන් අවස්ථාව ලැබෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සහ හදිසි නීතියට පමණි. මේ නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ හදිසි නීති පනත යටතේ තමා විසින්ම තමාට එරෙහිව අපරාධ චෝදනා නැගිය නොහැකිය යන ආරක්ෂක මූල ධර්මය ඉවත් වන අතර මෙහිදී පුරවැසියෙකුට ඇති ආරක්ෂාව වන්නේ එලෙස සිදුවීමට ඇති හැකියාව පිළිබඳව කරුණු අධිකරණයට දක්වා සිටීම පමණි.විත්තිය ප‍්‍රකාශ කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුගේ සාක්ෂියේ ප‍්‍රකාශ කරන ලද ආකාරයට මැයි 07 වන දින ඔහු විසින් කියවා විස්තර කරන ලද පසු තිස්සනායගම් ගැසට් පත‍්‍රයට අත්සන් කරන ලද බවත්ය.

නමුත් මෙම ගැසට් පත‍්‍රය අධිකරණය හමුවට ඉදිරිපත් කර නැත. අවවාද කිරීමේ ප‍්‍රකාශය යතුරු ලියනය කර තිබුනද ඒ මත තිස්සනායගම්ගේ අත්සන නොමැත.මේ ලියවිලි ඉදිරිපත් නොකිරීම නිසා සහ අත්සන නොමැති නිසා මෙමඟින් පෙනී යන්නේ තිස්සනායගම් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බවයි. ඔහු කියා සිටිනු ලැබුයේ ඔහු පාපොච්චාරණයක් කිරීමට අපේක්ෂා කරන බවට කිසිදා ප‍්‍රකාශ නොකරන ලද බවත් ඔහු සහකාර පොලිස් අධිකාරීවරයා හමුනොවු බවත් ඔහු විසින් මැයි 07 වනදා සිදුවු බවට ප‍්‍රකාශ කළ සියල්ල සාවද්‍ය බවත්ය. දෙවනුව විත්තිය විසින් කියා සිටිනු ලැබුයේ සහකාර පොලිස් අධිකාරීවරයා මැයි 09 වනදා තිස්සනායගම් හට ප‍්‍රකාශයක් කිරීමට බල කරන ලද අවස්ථාවේ එහි නොසිටි බවට ඔප්පු වනු ලබන්නේ සාක්ෂි දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා පැහැදිලිව ප‍්‍රකාශ කරනු ලබන්නේ 09 වන දින උදෑසන තිස්සනායගම් අධිකරණ වෛද්‍යවරයා වෙතට ගෙන ගිය බවයි. නමුත් අධිකරණයේදී අදාළ ලියවිලි කියවීමෙන් පසු සහකාර පොලිස් අධිකාරවරයා තිස්සනායගම් අධිකරණ වෛද්‍යවරයා වෙත නොව ඇස් රෝහල වෙත ගෙන ගිය ලද බව අවබෝධ කර ගන්නා ලදි.
තිස්සනායගම් 09 වන දින මෙම අවවාදාත්මක ලිපියට අත්සන් කර නැත. ඔහු ප‍්‍රකාශයට අත්සන් තබා ඇත. මෙනිසා මෙමඟින්ද තිස්සනායගම්ගේ සාක්ෂිය තහවුරු කරන අතර ඔහු හට කිසිදු අවවාදාත්මක ප‍්‍රකාශයක් කියවා තේරුම් කර නොදෙන අතර රසීක් නැමැති නිලධාරියා විසින් ඔහුට ඔහුගේ ප‍්‍රකාශය ලියන ලෙස බල කරන ලද අතර එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා එහි නොසිටින ලදි. අවවාදාත්මක ප‍්‍රකාශය පසුව අවස්ථාවක යතුරු ලියනය කර ඇත.

විත්තිය විසින් තවදුරටත් කියා සිටින ලද ආකාරයට තිස්සනායගම් දෙන ලද සාක්ෂිය අනුව ඔහුට බුද්ධි අංශය විසින් පහරදී ප‍්‍රශ්න කර වෙනත් රැඳවියන් සමඟ ඔහු රඳවා තිබු බවයි. ඔහුට ඇසුනු හා පෙනුනු ආකාරයට එලෙස පහර කෑමට ලක්වු රැඳවියන් තමන්ගේ වේදනාව අඩුකර ගැනීමට රාත‍්‍රියට බාම් වර්ග අලේප කර ඇත.ඔහු අත් අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී ඔහු තර්ජනය කිරීම් වලට ලක් කරන ලදි. ඔහු සඳහා පෞද්ගලිකව නීතිඥවරයකුගේ ප‍්‍රවේශය ලබා නොදෙන ලද අතර මෙවැනි වාතාවරණයක් යටතේ තිස්සනායගම්ගේ ප‍්‍රකාශය ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ලබා දීමට සිදු වු බවට විත්තියේ නීතිඥ ප‍්‍රකාශ කරන ලදි.අධිකරණ වෛද්‍ය නිලධාරීයා සාක්ෂි දෙමින් කියා සිටින ලද්දේ ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය තුළදී වධ හිංසා සිදු වී ඇති බවත් තිස්සනායගම්ගේ මිතුරා වන ජසීහරන් හට මොට්ට ආයුධ වලින් පහරදී ඇති බවත්ය. මෙම නිසා තිස්සනායගම්ගේ සාක්ෂිය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂිය මඟින් තහවුරු වෙයි.

පොදුවේ ප‍්‍රජාවකට හිංසනය කිරීම නැවැත්විය යුතුයි.

ඇන්තනී වික්ටර් සෝ සේ පියතුමා
අනුනායක
මන්නාරම් පදවිය
සාකච්ඡා කළේ - තාරා ශ‍්‍රී රාම්

වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.

අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන එක ගැන. වන්නි ප‍්‍රදේශයේ කෙරෙන දේවල් ගැන ඔවුන්ට දැන ගන්න විදිහක් නැහැ. ඒ තුළම ඔවුන්ගේ හිත ඇතුළේ ලොකු බියක් හා චකිතයක් තියෙනවා.

මන්නරමේ ජනතාවගේ මානව හිමිකම් තත්වය ගැන කිවුවොත්....
උදාහරණයක් විදිහට මම මන්නාරම, වවුනියාව වගේ ප‍්‍රදේශ එක්ක සන්සන්දනය කරන්නේ යන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් මන්නාරමේ ඉස්සරට වඩා සුබවාදී වෙනස්කමක් දකින්න ලැබෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ප‍්‍රශ්නයක් නැහැ කියන එක. අතුරුදහන් වීම් වගේ දේවල් තියෙනවා. ඒක බරපතල ප‍්‍රශ්නයක්. මරා දැමීම් වැනි දේවල් ජූනි මාසේ ඉඳන් අපිට වාර්තා වෙලා නැහැ. අත් අඩංගුවට ගැනීම් සිදු වෙන්නෙත් නැහැ වගේ පේන්නේ. ඒකට හේතුව කෙලින්ම සිද්ධ වෙන්නේ අතුරුදහන් කිරීම්.

මන්නාරමේ කලිමුන්ඩායි හා සිරුක්කුන්ඩාල් අවතැන් කඳවුරුවල වර්තමාන තත්ත්වය මොකක්ද?
මානුෂික පදනමින් බලන කොට මේක මහා අපරාධයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ මිනිස්සුන්ට අවස්ථාව තියෙන්න ඕන තමන් කැමති තැනකට ගිහිල්ලා වාසය කරන්න. නමුත් ආරක්ෂක අංශ කියන්නේ මේ කඳවුරුවල ජාතික ආරක්ෂාවට හානිදායක ක‍්‍රියාවල නිරත වෙන අය ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන්ව එහෙම තියාගන්න අවශ්‍යයි කියන එක. ඒකට අපේ ස්ථාවරය තමයි එවැනි අය ඉන්නවනම් ඔවුන්ව නිවැරදිව තෝරගෙන ඒ අය වෙනුවෙන් පුනුරුත්ථාපනය වගේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්න කියන එක. පොදුවේ අරන් හැමදෙනාම මෙහෙම තබා ගන්න එක වැරදියි කියලයි අපි කියන්නේ. විශේෂයෙන්ම ඖෂධ වගේ විශේෂ අවශ්‍යතා ඕන අය ඉන්නවා. ගැබිණි මව්වරු ඉන්නවා. වයසක අය, ළමයි ඉන්නවා. ඒවගේ අයටවත් චාන්ස් එකක් ලබා දෙන්න ඕන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.

මඩු දේවස්ථානයේ වත්මන් තත්ත්වය ගැන කිවුවොත්...
මඩු දේවස්ථානය දැනට දැඩි ආරක්ෂක රැකවරණයකින් යුක්තවයි රජය පවත්වා ගෙන යන්නේ. දේවස්ථානය බාර පියතුමා ඇතුළු එකොළොස් දෙනෙක් විතරයි දැනටඑහි ඉන්නේ. ඊට අමතරව කෙනෙක් යනවා නම් දීර්ඝ කාලයකට කලින් දැනුම් දීලා අවසර අරන් තමයි යන්න වෙලා තියෙන්නේ. එතන පූජ්‍ය ස්ථානයක් වුනාට ජනතාවට ගිහිල්ලා වන්දනාමාන කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒක ප‍්‍රශ්ණයක් විදිහටයි අපි දකින්නේ. ආරක්ෂක තත්ත්වය නිසා අපට කරන්න වෙලා තියෙන කැප කිරීමක් මේක.

දෙමළ ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන මේ හිංසනය ගැන ඔබගේ අදහස මොකක්ද?
අපේ ස්ථාවරය වැරදි කරන අය ඉන්නවානම් ඒගොල්ලන්ට එරෙහිව නීතියට අනුව දඬුවම් කළ යුතුයි කියන එක. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ එහෙම වැරදි කරන අයට දඬුවම් කරන්න උසාවි ක‍්‍රමයක් තියෙනවා. නමුත් පොදුවේ ප‍්‍රජාවකට හිංසනයක් කරන එක අපිට පිළිගන්න අමාරුයි. එතකොට වෙන්නේ ජාතීන් අතර වෛරය තවත් වැඩි වෙන එක. ඒනිසා පොදුවේ කරන මේ හිංසනය නවත්වන්න ඕන. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නම් සිංහල, දෙමළ ඕන කෙනෙකුට මානව ගරුත්වයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.

වත්මන් රජයෙන් ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කරන බවක් පෙනෙන්න නැහැ. එම නිසා එයට ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි කියලා හිතනවාද?
ඔව්. මං හිතන්නේ ඒක අන්තර්ජාතික වශයෙන් අපට කරන උදව්වක්. මැදිහත්වීමක් නෙවෙයි. අපට ජාත්‍යන්තර උදව් අවශ්‍යයි. ලෝකයේ විවිධ කලාපවල මානව හිමිකම් තත්ත්වය එකිනෙකට වෙනස්. අද ලෝකයේ රටවල් ගත්තාම අන්‍යොන්‍ය යැපීමක් තියෙන්නේ. එය ලංකාවටත් අදාළයි. ඒක ලංකාව තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමින් ලෝකයේ මානව හිමිකම් රාමුවක් වර්ධනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අන්තර් ජාතික ප‍්‍රමිති තියෙනවා. ඒවා ගැන වඩා සැලකිල්ලක් දක්වලා අන්තර්ජාතික මට්ටමින් සහයක් ලබා ගන්න එක වැදගත්.

වාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා හිතනවාද?
අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. මට ස්ථීර වශයෙන්ම එය මොන වගේ විසඳුමක් වෙන්න ඕනද කියලා කියන්න අමාරුයි. ඒ වුනාට අපි දන්නවා තමන්ගේ රටේ දේශපාලන අර්බුදවලට විවිධාකාර ක‍්‍රම මඟින් විසඳුම් සොයපු ලෝකයේ විවිධ රටවල් තියෙනවා. අපිට පුළුවන් ඒ විවිධ ක‍්‍රම ගැන අධ්‍යයනය කරලා ලංකාවට ගැලපෙන එකක් සොයාගන්න. මොකද විවිධ පාර්ශ්වයන්ට හුඟක් දේවල් පරිත්‍යාග කරන්න සිද්ධවෙලා තියෙනවා මේ දිගු කාලීන යුද්ධය වෙනුවෙන්. එම නිසා අපිට අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි.

Back to Home