Friday, April 2, 2010

මානව හිමිකම් කොමිසමේ අයිතිය පුරවැසියන්ටයි


බී.ස්කන්දකුමාර්
නීතිය හා සමාජ භාරයෙහි
වැඩ බලන විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අනාගත වැඩපිළිවෙල සඳහා සිවිල් සමාජ සංවිධානවල දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් මාර්තු 26 වන දින කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මානව හිමිකම් කොමිෂන් සභාවේ වර්තමාන තත්ත්වය සහ සිවිල් සමාජ සංවිධාන ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ගය පිළිබඳ ප‍්‍රකට සිවිල් සමාජ සංවිධානයක් වන නීතිය හා සමාජ භාරයෙහි වැඩ බලන විධායක අධ්‍යක්ෂ බී.ස්කන්දකුමාර් සමඟ ‘සමබිම’ කළ සාකච්ඡාවක් පහත පළ වේ. ස්කන්ධකුමාර් මානව හිමිකම් කොමිෂමේ කටයුතු විමර්ශනය කරමින් ”ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවඃ පිට ඔපයක් පමණද?” නමින් ග‍්‍රන්ථයක්ද පළකර ඇත.

කිසියම් රටකට මානව හිමිකම් කොමිසමක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම රටක්ම මානව අයිතිවාසිකම් පිළිබඳ සිය කැමැත්තෙන්ම පනවා ගන්නා වගකීමකට බැඳෙනවා. එය සාමාන්‍යයෙන් සිදු වන්නේ කිසියම් ජාත්‍යන්තර ගිවිසුමකට හෝ සම්මුතියකට බැඳීමෙනුයි. සම්මුතියකට අත්සන් තැබීමෙන්, ඉන්පසු එය සපථ කිරීමෙන්, එය රටේ ජාතික පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ගැනීමෙන් මෙම බැඳීම සනාථ කළත් වඩා වැදගත් වන්නේ මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීමය. ජාතික මානව හිමිකම් ආයතන වශයෙන් සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන මානව හිමිකම් කොමිසම වැනි ආයතන ජාතික වශයෙන් පිහිටුවීමට රටවල් දිරි ගැන්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියා කළේ මෙසේ අයිතිවාසිකම් බලාත්මකවීම සහතික කිරීමේ ක‍්‍රියාමාර්ගයක් හැටියටයි. වෙනත් වචනයකින් කීවොත් මානව හිමිකම් කොමිසම යනු රාජයේ කටයුතු අධීක්ෂණය කිරීමට බලය පවරමින් රාජ්‍ය විසින්ම ස්ථාපනය කරනු ලබන ආයතනයක්. රාජ්‍යය විසින් පිහිටුවන ලද සහ රාජ්‍යය විසින් මුදල් ප‍්‍රතිපාදන සපයන නිසා රාජ්‍ය ආයතනයක් වන්නාවූද රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කරන බැවින් ස්වාධීන ආයතනයක් වන්නාවූද දෙමුහුම් ආයතනයක්. මෙය හරියට රජය විසින් පිහිටුවා මුදල් ප‍්‍රතිපාදන ලබාදී ක‍්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වැනිය.
මානව හිමිකම් කොමිසම රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කිරීම යන්නෙන් එය රාජ්‍ය සමඟ හැමවිටම පස මිතුරු සම්බන්ධයක් පැවැත්විය යුතු යැයි අදහස් වන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීම, පවතින නීති පිළිබඳ තම අදහස ඉදිරිපත් කිරීම, මානව හිමිකම් අධ්‍යාපනය ලබාදීම වැනි කටයුතුවල නිරත වීමද එය විසින් සිදුකරනු ලබනවා. ඒ සියල්ලටම වඩා එය රජයේ නිළධාරියෙකුගේ ක‍්‍රියාවක් හෝ නොකරහැරීමක් මඟින් තම අයිතිවාසිකම් කඩවූවා යැයි කල්පනා කරන පුද්ගලයෙකුට ඒ සම්බන්ධව පැමිණිලලක් ඉදිරිපත් කොට සහනයක් ලබාගත හැකි ආයතනයක් ලෙසද ක‍්‍රියාත්මක විය යුතුයි.

මේ වන විට කොමිෂන් සභාවට කොමසාරිස්වරු පත්කර නෑ. මෙයින් කොමිසමේ යුක්තිසහගතභාවයට බරපතල අභියෝගයක් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇත්තේ ඇයි?
මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරුන් පත් කිරීම පිළිබඳ ක‍්‍රියාවලිය දෙස බලන බාහිර නිරීක්ෂකයෙකුට එළැඹිය හැකි නිගමනය නම් විධායකයේ අභිප‍්‍රාය දුර්වල ව්‍යවස්ථාපිත කොමිසන් සභාවක් පවත්වගෙන යාම බවයි. මානව හිමිකම් කොමිසමට 2006 සිට අත්ව ඇති කණගාටුදායක ඉරණම පමණක් නොව අනෙක් කොමිෂන් සභාවලට පත්වී ඇති ඉරණම දෙස බැලූ විටද එය පැහැදිලිව වෙනවා. උදාහරණයක් වශයෙන් අල්ලස් කොමිසමේ නිල කාලය මාර්තු 31 වෙනිදායින් අවසන් වෙනවා. ඉන්පසු ඒ පිළිබඳව රජය කරන්න යන්නේ කුමක්ද යන්න අප තවමත් දන්නේ නැහැ. ආණ්ඩුව මේ පිළිබඳව නිහඬව සිටින අතර එම ආයතනවලට නායකත්වය දිය හැකි පුද්ගලයන් පත් නොකරනු ලැබීම නිසා ඒවා අඩපණ වීගෙන යනවා. මේ අනුව අපට පැමිණි හැකි නිගමනය වන්නේ රාජ්‍යය තම බලතල, අධිකාරිය සහ තීරණ ගැනීමේ බලය කිසිදු අභියෝගයකට ලක්වනු දැකීමට අකමැති බවයි.

මේ තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් සෑහෙන තරම් අවධානයක් යොමු වී තිබුණත් ජාතික ජනමාධ්‍ය තුළ හෝ පොදු මහජනයා අතර මේ පිළිබඳව උනන්දුවක් ඇති බව පෙනෙන්නේ නැහැ. මෙය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
මෙයට හේතු ගණනාවක් බලපානවා. එක් පැත්තකින් ජාත්‍යන්තර තලයේ ඇති වී තිබෙන මේ වර්ධනයන් දේශීය වශයෙන් බරපතල ලෙස සැලකිල්ලට ගත යුත්තේ ඇයි ද යන තර්කය හරිහැටි මහජනයා හමුවේ ඉදිරිපත් කිරීමට අප අසමත් වී තිබෙනවා සිවිල් සමාජ සංවිධාන වශයෙන් අප ඒ ගැන ස්වයං විවේචනයක යෙදිය යුතුයි. ඊළඟට ජාත්‍යන්තර වශයෙන් විවිධ මානව හිමිකම් ආයතන විසින් ලංකාව සම්බන්ධයෙන් කරන ඕනෑම මැදිහත්වීමක් ශ‍්‍රී ලංකා විරෝධී කුමන්ත‍්‍රණයක් ලෙස හිතාමතා සැලසුම් කොට ක‍්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක් යැයි පැවසීම ඉතා සාර්ථක වී තිබෙනවා.
මීළඟ කරුණ මානව හිමිකම් කොමිසමට ලැබෙන පැමිණිලි වලින් වැඩි හරියක් පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම්, රාජ්‍ය සේවයේ පත් කිරීම්, මාරු කිරීම් හා උසස්වීම් වැනි කරණු පිළිබඳ ගැටලූයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ රාජ්‍ය සේවකයින් පිරිසක් තමන්ට ඇතිවී අති ප‍්‍රශ්න විසඳා ගැනීමට තවත් රාජ්‍ය සේවකයෙන් පිරිසක් වෙත ගොස් පැමිණිලි කිරීමයි.
කොමිසමේ තත්ත්වය පහළට වැටුණත්, කොමසාරිස්වරුන් පත් නොකළත් මේ දක්වාම මානව හිමිකම් කොමිසමට භෞතික පැවැත්මක් තියනවා. මානව හිමිකම් කොමිසමට කාර්යාලයක් තියනවා. එහි නිලධාරීන් ඉන්නවා. ඔවුන් පැමිණිලි බාර ගන්නවා. විමර්ශන පවත්වනවා. ඒ නිසා මේ ආයතනය ක‍්‍රියාත්මක වන බව තමයි පෙනෙන්නේ. ඒ නිසා එය මුහුණ දී තිබෙන වර්තමාන ගැටලූව මහජනයාට අවබෝධ වෙන් නෑ. සමහරවිට එම ආයතනය සම්පූර්ණයෙන් නැතුව ගිය දාට තමන්ට පැමිණිලි කිරීමට කිසිම තැනක් නැති බව මහජනයාට වැටහුණු විට ඔවුන්ගේ උනන්දුව ඇතිවේවි.

මෙවැනි තත්ත්වය තුළ මානව හිමිකම් කොමිසම පිළිබඳ සිවිල් සමාජයේ උපායමාර්ගික ප‍්‍රවේශය විය යුත්තේ කොමසාරිස්වරුන් නැති කොමිසම සම්පූර්ණයෙන් වර්ජනය කිරීමද? නැතිනම් ඒ සමඟ විවේචනාත්මක සම්බන්ධතාවයක් පැවැත්වීමද?
මෙම ප‍්‍රශ්නයට ”ඔව්” හෝ ”නැහැ” යනුවෙන් සරල පිළිතුරක් දීය නොහැකියි. මගේ අදහස විවිධ මට්ටම් වලදී විවිධ ආකාරයට ක‍්‍රියාත්මක වන උපාය මාර්ග යොදා ගත යුතු බවයි.
උදාහරණයක් ලෙස මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීමට පදනම් වූ නීතියේ අඩුපාඩු, දුර්වලතා හා ඌණතා මඟ හරවා ගැනීම, 17 වන සංශෝධනය ක‍්‍රියා විරහිත වීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පත් නොකිරීම නිසා ඇති වී තිබෙන ගැටලූ මඟ හරවා ගැනීම පිණිස අපි කෙළින්ම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ සිටින අපගේ දේශපාලන නියෝජිතයන් සමඟ කෙළින් කථා කර විසඳා ගත යුතුය.
අපේ ආරම්භක පියවර විය යුත්තේ, 2006 දී කළ කොමසාරිස්වරුන්ගේ පත් කිරීමේ ක‍්‍රියාවලිය යුක්ති සහගත නොවන බවත් එම පත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කොමිසමට බාහිර වශයෙන් පමණක් නොව අභ්‍යන්තර වශයෙන් ද අහිතකර බලපෑමක් ඇති වූ බවත් කොමිසමේ නිලධාරීන් සහ කොමසාරිස්වරුන් අතර සම්බන්ධතාවය, කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්ය සහ විශේෂයෙන්ම සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම අතර සම්බන්ධතාවය බිඳ වැටීමට එය හේතු වූ බවත් ඒත්තු ගැන්වීමයි.
කෙසේවුවද කොමිසමේ මූලස්ථානයෙහි මෙන්ම ප‍්‍රාදේශීය ක්ෂේත‍්‍ර කාර්යාල වල සේවය කරන තමා කරන කාර්යයේ වැදගත්කම හඳුනන තම අරමුණු කෙරෙහි කැපවී ක‍්‍රියාකරන, තම ආයතනයේ හැකියාව යොදාගෙන මහජනයාට සහ විශේෂයෙන්ම වින්දිතයන්ට කිසියම් සහනයක් ලබාදෙන ඉතා හොඳ නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයක් ද සිටින බව අප මෙහිදී අමතක නොකළ යුතුය.

”ජාතික මානව හිමිකම් කොමිසම ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අයිති ආයතනයක්. එය යම්කිසිවකු විසින් අපයෝජනයට ලක් කිරීම, සූරා කෑම හෝ එම හේතු මත අපවාදයට පාත‍්‍රවීම නිසා අපි එයට පිටුපාන්නේ නැහැ. අප කොමිසම දෙස බලන්නේ මානව හිමිකම් ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වශයෙන්. සත්තකින්ම එහි භූමිකාව සිවිල් සමාජ සංවිධානවල භූමිකාවට වඩා වෙනස්. නමුත් මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ආයතනයක් සතුව ඇත්තේ එකම පරමාර්ථයක් වන අතර අප සියළුදෙනාම එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට යන ගමන් මගේ සහකරුවන්ය. රාජ්‍යයට එකක් හා රාජ්‍ය නොවන සංවිධානවලට තවත් එකක් වශයෙන් මානව හිමිකම් නිර්ණායක දෙකක් නොපවතින අතර ඇත්තේ එකම සාර්වත‍්‍රික නිර්ණායකයක්.
සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් කොමිසම එකිනෙකාට සලකා ගත යුත්තේ මිතුරු ආකල්පයෙන්. මිතුරන් හැමවිටම එකිනෙකා හා එකඟ නොවන නමුත් මිතුරන් එකිනෙකාගෙන් පෝෂණය වේ. සිවිල් සමාජ සංවිධාන දුර්වල වුවහොත් එය පෙරලා මානව හිමිකම් කොමිසම දුර්වල වීමටද බලපාන අතර කොමිසම දුර්වල වීම සිවිල් සමාජ සංවිධානවලටද අහිතකර ලෙස බලපායි.”

Back to Home
View Pdf

Friday, March 19, 2010

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා මූලිකව ක‍්‍රියා කිරීම සියළු දේශපාලන පක්ෂවල කාර්යභාරය වන්නේය. එම සටනේදී රටේ වාමාංශික පක්ෂ මත පැවරෙන්නාවූ වගකීම ඉමහත්ය. සමාජයේ පීඩනයට ලක් වි සිටින වරප‍්‍රසාද අහිමි ගොවි කම්කරු ජනතාවගේ ගැලවීම සඳහා සටන් කරනු ලබන වාමාංශික පක්ෂවලට තම සටන ඉදිරියට ගෙනයාමට මුලික අවශ්‍යතාවය වන්නේ පවතින්නාවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමය. මෙම ඓතිහාසික යුතුකම මගහැරිය නොහැකිය. අවස්ථාවාදීව ක‍්‍රියාකරමින් මෙම මුලික යුතුකම මගහැරියහොත් එමගින් වාමාංශික පක්ෂ නියෝජනය කරන්නාවූ ජනතාවගේ අයිතීන් සඳහා සටන් කිරිමට ඇති අවකාශය අහිමිවීම තුළින් ප‍්‍රධාන වශයෙන් මර්දනයට ලක්වන්නේ එම වැඩකරන ජනතාව බව ඉතිහාසය අපට පෙන්වාදී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩා වැටීමත් සමග බුද්ධිමතුන් හා වෘත්තිකයින්ට ඇති වන්නාවු මර්දනය හා පීඩනයත් සමඟම කම්කරු ජනතාවද පීඩනයට හා මර්දනයට පත්වීම අප අද ලෝකයේ ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය බිඳ වැටී ඇති සිම්බාබ්වේ, නයිජීරියාව, මියන්මාරය (බුරුමය) වැනි රටවල් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියළු බලවේග එ්කරාශී කිරීම මූලික අවශ්‍යතාවය වන්නේය. එම බලවේග සලකා බැලීමේදී වැදගත්ම බලවේගය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා සංවිධාන වේ. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින සියළු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ සටන ප‍්‍රධාන අභියෝගය වේ. රටක ආර්ථිකය පිළිබඳ, සංවර්ධන මාවත පිළිබඳව මෙන්ම අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව වෙනස් මත දැරුවද අපගේ පාලන ක‍්‍රමයේ පදනම මෙන්ම ශිෂ්ටසම්පන්න සමාජයක මුලික පදනම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයත් ගත යුතුව ඇත.
එම සටනේදී වාමාංශික පක්ෂ හා දක්ෂිණාංශික මත දරණ පක්ෂ හා වෙනත් සංවිධාන එක්සත්ව මෙම සටන දියත් කළ යුතුව ඇත. එසේ නොමැති අවස්ථාවලදී ඉතා දරුණු ප‍්‍රතිවිපාක ජනතාවට මුහණ දීමට සිදුවී ඇති බව ඉතිහාසයෙන් පෙන්වාදී ඇත. මෙයට හොඳම උදාහරණය ජර්මනියේ පැසිස්ටිවාදී හිට්ලර්ගේ එ්කාධිපතිවාදයට විරුද්ධ සටනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සියලූ පක්ෂ හා සංවිධාන එක්සත් ක‍්‍රියාමාර්ගයන් සඳහා එක් නොවීමය. ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය හා අනෙකුත් වාමාංශික බලවේග විශේෂයෙන්ම ප‍්‍රබල කම්කරු පන්තිය නියෝජනය කළ සංවිධාන හිට්ලර්ට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන අඩපණවීම තුළින් සිදුවූ මහා විනාශය මෙනෙහි කිරීම වැදගත් වේ. මීට සමාන සිදුවීම් තවත් නොයෙකුත් රටවල් තුළ සිදුවී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම තුළින් සියළු දේශපාලන ක‍්‍ර‍්‍රියාවල යෙදීමේ අයිතිය අහිමිවීම පමණක් නොව ජනතාවගේ මුලික මානව හිමිකම් පවා අහිමිවිම තුළින් රට තුළ ඉතා පසුගාමී පීඩනකාරී පාලනයක් මතු වේ.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සටන මූලික හා ප‍්‍රධාන සටන විය යුතුය. පසුගිය කාලය තුළ පැවැති පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණ තුළින් අපට කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවී ඇද්ද යන්න මනාසේ පෙන්වා ඇත. මෙම මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ සේ කිසිසේත්ම පිළිගත නොහැක. එම මැතිවරණ වලින් ජනතාවට නිදහස්ව තම පාලකයින් තෝරාගැනීමට අවස්ථාව අහිමි වූ බව පිළිගත යුතුව ඇත. සියළු මැතිවරණ නීති රීති කඩ කරමින් රටේ නීතියට කිසිදු ගරු කිරීමක් නොමැතිව, රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍යයන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා කිසිදු ලැජ්ජාවක් නොමැතිව භාවිතා කිරීමෙන් මෙන්ම තම විරුද්ධාවාදීන්ට තම ඡුන්ද ව්‍යාපාරය ගෙනයාම සඳහා ඇති නිදහස අහිමි කරමින්, පොලීසිය හා රාජ්‍ය සේවය යෙදවීම තුළින් නිදහස් හා සාධාරණව මැතිවරණ සටන පැවැත්වීමේ අයිතිය ජනතාවට අහිමි කර ඇත. රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය සඳහා නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම පමණක් නොව පුද්ගලික මාධ්‍ය වෙතද නොයෙකුත් තර්ජන ඇති කිරීම තුළින් ඔවුන්ටද නිදහස්ව මැතිවරණය වාර්තා කිරීමේ අයිතිය අහිමි කළ බව රහසක් නොවේ.
මෙවැනි අසාධාරණ ඡන්ද ව්‍යාපාරයකින් බලයට පත්වීමෙන් පසුවද තම දේශපාලන ප‍්‍රතිවාදීන් වෙත ක‍්‍රියා කරනු ලබන අසාධාරණ හා නීති විරෝධී මෙන්ම මර්දනකාරී ක‍්‍රියාදාමය තුළින් ගොඩනැගී එන ඒකාධිපති ක‍්‍රමයේ බැරැරුම්කම ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇත. ජනාධිපති මැතිවරණයෙන් පසුව ප‍්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ක‍්‍රියා කර ඇති ආකාරයෙන් අති භයානක සම්පූර්ණ ඒකාධිපති පාලනයකට ආසන්න බව පෙන්වා ඇත.
එපමණක් ද නොව පසුගිය වසර දෙක තුළ සිදුවී ඇති මාධ්‍යවේදීන් මරාදැමීම, මාධ්‍යවේදීන්ට පහරදීම පුද්ගලික මාධ්‍ය ආයතනවලට පහරදීම මෙන්ම ප‍්‍රවෘත්ති පළකිරීම පිළිබඳව පනවා අති නිල නොවන වාරණය තුළින් ඉතා පැහැදිලිවම මෙම යුගයේදි විරුද්ධ මත නොඉවසන බවත්, විරුද්ධ අදහස් දැරිමේ හා ප‍්‍රකාශ කිරීමේ නිදහස අහිමිවී ඇති බවත් පෙන්නුම් කරයි.
එහෙයින් මෙම මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා අපේක්ෂකයින් ජයග‍්‍රහණය කිරීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා සටන ශක්තිමත් කළ හැක. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සැමගේ මූලික යුතුකම වේ. මෙම යුතුකම මගහැරියහොත් අනාගතයේදී ඒ පිළිබඳව පසුතැවිලිවීමට සිදුවනු නොඅනුමානය.

Back to Home

Friday, March 12, 2010

ඇයි මේ අන්දොස් වෙලා ...?

මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි.ජනාධිපතිවරණයට පෙර ඇතිව තිබූ උණුසුම T-20 පන්දු ඕවර විස්සේ තරගයක් හේතුවෙන් ඇතිවන උනන්දුවට සමකළ හැකි නම්,මහ මැතිවරණය හරියට T-20 තරගාවලිය සත්කාරක රට විසින් දිනා ගැනීමෙන් පසුව පවත්වනු ලබන ටෙස්ට් ක‍්‍රිකට් තරගයක තත්ත්වයට පත්ව තිබේ.
හාවගේ සහ ඉබ්බාගේ රේස් දිවීම වැනි තරගයක් බවට ජනාධිපතිවරණය පත්වන බව ආණ්ඩුවේ තක්සේරුව විය. ඉබ්බා ෂුවර් එකටම පරදින බවට සහතික නමුත්, ඉබ්බාගේ පැත්තේම අය ලවා තරග පරාජයෙන් පසු ඉබ්බා බ්ලාස් යවා තමන්ට හිතවත් ඉබ්බකු ඉබි පිලේ නායකත්වයට පත් කිරීමට කල්පනා කරමින් ගහක් යට නිදි සුව විඳිමින් සිටි හාවාට දවල් තරු පෙනුණේ පොදු අපේක්ෂක ඉබ්බකු තමන් පසු කරමින් ඉදිරියට යන බව දුටු විටය. හිට්ලර්ගේ සිට ඉඩි අමීන්, සම්බන්ධන්,කලවැද්දන් හා චිංචිමානවිකාවන් වැනි සියළු බර අවි හා සැහැල්ලූ අවි වලින් පහර දී ඉබ්බා පරාජය කළත්, ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට මුලින් ප්ලෑන් කර තිබු පොදු ඉබ්බා මඩ සෝදාගෙන නිරුපද්‍රිතව තරගයට එන බව ආණ්ඩුව නිරීක්ෂණය කළෝය. කොහොල්ලෑ බබාට පහර දුන් ආකාරයට සියළුම අවයව වලින් පොදු අපේක්ෂකයාට පහරදී එම කොහොල්ලෑ ගොඬේ තමාද යම් තරමකට ඇලවී සිටින ආණ්ඩුවට සාපේක්ෂව විපක්ෂයට ද ඇත්තේ උන්නු හැටියට මළා මදැයි කිව්වාක් වැනි සාපේක්ෂ වාසිදායක තත්ත්වයකි.
එවැනි වාතාවරණයකදී පවතින සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නවලට කිසිදු සංයුක්ත පිළිතුරක් ඉදිරිපත් නොකරන ආණඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමන් කැමති ආකාරයට වෙනස් කිරීම සඳහා ‘බ්ලෑන්ක් චෙක්’ එකක් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිද්දි විපක්ෂයේ ප‍්‍රධාන බලවේග දෙක වන එක්සත් ජාතික පෙරමුණත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත් ඉදිරි පාදයේ ක‍්‍රීඩා කරමින් පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවද, අපට දක්නට ලැබෙන්නේ පාදයක් පසුපසට ගෙන සුපරික්ෂාකාරීව පන්දුවට පහර දෙන හෙවත් ජන වහරට අනුව කිව්වොත් ‘බෝල කන’ විපක්ෂයකි.
මෙයට පෙරද ‘සමබිම ’ සාකච්ඡා කර ඇති පරිදි ලංකාවේ ජීවත්වන අපට වර්තමාන ආණ්ඩුව විසින් ඉතිහාසයෙන් විරාමයක් ලබා දී තිබේ. අපායේ ඉන්ටවල් එක වැනි මේ නිවාඩුව මේ මැතිවරණයෙන් පසු අවසන් වන අතර ඉන්පසු සැබෑ අභියෝගයන්ට මුහුණදීමට අපට සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය (දැනට ප‍්‍රමාද කොට ඇති) ලබා ගැනීමට නම් දැන් සියයට දහයක් වන අය-වැය පරතරය සියයට හතක් දක්වා අඩු කළ යුතුය. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය යුරෝපා සංගමයෙන් නැවත ලබා ගැනීමට නම් දහහත් වන සංශෝධනය ක‍්‍රියාත්මක කොට, සිවිල් අයිතිවාසිකම්වලට පටහැනි මර්දන නීති සංශෝධනය කළ යුතුය. ඉන්දියාවෙන්, බි‍්‍රතාන්‍යයෙන් සහ ඇමෙරිකාවෙන් ලැබෙන සිග්නල් බලවත් වීමට පෙර දෙමළ ජනතාව සමඟ බලය බෙදා හදා ගැනීමේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය. ඒ සියල්ල හේතුවෙන් නිවාඩුවෙන්, ඉන්ටවල් එකෙන්, නින්දෙන් ඇහැරෙන ලාංකිකයාගේ දේශපාලන ප‍්‍රතික‍්‍රියාවලටද මුහුණ දිය යුතුය. විපක්ෂයේ බලවේග දෙකම මෙය හොඳින් දන්නා අතර ආණ්ඩුව මෙය නොදන්නවා යැයි සිතිය හැක්කේ තොත්ත බබෙකුට පමණි.
එසේ නම්, විපක්ෂයට මේ සියළු තුරුම්පු පාවිච්චි කරමින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ආණ්ඩුවේ නියෝජිතයන් අන්ද මන්ද වන ආකාරයට ප‍්‍රහාරක ශෛලියකට අනුගත වීමට නොහැකිව ඇත්තේ ඇයි?
මේ තත්ත්වය තේරුම් ගැනීමට අප වට වංගු සහිත මාර්ගයක් තෝරා ගනිමු. සමාජයේ ඉහළ පන්ති වලට අයත් ජන කොටස් සුවිශේෂ සංස්කෘතියකට උරුමකම් කියයි. එම සංස්කෘතික පුරුදුවලට අනුව ඔවුන් ඉතා පහසුවෙන් හැසුරුණත් අහම්බෙන් හෝ එවැනි ස්ථානයකට ඇතුළු වන පහළ පන්තියේ සාමාජිකයෙකු එම සංස්කෘතිය අනුව හැසිරෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය හමුවේ විශාල අසීරුතාවයකට පත්වෙයි. උදාහරණයක් ලෙස ටයිටැනික් චිත‍්‍රපටයේ රෝස්ගේ පවුලේ අය සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ආරාධනා ලබන පහළ පාන්තික තරුණයෙකු වන ජැක් සිහියට නගා ගත හැකිය. මෙහිදී පහළ පන්තියේ සාමාජිකයා කරන්නේ ඉහළ පන්තියේ සංස්කෘතිකාංග කොපි කිරීමයි. එමඟින් එම සංස්කෘතිය උපුටා ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් කොපි කරන පුද්ගලයා මහත් අකරතැබ්බයකට පත්වන්නේ ඉහළ පන්තියේ සාමාජිකයන් එකී සම්මත චාරිත‍්‍ර විධි අනුගමනය කරන අවස්ථාවේ නොව කිසියම් හදිසි අවස්ථාවකදී ඔවුන් එම චාරිත‍්‍ර විධි බිඳ දමන අවස්ථාවේදීය. එසේ බිඳ දමන අවස්ථාවකදී ක‍්‍රියාකරන ආකාරය දැක ගැනීමට එවැනි අවස්ථාවකටම මුහුණ දිය යුතු හෙයින්, එය කල් තබා කොපි කිරීමට නොහැකිවීමෙන් පහළ පන්තිකයා අමාරුවේ වැටෙයි. ඔහු එසේ අමාරුවේ වැටෙන්නේ එනම් කොතරම් කොපි කළද තමන් එකී ඉහළ පන්තියේ සාමාජිකයකු නොවන බව නිරාවරණය වන්නේ ඉහළ පන්තියේ සංස්කෘතියෙහි ඇති මතුපිටින් ප‍්‍රකාශමාන වන නීති රීති හේතුවෙන් නොව එයට යටින් ඇති මතු පිටින් ප‍්‍රකාශ නොවන අලිඛිත නීති රීති හෙවත් යටි බඩ හේතුවෙනි.
අපි දැන් ඉහත උදාහරණය ලාංකික සංස්කෘතියට ආදේශ කරමු. ලාංකිකයාගේ - විශේෂයෙන්ම සිංහල මිනිසාගේ - ඡන්දය ලබාගෙන බලයට පත්වීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂ එම ලාංකිකයාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට උත්සාහ කරයි. තමන් පරාජය වන්නේ එම සංස්කෘතියට අනුගත නොවූ නිසා යැයි කල්පනා කොට නොයෙක් ආකාරයෙන් එම සංස්කෘතිය කොපි කිරීමට ක‍්‍රියා කරයි. ජාතික ඇඳුම ඇඳීම, සාටකය පැළඳීම, උඩු රැවුළ වැවීම, ළමයින් වඩා ගැනීම, මහා නායක හිමිවරුන් බැහැ දැකීමට යාම ආදිය සිදු කරයි. ලාංකිකයා අවංක යැයි සිතා අවංකව කරුණු කියයි. ලාංකිකයා නිහතමානී යැයි සිතා නිහතමානී වෙයි. තර්කානූකුලව කතා කරයි. කරුණු සහිතව දූෂණය වංචාව ඔප්පු කර පෙන්වයි. එහෙත්, මේ ආකාරයෙන් මතු පිටින් පෙනෙන ප‍්‍රකාශිත නීති රීති අනුසාරයෙන් ලාංකිකයාගේ සංස්කෘතිය හඳුනාගෙන, එය කොපි කරගෙන එයට අනුගතවීමට තැත් කරන විපක්ෂයේ බලවේග දෙකටම නොපෙනෙන පැත්තක් ඇත. ඒ ලාංකිකයාගේ සංස්කෘතිය පාලනය වන ප‍්‍රකාශිතයට යටින් පවතින අප‍්‍රකාශිත, අලිඛිත නීති සමුදායයි.යටි බඩයි.
සියළු අවාසිදායක තත්ත්වයන් යටතේ ආණ්ඩුව තවමත් පෙර පාදයේ ක‍්‍රිඩා කරන්නෙත් විපක්ෂය සුපරික්ෂාකාරී ලෙස පසු පාදයේ ක‍්‍රීඩා කරන්නේත් ලාංකිකයාගේ සංස්කෘතියේ ඇති මේ අප‍්‍රකාශිත, යටින් දුවන නීති රීති පිළිබඳ අවබෝධයක් ආණ්ඩු පක්ෂයට හා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ඇති අතර, විපක්ෂය ඒ විෂයේදී ඉතා දුර්වල බැවිනි. වෙනත් වචනයකින් කිව්වොත් මේ වන විට යටි බඩ සම්බන්ධ විශේෂඥයන් සියළුදෙනාම සිටින්නේ ආණ්ඩුව පැත්තේය. අයි.පී.එල්. තරගාවලියේදී විවිධ සින්ඩිකේට් විසින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මිළදී ගන්නා පරිද්දෙන් විපක්ෂයේ යටි බඩ පිළිබඳ යම් ආකාරයක දැනුමක් ඇතිව සිටි එස්.බී, ජොනී, රාජිත, සහ විමල් වැනි ක‍්‍රිඩකයන්ද අද ආණ්ඩුව විසින් තමන්ගේ පැත්තට ගනු ලැබ ඇති අතර විපක්ෂයේ ඒ අංශයේ විශේෂඥයන් ඇත්තේම නැති ගාණය.

bACK TO HOME
VIEW PDF

Tuesday, October 27, 2009

අහිමි වුණොත් කවුද ඒකට වගකියන්නේ

GSP+ සහනයට කණ කොකා හඬන බව දැන් දැන් සක් සුදක් සේ පැහැදිලිය. දැන් ඊළඟ ජවනිකාව වනු ඇත්තේ ගෙදර ඇති මුව හමට තඩිබෑමයි. මේ මුව හම නම් විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධානයි. කිසිවකුත් නොඅසන ප‍්‍රශ්නය වනුයේ සහනය එපා කිව්වේ කවුරුන්ද යන්නයි. ආණඩුවත්, විපක්ෂයත්, සිවිල් සමාජ සංවිධානත් වෘත්තීය සමිතිත් ප‍්‍රකාශ කළේ ලංකාවට තවදුරටත් මෙම සහනය අත්‍යවශ්‍ය බවයි. GSP+ සහනය යුරෝපා සංගමය විසින් ලබාදෙන්නේ කිසියම් රටක් මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මුති තුනක ඇති විධි විධාන දේශීය වශයෙන් ක‍්‍රියාත්මක කරන බවට ලබාදෙන ප‍්‍රතිඥවකට කරන සැළකිල්ලක් අනුවය. එම ප‍්‍රතිඥව අදාළ සහනය ලබන රට විසින් කඩ කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා සංගමයට පුළුවන. සහනය දිගටම ලබා ගැනීමට නම් කළ යුත්තේ සරල දෙයකි. ඒ අදාළ අයිතිවාසිකම් ඵලදායී ලෙස ක‍්‍රියාවට නැගීමයි. කේළම් කියා මෙම සහනය අහිමි කිරීමට කිසිවෙකුටත් නොහැකිවා මෙන්ම චණ්ඩි පාට් මගින් සහනය ලබා ගැනීමද කළ නොහැකිය.GSP+ සහනය ඉදිරියටත් ලංකාවට ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි යන සංවාදයක් ආරම්භ කිරීමට ‘සමබිම’ අපේක්ෂා කරයි. ඒ පිළිබඳ ඔබේ අදහස් අප වෙත කෙටියෙන් ලියා එවන්න.නැත්නම් එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් 077-1937670 වෙත එවන්න.


GSP+ ගැන GLP කියන්නේ ඇත්තද යන මාතෘකාව යටතේ මීට මාස කීපයකට පෙර අප ලිපියක් පළ කළා සමබිම පාඨකයන්ට මතක ඇත. GSP+ සහනය තව දුරටත් ලංකාවට ලැබෙන බවට ජී.එල්.පීරිස් ඇමතිවරයා කළ ප‍්‍රකාශය අපි එම ලිපියෙන් විවේචනය කළෙමු. අවසානයේදී දැන් යුරෝපීය කොමිසම විසින් තම අවසාන වාර්තාව නිකුත් කර ඇති අතර ඒ පිළිබඳව 2009 ඔක්තෝබර් 19 වන දින ලංකාව වෙත දැනුම් දීමක් එවා ඇත. එම නිවේදනයෙන් කියවෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අන්තර්ගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවය. මෙම තීරණවලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීම කළ යුතු ද යන්නය.
GSP+ යනු ධරණීය සංවර්ධනය සහ යහ පාලනය සඳහා වූ විශේෂ දීමනා සැකසුම් පොදු ප‍්‍රමුඛතා පද්ධතියට භාවිතා කරන කෙටි නාමයයි. ශ‍්‍රී ලංකාව දෙදාස් පහේ සිට GSP+ නිසා ප‍්‍රයෝජන ලබා ඇත. එමගින් මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසර සංරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ මූලික ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් එනම්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය පිළිගෙන ඒවා සාර්ථකව ක‍්‍රියාත්මක කරන දියුණු වෙමින් පවතින රටවලට දැනටමත් ලබා දෙන සහනයන්ට අමතරව ආනයනය කිරීමේ බදුවල අඩු කිරීමක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් හරහා අතිරේක බදු සහනයක් ලැබේ.
GSP+ සහනයන් ලබාදීම හා පවත්වාගෙන යාම සිදුවන්නේ අර්ථලාභී රටවල් එයට ඇති සුදුසුකම් පිළිබඳ කොන්දේසි සැපිරීම මත වන අතර මෙම සුදුසුකම් යුරෝපීය කොමිසමේ කවුන්සිල රෙගුලාසි අංක 732/2008හි හෙවත් GSP+ රෙගුලාසිවල දක්වා ඇත. යම් රටක ජාතික අණපනත් තවදුරටත් අදාළ මූලික ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුගත නොවන විටදී GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීමට මෙම රෙගුලාසි වලින් ප‍්‍රතිපාදන සලස්වා ඇත. එවැනි තාවකාලික නතර කිරීමක් සාධාරණීකරණය කළ හැකි තොරතුරු කොමිසමට ලැබෙන අවස්ථාවක දී යථා තත්ත්වය වටහා ගැනීමට හා සුදුසු පියවර නිර්දේශ කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කිරීමටද ඉහත කී රෙගුලාසි වලින් ඉඩ සලසා ඇත.
2008 ඔක්තෝබර් 14 වන දින කොමිසම තීරණය කරන ලද්දේ ඒ වන විට ලැබී ඇති තොරතුරු මත ශ‍්‍රී ලංකාව විසින් සමහර මානව හිමිකම් සම්මුතීන් ක‍්‍රියාත්මක කර ඇති ආකාරය ගැන පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෑහෙන හේතු පවතින බවය. මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් GSP+ ප‍්‍රමුඛතා සහනයන් ශ‍්‍රී ලංකාවට දිගටම ලැබෙමින් තිබුණු අතර ඒ හේතුවෙන් පරීක්ෂණයේ ප‍්‍රතිඵල වලට යටත්ව ශ‍්‍රී ලංකාව වර්ෂ 2009 සිට 2011 කාලය සඳහා අර්ථලාභී රටවල් ලැයිස්තුවට අඩංගු කර ඇත. කොමිසම විසින් 2009 ඔක්තෝබර් 19 වන දින පරීක්ෂණය අවසන් කර එහි ප‍්‍රතිඵල සම්බන්ධ වාර්තාවක් නිකුත් කරන ලදි.
ප‍්‍රසිද්ධ නිවේදනයකට ප‍්‍රතිචාර ලෙස අදාළ පාර්ශ්ව වලින් ලැබුණු ප‍්‍රතිචාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු ප‍්‍රකාශන හා ලබාගත හැකි වාර්තා මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ආදී වෙනත් මූලාශ‍්‍ර වලින් ලබාගත හැකි වාර්තා හා තොරතුරු ද කොමිසම විසින් ප‍්‍රවේශමෙන් විමර්ශනය කරන ලදී. එසේම ප‍්‍රශ්නගත වී ඇති ජාත්‍යන්තර සම්මුතීන් තුනක් ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය පිළිබඳව ස්වාධීන විද්වත් තක්සේරුවක්ද ලබාගන්නා ලදී. අවසන් වශයෙන් සමාන්තර දේශපාලන කතිකාව තුළ ශ‍්‍රී ලංකාව විසින් සපයා ඇති තොරතුරු ද කොමිසම විසින් සළකා බලන ලදී.
කොමිසමෙහි තීරණය වන්නේ විශේෂයෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අඩංගු වන ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවයි.
මෙම තීරණ වලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතරකිරීම කළ යුතු ද යන්න සහ කවුන්සිලයේ සිටින යුරෝපීය කොමිසමේ සාමාජික රටවලට මේ සම්බන්ධව සුදුසු ක‍්‍රියාමාර්ගයක් යෝජනා කළ යුතු ද යන්නයි. එවැනි යෝජනාවක් ඉදිරිපත් කර අනතුරුව එය කවුන්සිලය විසින් සම්මත කරගනු ලැබුවහොත් එම සම්මත කිරීමේ දිනයෙන් මාස හයක් ගත වීමෙන් පසු එම යෝජනාව ක‍්‍රියාත්මක වනු ඇත.

Thursday, October 22, 2009

‍නේපාලේ මෙහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ?

ෆ්‍රෙඞී ගමගේ
නිදහසේ වේදිකාව ගැන අද වැඩි දෙනෙකුට තියෙන ප‍්‍රශ්නය තමයි ‘අපොයි යූ.ඇන්.පී නේද’ කියන එක.
මේ ප‍්‍රශ්නය අහන දෙවර්ගයක් මේ සමාජයේ ඉන්නවා.
එක් කට්ටියක් මෙලෝ වැඩකට එන්නෙ නැති ඇඟ හොරු.එයාලට මේ වැඩවලට ඇවිත් තියෙන ආතල් කඩාගන්න බැරි හින්ද මේ තර්කෙ දාල තමන් ප‍්‍රගතිශීලී පොරවල් කියල අනික් අයට හිතවන්ඩ හදනව.මේ වගේ අයගෙන් වැඩක් නැහැ.මෙහෙම අය බහුතරයකින් තමයි මේ සිවිල් සමාජය හැදිල තියෙන්නෙ.
මේ අයගෙන් අති බහුතරයක් මේ තියෙන ආර්ථික අර්බුදය ඇතුළෙ ව්‍යාපෘති නැතිවෙලා ගිහින් ළඟදිම නන්නත්තාර වෙන්න නියමිතයි.
ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා.අපි හිතනවා ඒ අය ගැන නම් මේ සමාජයේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්ත ව්‍යාපාරයක් හදන්න මහන්සි ගන්න අය අවධානය යොමුකළ යුතුයි.
ඒ අයත් අහන ප‍්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි ඇයි අපි මේ දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන්නෙ කියල.ඇයි අපට බැරි අපිම එකතුවෙලා කරගන්න.
මේ ප‍්‍රශ්නෙ දැනටමත් එවැනි බහුතරයක් අතර ප‍්‍රමාණවත්ව සාකච්ඡා කෙරිල තියෙනවා.
මේ උත්සාහය ඒ ප‍්‍රශ්නය තවත් තේරුම් ගැනීම සඳහා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරවල අත්දැකීමක් බෙදාගැනීමටයි.
මේකෙදි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු රටක් තමයි නේපාලය.
නේපාල දේශපාලන සමාජය තුළ සියළු බලවේග එක්තැන් කරන්න පදනම වැටුණෙ සියළු දෙනාට දේශපාලනය කළ හැකි පරිසරයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය මතයි.
2005 පෙබරවාරි මාසෙ නේපාලයේ නාමික නායකයා වූ ගයනේන්ද්‍ර රජු විසින් පාර්ලිමේන්තුව අහෝසි කර යුද නීතිය පනවන්න යෙදුණා.
මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය කි‍්‍රයාත්මක කිරීම ගැන රජු විසින් ගෙන ආ තර්කය තමයි මාවෝවාදී කැරැල්ල පාලනය කිරීමට සිවිල් දේශපාලනඥයින් අසමත් බව.ඒ හින්දා සියළු බලතල තමන් තුළ සංකේන්ද්‍රණය කරන්නට ඔහු කි‍්‍රයාත්මක වෙනවා.
දුරකථන විසන්ධි කිරීමේ සිට ප‍්‍රධාන දේශපාලන නායකයන් සිරගත කිරීම හරහා පුද්ගලයන් අතුරුදහන් කිරීම දක්වා විවිධ මර්දන ක‍්‍රියා රජු යටතේ සිදුකෙරුණා.ඇතැමුන් ඉන්දියාවටත් තවත් රටවලටත් පැන යාම මේ කාලයේ සුලබ තත්වයක් වුණා.
මේ පසුබිම විසින් තමයි දේශපාලන සමාජයටත් සිවිල් සමාජයටත් එකට එකතු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හදාගැනීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ මූලික පියවරක් ලෙසින් 2005 පෙබරවාරි පළවෙනිදා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පක්ෂ හතක සන්ධානයක් ගොඩනැගුවා. සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය සංවිධානද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඒකාබද්ධ වුණා.
දෙසැම්බර් 12 වනදා මූලික කරුණු ෙදාළහක් ඇතුළත් පදනම් ලියවිල්ලකට මාවෝවාදී කැරලිකරුවන් සහ පක්ෂ හතේ සන්ධානය විසින් අත්සන් තැබුණා.
මේ ව්‍යාපාරයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් තමයි පක්ෂ සන්ධානය ඇතුළු නේපාල සිවිල් සමාජය එක්ව වැඩවර්ජන රැල්ලක් සංවිධානය කිරීමට ගනු ලබන තීරණය.
අපේ‍්‍රල් 5-9 වර්ජන රැල්ලෙහි සාර්ථකත්වය මත එය නොනවතින බහුජන අරගල රැල්ලක් ලෙසින් ඉදිරියට ගෙන යාම සඳහා දින නියමයකින් තොරව වර්ජන සහ ජනතා උද්ඝෝෂණය දිගටම ගෙන යාමට අපේ‍්‍රල් 09 වෙනිදා තීරණය කෙරුණා.
මෙම අරගලය තවදුරටත් විරුද්ධ පක්ෂවල උදඝෝෂණයක් නොව ජනතාවගේ අරගලයක් සහ ජනතා ව්‍යාපාරයක් බව අපේ‍්‍රල් 9 වෙනිදා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂ නායක ප‍්‍රචණ්ඩ සහෝදරයා ප‍්‍රකාශයක් කළා.
අපේ‍්‍රල් 21 වෙනිදා වන විට ලක්ෂ පහක ජනතාවක් පාරට බැස හමාරයි. ඉතාම අඩුවෙන් ගණන් බැලූ සංඛ්‍යා ලේඛන අනුවත් (උදාහරණයක් වශයෙන් ජනරළ උද්ඝෝෂණයට කොළඹට පැමිණි පිරිස පිළිබඳව රොයිටර් කරුණාතිලකගේ එස්.එම්.එස් පණිවුඩය වැනි) ලක්ෂ තුනක් පාරට බැස තිබෙනවා.
මෙදින සවස නැවත පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කොට ජනතාවට පරමාධිපත්‍ය බලය ලබා දෙන බව ප‍්‍රකාශ කිරීමට ගයනේන්ද්‍ර මහ රජාණන් ට සිදු වුණා.
මාවෝවාදීන් මෙහිදී කියා සිටින්නේ පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය නොවිසෙදන බවයි.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන ලෙසත් රාජාණ්ඩුව අහෝසි කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
මේ අනුව රාජාණ්ඩුව අහෝසි කර නේපාලය ජනරජයක් බවට පත් කරනු ලැබුවා.දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධානවල ඒකාබද්ධතාවයෙන් ගොඩනැඟුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා අරගලය ජයග‍්‍රහණය කළා.

Back to Home

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
තාරා ශ‍්‍රී රාම්



කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ


නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේකැඳවුම්කාරිය

ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය.

Read more....








අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්

හසිනි හපුතන්ත‍්‍රි
යොවුන් ලේඛිකා

ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්,


Read more....







දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැසීම හෙළා දැකිය යුතයි


කුමුදුනී සැමුවෙල්
අධ්‍යක්ෂිකා
කාන්තාව හා මාධ්‍ය සාමුහිකය

ලංකා දේශපාලනය තුළ සංඛ්‍යාත්මකව කාන්තා නියෝජනය අඩුයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් ඒකට හේතුව පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තාවො ජයග‍්‍රහණය කරන්නෙ නැහැ කියන ප‍්‍රකාශය සහමුලින්ම වැරදි තර්කයක්. අපි මෙතෙක් කරල තියෙන පර්යේෂණ සහ විශ්ලේෂණ වලට අනුව ප‍්‍රධාන ධාරාවේ පක්ෂ ගත්තම හැමදාම ඔවුන් කාන්තාවන්ට ලබා දී තිබෙන්නෙ සීයට පහකට අඩු අපේක්ෂකත්වයක්.

Read More....

View All PDF

Friday, July 31, 2009

පසුගිය 27 වෙනිදා සීගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතියට හා සදාචාරයට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින් ”වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයා පැවසීය. රජයේ මේ අලූත්ම තීරණය ගැන සමබිමේ අපි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරියකගෙන් විමසුවෙමු. එහිදී ඔවුන් පළකළ අදහස් මෙසේය.

මේ 21 වන සියවසේ කාලෝචිතම නීතියයි...?
අශෝක හඳගම

සංස්කෘතික අමාත්‍යංශය මඟින් සම්පාදනය කිරීමට යෝජිත මේ අලූත් නීතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කළොත් මං හිතන්නේ, 21 වන සියවස තුළ ලංකාවේ පැනවෙන වඩාත්ම කාලෝචිත සහ ඥනාන්විතම නීතිය එය වන බවයි.මං එහෙම කියන්නේ, මේ රටේ වැඩිහිටියන් කියන්නේ බාල දරුවෙකුට බලන්නට, අසන්නට, දකින්නට නොහැකි කිසිවක් දොරවල් වහගෙනවත් නොකරන, සිහිනෙන්වත් හොරකමක්, මැරකමක්, කපටිකමක්, වංචාවක්, දූෂණයක්, අයථා සංසර්ගයක්, අසැබිකමක් නොකරන පිරිසක් ද, ළමයින් කියන්නේ උප්පැන්න සහතිකයේ උපන්දිනයේ, ලිපිනයේ මෙන්ම පාසලට ඇතුළත් කරගැනීමට ඉදිරිපත් කරන ලියකියවිලි සැකසීමේ සිට වැඩිහිටියන්ගේ හොරකම්, වංචාවන්, දූෂණයන්, මැරකම් හා පගාගැහිලි වලට හුරු කරවනු ලැබූ පිරිසක් ද වන නිසයි.ඒ නිසා වැඩිහිටියන්ට පමණක් සීමා වු සිනමාවක් හෝ කලාවක් පැවතීම එක අතකින් ළමා අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් වන අතර තව අතකින් වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කොන්කර ඔවුන්ට දරා ගත නොහැකි සංකීර්ණ මානසික තත්ත්වයකට අනාවරණය කිරීමක්. මේ නිසා ජනමාධ්‍යකරුවන් ලෙස ඔබ සැමගේත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසු සිසුවියන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සමස්ත සිවිල් ප‍්‍රජාවගේමත්, හැම පුරවැසියෙකුගේමත් වගකීම වන්නේ පාර්ලිමේන්තුව තුළ එකී යෝජිත නීතිය ඒකච්ඡන්දයෙන් සම්මත කරගැනීමට සියළු දේශපාලන පක්ෂවලට බල කර සිටීමයි.

වඳුරට දැලි පිහිය ලැබුණොත්...
ඉනෝකා සත්‍යාංගනී

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම හරහා කාමාතුරයින්ට මෙතෙක් රට තුළ සැණකෙළි පවත්වන්නට ලැබී තිබූ නිදහසට වැට කඩුලූ බැදීම අපේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය මෑතකදී ගත් අභීත පියවරක්. ඒත් ඒ මගින් අපේ සංස්කෘතික ජන ජීවිතයට හා පොදුවේ සන්නිවේදන අයිතීන්ට වැට කඩුලූ බැදීම නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මෙතනදී අදාළ ඇමතිවරයා පවසාවි මේ නීතිය ඔවුන් විසින් පනවන්නේ රටේ බාල පරපුර නොමඟ යවන කාම චිත‍්‍රපට රැල්ලට එරෙහිව ගන්නා වූ පියවරක් හැටියට. ඒත් ඒමගින් පනවන්නා වූ නීතිය පොදුවේ ක‍්‍රියාත්මක වනවිට එම නීතිය අතට ගත් නිළධාරියා හෝ බලධාරියා විසින් ඔහුගේ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන්නට පෙළඹීමත්, අපට වළක්වන්නට බැරි ප‍්‍රායෝගික තත්වයක්. රජය හෝ සංස්කෘතික ඇමතිවරයා විසින් අදාළ කතුර භාර කරන්නේ එම නීති පද්ධතිය මත පිහිටා යුක්ති යුක්තව සහ අපක්ෂපාතීව අදාළ අරමුණ ඉටු කරන්න බැඳී සිටින ප‍්‍රතිපත්තිගරුක සෘජු බලධාරියෙකුට නම් මෙහි කිසිදු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ. ඒත් ඒ කතුර අතට ගන්නේ නිලධාරි කබායක් ඇඟලා ගත් වඳූරෙක් නම් වඳූරාගේ අතට දැලිපිහිය ලැබුණු විට සිදුවන දේ පිළිබඳව අපට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ සදහා අප සතු අත්දැකීම් බොහෝමයි.


තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි
සනත් ගුණතිලක

තාම ඒ ගැන තියෙන්නේ නිවේදනයක් විතරයි. මගේ චිත‍්‍රපටියත් වැඩිහිටියන්ට කියලයි නම් කරල තියෙන්නේ. ඒ නිසා මම මේ ගැන හොයල බැලූවා. මට දැනගන්න ලැබුණෙ විශේෂයෙන්ම කාමුක දර්ශන, රාගී දර්ශන, මුල්කරගෙන මුදල් උපයන්න කරන චිත‍්‍රපට සඳහා මේ තහනම පනවා තියෙන බවයි. ලංකාවේ හෝ පිටරට වේවා මේ කාමුක දර්ශන, ත‍්‍රාසජනක දර්ශනවල එකම පරමාර්ථය මුදල් ඉපැයීම. මම දන්න තරමින් ඒවට තමයි මේ තහනම තියෙන්නේ. මගේ චිත‍්‍රපටිය එවැනි චිත‍්‍රපටියක් නොවන බවට මම කෙලින්ම පෙනී සිටිනවා. දැනට මගේ චිත‍්‍රපටියට කිසිම වෙනස් කිරීමක් කරන්න කියලා නැහැ. රැඟුම් පාලක මණ්ඩලයෙනුයි ඒක වැඩිහිටියන්ට පමණයි කියලා සහතික කළේ. මම චිත‍්‍රපටිය කරලා තියෙන්නේ ලංකාවේ නීති පද්ධතියට යටත්ව. නමුත් මේ තත්ත්වයට යටත් වෙන පිරිස් මේක මුල්කරගෙන වෙනත් විදිහකට මට හිරිහැර කරන බව පේනවා.දැනට මගේ චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව මගේ පැහැදීමක් තියෙනවා. මට මේ චිත‍්‍රපටිය ළමයින්ට පෙන්නන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවල සිනමා තිර කථාව විසින් එවැනි දර්ශනයක් ඉල්ලා සිටිනවා. එතකොට යම්කිසි බුද්ධිමත් පිරිසක් විදිහට අපට දැනෙනවා ඒ දර්ශන බලෙන් රිංගවලාද, නැත්නම් ඇත්තටම අවශ්‍යද කියන එක. ඉතිං එහෙම චිත‍්‍රපටිය විසින් ඉල්ලා සිටින දර්ශනයක් පවා ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුණොත් අපට ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලක් මෙහි පවත්වන්නත් බැහැ. නිදහසේ නිර්මාණකරණයේ නියැලෙන්න ඉඩ ඇහිරුණොත් මම ඒ වෙලාව අනුව කටයුතු කරයි. ඒත් නිර්මාණකරණයෙන් බැහැර වෙන්නේ නම් නැහැ.


මේක කාම අපරාධ වැඩි කරන කුමන්ත‍්‍රණයක්
සිරිමල් විජේසිංහ

මට හිතෙන්නේ මේක රජයේ කුමන්ත‍්‍රණයක්. ඔවුන් මේ වගේ දෙයක් කරන්න උත්සාහ ගන්නේ අද රට මුහණ දී සිටින ආර්ථික ප‍්‍රශ්න වැඩි නිසාත්, ජනගහනය වැඩි නිසාත්. ජනගහනය වැඩි වෙන කොට උග‍්‍ර වෙන ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය ස්ත‍්‍රී-පුරුෂ සංසර්ගය තහනම් කරන්න යනවා. ඒකට පෙර සුදානමක් විදිහටයි රජය වැඩිහිටියන්ට පමණයි කියන චිත‍්‍රපට තහනම් කරන්න සුදානම් වෙන්නේ. ඒ වගේම රට තුළ කාම අපරාධ වැඩි කරන්න කුමන්ත‍්‍රණයකුත් ඔවුන් ක‍්‍රියාත්මක කරනවා. පහුගිය දවස්වල කාන්තාවන් සහ දරුවන් මහ මඟ දූෂණය කර මරා දැමූ පුද්ගලයින් දිහා බැලූවම අපට පේනවා ඔවුන් පොතකින්වත් නිරුවත් ඡායාරූපයක් දකින්න නොලැබෙන අය කියලා. රජය උත්සාහ කරන්නේ ඒ වගේ මිනිස්සු තුළ තව තවත් ලිංගික පීඩනය ඇතිකර කාම අපරාධ වැඩි කරන්න. ඒ වගේම තමයි අපේ රටේ අන්තර්ජාලය ගත්තොත් ඒක බොහෝ දෙමාපියන්ගේ දැනුවත්භාවය ඇතුව ළමයි සිදුකරන දෙයක්. තමන්ගේ ළමයි වැඩිහිටියන්ට පමණයි කියන දේවල් බලනවා කියල ඔවුන්ගේ දෙමාපියන් දන්නවා. ඒ ගැන දෙමාපියන් සහ දරුවන් අතර සම්මුතියක් පවතිනවා. නැත්නම් ගෙවල්වල අන්තර්ජාලය තියෙන්න විදිහක් නැහැ. දැන් රජය මැදිහත් වෙලා මේක නතර කරන්න තීරණය කරලා තියනවා. ඉතින් සම්මුතියක් ඇතිව බලන ජනතාව තීරණය කරන්න ඕන තමන් මොකක්ද රජයට හා අණ්ඩුවට කරන්න ඕන කියලා. තමන්ගේ අයිතිය නැති කිරීම ගැන ජනතාව තීරණයක් ගන්න ඕන. අපිට ගැටළුවක් නැහැ, අපි කොහොමත් අපිට අවශ්‍ය දේ බලනවා. මම කොහෙත්ම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ජනතාවමයි අවසානයේ අපිට කෙළවන්නේ. ඔවුන් අවසානයේ පකෂපාතී වෙනවා. ඒ නිසා මේ පනත ගෙන ආ පසු මම පෞද්ගලිකව මානව හිමිකම් නඩුවක් පවරනවා. නමුත් මම පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. පුරවැසියෙක්, වැඩිහිටියෙක් විදිහට මේ දර්ශන බලන්න මට තියෙන අයිතියට සහ චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මගේ නිර්මාණ වලට මේ පනත බාධාවක් නිසා. ඒ තත්ත්වය මත ඊට විරුද්ධ වෙන්න පෞද්ගලික අයිතියක් මට තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන්ම මේකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.



රටම හිනා වෙන්න ඕන කාරණයක්
සුදත් මහදිවුල්වැව

මට හිතෙන්නෙ මෑත කාලෙ වුණ හොඳම විහිළුව වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටි තහනම් කිරීම. වැඩිහිටියන්ට පමණයි කියන එකෙන් අදහස් කරන්නේ ‘වල් ’ කියන එක නම්, මම හිතනවා ඒ කියවීමම වැරදියි කියල. ලංකාව සියළුම කාරණාවල සංකේත අරුත් අවුල් කරගෙන තියෙන්නෙ. වැඩිහිටියන්ට පමණයි කියන්නෙ වැඩිහිටියන් විසින් සාකච්ඡාවට ගතයුතුයි සහ වැඩිහිටි සමාජයකට කතිකාවතක් අවශ්‍යයි කියන කාරණය. ඒක ඇතුළෙ ලිංගිකත්වය නෙවෙයි, ඊට වඩා පුළුල් කතාබහක් තියෙන්නේ. විවෘතව මිනිහෙකුට තමන්ට හිතිච්ච තේමාවක් කතා කරන්න තියෙන නිදහස, හිතන්න තියෙන නිදහස වාරණය වෙනවා කියන කාරණයට මම විරුද්ධයි. නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණකරණය ඇතුලේ අත්‍යවශ්‍ය දර්ශන කරා යන්න නිදහස තියෙන්න ඕන. මෙහෙම සුචරිත සමාජයක් හදන්න උත්සාහ කිරීම මම හිතන්නේ රටම හිනාවෙන්න ඕන කාරණාවක්. අනිත් එක වැඩිහිටියන්ට පමණයි කියන කියවීම ඇතුළේ ලිංගික කියන්නේ අනුමාතෘකාවක්. ළමයි එක්ක සාකච්ඡුා කරන්න බැරි දේශපාලන කාරණාවක් වැඩිහිටියන්ට පමණයි වෙන්න පුළුවන්. ඔවුන් කියනවා නම් මේ උත්සාහය නරක විදිහට ලිංගිකත්වය උළුප්පන, ඉතාම තුට්ටු දෙකේ, බලන් ඉන්න බැරි තරම් ජරා චිත‍්‍රපටි වලට වාරණය දැමීමක් කියල, මම ඒකට පෞද්ගලිකවම විරුද්ධයි. ඔවුන්ගේ උත්සාහය ඒකයි කියල පෙන්නුවට සිද්ධවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මම දන්නෙ නැහැ මේ තීරණ ගන්න මිනිස්සු කොහේ ඉඳන් ඕව ගන්නවද කියලා. ඕව ඡුන්දෙකට කළින් විකුණන්න පුළුවන් දේවල්. මම හිතන්නේ තව ටිකක් කල් යනකොට මේ ගොල්ලො සීගිරි අප්සරාවන්ටත් ඇඳූම් අන්දනවා. ලෝකේ ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා නිරුවත නෙවෙයි නරක, මිනිහෙක් නිරුවත් කරල ඒ මනුස්සයට වද දෙන එක කියලා. මට හිතෙන්නේ අර අසිත තාපසයා කිවුවා වගේ හයියෙන් හිනාවෙලා, හයියෙන් අඬන්න තමයි තියෙන්නේ. නමුත් මේ ගැන කතාකරන එකවත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මොකද ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො එච්චරටම මෝඩ හින්ද ඒ තීරණ තීරණම වෙයි. ඕව බොහොම යහපත් විදිහට තේරුම් ගන්න සමාජයකයි අපි අද ජීවත් වෙන්නේ.


Back to Home